ටිරන් කුමාර බංගගමආරච්චි

මෙරට දේශපාලනයේ පිළිලයක් වූ රාජපක්ෂලා සහ මුලින්ම කපා දැමිය හැකිවූ අවස්ථාව මගහැර ගත් යහපාලනය තරම් කාලකණ්ණි පිරිසක් තවත් නැත. එය කොයිතරම් හිරිකිතද යන්න පැහැදිලි වන්නේ රනිල් වික්‍රමසිංහ මෙන්ම මෛත්‍රීපාල සිරිසේන පාස්කු කොමිසමේ වමාරන වැමෑරිල්ල දුටු විටය. මෙවන් අපතයන්ට එදා රට භාර දුන් ඡන්දය ගැනත් අද ඇත්තේ අප්පිරියාවකි. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. එහෙත් එහි විපාක ගෙවා අවසන් කිරීම පහසු නැති බව පමණක් අද කතා කළ යුතුය.


යහපාලන දීනත්වයෙන් උපන් අභීත කුමරා ගෝඨාභය විය. එදා ගෝඨා තමා ගැන කීවේ තමන් රාජපක්ෂ පවුලේ සිටි අහිංසකම ළමයා බවය. අහිංසකයා අංගුලිමාල වීමේ පෙර නිමිති පෙනෙන්නට පටන් ගෙන ඇත. තමා සියල්ල දත් බව ගෝඨා පෙළන ව්‍යාධියකි. එයම මේ කෙටි කාලය තුළ රටේ දේශපාලනය, ආර්ථිකය විකෘති මොඩලයක් වීමට හේතුවී ඇත. දැන් මේ රට ගෝඨාලන්තයක් වෙමින් පවතී. රට නොදැක්ක ගෝඨා එහි කොන් පවා පීරමින් බලන්නට පටන් ගෙන ඇත. මෙහි විවිධ අරුත් ඇතත්, අවසානයේ පෙනෙනුයේ මේ මගේ රට ජනතාව ඡන්දයෙන් මට ලියා දුන්න පොළොව. මේ හැම අයිති මට යන තණ්හාවේ ලක්ෂණය.


එදා ලංකාගම පාර කපද්දී ගෝඨා එහි ගොස් උපදෙස් දුන්නේ පරිසරයට හානි නොකර පාර කපන ලෙසය. ප්‍රශ්න කළ යුතු ප්‍රධාන තැන එයය. එනම් මේ ගෝඨාගේ පෞද්ගලික බූදලයද යන්නය. ඔහු කී විට එය කළ යුතුද යන්නය. දැන් දැන් නිර්මාණය වනුයේ එම තත්ත්වයය.


ගෝඨාට බැරි වුණොත් මේ රට ආයේ කාටවත් හදන්න බෑ. යනුවෙන් ඡන්දයට පෙර තිබූ මතවාදයක්ය. එය හරි තදට මේ රටේ අටුවම් බැස්සේය. ගෝඨා ඒකාධිපතියෙක් යන්න ඒ අතර ඇතැම් පිරිස් ගොඩ නැගූ තර්කයය. එයද එදා ගෝඨාගේ වාසියට විය. ඒ සිරිසේන ජනපති ලෙස තමාට වැඩක් කරන්න නොදුන්නැයි කියා ගෝඨා පැත්තෙ හිටගත් කල මිනිස්සු හිතුවේ මේ රටට වුවමනා ඒකාධිපතියෙක්ම බවය. සිරිසේනට රනිල් වැඩ කරන්නට නොදුන්නා සේ මහින්ද ගෝඨාට වැඩ කරන්නට නොදුනහොත් එය අබිබවා යා හැකි මිනිසා ගෝඨා බව සැවොම සිතූහ. ජනාධිපතිවරණයෙන් ගෝඨා මහ ඉහළින් දින්නේ ජනතාවගේ මේ අඳ විශ්වාසය නිසාය. හැම කල්හිම ජනතාව හොඳම කෙනා සොයමින් සිටිති. එහෙත් හොඳම කෙනා වෙනුවට හමුවන්නේම නරකම කෙනාය. සිරිසේන හොඳ යැයි සිතූ ජනතාව වසර පහක් ගෙවෙන තැන දැක්කේ වෙළේ සිටවූ පඹයෙකි. ගෝඨා හොඳම කෙනා යයි සිතූ ජනතාවට දැන් දැන් දැකගැනීමට හැකිව ඇත්තේ රකුසෙක්ය. එදා රනිල් සමග වැඩ කිරීම යක්ෂයෙක් සමග වැඩ කිරීම යැයි සිරිසේන අද අහිංසකයකු සේ කියමින් සිටී. රටේ ජනතාවටත් තව වසර කිහිපයකින් එවැනි කතාවක්ම කිව හැකිය.


