චාමිනි වික්‍රමසිංහ


හමුදා සෙබළාගෙන්, ජාතික කොඩියෙන් ආරම්භ වූ තාප්පවල චිත්‍ර ඇඳීමේ රැල්ල දැන් අවසන් වී ඇත. එක් අතෙකින් ඒවා නූතන පරම්පරාවේ අපේක්ෂාවන් හා සිතැඟි විය හැකියි. ඔවුන්ගේ ග්‍රහණයට නතු වූ තාප්ප දැන් නිදහස් වී ඇත.

“බිත්ති මත පින්තාරු කිරීම සාම්ප්‍රදායික කලා ලෝකය වර්ජනය කරන බව පෙන්වීමේ ක්‍රමයක් විය. මුලදී මම කැරලිකරුවෙකු ලෙස සිතුවෙමි. වීදීයේ තීන්ත ආලේප කිරීම තහනම් බැවින් එය සිත් ඇදගන්නාසුලු විය. එය නීතිවිරෝධි නිසා වාරණයක් නොමැති බැවින් බිත්ති මත පින්තාරු කිරීම මට මගේ නිදහසට ඉඩ සලසයි. එයද අභියෝගයකි. මන්ද මම බිත්තියක් මත තීන්ත ආලේප කරන සෑම අවස්ථාවකම මගේ චිත්‍රය මකා දැමීමේ අවදානමක් ඇති බැවිනි” වැන් ගෝ විසින් වසර ගණනාවකට පෙර මේ වත්මන් රැල්ල දකින්නට ඇතැයි මට සිතේ. ඉදින් මේ ගමන දැන් නැවතී ඇත. ඒ පිළිබඳව කලාකරුවන්ගේ අදහස් විමසා බැලීම වටී.

අර්ථවිරහිත ඇඳිල්ලක්
ශාන්ත කේ. හේරත්


මෙම වීදි චිත්‍ර කලාව යුරෝපය වගේ විවිධ රටවල් වල තමන්ගේ ආවේග පිට කරගන්න භාවිත කරපු මාධ්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙය ග්‍රැෆිටි කලාව වශයෙන් හඳුන්වනවා මේ බිත්තිවල තාප්පවල චිත්‍ර ඇඳීම සාමාන්‍ය ක්‍රියාවලියක්. මිනිස්සු පොදු වැසිකිළිවල පවා චිත්‍ර අඳිනවා. ඒ තමන්ගේ පීඩනය නැතිකර ගන්න.


ලංකාවේ තාප්පවල චිත්‍ර ඇඳීමේ තත්ත්වය ඇති වුණේ කලාව පිළිබඳව හෝ මිනිසුන් තුළ තිබූ පීඩනයක් පිළිබඳව හෝ අදහස් ප්‍රකාශ කිරීමට නොවේ. මෙතනදී වුණේ මිනිස්සු යම්කිසි අසහනකාරී දේශපාලන තලයක් පසු කරමින් ඊට වෙනස් දෙයක් පිළිබඳව අපේක්ෂාවෙන් සිටි වෙලාවක සිදු වූ පරිවර්තනයේදී එක් පුද්ගලයෙක් හෝ පිරිසක් කළ දෙයක් මුළු රට පුරාම බෝවී යෑමයි. මෙහිදී තරුණයන්ගේ නිර්මාණශීලි බව පිළිබිඹු වුණා. නමුත් එය නිවැරදිව කළමනාකරණය වූ බවක් පෙනුණේ නෑ. මේ අවස්ථාවේදී ඇතැම් දේශපාලකයින් සහ ව්‍යාපාරිකයින් මේ තරුණ පිරිස පාවිච්චි කළා. ඒ අය තරුණයන්ට උදව් කරලා කිසිදු දුරදක්නා බවක් ඥානයක් නොමැතිව යම් යම් අරමුණු ඉටු කරගත්තා. මෙය කතා කළ යුතු දේකුත් නෙවේ. නමුත් ඒ මගින් ලංකාවේ චිත්‍ර අඳින්න දක්ෂ පිරිසක් එළියට ආවා. ඒ අයගේ දැනුම දියුණු කරන්න ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම ලංකාව පුරාම ඉන්න හොඳ රසිකත්වයක් තියෙන පිරිස මින් එළියට ආවා. නමුත් ඒ රසිකත්වය දියුණු කරගන්න තිබ්බ අවස්ථා අපතේ ගියා.


