Home ලේඛකයෝ නිමල් අබේසිංහ විනයක් නැති රටේ කොවිඞ් පාලනය අයාලේ යයිද?

විනයක් නැති රටේ කොවිඞ් පාලනය අයාලේ යයිද?

0
30

නිමල් අබේසිංහ

”මධ්‍යම පළාතේ තවත් රෝහල් 18ක් කොවිඞ් ආසාදිතයන් වෙනුවෙන් වෙන් කිරීමට වෛද්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටී.”

”ගම්පහ දිසාවේ රෝහල්වල කොවිඞ් රෝගීන් සඳහා ප‍්‍රමාණවත් ඉඩකඩ නොමැති බැවින් අත්හැර දමන ලද කර්මාන්තශාලාවක් ප‍්‍රතිසංස්කරණ කර නව කොවිඞ් රෝගීන් සඳහා වෙන් කිරීමට කටයුතු යොදන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මාධ්‍යයට පවසා ඇත.”

කොවිඞ් රෝගීන් වෙනුවෙන් වෙන්කරන ලද හෝමාගම රෝහල් කොවිඞ් රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ. මේ කොවිඞ් නැති නම් කොරෝනා වෛරසය ආසාදිතව මෙරට රෝගීන් සංඛ්‍යාව ඉහළ යද්දී මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබුණ තොරතුරු බිඳකි.

සංඛ්‍යා ලේඛන වශයෙන් ගතහොත් අපේ‍්‍රල් 28 වැනි දින වන විට රට තුළ ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 104953කි. සමස්ත මරණ සංඛ්‍යාව 661කි. ඒ සුවවී නිවෙස්වලට ගිය සංඛ්‍යාව 85083කි. දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව 1451කි. ඒ අපේ‍්‍රල් 28 වන දින දීය. ඒ අතරේ දස දහසක් පමණ දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටිති. පවතින්නේ සුළු පටු තත්ත්වයක් නොවන බව මෙයින් පැහැදිලිය.

අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය ගැන සලකා බලන විට ඇතැමෙකුට මෙය සරල ලෙස දකින්නට හැකි වුවද එය ලඝු කොට සැලකිය යුත්තක් නොවන්නේ වෛරසය පැතිරීමේ වේගය වැඩිවෙමින් පවතින පසුබිමකය. මෙකී තත්ත්වයක් ඇතිවූයේ ඇයි? පළමුවැන්න සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර එවැනි තත්ත්වයක් මතුපිටින් පෙනෙන්නට නොතිබුණි. එයට නිශ්චිත හේතුවක් නැති නමුදු පෙර සේ ඇන්ටිජන් පරීක්ෂාවන් හෝ පීසීආර් පරීක්ෂණ නිසි අයුරින් සිදු නොවුණ බවට හා හූවක් පවතී. එය එසේ වූවාද නැද්ද යන්න නිසි ලෙසම දන්නෝ ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුත්තන්ය.

කෙසේ වුවත් කොරෝනාව පසෙක තබා ජනතාවගේ සිත් වෙනතක යොමුවීමේ සංසිද්ධීන් කිහිපයක් මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවීය. ආණ්ඩුවද මේවාට උඩගෙඩිදී තාවකාලිකව හෝ තම දුර්වලකම රටේ ජනතාවගෙන් වහන් කරගැන්මට මේවා ප‍්‍රයෝජනයට ගත්තේය. විවාහක රූ රැජිනගේ කිරුළ සම්බන්ධ සිද්ධිය මින් එකකි. කොරෝනා ගැන වගේ වගක් නැතිව බොහොමයක් දෙනා ඉන් ප‍්‍රහර්ෂයට පත්වූහ.

අවුරුදු සමයේ අවුරුදු උත්සව එතරම්ම දැකගන්නට නොහැකි වුවත් අනුරාධපුර, කතරගම හා නුවරඑළිය ප‍්‍රදේශවලට රටේ අනෙක් ප‍්‍රදේශවල ජනී ජනයා එක් රැස්වූහ. මෙහි ඇති අනතුරුදායක බව ගැන රටේ පාලකයන්ට වගේ වගක්වත් නොතිබුණි. එලෙසම අවුරුද්දට පෙරම මහරගම වැනි ඇඟලූම්වලට ප‍්‍රසිද්ධ ප‍්‍රදේශවලත්, කඩ සාප්පුවලත් මිනිස්සු හැසිරුණේ කොරෝනා රෝගයක් මෙරටෙහි තිබුණද යන්න ගැනවත් නොසිතමිනි. පාලකයන්ගේ නිද්‍රාශීලීභාවය නිසාම මිනිසුන්ටද ඒවාට කිසිදු අවහිරයක් හෝ මාර්ගෝපදේශනයක්ද සිදු නොවිණි. මෙකී කරුණු කාරණා නිසා අද රටට අත්විඳින්නට ඇත්තේ ඉතාම අමිහිරි සහ කටුක අත්දැකීමකි. එය කොතනින් කෙළවරවේදැයි සිතා ගන්නටවත් නොහැකි තරම්ය.

බෝවන රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රාමාණික දැනුමක් ඇති සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උදවිය දෙන උපදෙස් අනුව ක‍්‍රියා කරන්නට පවා තවමත් ආණ්ඩුව සූදානම්ද යන්න පවා තවමත් නොපෙනේ. එසේ නොවීම කනගාටුදායකය. ජනතාවගේ පාර්ශ්වයෙන් වුවද තම වගකීම් සහ යුතුකම් මේ වාතාවරණය තුළ නිසි ලෙස ඉටුකර නැති බවද එය බෙහෙවින් නොසලකා හැර ඇති බවද මෙහිදී අවධාරණය කළ යුතු වේ.

ලෝකයේම කොරෝනා ගිල ගනිද්දී එක් පුංචි රටක් පමණක් මේ වනවිටත් එයට සාර්ථකව මුහුණදෙමින් සිටී. ඒ වියට්නාමයයි. උත්තරීතර ආගමික නායක දලයි ළාමා තුමා පවසන්නේ එයට හේතුව රටේ විනය බවය. අපේ වත්මන් නායකකාරකාදීනුත් පාලනය අත්පත් කරගන්නට පෙර පැවසුවේ විනයක් ඇති රටක් ගැනය. පාලකයන්ටවත් විනයක් නැති මේ රටේ වැසියන්ට විනයක් තිබෙන්නට හැකිද?