ටිරන් කුමාර බංගගමආරච්චි


මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ලට හේතු ගණනාවක් මේ වන විට අසන්නට ලැබේ. ආණ්ඩුවේම මන්ත්‍රීවරු එකිනෙකා එක එක කතා කියති. කොහොම වුණත් මේ වනවිට කැරැල්ලේ ප්‍රතිඵල ලෙස එකොළොස් දෙනෙක් මියගොස් ඇත. තුවාල ලැබූවන්ද මහ ගොඩකි. ඒ නිසා මියයන ප්‍රමාණය තව ඉහළ යා හැකිය.


“සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන වාක්‍ය රාජපක්ෂ පාලන කාලයේදී හෑල්ලු වන්නේ බාල්දු වන්නේ බලා ඉද්දීමය. ඒ වදන කියැවීමද මේ කාලයේ හාස්‍ය දනවන්නක් වී ඇත. අපරාධකරුවන් ලෙස ප්‍රසිද්ධ අය ආයුධ පෙන්වන්නට යෑම, කුඩු පෙන්වීමට යෑම මේ කාලයේදී හරිම සාමාන්‍යය. කොතරම් අතීත අත්දැකීම් ඇතත්, මේ අපරාධකරුවෝද සැඟවූ ආයුධ ගෙන ප්‍රහාර එල්ල කරන්නට යෑමත් හැමදාම මෙන් ප්‍රහාරයට පෙර ප්‍රතිප්‍රහාරය එල්ල කිරීමත් රාජපක්ෂ පාලන සමයේ පුරුද්දට වන දෑය. ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියන්නේ එබැවිනි.


සිරගෙවල්වල කැරලි සහ එය මර්දනය කී සැණින් රාජපක්ෂ ක්‍රමවේදය සිහියට ඒ. එය නම් මහ නරුම සිතුවිල්ලක්ය. එය වූ කලී අප හිත්වල ජාත්‍යන්තරය විසින් තැන්පත් කළ නරකම මතකයක්ය. මෙවර මහර බන්ධනාගාරය තුළ වූ ගැටුම හෝ කැරැල්ල හෝ කුමක් හෝ සිද්ධිය ගැන වැදගත්ම හෙළිදරව්ව කළේ විමල් වීරවංශ ඇමතිවරයාය. ඔහු වූ කලී අනාගතයටත් එහා දැකිය හැකි මහා ප්‍රාඥයෙකි. ඔහු කියන විදියට කතාව තේරුම් ගෙන යෑම මේ ලියවිල්ලට සහ අපගේ අවබෝධයට හොඳය.

විමල්ගේ නිගමනය


මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි බව ඔහුගේ උපකල්පනයය.
2015ට කලින් පැවති රජයේ ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 27 දෙනෙක් ඝාතනයට ලක් වුවත් මෙය ගෝඨාගේ කාලයේ රැඳවියන් ඝාතනය වන බව පෙන්වීමට කළ කුමන්ත්‍රණයක් බව පැහැදිලිය. කිසියම් පිරිසක් රැඳවියන්ට යම් පෙති වර්ගයක් බෙදා ඇති බවත්, ඒවා පානයෙන් පසු රැඳවියන් ප්‍රචණ්ඩ වී ඇති බවත් ඔහුගේ මතයය.


විමල් වීරවංශගේ කතාව සුළු කොට තැකිය නොහැකිය. එය බොහෝ අරුත් සපයන්නේය. එයින් මුලින්ම සිහි තබා ගත යුත්තේ ගෝඨාගේ කාලය මෙහෙම තමයි කීමේ දැඩි වුවමනාව ඇත්තේ විමල්ට බවය. විමල් නොකියන්න කිසිවෙක් ගෝඨා ආරක්ෂක ලේකම් කාලයෙත් බන්ධනාගාරවල ඝාතනය වූවා කතාව නැවත නැවත සිහි කළේ නැත. ජනතාව එය අමතක කරනු ඇතැයි සිතා විමල් එය බලෙන් ජනතාවට සිහි කළේය. කොටින්ම එය රාජපක්ෂ කාලයේ වෙනුවට ගෝඨා විසින්ම කළා යැයි ඒත්තු ගැන්විය. ඔහුගේ කතාව තුළ එය ඉතාම පැහැදිලිය.


