විමලනාත් වීරරත්න

වයින් ස්ටෝර්ස් විවෘත කළ සැප්. 18දා ඒවා ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණි. එම පෝලිම් දුටු ඇමති රෝහිත අබේගුණවර්ධන එදින මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබුණේ ජනතාව ආණ්ඩුවෙන් රුපියල් දෙදහස ඉල්ලුවාට, කන්න නැති බව කිව්වාට අරක්කු බීමට මුදල් තිබෙන බව දිගු පෝලිම්වලින් දකින්නට ලැබුණු බවය. එය බැලූ බැල්මට ඇත්තක් විය හැකි යැයි සිතුණත්, ග්‍රාම නිලධාරි වසමක වැසියන් 1500ක් සිටිනවා නම් ඉන් සිය දෙනෙකු මීටරයකට ආසන්න පරතරයක් තබාගෙන අරක්කු පෝලිමේ සිටියත්, පෝලිමේ දිගු බව පෙනෙයි. ඒ සමඟම පෝලිමට නොපැමිණි 1400 සහ ළමා ළපටීන් ඇමතිට නොපෙනෙයි. මේ තත්ත්වය තුළ අරක්කු පෝලිමේ සිටින ප්‍රමාණය ග්‍රාමසේවා වසමේ සිටින ජනයාගෙන් දළ වශයෙන් 6.6%කි. සියයට අනූ හතරක් එම පෝලිමේ නැත. එබැවින් බීම සඳහා ජනතාවට මුදල් ඇතැයි යන්න වැරදි සමාජගත කිරීමකි.


කරෝල කටු කන සමාජයක්


මේ කාලය වන විට බොහෝ දෙනකුගේ රැකියා මාර්ග අහිමි වී තිබේ. නිදසුනක් ලෙස අතුරු මාර්ගවල දුවන පුද්ගලික බස්රථවලින් යැපුණු පිරිසට කිසිම ආදායමක් නැත. කුලී වැඩක් නැත. රියදුරන් හා කොන්දොස්තරවරුන් වැඩ තිබුණු කාලයේ නම් සවසට ගල් කාලක් හා කුඩා බීර ටින් එකක් බොති. සිගරැට්ටුවක් හා වඩේ එකක් ගත් විට එම පැකේජයට රුපියල් 700/-ක් වැය වෙයි. දැන් එය කළ නොහැකිය. අරක්කු බීමට තබා ගෙදර කෑමට හාල් තුනපහේ ටික සපයා ගැනීමත් මහත් අසීරු කටයුත්තක් වී ඇත. එම තත්ත්වය තුළ දෙදහසක් නොව රුපියල් දහසක් කවරකු හෝ දුන්නත් එය ඔවුන්ට වටී. මාළු, මස් ආහාරයට ගැනීමක් ගැන සිතිය නොහැකිය. මාළු ගිනි ගණන්ය. මාළු ගණන් නිසා කරවල පරිභෝජනය කළ හැකිද? කරවල ඊටත් වඩා මිල අධිකය. කට්ටා කරවල ග්‍රෑම් 100ක් රු. 250/- ඉක්මවයි. ඒ නිසා මේ දිනවල ජනතාව කන්නේ කරවල නොව කරෝල කටුය. කරවල කටු කැබලි හා වරල්වලට ආසන්න කොටස් කූඩයක ගොඩ ගසා ග්‍රෑම් 250ම රු. 150/-ට විකිණෙයි. ඉන් කැබලි ස්වල්පය බැගින් දමා තුන් වේලක් පමණ හොදි හදාගෙන කෑමට ගත හැකිය. ඊට මාළු මිරිස් කරල් දෙක තුනක් සිහින්ව කපා දමා ගත් විට කරිය රසවත්ය. රෑට බඹර පදමට ගසා ගෑනුත්, මිතුරනුත් රැගෙන පිස්තෝල කරකවමින් එල්ලුම් ගස බලන්නට යන ඇමතිවරුන් සිටින රටක ජනතාව කන්නේ කරවල කටුය. ජනපතිට මේවා ගැන කම්පාවක් ඇතිවන්නේ නැද්ද? බාර් ඇරියේ කරවල කටු කන එවුන්ට අරක්කු පොවන්නද?


