රසික ගුණවර්ධන/චාමිනී වික්‍රමසිංහ


මහර බන්ධනාගාර ගැටුමෙන් එම බන්ධනාගාරයේ රැඳවියන් එකොළොස් දෙනෙකු මියගිය අතර එයින් සිවු දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරවලින් මියගිය බවට මේ වන විට අනාවරණය වී ඇත. එම මිනීමැරුම් සාධාරණය කරන්නට රජය දෙසින් විවිධ පිටපත් ලියැවෙමින් ඇත. එසේම වෙඩි තබා මරා දැමුණු සිවුදෙනාටද කොරෝනා ආසාදනය කර ඔවුන්ගේ සිරුරු ආදාහනය කර දැමීමට තරම් ආණ්ඩුව සූක්ෂ්ම වී ඇත.


පසුගිය සතියේ අප සොයා ගියේ මෙසේ ඝාතනය කළ එකොළොස් දෙනාගෙන් එක් අයෙක් වූ අමිත්ගේ ගෙදරටය. මෙවර අප සොයා යන්නේ ඝාතනය කළ සම්පත්ගේ කතාවය. ඝාතනය කළ එකොළොස්දෙනා අතුරින් අප සොයා යන දෙවැන්නා සම්පත්ය. සම්පත්ගේ කතාවද අමිත්ගේ කතාව වැනිමය. අමිත් සේ ම සම්පත් ද කුලී වැඩකින් එදා වේල සරිකර ගත්තෙකි. හිසට හරිහමන් වහළක්, තමන්ට කියා බිම්කඩක් නැති එහෙත් රැක ගැනීමට දරුවන් තිදෙනෙක් සහ බිරිඳක සිටි අවුරුදු විසි නවයක තරුණයෙකි.


සම්පත්ගේ සම්පූර්ණ නම සිංගාර ලියනගේ සම්පත් පුෂ්පකුමාර ය. සම්පත් ජීවත් වූයේ ජා ඇල දුම්රියපොළ ආසන්නයේය. සම්පත්ගේ මරණය සැල වී මුද්‍රණය කර තිබූ බැනරයට අනුව සම්පත්ගේ නිවසේ ලිපිනය වන්නේ ජා-ඇල, කළු පාලම අසල, දුම්රිය රක්ෂිතය වේ.


අප සම්පත්ගේ නිවස සොයා යන විට අප බලාපොරොත්තුවෙන් ඔහුගේ ඥාතීහු දුම්රිය මාර්ගයට විත් සිටියෝය. මේ නිවෙස්වලට මිදුලක් නැත. ඇති එකම මිදුල දුම්රිය මාර්ගයයි. අයෙක් දුම්රිය මාර්ගයට දැමූ මෙට්ටයක් මත වැතිර සිටී. කුඩා කොල්ලෝ කුරුට්ටෝ කිහිප දෙනෙක් මහා සිල්පර කොට සහ රත් වූ රේල් පීලි අතර කෙළි දෙලෙන් වෙසේ. කිසිවෙකුට ඔවුන් ගැන වදවීමට නිච්චියක් නැති නිසාදෝ එකෙකු දෙන්නෙකු දබරයක පැටැලෙන්නේ නිරායාසයෙනි.
අඩි දහයේ දහයේ කුඩා කාමරකි. එය සම්පත් විසූ නිවසයි. ඉටිකොළ සහ ටකරන් ගැසූ වැසිකිළියකි. එය සම්පත්ලාගේ වැසිකිළියයි. හිරු තවම බැසගොස් නැතත් සම්පත්ලාගේ නිවසේ ඇතුළත අඳුර පලා නොයන්නේ හිරු රැසට කවුලු නැති හෙයිනි. අඳුර මකන්නට විදුලු බුබුලු දැල්වීමට විදුලි බලය ඔවුන්ට නැති නිසා භූමිතෙල් ලාම්පුවක් පත්තු කළ සම්පත්ගේ බිරිඳ ලසන්ති අප සමග කතාවට වැටුණාය.


