විමලනාත් වීරරත්න

ඖෂධ නිෂ්පාදනය, දේශීය වෙදකම ප්‍රවර්ධනය, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය හා ප්‍රජා සෞඛ්‍ය විෂය පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා වැඩ භාර ගන්නා අවස්ථාවේදී බෙංගමුවේ නාලක හිමියෝ ප්‍රගතිගාමී ප්‍රකාශයක් කළහ. එය නම් කංසා වගාව නීතිගත කොට එය ඖෂධයක් ලෙස භාවිත කිරීම හා එමගින් සැලකිය යුතු ආදායමක් ලැබිය හැකි බවට ඉඟි කිරීමය. ලෝකයේ හොඳම කංසා ලංකාවේ වැවෙන බව කී උන්වහන්සේ ඒ ගැන තිබෙන ආචීර්ණ කල්පික මත ඉවතලා දියුණු ලෙස සිතිය යුතු බවටද සමාජයට අවධාරණය කළහ. ඇමති මණ්ඩලයේ බොහෝ දෙනා නම් බොරුවට සුදු පිරුවට ඇඳගෙන කංසා වවනවාට වඩා බරපතළ හානිකර දේවල් කරති. වැලි හා පස් කැපීමේ ජාවාරම කංසා වැවීමට වඩා නරකය. වැලි හාරන ගංගා අනාගතයේදී ඉතුරුවේද යන්න දැන්ම සිතා බැලිය යුත්තකි. නාමල් කරුණාරත්න සමග නඩු කීම සඳහා ඉකුත් 17දා කුරුණෑගල නගර සභාව මහජන මුදලින් ලක්ෂ විසි ගණනක් වෙන් කර ගැනීමත් කංසා වවනවාට වඩා වැරදි ආචාර ධර්ම උල්ලංඝනය කළ, දූෂිත ක්‍රියාවකි. කුරුණෑගල පුරාවිද්‍යා ගොඩනැගිල්ල කැඩුවේ නගරාධිපතිය. හානි පූර්ණය කරගත යුත්තේ ඔහුගේ පුද්ගලික දේපළවලිනි.


බතික් විෂයේ සිට මැටි විෂය දක්වා නිර්මිත ඇමති තනතුරු ගැන නව ආකල්ප පෙරදැරිව හා අලුත් විදියකට සිතීමේ වැදගත්කම අප පසුගිය රාවයේ ලිපියකින් අවධාරණය කළෙමු. නාලක හිමියෝ ලබාදී තිබෙන්නේ ඊට හොඳ තල්ලුවකි. උක්ත විෂය භාර සිසිර ජයකොඩි නමැති රාජ්‍ය ඇමතිට මේ පිළිබඳව ජනපති, අගමැති ඇතුළු ප්‍රධානීන් සමග සාකච්ඡා කර එතෙක් මෙතෙක් ලංකාවේ නොකළ මට්ටමේ විප්ලවීය වැඩසටහනක් ඇරඹිය හැකිය. කංසා ඖෂධයක් ලෙස යනුවෙන් නාලක හිමියන් භාවිත කළේ උන්වහන්සේට එය ඊට වඩා දුර ගොස් සාකච්ඡා නොකළ හැකි නිසාය. කංසා මත්වෙන පානයක් ලෙස නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ප්‍රංශය වැනි රටවල්වලට අපනයනය කර ලංකාවට විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකිය. එම රටවල කංසා සරල පානයක් ලෙස ප්‍රසිද්ධියේ භාවිත වෙයි. ලංකාවේද මේ වන විට කංසා භාවිතය වැඩිවී ඇතැයි කිව හැකිය. මීට වසර තිහ හතළිහකට පෙර ගම්වල විලුඹ බිම නොතබා අසීරුවෙන් උඩ පැන පැන යන පුද්ගලයන් අප දැක ඇත. එවිට උගේ කකුලේ ගංජා ගැට යැයි වැඩිහිටියෝ කියති. ඒ බොහෝ විට ගංජා පානය උපරිමයෙන් සිදු කළ පුද්ගලයන් විය හැකිය. මේ වන විට සවසට කංසා උරණ දන්නා කියන සැලකිය යුතු පිරිසක් සිටියත් ඔවුහු කොර ගගහා නොයති. ඒ සමහරු කංසා බොන්නේ නිර්මාණාවේෂය සඳහාය. ඇතැම්හු ලිංගික උත්තේජනය සඳහාය. ඒ කෙසේ වෙතත්, කිසිම විදියකින් මත්වූ රටක් අප අපේක්ෂා නොකරමු. එහෙත් වින්දනය සඳහා කංසා හෝ වෙනත් ඕනෑම දෙයක් මඳ පමණින් පාවිච්චි කිරීමෙහි වරදක් නැත. නාලක හිමියන් ඉහත ප්‍රකාශය කරන විට මේවාද ඊට ඈඳෙන බව නොදන්නවා නොවේ. උන්වහන්සේ එම ප්‍රකාශය කළේ ඒ ගැන අවබෝධයෙනි.


