ජයදේව උයන්ගොඩ


ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයත්, නීතියේ ආධිපත්‍යයත්, පුරවැසි නිදහසත් අවසානයකට ගෙන ඒමේ අරමුණත්, පළවිපාකත් සහිත යෝජිත විසිවැනි සංශෝධනය සාධාරණය කරමින් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කයක් තිබේ. එය නම්, එය ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කිරීමටත්, ශක්තිමත් ආණ්ඩුවක් ලංකාවේ ස්ථාපිත කිරීමත් සඳහා මේ ආකාරයේ ආණ්ඩුක්‍රම පරිවර්තනයක් අවශ්‍ය බවය.


මෙම ‘ශක්තිමත් ජනාධිපති’ සහ ‘ශක්තිමත් ආණ්ඩුව’ උපන්‍යාසයේ ඇති ‘ශක්තිමත්’ යන සංකල්පය විමසා බලන විට පෙනෙන්නේ, ඇත්ත වශයෙන්ම දැනට යෝජිත ආකාරයේ ‘ශක්තිමත්’ ආණ්ඩු ඉල්ලා සිටින්නේ අදක්ෂ සහ දුර්වල පාලකයන් යන්නයි. එය පාලකයන්ගේ දුර්වලතාව සහ නූතන ලෝකයට ගැළපෙන, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සුදුසු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වීමට දේශපාලනඥයන් සතු නොහැකියාව සහ බය යන චරිත ලක්ෂණ දෙකම වෙතින් නිර්මාණය වන දේශපාලන මනෝ ව්‍යාධියක් ප්‍රකාශයට පත් කරන දෙයකි.


“ශක්තිමත්” පාලකයා විසංයෝජනය කිරීම


1978 මුල් ව්‍යවස්ථාව, 18 වැනි සංශෝධනය සහ යෝජිත 20 වැනි සංශෝධනය යන ලියවලි තුනම සහ ලෝකයේ අනෙක් රටවලද ඇති ඒකාධිපති ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විග්‍රහ කර බලන විට, ඒවායින් පාලකයන් ආරක්ෂා කර ඇති සහ කරන එක් පොදු දෙයක් තිබේ. එය නම්, සිය අභිමතයට අනුව පමණක්, බාහිර බාධා හෝ සීමා හෝ කිසිවකින් තොරව, තමා පමණක් තෘප්තියට පත්වන ආකාරයට, තමන්ට ලැබී ඇති දේශපාලන බලය අවභාවිත කිරීමට මෙන්ම අයිතියක්ද වරප්‍රසාදයක්ද ඇති බව සිතීමයි. එය තමන්ට පමණක් තිබිය යුතු අයිතියක් සහ වරප්‍රසාදයක් විය යුතු යයිද එවැනි පාලකයෝ සිතති. පූර්ව-නූතන දේශපාලන ක්‍රමවල රජවරුන්, අධිරාජ්‍යයන් මෙන්ම නූතන දේශපාලන ක්‍රමවල ඒකාධිපති පාලකයන්ද අතර දේශපාලන බලය පිළිබඳව තිබෙන පොදු අවබෝධය වන්නේද මෙයයි.


ඒකා+අධිපති


“ඒකාධිපති” යන සිංහල වචනය විශ්ලේෂණය කර බැලුවහොත්, මෙම දේශපාලන මනෝව්‍යාධියේ ස්වභාවය ඉතා හොඳින් එම වචනයෙන් ප්‍රකාශයට පත්වන බව පෙනේ. ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ‘ඒකා අධිපති’ මේ සුප්‍රසිද්ධ නාට්‍යයෙන්ද, එම නාට්‍යයට පදනම් වූ චාලි චැප්ලින්ගේ ඔයැ ෘසජඒඑදර නම් චිත්‍රපටයෙන්ද මෙම මනෝ ව්‍යාධිය ඉතා ප්‍රබල ලෙස සාකච්ඡාවටත්, අනාවරණය කිරීමටත් ලක්වේ.


