ජයදේව උයන්ගොඩ


මේ දිනවල විසිවැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවූ විවාදයේ දී නීති තර්ක විතර්ක මතු වූයේ දැයි අපි නොදනිමු. ඒ ගැන පුවත්පත්වල වාර්තා වන්නේ නැත. මේ ගැන සොයා බැලූ විට මට දැනගන්නට ලැබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැටලු ගැන සිදුවන නඩුකර වාර්තා කිරීම තරම් අත්දැකීම් සහිත මාධ්‍යවේදීන් දැන් මාධ්‍ය ආයතනවල නැති බවයි. මෙය රටේ ප්‍රශ්න ගැන උනන්දුව දක්වන පුරවැසියන්ට පාඩුවකි.

මේ අතර පාස්කු ඉරිදා කොමිසමේ සාක්‍ෂි විභාගය ගැන නම් පුවත්පත්වල සෑහෙන්න වාර්තා පළවන අතර, ඒවා අප රටේ රාජ්‍ය ව්‍යුහය ඇතුළත සිදුවන සහ නොවන දේ ගැන විචාරාත්මක අවබෝධයක් ලබාගැනීමට බොහෝ ප්‍රයෝජනවත්ය. නිදසුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ තිබියදී ආරක්‍ෂක අමාත්‍යංශයේ තිබුණු ආයතනික, සංවිධානාත්මක ව්‍යාකූලත්වය ගැන වැදගත් චිත්‍රයක් එම වාර්තා මගින් ලැබේ. පොලිසිය, රහස් ඔත්තු සේවය යනාදී විවිධ ඒවා මගින් හැඳින්වෙන ඒකකත්, ඒවායේ ප්‍රධානීන් අතරත් පැවති අන්තර් ආයතන සහ අන්තර් පුද්ගල ඉරිසියාව, අකමැත්ත, තරගය සහ ගැටුම් යනාදිය නිසා ආරක්‍ෂක අමාත්‍යංශය පත්වූ සංවිධානමය අර්බුදය ගැන විෂයභාර අමාත්‍යවරයා වූ ජනාධිපතිවරයා දැන නොසිටි බවද එම සාක්‍ෂිවලින් පෙනේ.


ඔත්තු සේවාවන්ට, අපේ රටේ පුවත්පත්වලින් කියන්නේ ‘බුද්ධි අංශ’ කියාය. එය Intelligence යන ඉංග්‍රීසි වචනය වැරදි ලෙස ශබ්ද කෝෂර්ථයෙන් පරිවර්තනය කිරීමකි. ඇත්තටම ‘බුද්ධි අංශ’ යන වචනය මෙම ආයතන හැඳින්වීමට කොතරම් නොගැළපේ ද යන්න පාස්කු ඉරිදා කොමිෂන් විභාගයෙන් අපට අනාවරණය වූ කරුණකි. ඒවායේ ප්‍රධානීන් ක්‍රියාකර ඇත්තේ සාමාන්‍ය බුද්ධියවත් නැති රාජ්‍ය නිලධාරීන් ලෙසය යන සැකය කොමිසමේ සාක්‍ෂි පුවත්පත්වලින් කියවන පාඨකයන්ගේ සිතේ ඇති වන්නේ නම් ඒ ගැන අප පුදුම විය යුතු නැත.


දේශපාලන ලිබරල්වාදය


පසුගිය සති දෙක තුළ උත්සන්න වූ 20 වැනි සංශෝධනය පිළිබඳ විවාදයේ දී ආණ්ඩුවට පක්ෂ උගත් දෙතුන් දෙනෙකුගෙන් සෘජුව මෙන්ම වක්‍රව ද ප්‍රකාශ වූ අදහසක් ගැන තරමක් ගැඹුරට විමසා බැලිය යුතු යැයි මට සිතේ. එම අදහස නම් වර්තමාන ලංකාවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ න්‍යාය පත්‍රයටත් ලිබරල්වාදය නොගැලපෙන බවයි. ඒ අනුව 20 වැනි සංශෝධනය යනු දේශපාලන ලිබරල්වාදයට ආයුබෝවන් කීමේ තීරණාත්මක ප්‍රතිඵලයකි.


