Home පුවත් දේශපාලන වෙන රටක භුමිදානය වනවාට ඔබ කැමතිද ?

වෙන රටක භුමිදානය වනවාට ඔබ කැමතිද ?

1
1114

රසික ගුණවර්ධන


මේ පොළොවේ ඉපදෙන මිනිසෙකුට මේ පොළොවටම පස් වීමට අවස්ථාව ලබා දිය යුතුය. එය පුරවැසියෙකුගේ හිමිකමකි. එහෙත් මේ මනුස්සකමද අයිතියද ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට අහිමි වීමට පටන් ගන්නේ කොරෝනා රෝගයත් සමඟ මිය යාමට සිදු වීම නිසාය. ඔවුන් ආගමානුකූලව මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කළ යුත්තේ එම දේහය භූමිදානය කිරීමෙනි. එහෙත් මේ වසංගත තත්ත්වයත් සමග එසේ කිරීමට රජය අනුමැතිය ලබා දුන්නේ නැත. ඒ එසේ කළහොත් වෛරසය ජලය සමඟ මිශ්‍රවී හානිදායක විය හැකි බවට තර්ක කරමිනි. කෙසේ වෙතත් ලෝකයේ රටවල් එකසිය අනූ පහක පමණ කොරෝනා වැළඳී මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු භූමිදානය කරති. එසේම ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේද විරුද්ධත්වය නොමැත. එහෙත් ශ්‍රී ලංකාවේ රජය භූමිදානය ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් කොවිඞ් වැළඳී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් භූමිදානය කිරීමෙන් කිසියම් හානියක් සිදුවේ දැයි සෙවීමට තාක්ෂණික කමිටුවක් පත් කළේ මීට බොහෝ කාලයකට පෙරය. එහෙත් තවමත් ඒ කමිටු වාර්තාව නැත. දැන් සිදුව ඇත්තේ ඒ තාක්ෂණික කමිටුවට කුමක් සිදු වූවා දැයි සෙවීමට තවත් කමිටුවක් පත්කිරීමටය.


මේ අතරතුර පසුගිය දාහතර වැනිදා මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිවේදනයක් සිදු කර තිබුණේ කොවිඞ් 19 නිසා මිය යන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් මාලදිවයිනේ භූමිදානය කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් විශේෂ ඉල්ලීමක් සිදු කර ඇති බවයි.


මෙය ඉතා බරපතල තත්ත්වයකි. විදේශ ගෘහ සේවයට ගොස් මිය යන දහස් ගණන් ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ දේහයන් විශාල මුදලක් වියදම් කරමින් මෙරටට ගෙන එන්නේ, මේ රටේ ඉපදුනු මිනිසෙකුට මේ පොළොවටම පස් වීමට අයිතියක් ඇති නිසාය. මේ පොළොවේම ඉපිද, හැදී වැඩුනු මුස්ලිම් ජාතිකයන්ට ඒ අයිතිය ඒ අවස්ථාව ඒ ආකාරයෙන්ම ලබා දිය යුතුය.


ඔවුන්ගේ ආගමික විශ්වාසය, එහි සත්‍ය අසත්‍ය බව වෙනම කරුණයකි. එහෙත් මෙසේ ඔවුන් මිය ගිය පසු සිරුරු වෙනත් රටක භූමිදානයට යැවීමම ඔවුන් මේ රටේ පුරවැසියන් ලෙස නොසැලකීමකි. ඔවුන් අතපල්ලෙන් වැටුනා සේ සැලකීම යුක්ති යුක්ත නොවේ.


කොරෝනා වසංගතය හමුවේ වැඩියෙන්ම පීඩාවට පත් වූ ජන කොට්ඨාසය ලෙස මුස්ලිම් ජාතිකයන් හැඳින්විය හැකිය. කොරෝනා පතුරුවන්නේ ඔවුන් බව වරක් රජය පාර්ශ්වයෙන්ම චෝදනා එල්ල කළේය. පසුව රජයට වසංගතය පාලනය කර ගැනීමට නොහැකි වන තැන එය පාලනය කරගත නොහැක්කේ මුස්ලිම් ජාතිකයන් ඊට සහයෝගය නොදීම නිසා යැයි පතුරවා තමන්ගේ විලි වසා ගැනීමට රජය ක්‍රියා කළේය.