“ඒකා+අධිපති” යන වචන දෙක එකතු වී සෑදී ඇති එම සිංහල වචනයෙන් නිවැරදිව යෝජනා වන පරිදි, තමන් අත පමණක් බලය කේන්ද්‍රගත විය යුතුය යන මනෝභාවය ඇතිවන්නේ දේශපාලකයන්ට සහ පාලකයන්ට පමණක් නොවේ. අපේ සමාජයේ එවැනි ව්‍යාධි සහගත පුද්ගලයෝ විශාල ලෙස සිටිති. තම පවුල්වල එවැනි පියවරුද, වැඩිමහල් සහෝදරවරුන්ද සිටින බවද, තම පාසල්වල එවැනි විදුහල්පතිවරුන් සිටිනා බවද, එවැනි ආකාරයේ කාර්යාල ප්‍රධානීන් සිටින බවද අප බොහෝ දෙනා එදිනෙදා ජීවිතයේදි අත්දැක තිබේ. එවැනි අය අතර එවැනි ඒකා+අධිපති චර්යාවන්ගේ ප්‍රධාන ලක්ෂණයක් නම්, ඒ මඟින් ඔවුන් සතුව ඇති ආත්ම-ආරක්ෂාව පිළිබඳ අතිශය භීතියත් ප්‍රකාශවන බවවයි. තමන් සතු එම පුද්ගලික ආරක්ෂාව පිළිබඳ බිය සහ සැකය එම පුද්ගලයන් ජය ගත්නේ, දැඩි ආක්‍රමණශීලි පෞරුෂයක් තමන් සතු බව අන්‍යයන් සමග පවතින සම්බන්ධතාවලදී ප්‍රකාශයට පත් කරවමිනි. අපේ පවුල්වල, අසල්වැසියන්, කාර්යාලයේ පාසලේ, විශ්වවිiාලයේ සහ වැඩපොළේ මෙන්ම වෘත්තීය සම්බන්ධ අය බොහෝ විට අත්දැක ඇති ආකාරයට එවැනි ඒකා+අධිපති චරිත ස්වභාව ඇති පුද්ගලයෝ ඉක්මණින් තරහා යන, අන් අය තමන්ට යටත්ව සිටිය යුතු යැයි සිතන, තමන් කරන කියන දේ අන් අය විසින් ප්‍රශ්න කරනු ලැබීමට අකැමැති, එසේ ප්‍රශ්න කරන විට කෝපයට පත්වන, පරුෂ වචනයෙන් බැණ වදින, වෙනස් මතයක් ඇසීමටවත් අකැමැති, “මූලග්ගිනිකාරයා” නම් සිංහල වචනයෙන් ප්‍රකාශයට පත් කෙරෙන ලෙස තම ස්වයං-අනාරක්ෂිතභාවය ආක්‍රමණශීලි සහ ප්‍රචණ්ඩ වචන වලින්ද, ශාරීරික භාෂාවෙන්ද ප්‍රකාශයට පත්කරන්නේද වෙති. තමා හුදකලාවේ සිටින විට මහත් බියෙන්ද, තැති ගැනීමෙන්ද, අනාරක්ෂිතබවෙන්ද, තමන් ගැනම සංශයෙන්ද සිටින මෙවැනි පුද්ගලයන්, එම දුර්වලතාවට වන්දි ලබා ගන්නේ, එනම් ක්‍දචැබි්එැ කර ගන්නේ, අප ඉහත කී ආකාරයේ ආක්‍රමණශීලි පෞරුෂයක් පිටතට ප්‍රක්ශේපණය කිරීමෙනි. මෙය අප සමාජයේ අපට බහුලව නිරීක්ෂණය කළ හැකි සමාජ-මනෝවිiාත්මක ගැටුමක්ද වේ.


