චාමිනි වික්‍රමසිංහ


පවතින කොරෝනා වසංගතය අන් සියලුම ක්ෂේත්‍ර මෙන්ම වේදිකා නාට්‍ය කලාව ද අඩපණකොට තිබේ. මතුවන ගැටලු හේතුවෙන් දින වකවානුවක් නොදැනම වේදිකා නාට්‍ය ශිල්පීන්ට වේදිකාවෙන් බැස යන්නට සිදුව ඇත. ප්‍රේක්ෂකාගාරය නිහඬය. ඉදින් කෙදිනක යළි වේදිකාවේ මල් පුබුදින්නට දැකිවේදෝයි, වේදිකා නාට්‍යකරුවෝ බලාපොරොත්තු දල්වා බලා හිඳිති. බාධක මැදින් හෝ යළි වේදිකාව විවර විය යුතුය. ඒ සඳහා ඇති බාධක සහ ඒ සඳහා වන යෝජනාවන් පිළිබඳව වේදිකා නාට්‍ය ශිල්පීන් සමග කළ කතා බහකි මේ.


වේදිකා නාට්‍ය ශිල්පීන් හිඟන්නෝ නෙවෙයි

ජූඞ් ශ්‍රීමාල් – නාට්‍ය සංවිධායක

මාර්තු 15 න් පස්සේ අපිට වේදිකා නාට්‍ය වෙනුවෙන් ප්‍රවාහන ගාස්තුවක්වත් ලැබිලා නෑ. සත පහක ආදායමක් නෑ. ඒ අය ඉතා දුෂ්කර තත්ත්වයක ඉන්නේ. මෙතනදි හැම රජයක්ම ඔවුන්ගේ ගමනාන්තයට යන්න කලාකරුවන්ව කිහිලිකරුවක් වශයෙන් පාවිච්චි කරනවා. ඒ අය ස්ථාවර වුනාට පස්සේ කලාකරුවන්ව සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. රජය මගින් කොරෝනා වලින් අසරණ වුණු අයට ආධාර කරනවා හා සමානව හෝ ඊට ඉහළ මට්ටමකින් ගෙවල් වල ඉන්න නාට්‍යකරුවන් ගැන බලන්න ඕන. මාස ගාණක් තිස්සේ නිරෝධායනය වෙන අයත් ඉන්නවා. ඒ ගැන කාටවත් අවධානයක් නෑ. ආයෙත් ඡන්දයක් කිට්ටු වුනොත් ඇහැ යයි. නමුත් මේ වෙලාවේ අන්තිම අසරණ අඩියකට තමා ඒ අය පත්වෙලා තියෙන්නේ. ඒක තමයි දැන් තියෙන තත්වය. මේකෙන් කවදා ගොඩ එන්න පුලුවන්ද කියලා දන්නේ නෑ. එල්ලය තියෙන්නේ හිතාගන්නවත් බැරි දුරක. එල්ලය ඇත්තටම මිරිගුවක් වගේ බොඳ වෙලා තියෙන්නේ.


කලින් කොරෝනා රැල්ල ඉවරවේගෙන එද්දි මම පටන් ගත්තා රඟපෑම ඇරඹේ කියලා නාමෙල් මාලනී එකේ නාට්‍ය 4 ක්. ඒකට සීයට 30 ක 40 ක ප්‍රේක්ෂකයින් පිරිසක් ආවා. පස්සේ ටවර් හෝල් රඟහලෙන් ප්‍රේක්ෂා කියලා නාට්‍ය උළෙලක් පෙන්නුවා. ඒක සෑහෙන්න ඉහළට ආවා. ප්‍රේක්ෂකාගාරයට සීයට 50 ක් 60 ක් වගේ වැඩි වුණා. ඒක ඉහළම මට්ටමට ආව ගමන් ආපහු කොරෝනා දෙවන රැල්ල. ඒක ආයේ හොඳටම කඩන් වැටුණා. ආයෙත් කොහොම ඔලුව උස්සන්න ද, වේදිකාව ආයේ ගොඩනගන්නද කියලා අපිට කියන්න බෑ. ඒත් අපි කඩන් වැටෙන්නේ නෑ. අපිට පුලුවන් උපරිමෙන් අපි ආයේ නැගිටින්න බලනවා. හැම අවස්ථාවකම කලාකරුවන්, වේදිකා නාට්‍යකරුවන් ඉන්නවා කියන එක අමතක කරන්න එපා කියලා තමයි අපි රජයට කියන්නේ.