මම හිතන්නේ ග්‍රැෆිටි කලාව කියන දේ ලංකාව තුළ තියෙන්න ඕනේ නෑ. මොකද ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න ඕන තරම් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හා සමාජ තියෙනවා. ඒ නිසා තාප්පවල චිත්‍ර අඳින්න තරම් අපිට උවමනාවක් නෑ. ඒ නිසා අපේ ලංකාව ලස්සන කරගන්න ඕන කියලා හිතන පිරිස කරන්න ඕනේ ඒ කැත තාප්ප පිරිසිදු කරලා ඒවගේ ලස්සනට තීන්ත ටිකක් ගාන එක වගේ දේවල්. ඉස්සර දුම්රිය ස්ථාන ඉතාමත් ලස්සනයි. නමුත් දැන් ගොඩාක් ඒවා එහෙම නෑ. හැමතැනම චිත්‍ර අඳිනවට වඩා ඒ වගේ තැන්වල මල් වවලා ලස්සනට හදන්න පුළුවන් නම් ඒකත් කලාවක්. පිටරවල්වල යම් යම් හේතු මත ඇන්ද වර්ණ පදාස කිසිදු හේතුවක් නොදැන මෙහෙ අතුරන එක කිසිම තේරුමක් නෑ.

රැල්ල බහින බව කලින්ම කිව්වා
චිත්‍ර ශිල්පී ඩොමිනික් චන්ද්‍රසාලි

මේ වීදි චිත්‍ර රැල්ල පටන් ගත්තෙම මිනිස්සු කොහොමද තමන්ගේ විරෝධාකල්ප දක්වන්නේ කියන එක පෙන්වන්න. ඒක පවතින ආණ්ඩුව විවේචනය කරලා වෙන්න පුළුවන්. ඒක නිසා තමා ඒක ගරිල්ලා වෙලා තියෙන්නේ. නමුත් අපේ රටේ මේ රැල්ල හැදුණේ හමුදා පන්සල් වගේ දේවල් මූලික කරගෙනයි. ආගමික සහජීවනයට උනත් පන්සල්ම ඇඳලා හරියන්නේ නෑනේ. පල්ලි එහෙමත් අඳින්න එපෑ. ඒත් කවුරුත් පල්ලි ඇන්දෙ නෑ. පල්ලියක් නිකන් හරි ඇඳලා තිබ්බොත් අපේ සිංහල බෞද්ධයෝ ඒ තාප්පෙත් එක්කම ගලවලා දායි.


සමහර සිංහල බෞද්ධයෝ කිව්වා මේක මුඩුක්කුවල අඳින චිත්‍ර කලාවක් කියලා. ඒක වැරදියි. ලංකාවේ මේ කලාව තිබ්බා. ඒත් ප්‍රමිතියකින් පටන් ගත්තේ මෑතකදී. හැබැයි ලෝකේ ඒවා පරණයි ඊට වඩා ඉස්සරහින් ෂැඩෝ ආර්ට් වගේ එක එක ආර්ට් ඇවිත් තියෙනවා අලුතින්. හැබැයි අපිට ඒවා දුරයි.


මේ රැල්ල ආවා වගේම ඉතා ඉක්මනින් බහින ව අපි කලින්ම කිව්වා. පහුගිය දවස්වල වැඩ කරද්දි අපි දැක්කා මිනිස්සු හරි උද්යෝගයෙන් තමන්ගේ පවුලේ අයත් එක්කම එනවා. ඒක හොඳයි, හැබැයි ඒ උද්යෝගය දවස් දෙකයි. අවබෝධයෙන් ඒකේ තියෙන යථාර්ථය තේරුම් අරන් ඒ දේ කළා නම් ඇත්තමට ප්‍රායෝගිකව ඒ දේ ඉතුරු වෙන්න ඕනේ. හැබැයි මෙහෙම ඇඳලා ඇඳලා අවසානෙට මිනිස්සු හිස් බිත්ති දකින්න ආස වෙනවා. මිනිස්සුන්ට චිත්‍ර කියන දේ කරදරයක් වෙනවා. මේ වගේ දේවල් නිසා ලන්ඩන්වල ජර්මනියේ එහෙම සමහර පැතිවල චිත්‍ර අඳින මිනිස්සු හිරේ දානවා. එහෙ තාප්පවල චිත්‍ර අඳින එක ඒ තරම් කරදරයක් වෙලා තියෙන්නේ. ලංකාවෙත් ඒ තැනට එනවනම් මම කැමතියි.


