රජිඳු කාශ්‍යප


හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ආණ්ඩුවේ පොහොට්ටු පක්ෂ ප්‍රධාන සංවිධායක, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් පිටිය ඉදිකරන බැව් පැවැසුවේ නොබෝදා ය. එය සිදුවෙන බවට කැට තබමින්, ක්‍රීඩාංගණය ඉදිකරන භුමිය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් ද, එහිදී ක්‍රීඩාංගණයේ සැලසුම් පිටපතක් ද ඔවුන් අතර සංසරණය වුණි. සැලසුමේ වූ ක්‍රීඩාංගණය, පොහොට්ටුවේ ආකෘතියකින් සැකසෙන බැව් ද පැවසෙනු ඇසුණි.


ඒ අනුව මේ මහා ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඕනෑකමකටත් වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උවමනාව මත සිදුවෙන්නක් බැව් සිතිය හැකිය. කාලය අනුව එහි මහා මොළකරු වෙන්නේ ඇමති බන්දුල විය යුතුය. එහෙත් මේ සිහින සාප්පුවේ ක්‍රිකට් සභාපති ශම්මි කිමිදෙන්නේ කලක සිට ය. තිලංග හා එක්ව ආ ශම්මි තමන්ට ඇවැසි ගමනක් යෑමට අවශ්‍ය ආකාරයට ක්‍රිකට් මග විවර කරගැනීමට කලක සිට බලා සිටියේය. ඊට තිලංග සේ ම තිලංගගේ දේශපාලන හයිකාරකම් ද හරහට සිටින බැව් ශම්මි අවබෝධ කරගෙන සිටින්නට ඇත. ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත්තේ ආණ්ඩුවේ හයිහක්තිය ඇති දේශපාලනඥයෙක් තම අවශ්‍යතාවන් සඳහා නැඹුරු කර ගැනීම ය. ඊට බන්දුල ගුණවර්ධන එක්වෙන්නේ තෝන් ලණුව අදින්නටත් පෙර ගමන ආරම්භ කරමිනි.


ශම්මිගේ යෝජනාවෙන් චූන් වෙන ඇමැති බන්දුල කිසිදු වග විභාගයකින් තොරව ආණ්ඩුවට ලකුණු දමා ගැනීමේ අරමුණෙන් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ක්‍රිකට් සභාපති ශම්මි හා එක්වන්නේය. ශම්මිට ද අවශ්‍ය ව තිබුණේ ලොකු අත්තක්ය. ඒ අත්ත තිලංග සුමතිපාල යන දේශපාලනඥයා අබිබවා යෑමට හැකි එකක් විය යුතුය.


කෙසේ වෙතත් බන්දුල සහ ශම්මිගේ ක්‍රීඩාංගණ සිහින සාප්පුව විවෘත වන්නේ COVID 19 නිසා මහජනතාව නන්නත්තාරව සිටින අවදියකය. සාමාන්‍ය ජන ජීවිතය අහිමිවීමෙන් මහජනතාව උකටලීව සිටින අවදියකය. එමෙන් ම ආණ්ඩුවට මුදල් නොමැති බැවින් රාජ්‍ය සේවකයන්ගෙන් මසක, අඩ මසක, සතියක හෝ දිනක පඩිය ඉල්ලා ජනාධිපති ලේකම් අත්සනින් යුතුව සියලු රාජ්‍ය ආයතන මගින් ඉල්ලීම් කෙරුණ අවදියකය.


එහෙත් මේ කිසිදු දෙයක් ගැන සිතීමට මේ දෙදෙනාට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණි. ඒ ඔවුන් එක් කාරණාවක් වෙනුවෙන් එක් වූවද ඔවුන් දෙදෙනාගේ අදහස දෙකක් වූ බැවින් විය යුතුය. බන්දුල ගුණවර්ධනට අවශ්‍ය වන්නට ඇත්තේ, තම දේශපාලන ශක්තිය තව තවත් තම පෙරමුණ තුළටත්, රට තුළටත් කාන්දු කර ගැනීමේ උවමනාවය. ශම්මිට අවශ්‍ය වූයේ තවමත් තිලංගගේ සෙවණැලි වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය තමන් වෙත නම්මා ගැනීමය. ඒ හරහා එන ධන උල්පත් තවත් වසර ගණනාවක් යනතුරු තම ගිණුමට හරවා ගැනීමය.