දේශපාලන ලිබරල්වාදය යනුවෙන් මෙම ජනයා තේරුම් ගන්නේ එය ආර්ථික නව ලිබරල්වාදයේම දේශපාලන පැත්ත ලෙසයි. ඒ අනුව දේශපාලන ලිබරල්වාදය යනු ඇමරිකාව ලෝකය පුරා ගෙන යන නව ලිබරල්වාදී ව්‍යාප්තියේම දේශපාලන මුහුණුවරයි.


එසේ නම් ඔවුන් කියා සිටින ‘දේශපාලන ලිබරල්වාදය’ යනු කුමක්ද? එය නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, නිදහස් සහ සාධාරණ මැතිවරණ, සංවරණ සහ තුලන ක්‍රම යන මේවායින් සමන්විත තනි පුද්ගලයකු වෙත රාජ්‍ය බලය කේන්ද්‍ර ගත කිරීමට ඉඩකඩ නොසපයන, ස්වාධීන අධිකරණයක් සහ රාජ්‍ය සේවයක් ද සහිත ආණ්ඩු ක්‍රියාවකි. වර්තමාන ලංකාවටත්, ගෝඨාභය ජනාධිපතිතුමාගේ න්‍යාය පත්‍රයටත් නොගැලපෙන්නේ මෙවැනි ආකාරයේ ආණ්ඩු ක්‍රමයකි.


එසේ නම් ලංකාවට ගැළපෙන්නේ කවර ආණ්ඩුක්‍රම මාදිලියන් ද? මේ ගැන පැහැදිලි පිළිතුරක් ආණ්ඩුව වෙනුවෙන් තම අදහස් පළ කරන අයගෙන් ප්‍රකාශ වන්නේ නැත. කලකට ඉහත දී සමහර දෙනා ගෝඨාභය මහතා වෙනුවෙන් යෝජනා කළේ අපිට ගැළපෙන, අපේ රටේම වර්ධනය වූ ක්‍රමයක් සොයා ගත යුතුය යන්නයි. ්‍Home Grown Political System එකක් යන අදහස ඔවුන්ගෙන් වක්‍ර ලෙස ප්‍රකාශ විය. එවැනි “ස්වදේශ-ජාතික” හෝ “ස්වදේශයේ වැඩුණු” ආණ්ඩුක්‍රම මාදිලි කිහිපයක්ම අප රටේ පැවතී තිබේ. ඒවා මෙපරිදි වේ.


රාජාණ්ඩුක්‍රමය – ලංකාවේ වැඩිම කාලයක් පැවති ඇත්තේ ද, දැනටත් සමහර දෙනා සිහින දකින්නේ ද, මෙම ක්‍රමයයි. එය පූර්ව ප්‍රජාතන්ත්‍රවාදී එකකි.


යටත්විජිත ආණ්ඩුක්‍රමය : සම්පූර්ණයෙන්ම ස්වදේශ-ජාතික නොවූවත්, එයද අවුරුදු හාරසීයක් පමණ අප රටේ පැළපදියම්ව පැවත තිබේ. පැවතුණ දීර්ඝ කාලයට අනුව එය දෙවැනි වන්නේ රාජාණ්ඩුවකට පමණයි.


සෝල්බරි වෙස්ට් මිනිස්ටර් ආණ්ඩුක්‍රමය : 1947 සිට පැවති මෙය ලංකාවේ පැවත තිබෙන සම්පූර්ණයෙන්ම දේශපාලන ලිබරල්වාදී මූලධර්මවලට සකස් වූ දීර්ඝම කාලයේ පැවති ආණ්ඩුක්‍රමයයි.


