බැසිල් ප්‍රනාන්දු
විධායක අධ්‍යක්ෂ – ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය

2015 දී පත් කරන ලද ආණ්ඩුව 2019 වන විට දැඩි ජන අප්‍රසාදයකට ලක්ව පරාජය වූයේ ඇයිදැයි සමහරු තේරුම් ගැනීමට උත්සාහ කරති. 2019 දී බලයට පත් වූ ආණ්ඩුවද අවුරුද්දකටත් අඩු සුළු කාලයකදී අසාර්ථක වූ ආණ්ඩුවක් සේ සලකනු ලැබීමද දැන් අත්දකින තත්ත්වයයි. මේ සිදුවීම් දෙකටම පොදු සාධක තිබේද? වෙනස් සුවිශේෂ සාධක තිබිය හැකි අතර, එම සුවිශේෂ සාධකයන්ට වඩා බලවත් වූ කිසියම් පොදු සාධකයන් ආණ්ඩුවල පරාජයට හේතු වන්නේද යන කරුණ වැඩි සැලකිල්ලට යොමු විය යුතුය. මෙය වඩාත් එසේ වන්නේ මීට පසු පත්වන කිසිම ආණ්ඩුවක් වුවද සාර්ථක ආණ්ඩුවක් නොවන බව පිළිබඳවද ඉතා දැඩි ලෙස මහජන මතයක් පවතින නිසාය. දේශපාලන තලය තුළ කිසියම් ගොඩ ආ නොහැකි ප්‍රශ්න රාශියක් පවතින බව ජන විඥානය වටහා ගෙන ඇති හෙයින් හුදු රටේ ප්‍රශ්නවත්, මහජන යහපතවත් සිදුවේය යන විශ්වාසයක් දැන් තව දුරටත් නොපවතී.


එසේ නම් මේ ප්‍රශ්නය වඩා ගැඹුරින්ම තේරුම් ගත යුතුය. ආණ්ඩුව අනිවාර්යයෙන්ම අසමත් වන තත්ත්වයක් රටේ පවතින්නේ ඇයි? මෙම ප්‍රශ්නය තේරුම් ගැනීමට නම් හුදෙක් පුද්ගලයන්ගේ ජනප්‍රියතාවන් හා එසේ නොවන තත්ත්වයන්වත්, පුද්ගලයන්ගේ විවිධ දූෂිත භාවයන් හා වෙනත් අඩුපාඩුත් සාකච්ඡා කිරීමෙන් පළක්වේ යැයි කිව නොහැකිය. බලයට පත්කර ගැනීම සදහා සුදුසු එවැනි අඩුපාඩු නැති පුද්ගලයන් සිටීද යන ප්‍රශ්නයට උත්තරය වන්නේ එසේ කැපී පෙනෙන කිසිවකුද නැති බවය. මේ නිසා මෙය පුද්ගලයන් අබිබවා යන ප්‍රශ්නයකි.


මෙම ලිපියෙන් යෝජනා කරන්නේ ලංකාවේ දේශපාලන ගැටලුව පවතින්නේ පත්කර ගන්නා ආණ්ඩුව මත නොව හෝ එසේ පත්කර ගන්නා මිනිසුන්ගේ පසුගාමීත්වය හෝ මෝඩකම නිසා නොව ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් රටේ පවතින නිසා බවය. එම ප්‍රශ්නය නම් රජය හා ආණ්ඩුව අතර ඇති වෙනස වෙන්කර හඳුනා නොගැනීමත් එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍යතන්ත්‍රයේ ඇති අඩුපාඩු හා පරාජයන් එසේ තිබියදී ආණ්ඩු මාරු කිරීමෙන් රටේ ප්‍රශ්න විසඳිය හැකිය යන මිථ්‍යාව තවමත් ප්‍රබලව පැවතීම දැන් පවතින ගැටලුවට ප්‍රධාන හේතුව බවය. එම නිසා මෙම ගැටලුව මුලින් තරමකට හෝ විස්තර කළ යුතුව ඇත.


