දැන් ලංකාව තිබෙන්නේ රටේ රාජ්‍යයද, එහි සමාජ-දේශපාලන ක්‍රමයද, ආර්ථිකයද පූර්ණ කඩා බිඳ වැටීමකට ලක්වී බංකොළොත්භාවයේ හා අරාජිකත්වයේ අඳුරු සෙවණැලි රට ගිලගනිමින් තිබෙන අවාසනාවන්ත අවස්ථාවකය. තවමත් ජන ජීවිතය තිබෙන්නේ පීඩාකාරී වුවත් දරාගත හැකි තත්ත්වයකය. ඒ තත්ත්වයද අයහපත් අතට ඉක්මනින් වෙනස්වනු නොවැළැක්විය හැකිය. ඊට සමානුපාතිකව සමාජයට සිහි බුද්ධියෙන් ක්‍රියාකිරීමට තිබෙන හැකියාව බිඳ වැටෙනු ඇත.


මෙම සංකීර්ණ අර්බුදය ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තිබෙන්නේ කිසිදු ප්‍රායෝගික ඉදිරි දර්ශනයක් නැතිව ආරක්ෂක හමුදාවල හා අධි භෞතික බලවේගවල පිහිට පතන බෙලහීන හා අසරණ තත්ත්වයකය. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන එන වැඩසටහන වෙනුවෙන් බරපැන උසුලන ලද ධනවතුන් තමන්ගේ වියදම් පියවා ගැනීම සඳහා උපරිම ලෙස රටේ වස්තුව කොල්ලකන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ.


නායකයාගේ අර්බුදය


ජනපතිවරයා අතට පත්වූයේ පාලනය කිරීමට පහසු හොඳට තිබෙන රටක් නොව, ඉතා පළපුරුදු දක්ෂ පාලකයෙකුට පවා පාලනය කිරීම දුෂ්කර උපරිම මට්ටමකට ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබූ රටකි. ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ප්‍රචාරක ව්‍යාපාරයන් මගින් කෘත්‍රිම ලෙස වැඩිම පිම්බීමකට ලක්වූ නායකයා ලෙස සැලකිය හැකිය. ඒ නිසා අවිචාරවත් මහජනතාව ඔහු කෙරෙහි ඇති කරගත් බලාපොරොත්තුවල තරම හිමාල කන්ද තරම්ම විශාල වී යැයි කිව හැකිය. එම පිම්බිල්ල ලබන ජයග්‍රහණයේ තරම විශාල කිරීමට බලපාන්නට ඇතත්, ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා සුළං ගිය බෝලයක තත්ත්වයට පත් කිරීමටත් එය බලපෑවේය. ගෝඨාභය රාජපක්ෂ හමුදා සේවයේ නිරත කාලයේදී දක්ෂතා පෙන්නුම් කළ හමුදා නිලධාරියකු විය හැකිය. අභ්‍යන්තර යුද්ධය අවසන් අදියරයේදී විවාදයට හේතුවන දේවල් සිදුව තිබියදීත් ආරක්ෂක ලේකම් වශයෙන් ඔහු එම යුද්ධයේ සම්බන්ධීකරණ කටයුතු අරබයා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.


එහෙත් ඔහු රටේ දේශපාලන නායකත්වයට කඩා වැදුණේ දේශපාලන පළපුරුද්දක් නැතිව හා දේශපාලන හැදෑරීමක් නැතිවය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කර තිබූ වෙනස්කම්වත් ඔහු දැන සිටියේ නැත. රට මුහුණ දී තිබුණු අර්බුදය ගැන කිසිදු ගැඹුරු කියවීමක් ඔහුට තිබුණේ නැත. පාලනය බලයට පත්වූදා සිටම කළේ පාලකයන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා ක්‍රියාත්මක වූ සංවිධාන ක්‍රම මරා දමන පිළිවෙතක් අනුගමනය කිරීමය. පාලනය නොවන බලය විසින් නොවරදවාම බලය පාවිච්චි කරන්නන්, දූෂණය කරනු ලබන බව කියා ඇත්තේ අයිවර් ජෙනින්ස්ය.