මොකද දැන් වේදිකාව කියන තැන අමතක කරන්න ලේසි තැනකට හැමෝම පත්වෙලා ඉන්නවා. රටේ තියෙන පීඩන තත්වයන් යටතේ මිනිසුන්ගේ ජීවන සටන දුෂ්කරයි. ඒ නිසා ඒ අය කලා කටයුතු පහළ අඩියකට දාලා තියෙනවා. මොකද පවුලේ අයත් එක්ක ගිහින් නාට්‍යයක් බලන්න දැන් මිනිස්සුන්ට හැකියාවක් නෑ. ඒක මූලික වියදම් වලින් බැහැර දෙයක් වෙලා තියෙනවා. ඒ ගැන ආශාවෙන්ම ඉන්න සීයට දශම ගාණක් ඉන්නවා. නමුත් ඒ සුළු පිරිස හරි මේ අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයේ රඳවා ගන්න නොහැකි වෙලා තියෙනවා. මේ හැංගිලා ඉන්න අල්පයක් රැකගන්න හෝ වේදිකා නාට්‍ය ශිල්පියා ගැන සංස්කෘතික අමාත්‍යංශයෙන් හෝ පවතින රජයෙන් අවධානයක් දක්වනවනම් හොඳයි. නමුත් එහෙම දෙයක් වෙන්නේ නෑනේ.


අපිට රජයෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න බෑ. නමුත් ඒ අය වෙනුවෙන් රජය යමක් කළ යුතුයි. මොකද ඉල්ලන්නේ හිඟන්නෝ. වේදිකා නාට්‍ය ශිල්පීන් කියන්නේ හිඟන්නෝ නෙවේ. මොකද වේදිකා නාට්‍ය ශිල්පීන් කියන්නෙත් රටේ ජනතාවගෙන් විශේෂ කොටසක්. ඒ නිසා ඒ අය වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න කියලා තමයි අපි කියන්නේ.


මුලින්ම වහලා අන්තිමට ඇරෙනවා

අසංක සායක්කාර – නාට්‍යවේදි

මාර්තු වල ඉදන් ජූනි ජූලි වෙනකල් මේ ක්ෂේත්‍රය කඩාගෙනම වැටුනා. ඒකත් එක්ක විශේෂයෙන්ම වේදිකා නාට්‍ය ශිල්පියෝ නන්නත්තාර වෙලා හිටියේ. වේදිකා නාට්‍ය කලාවට මේ බිඳ වැටීම දැඩිව දැනුණා. මොකද පල්ලෙහාම තලයක තමයි අපිට වේදිකා නාට්‍ය කරන්න අවසර ලැබුණේ. ඒක දැනෙන්න පටන් ගන්නේ ටවර් හෝල් රගහල මැදිහත්වෙලා ප්‍රේක්ෂා නාට්‍ය උළෙල කියලා එකක් පටන් ගන්නවා. ඒකෙන් නාට්‍යකරුවෝ බොහෝම අමාරුවෙන් නාට්‍ය කරන්න පටන් ගන්නවා. අපි කලින් කොරෝනා කාලේ ලොක් ඩවුන් කරන්න දවස් කීපයකට කලින් මංගල දර්ශනය සූදානම් කරලා තිබ්බේ ඌරෝ අතර පෝක් නාට්‍යයේ. අපිට ඒකේ මංගල දර්ශනය කරන්න වුනේ නෑ. නැවත අපි ඒක කරේ කොරෝනා වලින් පස්සේ. කොරෝනා පළමු රැල්ලෙන් පස්සේ අපි තමයි මුලින්ම නාට්‍ය කරන්න පටන් ගත්තේ. ඒකෙන් පස්සේ අපි හෙමීට ආයේ මේක දුවන්න පටන් ගත්තා. විශේෂයෙන් කොළඹින් එළියේ දර්ශන වාර පෙන්නන්න පටන් ගත්තට පස්සේ කොළඹ දර්ශන වාර වල යම්කිසි ප්‍රබෝධයක් ඇති වුණා. කොළඹින් පිට ඒ ප්‍රබෝධය තිබුනේ නෑ. කොළඹින් පිට ඒ වැඩ පටන් ගත්ත ගමන් තමයි මේ දෙවනි රැල්ල ආවේ. මේකත් එක්ක වේදිකා නාට්‍යකරුවෝ නැවතත් අසරණ වෙලා තියෙනවා. මොකද හැම ව්‍යසනයකදිම මුලදිම වහන ක්ෂේත්‍රයක් තමයි වේදිකාව. ඒ වගේම අන්තිමටම ඇරෙන ක්ෂේත්‍රයත් වේදිකාව. මේ මොහොතෙත් අපිට කිසිම වේදිකා නාට්‍යයක් පෙන්වන්න අවස්ථාවක් නෑ. මොකද මේක ආපහු ඇරෙන දවසක් ගැන අදහසක් නෑ. ආයේ ඇරියත් නිරෝධායන නීති රීති යටතේ තමයි නාට්‍ය ප්‍රදර්ශනය කරන්න වෙන්නේ. කොරෝනා පළමුවැනි රැල්ල වෙලාවෙදි ආණ්ඩුවෙන් යෝජනා කරනවා කලාකරුවන්ට ලක්ෂ පහක ණය මුදලක් ලබාදෙන්න. ඒක ඡන්ද පොරොන්දුවක් බවට පත්වෙනවා. ඒ අවස්ථාව හිමිවුනේ කීප දෙනෙකුට විතරයි. විශේෂයෙන්ම නාට්‍ය ශිල්පීන්ට ඒක ලැබුණේ නෑ. බැංකු වලට ගියාම විශාල කොන්දේසි රාශියක් තිබ්බා. ඇත්තටම නාට්‍යකරුවන් රස්තියාදු කරලා කරලා ඡන්දේ ඉවර වෙනවත් එක්කම මේක අකුල ගත්තා. නාට්‍ය කලාවට ලැබුනු එකම සහනය ටවර්හෝල් රඟහල මැදිහත්වෙලා කරපු ප්‍රේක්ෂා නාට්‍ය උළෙල විතරයි. ණය මුදල නාට්‍යකරුවන්ගෙන් සීයට එකකටවත් ලැබුනේ නෑ.