හිටි අඩියේ ම, බන්දුල සහ ශම්මිගේ ක්‍රීඩාංගණ සිහින සාප්පුව විවෘත වෙන්නේ මේ නිසා වීමට නොහැකි ද? නොමැති නම්, ඇත්තටම මෙරටට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක අවශ්‍යතාවක් නිසා ද? අපි මේ ගැන විමසමු.


දැනටමත් මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස, කොළඹ එස්. එස්. සී., කොළඹ පී. සරා ඕවල්, ගාල්ල, රංගිරි දඹුල්ල, පල්ලෙකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණ වේ. මේ අතුරින් එස්.එස්.සී. සහ පී. සරා ඕවල් ක්‍රීඩාංගණ ක්‍රීඩා සමාජ සතුවන අතර අනෙකුත් ක්‍රීඩාංගණවල පාලනයට සෘජුව සහ වක්‍රව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දායකත්වය දක්වයි. එමෙන් ම එස්.එස්.සී, පී. සරා ඕවල් සහ ගාල්ල හැර අනෙක් ක්‍රීඩාංගණ 4 දිවා රාත්‍රී තරග පැවැත්වීමේ ද හැකියාව ඇත.


ඒ අනුව මේ ඉදිවීමට යෝජනා වී ඇත්තේ මෙරට 8 වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ය. දිවා රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකමෙන් යුත් 5 වැනි ක්‍රීඩාංගණය ය.


මේ ක්‍රීඩාංගණය වසර 3ක් ඇතුළත නිමා කරන බව පවසන ඇමැති බන්දුල ගුණවර්ධන ඊට අක්කර 26ක භූමි ප්‍රමාණයක් වෙන්කර ඇති බවත් පවසයි. ක්‍රීඩාංගණයේ අසුන් සැලසීමේ දී පළමු අදියරේ දී ආසන 40,000කින් නිමා කරන බවත් පසුව ඊට තවත් ආසන 20,000ක් එක් කරන බවත් පවසයි. එමෙන් ම මේ සඳහා වැය වෙන බවට ගණන් බලා තිබෙන රුපියල් මිලියන 8000ක මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දරන බැවින් ඒ සඳහා මෙරට බදු ගෙවන ජනතාවගේ කිසිදු මුදලක් වැය නොවන බවත් ය.


ආර්ථික විශේෂඥයෙක් ද වන බන්දුල ගුණවර්ධන මේ සියල්ල ඉතා අපූරුවට ගැළපීමට වග බලා ගන්නා විට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙබ් අඩවිය ද මේ ගැන පවසන්නේ වැඩි ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාවකට තරග නැරඹීමේ පහසුකම උදාකරදීමේ අරමුණින් මෙම ක්‍රීඩාංගණය ඉදිකරන බවත් ඒ සඳහා කිසිදු අයුරකින් රජයේ මුදල් භාවිත නොකරන අතර ව්‍යාපෘතිය සඳහා වූ මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබාගනු ලබන ණය මුදලකින් ඉදි කිරීමට බලාපොරොත්තු වෙන බවත් ය.


නමුත් මෙරට ගලා ගිය ප්‍රවෘත්තිය වන්නේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කිසිවක් ම නොදන්නා බවයි. එසේ වූවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවකින් පසුවෙන බැව් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තිය මගින් අඟවයි. ඒ ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ 2023 සහ 2031 වසරවල පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලා දෙකක සත්කාරකත්වය ඔවුන් වෙත ලබා ගැනීමයි.


දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ නඩත්තු කිරීමට අතිවිශාල මුදලක් මාසිකව ගෙවනු නියත ය. ක්‍රීඩාංගණ හිමි ක්‍රීඩා සමාජ වෙත පවා ඔවුන් ගෙවීම් සිදු කරනු ලබන බැව් පසුගියදා ප්‍රකාශ කෙරුණි. ඒ අනුව සමාජ 11ක් වෙත එහි නඩත්තු කටයුතු වෙනුවෙන් පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලට රුපියල් ලක්ෂයක් බැගින් ගෙවීම් සිදු කරනු ලැබූ බැව් ද ඒ අතර වේ. ඊට අමතරව දැනට කලක සිට ම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදුවේ. ඒ සඳහා වැය වෙන මුදල රුපියල් ලක්ෂ 5000ක් බැව් ද පැවැසේ.


මේ සියලු කටයුතු සිදු කෙරෙන්නේ ඉතා අල්ප වූ ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් පවත්වනු ලබන රටක ය. ශ්‍රී ලංකාව 2019 සහ 2020 වසර ද්විත්වයේ මෙරට දී සහභාගි වී ඇත්තේ ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 6ක් සහ විස්සයි විස්ස තරග 5ක් සමග එකතුව තරග 13ක් පමණි.


