සංවාද සටහන – ශාන්ති දිසානායක

ධර්මසිරි දරුවාගෙන්ම අපි කතාබහ අරඹමුද?


බොහොම කැමැත්තෙන් මං අතීතයට යනවා. ඒත් ඒක දීර්ඝ හා වෙහෙසකාරී චාරිකාවක්. දුක්ඛ දෝමනස්සයන්ගෙන් ගහණ. සුන්දරත්වයත් දැවටුණු.


මම උපන්නේ කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ වෑවිට ගම්මානයේ. මගේ අම්මාගේ පියා ඒ කියන්නෙ මගේ සීයා සශ්‍රීක ව්‍යාපාරිකයෙක්. පාරු කුලියට දෙන පාරු අයිතිකාරයෙක්. ලී කොටන් පටවාගෙන මීගමු කළපුවෙන් එහාට යනවා සීයාගේ පාරු.


මගේ තාත්තා කැලණියේ කිරිබත්ගොඩ ව්‍යාපාරිකයෙක්. තාත්තා කාර් කුලියට ලබා දෙනවා. ඒ වගේම ඔරලෝසු අලුත්වැඩියා කරන කාර්මිකයෙක් ඔහු ළඟ වැඩ කරනවා. බණ්ඩාරනායක කළුකපුගේ කරුණාරත්න පෙරේරා.


මම මේ පෙළපත් නම විස්තර කරන්න ඕන. සීතාවක රාජසිංහ රජු පීතෘ ඝාතකයෙක්. ඒ නිසාම ඒ පාපයෙන් නිදහස් වෙන්නෙ කොහොමද කියලා හොයා බලන කොට උපදෙස් ලැබුණා දකුණු ඉන්දියාවේ ආගමකින් ඒ දේ කරගන්න පුළුවන් කියලා. ඒක අදහන අය නීලපෙරුමාල්ලා. ඉතිං රාජසිංහ රජ්ජුරුවෝ නවගමුව දේවාලය භාර දුන්නා ඒ නීලපෙරුමාල්ලාට. හින්දු දේවාලයේ විෂ්ණු දෙවියන්ට ආවතේව කරන අය කළුකපුගේලා මගේ සීයා දක්ෂ නැට්ටුවෙක් හා කපු මහත්මයෙක්. ලේක්හවුස් එකේ දිනමිණේ සහකාර කර්තෘ වුණු කේ.එන්. පෙරේරා කියන මගේ බාප්පා තමා බවදුක නවකතාව ලිව්වේ. එය මගේ සීයාගේ පවුලේ කතාව.


මම අපේ පවුලේ මද්දුමයා. අයියයි, මල්ලියි, මායි අතරට එන්න හිටි නංගි උපතේදීම මියගියා. රෝහලේදී නර්ස් අම්මට ළමයා පෙන්නන්න ගෙනාවලු. ලස්සන තොප්පියක් දාගත්තු ඇස් දෙක පියාගත්තු බබෙක්.
මගේ අම්මා ගමගේ විමලාවතී පෙරේරා.


අයියයි, මල්ලියි එක්ක ධර්මසිරි ළමයාත් ඉස්කෝලෙ යන්න ඇති.


ඔව්. අපි ගියේ වාද්දුවේ පිරිමි ළමයින් වෙනුවෙන් තිබුණු ඉස්කෝලෙකට. වාද්දුවේ පිරිමි පාසලකට. තාමත් මතකයේ තියෙන්නෙ මම ගණිතයට දැක්වූ දුර්වලකම. ඇත්තම කියනව නම් මට ගණිතය අරහං. ඒ එක්කම දහම් පාසලේදී ලොකුම හා ලස්සනම මල් වට්ටියට හිමි තෑග්ග දිනාගත්තේ මමයි. ඒ තෑග්ග දිනාගන්න මම ලොකු වෙහෙසක් දැරුවා. මල් හොරෙන් කැඩුවා. නමුත් මල් හොරාට දඬුවම් ලැබුණේ නම් නෑ. හැබැයි අරලිය මල් කඩද්දි ඇහැට කිරි වැටෙන එක නම් දරුණුම දඬුවමක්. මොහොතෙකට ඇස් අන්ධ වෙනවා, දරන්න බැරි දැවිල්ලත් එක්ක.


ගණිතය අරහං වුණත් ඔබ සාමාන්‍ය පෙළ සමත් වෙනවා.