දැන් හැමෝම වගේ වේදිකාව අවතක්සේරුවට පත් කරලා තියෙනවා. ඒත් වේදිකාවෙන් ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ නළු නිළියෝ විතරක් නෙවේ. තව අවශේෂ පිරිස් ඉන්නවා. මේ වෙලාවේ අනුශාංගිකව කලාවට සම්බන්ධ පිරිස් පවා, දැන්වීම් බෙදන මිනිස්සු මේ හැම කෙනෙක්ම මේ නාට්‍ය කලාවේ කොටස්කාරයෝ. මොකද මේක කර්මාන්තයක්. මෙතනදි හැමෝම අසරණයි. කිසිම කෙනෙකුට වැඩ නෑ.


ඒත් ලංකාවේ රජයන්ට මේ වේදිකා නාට්‍ය කලාව අවශ්‍යය නැති තැනට පත්වෙලා තියෙනවා. කලාකරුවෝ ඒ අයගේ වේදිකාවලදී ඡන්ද රැස්වීම් වලට ඔළුගෙඩි පුරවන්න විතරයි වේදිකාවල් වල පාවිච්චි කරන්නේ. ඒ වුනාට ආණ්ඩුවට කලාව තිබ්බත් එකයි නැතත් එකයි.


අපි පිළිගන්න ඕන දෙයක් තමයි ලංකාවේ වේදිකා නාට්‍යයකදි ශාලාව භාගයක් පුරවගන්නවා කියන්නෙත් වැඩක්. 500 ක් ආසන තියෙන තැනක 200 ක් එනවා කියන්නෙ ඇත්තටම ලොකු වැඩක්. කොහොමත් පුටුවක් ඇර පුටුවක් වාඩි කරද්දි 500 ක් ඉන්න තැනක 250 යිනේ වාඩි කරන්න පුලුවන්. ඇත්තටම නාට්‍යයකට ඒ ගාණ හොයන එකත් අමාරු වැඩක්. ඒ නිසා මේ නිරෝධායන නීති යටතේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීම මහ අහඹු දෙයක් නෙවේ. ඒකේ අමුත්තක් නෑ. ඒකට ලෑස්ති වෙන එක තමා කරන්න ඕනේ. මොකද නාට්‍ය කලාවේ ප්‍රායෝගික තත්ත්වය අපි දන්නවා. සෙනග පිරිලා ඉතිරිලා යන්නේ නෑ. නාට්‍ය කලාවට සෙනග පිරිලා ඉතිරිලා ගියානම් නාට්‍ය කලාව මීට වඩා ජනප්‍රිය මාධ්‍යයක් වෙන්න ඕනෙනේ. ඒ නිසා විය යුත්තේ නව තත්ත්වය තේරුම් අරන් ඒ සඳහා අනුගතවීමයි.