දූෂණ මාෆියාව


ඉතාම නරකම ආකාරයට රට දූෂිත වී තිබීම පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීමේ පටන් ඊට පෙර එවැනි ආසන්න සිදුවීම් කිහිපයෙන් ප්‍රකට වෙයි. වෙනදාට එවැනි දේ පිළිබඳ නිශ්චිතම සාක්ෂ්‍යය නැති වුවත් සුදුළුෑණු හොර පාරේ යාමෙන් පමණක්ම රටේ ප්‍රධානම පුද්ගලයන්ගේ ඊට ඇති සම්බන්ධතාව තුෂාන් ගුණවර්ධන නොවලහා පෙන්වා දුන්නේය. ඒ ගැන ජනපතිටත් දැනුම් දී තිබෙන නමුත් පියවරක් ගැනීම සිදු නොවූ බවද ඔහු කියා තිබුණි. ජනාධිපතිටත් එම දූෂිත මාෆියාව මැඬපැවැත්විය නොහැකි නම් ඔහු මේ රටට තවදුරටත් නායකත්වය දෙන්නේ කෙසේද? අගමැති විසින් පී.බී. ජයසුන්දරව ජනාධිපති ළඟ ස්ථානගත කිරීමේ වැඩපිළිවෙළෙහි සිටම ජනපති උගුලකට හසුවූ බව පැහැදිලිව පෙනුණි. වියත්මගේ අත්දැකීම් අඩු ළාබාලයන්ට ජනපති ගලවා ගන්නවා තබා ඒ ගැන සිතීමත් එතැන් සිට උගහට විය. රටෙහි අතිබහුතරයක් මහජන නියෝජිතයන් තමාට නිවසක් තිබියදී පවා ගෙවල් කුලිය ආණ්ඩුවෙන් ගැනීමේ සිට බිරිඳ හෝ දරුවෙකු පුද්ගලික ලේකම් ධුරයට පත්කර ගැනීම බාර් ලයිසන්, පස්, වැලි ගැරීමේ බලපත්‍ර හිමිකර ගැනීම මෙන් ම මුළුමනින්ම දේශපාලනය බඩජාරී රස්සාව බවට පත් කරගෙන සිටින තත්ත්වය තුළ සුදුළුෑණු ප්‍රශ්නය, වී, සීනි, පොල්තෙල්, කැලෑ කැපීම, කොළඹ ඉඩම් විකිණීමට පිඹුරුපත් හැදීම දක්වා සියල්ල අද වන විට මෝය කටින් මුහුදට යන පොල්මුඩු තත්ත්වයට පත්ව තිබේ. රෝහිත අබේගුණවර්ධන කියන අයුරින් එක් ග්‍රාම සේවා වසමක සිටින ජනයාගෙන් 6%ක් ඉහත කී අරක්කු පෝලිමේ සිටිය හැකිය. එම පෝලිමට එන්නට නොහැකි කරෝල කටුකාරයන් සීනි ටිකක් ගෙන හැලියේ පෙරන අමිහිරි පානයකින් සන්තර්පණය වන්නට පුළුවන. ලැබෙන රුපියල් පන්සීය, දාහ, දහඅතේ කල්පනා කර වියදම් කරන පිරිස් ඒ සියල්ලන් අතර රටෙහි වැඩි බවද කිව හැකිය. ඒ, රට වැටී තිබෙන ආර්ථික අගාධයේ ප්‍රතිඵලය. දුප්පත් සෑම මිනිසකුටම පොහොසතකු විය නොහැකිය. රෝහිත දුප්පතකුව සිට පොහොසතකු වූ අයුරු පියවරෙන් පියවර අපට පෙන්වා දිය හැකිද?


වාහන ආනයනය සඳහා අගමැති කැබිනට් පත්‍රිකාවක් දැම්මේ කොවිඩ් අර්බුදය මැද්දෙහිය. මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරන බව කිව්වාට ඔවුන්ගේ යැපීම් දීමනා ලෙස රටේ මහජන මුදල් තව කොපමණ වැය කෙරෙනවාද? දේශපාලනඥයන් ජනතාවට උපදෙස් දෙන්නේ කකුළු ගමනක යන ගමන්ය. එම වරප්‍රසාද රහිතව මහජන සේවාව කිරීමට ව්‍යවස්ථානුකූලවම නියමයක් පැනවුණහොත් ජනපති හා අගමැති පවා මෙම තනතුරුවලින් ඉල්ලා අස්වී ගෙදර නවතිනු ඇත. එසේ වුවහොත් මහජන සේවය උදෙසා ප්‍රතිලාභ අපේක්ෂා නොකරන පිරිසකට රටේ පාලනය භාරවීමේ ඉඩක්ද පවතී.