මෙහෙමයි. මට ඕන වුණා කලාකාරයෙක් වෙන්න, මගේ සීයාගේ නැටුම් දැකලම. ඉතිං සාමාන්‍ය පෙළ සමත්වෙලා වෙනත් පාසලකට ගියොත් විතරයි මගේ හීනය සැබෑ කරගැනිල්ල කෙසේ වෙතත්, ඒකට ළං වෙන්නවත් පුළුවන් වෙන්නේ කියලා මට හිතුණා. මම උසස් පෙළ කරන්න තෝර ගත්තේ හොරණ විද්‍යාරත්නයේ. ඒකට ගියොත් කලාකාරයෙක් වෙන්න පුළුවන් කියලා මම දැඩිව විශ්වාස කළා. කොහොමහරි උසස් පෙළට පෙනී සිටියත් විභාග ප්‍රතිඵල කොfාහමද කියලා මම අදටත් දන්නේ නෑ.


ඒ ඇයි?


ඒ පරම්පරාවට වැදුණු හෙණ ගෙඩි දෙකෙන් එකක් නිසා. ඒ තමා 71 කැරැල්ල. සරසවි සිහිනය බොඳ වුණා. කැරැල්ලේ තරුණ තරුණියන්ගෙන් සරසවි පිරුණා. ඒවා වධකාගාර හා රැඳවුම් මධ්‍යස්ථාන බවට පත්වුණා.


ඔබේ පරපුර මත පතිත වූ අනෙක් හෙණගෙඩිය මොකක්ද?


සිංහල රාජ්‍ය භාෂාව කිරීම. සිංහල භාෂා ප්‍රේමීන්ගේ බලපෑමට නතුවෙලා බණ්ඩාරනායක අගමැති ගත් ඒ අදූරදර්ශී හා අඥාන තීරණයේ ඵල විපාක අපේ රට අදටත් යහමින් භුක්ති විඳිනවා. ජාත්‍යන්තරයට දොර කවුලු විවර කරන ඉංග්‍රීසි බස උගැන්ම යටත්විජිත වහල්කම් හා ගැති හීන දීන භාවයේ ප්‍රතිබිම්බයක් නෙවේ. ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව ඉංග්‍රිීසිය ඉන්දියන් ඌරුවට හෝ පරිහරණය කරද්දී අපි ඉංග්‍රීසි නොදැන අතරමං වුණා. අපට ඉංග්‍රීසි බස ආභරණයකටත් වඩා කඩුවක්ම වුණා. ඉංග්‍රීසි නොදන්නා එකා කපා හෙළන අදටත් ඉංග්‍රීසි කතා කරන තැනක ඉන්න කොට හද ගැහෙනවා. ඒ සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් කළ අපරාධයට කිසිසේත් සමාව දිය නොහැකියි. මේ රටේ තිස් අවුරුද්දක යුද්ධයේ මූලය එතැනයි. මේ පොළොව ලෙයින් තෙමූ විනාශයක, ඛේදවාචකයක තිඹිරිගෙය එයයි.


රටේ හැල හැප්පිලි හා කැළඹිලි කැරලි කෝලාහල එක්ක ඔබේ ගෙදර පරිසරය කොහොමද? සන්සුන් හා සාමකාමී වුණාද?


නෑ. කොහෙත්ම නෑ. අම්මා වහා කෝපයට පත්වෙන නිතර බැණ අඬ ගහන කෙනෙක් වුණාට තාත්තාට අසීමිත ඉවසීමක් තිබුණා. ඇත්තම කියනවා නම් තාත්තා තරම් ඉවසන කෙනෙක් මම දැක්කෙම නෑ. ඔහු ඔරලෝසු අලුත්වැඩියා කළ නිසාම ඒ සා ඉවසීමක් හිමිවුණාද කියලා මට හිතෙනවා. කොහොම වුණත් තාත්තාගේ ඒ ඉවසීමට වඩා මගේ මතකයේ තිබෙන්නේ අම්මාගේ නුරුස්නා සහගත කෝපය. එයින් මගේ හද බිඳුණා. ඒ පීඩාකාරී මතකයේ අඳුරු සෙවණැල්ලෙන් අදටත් මට ගැළවීමක් නෑ. දෙමාපියන් කිසිවිටෙකත් දරුවන් ඉස්සරහ අඬ දබර කරගත යුතු නෑ කියලා මම හිතනවා. සාමකාමී බව තමා දරුවන්ට දිය හැකි අගනාම දායාදය. ඒ සාමය ඔවුන්ගේ ඉදිරි අනාගතයට ඉතා දැඩිව බලපානවා. ඉතිං එතකොට අඬ දබරත් එහෙමම තමා. මම දැනුත් කල්පනා කරනවා මගේ තාත්තා මගේ අම්මා එක්ක ඒ සා දීර්ඝ කාලයක් එක වහලක් යට ජීවත් වුණේ කොහොමද කියලා.