“එදා බන්ධනාගාරයේ ඔය සිද්ධිය ඇති වෙච්ච වෙලාවෙ මෙයා තව අපි දන්න කෙනෙක් එක්ක ඉඳල තියෙන්නෙ. මෙයා එයාට කියල අපි පොඞ්ඩක් එළියට බැහැල බලමු මොකක්ද වෙන්නෙ කියල. මෙයාල එළියට බැහැල බලද්දි, එයාට පිටිපස්සෙන් ඉඳල පොඞ්ඩක් කල්පනාව හොඳ නැති මනුස්සයෙක්. මේ ජා-ඇල හරියෙම කෙනෙක්. ඒ මනුස්සයට එතන හිටපු මහත්තයෙක් එක්ක ප්‍රශ්නයක් තිබිල, කෑම එකට මාළු කෑල්ලක් දුන්නැද්ද මොකක්ද කියල. ඒ මනුස්සයට එච්චර කල්පනාවත් හොඳ නැති නිසා එයා අර මහත්තයට ගලකින් ගහල. ඒ වෙලාවෙ ඒ මහත්තය අතේ තිබ්බ තුවක්කුවෙන් වෙඩි තියල. ගල ගහපු කෙනා සම්පත්ට පිටිපස්සෙන් හිටියට වෙඩි තියල තියෙන්නෙ සම්පත්ට. වෙඩිල්ල කෙළින්ම පපුවෙ මැදටමයි වැදිල තියෙන්නෙ. එතකොට මෙයාල බත් කාල පැය බායගයක්වත් ගිහිල්ල නෑ. වෙඩි වදිද්දි මෙයාගෙ කටින් බත් ඇටත් විසිවෙලා තියනව.” චන්ද්‍රිකා සමන්ලතා, සම්පත්තේ වැඩිමහල් සොහොයුරිය පවසයි.


“අපට එදා හවසම බන්ධනාගාරෙ කලබලය ගැන දැනගන්න ලැබුණ. මම එවලෙම එතනට ගියා. එතනට ගියාට අපට කිසිම විස්තරයක් දැනගන්න උනේ නෑ. ඊට පස්සෙ අපට දැනගන්න හම්බුණා අපේ එක්කෙනාට වෙඩි වැදිල කියල. ඊට පස්සෙ අපි ගෙදර ඇවිල්ල මෙතන බැනර් එකක් දැම්ම. පොලීසියෙන් ඇවිල්ල ඇහුව ඔයාල කොහොමද මැරුණ කියල දන්නෙ කියල. එයාල මගෙ මහත්තය මැරුණ කියල ඒ වෙනකොටත් දැනගෙන හිටියට අපට කීවෙ නෑ. ඊට පස්සෙ පහුවෙනිද තමයි අපට කීවෙ.” ලසන්ති පවසයි.


“මෙයා කුඩුවලට අරගෙන ගියේ. කුඩු බොන එක ඇත්ත. හැබැයි කුඩු විකුණන කෙනෙක් නෙවේ. පහුගිය තුන් වෙනිද මෙයාට ඇප හම්බෙන්න හිටියෙ. ඇප දෙන්න දවස් හතරක් තියල මෙයාව මරල දැම්මා. මේ දරුවො බලා හිටියෙ තාත්ත ගෙදර එනකන්, ඇයි මෙහෙම දෙයක් අපට කළේ.” සම්පත්ගේ බිරිඳ, ලසන්ති අපෙන් අසයි.


සම්පත් දෛනික රාජකාරියකින් එදා වේල සොයා පවුල සරි කළ අතර ඔහුගේ ප්‍රධානම රැකියාව වූයේ බස් රථ වලට ගොඩ වී සින්දු කියා මුදල් සොයා ගැනීමයි. අතපය හතර හොඳින් ඇති සම්පත් මෙවැනි රස්සාවකට යොමු වීම ගැන පාඨක ඔබට හිතේ කහටක් ඇතිවිය හැකිය. එහෙත් ඊට පෙර ඇගේ වැඩිමහලු සොහොයුරිය සහ බිරිඳගේ මේ කතාව අහන්න.