ගෝඨා ජනපති වූ පසු බන්ධනාගාර කැරලි පවා ජාත්‍යන්තරය ඇති කරන්නේ නම් ඔහුගේ පාලනයේ ඇති සාර්ථකත්වය කුමක්ද? කමල් ගුණරත්න මෙන්ම සරත් වීරසේකරද දැන් ලැජ්ජා විය යුතුය. එනම් බන්ධනාගාර කැරලි පවා ජාත්‍යන්තරය කරනවා නම් ඒ අයගේ මැදිහත්වීම කුමක්ද? ඒ අයට බන්ධනාගාර කැරලි ඇති කර ගෝඨාගේ කාලය මෙසේ යැයි කිවයුතු නම් විමල් කියන විදිහට එය කොතරම් භයානකද? විමල්ගේ ඒ උපකල්පනයෙන් පෙන්වනුයේත් ගෝඨා ආණ්ඩුව අසමත්, ජාත්‍යන්තරය මෙරටට බරපතළ ලෙස ඇඟිලි ගහන බවත්. ඒ අය බන්ධනාගාරවල පවා කැරලි ඇති කරන බව නොවේද? හෙට දිනයේ කුමන ප්‍රශ්නයට හෝ පාරට බහින අය ජාත්‍යන්තර කුමන්ත්‍රණයකම ප්‍රතිඵල විය හැකිය. මේ බිල්ලා ජනතාවට පෙන්නුවද විමල් නොකියා කියනුයේ මේ බිල්ලා කවුරු කියාද? යුද උපක්‍රම ගැන හොඳාකාරවම දන්නා ගෝඨාට, සරත්ට, කමල්ට විමල්ගේ කතාවේ යටි අරුත නොවැටහේද? අඩුම තරමේ විපක්ෂයටත් මීට පෙරත් වැලිකඩ සිදුවූයේත් මේ යැයි කීවාද? එහෙත් විමල් කුමන්ත්‍රණ කතාව ජප කරමින් ඒ කතාව සමාජගත කළේය. මේ විමල් ආණ්ඩුවට ඇන්න ටොක්කකි.


කෙසේ වුවත් විමල්ගේ කතාව මසුරන්ය. එහි කුමන්ත්‍රණය ඇත්තේ ජාත්‍යන්තරය තුළ නොව, විමල්ලා තුළය. විමල් ගම්මන්පිල ජනපති ගෝඨාගෙන් කැපී වෙන අය ප්‍රබල වී ඇත. එවන් වටපිටාවක විමල්ලාට මේ කැරලි තල කැරලි මෙන් රසය, ගුණය. විමල් ජනතාවට මහර කැරැල්ල වූ සැණින් සිහිකරනුයේ වැලිකඩ රැඳවියන් ඝාතනයය. එය 27ක් කියාද ඔහු උළුප්පා පෙන්වන අතර මෙයත් ගෝඨා රැඳවියන්ගේ මාරයා යැයි පෙන්වන්නට කරන කුමන්ත්‍රණ යැයි කියන විට අප තේරුම් ගතයුත්තේ කුමක්ද? සමහර දේශපාලන විචාරකයන්ගේ අදහස ඊළඟට ගෝඨා ආණ්ඩුව පෙරළීමේ යෝධ පියවර තබනුයේ විමල් සහ ගම්මන්පිල බවය. මේ ඒවාට පෙරමග ලකුණු විය හැකිය.


වැලිකඩ – මහර


විමල් කීවාට පසු සැබැවින්ම වැලිකඩ සිද්ධිය අමතක නොකළ හැකි තත්ත්වයක් උදාවී ඇත. එයට අදටත් සාධාරණයක් ඉටුවී නැත. යහපාලනයෙනුත් ඉටු නොවුණු සාධාරණ ආයේ කවදාවත් ඉටුවන්නේ නැත. ඒ නිසා මහර බන්ධනාගාර සිද්ධියත් එසේමය. රාජපක්ෂලාට විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂට යාචක මිනිසුන් පෙනෙන්නට බැරිය. ඔහුට වුවමනා පාරේ සිටින සියලු යාචකයෝ කුදලාගෙන ගොස් සැඟවීමය. පාතාලය නසනවා කියා අල්ලා ගන්නා අය ආයුධ පෙන්වන්නට රැගෙන යෑම සහ ඉන්පසු ඝාතනය වීම, කුඩු දිනපතා ඇල්ලීම මේ සියල්ල මහින්ද කාලයේ සිට වෙන දේවල් වුවත් තවමත් ඉවරයක් නැත. එමෙන්ම සිරකරුවෝද මේ අයට දිරවන්නේම නැත. ඕනම කැරැල්ලක් යුද්ධයක් ලෙස අහවර කිරීම තම ප්‍රතිවිරුද්ධ අය ත්‍රස්තවාදීන් ලෙස සලකා කටයුතු කිරීම මේ අයගේ මෝස්තරය වේ. එය ජාත්‍යන්තරයට අමුතුවෙන් කුමන්ත්‍රණ කර වටහා ගත යුතු දේ නොවේ.
එහෙත් මේ ආණ්ඩුවට කුමන්ත්‍රණ නැතිව පවතින්නට නම් නොහැකිය. කරන තරමක් කුමන්ත්‍රණ කර ඇත්තේ රාජපක්ෂ ආණ්ඩු විනා අන් අය නොවේ. පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන්නට කුමන්ත්‍රණ මේනියාවෙන් පෙළෙන විමල්ගේ දිවවත් නැවෙන්නේ නැත. එය වූ කලී එකල ආණ්ඩුවේ නොහැකියාවය. එහෙත් මහර බන්ධනාගාර කැරැල්ල පවා ජාත්‍යන්තර කුමන්ත්‍රණය. මේ තක්කඩින් දේශපාලනය කරන්නේම බිල්ලෝ මවමිනි.