දේශපාලනය සහ ඒකා+අධිපති ප්‍රපංචය


ලෝකය හමුවේ ඉතිහාසය පුරාම තිබෙන එකී අභියෝගයක් වන්නේ, ඉහත කී ආකාරයේ ඒකා+අධිපති මනෝභාවයක් ඇති පුද්ගලයින් අපේ පවුල්, පාසල්, කාර්යාල, වෘත්තිය සමිති අවුල් කිරීම තුළට සීමා නොවී හුදෙකලාව සිටීමෙන් නොනැවතී, දේශපාලන ක්ෂේත්‍රයටද පැමිණීම වැනි පුද්ගලික පරිමණ්ඩලයේ සීමා නොවී, මහජන පරිමණ්ඩලයටද පැතිරීමයි. රෝම යුගයේ සිට යුරෝපීය දේශපාලන චින්තනය තුළ පොරබදන ලද එක් සදාකාලික ගැටලුවක් වී තිබෙන්නේ මෙයයි. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සිසෝරෝ, ක්‍රිස්තියානි දේශපාලන චින්තනය, මැකියාවෙලි මෙන්ම ලොක්, මොන්ටෙස්කියු, කොක්විල් මැඞ්සන් වැනි ලිබරල් දේශපාලන චින්තකයින්ද, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය, කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම, සංවරණ සහ තුලන ක්‍රම යනාදී ආණ්ඩුකරණ යාන්ත්‍රණද අවුරුදු දෙදාහකට වැඩි කාලයක් උත්සාහ ගෙන ඇත්තේ, රාජ්‍ය බලයට ඒකා+අධිපති ප්‍රවනතාවලින් සිදුවිය හැකි ආගමනයෙන්, සමාජයත් මහජනතාවත් ආරක්ෂා කිරීමටය. පෙරදිග සම්භාව්‍ය දේශපාලන චින්තකයින් වන කෞටිල්‍යයන් සහ කොන්ෆියුස්ගේ කෘති වලද මෙම ප්‍රයත්නය අපට නිරීක්ෂණය කළ හැකිය. අප නීරීක්ෂණය කළ යුත්තේ ඒකා+අධිපති ප්‍රපංචය පූර්ව-නූතන ගෝත්‍රික සහ රාජාණ්ඩු ක්‍රමවල මෙන්ම නූතන දේශපාලන ක්‍රම වලද නිරන්තරයෙන්ම මතුවන ශිෂ්ටාචාරමය අපගමනයක් බවයි.


ග්‍රීක යුගයේ සහ සම්භාව්‍ය ඉන්දියාවේ බුදුන්වහන්සේගේ කාලයේ සිටත්, සම්භාව්‍ය චීනයේත් දේශපාලන චින්තනයේ විකාශනය දෙස මඳක් විමසිල්ලෙන් සිතා බලන විට, අප විමතියට පත් කරන එක් පොදු තේමාවක් ඒවායේ තිබෙන බව අපට නිරීක්ෂණය කළ හැකිය. එම තේමාව පහත සඳහන් ප්‍රශ්න/ ගැටලු දෙකට පිළිතුරු දීමට දේශපාලන දාර්ශනිකයන් ගනු ලැබු උත්සාහයක් ප්‍රකාශනයට පත්ව තිබෙන්නකි.


■ දැඩි ලෙස පුද්ගලික ලෙස ආනාරක්ෂිත සංකීර්ණතාවයෙන් සහ ඒ නිසාම පිටතට ආක්‍රමණශිලි චර්යාවන් සහිත පුද්ගලයින්ට රාජ්‍ය බලය හිමි වූ විට ඔවුන්ගෙන් සමාජයට සිදුවිය හැකි හානිය වැළැක්විය හැක්කේ කෙසේද ?


■ දේශපාලන බලය එවැනි ඒකා+අධිපති පාලකයින් විසින් හිතුවක්කාර, අන්තනෝමතික සහ ප්‍රජාපීඩක ලෙස අවභාවිත කරනු ලැබීම වැළැක්විය හැක්කේ කෙසේද ?