“මේ ගෙවල්වල පිරිමි කාටවත් ග්‍රාම සේවක මහත්තය අයිඩින්ටි කාඞ් හදල දෙන්නෙ නෑ. ගෑනු අයට විතරයි හදල දෙන්නෙ. මේ මගෙ එකත් බලන්න, එක හදල දුන්නෙ 2017 අවුරුද්දෙ. අපි ඒ වෙනකන් කසාද බඳින්නෙත් නැතුව හිටියෙ. එක්කෙනෙක්ටවත් අයිඩින්ටියක් නැතුව කසාද බඳින්න බෑ කීවා. අපේ මිනිස්සු කුඩු ගහනව කියල තමයි ග්‍රාමසේවක මහත්තය අයිඩින්ටි හදල දෙන්නෙ නැත්තෙ. හැබැයි කුඩු විකුණන මිනිස්සුන්ට නම් හැම දෙයක්ම තියනව.
අයිඩින්ටියක් නැති හින්ද කිසිම රස්සාවකට අපිව ගන්නෙ නෑ. අඩුම ගානෙ කඬේක වැඩකටවත් ගන්නෙ නෑ. අපේ ළමයි ඉගෙන ගත්ත කියල වැඩක් වෙන්නෙත් නෑ. අයිඩින්ටි කාඞ් එකක් නැතුව විභාගයකටවත් ලියන්න පුළුවන්ද? ඡන්දෙ දාන්න යන්න විතරක් ග්‍රාම සේවක මහත්තය අත්සන් කරල දෙනවා. ඉතින් අපේ මිනිස්සුන්ට බස් එකක නැඟල සින්දු කියනව ඇරෙන්න කරන්න දෙයක් නෑ. අපි ගිහිල්ල ප්‍රාදේශීය ලේකම්තුමියට කීවහම එතුමිය ග්‍රාම සේවකට කීව අයිඩින්ටි හදල දෙන්න කියල, ඒත් මෙයා හදල දෙන්නෙ නෑ.” ලසන්ති පවසයි. මේ ග්‍රාම සේවකගේ හිරිහැරය එතැනින්ද නැවතී නැත. ඔහු මේ අසරණ මිනිසුන් ඉතාම ලැජ්ජාසහගත ලෙස රවටනු ලබයි.


“එක සැරයක්, මම පොඩි ව්‍යාපාරයක් කරන්න පදිංචි සහතිකයක් ඉල්ල ගන්න ග්‍රාම සේවක මහත්තය ළඟට ගියහම එයා මට දීල තියෙන්නෙ වසමෙන් ඉවත් උණා කියල ලියුමක්. මම අකුරු දන්නෙ නෑ. ඒක අරගෙන ගියහම වෙන කෙනෙක් කීවට පස්සෙ තමා මමත් දන්නෙ.” සම්පත්ගේ සොයුරිය, චන්ද්‍රිකා පවසයි.


සම්පත්ට සහ ලසන්තිට දරුවන් තිදෙනෙකි. වැඩිමහලු දරුවාට වයස අවුරුදු අටක් වන අතර ඇය මේ ජනවාරියේ හතරවන වසරට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටී. දෙවැන්නාට වයස අවුරුදු පහකි. ඔහු පුතෙකි. ඒ දරුවා මේ ජනවාරියේ පාසලේ පළමු වසරට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටී. තෙවැන්නාද පුතෙක් වන අතර ඔහුගේ වයස අවුරුදු හතරකි. ඒ දරුවා මේ ජනවාරියේ පෙර පාසල් යාමට සිටී.


“මේ තුන්දෙනාගෙ වියදම් ලබන අවුරුද්දෙ ඉඳල වැඩි වෙනවා. ඉස්කෝලෙට, මොන්ටිසෝරියට. කවුද මේව බලන්නෙ. මහත්තය හිටිය නම් මොනව කරල හරි මේ ළමයිගෙ වියදම් ටික බලාගන්න තිබ්බා. මගේ මහත්තය විතරක් නෙවෙයි, අපේ අනාගතයත් මෙයාල උදුර ගත්ත. ගේ හරියෙ ලුණු ඇබින්ඳක්වත් නෑ. අපට දැන් බඩට දෙයක් කාල ජීවත් වෙන එකත් ලොකු ප්‍රශ්නයක්.” ලසන්ති පවසයි.


රේල් පීරි අතර එහා මෙහා පැන දුවන කුඩා දරුවන්ට තමන්ගේ පියාට සිදුවූ වින්නැහිය නොතේරෙන ගානය. ඔවුන් බලා සිටින්නේ සිය පියා හවසට ගෙදර එනතුරුය.


“පුතා බයිසිකල් පද්දන්නෙ, හැම තැනම එක්ක යන්නෙ තාත්තා. එයා තාත්තට හුඟක් ආදරෙයි. අන්තිමට මේ අසරණ දරුවන්ට තාත්ත කෙනෙක් නැති වුණා.” සමාජයට, බන්ධනාගාර නිලධාරීන්ට කොටින්ම රජයට සම්පත් කුඩුකාරයෙක් පමණක් විය හැකිය. එහෙත් ඔහු කුඩුකාරයෙකු කරන්නට තමන් අමතක කළ අතහැර දැමූ වගකීම් සමුදායට තමන් වගකිව යුතු බව සමාජය අමතක කර දැමා ඇත.