‘සමාජවාදී’ මිශ්‍ර ආණ්ඩුක්‍රමය : මෙය පැවතියේ 1972-77 යන පස් අවුරුදු කාලයේ ය. එය වෙස්ට් මිනිස්ටර්, සමාජවාදී සහ සමූහාණ්ඩු යන ආණ්ඩුක්‍රම මාදිලි තුනෙන් මිශ්‍ර වූ, එනම් තෙමුහුන් වූ නිර්-ලිබරල් ආණ්ඩුක්‍රමයයි.
‘විධායක’ ජනාධිපති ආණ්ඩුක්‍රමය : ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එජාපය විසින් 1978 දී හඳුන්වා දෙන ලද මෙම ක්‍රමයට ඒ කාලයේ ශ්‍රී ල.නි.ප.ය තදින්ම විරුද්ධ විය. පසුව 2010 දී ශ්‍රීලනිපය සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එම මාදිලිය තවත් ඉදිරියට ගෙන ගොස් වර්ධනය සහ ශක්තිමත් කරනු ලැබිණි.


‘ලිබරල්’ ජනාධිපති ආණ්ඩුක්‍රමය : මෙය වනාහී 2015 ජනවාරිවල සිට මේ වසරේ මේ මාසය දක්වා පවතින, 1978 ව්‍යවස්ථාව 19 වැනි සංශෝධනය විසින් හඳුන්වා දෙන ලද තවත් මිශ්‍ර ආණ්ඩුක්‍රමයකි. එහි වෙස්ට්මිනිස්ටර්, සමූහාණ්ඩු, අර්ධයකටත් අඩු ජනාධිපති සහ ලිබරල් ලක්‍ෂණවලින් මිශ්‍ර ආණ්ඩුක්‍රමයකි. සෝල්බරී අණ්ඩුක්‍රමය හැරුණු විට ලංකාවේ වැඩියෙන්ම දේශපාලන ලිබරල්වාදය තිබෙන්නේ මෙම 19 වැනි සංශෝධනය යටතේ ඇති කරන ලද ආණ්ඩුක්‍රමයේ ය.


මේවා අතින් අව්‍යාජ ලෙසම ස්වදේශ ජාතික ආණ්ඩුවක් යැයි කිව හැක්කේ 1815 දක්වා පැවති රාජාණ්ඩුක්‍රමයට පමණි. අන් කිසිවක් සම්පූර්ණයෙන් ස්වදේශ ජාතික ඒවා නොවේ. සෝල්බරි ක්‍රමය කෙටුම්පත් කළේ ඩී.එස්.සේනානායක මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයකි. එකල ශ්‍රී ලංකා විශ්වවිiාලයේ උපකුලපතිව සිටි ඉංග්‍රීසි ජාතිකයකු වූ ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් මහතාත්, බි්‍රතාන්‍යයෙන් එවන ලද සෝල්බරී කොමිසමේ වාර්තාවේ යෝජනා පදනම් කර ගෙනය. එම ව්‍යවස්ථාවට නෛතික වලංගුභාවය ලබාදෙන ලද්දේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසිනි.
මේ අතර 1972 ව්‍යවස්ථාව ‘ස්වදේශ ජාතික’ ව්‍යවස්ථාවකැයි එහි නිර්මාතෘ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා කියා සිටියේය. එහි අර්ථය නම් මෙරට ජනතාවගෙන් වරමක් ලැබූ සහ ජනතාව විසින් තෝරාපත් කරගනු ලැබූ නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් විසින් කෙටුම්පත් කරනු ලැබ, මෙරට ජනතාව විසින්ම තෝරා පත් කරන ලද පාර්ලිමේන්තුව විසින් එයට නෛතික අධිකාරී බලය ප්‍රදානය කරන ලද නිසාය. එහෙත් එහි ආණ්ඩුක්‍රම මාදිලිය නම් දේශීය හෝ ශ්‍රී ලාංකික එකක් නොවේ. එය බි්‍රතාන්‍ය වෙස්ට් මිනිස්ටර්, ප්‍රංශ සමූහාණ්ඩු සහ රුසියානු සහ චීන සමාජවාදී ආකෘතිවල මිශ්‍රණයකි.