දැන් ඔවුන්ට තමන් උපන් පොළොවට පස් වීමට ඇති අයිතියද අහිමි කිරීමට තැත් කරයි. ලෝකයේ රටවල් විශාල ගණනක් කොවිඞ් සිරුරු භූමිදානය කරන බැවින් රජය එය නොකිරීමට ඉදිරිපත් කරන කරුණු දෙස මුස්ලිම් ප්‍රජාව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයෝම බලා සිටිති.


අනෙක් පසින් රජය මේ නෙලන්නේ තමන් වැපිරූ බීජවල අස්වැන්නයි. ඔවුහු ලංකාවේ මුස්ලිම් ජාතිකයන් කේන්ද්‍ර කරගනිමින් සිංහල ජාතිය තුළ ජාතිවාදය පැළ කළෝය. වත්මන් රජය බලයට පත් වූයේ ජාතීන් අතර එකිනෙකා සමඟ වෛරය, පලිගැනීම පතුරවමිනි. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත්, මෙහි අයිතිය සිංහල බෞද්ධයන්ට බවත් ඔවුන්ට ඕනෑ විදිහට අනෙක් ජාතීන් සිටිය යුතු බවටත් මතයක් හැදුවෝය.


ඡන්ද ලබා ගැනීමට ඒ කුමක් කළත් රාජ්‍ය බලය ලබා ගත් පසු සිංහලයන් සමග පමණක් බලය පවත්වාගෙන යාමට නොහැකිය. ඒ නිසා රජයට මුස්ලිම් ජාතිකයන්ගේ භූමිදානය කිරීමේ අයිතිය එක්වරම බැහැර කළ නොහැකිය. ආණ්ඩුව මේ අසුවී සිටින්නේ තමන් ගැසූ ගැටයටමය. එහෙත් අවසානයේ සිදු වන්නේ මෙවැනි පටු අදහස් නිසා ශ්‍රී ලංකාව රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් වීමය.


ලංකාවේ උපන් පුරවැසියෙකුට මේ පොළොවට පස් වීමට ඇති අයිතිය අහිමි කිරීම ගැන ප්‍රශ්නය විෂය වන කිහිපදෙනෙකුන් විමසුවෙමු. මේ ඔවුන් පළකළ අදහස්ය.

අපි කල්ලතෝනි නෙවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්


මේ ආණ්ඩුවේ එක මතයක් නෑ. ජනාධිපතිතුමා හදනව අපිව මාලදිවයිනට යවන්න. අගමැතිතුමා හදනව කොන්ක්‍රීට් පෙට්ටි හදල ඒකෙ වළලන්න. සෞඛ්‍ය ඇමතිතුමිය කියනව තවම තාක්ෂණ කමිටුවේ වාර්තාව ආවෙ නෑ කියල. එකම ආණ්ඩුවේ අය වුණාට මෙයාලට තියෙන්නෙ අදහස් තුනක්.


ජනාධිපතිතුමා මාලදිවයිනෙන් කරපු මේ ඉල්ලීමෙන් වෙන්නෙ මේ ගේ ඇතුළෙ ප්‍රශ්නෙ ජාත්‍යන්තරය දක්වා ගෙනියපු එක. දැන් ජාත්‍යන්තරයම දන්නව ලංකාවෙ මෙහෙම ප්‍රශ්නයක් තියනව කියල. ඒකෙන් වෙන්නෙ ලංකාවට තිබ්බ ගරුත්වය, ලංකාවෙ ජනතාවට තිබ්බ ගරුත්වය නැතිවෙලා යන එක. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සමඟ කොරෝනා සිරුරු භූමිදානය කිරීම ලෝකෙ රටවල් එකසිය අනූපහකට වැඩිය සිද්ධ කරනවා.


