ටිරන් කුමාර බංගගමආරච්චි

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව ජනප්‍රියතම කතාවය. එසේ වුවද ජනතාව නීතිය පිළිබඳ උගනිත්ද? ඒ පිළිබඳ අවබෝධයෙන් පසුවෙත්ද? ඇත්ත නම් ජනතාවටම එය අත්‍යවශ්‍ය අංගයක් නොවීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව දැන සිටිය යුතුද? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බයිබලය, කුරාණය මෙන් ජනතාව කියවනු ඇද්ද? බයිබලය, කුරාණය හරහා එය කියවන ජනතාව විශ්වාස කරන ඇදහිල්ලක් ඇත. එහෙත් ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළක් වේද? අප පිළිගත යුතු දේ නම් මේවා එක්තරා පිරිසකගේ වුවමනා විනා පොදු ජනතා වුවමනාවන් නොවන බවය. මෙය විකාර ලියැවිල්ලක් විය හැකිය. එහෙත් ඇත්ත නම් බහුතර ජනයාට මේවා අදාළ නැත ඔවුන්ගේ ජන ජීවිතයට මේවා කුමන කලකවත් ලොකුවට ආදේශ වී නැත. හැත්තෑ එකේ හෝ අසූ අට අසූ නවය කැරලි ඇතිවූයේ ව්‍යවස්ථාව නිසාද? යුද්ධය ඇතිවූයේ ව්‍යවස්ථාව නිසාද? ඒවා අහවර කළේ ව්‍යවස්ථාවේ පිහිටෙන්ද? ඒ කුමක් වුවත් ඒවා අත්විඳි ජනතාව ඒවායේ ගිලෙමින් අවසානයේ අත් මිදුණා මිස ඒ අයට ව්‍යවස්ථාවක් නොවැටහුණි.


නැව සහ විස්ස


විසිවැනි සංශෝධනයත් තවත් එකක් විනා ඉන් එහා අරුතක් නොගනී. මෙය ව්‍යවස්ථා ඔස්තාද්ලාට මළ පනින වාක්‍යයකි. එහෙත් කිවයුත්තේ කේන්ති නොගෙන සෝදා ගැනීම හැර විකල්පයක් නැති බවය. විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනා දින මෙරට මුහුදු සීමාවේ නැවක් ගිනි ගත්තේය. එදින ටිවී චැනල්වල ත්‍රාසජනක පුවත එයය. ප්‍රවෘත්තිවලින් හරි අඩකටත් වඩා විකාශනය එයය. ජනතා ඇල්ම බැල්ම ඒ දෙසටම වූවා දැකිය හැකිවිය. එදින ප්‍රවෘත්තිවලම ලාවට විසිවෙනි සංශෝධනයක් ආ බවද කීවේය. එය නැවට වඩා ලොකු නොවුණි. දැන් ඒ දවසේ ප්‍රධාන පුවත නැවද විස්සද කියා කළගෙඩි සෙල්ලමක් පැවැත් වුවහොත් කුමක් වේද? අති බහුතරය නැවේ නොනගීද? කොටින්ම විස්ස ඕනද එපාද කියා ජනමතයක් කළහොත් ජනතාව එය අනුමත නොකරත්ද? ජනමත විචාරණයකින් ප්‍රශ්න විසඳීමත් විගඩමකි. මන්ද එහි සරල අරුත නැවත ජනතා ගතවනුයේ ජනපති ගෝඨාට වැඩ කිරීමට ඉඩ දෙනවාද නැද්ද යන්නය. ජනතාව නැවතත් එක පයින් තුනෙන් දෙක නොව තුනෙන් තුනම ගෝඨාට අත් උස්සනවා ඇත. මේ මොහොතේ යථාර්ථය එයය.


හොඳ ජේ.ආර්.