මිනිස්සු රාජ්‍යතන්ත්‍රයක් ගොඩනගා ගන්නේ ඔවුන්ගේ සමාජය සංවිධානාත්මකව පවත්වා ගැනීම සදහා අවශ්‍ය දිගුකාලීන කර්තව්‍යයක් වශයෙනි. රාජ්‍යතන්ත්‍රය ගොඩ නගා ගැනීම යනු පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය රජයක් නිසි ලෙස කටයුතු කිරීම මගින් එම රටේ ජනතාවගේ අභිමතාර්ථයන් ඉටුකර දිය හැකි දේශපාලන රටාව නිර්මාණය කරන්නකි. උදාහරණයක් වශයෙන් ගතහොත් කිසියම් වාහනයක යන්ත්‍රය හා එය පදවන රියදුරා අතර පවතින සම්බන්ධය වැනි සම්බන්ධයක් මෙහි පවතී. එම ඇන්ජිම තුළ ඉතා බරපතළ කඩා වැටීමක් හෝ විනාශවීමක් පවතී නම් එය හුදෙක් රියදුරන් මාරු කිරීම මගින් එය විසඳිය නොහැක.


වර්තමාන ලෝකය තුළ රාජ්‍යතන්ත්‍රයක් යනුවෙන් සඳහන් කරන්නේ කුමක්ද යන ප්‍රශ්නය ශතවර්ෂ ගණනාවක් තිස්සේ බොහෝ දේශයන්හි සාකච්ඡා වී ඇත. එමෙන්ම ඒ මත පිහිටා ප්‍රායෝගික පියවරයන්ද ගෙන ඇත. එම නිසා රාජ්‍යතන්ත්‍රයක් යන්න කුමක්දැයි හඳුනා ගැනීම එතරම් අපහසු කාර්යක් නොවේ.


රාජ්‍යතන්ත්‍රයක් යනු මූලික වශයෙන් පරිපාලන තන්ත්‍රයකි. එදිනෙදා රටක් පවත්වාගෙන යාමට අවශ්‍ය වන කටයුතු කිරීමේදී එය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඇති කර ගන්නා එකඟතාවන් මත කිසියම් පාලන රටාවක් ගොඩනගනු ලබයි. එහි අරමුණ වන්නේ කිසියම් පිළිගත් සම්ප්‍රදායන් ගණනාවක් තුළ පිහිටි රජයේ සංස්ථාවන් නිර්මාණය කිරීමත් එම සංස්ථාවන් තමන්ට ඇති කාර්යභාරය පිළිගත් සම්ප්‍රදායන් තුළ පමණක් ඉටු කරන තත්ත්වයක් ඇති කර ගැනීම තුළින් සමාජ සංවිධානය තුළ ස්ථාවර ක්‍රියාකලාපයන් ගණනාවක් පැළපදියම් කර ගැනීමයි.

මෙසේ පිළිගත් සම්ප්‍රදායන් රටේ නීතීන් ලෙස සලකනු ලබන අතර නීතියට යටත්වීම රාජ්‍යයක පැවැත්මේ අත්‍යවශ්‍යම කොන්දේසියක් වේ. නීතියට සියල්ලන්ම යටත්ය යන අදහස මෙන්ම නීතිය සියල්ලටම සමානව ක්‍රියාකරවා ගැනීම සඳහා බලය යොදා ගැනීමට ඇති හැකියාව රාජ්‍යයේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. එම නීති පද්ධතිය මත රට ගෙන යාම සදහා ප්‍රසිද්ධ ආයතන ගණනාවක් බිහිවේ. මේ ආයතන එකිනෙකට සම්බන්ධව හා එකිනෙකින් වෙනස්ව තමන්ට අදාළ කර්තව්‍යයන් කරදිීම මගින් රට තුළ කිසියම් පිළිවෙළක් හා ස්ථාවරත්වයක් ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වෙයි.


මෙසේ ඇතිවන සංස්ථාවන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ කොටස් තුනකට බෙදේ. ඉන් පළමුවැන්න නම් නීති ඇති කිරීමේ යෙදෙන ව්‍යවස්ථාදායකය හා එම නීති ක්‍රියාත්මක කිරීමෙහි යෙදෙන මේ සියල්ල නීතීයේ රාමුව මත පමණක් කෙරෙනවාය යන්න සහතික කරනු ලබන අධිකරණ ක්‍රමයක් යන කොටස් තුනෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය සමන්විත වේ. මේ අනුව රටේ පවතින සියලුම ප්‍රසිද්ධ සංස්ථාවන් මෙම මූලික කර්තව්‍යයන් අතර බෙදෙන අතර ඒ එකිනෙක සංස්ථාවන්ට පැවරෙන්නේ ඉහත කී මූලික බල බෙදීම තුළ ඔවුන්ට හිමිකර දී තිබෙන කර්තව්‍ය ඉටුකිරීමය.