1978 ව්‍යවස්ථාවටත්, එහි සංශෝධනවලටත් එම ගැටලුවම තිබේ. එය මුලදී බි්‍රතාන්‍ය වෙස්ට්මිනිස්ටර් ක්‍රමය දුර්වල කර ප්‍රංශ ජනාධිපති ක්‍රමයට බද්ධ කිරීමක් විය. 19 වැනි සංශෝධනය කළේ යැයි ප්‍රංශ ජනාධිපති ක්‍රමයේ ලක්‍ෂණ දුර්වල කර ශක්තිමත් කරන ලද වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ ආණ්ඩුක්‍රමයකට බද්ධ කිරීමයි.


මේ පසුබිම් තුළ අපට අපේම යැයි කිව හැකි ආණ්ඩුක්‍රමය වන්නේ පණ්ඩුකාභය රජතුමාගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දක්වා පැවති රාජාණ්ඩු ක්‍රමයයි.


විසිවැනි සංශෝධනය දෙස බලන විට පෙනෙන්නේ එය අපේ සභ්‍යත්ව රාජ්‍යක්‍රමය වන රාජාණ්ඩුක්‍රමයට ආපසු යෑමක් බව නම් නොවේ. එය වඩාත් කිට්ටු වන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මුල් 1978 ව්‍යවස්ථාව, යටත්විජිත රාජ්‍යය යටතේ පැවති ආණ්ඩුක්‍රමය සමග බද්ධ කිරීමක් ලෙසය. මෙය නම් සැබවින්ම දේශපාලන ලිබරල්වාදය ප්‍රතික්‍ෂේප කරන අප රටේම පැවති අතීත නිර්-ලිබරල් සහ පූර්ව-ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති දෙකකින් අනුප්‍රාණය ලබා නිර්මාණය කරන ලද ආණ්ඩුක්‍රම ආකෘතියක පළමුවැනි අදියර යැයි හැඳින්විය හැකිය.


විස්සෙන් පසුව


විස්සෙන් පසුව සිදුවන්නේ කුමක්ද? යන ප්‍රශ්නය ගැන වර්තමාන දේශපාලන සාකච්ඡාවේ ඒතරම් අවධානයක් යොමු වන්නේ නැත. එය නම් ඒ තරම් හොඳ දෙයක් නොවේ. තේරුම ලබ්බට තැබූ අත පුහුලටත් තැබීම ඊළඟට සිදුවීමට බොහෝ විට ඉඩකඩ තිබෙන බව අමතක කිරීමත් කියාය.


20න් පසුව ඉඩ තිබෙන්නේ සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. එයට පදනම් රාමුව වන්නේ විස්සයි. විස්සෙන් සිදු වන්නේ රාජ්‍ය ව්‍යුහය තුළත්, ආණ්ඩුක්‍රමය තුළත්, ජනාධිපති ගෝඨාභය නම් වූ මහතාගේ පුද්ගලික බලය ස්ථාපිත කිරීමයි. 19 වැනි සංශෝධනය යටතේ එතුමාට තිබූ ගැටලුව ගැන එතුමා සවිඥානක විය. එනම් මහජන ඡන්දයෙන් ජනවරමක් ලැබුණත්, පාලක පක්‍ෂය හෝ පාර්ලිමේන්තුව තුළ එතුමාට සෘජු බලයක් නැතිවීමයි. හේතුව එතුමාට ස්වාධීන දේශපාලන බල මූලාශ්‍රයන් නොවීමයි. ඒ මගින් තම බලය ගැන ස්ථාවර හැඟීමක් එතුමාට නැතිවීමයි. විස්සෙන් කරන්නේ එම කුකුස සහ සංකාව නැති කර, එතුමාගේ බලය, රාජ්‍ය ව්‍යුහයක්, ආණ්ඩුවේ ව්‍යුහයත් ඇතුළට සෙළවිය නොහැකි ලෙස ස්ථාපිත කිරීමයි.