දේශපාලන චරිත සියල්ල එළිපිට බනින්නේ ජේ.ආර්. ජයවර්ධනට වුවත් හදවතින්ම ආදරය කරන්නෙත් ඔහුට බව වසර හතළිහක් ඉක්ම වුවද පැහැදිලිය. ජේ.ආර්.ගේ 78 ව්‍යවස්ථාව ඉතා අවංක එකකි. ඒ ඔහු තම බලය වෙනුවෙන් එය ගොඩ නැගූ නිසාය. බොරු ජනතා කතා කියනවාට වඩා ඔහු කළේ ඉන්නා කෙටි කාලයට හෝ තම බලය උපරිම ලෙස තහවුරු කරගන්නා ක්‍රමය සෙවීමය. එය ඔහු සොයා ගත්තේය. එදා ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට අන්.ඇම්.ලාගේ සිට නීති විශාරදයෝ විරුද්ධ නොවුණේද? කොතරම් විරුද්ධ වුවත් ඒ හඬ පාර්ලිමේන්තුවෙන් එහාටවත් ගමන් කළේද? ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව සම්මත විය. ඉන්පසු ජේ.ආර්.ම කීවේ මෙය නැවත වෙනස් කළ නොහැකි බවය. ඊට හේතුව කිසිම පිරිසකට තුනෙන් දෙකක් ලබාගත නොහැකි බවය. එය 2010 වන තෙක්ම යථාර්ථයක් විය. එහෙත් දැන් තුනෙන් දෙක සෙල්ලමක් වී ඇත. කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි තුනෙන් දෙක ගන්නේය. 2010දී මහින්ද රාජපක්ෂ තුනෙන් දෙක හදා ගත්තේ මන්ත්‍රීවරු මිලට ගෙන යැයි කතාව විය. 2015දී යහපාලනය තුනෙන් දෙක හදා ගත්තේ කෙසේද? සිරිසේන ලවා ඇමති අල්ලස් දී නොවේද? මේ දෙකම සුජාතද? ජේ.ආර්.ට මගහැරුණේ ජනපතිකම වාර දෙකකට සීමා කිරීමය. ඔහුට තුන්වන වරටත් ඉන්නට ආශාව එනවිට ඔහු ප්‍රමාදය. ඒ ආශාව ප්‍රේමදාස නොමියෙන්න ඇති නොවේද? විධායක ජනපතිකම වෙනස් කරන්නට කතා කළ චන්ද්‍රිකා තුන්වන වරටත් ඉන්නට මාන බැලූ හැටි අමතකද? මහින්ද එය ආශාවට සීමා නොකර ප්‍රායෝගිකවම කළේය. එනම් 18 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනපති වාර ගණන දෙකට නොව ඇති තරම් කාලයකට හදා ගත්තේය. එසේ වූවා කියා මහින්දට තුන්වන වර දිනන්නට හැකිවීද? නොහැකි වූයේ ඔහුට ආ ජනතා විරෝධය ප්‍රබල නිසාය. එය ඕනෑවටත් වඩා ගින්නක් කරන්නට පිදුරු දමන්නට යහපාලනයට හැකි වුවත් ක්‍රියාවෙන් ඔවුන් ඔප්පු කළේ ඔවුන් නිකමුන් බවය.

ජේ.ආර්.ගේ 78 ව්‍යවස්ථාව මේ දශක හතරට 20 වතාවක්ම සංශෝධනය කර ඇත. එහෙත් එය දහ අටක් දක්වා එන තෙක්ම හා හූවක් නොවීය. 13 ගැන වුව ලොකු කතාබහ ආවේ පසුකාලීනවය. එහෙත් 18 ගැන ඝෝෂාව ඇතිවිය. එයට ප්‍රධාන හේතුව ජනපති වාර ගණන දෙකක් ලෙස තිබීම ඉවත් කිරීමය. අද මොනතරම් යහපාලන නීතිකාරයෝ කෑගැසුවද එදා 18 තුළ ඒ අයට ඇඟ කසන ප්‍රශ්නය වූයේ එයය. අද 20 යනු එදා 18මය යන්නට මේ අය කෙස් පැලෙන්න අද තර්ක කළත් එදා ඒ තරම් බිල්ලෙක් නොවීය. එසේ වුවද ජනතාව එදා මහින්ද ප්‍රතික්ෂේප කළේ 18 නිසා නොවන බව මතක තබා ගත යුතුය. ඔහුගේ ආණ්ඩුවේ වැඩ නිසාය. නැවත ඔහු පිළිගත්තේ යහපාලනය 19 ගෙනවිත් 18 ඉවර කළ නිසා නොව, යහපාලනය විකාරයක් බව ජනතාවට ඒත්තු ගිය නිසාය. ජනතාව ඡන්දය දෙන්නේ ව්‍යවස්ථාව හෝ ලොකු ගැඹුරකින් කල්පනා කර නොව පේන මානය අනුවය. පේන මානයට අනුව යහපාලනය මහින්දගේ යමපාලනයට වඩා හිරිකිත විය.