චිත්‍ර ඇඳීමේදී තේමාවන් සම්බන්ධව පොඩි පොඩි ගැටලු තිබ්බට මේක හොඳ ප්‍රවණතාවක්. ඒත් කලාව කියන්නේ වෙස් මූණ අඳින එකවත් ශ්‍රී ලංකා කියලා ගහන එක විතරක්මත් නෙවේ. අපි එතනින් එහාට යන්න ඕනේ. මේ වෙලාවේ අපි ගෝලීය උෂ්ණත්වය ගැන ප්‍රශ්න කරන්න ඕනේ. හිම කඳු දියවෙනවා. වනාන්තර ගිනි ගන්නවා. අපි තුවක්කු ගත්ත හමුදාකාරයෝ අඳිනවා. ලංකාවේ සමහර මිනිස්සු සංස්කෘතියෙන් එළියට ඇවිත් කලාවෙන් දෙයක් කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ. හැබැයි සමහර අවකාශ ඇතුලේ කලාව කියන දේ හොඳින් එළියට දානවා.
අද කාලේ ඇත්තටම චිත්‍ර අඳින්න පුළුවන් මනුස්සයා නෙවේ චිත්‍රකාරයා කියෙන්නේ. ඉස්සර හිටියේ චිත්‍ර බාස්ලා. දැන් ඉන්නේ කලාකාරයෝ. ඇත්තටම කලාකාරයෙක්ගෙන් වෙන්න ඕනේ පරිසරයේ තියෙන දේවල් වෙනස් කරලා ඒකට අලුත් මුහුණුවරක් දෙන්නේ කොහොමද කියන දේ. ඒ නිසා මෙතන හැමෝම පින්සල් අරන් ගියාට හැමෝම කලාකාරයෝ වුණේ නෑ. හැබැයි ඒ ආකල්පය මරු. මේක රැල්ලක් නොවී දියුණු වෙලා ගියා නම් ලංකාවේ මිනිස්සු කොච්චර චිත්‍ර අඳියිද? අපිට එතකොට චිත්‍ර පිටරටට යවන්න වුණත් පුළුවන්. මෙතනදි පුංචි ළමයි එහෙම මේ දේ කරන එක ලස්සනයි. අහිංසකයිනේ. අපි ඒ පොඩි පරම්පරාව හරියට අරගෙන හොඳ ගමනක් යන්න ඕනේ. ඇත්තටම චිත්‍ර කියන්නේ විෂයක් නෙවේ. ඒක අදහස් ප්‍රකාශ කරන මාධ්‍යයක්. අපි මේ රැල්ල කියන එක දිනුවොත් තමා අපිට එතනට යන්න පුළුවන්. ඒකට කියන්නේ අධියථාර්ථවාදී සිතුවම් කියලා. ඒවා අසාමාන්‍යයයි. ස්වාභාවික තලයේ පිහිටන්නේ නෑ. ඒ වෙලාවේ ඒ රැල්ල ඇතුලේ බේරිලා ඉන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. ඒත් අපි එහෙම හිටපු අය.

දැක්මක් නැති නිසා
රැල්ල බැස ගියා
චිත්‍ර ශිල්පී ප්‍රගීත් අලුත්වත්ත


වීදී සිතුවම් කලාව කියන්නේ කලාගාර අවකාශයේ අවස්ථාවක් නැති අයට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යක්. මීට කලින් ලෝකයේ යුද විරෝධී ධනවාදයට විරුද්ධ ආණ්ඩු විරෝධී රැලි දක්නට ලැබුණා. ලංකාවේ වීදි චිත්‍ර රැල්ල ආවේ එහෙම නෙවේ. යුදකාමී, රාජ්‍ය අනුග්‍රහය සහිත එකක් විදියට.