ධර්මසිරි තරුණයා රස්තියාදු ගහන්න පටන් ගත්තද?


අපොයි ඔව්. හැබැයි ඒ රැකියාවක් සෙවීමේ රස්තියාදුව. රැකී රක්ෂා කාර්යාලයේ ලියාපදිංචි වෙලා ඉන්ටර්විව්වලට යන්න පටන් ගත්තා. හුඟක් වෙලාවට සිද්ධ වුණේ ඉන්ටර්විව් බෝඞ් එකේ කට්ටිය මාව විහිළුවට ගත්තු එක. ඔවුන් මට හිනාවුණා. මම අසරණව අහිංසකව නිරුත්තරව හා තැතිගැන්මෙන් ඒ උසුලු විසුලු ඉවසා දරා ගත්තා.


ඔවුන් ඔබට හිනාවුණේ ඇයි?


ඒ වෙද්දි මම කලා කටයුතුවල නිරත වෙලා හිටියා. දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්මහ දීගේ චිත්‍රපටයේ වයස්ගත ගැහැනියකට පෙම් කරන ගැටවරයාගේ චරිතය රඟපෑවා. ඒ නිසාම තමා උසුලු විසුලු මැද්දේ වුණත් මට රස්සාව ලැබෙන්නේ. රබර් පාලන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් විදියට. ඒ 1971 ජූලි 2 වැනිදා.


රස්සාව හරි. එතකොට පරස්තාව?


පේරාදෙණිය සරසවියේ උපාධි අපේක්ෂිකාවක් එක්ක ප්‍රේමයෙන් බැඳුණා. ඇය පද්මාවතී වික්‍රමසිංහ. ඇගේ දෙමාපියන් විදුහල්පතිවරුන්. ඇගෙයි මගෙයි ප්‍රේමය කොතරම් බලවත් වුණාද කීවොත් මට ඇය නොදැක ඉන්න බැරි වුණා. ඇයටත් එහෙමමයි. දැක දැක ළඟින් ඉන්න නම් විවාහ වෙන්න ඕනි කියලා අපි දෙන්නම හිතුවා. ඉතිං හරියටම අවුරුදු 21න් මම විවාහ වුණා. දයානන්ද ගුණවර්ධනයන් තමා අපේ විවාහයට අත්සන් කළේ.


ඔබේත් ඇගේත් දෙපාර්ශ්වයෙන් විරෝධයක් එල්ල වුණෙත් නැති නිසා සියල්ල සතුටින් හමාර වුණාද?


නෑ. මගේ අම්මා දුවකට ඇලුම් කළ නිසා මගේ පෙම්වතිය පිළිගත්තා. නමුත් මගේ බිරිඳ දුවක් ලෙස දකින්න ඇයට හැකිවුණේ නෑ. නැන්දා ලේලි අරගලය මැද්දේ වුණත් අපි දිගටම මහගෙදරම හිටියා. මොකද මම නාට්‍ය වැඩවලවලට නිතර යනවා. ඉතිං මොන ගැටුම් මැද්දේ වුණත් මගේ බිරිඳට මගේ ගෙදර රැකවරණය තිබුණනේ.


රස්සාවයි, කලාවයි කරගෙන යාම අසීරු වුණේ නැද්ද?


ඒ රස්සාවා නිසාම තමා කලාව කරගත්තේ. ෆයිල් කවර අස්සේ හැංගිලා ඒ ලිපිකරු රස්සාවට පිංසිද්ධ වෙන්න ‘ඒකා- අධිපති’ වේදිකා නාට්‍යය කළා. ප්‍රධාන චරිතය රඟපෑවෙත් මම. ඒ හිට්ලර්, කණ්ණාඩි කුට්ටමක් ඕන වුණා. මට මතක් වුණේ මගේ ආච්චිගේ කණ්ණාඩි කුට්ටම.