සම්පත් ආදරණීය පියෙකි. ආදරණීය ස්වාමිපුරුෂයෙකි. ආදරණීය සහෝදරයෙකි. ඔහු අහිමිවීමේ වේදනාව දැන්නේනේ ඔහුගේ සමීපතමයන්ටය. අහිමි වූ පියාගේ ආදරය, අහිමි වූ සහෝදරයාගේ ප්‍රේමය නැවත කාට නම් ලබාදිය හැකිද? සම්පත්ගේ ජීවිතයට වගකියන්නේ කවුරුන්ද? අවසානයේ වගකීම වසා ගැනීමට ඔහු හුදු කුඩුකාරයෙකු කිරීම යුක්තිසහගතද?


“මෙයාල වෙඩි තියන්නම තමා බලාන හිටියෙ. නැත්තන් ගලක් ගැහුව ගමන් වෙඩි තියන්නෙ නෑනෙ. මගෙ මහත්තයට වෙඩි තිබ්බට පස්සෙ තමයි මේ ගැටුම මෙච්චර දුර ගිහිල්ල තියෙන්නෙ. කට්ටිය කෑගහල මේ අහිංසක කොල්ලෙකුට වෙඩි තිබ්බ, වෙඩි තියන්න එපා කියල. එතකොට ආයෙ වෙඩි තියන්න අරගෙන. බිත්ති කඩාගෙන යන්න වෙඩි තියල තියෙන්නෙ. මෙයාල එහෙම සෑහෙන වෙලාවක් වෙඩි තියල තියනව.” ලසන්ති පවසන ආකාරයට බන්ධනාගාරය තුළ ගැටුම අවුලා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් විසින්මය. ගැටුමක් ඇතිවීමට ප්‍රථම සහ ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමට ප්‍රථම බන්ධනාගාර නිලධාරීන්ට රබර් උණ්ඩ යොදා ගනිමින් තත්ත්වය පාලනය කිරීමට හැකියාවක් තිබුණි. තමන්ට වෙඩි තබන විට ඒ රබර් උණ්ඩවලින්ද නැත්නම් ජීව උණ්ඩවලින් ද යන්න කිසිවෙකු බලන්නේ නැත. කිසිදු ආරක්ෂාවක් නැති ඕනෑම අයෙකු කරන්නේ ඉක්මනින් එයින් ආරක්ෂා වී සැඟවීමය. තමන් සතුව ජම්පරයක් පමණක් ඇති රැඳවියන් බන්ධනාගාරය කියන ආකාරයට රබර් උණ්ඩවලින් පාලනය කළ නොහැකි බව පැවසීම දුර්වල හේතු දැක්වීමකි.


“ඊට පස්සෙ ඇමති කෙනෙක් ටීවි එකේ කතා කරල කියනව, කිසිම බන්ධනාගාර නිලධාරියෙක්ගෙ අතින් කිසිම ජීවිත හානියක් වෙලා නැහැලු. එතකොට මේ ජීවිත හානිය කළේ අපිද? ඊට පස්සෙ මෙයාල කීව ඇතුළෙ අය ගහගෙන තමයි මේ මරණ උනේ කියල, දැන් මරණ පරීක්ෂණෙන් ගහ ගත්ත කතා නෑ, ඒකෙදි කියන්නෙ උණ්ඩයක් පපුවෙ තිබ්බ. වෙඩි වැදිල මැරිල තියෙන්නෙ කියල. මෙයාල ඔක්කොම කරල අන්තිමට රටේ නැති බොරු කියනවා.” ලසන්ති පවසයි.


“වෙඩි තියල මරල දැම්මත් අන්තිමට අපට මිනිය දෙන්නෙ නෑ කොරෝන කියලා. එතකොට අපි කීව එහෙනම් කොරෝන හැදිල කියන්න අපට මොකක් හරි ලියුමක් දෙන්න කියල. එතකොට කීව ඒක උසාවියෙන් ඉල්ල ගන්න කියලා.”


මහර සමූහ ඝාතනයෙන් ලිස්සා යාමට රජය භාවිත කළේ කොරෝනා වසංගතයය. කොරෝනා වසංගතය රටේ ජනතාවට පීඩාකාරී වන විට රජය එය තමන්ගේ අශීලාචාර ඝාතන වසා ගැනීමට වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පෙරළා ගත්තේය. දියවන්නාවේදී හමුදාපතිගේ ආරක්ෂකයන් බිලිගත් රාජේන්ද්‍රන්ගේ මරණය කොරෝනාවෙන් වසා දැමුවේය. මෙවර මහර දී සිදුවූ රජය ඝෘජුව වගකිව යුතු ඝාතන ද කොරෝනාවෙන් වසා ගත්තේය.