බිල්ලෝ මැවීම


රාජපක්ෂලා තරම් මිනිස්සුන්ගේ ඔළුගෙඩිවලට විස පෙවීමට දක්ෂයෝ මෙරට දේශපාලනයේ නැත. ඕනෑම විසක් කවුරු කවලම් කළද පොවන්නට රාජපක්ෂලා දක්ෂය. එදා හෙළ උරුමය කවලම් කළ සිංහල බෞද්ධ විස ජනතාවට පෙව්වේ මහින්දය. එහි පුරෝගාමීන් වූ චම්පික ඇතුළු භික්ෂු නඩය මහින්දට තම පේටන් අයිතිය වික්කේ මන්ත්‍රීකම්වලටය. එහෙත් කල් යද්දී චම්පිකලාට දෙයක් නොවීය. මහින්ද ඒ විස ජනතාවට පොවා අවසන්ය.

චම්පිකලාගෙන් වැඩ ගත් මහින්ද එයින් තමා යෝධයෙක් වූ පසු චම්පිකලාට පයින් ගසා එලෙව්වේය.
ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණේ දේශ හිතෛෂීකම එයද විසකි. මහින්ද අපූරුවට ගත්තේය. එය කවලම් කළේ ජවිපෙය. එහෙත් එය පෙව්වේ මහින්දය. ජනතාවට එයින් පණ ආ කල මියගියේ ජවිපෙය. මහින්ද ඒ අනුව තවත් ශක්තිමත් වූයේය. හෙළ උරුමය සහ ජවිපෙ හැදූ විස නිසා මහින්ද මිය නොගිය අතර ශක්තිමත් විය. ඒ විස කවලම් කළ අය අබල දුබල විය. එයට හේතුව මහින්ද ඒ කණ්ඩායම්වල ප්‍රධාන වෙදෙක් තමා ළඟට ගත් නිසාය. විමල් වීරවංශ සහ ගම්මන්පිල යනු ඉහත කණ්ඩායම් දෙකේම විස වට්ටෝරුව හොඳටම හොරකම් කළ අයය. මහින්ද දේශපාලන කපටියා වූයේ ඒ ලෙසටය. ඒ අතර විසට පොල්කිරි පෙවිය හැකි ගොඩ වෙද්දුද මහින්ද ළඟ විය. ඒ වාසු, දිනේෂ්, ඩිව් වැනි අයය. මේ සියල්ල එකතු කොටගෙන ජනතාවට හිස කුඩිච්චි දැමීමට මේ අයට හැකි විය. 2015දී වූයේ එයට නිසි ප්‍රතිකාර කිරීම වෙනුවට තොවිලයක් කොට කපා දැම්මාක් බඳුය. එයින් ආතුරයා පලා ගිය අතර කොඩිවිනය නොකැපවිණි. මේ විස කුප්පිය මුහුදට විසි කළ යුතු වුවත් යහපාලන කට්ටඩි කළේ මැදමුලනට විසිකිරීමය. ඔවුන් සිතුවේ මෙය ගලවා ගැනීම ආයේ නම් සිදු නොවනු ඇති බවය. ඒ අය අමතක කළේ ගම්මන්පිල, විමල් වැනි විස ගෝරයන්ට මහින්ද නැතිව බැරි බවය. ඒ අය විස කුප්පියේ ඇබය කෙසේ හෝ ගලවන බවය. එය ඒ විදිහටම සිද්ධ විය. එහෙත් දැන් ඇත්තේ ඒ විස ගෝරයන්ටත් වැරදුණු තැනය.