අලි වැටද? මං තීරුද?


රටෙහි අලි මිනිස් ගැටුම මේ වන විට උග්‍ර තත්ත්වයකට පත්ව තිබේ. ඉකුත් සතියේ දිනක හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමක දුප්පත් තාත්තා කෙනකු තම දරු තිදෙනාත් බිරිඳත් අලියාගේ ප්‍රහාරයෙන් බේරා ගැනීමට, ගෙට පිනූ අලියාගේ හොඬය මැද්දට පැන්නේය. ඒ පාන්දර වනතුරු අලි එලවීමට අවදියෙන් සිට නිදා ගත් ඇසිල්ලේ අලියා පැමිණ සිදු කළ ප්‍රහාරයකදීය. එම පුද්ගලයා අලියාගෙන් ඇට කටු කඩාගෙන පණ බේරා ගත්තේය. අලියා සමග පොරට වන් පියා නිසා අඹු දරුවෝ දිවි ගලවා ගත්හ. පැල්පත කුඩු පට්ටම් විය. වරිච්චි බිත්ති පස්ගොඩක් බවට පත්ව තිබුණි. වල් සපුගල අලි රක්ෂිතය ගැසට් කර අලි වැට සක්‍රිය කරන ලෙස ඉල්ලා ගොවීහු මාස ගණනක් උද්ඝෝෂණය කළහ. පාලකයන් නෑසු කන්ව සිටියහ. පාලකයන්ට ඇවිදින මං තීරු හැදීමට ඇති උනන්දුව ජීවිත බේරා ගැනීම පිණිස අත්‍යවශ්‍ය අලි වැට හැදීමට නැත. ඒ මොකද? අලි වැටෙන් ලාභයක් නොලැබෙන නිසාද? ලාභයක් ලැබෙන ක්‍රමයකට හෝ අලි වැට ඉදිකර අලි නිසා දුක්ඛිත තත්ත්වයට පත්වූ මිනිසුන්ගේ දිවි රැක දීම වැදගත්ය.


පරාක්‍රම සමුද්‍රය වටා ඉදිකිරීමට යෝජිත මංතීරුවට මිලියන තිස්පහක් වෙන් කර ඇති බව සඳහන් විය. මං තීරු හදන්නේ ඒවායේ ඇවිද ශරීර සෞඛ්‍යය යහපත් කරගනු පිණිසය. සෞඛ්‍ය යහපත් කරගැනීමට පෙර ජීවිත බේරා ගෙන සිටිය යුතුය. එබැවින් මං තීරු හදන මුදලින් අලි වැට ගසා සක්‍රිය කර දිය නොහැකි ඇයි?