මහර සිද්ධිය


මහර බන්ධනාගාර සිද්ධිය සිද්ධි දාමයක ප්‍රතිඵලය. මහර බන්ධනාගාරය තුළ රඳවාගත හැකි පිරිස අටසිය පනහක් (850) පමණ වෙති. එහෙත් ඒ වනවටත් බන්ධනාගාරයේ රඳවාගෙන ඇති පිරිස 3000ක් පමණ වේ. අටසිය පනහක් රැඳවිය හැකි තැනක තුන් දහසක් රැඳවීම තදබදයක් ගැන අමුතුවෙන් කතා කළ යුතුද? එවිට ඇතිවන පීඩනය සුළු පටුද? ‘සිරකරුවෝ මනුෂ්‍යයෝ’ කියන්නේ කවුද? මනුෂ්‍යයෝ නම් මෙවැනි සැලකුම් ලැබේද?


කොරෝනා රෝගීන් 180ක් මහර බන්ධනාගාරයෙන් සොයා ගන්නා අතර ඒ අය සාමාන්‍ය අය සමග දැමීම මෙම විරෝධයට මූලික හේතුව වී ඇත. මහර බන්ධනාගාරය තුළ කොරෝනා හමුවීමත් සමග එම රැඳවියන් බැලීමට නිවෙස්වලින් ඒම අත්හිටුවීමත් සමග රැඳවියන්ගේ ආහාර ප්‍රශ්නයද උග්‍රවී ඇත. සිරකරුවන් කියා බඩගින්න නොදැනේද? වසංගත බිය නොදැනේද? තදබදය හිසරදයක් නොවේද? මේ අයට සතුන්ට ලෙස සැලකීම ඉවසයිද?
නොබෝදා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනුයේ දේශීය ඖෂධ වර්ග කොරෝනාවලට ගුණදායකද බලන්නට ඒවා බන්ධනාගාර තුළ කොවිඞ් හැදුණු අයට දී පරීක්ෂා කරන බවය. ඒ අනුව ඉතාම පැහැදිලි දේ නම් ආණ්ඩුව ඔවුන්ව පරීක්ෂණ මීයන් බවට පත්කරගෙන ඇති බවය.


මහර බන්ධනාගාරය තුළ වූ කැරැල්ල මේ සියල්ලේ ප්‍රතිඵල විනා ජාත්‍යන්තර කුමන්ත්‍රණ නොවේ. වැලිකඩ බන්ධනාගාරයේ කළ කෙළිය මේ රටේ මිනිසුන්ට අමතකවීද? හැට නව ලක්ෂයක ජනතාව ඕනකමින් අමතක කළද ඒවා අමතක නොවන බව විමල්ම ඔප්පු කළේය. එවන් යටගියාවක් ගැන දැන දැනම මහර බන්ධනාගාරය තුළ කැරලි ගසනුයේ මරණය උණ්ඩයෙන් නොවූවද වෛරසයෙන් හෝ විය හැකි නිසා නොවේද? ඒ මිනිසුන්ට ජීවිතය වැදගත් නැද්ද? කැරැල්ල විශේෂ කාර්යය බලකාය මැදිහත්ව සාර්ථකව අවසන් කළා කියනුයේ එකොළොස් දෙනෙක් මැරුණු පසුද?