ඔබ ආච්චිගෙන් ආදරයෙන් කණ්ණාඩි කුට්ටම ඉල්ලුවාද?


අනේ නෑ. දහම් පාසල් යද්දි මල් හොරෙන් කඩපු මට හිතුණා ආච්චිගෙන් ඉල්ලුවට මට දෙන එකක් නැහැ කියලා. ඉතිං මම හීන්සීරුවේ ඇගේ කණ්ණාඩි කුට්ටම හොරකම් කරන්නයි හැදුවේ. අවුරුදු අනූවක් වුණත් ආච්චිට ඇහුණ මම ලාච්චුව අරින සද්දෙ. මම තැති ගත්තා. මගේ අතේ ඇගේ කණ්ණාඩි කුට්ටම. ඇය මට බැන වදිනවා වෙනුවට “උඹට ඕන නං උඹ ඕක ගනින්” කිව්වා. එදා ඉඳන් අවුරුදු තුනක් ඇරුණම මේ දැනුත් මගේ ඇස් දෙකේ තියෙන්නේ ඒ කණ්ණාඩි කුට්ටම.


කණ්ණාඩි කුට්ටම අතුරුදහන් වුණේ කොහොමද?


එදා මෙදාතුර තවමත් මිනිස්සු අතුරුදහන් වෙන රටක කණ්ණාඩි කුට්ටමක් අතුරුදහන්වීම මහා ලොකු දෙයක් නෙමේ තමා. අවුරුදු තුනකට පස්සෙ මගේ කණ්ණාඩි කුට්ටම නැවත හමු වුණත් අපේ රටේ අතුරුදහන් වුණු මිනිස්සු යළි කිසි දිනකත් හමුවන්නේ නෑ. ඒක මහා ඛේදවාචකයක්. මිනිස්සු අතුරුදහන් නොවෙන, මිනිස්සු ජාතිය, කුලය හෝ ආගම නිසා පීඩාවට පත් නොවෙන රටක් තමා මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ.


කණ්ණාඩි කුට්ටමට මොකද වුණේ?


සැරයක් මම ඒකෙ පොඩි අලුත්වැඩියාවක් කරගන්න යැව්වා. එතනදි තමා දැනගත්තේ ඒ කණ්ණාඩි කුට්ටමේ ෆ්‍රේම් එක කැරට් 22 රත්තරන් කියලා. මට අවවාදයකුත් ලැබෙනවා පරිස්සම් කරගන්න කියලා. කොහොමහරි මේක නැතිවෙනවා. මට මාර විදියට දැනෙනවා. රත්තරං කතාව දන්නෙත් ඔරලෝසු කාර්මිකයයි මායි විතරයි. ආච්චිත් නෑ. දහ අතේ කල්පනා කරලා ‘ඒකා- අධිපති’ නාට්‍යයට ඕන නිසාම කණ්ණාඩි කුට්ටමක් මිලදී ගන්නවා. ඒක දාගත්තට මොකද වේදිකාවට නැගලා හිට්ලර් වෙන මට කිසිම දෙබසක් කියා ගන්න බෑ. ලොකු අවුලක්. මට හිට්ලර් වෙන්නම බෑ. පුදුම දුකක් වින්දේ. අන්න එතනදි තමා මම තේරුම් ගත්තේ රංගනය පිළිබඳව මේ ලෝකේ කිසිම ගුරුවරයෙකුට උගන්වන්න බැරි පාඩමක් තිබෙන බව. ඒ පාඩම මම ඒකා-අධිපති නාට්‍යය තුළදී කණ්ණාඩි කුට්ටමෙන් ඉගෙන ගත්තේ. කාලෙකට පස්සෙ කණ්ණාඩි කුට්ටම හම්බ වෙනවා. නාට්‍යයේ රංගන ශිල්පීන් අඳින ඇඳුම් වේලෙන්න දාද්දි ඒ ඇඳුමක පැටලිලා තිබිලා. මම ‘ඒකා-අධිපති’ නාට්‍යයට දාපු ඒ කණ්ණාඩි කුට්ටමම තමා මගේ පුතා රංග බණ්ඩාරනායක ‘තුන්වෙනි යාමය’ට දාන්නෙත්.


රංග ඔබේ පුතා. එතකොට ඔබේ දුව?