දහනවය


සිවිල් සමාජය, පුරවැසි බලය වැනි අය හිතන්නේ 19 තරම් එකක් නැති බවය. ඒ අයගේ සතුට එය වුවද රනිල්ගේ සිරිසේනගේ සතුට තිබුණේ ජේ.ආර්. ළඟය. මේ පොඩි පොඩි කල්ලි හිතුවේ සිරිසේන, රනිල් ඉන්නේ එයාලගේ අත්අඩංගුවේ බවය. එහෙත් ඒවා දෙකයි පනහේ මාෆියා කල්ලි බව ඒ අයට වැටහෙනුයේ රනිල්ලා, සිරාලා වැඬේට බැස්ස පසුවය. යහපාලනය ගෙන එන කල මේ අය කීවේ නව ව්‍යවස්ථාවක් ගැනය. විධායක ජනපති ක්‍රමය අහෝසිම කරන බවය. එහෙත් වූයේ කුමක්ද? රනිල්ගේ වුවමනාව ඉටුකිරීමය. 19 හරහාත් කියන තරම් මහකෙළියක් වූයේ නැත. ඒ කල්ලිවල යහපතට එය හේතුවිය. ජනතාවට 19ය මහා වැඩක් වීද? හැට දෙලක්ෂය, හැටනව ලක්ෂයක් වුණේ ඇයි? ජනතාවට 19 වන ව්‍යවස්ථාව නොතේරෙන නිසාද? ඇත්තම නම් ජනතාවට එය වැඩක් නොවීය. ඔවුන්ට ඕනෑ රටට වැඩක් කරන කෙනෙක්ය. මහින්දට එන්නට බැරි ලෙස දහනවය නීති සකසා අවසානය. ද්විත්ව පුරවැසියන්ට තරග කළ නොහැකිය. ඒ අනුව බැසිල්, ගෝඨා ඉවරය. අවුරුදු 35 සීමාව හරහා නාමල්ට වුව තරග කළ නොහැකිය. 19 කර ඇත්තේද පවුලකට බයව කොඩිවිනයක් කැපීමය. ඒ අතර ජනපති බලය සීමා කිරීමත් අගමැති බලය වැඩි කිරීමත් සිදු කළේය. ඒ සිරාව අන්දවා රනිලගේ ඕනෑඑපාකම් පිරිමහ ගන්නට කළ වැඩය. එහෙත් ජනතාවට 19 හරහා නියම බුලට් එකක් හමුවිය. ඒ ගෝඨාය. මහින්දව 2015 පරාජය කළේ ඔහු සමග ජනතාවට හිඳ ඇතිවූ විටය. ඔහුම නැවත ජනපති කරළියට ආවේ නම් ගෝඨා තරම් මනාප නොගන්නවා ඇත. ගාමිණී වියන්ගොඩ බයටම එදා කී රසවත් කතාවක් විය. එනම් රාජපක්ෂලාගේ දුර්වලම අපේක්ෂකයා ගෝඨා බවය. ගාමිණීට දුර්වල සේ පෙනුණද ජනතාවට ගෝඨා පෙනුණේ දස මහා යෝධයකු ලෙසය. රාජපක්ෂලාගෙත් නියම එක ලෙසය. රට හදනවා නම් එය කළහැකි මිනිසා ලෙසය. මහ මැතිවරණයේදී මහින්ද දිනවූයේද ගෝඨාගේ ගමන පහසු කරන්නට බව පැහැදිලිය. ඒ අනුව බලන කල ජනතාව ගෝඨාට බලය දී හමාරය. ඒ අද ඔහු විස්සේ ගෙනා බලයමය. 19 හරහා 18 අවලංගු වූවා සේ ම, 20 හරහා 19 අවලංගු වන්නේය 18, 19 මෙන්ම 20ටත් පාර්ලිමේන්තුවේ බහුතරය අත උස්සන්නේය. එයට විපක්ෂයේ අත්ද එසවිය හැකිය. මොන විරුද්ධතා ආවද විස්ස සම්මත වනවා නියතය. ආණ්ඩු මාරු වන විට ව්‍යවස්ථාවද තමන්ට අවැසි ලෙස සකස් කරගන්නා සෙල්ලම, මහින්ද, රනිල් මෙන්ම ගෝඨාද කළේය.