පාරවල්වල චිත්‍ර අඳින එකෙන් ජන විඥානය එළියට ආවා. කෝලම් නාට්‍ය වගේ දේවල් බැලුවොත් ඒ කාලේ මිනිස්සුන්ගේ ජන විඥානය තේරුම් ගන්න පුළුවන්. ජන විඥානයේ ප්‍රකාශනය ගත්තොත් ඒකෙන් මනුස්සයෙක්ව කියවන්න පුළුවන්. මම දැක්කා චිත්‍රයක මහනුවර යුගයේ පෙරහැරක් ඇඳලා තියෙනවා. ඒකේ ඉස්සරහින්ම තුවක්කුවක් අතින් ගත්ත යුද හමුදාවේ කෙනෙක් ඉන්නවා. හැබැයි දුටුගැමුණු කතාවෙ නම් තියෙන්නේ ඉස්සරහින් හාමුදුරුවෝ වඩිනවා. පිටිපස්සෙන් තමා හමුදාව යන්නේ. දැන් හමුදාවෙන් ආරක්ෂාව සපයමින් ඉස්සරහින් යනවා. ලස්සනම වැඬේ තමා අනුග්‍රහය කොස්වේ තීන්ත කියලා ලොකුවට ගහලා තියෙනවා. එතකොට එතන හොඳ දෘශ්‍ය රූපයක් තියෙනවා. ධනවාදයේ මූලික ලක්ෂණයක් තමා ජාති ආලය, ආගම්වාදය විශේෂයෙන් පෙන්වන එක. එතකොට එතන ලස්සනට තියෙනවා ආගම් භක්තිය හා ජාත්‍යානුරාගය කෝස්වේ තීන්ත හරි මොනවහරි දේකින් පෙන්නන එක හොඳයි. සාමාන්‍යයෙන් ප්‍රචාරණ දැන්වීම්වලින් පෙන්වන්නේ මාපිය දූ දරු සම්බන්ධතා වගේ දේවල්නේ. ධනවාදයෙන් කරන්නේ මානව සබඳතා වගේ දේවල් විකුණන එකනේ. මෙතනදී ඒ දේ අපිට දෘශ්‍යමය විදියට බලාගන්න පුළුවන්. ඒක හොඳයි. අපිට ඒකෙන් මේ සමාජය තේරුම් ගන්න පුළුවන්. ඒක සමාජය විශ්ලේෂණය කරන්න පුළුවන් දෘශ්‍යය රූපයක්. ඒකෙන් මිනිස්සුන්ගේ චින්තනය අපිට පේනවා.


නමුත් මේක පටන් ගත්ත දවසේ ඉඳන්ම අතීත කතාම අඳිනවා. දුටුගැමුණ, එළාර, හමුදා සෙබළු වගේ දේවල් ආගමික පසුබිමක් සහිත දාගැබ් වගේ දේවල් වැඩි වශයෙන් අඳිනවා. එතනදි අපිට ආගමික සහජීවනය වගේ දේවල් වලින් ගැළවෙන්නම බෑ. ඒත් පිටරටවල්වල මේ වගේ ආගමික විරෝධයත් නෑ. ආගමික සංහිඳියාවත් නෑ. මෙතන මොන දේ ඇන්දත් අපේ මිනිස්සුන්ට ආගම කියන දෙයින් ගැළවෙන්නම බෑ. ලංකාවේ එක්කෝ තියෙන්නේ ආගමික සංහිඳියාව, නැත්නම් ආගමික විරෝධය. අපිට තියෙන ප්‍රශ්නේ අපි මේ වගේ රාමුන් ඇතුලේ හිරවෙලා එතනින් එහාට කලාව වෙනුවෙන් අලුත් දෙයක් කරන්න එළියට එන්නේ නැති එකයි.


මේ දේවල් වෙනස් කරන්න ඕනේ විවේචනය කරන්න ඕනේ ආණ්ඩුවෙන් නීති දාලා නෙවේ. චිත්‍ර ශිල්පියෝ අතර කථිකාවක් ඇතිවෙලා එයාලම මේ ගැන එකඟතාවකට එන්න ඕනේ. තාක්ෂණික වශයෙන් දෘශ්‍ය දූෂණය ගැන. නගර අලංකරණය සඳහා චිත්‍ර අඳින එක හොඳයි. ඒක වෘත්තීය මට්ටමෙන් වෙනව නම් තවත් හොඳයි. කොයි තැන්වලද අඳින්නේ කොයි තැන්වලද අඳින්නේ නැත්තේ කියලා එයාලා තීරණය කරන්න ඕනේ. ඒත් බලෙන් පොදු අවකාශය භාවිත කරන එක හරි නෑ. ඒකේ බලපෑම අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසාම මේ රැල්ල ඉක්මනින් අවසන් වු බවත් කියන්න පුළුවන්.