මත්පෙති බී ඒ ඒ අය කපා කොටා ගත්තේ යැයි ආණ්ඩුවේ මතයය. ඒ පෙති මානසික රෝගීන්ට දෙන ඒවා බවත්, එය බිව් පසු කපා කොටා ගන්නා අතර, ලේ දැකීමේ පිපාසාවක් ඇතිවන බවත් පැවසේ. මෙසේ කියනුයේ ආණ්ඩුවේ දේශපාලකයෝය. එසේ නම් බන්ධනාගාරයට මහා කෙරුමෙක් ආවා කීවද? යා යුතු සියල්ල ඇතුළට යනුයේ කෙසේද? මත්කුඩුවලට ඇබ්බැහි වූවෝ මත්කුඩු හිඟ කාලයට මෙවැනි පෙති බොති. ආණ්ඩුව මේ කියන්නට යනුයේ වෙන කතාවකි. එනම් මේ එකොළොස් දෙනා මියගොස් ඇත්තේ ඒ ඒ අය කපා ගැනීමෙනි. ආරක්ෂක අංශ කර ඇත්තේ ඒ අය බේරාගෙන රෝහල් ගතකිරීම පමණය. අනෙක් අතට කොරෝනා තිබුණු පසුබිමක මේ මියගිය අයගේ සිරුරු වහාම භූමදානය කරනු ඇත. ඒ අනුව මේ මරණ කපා කොටාගෙනද? මූණිස්සම්වලින් වූ ඒවාද යන්න ඉබේටම අළු වී යනු ඇත.


වැලිකඩ සිද්ධියේ පරීක්ෂණ මෙන්ම මහර සිද්ධියේ පරීක්ෂණද හිස් ලියවිලි වනු ඇත. පාතාලයෝ කියා මැරූ කල මේ රටේ ජනතාව එයට කැමතිය. හිරකරුවෝ හිරේ කඩාගෙන යන්න හැදුවා. එහෙම වුණා නම් එ අය සමාජයට ඇවිත් සමාජය විනාශ කරනු ඇත. ඊට පෙර ඒ අය මැරීම හොඳය. මේ සමාජය දකින හැටිය. උද්ඝෝෂණ අවශ්‍යතා ඉල්ලීම සිවිල් පුරවැසියාද, සිරකරුවාද කියා වෙනසක් නැත. ආණ්ඩුව මේ දෙපිරිසටම සැලකීමේදීද වෙනසක් නැති බව සිහි තබා ගත යුතුය. රතු පස්වල මෙන්ම කටුනායකද ධීවර උද්ඝෝෂණවලදීද වූ දේ හෙට නැවත සිදුනොවනු ඇතැයි මුලාවේ වැටිය යුතු නැත. වැලිකඩ කළ දේ මහර කරන්නට අමුතු කුමන්ත්‍රණ ඕනෑ නැත. එය ඉබේටම වේ. පුරුද්දට වේ.


මේ දිනවල ඒවා අමතක කරන්නට එල්.පී.එල්. ඇත. මහර කැරලි වගේද ක්‍රිකට්. ක්‍රිකට් තරගයක් නරඹා පාඩුවේ නොඉඳ මහර බන්ධනාගාරයේ සිදුවූයේ කුමක්ද සෙවීම උමතුවකි. දෙරණ නාලිකාව ප්‍රවෘත්ති අතර පෙන්වනුයේ රැඳවියන් රෝහල් ගතකරන්නට රැගෙන යද්දී ඥාතීන් හැසිරෙන ආකාරයය. එයට අරුත් දෙන ඔවුන් කියනුයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මේ පිරිස් හැසිරෙන බවය. ඇතුලේ වූයෙත් එයය. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොරෝනා ඇති අයත් නැති අයගේ එක ගොඬේ දැමීමය. ඒ ගැන කියන්නට දෙරණට හයියක් නැත. ආණ්ඩුවේ රෙදි අපුල්ලන්නෝ සැමදා දකිනුයේ ජනතාවගේ වැරදිමය. ඒ වැරදි මවාපාමින් ඒ අය මහා ධනපතීන් වනුයේ ආණ්ඩුවේ වැරදි වසන නිසාම නොව ආණ්ඩුවට උපරිම කත් අදින නිසාය. වැලිකඩ වගේම මහරත් තවත් එක් සිද්ධියක් පමණි. මේවා පාඩම් නම් අප තව කොතෙක් පාඩම් උගෙන ගන්නද? ■