මෙය තව බොහෝ දුරට විස්තර කළ හැකි නමුත් මෙම ලිපිය සඳහා වන මූලික අදහස පැහැදිලි කිරීම සඳහා ඉහත සඳහන් පැහැදිලි කිරීම සෑහීමකට පත්විය හැකියයි සිතමි. ආණ්ඩුවක කර්තව්‍ය වන්නේ ඉහත කී රාජ්‍යතන්ත්‍රය මෙහෙයවීමේ කටයුත්තය. මේ සඳහා ආණ්ඩුවක් පත් කර ගැනීම විටින් විට මැතිවරණ මගින් සිදු කෙරේ. එම මැතිවරණ තුළින් ලබන බලය සීමාසහිත බලයකි. මැතිවරණයක් තුළින් රජයේ ව්‍යුහයට පරිබාහිරව කටයුතු කිරීමේ අයිතියක් කිසිවෙකුටත් නොපැවරේ. මේ නිසා ආණ්ඩුවක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රැඳෙන්නේ රාජ්‍යතන්ත්‍රය ක්‍රියාත්මක කරගෙන යාමට හැකි පමණකට දියුණු වී තිබීම මත පමණය. එසේ ඒ මට්ටමකට එය දියුණු වී නැත්නම් බලයට පත්වන කිසිම ආණ්ඩුවකට ඔවුන්ගේ රාජකාරීන් කිරීමට නොහැකි වනු ඇත. රාජ්‍යතන්ත්‍රයේ කඩා වැටීම විශාල නම් පාලනය කිරීමේ රජයේ හැකියාවද ඒ හා සමානව විශාල වශයෙන් දුර්වල වේ.


ලංකාව තුළ නූතන රාජ්‍යතන්ත්‍රයකට අවශ්‍ය පරිපාලන රටාව ගොඩනගා ගැනීම සිදුවන්නේ 19 වන ශත වර්ෂය පුරා හා 20 වන ශත වර්ෂයේ මුල් භාගය තුළදීය. විශේෂයෙන්ම 19 වන ශත වර්ෂය තුළදී විවිධ සංස්ථාවන් ඇති කළ ආකාරයත් ඒ සංස්ථාවන් තුළ පැවතිය යුතු විනය කටයුතු කළ යුතු ආකාරය, ඒවායේ බලයේ ඇති සීමාවන්, ඒවාගෙන් බලාපොරොත්තු වන වගකීම් හා වගකීම ඉටු කිරීම පිළිබදව ඇති වගවීම ආදී සියල්ල එක්තරා මූලික මට්ටමකින් 19 වන ශත වර්ෂය පුරා වර්ධනය විය. එය 20 වන ශත වර්ෂයේ මුල් භාගය වන විට වඩාත් පළල් විය. එම පරිපාලන තන්ත්‍රය ඒ කාලය තුළදී එහි යුතුකම් ඉටු කිරීමෙහිලා සාර්ථක ප්‍රතිඵල ගෙනදුන් බවද දැක්විය හැකිය.


එසේ පැවති ඒ මූලික පරිපාලන රටාව මත වූ රාජ්‍ය සංකල්පය නිදහස ලැබෙන අවස්ථාවේදී ව්‍යවස්ථාවක මාර්ගයෙන් රටේ මූලික නීති ව්‍යුහය තුළට ඇතුල් කරන ලදි. මේ අනුව ලංකාවට සාමාන්‍යයෙන් හොදින් ක්‍රියාත්මක වන පරිපාලන රටාවක් පැවතියේය. එය අංගසම්පූුර්ණ එකක් නොවේ. යටත්විජිත කාලයක සිට ඉදිරි කාලයක් කරා යෑමේ දී එම රාජ්‍යතන්ත්‍රය වඩාත් තහවුරු කර ගැනීම අවශ්‍ය වී තිබුණේය.