නැව ගිලෙන්න යනකොට මුලින්ම විසිකරන්නේ සංගීත භාණ්ඩ

ශ්‍රියන්ත මෙන්ඩිස්


කොරෝනා කියන්නේ ලෝකය පුරාම පැතිරුණු එකක්. මේ වගේ වසංගත යුග කාලානුරූපිව ඇවිත් තියෙනවා. රජ කාලේ ඉදන්ම මානවයා මේවට ගොදුරු වුනා. සාමාන්‍යයෙන් මෙහෙම ගැටලුවත් වුණු ගමන් නවතින්නේ ප්‍රාසාංගික කලාව. නැවක් ගිලෙන්න යනකොට ඉස්සෙල්ලම විසිකරන්නේ සංගීත භාණ්ඩලු. ඒ නැව සමබර කරගන්න. නමුත් මෙවර එහෙම සංගීත භාණ්ඩ විසි කරන්න දුන්නේ නෑ. එහෙම නොදී කලාවට සම්බන්ධ, කලාවට ආදරේ කරන, කලාවේ නිරත වන විවිධ ජන කොටස් මේ සඳහා මහන්සි වුණා. ඒ නිසාම අපි සංවිධානයකුත් පිහිටවගත්තා. ඒකේ සාමාජිකයෝ 9 ක් ඉන්නවා. මා ඇතුළුව ජයන්ත චන්ද්‍රසිරි, වසන්ත විට්ටච්චි, අජිත් ලොකුගේ, සනත් විමලසිරි, එම් සෆීර්, සම්පත් ජයවීර ඇතුළුව තව දෙන්නෙක් හිටියා. මේ කොරෝනා පළමු රැල්ල අවසන් වීගෙන යන කාලේ. පස්සේ අපි තීරණය කළා නාට්‍ය උත්සවයක් පවත්වමු කියලා. ඒ සඳහා මූලික වුනේ ටවර්හෝල් රඟහල පදනම. ඒ අය අපිට නාට්‍ය ශාලාව දුන්නා. රුපියල් 50000 ක් දුන්නා. ඒක නාට්‍යකරුවව දිරිමත් කරන්නක්. එතනදි අපි සුභ සහ යස නාට්‍යයෙන් ආරම්භ කරලා නාට්‍ය 7 ක්, දින 7 ක රඟහලවල් 2 ක පෙන්නුවා. ඒකේ දෙවන අදියර හැටියට මාසයක් නාට්‍ය පෙන්නුවා. හැමදාකම මහා සෙනඟක් ආවා. අපි මේ සියලුම දේ කළේ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ. එන අයගේ අන්‍යනතාවය සහතික කරලා, පුටුවක් ඇර පුටුවක් වාඩිවෙලා, ඒකට ලොකු සෙනගක් ආවා. අපි විශ්වාස කරේ නෑ තව රැල්ලක් එයි කියලා. අපි ඒ ගැන හිතුවෙත් නෑ.


අපි අපරික්ෂාකාරී වුණා. අපි සුරක්ෂිතයි කියලා ඕනවට වඩා හිතුවා. අපි දේව වරම ලැබිච්ච නාට්‍ය වල චරිත වගේ කියලා හිතුවා. එහෙම නෑ. මොකද විශබීජය අපිට පේන්නේ නෑ. කොයි වෙලේ කොයි මොහොතේ අපිට දෂ්ට කරයි ද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා දෙවන රැල්ල එක්ක වේදිකා නාට්‍ය නැවතුනා. සියලු දේ අඩපණ වුනා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න නාට්‍යකරුවන් සියල්ල අසරණයි. නාට්‍ය තියා ඒ අයට කන්න බොන්නවත් නැතුව ඇති. හැබැයි අර පළවෙනි රැල්ලේ තිබ්බ කලබලය නෑ දෙවනි රැල්ලේ. පළමු රැල්ලෙදි සුභ සාධන කාරණා රැසක් තිබුණා. ඒක දෙවනි රැල්ලෙදි මතු වුනේ නෑ. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය.