වැරදුණු තැන


මහින්ද යනු විස ගෙන ඉතා සූක්ෂ්මව ජනතාවට පොවන්නෙකි. එහෙත් ගෝඨා යනු විස තමාද පානය කොට, තමා දෙන නිසා බීමට ගත යුතු යැයි බලකරන්නෙකි. දැන් එය ජනතාව අකමැත්තෙන් වුව බීමට ගත යුතුව ඇත. මේ එදා චම්පිකලා ජවිපෙ හැදූ විස නොව ඉන්පසු විමල්, ගම්මන්පිල හැදූ විසද නොව සියල්ල කවලම් කොට මහින්ද හැදූ විසය. රාජපක්ෂලා යනු අවසානයේ එකකි. එකම කුලකයකි. මේ පවුල වෙන වෙනම ලෙස පෙනුණද ගොදුරට පනිනුයේ එකටය. එවිට සියලුදෙනා සතු සියලු ශක්තින් ඔවුන් උපයෝගී කරගන්නවා ඇත.


මුලදී ජනතාවට පෙන්නුවේ බැසිල් ගෝඨා එතරම් හොඳ නැති බවය. මහින්දගේ පෙරැත්තට බැසිල් ගෝඨාට උදව් කළ බවය. ඉන්පසු ජනාධිපතිවරණයෙන් පසු ජනතාවට ඒත්තු ගැන්නුවේ මහින්ද ගෝඨාට වැඩ කරන්නට නොදෙනවා යන්නය. ඒ අනුව ගෝඨා කීවේ තමාට වැඩ කරන්නට තුනෙන් දෙකක බලයක් දෙන ලෙසය. ඒ අනුව ජනතාව සිතුවේ යහපාලනයේ මෙන් ඇති නොවීමට ගෝඨා ඉහළින්ම තැබීමටය. දැන් එයද ඉටුවී ඇත. ගෝඨා ජනපති වූ පසු කිට්ටුමවන්තයා වූයේ ඡන්දයට පෙර විසරකය ලෙස පෙනී සිටි බැසිල්ය. අද මහින්දට නොදෙවෙනි බලයක් බැසිල්ට ඇත. කැබිනට් මණ්ඩලය මහින්දට මෙන්ම බැසිල්ටත් යටත්ය. කොටින්ම රටම අයිති ගෝඨා, මහින්ද, බැසිල් යන තුන් කට්ටුවටය. එදා මහින්ද ජනපතිකම් කළෙත් මේ ආකාරයටමය.


ඒ අතර විස්ස ගෙන එනුයේ ගෝඨාගේ බලය පමණක් තහවුරු කරගන්නට යැයි සිතීම දේශපාලන මුලාවකි. විජයදාස රාජපක්ෂ මුලින් කීවේ ගෝඨා ඉන්නකම් විස්ස හොඳයි. ඉන්පසු භයානකයි යන්නය. ඒ බැසිල් ගැනද? වෙනත් රාජපක්ෂ කෙනෙක් ගැනද? ඉන්පසු බැසිල් ජනපති වුවද කැරකෙනුයේ මේ ආකාරයටමය. මේ ත්‍රිකෝණය හරි ප්‍රබලය.


විමල් සහ ගම්මන්පිල හාල්කෑලිවල බොරුව


මේ තුන් කට්ටුව එකතුව පිරමීඩය නැවත ගොඩනැගූ පසු එහි ඒකරාශී කරන බලය පෙරළීම ලේසි නැත. එවිට එයට ගල් ගසන්නෝ එහිම ගොදුරක් වනු ඇත. අද විමල්ට, ගම්මන්පිලට සිදුව ඇත්තේ යන එන මං නැතිවීමය.
විස්ස ගෙනා පසු විමල්, ගම්මන්පිල එයට විරුද්ධ විය. මහින්දත් ඊට පොහොර දැමීය. විමල්, ගම්මන්පිල ලණුව කෑහ. එහෙත් අද වන විට එම විරෝධ නිකං පුස්සක් වී ඇත. අනෙක් අතට අප අමතක නොකළයුත්තේ විමල් සහ ගම්මන්පිලද රාජපක්ෂලාගේ ඕනෑම අසූචි වළක් සුද්ධ කරන කුලීකාරයන් බවය. ඔවුන්ද මේ කරනුයේ ජනතාව අන්දන මජරි වැඩක් විය හැකිය. රාජපක්ෂලාගේ ඕනෑම දෙයකට එහෙයි කියන වීරවංශ සහ ගම්මන්පිලට විස්සට එරෙහි වන්නට කිසිදු සාධාරණ හේතුවක් පෙනෙන්නට නැත. මේ විස්ස මේ අයටම ගැළපෙන ලියවිල්ලකි. මේ අයගේ විරෝධය බොරුවක්ම විය යුතුය. පසුගිය කාලයේ මේ අය කීවේ තමන් විපක්ෂයේ භූමිකාවද ඉටු කරන බවය. මේ එම ව්‍යාජ භූමිකාව විය යුතුය. විස්ස හොඳයි කියා නාමල් කියන විට මහින්ද එයට ඒ තරම් කැමති නැතැයි සිතීම මුලාවකි.
විපක්ෂය මේ මුලාවේ උපරිමයට වැටුණේය. ඒ අය විස්සට විරුද්ධ වීම වෙනුවට මහින්ද බේරා ගැනීමේ සටනක් බවට එය පෙරළා ගත්හ. රාජිත විමල්ගේ බොරුවට රැවටී තම පිලට එන්නැයි ආරාධනා කළේය. කොටින්ම විස්ස ජය ගැනීම මහින්ද සහ විමල්ලා ලවා කර ගන්නට උත්සාහ කළේය. එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? සද්දයක් නැතිව විස්ස සම්මත වන ලකුණුය.