ඒ සෙල්ලම ඉදිරියට නොකරන්නට ගෝඨා නව ව්‍යවස්ථාවක් ගෙන එනවා ඇත. විස්ස හරහා සියලු බලය ඇඟට ගන්නා ඔහු නව ව්‍යවස්ථාව මීට වඩා බලසම්පන්න ලෙස ගොඩනගනවා ඇත. කොටින්ම එය දැනටමත් හදා අහවර විය යුතුය. විස්ස වුවත් කල් තබා හැදූවක් බව පැහැදිලිය. අප ඉන්නකම් නැවත රාජපක්ෂ ආණ්ඩුවකට එන්න නොදෙන බව කී පුරවැසි කට්ටිය අද වෙන වෙන කතා කියති.


හොඳ – නරක


දැන් කෙනෙකුට මෙය කියවාගෙන යෑමේදී සැණින් මතුවන ප්‍රශ්නය නම් “මේ යකා විස්සට පක්ෂ” එකෙක් යන්නය. විස්සට පක්ෂ වුවද විපක්ෂ වුවද එය අපෙන් දුර බව කිව යුතුය. එය ඇත්තේ සීමිත පිරිසක් අතේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇත්තේ ජනතාව අතේ නොව පාලකයන් අතේය. ජනතාව තෝරනුයේ පාලකයන් මිස වෙන කෙන්ගෙඩියක් නොවේ. එවිට ඒ පාලකයන්ට ජනතා සුබ සිද්ධිය පතා යැයි තමාගේ සුබ සිද්ධියට ඕනෑම දෙයක් කරගත හැකිය. එය එපා වන තැන ජනතාව වෙත පාලකයෙක් තෝරති. මේ ජනතාව මෝඩ යැයි වහලුන් යැයි කිව හැකිය. එහෙත් ඔය දෙපැත්තම එහා මෙහා කරනුයේ මේ අයමය. 2015 සිරිසේන තෝරපු අයම 2020දි ගෝඨා තේරූහ. මේ සැම මේ රටේම ජනතාවය. 18, 19, 20 කුමක් ගෙනාවද ජනතාව බලනුයේ පුද්ගල සාධක දෙසය.
සීමිත පිරිසක් කුමක් කීවත් ජනතාව ඒ අය තරම් ගෝඨාට බය නැත. ගෝඨා යකෙක් කියා කීවද ජනතාව කියනුයේ අපට යකෙක් තමයි ඕන. යකා බැඳගෙන හරි වැඩ ගන්නැයි ඕනෑ යන්නය. මේ යථාර්ථය රාජපක්ෂලාට පමණක් උරුම දෙයක් නොව, එදා ප්‍රේමදාස යකා වුවද ජනතාව ඔහු සමග සිටියහ. එදාට සාපේක්ෂව අද ඔහුට බනින ප්‍රමාණය අඩුය. කොතරම් පාලකයකු වුවත් පෙරළිය හැකි බව 2015දී ජනතාව ඔප්පු කළහ. ගෝඨා මොන කෙරුමකු වුවත් එය ජනතා මානයෙන් පැන්න කල ප්‍රතිඵලය වෙනස් වේ. අනෙක් අතට ජේ.ආර්.ගේ සිට මෙතෙක් ආ අය සියල්ලම ඒකාධිපතියෝමය. (විජේතුංග හැර) වෙනස වූයේ ඔවුන් වැඩ කරන රාමුවය. විපක්ෂය ගත්තද එහි නායකයෝ ඒකාධිපතියෝය. සැවොම තම බල සීමාව යටතේ ඒකාධිපතියෝය. ඇත්ත එයය. රනිල් ඒකාධිපතියෙක් නොවේද? සජිත් ඒකාධිපතියෙකු නොවේද? චම්පිකලා, විමල්ලා තුළ ඒ ගති නැද්ද? පත්තර කර්තෘලා ළඟ ඒ ගති නැද්ද? මාධ්‍ය ප්‍රධානීන් ළඟ ඒ ගතිනැද්ද? අවසානයේ සියල්ල සිදුවන්නේ තම කැමැත්තට නොවේද? (රාවය කර්තෘ අදාළ නොවන බව සලකන්න.)