මම ගම්පහ දිස්ත්‍රික්කයේ මගේ නාට්‍යකරුවොත් එක්ක කතාබහ කරනවා. ගනුදෙනු කරනවා. ඒ අයට අවශ්‍ය දේවල් මම ඇහුවා. ඒක අතිශය පෞද්ගලිකව කරන දෙයක්. නමුත් මට හිතෙන විදියට මේ ඛේදවාචකයට අපිට මුහුණ දෙන්න සිද්ධවෙනවා. ඉදිරියටත් අපිට කොරෝනා එක්ක ජීවත් වෙන්න සිද්ධවෙනවා. ඒකට අපිට හිත හදාගන්න වෙයි. ඒකට පුරුදු පුහුණු වෙන්න වෙයි. මුළු ලෝකෙම එහෙම වෙලා තියෙන්නේ.


කවදා කාට කොහේ මේ නාට්‍ය පෙන්වන්න වෙයිද කියලා අපි දන්නේ නෑ. ඒත් ඒ අලුත් ප්‍රශ්නය තුළත් අපි ධනාත්මක වෙන්න ඕනේ. ඒකට මුලින්ම සමාජය සකසුරුවම් කරගන්න ඕනේ. නාට්‍යකරුවාට කොරෝනා එක්ක වුනත් නාට්‍ය කරන්න පුලුවන්. අපේ සමාජයේ නාට්‍ය වලින් ජීවත් වෙන අය ඉන්නවා. ඒ අය මොනවහරි කරන්නම ඕනේ. ශාලාවක් නැත්නම් වීදී නාට්‍යයකින් හරි ඒ අය ඒ දේ කරන්න ඕනේ.


අපි මේ සඳහා විකල්ප මාධ්‍යයන් භාවිත කළ යුතුයි. ලෝකයේ විවිධ නාට්‍ය ආකෘතීන් බිහිවන්නට ඇත්තේ එහෙම තමයි. ඉතිහාසෙත් වායුසමීකරණය කරපු ශාලා තුළ නාට්‍ය පෙන්වන්න බැරිවුනු අවස්ථා ඇතිනේ. එතකොට මිනිස්සු එළියට බැස්සා. ශාලාවල් වලට ආවා, වීදී නාට්‍ය වලට ආවා, තනි පුද්ගලයෙන් රඟපාන නාට්‍ය විශේෂයකට ආවා. ඒ නිසා අපිට එහෙම වෙනස්කම් වලට යන්න පුලුවන්. අපි විකල්ප මාධ්‍ය ඔස්සේ නාට්‍ය පෙන්විය හැකි හැඩයක් සොයමින් යනවා. එතකොට විවෘත රගමඩලක, ආරක්ෂිත තත්වයන් යටතේ එහෙම කරන්න පුලුවන් වෙයි කියලා අපි හිතනවා. තරුණ නාට්‍යකරුවොත් ඒ ගැන කල්පනා කරනවා ඇති. මමත් නාට්‍යකරුවෙක් විදියට ඒ අය දිරිමත් කරනවා.


අපි මුලින්ම සමාජ සුරක්ෂිතභාවය තේරුම් බේරුම් කරගන්න ඕනේ. ඒ සඳහා තරුණ නාට්‍යකරුවෝ, ප්‍රවීන නාට්‍යකරුවෝ හැමෝම අලුත් මාවතකට යා යුතුයි. විකල්ප මාවතක් හඳුනාගත යුතුයි. සම්ප්‍රදායික හතරැස් වේදිකාවෙන් බැහැලා අපි එළියට එන්න ඕනේ. හෙට නාට්‍ය පෙන්වනවනම් මම රගපානවා. මට ඒකට බයක් නෑ. ඒත් අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕනේ.


මේ ප්‍රශ්නය පිළිබදව මම වාර්තාවක් සහ ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා කලාකරුවෝ අධිභාරයක් රැස් කරන්න කියලා. ඒක විශේෂ වැඩපිළිවලක්. පහුගිය කාලේ වැඩත් එක්ක අපිට ඒක හරියටම දියත් කරගන්න බැරිවුනා. නමුත් ඒක අපි කොහොම හරි කරනවා. ඒ සඳහා සැලසුම් හදනවා. ඒත් 71 ඉදන් වුණු ව්‍යසන වලදි අපි රජයෙන් මුකුත් ඉල්ලුවේ නෑ. අපිට රජය කිසි වෙලාවක සත පහක්වත් දීලා නෑ. ඒත් අවශ්‍ය අයට දෙනවනම් හොඳයි. ඒක අපිට හයියක්.


අපිට ලංකාව තුළ වෘත්තීයමය වටිනාකමක් නෑ.