පූර්ව නූතන, පූර්ව ප්‍රජාතන්ත්‍රවාදී එනම් රාජාණ්ඩුක්‍රම වලද මෙම ප්‍රශ්න දෙකම අතිශය අභියෝගකාරී, පහසුවෙන් විසඳුමක් නැති ඒවා විය. එයට හේතුව එම පූර්ව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවල, රාජ්‍ය බලය පුද්ගලයින්ට හිමි වුයේ මාධ්‍ය දෙකකින් පමණක් වීමයි. පළවැන්න සිය පවුල් උරුමයයි. දෙවැන්න සිටින රජු මරා හෝ බලයෙන් එළවා දමා, තමන්ට පවුල් උරුමයෙන් නැති දෙයක් බලහත්කාරයෙන් ලබා ගැනීමයි. පවුල් උරුමයෙන්ද, බලහත්කාරයෙන්ද යන මාධ්‍ය දෙකෙන්ම රජකම ලබාගත් සමහර පාලකයෝ තමන්ට ලැබුණු එම බලය අයුතු ලෙස, හිතුවක්කාර ලෙස, තම හිතුමතයට අනුව, එනම් අත්තනෝමතික ලෙස, අවභාවිත කිරීම නිසා පාලන තන්ත්‍රය පත්වන නිෂේධනීය පරිවර්තනය හැදැරීමට බටහිර දේශපාලන න්‍යායේ ග්‍රීක යුගයේ සිට ගොඩ නැගී තිබෙන වචනය නම් ඔශඍ්භභශ යන්නයි.

දුෂ්ට පාලන තන්ත්‍රය, ප්‍රජාපීඩක පාලන තන්ත්‍රය යන වචන දෙකම එම වචනයේ අර්ථය දීමට ප්‍රමාණවත්ය. “අධාර්මික පාලකයා” වන දකුණු ආසියාතික සංකල්පයන් අදහස් වන්නේද එම අර්ථයමය මෙම “අධාර්මික” යන සමානපදයේ අර්ථ දෙකක් තිබේ. පළමුවැන්න, ධර්මයට, එනම් ආගමික සහ චර්යාධාර්මික සම්මතයන් නොතකන යන්නයි. දෙවැන්න “පව්කාර” යන්නයි.
පව්කාර පාලකයින් සම්භාව්‍ය පුරෝපීය සහ ඉන්දියානු මෙන්ම චීන දේශපාලන සම්ප්‍රදාය වල ඉහතකී ආකාරයේ ප්‍රජාපීඩක, දුෂ්ට, අත්තනෝමතික, අධාර්මික සහ පව්කාර පාලකයින් ඇතිවීම වැළැක්වීමට පියවර දෙකක් යෝජනා විය. ඒවා මෙසේය.


■ පාලකයා එනම් නෑදෑයින්ට, හිතවතුන්ට, රටවැසියන්ටත් වගකියන්නේ නැති හිතුවක්කාර, පව්කාර පුද්ගලයකු නම්, අඩුතරමින් ඉහළ, උත්තරීතර බලයකටවත් වගකිවයුතු හෝ වගඋත්තර කිවයුතු හෝ බව නියම කිරීම එම ඉහළ බලය නම් මේ දෙවියන් වහන්සේය. මෙම පව්කාර රජු අඩුතරමින් දෙවියන්වහන්සේටවත් බයෙන් පව් නොකර සිටිනවා ඇත. යනු අපේක්ෂාව, රාජ්‍යය පිළිබඳ දේව නිර්මාණවාදින්ගේ මුලදී තිබු අදහස විය. පසුව එළිවුයේ සමහර පාලකයින් එම දේව නිර්මාණ න්‍යායට තම හිතුවක්කාර, පව්කාර, ප්‍රජාපීඩක පාලන තන්ත්‍රය සාධාරණය කිරීම භාවිතා කිරීමයි.