විනෝදයෙන් සිටීම


ජනපතිවරයා වටේ සිටින කිසිවෙක් මේවා ඔහුට පෙන්වා දෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් දවසේ පුවත් සම්පිණ්ඩනය බලනවා නම් ජනපතිට වුව කිසිවෙක් මේවා ඇඟිල්ලෙන් ඇන පෙන්විය යුතුම නැත. ප්‍රවෘත්තිකාරයෝ ආණ්ඩුවට පහර දෙන අරමුණකින් හෝ පෙන්වා දෙන ඇතැම් පුවත් වැදගත්ය. ඒවා ජනතාවගේ දැවෙන ප්‍රශ්නය. ජනපති රාජ්‍ය මාධ්‍යයේ යන සංවර්ධන පුවත් පමණක් බලා තුටු පහටු වී සිටිනවා නම්, එම නොකල්පනාවෙන් රටට වැඩක් නැත. එන්නත්කරණය, කොවිඩ් මර්දනය වැනි ප්‍රධාන ප්‍රශ්නවලට මැදිහත්වීමට ඔහුට කාලවේලාව අවශ්‍ය බැවින් සෙස්සන් අලිවැට, අගල් කැපීම, පොහොර, බිත්තර වී, සීනි, හාල් වැනි අනුෂාංගික ප්‍රශ්න කෙරෙහි උනන්දු විය යුතුය යනුවෙන් ජනපති කිව හැකිය. එය එසේ නොවේ යැයි අපි නොකියමු. එහෙත් ප්‍රශ්නය වන්නේ අදාළ විෂයභාර ඇමතිවරුන්ගෙන් ඒ ඒ කර්තව්‍යයන් ප්‍රමාණවත් ලෙස නොවීමය. රජය කරන්නට යන සෑම කටයුත්තකටම පාහේ එරෙහිව විරෝධතා මතුවන්නේ එම යාන්ත්‍රණයෙහි බරපතළ දෝෂ පවතින නිසා බැව් ජනපති කල්පනා කළ යුතුය. වෙළෙඳ ඇමති, කෘෂිකර්ම ඇමති ළඟ ළඟම ඇති උදාහරණ වෙති. ලොහාන් තරම් සෙසු ඇමතිවරු පයිත්තියම් වැඩ කරනවා යැයි කිව නොහැකි නමුත් ඒ බොහෝ දෙනෙක් ජනතා ප්‍රශ්න කෙසේ වෙතත්, තම තමන්ගේ විනෝද දිවියට ඉඩකඩ සලසා ගනිති. ඔවුන්ට විනෝද සයුරේ පිහිනීමට ඩොලර් හිඟය, අලි ප්‍රශ්නය, කාබනික පොහොර ගැටලුව, සුදුළුෑණු පොඩිවීම, මතු නො ව කොවිඩ් පවා ඒ සා බාධාවන් නොවේ. එල්ලුම් ගස බලන්නට මහ රෑ යන්නේත් ඇමති සහ මිතුරෝ විනෝදයේ උච්ච අවස්ථාවට පත්වූ විටය.


යාං හෑලි


එක්සත් ජාතීන්ගේ සමුළුවට ගොස් රටෙහි අභ්‍යන්තර යාන්ත්‍රණයකින් ජාතික අර්බුදය විසඳා ගන්නා බවට ජනපති, අන්තෝනියෝ ගුටරෙස්ට කිව්වත් සැබැවින්ම ඔහු ජාතික අර්බුදය යනුවෙන් දෙයක් ඇතැයි යන්නවත් පිළිනොගන්නා නායකයෙකි. රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදාය තුළ ඔහු එවැනි දේවල් කියනු ඇත. එහෙත් ඒවා කටින් බතල කොළ සිටුවීම බඳුය. ජනාධිපතිවරයා හමුවූ එක්තරා අවස්ථාවක මම ජාතික අර්බුදය විසඳීම සඳහා උතුරේ ජනයා සමග ඔබ සමීපව කටයුතු කිරීමට මග පාදා ගන්නේ කෙසේදැයි ජනපතිගෙන් විමසීමි. ඔහු පිළිතුරු ලෙස කීවේ එම කටයුතු බලා ගැනීම සඳහා ආරක්ෂක ලේකම් ලෙස කමල් ගුණරත්න පත් කර තිබෙන බවය. එවිට ජාතික ප්‍රශ්නය විසඳන්නේ කමල් ගුණරත්නදැයි මම ඊළඟට නොවිමසීමි. ඒ ජනාධිපතිවරයාට මල පැනීමට ඉඩ තිබෙන නියාව දැනගෙනය. මෙවැනි පටු කල්පනාකාර නායකයකු වන ජනපතිවරයා ගුටරෙස්ට කියන්නේ ඇත්තක් නොවේ. යාන් හෑල්ලකි.

හිතුවක්කාර ගති ප්‍රදර්ශනය කරන ජනාධිපතිවරයාට අනුකාරක ඇමති මණ්ඩලයකුත් සමග තව කොතෙක් කල් ගත කළත් ජාතික ප්‍රශ්නය තබා මොනම ප්‍රශ්නයක්වත් විසඳිය හැකිදැයි යන්න සැකසහිතය. අපි රටක් ලෙස මේ ඛේදවාචක තත්ත්වයෙන් ගොඩ එන්නේ කෙසේද? ප්‍රශ්න කරමින්, විග්‍රහ කරගනිමින් සිටියාට වැඩක් නැත. මේ ප්‍රශ්නවලට රටක් ලෙස පිළිතුරු සොයා ගත යුතුව ඇත. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here