ගිහාන් ප්‍රනාන්දු


අපි රට වටේම නාට්‍ය පෙන්වන්න සූදානමින් හිටියේ. මේකත් එක්ක ආයේ කොයි කාලේ නාට්‍ය පෙන්වන්න වෙයි ද කියල නොදන්න තැනට අපි වැටුනා. රටේ අනික් වෘත්තීන් සම්බන්ධයෙන් තියෙන අවධානය මේ නාට්‍ය කලාව සම්බන්ධයෙන් නෑ. කලාවෙන් ජීවත් වෙන පිරිසක් ඉන්නවා කියලවත් රටේ අයට ගාණක් නෑ. කොරෝනා පළමුවෙනි රැල්ලෙදි සමහර ආයතන කලාකරුවන්ගේ මැදිහත්වීමෙන් බඩු මලු දුන්නා. ඒත් ඒක කී දෙනෙක්ට හම්බුනා ද කියලා දන්නේ නෑ. මොකද අපිට කවදාවත් ලංකාව ඇතුලේ වෘත්තීමය වටිනාකමක් ලැබිලා නෑ.


ප්‍රසිද්ධ කීප දෙනෙකුට ඒ අවධානය තියෙනවා. ඒත් මේ හරහා ජීවත් වන විශාල පිරිසක් ඉන්නවා.අපි රටක් විදියට මාර්තු ඉදන් වැඩ කරලා නෑ මේ කොරෝනා නිසා. ඇත්තටම කලාවෙන් විතරක් ජීවත් වෙලා ඉන්නවා කියන එක මේ මොහොතේ ස්ථාවර තත්වයක් නෙවේ. අපිත් කාලයක් අපේ වෘත්තීන් අත ඇරලා මේවට යොමු වුනා. ඒත් අලුත් කොනෙක්ට මට සියල්ල අත ඇරලා මේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට එන්න කියන්න බෑ. කලාවෙන් යැපෙන්න පුලුවන් තත්වයක් මේ රටේ නෑ.


පළමු රැල්ලෙන් පස්සේ නාට්‍යකරණයේ යෙදෙන අය යෝජනාවලියක් ගෙනාවා. සංවිධායකවරුන්ට සහන මිලට නාට්‍යයක් දෙන එක වගේ දේවල් අපි යෝජනා කළා. 600 ක් ඉන්න ශාලාවකට අපිට 300 යි දාන්න පුලුවන් වුනේ. පස්සේ අසාමාන්‍ය කොරෝනා ආරක්ෂිත ක්‍රමවේදයන් පවා තිබ්බා. හැබැයි ඉදිරිය සම්බන්ධව අපි කාටවත් ලොකු අදහසක් නෑ. මුලු ලෝකයේම හැමදේම අඩපණ වෙලානේ. ප්‍රේක්ෂකාගාරයක් නැතුව රූපවාහිනි නාට්‍යයක් පෙන්වන්න පුලුවන්. ඒත් ප්‍රේක්ෂකාගාරයක් නැතුව නාට්‍යයක් පෙන්වන්න බෑනේ.


ඒ වගේ කලාව සම්බන්ධයෙන් රජයට යෝජනාවක් කරන්න මේ මොහොත නෙවේ. මට දැනෙන විදියට රට තියෙන තැන ගැන රජයටවත් අදහසක් නෑ. මේක අපිට පේනමානේ තියෙන ලෙඩක් නෙවේනේ.


රටේ අනික් වෘත්තීන් වලට සාපේක්ෂව වේදිකා නාට්‍ය වලින්ම ජීවත් වෙන අය අඩුයි. වේදිකා නාට්‍ය වලට මුලින් සම්බන්ධ වෙන අංකුර නාට්‍යකරුවෝ වෙනත් වෘත්තිය හෝ අධ්‍යාපනයේ යෙදෙන ගමන් තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. ඊට සාපේක්ෂව ටෙලි නාට්‍ය වලින් යැපෙන පිරිස වැඩියි. කාර්මික ශිල්පීන්, කලා අධ්‍යක්ෂණය කරන අය වැඩියි. වේදිකා නාට්‍ය කරන බොහෝ අය තව තැනක කකුලක් තියන් ඉන්නේ. ඒ නිසා බලපෑම අඩු වුනත් අසරණ වුණු පිරිසකුත් ඉන්නවා. දැනට රජයෙන් මේ සඳහා විසඳුමක් නෑ.