ඒ වෙනුවට විශේෂයෙන්ම 1972 සිට ඉන් පසු ඉතා ප්‍රබලව 1978 දී ඇති කරන ලද වෙනස්කම් අනුව සිදුවුණේ රාජ්‍යතන්ත්‍රය දුර්වල කර දැමීමේ ප්‍රයත්නයන් ගණනාවකි. ආණ්ඩුව රාජ්‍යතන්ත්‍රයෙන් පරිබාහිරව පැවතීම සඳහා විවිධාකාර උපක්‍රම මාර්ගයෙන් රාජ්‍යතන්ත්‍රය සිඳ බිද දමන තත්ත්වයකට අවශ්‍ය කටයුතු මුලින් සැලසුම් කරන ලදි. ඉන්පසු ඇතිවන අවුරුදු 40 වැඩි කාලය තුළ එම සුන්බුන් කිරීම අඛණ්ඩවම පැවති අතර මේ නිසා ලංකාවේ රාජ්‍යතන්ත්‍රය අද පවතින්නේ ක්‍රියාත්මක කරවා ගැනීමට බැරි තරමකට විනාශ වූ යාන්ත්‍රණයක් ලෙසය.

රටේ මොන ආණ්ඩුව බලයට පත්වූවත් ඒ ආණ්ඩුවට මේ රාජ්‍යතන්ත්‍රය මේ ආකාරයට පවතිනතාක් දුරට කිසියම් සාර්ථක කටයුත්තක් කළ නොහැකිය. මෙම නිසා රටේ ප්‍රධාන සාකච්ඡාව බවට පත් විය යුත්තේ විවිධ ආණ්ඩුවල විෂමතාවන් පිළිබඳව ගැටලුව නොව රාජ්‍යතන්ත්‍රයේ ඇතිවී ඇති අතිශයින් විනාශකාරී කඩා වැටීමය. මෙය සමාජයේ ප්‍රධාන සාකච්ඡාව බවට පත් වුවහොත් අනාගතයේදී සමාජය තමුන් රාජ්‍යතන්ත්‍රයේ සෞඛ්‍ය තත්ත්වය ගොඩනගා ගැනීමටත් ඒ මාර්ගයෙන් තමුන්ගේ රටේ සංවිධාන රටාව ගොඩනගා ගැනීමටත් කරන ප්‍රයත්නය තුළින් පමණක් රටට වැඩක් ඇති ආණ්ඩු ඇති කිරීමේ හැකියාව ඇතිවනු ඇත. අවධානය තිබිය යුතු ගැටලුව ඇත්තේ එතනය. එහෙත් එම ගැටලුව කිසිවක් ගැන ප්‍රධාන සාකච්ඡා බවට පත් වී නැත. මන්දයත් හුදෙක් ආණ්ඩු මාරු කිරීමේ මානසික තත්ත්වයක් සෑම දේශපාලන පක්ෂයක පමණක් නොව රටේ පොදු ජන විඥානය තුළද පැළපදියම් වී ඇති මනෝමය පුරුද්දක් බවට පත් වී ඇති නිසාය.


රාජ්‍යතන්ත්‍රයක් යනු කුමක්ද?, රාජ්‍යතන්ත්‍රය ඇති අඩුපාඩු හා කඩාවැටීම් හඳුනාගන්නේ කෙසේද?, ඒවා ජයගන්නේ කෙසේද..?, එය කිරීම සඳහා ගතයුතු පියවර මොනවාද..? ආදිය පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙනයාම සඳහා උනන්දුවක් තවම පෙනෙන්නට නැත. එවැනි උනන්දුවක් නැතිතාක් දුරට රටේ තත්ත්වය වඩ වඩාත් අවුලට යාම ගැන කිසිම සැකයක් නැති අතර, ඒ මගින් ආර්ථික ක්ෂේත්‍රයේ වෙනසක්ද, නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශාල කඩා වැටීමක්ද, ආහාර ආදිය බෙදා හැරීම ආදිය පවා කඩා වැටෙන තත්ත්වයක් තුළ සාගින්න වැනි ප්‍රශ්න ඇතිවීමද, මුදල් පිළිබඳව ඇතිවන විසඳිය නොහැකි ප්‍රශ්නද හා වෙනත් උවමනාවන් ඉෂ්ට කිරීම සඳහා ධනය නැතිවීම පිළිබඳව ගැටලුද ආදී සියල්ල රාජ්‍යතන්ත්‍රය පිළිබඳ ගැටලුවලට බද්ධ වී තිබේ. ඒවා නොවිසඳන තාක් දුරට වසරින් වසරම තත්ත්වය වඩ වඩාත් නරකට යනවා මිස හොඳ පැත්තකට හැරීමට හැකියාවක් ඇත්තේම නැත. ■