2015 වසරේ සිට මෙරට පවත්වා ඇත්තේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයේ ම තරග 91ක් පමණි. එය තවදුරටත් ලිහිල් කිරීමේ දී ටෙස්ට් තරග 24ක්, එක්දින තරග 43ක් සහ විස්සයි විස්ස තරග 24ක් ලෙසින් වේ.


මේ දත්තයන් තවත් ලිහිල් කර දක්වන්නේ නම් 2015 වසරේ සිට මේ දක්වා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පවත්වා ඇත්තේ එක්දින තරග 13ක්, විස්සයි විස්ස තරග 16ක් සහ ටෙස්ට් තරගයක් පමණි. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්දින තරග 10ක් විස්සයි විස්ස තරග 7ක් සහ ටෙස්ට් තරග 4ක් ද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එක්දින තරග 10ක් සූරියවැව එක්දින තරග 5ක් පමණි. එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ එක්දින තරග 2ක් සහ ටෙස්ට් තරග 6ක් ද පී. සරා ඕවල් පිටියේ දී එක්දින තරග 1ක් විස්සයි විස්ස තරගයක් සහ ටෙස්ට් තරග 3ක් ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්දින තරග 2ක් සහ ටෙස්ට් තරග 10ක් වේ.


බන්දුල සහ ශම්මි මේ ගේම් ගසන්නට හදන්නේ මේ තරම් සොච්චම් තරග සංඛ්‍යාවක් බෙදා ගැනීමටය. මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනටමත් හිටපු ටෙස්ට් ක්‍රීකට් නායකයන් වූ අර්ජුන රණතුංග, රොෂාන් මහානාම සහ මහේල ජයවර්ධන විරුද්ධව අදහස් දක්වා ඇත. ඔවුන් පවසන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කර තවත් ක්‍රීඩාංගණයකට යෑම විනා, පවතින තත්ත්වය හමුවේ නව ක්‍රීඩාංගණයක් අවශ්‍ය නොවන බවයි.


නමුත් ඒ සම්බන්ධයෙන් දෙදෙනා ම තවමත් නෑසූ කන්ව සිටින බවකි පෙනී යන්නේ. රජයේ ආරංචි මාර්ග අනුව ගත්ත ද තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු විමසා බැලීමක් ඉහළින් සිදුවූ බවක් දැනගන්නට නැත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනටමත් මාධ්‍ය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඇමති බන්දුල ගුණවර්ධනත්, ඇමති බන්දුල ගුණවර්ධන මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් බේරා ගනිමින් අදාළ ව්‍යාපෘතියට යන බවක් නම් ඒත්තු ගන්වයි. ඔවුන් පුන පුනා පවසන්නේ දියගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා මුදල් යොදවන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බවයි.


කුමන රජයක් යටතේ වුව ද, අපි නව ක්‍රීඩාංගණ ඉදිකරනවාට කිසිදු ලෙසින් විරුද්ධ නොවෙමු. නමුත් එය ඵලදායි ව්‍යාපෘතියක් විය යුතුය. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ නාවලපිටිය මලල ක්‍රීඩාංගණය මෙන් ම යහපාලනයේ ආශිර්වාදයෙන් ඉදිකිරීමට යෝජනා වූ මෛත්‍රීපාල සිරිසේනගේ, පොළොන්නරුව සහ තිලංග සුමතිපාලගේ යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැනත් මේ ආකාරයෙන් ම අප සටහන් තැබුවේ එබැවිනි. අපිට තවදුරටත් ක්‍රීඩාව ඉදිරියට දමා සුදු අලින් නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් නැත. දියගම එහි තවත් දිගුවකි.


පුදුමයකට මෙන් රාජපක්ෂ කඳවුරේ මහින්ද රාජපක්ෂගේ පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ ද මේ සම්බන්ධයෙන් පෞද්ගලික විද්්‍යුත් ගිණුම්වල ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වා තිබුණි. එය සද්භාවයෙන් ම සිදු කෙරුණි නම් අප ඔවුන්ට ස්තූතිවන්ත වෙමු. නමුත් ඔවුන්ට මේ ප්‍රශ්නයේ දී මීට වඩා දායකත්වය දැක්විය හැකි බැව් අපගේ අදහසයි. ඒ මේ රට පාලනය කිරීමේ බලය රැඳී ඇත්තේ ඔවුන්ගේ බාප්පොච්චිට සහ අප්පච්චිට වන බැවිනි. ■