ලංකාවෙ භූමිදානය කිරීම සම්බන්ධ ප්‍රශ්නය මේ තරම් දුර ගෙනිහිල්ල තියෙන්නෙ මේ ගැටලුව දේශපාලනිකරණය කිරීම නිසා. ජනාධිපතිවරයාට තමන්ගෙ වියත්මගේ ඉන්නෙ එක්කෙනෙක් දෙන්නෙක්ගෙ විරෝධතාවය මැඩපවත්වාගන්න බෑ. ජනාධිපතිතුමාට තියෙන්නෙ නිවැරදිව කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න. මොකද මුලු ලෝකයම මේක කරද්දි එතුමට විතරක් ඒක කරන්න බැරිවෙන්න හේතුවක් නෑ. කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව තමන්ගෙ වටේ ඉන්න මිනිස්සුන්ගෙ හිතලු ක්‍රියාත්මක කරන්න ගිහිල්ල දැන් රටම ලෝකයක් ඉස්සරහ අපකීර්තියට පත්වෙනව. ඒ ගැන පුරවැසියන් හැටියට අපි කනගාටු වෙන්න ඕනෙ.


ජනාධිපතිතුමාට කියන්න කැමතියි අපි කල්ලතෝනි නෙවෙයි මාලදිවයිනේ යවන්න. අපි මේ රටේ ඉපදිල, මේ රටේම වැඩිල, මේ රටටම පස් වෙන්න ඕනෙ. අපි ලෑස්ති නෑ වෙන රටක ගිහිල්ල භූමිදානය වෙන්න.


මේ කරුණු කාරණාත් එක්ක මුස්ලිම් ප්‍රජාව ඇතුළෙ තියන මතය තමයි ආණ්ඩුව හිතාමතාම පලිගැනීමක් විදිහට මේ භූමිදානයට ඉඩ නොදෙනව කියන එක. ඒක තුල මුස්ලිම් තරුණයන් රැඩිකල්වීම හා අන්තවාදයට තල්ලු වීමේ අවදානමක් තියනව. ඇත්තටම ආණ්ඩුව උවමනාවෙන්ම එවැන්නක් සිදුකරන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නෙ. මොකද අන්තවාදීන් කැමතියි තව අන්තවාදයක් පෝෂණය වෙනවට. ඒක පෙන්න පෙන්න ආණ්ඩුවට පුළුවන් දකුණෙ ඉන්න මිනිස්සුන්ව අන්දන්න.


අයිතීන් උල්ලංඝණය කිරීමක්
මවුලවි ආශ් ෂෙයින් අක්‍රම් නූරමිත් – උලමාවරුන්ගේ සංගමය


අපි මේ රටේ ඉපදුන පුරවැසියො, ඒක නිසා අපට මේ රටේම භූමිදානය වෙන්න අයිතිවාසිකම ඕනෙ කියන මතයෙ අපි ඉන්නෙ. අපි දන්නෙ නෑ, මේ කතාව කොහෙන් කොහොම වෙච්ච එකක්ද කියල. මේ රටේ ඉපදුන කෙනෙක් වෙනත් රටක ගිහිල්ල ඉද්දි මැරුණොත් ඒ රටේදි භූමිදානය කිරීම පිළිබඳව ගැටලුවක් නැහැ. එහෙම නැතුව මේ රටේම ජීවත් වෙලා මේ රටේම මැරුණට පස්සෙ භූමිදානය කරන්න වෙනත් රටකට ගෙනියනවනම් ඒක ඒ මියගිය පුද්ගලයාට සිද්ධ කරන බලවත් අසාධාරණයක් වගේම ඔහුගේ අයිතීන් උල්ලංඝණය කිරීමක්. ඒ වගේම මෙවැන්නක් සිදු වුවහොත් එය ජාතියක් ලෙස මුස්ලිම් ජාතිකයන්ට සිදු කරන නොසලකා හැරීමක්.


අපේ ආගමේ විදිහට පුද්ගලයෙක් මියගියහම ඒ මැරුණ තැන තමයි භූමිදානය කරන්න ඕනෙ. යම්කිසි වෙනත් මානුෂීය හෝ වෙනත් සාධාරණ හේතුවක් මත එය වෙනස් කිරීමේ වරදක් නැහැ.