කච්ඡපුට හා සේරිවාණිජ


එම කතාව අප කවුරුත් දනිමු. එහෙත් වර්තමානය වන විට සිදුවී ඇත්තේ සේරිවාණිජ කතාවේ එන සේරිවාණිජ ප්‍රතික්ෂේප කරමින් ෂබඑැරබ්එසදබ්ක ඔර්ාැ වැනි පාඨමාලා සඳහා සේරිවාණිජ න්‍යායයන් හැදෑරීමය. වෙළෙඳාම ගැන ඉගෙන ගන්නවාට සේරිවාණිජ නරක නැත. නරක ජාතක කතාවේ සේරිවාණිජය. මෙය අප පෙළන ලොකුම පරස්පරයක් නොවේද? සැබැවින්ම ලංකාව වෙළෙඳාම නොදන්නා ජාතියකි. මේසා කලක් කංසා අතහැරියේ වෙළෙඳාම නොදන්නා නිසාය. කොළේ යන එකා කොළෙන් කනවා හැර වෙන කොහෙන් කන්නදැයි යනුවෙන් කතාවක් තිබේ. එය රට හා ගටා බැලුවහොත් මෙරට පුරවැසියන් මෙරටින් හරිහම්බ කරගෙන ජීවත් විය යුතුය. ඒ සඳහා රටේ තිබෙන සුපසන් මාර්ගය වී වගාව පමණකැයි සිතීම මොනතරම් දුර්වල කල්පනාවක්ද? පොළොන්නරුවේ, අම්පාරේ.

අනුරාධපුරේ ගොවීන් වී වගා කරන විට තණමල්විල ගොවීන් කංසා වගා කිරීමෙහි වරදක් නැත. දෙකම ආර්ථික භෝග ලෙස සලකා ක්‍රියා කිරීමට නොහැකි මන්ද? බත්, කෑමටත් කංසා ආදායමක් ඉපැයීමටත් භාවිත කළ නොහැකි ඇයි? සෙසු ස්වාමීන් වහන්සේලා මේ කාරණයේදී නාලක හිමියන්ගේ ප්‍රායෝගික ධර්ම මාර්ගයේ වැඩීම වැදගත්ය.


ගුණපාල මලලසේකර විසින් රචිත ඔයැ ඡ්කස කසඑැර්එමරු දf ක්‍ැහකදබ නමැති ග්‍රන්ථයෙහි හෙතෙම සිංහල ජනතාව පිළිබඳ වැදගත් නිරීක්ෂණ කිහිපක් දක්වයි. එකක් වන්නේ සිංහලයා දේශපාලන ජනකායක් නොව ගෘහස්ත ජනකායක් බවට කරන හැඳින්වීමය. ෘදපැිඑසජ යන යෙදුම ඔස්සේ හීලෑ ජනතාවක් යන්නද ඔහු සිංහල ජනයා වෙනුවෙන් භාවිත කරයි. කර්මාන්ත මෙන්ම වෙළෙඳාම ගැන ඔවුන්ට අදහසක් නැති බවද එහි දැක්වෙයි. ලංකාවේ බහුලව තිබෙන මැණික් සම්පතින් සිංහල ජනයා නිසි ප්‍රයෝජනයක් නොගත් බවද කියයි. ඊළඟට ආරක්ෂාව ගැන කිසිසේත්ම කල්පනාකාරී නොවූ ජනතාවක් ලෙසද හෙතෙම සිංහලයා හඳුන්වයි. ඒ නිසා ඉතා පහසුවෙන් මෙරට කිරීටය පැහැර ගැනීමට ආක්‍රමණිකයාට හැකිවූ බවද සඳහන් කරන මලලසේකරයෝ අවශ්‍යතා අල්පවීම නිසා ධනය රැස් කිරීම ගැන වැඩි අවධානයක් යොමු නොකළ බවද සඳහන් කරයි. ජාතියක නොදියුණුවට උක්ත කරුණු ස්වල්පය වුව ප්‍රමාණවත්ය. ලංකාවේ පහළ බැසීමට හේතුවූයේ එම අනවධානය නොවේද? තරමක් ප්‍රමාද වී මේ තත්ත්වය තේරුම් ගත් නායකයා වූයේ ඩී.එස්. සේනානායකය. ඔහු එක් අවස්ථාවක කීවේ ලාංකික ජනයා වෙළෙඳාම ගැන කිසිම උනන්දුවක් නොදැක්වූ ජාතියක් බවය. මැජික් තිබුණත් වණික් නැත. ඒ වෙනුවට දේශපාලන මතවාද කෙරෙහි දක්වන ලද උනන්දුව විසින් ලාංකිකයාගේ අනාගතය අවුල් වියවුල් වී තිබෙන බවය. එය අද වන විට කෙස් ගහටම ඔප්පු වී තිබේ. ලංකාවට උපාය මාර්ගික සංවර්ධනයක් අවශ්‍ය වන්නේ මේ පැරණි ආචීර්ණ කල්පිතයෙන් ගොඩ ඒම සඳහාය.