විමල්ගේ කැටපොලු සේනාව විස්සේ දොස් ලෙස දැක්කේ විදෙස් පුරවැසි භාවයය. එය බැසිල් ඉලක්ක කොට ගත්තක් බවට නොයෙක් මතවාද මතුවිය. ඒවා අමු කෙප්පය. විමල්ට, ගම්මන්පිලට නොව එම කණ්ඩායමේ කිසිවකුට බැසිල්ට නොව චිචිටවත් එරෙහි විය නොහැකිය. ඒ තරමට ඒ අය රාජපක්ෂ ගැත්තෝය. මේ යථාර්ථය වටහා නොගෙන ආණ්ඩුවේ අය ඉඳහිට කරන සෙල්ලම් වැඩ දෙස බලා සිටින කල පෙරහැර ගොස් අහවරය.


විදුර වික්‍රමනායක වැනි අයෙකු කියන කරන දේ මහා ඉහළින් වනන අය ප්‍රාථමික ආශාවක් වින්දද විදුර කරනුයෙත් ඒ අයට අවැසි ප්‍රාථමික ආශාව සැපයීම විනා වෙන කිසිවක් නොවේ. මේ සියල්ලම විස්සට අත ඔසවනවා නියතය. මේ හැම විරෝධතාවක්ම හදා නඩත්තු කරනුයේ රාජපක්ෂලාය. විස්සේ විරෝධය වුව ප්‍රබලවම සමාජයට පෙනුණේ ආණ්ඩුව ඇතුළේ විරෝධයය. විපක්ෂයේ අය එයට විසිල් ගැසීම් සහ හුරේ දැමීම් කළා පමණි. අවසානයේ සියල්ල අධිකරණය ළඟ නතර විය. අධිකරණයට මේ කරුණුවල අනාගත ව්‍යසනය වැඩක් නැත. ඒ අය බලනුයේ ජනමත විචාරයකින් විසඳාගත යුතු වාක්‍ය ඇද්ද නැද්ද යන්නය. ඒවා එවිට පෙන්වා දීම පමණි. ජනමත විචාරය යනු නැවත ජනතාව ගොනාට ඇන්දීමය. එය මේ රාජපක්ෂ නඩය අපූරුවට කර නොගනීද? එවිට විමල් ගම්මන්පිල වේදිකාවේ විස්සට අනුමැතිය ඉල්ලා මොර නොදෙත්ද? විදුර තම ප්‍රදේශයේ ජනතා කැමැත්ත නොඉල්ලයිද? මේ නාඩගම් වටහා නොගැනීම විපක්ෂය කරන මහා බොරුවය. ඔවුන් බලනුයේ මොකද්ද එක වැටෙනකම් බලා ඉන්නවා සේ ගෝඨා, මහින්ද, බැසිල් විරසකව පිරමීඩය දෙබෑ වී නැවත බලය පහසුවෙන් ගතහැකි බවය. ඒ පහසු හීනය 2015දී ලැබූ තරම් පහසුවට නම් ආයේ නොලැබෙනු ඇත.