■ දෙවැන්න, පළමුවැන්නේ අන්තරගතයෙන් පාඩම් ඉගෙන ගත් දේශපාලන දාර්ශනිකයින් යෝජනා කළ විසඳුමකි. එය නම් රාජ්‍ය බලය අයුතු ලෙස අත්තොනෝමතිකව අපයෝජනය කිරීමට පාලකයාට ඇති අවකාශය සීමා කරන ආයතනික ව්‍යුහයන් සහ ප්‍රඥප්ති නිර්මාණය කිරීමයි.


අපේ සාකච්ඡාවට අදාළ වන්නේ මෙයින් පළමුවැන්න නොව දෙවැන්නයි. එබැවින් ඒ ගැන අපේ අවධානය යොමු කරමු.


ඒකා+අධිපතිවාදයට පිලියම්

ලංකාවේ දැනට තිබෙන ආණ්ඩුක්‍රමයේ සංකල්පීය පදනම් සකස්වී තිබෙන යුරෝපීය ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය ගැන අප ඉගෙන ගැනීමටද එක් වැදගත් හේතුවක් වන කරුණු කිහිපයක්ද මෙම කෙටි සාකච්ඡාවේදි මතුකරගත හැකිය. එයින් කිහිපයක් දැන් අපි හඳුනාගනිමු.


■ පළමුවැන්න මිශ්‍ර ආණ්ඩුක්‍රමයයි. එය ග්‍රීක යුගයේ ආරම්භ වී මෙම යුගයේ වර්ධනය කරන ලැබූ අදහසකි. වර්තමානයේද එය බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම තිබේ. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් එහි ආරම්භකයන්ය. “මිශ්‍ර ආණ්ඩු” ප්‍රවාදයේ මූලික උපකල්පනය නම් පාලකයාට අත්තනෝමතික විය හැක්කේ එක් ආකාරයක පමණක් ආණ්ඩුක්‍රමයකින් ආණ්ඩුව සකස් වූ විටය යන්නයි. එබැවින් එකල පැවති රාජාණ්ඩු මෙන්ම රාජාණ්ඩු නොවන, ප්‍රජාතන්ත්‍රවාදි සහ අනෙක් ආණ්ඩු ක්‍රම වල අංගද ඇතුල් කර, එක් පාලකයකු වෙත බලය කේන්ද්‍රගතවීම වළක්වන මිශ්‍ර එනම් හයිබි්‍රඞ් ආණ්ඩුක්‍රමයක් මැනවි යැයි ක්‍රි.පු හතරවන සියවස තරම් ඈත කාලයේදී ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යෝජනා කළහ. එය රෝම සහ මධ්‍යකාලීන යුරෝපීය දේශපාලන චින්තනයේ දිගටම මතුවු අදහසකි.

දෙවැන්න රාජ්‍ය පාලනයේදී, පුද්ගලයා නොව නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉහළින් තිබේය යන මුලධර්මයයි. ග්‍රීක යුගයේ ආරම්භ වූ මෙම අදහස්ද, රෝම යුගයේදී සිසෙරෝ විසින් මෙය වඩාත් දියුණු කරන ලදි. සිසෙරෝගේ “මිනිසුන්ගේ නොව නීතියේ පාලනය” (ඍඹඛෑ ඊශ ඛ්උල භධඔ ඊශ ඵෑභ) යන ආප්තෝපදේශය මෙම මුලධර්මය නම්කර දක්වයි. නූතන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වල ඇති නීතියේ ආධිපත්‍යය (ඍඹඛෑ ධත්‍ ඛ්උ) යන සංකල්පීය මූලධර්මයේ ආරම්භය සිදුවුයේ එලෙසය. සංශෝධනය කිරීම තුළින් අගේ ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට හෝ දුර්වල කිරීමට හෝ යෝජනාවන්ගේ මෙම මුලධර්මයයි.