පෙරළියක්


සේරිවාණිජ කතාවෙන් ප්‍රතික්ෂේප කරන එහෙත් වර්තමානය වන විට සේරිවාණිජ සමාජයක් අත්දකින්නට ලැබෙන තත්ත්වය තුළ ව්‍යාජ කච්ඡපුටවාදයෙන් මිදී දේශීය වශයෙන් මත්පැන් කර්මාන්තය දියුණු කොට ලංකාවට ඉහළ ආදායමක් ලැබිය හැකිය. රුසියාවේ වොඞ්කා අන්තර්ජාතිකව ජනප්‍රිය හා ඉහළ මට්ටමේ පානයක් වන විට කසිප්පු ගඳ හා උෂ්ණය ඇර වෙනත් සොඳුරු නාමයක් යටතේ සුමට පානයක් බවට පත් කරගත හැකිය. මේ රටේ ජනයා කංසා බී පතුලේ ගැට හදාගත යුතු නැත. කසිප්පු පානය කර බොකු දිරාපස් අත්දැකීම ලබා ගත යුතු නැත. එහෙත් ප්‍රමිතිගත මද්‍යසාර නිෂ්පාදනයට ගොස් එය කච්ඡපුට පෙනුමකින් සේරිවාණිජවාදී වෙළෙඳාමක් ලෙස දියුණු කළ හැකිය. බෙංගමුවේ නාලක හිමියන් සේ ම තවත් හිමිවරුන්ට මේ පිළිබඳව ප්‍රායෝගික අදහසක් තිබෙන්නට පුළුවන. එහෙත් මද්‍යසාර නිපදවන ලෙස බුද්ධ පුත්‍රයකුට කෙළින්ම මේ සම්බන්ධව කිව නොහැකිය. මේවා තිබිය යුත්තේ රාජ්‍ය පාලකයන් හදන සැලසුම්වලය.


සැලසුම් ඉල්ලීම


ජනාධිපතිවරයා සියලුම අමාත්‍යවරුන්ගෙන් තම අමාත්‍යාංශ විෂය පථය තුළ සිදුකිරීමට යන වැඩසටහන් ගැන සැලැස්මක් සති තුනකින් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබේ. මෙම සැලැස්ම සඳහා වුව ඇමතිවරුන්ට කංසා ප්‍රවර්ධනය, මද්‍යසාර නිෂ්පාදනය වැනි යෝජනා එක්විටම ඉදිරිපත් කළ නොහැකිය. ඒවා කොතරම් රටෙහි භාවිත වුවත් ඒවා ගැන කෙළින් කතා කරන මිනිහා දඬුකඳේ ගැසීමට සමාජය නොපසුබට වන බැවිනි. එබැවින් මේ සමහර අසීරු දේවල් ගැන ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම වැදගත්ය. එසේ නොමැතිව රාජ්‍ය ඇමතිවරුන් කඬේ යවා කංසා ගැන තීරණයක් ගත නොහැකිය. මැටිවලින් මාල හදා හෝ විකුණන බව මැටි කර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය ඇමති කියා තිබුණි. මාල නොව මැටිවලින් කළ හැකි නිර්මාණශීලී, දෛනිකව නිවස්නට ප්‍රයෝජනවත් වන මෙවලම් මෙන්ම නිවෙස් අලංකරණය සඳහා භාවිත කළ හැකි දේවල් ඕනෑතරම් තිබේ. සෑම ගෘහයකම මැටි කළගෙඩියක් භාවිත කිරීමෙන් පානීය ජලය අවශ්‍ය ප්‍රමාණයට සීතකර භාවිත කළ හැකිය. ප්ලාස්ටික් වෙනුවට මැටි බඳුන් හඳුන්වා දිය හැකිය. ලංකාවට මෙතැන් සිට අවශ්‍ය විකිණීම සඳහා දේවල් නිෂ්පාදනය කිරීමය.