හමුදාකරණය


ජනාධිපතිවරයා තමන් මුහුණ දී තිබෙන නොදන්නාකමේ අර්බුදය ජයගැනීමට උත්සාහ කරමින් තිබෙන්නේ සිවිල් පාලනයක් වෙනුවට හමුදා පාලනයකට බර තබන ප්‍රතිපත්තියක් මගිනි. එය රට මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් නොවනවා සේ ම එය ආරක්ෂක හමුදාවන්ගේ යහපතට හෝ ගෞරවයට හේතුවන්නේද නැත. ආරක්ෂක හමුදාවන් රටකට අවශ්‍ය වන්නේ රටේ ආරක්ෂාව සඳහා මිස රටේ පාලනය සඳහා නොවේ. හමුදා සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී ඔවුන්ට ආරක්ෂාවට අදාළ මූලධර්ම හා තාක්ෂණය උගන්වනවා මිස රාජ්‍ය පාලනයට අදාළ මූලධර්ම හා තාක්ෂණය උගන්වන්නේ නැත.


දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක් පැවති කාලයේදී ඒ දෙපක්ෂයේ කවර පක්ෂයක හෝ ආධාර ඇතිව හමුදා ආණ්ඩු පවත්වාගෙන ගිය රටවල් විශාල ගණනක් ලොව තිබුණේය. අප්‍රිකාවේ රටවල් 37කද, ලතින් ඇමරිකාවේ රටවල් 22කද, ආසියාවේ රටවල් 20කටද හමුදා ආණ්ඩු තිබුණි. දැන් හමුදා ආණ්ඩුවක් තිබෙන්නේ අප්‍රිකාවේ සුඩානයේ පමණය. එයද තිබෙන්නේ ඇතිවූ ජනතා සටන් නිසා සිවිල් පාලනයකට මාරුවීමට ගිවිසුමක් ඇති කරගත් තත්ත්වයකය. ආසියාවේ අවසාන මිලිටරි ආණ්ඩුව තිබුණේ තායිලන්තයේය. එම මිලිටරි පාලනය අවසන් කෙරුණේ 2019 ජූලි 16 වැනිදාය.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්හදා බලමින් සිටිනුයේ ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක් විසින් අත්හදා බලා මුළුමනින් අසාර්ථක වී තිබෙන යල්පැන ගිය ධර්මතාවකි. ඒ මගින් රටට හා ආරක්ෂක හමුදාවන්ට පමණක් නොව, රටේ පාලකයාටද විය හැකි හානිය අතිවිශාලය. ආරක්ෂක හමුදා මේ උගුලට හසුවීමෙන් වැළකී සිටිය යුතුය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ආරක්ෂක හමුදාවන්ටද අදාළය.


විරුද්ධ පක්ෂවල මෝඩ භූමිකාව


දැන් ලංකාව ඇද වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වයට ආණ්ඩු පක්ෂය පමණක් නොව, විරුද්ධ පක්ෂ ව්‍යාපාරයද හරි හරියට වගකිව යුතුය. රටේ ඇතිවී තිබෙන මෙම අසමත්භාවයට වගකිවයුත්තේ රාජපක්ෂවරුන් පමණක් නොවේ. රටේ පාලන බලයට ඍජු ලෙස හෝ අනියම් ලෙස සම්බන්ධ වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ මෙම තත්ත්වයට වගකිව යුතුය.


රටේ වර්ග, කුල, ආගම් වශයෙන් පවත්නා භේද හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ ලේ වැගිරෙන ගැටුම් රටේ ඇතිවී තිබෙන මෙම කුණුවීම කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන හේතුවක් වන අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ඍජු ලෙස හෝ අනියම් ලෙස මේ භේද පවත්වාගෙන යාමට හා වර්ධනය කිරීමට දායක වූ පක්ෂ ලෙස සැලකිය හැකිය. ඉහ වහා ගිය දූෂණය ඒ කෙරෙහි බලපා තිබෙන ඊළඟ ප්‍රබල හේතුව වන අතර විටින් විට ව්‍යවස්ථාදායකයට තේරී පත්වන මන්ත්‍රීවරුන් හා රටේ ජනාධිපතිවරුන් එකට එකතු වී පවත්වාගෙන යන වස්තු කොල්ලය රට දූෂණයෙන් කුණු කිරීමට බලපා තිබෙන ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැකිය.


එහෙත් විරුද්ධ පක්ෂ ව්‍යාපාර ක්‍රමයේ ඇතිවී තිබෙන බිඳ වැටීම කෙරෙහි බලපා තිබෙන ප්‍රබල හේතුන්ට පිළියම් යෙදීමෙන් තොරව බලය තමන් වෙත හිමිකර ගැනීමෙන් පමණක් අර්බුදය ජයගත හැකිවේ යැයි කල්පනා කරන බව පෙනේ. ඔවුන් කරන බොරුවට මහජනයා ඉඩ නොදිය යුතුය.