වීදි කලාවට ඕනෑ
පොදු සංකල්ප
චිත්‍ර ශිල්පී සුජිත් රත්නායක


මේක වීදී කලාවක්. මේ වීදීයේ කලාවේ ග්‍රැෆිටි කියන තත්ත්වයේදී චිත්‍ර අඳින්නේ චිත්‍ර ශිල්පීන් නෙවේ. පීඩිත පන්තියේ අය, සිරගෙවල්, හමුදා කඳවුරු, වධකාගාර, වගේ ස්ථානවල තමන්ගේ හැඟීම් පිටකර ගන්න බැරුව නිර්ව්‍යාජ විදියට කරන කුරුටු බලියි. අපි ඒකට කියන්නේ ග්‍රැෆිටි කියලා. මේ කලාවේ පුරෝගාමියා වුණෙ බැන්ස්කි. ඒක හරියට බොබ්මාලේගේ රෙගේ සංගීතේ වගේ.


මහපාරේ වුණත් අපිට ඕනේ චිත්‍රයක් අඳින්න බෑ. මොකද ඒක පොදු අවකාශයක්නේ. ඒ වගේම ලෝකේ ඓතිහාසික අවස්ථා තියෙනවා රජයේ අනුදැනුම නැතිව කරපු. බැන්ස්කි කියන ග්‍රැෆිටි නිර්මාණකරුවා එහෙම කෙනෙක්. ඔහු රජයේ අවසරය නැතුව පොලීසියට අහුනොවෙන්න හොරෙන් කරපු දෙයක් තමා ග්‍රැෆිටි කලාව. සමහර පොදු අවකාශ තියෙනවා කලාකාරයාගේ යම්කිසි ආධිපත්‍යයකට යටවෙන. ඒවා පුද්ගලික අදහසක් මත ගත්තත් ඓතිහාසික නිසා එහෙම කරනවා. දියුණු රටවල් ඒවා කෞතුක භාණ්ඩ විදියට ආරක්ෂා කරනවා. ලෝකයේ සාමාන්‍ය ක්‍රමය තමා එහෙම කලාකාරයන්ට ඕනේ ඕනේ විදිහට කරන්න දෙන්නෙත් නෑ. එහෙම කරන්නත් බෑ. මොකද මහපාරේ යන්නේ එන්නේ රසිකයෝ විතරක් නෙවේනේ. එහි විවිධ අය යනවා. රෝගීන් යනවා. පොඩි අය යනවා. වැඩිහිටි අය යනවා. විවිධ ආගම්වල අය යනවා. එතකොට දියුණු රටවල හැමෝටම ගැළපෙන පොදු සංකල්ප තමා වීදී කලාවලට දාන්නේ. නගර නිර්මාණ ශිල්පියෝ, භූමි දර්ශන ශිල්පියෝ, වාස්තුවේදියෝ, කලාකරුවෝ, රජයේ බලයලත් ආයතන සියල්ල එකතුවෙලා තමයි ඒ ව්‍යාපෘති සැලසුම් කරන්නේ. එතකොට ඒ පොදු බව ආරක්ෂා වෙනවා.


දැන් මේ ඇතිවෙලා තිබ්බ තාප්පවල චිත්‍ර ඇන්ද රැල්ල එහෙම එකක් නෙවේ. තම තමන්ට හිතෙන හිතෙන දේවල් හිතෙන හිතෙන තැන්වල ඇඳපු එකක්. ඒක හොඳ තත්ත්වයක් නෙවේ. අවසානයේ මේවාගේ බලය තියෙන්නේ කාටද කියන එක ප්‍රශ්නයක් වුණා. හැමදේකටම අදාළ ආයතන තියෙනවනේ. රජයේ අවසරය අරන් කලාකාරයෙක්ට බිත්තියක චිත්‍රයක් අඳින්න දුන්නොත් අඳින කෙනා ඒකට ලස්සණ කතා කියයි. එහෙම කිව්වට චිත්‍රෙ තියෙන්නේ වෙන දෙයක්. සමහරවිට පොදු බව උල්ලංඝනය වෙන දෙයක්. ඒක ආයතනය කියන විෂය පථයට පවා තර්ජනයක් වෙන්න පුළුවන්. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යුද්ධය සම්බන්ධ දෙයක් ඇන්දොත් ඒක ගැළපෙන්නේ නෑනේ. ඒ වගේ කලාව ඇතුලේ තියෙන්න ඕනේ උචිතානුචිතභාවයක්. ඒ උචිතානුචිතභාවය බලයලත් ආයතන විසින් නියාමනය කරන්න ඕනේ. එහෙම නැතුව මිනිස්සුන්ට ඕනේ විදියට වැඩ කරන්න දෙන්න හොඳ නෑ කියන එක මගේ එක මතයක්.