කොරෝනා ආසාදනය කිරීම


පුද්ගලයන් එකොළොස් දෙනෙකු මියගිය පසු, රජය කීවේ මියගිය එකොළොස් දෙනා අතුරින් අට දෙනෙකුට කොරෝන වෛරසය ශරීර ගතවී ඇති බවයි. ඒ අනුව එයින් අප වටහා ගත යුතු කතාව නම් එම මියගිය එකොළොස් දෙනා අතුරින් තිදෙනෙකුට කොරෝනා වසංගතය වැළඳී නොතිබූ බවයි. එහෙත් අවසානයේ රජයේ පාර්ශ්වයෙන් අධිකරණයට දැනුම් දෙන්නේ අදාළ එකොළොස් දෙනාටම කොරෝනා වැළඳී ඇති බවත් ඒ හේතුවෙන් අදාළ මළ සිරුරු ආදාහනය කළ යුතු බවත්ය. එසේ නම් මුලින් කොරෝනා වැළඳී නොතිබූ සිරුරු වලට කොරෝනා ආසාදනය වූයේ කෙසේද?


අප මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ මේ තත්ත්වය උද්ගත වී ඇත්තේ රාගම මෘත ශරීරාගාරයේ සියලුම සිරුරු එක මත එක හෝ එකිනෙක ස්පර්ශ වන ලෙස ගබඩා කිරීම නිසා බවය. එසේ සිදු කිරීමට වී ඇත්තේ එම මෘත ශරීරාගාරයේ සිරුරු වෙන් වශයෙන් ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසාය. කෙසේ වෙතත් මේ සිරුරු වෙන් වශයෙන් ගබඩා කළ යුතු බවත් එසේ නොවන්නේ නම් එයින් වෛරසය පැතිර යන බවත්, රජයේ පාර්ශ්වය නොදැන සිටියා විය නොහැකිය. ඒ නිසා උවමනාවෙන්ම සියලුම සිරුරුවලට වෛරසය ආසාදනය කරවීම සඳහා රජය කටයුතු කළා දැයි සැකයක් ඇත. එවිට ඉතා පහසුවෙන් සිරුරු ආදාහනය කළ හැකිය. එවිට ඉතා පහසුවෙන් මේ සිදුවීම යට ගැසිය හැකිය. කොටින්ම අපාරාධයක් සඟවා දැමිය හැකිය.


එසේම මේ හරහා මතුවන අනෙක් බරපතළ කරුණ නම්, වෙනත් හේතු වලින් මිය යන මළ සිරුරු වලටද මේ මෘත ශරීරාගාරයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පැවතීමයි. ඒ අනුව රාගම රෝහලේ මෘත ශරීරාගාරය කොරෝනා වාහක ස්ථානයක් වීමට හැකිය. මේ මෘත ශරීරාගාරයේ සිට සිරුරු ගෙනියන ඥාතීන්ට ඒ ඥාතීන්ගෙන් තවත් අයට, විශේෂයෙන් මල් ශාලාවල රාජකාරී කරන්නන්ට, ඔවුන්ගේ පවුල්වල අයට මේ ආකාරයේ නානාප්‍රකාර ලෙස මේ වෛරසය පැතිර යාමේ අවදානමක් ඇත. රජය ඒ මොහොතේ සිදු කරනු ඇත්තේද ජනතාවට ඇඟිල්ල දිගුකර අත පිසදා ගැනීමය.


මේ මරණවලට නිසැකවම වන්දි ගෙවීමට රජයට සිදුවනු ඇත. ඒ නිසා කමිටු වාර්තා දමා මාධ්‍ය සංදර්ශනයන්ගෙන් හැමදාම රැකීමට නොහැකි බව රජය සිහි තබා ගත යුතුය. මේ මරා දැමුණු මිනිසුන්ට යුක්තිය උදෙසා පෙළ ගැසෙන්නන් එන්.ජී.ඕ.කාරයන් ලෙස හඳුන්වා රජය බලාපොරොත්තු වන්නේ කුමක්ද? නීතිපතිවරයාගේ පාර්ශ්වයට මියගිය මිනිසුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීම බටහිර කුමන්ත්‍රණයක්ද? මේ විලිලැජ්ජා නැති අශීලාචාර දේශපාලනය ඔවුන් නවත්වන්නේ කවදාද? ජනාධිපති කියූ සෞභාග්‍යයේ දැක්ම මිනිසුන් මරා දැමීමද? ■