ඒකාධිපති


ඒ අනුව ගෝඨාගේ ඒකාධිපති ස්වරූපය වටහාගතයුත්තේ රාජපක්ෂලාගේම ඒකාධිපති ස්වරූපයක් ලෙසය. එදා රාජපක්ෂලා වැරදියි, හොරුය කියා කියූ යහපාලනය අද ශානි අබේසේකර සහ එෆ්.සී.අයි.ඩිය පිට සියල්ල පටවා ඇඟ බේරා ගනිති. එදා යහපාලන පිටුපස සිටි ශක්තිය මෙරට යහපාලනයක් උදාවිය යුතු යැයි සිතූ අයය. ශානි පක්ෂව හෝ ඉටු කරන්න බැලුවේ ඒ සාධාරණයය. එහෙත් අද ඔහු තනිවී ඇත. සිරිසේන හේමසිරි, පූජිත් හිරකර ඇඟ බේරා ගන්නා සේ රනිල් කරනුයේ ශානිව සහ එෆ්සීඅයිඩී එක බිල්ලට දී ඇඟ බේරා ගැනීමය. මේ තක්කඩි දේශපාලනයෙන් අවසානයේ සිදුවූයේ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂලාව නැවත ජනතාව නාවලාම ගෙට ගැනීමය. දැන් ඒ වැඬේ නරක ප්‍රතිවිපාක නැවත විඳිනුයේද ජනතාවමය. මේ විපක්ෂ හෝ දේශපාලකයන් නොවන බව ජනතාව තේරුම් ගත යුතුය.


එහෙත් විමල්, ගම්මන්පිලලා මෙන්ම රාජපක්ෂ පවුල තරම් පවුලක් නැතැයි සිතන ගැති මිනිසුන් කොටසක්ද මෙරට සිටීම අභාග්‍යයය. ඒ අයට රාජපක්ෂලාගේ කස පහර පවා රස අහරකි. ඒ තරමට රාජපක්ෂලා මේ රටේ බහුතර ජනතාවකට ජාතිය, ආගම යන විස එන්නත් කොට අවසන්ය. මේ දෙකටම හැකිතාක් වින කළේද මේ රාජපක්ෂලා බව සිතන්නට ජනතාව අසමත්ය. අද බුද්ධාගම අන්තයටම පිරිහී ඇත්තේ ඇයි? ඒ රාජපක්ෂ සාදුලා නිසාය. ඒ අයගේ රාජපක්ෂ දහම නිසාය. බුදුන් වෙනුවට මේ දේශපාලන සාදුලා වගා දිගා කළේ මහින්ද දහමය. අද බලහත්කාරයෙන් බුද්ධාගම එන්නත් කර ඇතත්, එහි ඇත්තේ කොතරම් හරසුන් බවක්ද? ජාතිය පිළිබඳ පොවා ඇති විසෙන් ඇති වාසිය මහින්දලාට ඡන්ද ලැබීම හැර වෙන කුමක්ද?


මේ පිළිල කපා දැමීම සජිත්ට කළ හැකි දෙයක් නොව එය ජනතාව දැනුවත් කිරීමෙන්ම කළ හැකි දෙයකි. ඒ සඳහා කරු හෝ සජිත් කරමත නැග කළ හැකි නොවේ. එලෙස එක්වන අය අවසානයේ කර ඇත්තේ ආණ්ඩු පිහිටුවා තමන් ඊට වඩා කෙරුමන් වීමට වලිකෑමය. යහපාලන කාලයේ පුරවැසි බලය, පුරවැසි සංවිධාන, සාධාරණ සමාජ සියල්ල කළේ එයය. අද වියත් මග කරන්නේද එයමය. යුතුකම කළේද එයමය. රාජපක්ෂ පිළිලය පරාජය කරන්නේ නම් අවංක ජනතා උවමනාවක් ඕනෑ කෙරේ. එය ඇත්ත මිනිස්සු, ළඟ ඇති මාලිමාවෙන්ද කළ හැකි නොවේ. එසේ නම් කෝ මිනිස්සු? සොයාගත යුත්තේ ඔවුන්වය. මේ සිටින අයගෙන්මය. නැවත විකිණිය යුත්තේ මේ මළ මිනිසුන්මය. වැඬේ අන්තිම අමාරුය. එයට දේශපාලනය කරන අය පෙරමුණ ගත යුතුය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here