කලාව තුළ සැබෑ රස විඳින්න පුළුවන් කලාගාරයට යන කෙනාට. කලාගාරයට යන්නේ රසිකයා. නමුත් මේ තාප්පවල චිත්‍ර අඳින රැල්ලෙදි අලුතින් චිත්‍ර කලාවට යොමුවෙන කෙනෙක් හිතනවා මේක තමා හරය මේ තමා අවසානය කියලා. මොකද පොඩි ළමයි හැමතිස්සෙම කරන්නේ වැඩිහිටියෝ කරන දේ. එතකොට මේකෙන් වෙන නරක දේත් ළමයි ගන්නේ බලයක් තියෙන දෙයක් විදියට. මොකද රජයේ ප්‍රසිද්ධ ස්ථානයක වට රවුමක් ළඟ මහජනයා ගැවසෙන තැන්වල කිසි දෙයක් අඳින්න දෙන එක හරි කියලා තමා ළමයි හිතන්නේ. එතකොට හැමෝම තරගකාරීව ඇබ්බැහි වෙන්නේ ඒක කරන්න. ඒත් කලාව කියන්නේ ඒකම විතරක් නෙවේනේ.


අපි අපේ මනුස්ස ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන්, පවුල් අඬ දබර, ස්වාභාවික විපත්, යුද්ධයේ ජයග්‍රහණ, මානව අහිමිවීම්, ඉච්ඡාභංගත්වය, තරුණ අසහනය කලා කෘති මගින් විවධ පැතිකඩවල් ගවේෂණය කරන්න ඕනේ. දැන් කලා ඉතිහාසය තුළ තියෙන සංධිස්ථානගත දේවල් කරන්නේ නෑ. නමුත් ඒ දේවල් විය යුතුයි. එහෙම පසුබිමක වීදී චිත්‍ර රැල්ලක් මෙහෙම එනකොට අවසානේදී ඒක සැණකෙළිකාරක තත්ත්වයක් උත්සව ශ්‍රීයෙන් සමරන දෙයක් බවට පත්වෙනවා. ඒත් නියම කලාව ඇතුලේ ප්‍රේක්ෂකයා ඒක වින්දනය කරනවා. ඒ කෙරෙහි හැඟීම්බරව බැඳෙනවා. ඒක දැනුමක් හැටියට එක්තැන් කරගන්නවා. කලාවෙන් අපි නොහිතපු ශානරයක් අත්වෙලා තියෙනවා වෙන්න පුළුවන්. තමන් නොහිතපු පැත්තකට කලාව තුළින් ගිහින් තියෙනවා වෙන්න පුළුවන්.


වීදී චිත්‍ර කලාවේ තියෙන්නේ හරි පටු ජනප්‍රිය දෙයක්. එහෙම නැතුව වීදී චිත්‍ර කලාවේ වෙන දේවල් කරන්න බෑ. රූපවාහිනිය තුළ හොඳ චිත්‍රපටියක් කරන්න බෑ වගේ මේක තුළ සම්භාව්‍යය හෝ රොමෑන්ටික් හෝ අනුවේදනීය හෝ කිසිම දෙයක් කරන්න බෑ. රූපවාහිනියට යනකොටම චිත්‍රපටිය නැතිවෙලා යනවා වගේම වීදීයට යනකොටම චිත්‍රය දියවෙලා ඉවරයි.


උදාහරණයක් විදියට අපි රණවිරුවෙක් අඳිනවා. එතකොට ඒ ගොඩනැගිල්ලේ ප්‍රධානියාට හෝ කාටහරි ඕනේ වෙනවා මේක ප්‍රතිසංස්කරණය කරන්න මේක මකන්න. එතකොට අර චිත්‍ර ඇඳපු අය මේක මකනවට විරුද්ධ වෙනවා. මොකද එයාලගේ හිතේ තියෙන්නේ චිත්‍රයක් මකනවා කියලා නෙවේ. රණවිරුවා මකනවා කියලා. ඒ තමා අපේ මිනිස්සුන්ගේ විදිය. ඒ නිසා මේ රැල්ලත් ආයේ හරවන්න අමාරුයි. මොකද මෙයාලා මේකේ අඳින්නේ භික්ෂුව, පොඩි ළමයි, රණවිරුවෝ වගේ අය. ■