මහජන පරමාධිපත්‍ය පිළිබඳ මුලධර්මය


මෙයද ග්‍රීක සමූහාණ්වාදී චින්තනයෙන් ආරම්භ වී නූතන ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයට එකතු වූ මුල ධර්මයකි. එහි මූලික අදහස් නම් දේශපාලන බලයේ හිමිකරුවන් වන්නේ පාලකයින් නොව මහජනතාව යන්නයි.


දේශපාලන බලයට සීමා තිබේ සහ එය තාවකාලික දෙයකි යන මූලධර්මය
දේශපාලන බලය යනු පාලකයින්ට දෙවියන්ගෙන් පවුල හෝ පියාගේ වැඩිමහල් සහෝදරයන් දුන් ත්‍යාගයක් නොව, මහජනතාව විසින් ටික කලකට, තාවකාලිකව, කොන්දේසි සහිතව, ඒකා+අධිපති ලෙස අවභාවිතා නොකළ යුතු වගකීමක් පමණකි යනු මෙම මුල ධර්මයේ අර්ථයයි.


දේශපාලන බලය පාවිච්චි කිරීම පිළිබඳව වගවිය යුතුය, වගඋත්තර කිවයුතුය යන මුලධර්මය
දේශපාලන බලය යනු තමන්ට දෙවියන්ගෙන්වත්, පවුලේ උරුමයෙන්වත් ලැබුණ දෙයක් නොව, මහජනතාවගෙන් කොන්දේසි සහිතව ලැබුණ දෙයක් නිසා එය එම බලය භාවිතා කිරීම සම්බන්ධව වග උත්තර කීම සහ මහජනතාවගේ විගණනයට යටත්වීම මෙහි අර්ථයයි.
ඉහත සඳහන් මූලධර්ම හය වනාහී නූතන ප්‍රජාතන්ත්‍රවාදය හැඩගැස්වීමට, පූර්ව-ප්‍රජාතන්ත්‍රවාදි ලෝකයේ අත් දැකීමකින් ගොඩ නගනු ලැබූ ඒවාය. නූතන ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායෙන් කර ඇත්තේ මෙම මුලධර්ම වලට තවත් ඒවා එකතු කිරීමයි. ඒවාගේද ප්‍රධාන අරමුණ වන්නේ ඒකා+අධිපති පාලන තන්ත්‍රවල අභියෝගය නූතන සමාජවලද මතුවන විට එය ආමන්ත්‍රණය කිරීමයි.


ඒවා වූ කලී පසුගිය අවුරුදු පන්දහසක පමණ කාලය තුළ මනුෂ ශිෂ්ටාචාරයේ ප්‍රගතියේ ඇති ඉතාම වටිනා උරුමය, දායාදය සහ ස්වරූපයන්ද වෙති. ලංකාවේ වර්තමාන සභ්‍යත්වය රාජ්‍යවාදීන්ට අවබෝධයක් නැත්තේත්. අවබෝධයක් තිබුණද එයට දැන් පයින් ගසමින් සිටින්නේත් මෙම මනුෂ්‍ය වර්ගයාගේ ශිෂ්ඨාචාරයේ බොහෝ නිෂේධනීය උරුමයන් අතර තිබෙන වටිනාම උරුමයක්ය. “රාජ්‍යබලය ආත්ම-උන්මත්තක ලෙස අවභාවිත නොකළ යුතුය” යන ආප්තෝපදේශයෙන් සාරංශ වන්නේ එම මාහැඟි උරුමයයි.


යෝජිත විසිවැනි සංශෝධනය කරන්නේත්, 1978 ව්‍යවස්ථාවෙන් ආරම්භ කර, 18 වැනි සංශෝධනයෙන් ඉදිරියට ගෙන යන ලද මෙම අපගමනය සම්පූර්ණ කිරීමේ පළමු පියවර තැබීමකි.