මේ යන රටාව ඇතුළෙ ජනපතිගේ බලය අගමැතිට ගියද තත්ත්වය එසේමය. විස්ස හරහා ගෝඨා ඒකාධිපතියකු වීම ගැන කතා කරන අපි විස්ස නැතිව 19 යටතේම මන්ත්‍රීකමක් හෝ නැති බැසිල් ඇමතිවරු පවා මෙල්ල කරන බලයකින් යුක්තවීම ගැන කුමක් කියමුද? එසේ නම් ව්‍යවස්ථාව අනුව ඇති සීමා අපැහැදිලි නොවේද? හැම කාලයේම තනතුරු දුන්නේ හිතවතුන්ට, පක්ෂග්‍රාහී අයට නොවේද? මේ රටාව වෙනස් නොකර ජනපති බලය අගමැතිට දුන්නැයි කිසිදු වෙනසක් නොවේ. හැමවිටම සිදුවන්නේ ඒකාධිපතියන් නිර්මාණයවීමයය. ඇමතිට පිටින් අමාත්‍යාංශයේ කාට යා හැකිද? මේ ගමනේ කෙළවර එකෙකු රැඳීම මෝස්තරය වී ඇත.


මේවා වෙනස් කරන්න නම් නායකයාගේම දැක්ම වුවමනාය. ජේ.ආර්. මෙන්ම මෙය වෙනස් කිරීමේ වුවමනාවක් නායකයකු තුළින්ම ආ යුතුය. වෙන අයගේ ආශාවට සිරා වැනි අය ගෙන්වා මේවා කළ නොහැකිය. රනිල් වැනි අය දමාද මේවා කළ නොහැකිය. කවුරු වුව ජනතා ඡන්දයෙන් එන නායකයකුම මේ වෙනස කළ යුතුය. එතෙක් ජේ.ආර්. හොඳය. ඒ ගමනම ඒ පාරේම සැවොම යති. අලියා ලකුණ ප්‍රතික්ෂේප කළද ජනතාව සැබෑ අලි දක්නට ප්‍රියය. ඒ නිසා 19 සහ 20 ගෙන හොඳ නරක කොතෙක් කතා කළත් විස්සේ වගන්තියක් වගන්තියක් පාසා විස ඇති බව කීවද නැවත තම මනාප පෙරළිය එන තෙක් ජනතාව නැවක් ගිනි ගන්නවා බලන්න කැමතිය. හෙට විස්සට විරුද්ධව පාරට බසිමුයි කීවට ජනතාව එන්නේ නැත. ධාතු පෙන්වනවා කීවොත් ජනතාව වැල නොකැඩී පාරට එනු ඇත. ලංකාවේ දේශපාලනය ඇත්තේ ව්‍යවස්ථාව තුළ නොව පෙන්වන දේ තුළය. පුස්තක තුළ නොව පුද්ගලයා තුළය. ■