කළ හැක්කේ කුමක්ද?


මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට රටක් පත්වූ විට ඉන් ගොඩ ඒමට වෙර දරන සාමූහික උත්සාහයක් රටක තිබිය යුතුය. එවැනි තැනකට රට යොමු කළ හැකිවනු ඇත්තේ ඒ සඳහා කෙරෙන ප්‍රබල සමාජ සංවාදයක් ඔස්සේය. දේශපාලන පක්ෂ තවමත් මේ ප්‍රශ්නය දෙස බලන්නේ තමන් මුල් කරගත් පටු ආකල්පයකිනි. එහෙත් මෙම අර්බුදය පුළුල් ලෙස හා තියුණු ලෙස දැකීමේ ඇත්ත හැකියාවක් ඇති කිසියම් පුද්ගලයන් පිරිසක් රටේ සිටිති. ඒ අයගෙන් කිසියම් පිරිසකට හෝ එකට එකතු වී එක හඬකින් ප්‍රබල ලෙස කතා කළ හැකි නම් රටේ දේශපාලන ගමන් මගේ සැලකිය යුතු වෙනසක් ඔවුන්ට ඇති කළ හැකිය.


රට මුළුමනින් හිරවූ තත්ත්වයකට පත්වූ විට ඒ රට පරිවර්තනයකට තල්ලු කිරීමද අපහසුය. දකුණු අප්‍රිකාවේ සුදු පාලකයන් ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය කුරිරු ආධානග්‍රාහීත්වය අත්හරින ලද්දේ හිරවීම උපරිම මට්ටමකට ගිය පසුවය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදනයකට හෙවත් මහජන ව්‍යවස්ථා සම්පාදනයකට දොරටු විවෘත කරනු ලැබීය. ජාතිය ගොඩනැගීම සමග ජාතිය ප්‍රතිනිර්මාණය කිරීම සිදුවූයේ එම ක්‍රියාදාමය හරහාය.


මේ මොහොතේදී ලංකාවට අවශ්‍ය වී ඇත්තේද එවැනි පරිවර්තනීය වැඩසටහනකි. ලංකාවද මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදනයකට හෙවත් මහජන ව්‍යවස්ථා සම්පාදනයකට යොමු කළ යුතුය. සහභාගි හෝ මහජන ව්‍යවස්ථා සම්පාදන මාදිලිය සැලකෙන්නේ 21 වන සියවසේ ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වශයෙනි. එහෙත් පුදුමයකට මෙන් එම ව්‍යවස්ථා සම්පාදන මාදිලිය ගැන රනිල් වික්‍රමසිංහද ඇතුළුව අපේ රටේ නායකයන් නොදන්නවා පමණක් නොව, ලංකාවේ දේශපාලන විද්‍යාව උගන්වන මහාචාර්යවරුන්ගෙන් වැඩි දෙනෙක්ද එම ව්‍යවස්ථා සම්පාදන මාදිලිය ගැන නොදනිති.

ඒ මගින් කෙරෙන්නේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම පමණක් නොවේ. රටේ සොයා බැලීමට අවශ්‍ය හැම දෙයක් ගැනමත් සොයා බැලීමේ අයිතිය සමග අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අයිතිය හා බලය එය සතුය. එම ව්‍යවස්ථා සම්පාදන මාදිලියට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට ඉදිරිපත් කරන අර්ථකථනයන් මගින් බලය ලබාදීමක් කර තිබෙන අතර, ජාත්‍යන්තර නීතිය අනුවද 21 වන සියවසේ ව්‍යවස්ථා සම්පාදන මාදිලිය ලෙස සැලකෙන්නේ එම මාදිලියයි. එම මාදිලිය අප විසින්ද හොඳින් හදාරන තැනකට යා යුතුය.


එවැනි වැඩසටහනක් මගින් රටේ ඇතිවී තිබෙන බංකොළොත්භාවයද ඇතුළු ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන මහා බිඳ වැටීම ජය ගනිමින් නූතන ජාතියද ගොඩනගා ගන්නා තැනකට යා හැකිය. ලංකාව මැතිවරණයකට යායුතුව තිබෙන්නේ එම ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමෙන් පසුවය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here