විස්සෙන් පසුව ඇති වන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පැහැදිලි ඉඟියක් තවම නැතත්, වක්‍ර ඉඟි කිහිපයක් තිබේ. ඒ අනුව 13 සංශෝධනයක්, සමානුපාතික ක්‍රමයක් සංශෝධනය වන්නට ඉඩ තිබේ. මේ අනුව බැසිල් රාජපක්‍ෂ මහතා දී ඇති ඉඟියක් අප බැරෑරුම්ව සළකන්නේ නම්, ලංකාවේ ආණ්ඩුක්‍රමය මහජන චීන සමූහාණ්ඩුක්‍රමයෙන් ද ලබා ගන්නා ආදර්ශවලට අනුව සකස් වන්නට ඉඩ තිබේ. ජේ. ආර්. ට ප්‍රංශයේ ඩිගෝල්ගේ ආදර්ශනය ගන්නට හැකිනම් ගෝඨාභයට සහ බැසිල්ට චීනයේ ක්සීගේ ආදර්ශයෙන් අනුප්‍රාණය ලබාගත නොහැකි ඇයි? මෙය ඉදිරි මාස කිහිපයක තුළ ඇතිවන්නට බොහෝ විට ඉඩ තිබෙන වර්ධනයකි.


ගිනිකොණ සහ නැගෙනහිර ආසියාතික ආදර්ශය


ජේ. ආර්. ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ පාලන තන්ත්‍ර කාලයේ දී එම නායකයන් ආර්ථික සහ දේශපාලන අනුප්‍රාණය සොයා හැරුණේ බටහිර රටවලටයි. මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසුව ශ්‍රීලනිපයත්, පසුව ඔහුගේ පොහොට්ටු පක්‍ෂයත් හැරෙන්නේ ගිනිකොණදිග සහ නැගෙනහිර ආදර්ශවලිනි. එනම් සිංගප්පූරු සහ චීන ආදර්ශවලටය. සමහරවිට පිලිපීන ආදර්ශයටත් යන්නට ඉඩ තිබේ.


මගේ ඉන්දියානු මිත්‍රයකු කියන පරිදි ඉන්දියාවේ වර්තමාන දේශපාලන පරිවර්තනය සිදුවන්නේ රටවල් හතරක් ආදර්ශයට ගෙනය. එනම් තුර්කිය, පකිස්ථානය, චීනය සහ පිලිපීනයයි. පකිස්ථානය සහ චීනය සමග දේශසීමා ආරවුල් සහ යුද තර්ජන තිබුණාට කමක් නැත. මෝදි පකිස්ථානයේ සහ තුර්කියේ ඉස්ලාමීය රාජ්‍ය මාදිලියෙන් ආදර්ශය ලබා භාරතය හින්දු සමූහාණ්ඩුවක් බවට පත් කරමින් සිටී. චීනයෙන් ආභාෂය ලබා තනි දේශපාලන ව්‍යාුහයක් නිර්මාණය කරමින් සිටී. පිලිපීනයෙන් ආභාෂය ලබා ඉන්දියාව පොලිස් රාජ්‍යක් බවට පත් කරමින් සිටී. මහ ඇමති යෝගී ආදිත්‍යනාත් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම පිලිපීන ආණ්ඩු මාදිලිය සාර්ථක ලෙස අත්හදා බලමින් සිටී. මේ සියල්ලටම ඇමරිකාවේ ආයෝජන ද, දේශපාලන සහයෝගය ද අගමැති මෝදිට ලැබේ. ඉන්දියාව යනු තවදුරටත් අප දැන සිටි ධර්මාශෝකගේවත්, ගාන්ධිගේ හෝ නේරුගේවත් ඉන්දියාව නොවේ.


ලංකාව ද දැන් බටහිර ආදර්ශවලින් ඈත් වී ගොස් හමාරය. පශ්චාත්, දේශපාලන ලිබරල්වාදී චින්තනයට සමහර බුද්ධි ශ්‍රේණීන් දැනටමත් හැරී සිටින්නේ ඒ නිසාය. ඔවුන් මාක්ස් උපුටා දක්වන්නේ ලොක් සහ මිල් විවේචනය කරන්නා මෙන්ම කොන්පියුසියස් වෙතට ද සිදුවන පරිවර්තනයේ ආරම්භය අදියරක් ලෙසයි. මාක්ස් හරහා කොන්පියුසියස්ට යාම වඩාත් පහසුවේවි ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here