නිමල් අබේසිංහ

ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 13කට අධික මුදලක් බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටියට ගෙවා සකසනු ලැබූ විදුලි ගාස්තු වැඩිකිරීමේ අධ්‍යයන වාර්තාව පුස්සක් බවට මෙරට විදුලිබල කර්මාන්තකරුවන් ඇතුළු පාර්ශ්වකරුවන් චෝදනා කර තිබේ. වැරදි සංඛ්‍යා හා දත්ත භාවිත කරමින් විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළ එම අධ්‍යයනය මුළුමනින්ම දෝෂසහිත වූවකි. එවැනි අධ්‍යයනයක් කළ යුතු නම් ඒ් සඳහා තෝරාගත යුත්තේ මූල්‍ය විශ්ලේෂකයෙකුය. එහෙත් අධ්‍යයන කොන්ත‍්‍රාත්තුව බාර දී ඇත්තේ බලශක්ති විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය වෙතය. මේ අනුව රුපියල් කෝටි 13කට අධික මුදලක් වැය කරමින් සිදු කළ අධ්‍යයන කොන්ත‍්‍රාත්තුව හිතවත්කම් ශක්තිමත් කිරීම සඳහා කළ ගනුදෙනුවක් බව ඔප්පු වේ. ටී ඒ් 9460 යන අනු අංකය යටතේ වූ ප‍්‍රධාන ව්‍යාපෘතිය යටතේ මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර ප‍්‍රධාන ව්‍යාපෘතියේ විෂය ක්ෂේත‍්‍රය සම්පේ‍්‍රෂණ පද්ධතිය වැඩි දියුණු කිරීම සහ ජාත්‍යන්තර පිළිගත් මට්ටමට පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට එක් කිරීමයි. මෙය පූර්ණ වශයෙන් තාක්ෂණික අධ්‍යයනයකි. ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ අධ්‍යයනයක් එම විෂය පථයෙහි සඳහන් නොවේ. එහෙත් ප‍්‍රධාන අධ්‍යනය වන තාක්ෂණික අධ්‍යනයට අඩු බරක් දී ඉතා සොච්චම් වැඩක් වූ ලංවිම මූල්‍ය තත්ත්ව අධ්‍යයනයට විශාල බරක් දී ඇත. ඒ් මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කළ ඩොලර් මිලියන 1.3 න් වැඩි කොටස වූ ඩොලර් 712580ක් හෙවත් රුපියල් මිලියන 13.5ක් යටි මඩි ගැසීමේ අරමුණින් බව පැහැදිලි වේ. විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා මෙරට පාර්ලිමේන්තු පනත්වලින් පැනවූ ප‍්‍රතිපාදන තිබියදී ඊට එරෙහිව යමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් විදුලි ගාස්තු වැඩි කිරීම සදහා නිර්දේශ කිරීම රටේ ස්වෛරීත්වයටද තර්ජනයකි. ආචාර්ය තිලක් සියඹලාපිටිය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමේ නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය පවා නොසලකා බව ස්වාධීන විදුලිබල විශේෂඥ පිරිසක් විසින් ආසියානු සංවර්ධන බැංකුවට පෙන්වා දී ඇත.

ආචාර්ය තිලක් සියඹලාපිටියගේ විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව රජයට ඉදිරිපත් කළේ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන්ගේ අවසරය ඇතිව බවද ඔප්පු වී තිබේ. පසුගිය නොවැම්බර් මාසයේ එම නිර්දේශ ඉදිරිපත් කරන අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු බලශක්ති දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී ආචාර්ය ප‍්‍රියන්ත විජේතුංග මහතාද සහභාගි වී ඇත. මුදල් හා බලශක්ති අමාත්‍යංශවල නිලධාරීන් සහභාගි වූ මෙම රැුස්වීමේදී ආචාර්ය සියඹලාපිටිය හා ආචාර්ය විජේතුංග අදහස් දක්වා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමිනි.

මේ අතර පසුගියදා මෙරට විදුලිබල කර්මාන්තකරුවන් හා ස්වාධීන බලශක්ති විශේෂඥයින් පිරිසක් විසින් මෙම විදුලි ගාස්තු වැඩි කිරීමේ අනිසි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට කාර්යාලයට පැමිණිලි කර තිබේ. එම පැමිණිලිවලට ප‍්‍රතිචාර දැක්වූ ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ ආචාර්ය තිලක් සියඹලාපිටියගේ නිර්දේශ ආසියානු සංවර්ධන බැංකුව නිල වශයෙන් පිළිගෙන නොමැති බවය. ඩොලර් 712580ක් ගෙවා සකසාගත නිර්දේශ නිල වශයෙන් පිළි නොගන්නේ නම් මෙසේ කාබාසිනියා කළ මුදල් වලට වග කියන්නේ කවුද? ආසියානු සංවර්ධන බැංකුව පසුගිය කාලයේ ඩොලර් බිලියන 1.52ක ණය ආධාර මෙරට විදුලිබල ක්ෂේත‍්‍රයේ ව්‍යාපෘතිවලට සපයා ඇත. මේ මුදල්වලින් වැඩි කොටසක් ඉහත සඳහන් ආකාරයේ අනාර්ථික ව්‍යාපෘති හරහා ගජ මිතුරන්ට බෙදා දුන් බවට සැකයක් මතු වේ. මන්ද ආසියානු සංවර්ධන බැංකවේ ණය ආධාර ව්‍යාපෘතිවලින් වැඩි කොටසක් වෙන් කර ඇත්තේ විවිධ අධ්‍යයන සඳහාය. මේ අධ්‍යයනවලින් සැලකිය යුතු කොටසක් ආචාර්ය තිලක් සියඹලාපිටිය වෙත ලබා දී තිබේ. ඒ් අනුව රට ණය කරමින් අනවශ්‍ය කොන්ත‍්‍රාත්තුවලට ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල් යොදවනවාදැයි සොයා බැලීමට ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු කාලය එළඹ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here