මට දුවලා දෙන්නෙක් ඉන්නවා. රංග පුතයි, විශාඛා දුවයි ගැන කියලා මට නරේන්ද්‍රා දුව ගැන නොකියා ඉන්න බෑ. නරේන්ද්‍රා ප්‍රභාෂ්වරී දුවගෙ අම්මා මගේ බිරිඳ නොවුණත් මම තාත්තා කියන කාරණාව වසන් කරන්න මට කිසිම වුවමනාවක් නෑ. ජීවිතය කියන්නේ මහා විශාල දෙයක්. ආයු කාලය කෙටි වුණත් එය විවිධයි. විචිත්‍රයි. ඒ වගේම නිරන්තර ශෝකාග්නියක් දැල්වෙනසුලුයි.


සම්මානනීය වේදිකා නාට්‍ය හා චිත්‍රපට නිර්මාපකයෙක් විදියට ඔබේ අද හා හෙට කොහොමද කියා දැනගන්න කැමතියි.


මගේ අද දවස ඛේදවාචකයක්. හෙට අවිනිශ්චිතයි. මම එහෙම කියන්නේ ධර්මසිරි බණ්ඩාරනායකට පමණක් ලඝු කරලා නෙමේ. පොදුවේ අපේ රටේ කලාවට අත්ව තිබෙන්නාවූ ඉරණම එයයි.


මා කළ නිර්මාණ පිළිබඳව මතකය ජන හදවත්වලින් වියැකෙන්නේ නෑ. එය මට සතුටක්. ධර්මසේන පතිරාජ නම්වූ කළණ මිතුරා මගේ හංස විලක් චිත්‍රපටයට ලියූ ‘සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ’ ගීතය අදත් නොමියෙන සොඳුරු මතකයක්.


මේ සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවා ගෙන අවුරුදු 15ක් වෙනවා. ‘ට්‍රෝජන් කාන්තාවෝ’ රඟදැක්වෙනවා. සැප්. 06 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී. ඊට පහුවෙනිදා 07හි මට මෙතැනින් එළියට බැහැලා යන්න සිද්ධ වෙනවා. ඒත් මට යන්න තැනක් නෑ. මගේ තනි නොතනියට මෙතන ඉන්න රමේෂ් කියන දෙමළ සහෝදරයාටත් මේක මහා කම්පනයක්. මටත් හිතා ගන්න බෑ මොකද කරන්නෙ කියලා. කලාව ගැන කතා කරන්න කිසිම කෙනෙක් හෝ වගකිවයුත්තෙක් මේ රටේ නෑ. ආයතන හා දෙපාර්තමේන්තු නමට පමණයි. කලාව වෙනුවෙන් කරන හැබෑ මෙහෙවරක් තිබෙනවාද? දශක ගණනාවක් තිස්සේ කලාව වෙනුවෙන් ජීවිතය කැප කළ මම අද අතරමං වෙලා. මේ කලකිරීම් මැද මගේ සෞඛ්‍යයත් පිරිහිලා. කලාකාරයෙක් විදිහට මම කලාවේ නිරත විය යුතුයි. ඒත් ඒ වෙනුවට මට වෙනත් කාරණා පිළිබඳව වෙහෙසෙන්න හා ලතවෙන්න සිද්ධ වෙලා. නිර්මාණයක් කරන්න අවශ්‍ය විවේක බුද්ධිය හෝ මානසික ඒකාග්‍රතාව මට අද නෑ. මගේ මරණයෙන් පසු මා වර්ණනා කරනවා වෙනුවට මට තවදුරටත් කලා නිර්මාණයක් කරන්න ඉඩ හසර සලසාදීමයි වැදගත්. මම අපේක්ෂා කරන්නේ ඒ දේ. මරණයට ඉතාමත් ආසන්න මිනිසෙක් විදියට මම අවධාරණය කරන්නේ මට නිර්මාණයක්, එය වේදිකා නාට්‍යයක්, චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් විය හැකියි. කරන්න ඉඩ ලබාදෙන්න කියලා. ඒ සඳහා ජවය හෝ ආර්ථික ශක්තිය අවමයි. මම විඩාබර බව සැබැයි. ඒත් අලුත් නිර්මාණයක් එක්ක නැවත නැගී සිටින්න මට හැකිවෙයි. දැනටත් මට ශක්තිය හා දයාවත් මිත්‍රත්වයත් පුදන කල්‍යාණ මිත්‍රයන්ට මම හිස නමා ආචාර කරනවා. ඒ ළෙන්ගතුකමයි මාව තවදුරටත් ජීවත් කරවන්නේ…