අපි දිගින් දිගටම රජයෙන් ඉල්ලුව මේ ගැන සිදු කරන පරීක්ෂණ කරල අපට දැනුම් දීමක් කරන්න කියල. නමුත් මේ වන තෙක් එවැන්නක් සිදුවෙලා නෑ. ඒ අතරතුර මෙවැන්නක් සිදුවීම පුදුම සහගතයි. අනිත් කාරණය මේ වෙද්දි ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයක් කොවිඞ් මළ සිරුරු භූමිදානය කරනව. එහි අවදානමක් තියනව නම් එවැන්නක් ඔවුන් සිදු කරන්නෙ නෑනෙ.


අනිත් කාරණය මාලදිවයිනේ මියයන පුද්ගලයන්ගේ සිරුරු පවා මේරටේ භූමිදානය කරන පසුබිමක අපේ රටේ ජනතාවගේ සිරුරු ඒ රටට ගෙනියනව කියන එකම විහිලුවක්.


සුළු ජාතීන්ට පීඩනයක්
මුතීර් මුලෆ්ෆර්


මාලදිවයිනට අපේ දේහයන් අරගෙන ගියහම ලෝකයක් ඉදිරියේ අප විශාල ලෙස අපහාසයට සහ අපකීර්තියට ලක්වෙන්න පුලුවන්. මොකද මේ හරහා රටක පුරවැසියෙකුට ඒ රටේ භූමිදානය වෙන්නවත් අවස්ථාවක් නෑ කියන පණිවිඩය තමයි ලෝකයට යන්නෙ. අපේ රටේ වසංගත විශේෂඥයන්, ක්ෂුද්‍ර ජීවි විශේෂඥයන් පවා පෙන්වාදීල තියනව කෝවිඞ් නිසා මරණයට පත් දේහයන් භූමිදානය කිරීමෙන් භූමියට හෝ මිනිසාට කිසිඳු හානියක් සිදු නොවන වග. උදාහරණයක් විදිහට වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිතුමා, මහාචර්ය මලිත් පීරිස් මැතිතුමා, වෛද්‍ය පබා පලිහවඩන මැතිතුමිය වගේ අය.


අනිත් අතින් මාලදිවයින වගේ රටක ජල මූලාශ්‍ර හිඟයි වගෙම ජල මූලාශ්‍ර සමග සමීපතාවය අපේ රටට වඩා වැඩියි. එවැනි රටක පවා භූමිදානයට අවසරය ලැබීම මගින් ලෝකයට යන පණිවිඩය තමයි එයින් හානියක් සිද්ධ වෙන්නෙ නෑ කියන එක.


දෙමළ ජනතාවට තමන්ගෙ සහෝදරය මියගිය එක සිහිකරන්න උසාවියට යන්න වෙලා තියනව. මුස්ලිම් ජනතාවට තමන්ගෙ මියගිය සහෝදරයා භූමිදානය කරන්න උසාවියට යන්න වෙලා තියනව. මේ වගේ කාරණාත් එක්ක ජාත්‍යන්තරය අපේ රට දිහා කොහොමද බලන්නෙ. මේ ආණ්ඩුව ප්‍රමුඛ පිරිස උත්සාහ කරන්නෙ ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට අපකීර්තියට පත්කරන්න. යුද කාල සීමාවේ අපේ රට ගැන විවිධ වැරදි අදහස් ජාත්‍යන්තරයේ තිබ්බ. මේ වතාවේ මෙවැනි සිදුවීම් නිසා නැවතත් එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සුලු ජාතීන්ට ජීවත් වෙන්න, ඔවුන්ගේ අයිතීන් ලබා ගන්න අවස්ථාවක් නෑ කියන මතය ජාත්‍යන්තරය දැරීම රටක් ලෙස අනාගතයේ එතරම් සුබදායක කරුණක් වෙන්නෙ නෑ.

1 COMMENT

  1. බොරු බිල්ලෝ මවා බලය අත්පත්කරගත්තවුන්, තමන්ගේ අසාර්තක කම වසාගන්න තවත් බිල්ලෙක් මවලා.

Comments are closed.