රටට අවශ්‍ය ඖෂධ මෙරට නිපදවා ඒ සඳහා විදේශවලට යන මුදල් ඉතිරි කර ගත යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ කියා තිබුණි. ඔහුගේ එම ව්‍යායාමය රාජ්‍ය ඇමතිවරුන්ගේ විෂය පථය දක්වාම ප්‍රසාරණය කළ යුතුය.


විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා රාජ්‍ය ඇමතිවරුන්ට භාරදී තිබෙන ඇතැම් විෂයයන් මගින් එම ක්‍රියාවලියට කිසියම් පදනමක් දමා ගත හැකිය. නිදසුනක් ලෙස බතික් හා අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය ගතහොත් ඒවා ජනප්‍රිය කිරීමෙන් පළමු වටයේදී ලොකු ලාභ නැතත්, කර්මාන්තයට පැවැත්මක් හෝ සකසා ගත හැකිය.

විශේෂයෙන්ම අත්යන්ත්‍ර මගින් නිපදවන සාරි සඳහා ඇති ඉල්ලුම විශාල වුවත් ඊට සරිලන සැපයුමක් නැත. සිලි බෑග් වෙනුවට පන්මළු, පොලිතින් වෙනුවට වෙනත් විකල්ප නිෂ්පාදන සුලභ කිරීමෙන් තවත් සුළු ආදායම් මාර්ග ඇති කළ හැකිය. ගම්වල ඇතැම් කාන්තාවන් කඩදාසි කවර අලවා අලෙවි කිරීමෙන් සුළු ආදායම් ලැබීම මෙහිදී පූර්වාදර්ශයක් කරගත හැකිය. ඇතැම්හු පහන් තිර ඇඹරීම වැනි කටයුතුවලිනුත් සුළු ආදායම් උපයති. මේ වනවිට ඊටත් වඩා ලොකු ආදායම් ලබන මාර්ග තිබිය හැකිය.


වර්තමානය වන විට වැටී තිබුණත් ඇඟලුම් කර්මාන්තය දශක කිහිපයක් පුරා ගමට මුදල් සංසරණය කළ ප්‍රධාන මාර්ගයක් වූයේය. ඇඟලුම් කර්මාන්තය තවත් සුළු ආර්ථික මාර්ගවලට මග පාදයි. 77 ආණ්ඩුවෙන් පසු බලයට පත් කිසිම රජයකට යම් කලකදී ක්ෂය වුවත් දශක දෙක තුනක්වත් ප්‍රතිඵල ගෙන දෙන එවැනි ස්ථිර වැඩසටහනකට අත ගැසීමට නොහැකි විය. නව රජය නිෂ්පාදන ආර්ථිකයක් සඳහා සැලසුම් සකස් කරනවා නම් වෙළෙඳාම සඳහා ඇති අවකාශය පටු නැත. ලංකාව නිෂ්පාදන ආර්ථිකයකට වඩා සේවා ආර්ථිකයකට බර තබා ක්‍රියා කරන රටක් බව පසුගිය කාලය තුළ තහවුරු කැරිණි. සේවා ආර්ථිකයෙන් මුදල් සංසරණය වර්ධනය කළ හැකි වුවත් නිෂ්පාදනය හා වෙළෙඳාම තරම් රටක ආර්ථිකයක් ස්ථාවරත්වයට පත් කරන අන් කවර මගක්වත් නැත.