චාමිනී වික්‍රමසිංහ

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පොදු පරිපාලන යාන්ත්‍රණය ආචාර්යවරු මෙන්ම ශිෂ්‍යයන්ගේ පැවැත්මේ ස්වභාවය හා විශ්වවිද්‍යාල සාධනීය හා තෘප්තිමත් ස්ථානයක් කිරීමෙහි මංපෙත් විවර කිරීමට උපස්ථම්භක වන කෘතියක් ලෙස වෛද්‍යා ශාන්ත හෙට්ටිආරච්චි විසින් ලියූ “හොරට තරහාවෙන මෙරට සරසවිය” කෘතිය හඳුනාගත හැකිය. සමාජ සංවේදි ප්‍රශ්නයක් වන විශ්වවිද්‍යාල නවකවදය පිළිබඳව එම කෘතියේ දිගු පරිච්ඡේදයන් වෙන් කෙරෙයි.


ඔබගේ හොරට තරහාවෙන මෙරට සරසවිය කෘතිය බිහිවෙන්නේ කුමන සමාජ වටපිටාවක් තුළද ?


මම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍යා ශිෂ්‍යයෙකුව සිටින කාලයේදි ශිෂ්‍ය සංගම්වල නායකයකු වශයෙන් කටයුතු කළා. ඒ කාලය තුළ මම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මුහුණ දෙන ගැටලු දැක්කා. අපි ඒවට විකල්ප හෙව්වා. මම ඒ කාලයේදි ලබපු අත්දැකීම් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍යා නිළධාරි වශයෙන් සේවය කළ අවධියේදි ලැබු අත්දැකීම් පාදක කරගෙන මෙම කෘතිය බිහිවුණා.


අතීතයේ පටන් මේ දක්වා විශ්වවිද්‍යාල තුළ නිධන්ගත රෝගයක් ලෙසින් නවක වදය අඛන්ඩව පැවතෙනවා. ඊට බලපාන හේතු වශයෙන් ඔබ දකින්නේ මොනවාද ?


කෙනෙකුගේ කැමැත්තෙන් තොර කායික හෝ මානසික හිංසනයක් සිදු කිරීම අපි නවක වදය කියලා හඳුන්වනවා. මෙම නවක වදය සෑම විශ්වවිද්‍යාලයකම එකම මට්ටමින් නැහැ. ඇතැම් විශ්වවිද්‍යාල වල සමහර පීඨ වල මෙම නවකවදය සුළු වශයෙන්වත් නැහැ. එහෙත් නවකවදය පවතින විශ්වවිද්‍යාල වල පාලකයන් නවකවදය පැවැත්වෙන මට්ටම පිළිබඳව දන්නවා. ඒත් මේ අය නවකවදය නවත්තන්න නිවැරදි පිළිවෙත් අනුගමනය කරන්නේ නෑ.
ඒ වගේම නවක ශිෂ්‍යයින්ට ආරක්ෂිතව මේ නවකවදය ගැන පැමිණිලි කරන්න පරිසරය විශ්වවිද්‍යාල තුළ නෑ. පසුගිය කාලයේ රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් ශිෂ්‍යයින්ට බරපතළ චෝදනා එල්ල කළා. මේ ඒ දේ අනුමත කරන්නේ නෑ. මොකද මේ ගැටළුවේදි අපිට ශිෂ්‍යයින්ගේ මත පමණක් වරද පටලවා නිදහස් වෙන්න බෑ. මොකද මේ නිධන්ගත රෝගය සුව කරන්නම් විශ්වවිද්‍යාලයේ පාලකයින් සහ ශිෂ්‍යයින් අතර ශක්තිමත් සම්බන්ධයක් තිබිය යුතුය. පාලකයින් උපායශීලි ලෙස ශිෂ්‍ය ක්‍රියාකාරින්ගේ සහයෝගය ගත යුතුයි. මහා ශිෂ්‍ය සංගමය වැනි සංගම් වලට ශිෂ්‍යයින්ට බලපෑම් කිරීමට විශාල හැකියාවක් තියෙනවා. අපි ඒ හැකියාව යහපත් විදියට භාවිතා කළොත් මෙම නවකවදය විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් ඉවත් කරන්න පුළුවන්. එහෙත් මේ ගමන තනිව යා හැකි ගමනක් නොවන වග විශ්වාවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන් මෙන්ම පාලකයන්ද අවබෝධකරගත යුතුය.


නවක වදය සහ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය අතර යම් සම්බන්ධයක් ඔබ දකිනවාද?


විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යම් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් කණ්ඩායමක් සම්ප්‍රදායක් පවත්වාගෙන යා යුතු බව විශ්වාස කරනවා. ඒ අනුව ඔවුන් නවක ශිෂ්‍යයින්ට යම් යම් දේවල් උගන්වනවා. ඇතැම්විට මාසයක් පමණ ද ඇතැම් විට පළපුරුද්ද හා පමණ කාලයක් ද මෙම උපසංස්කෘතික ඉගැන්වීම් කටයුතු වලට වැයවෙනවා.


මේ කාලසීමාව තුළ බොහෝ විශ්වවිද්‍යාල වල පාලකයෝ සිදුකරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමඟ ගැටුම් ඇතිකර නොගෙන ඔවුන් සමඟ “ශේප් න්‍යායෙන්” කටයුතු කිරීමයි. මේ සඳහා ප්‍රධාන බලධාරියාගේ ස්වරූපය ද ඍජුවම බලපානවා.


ඒ වගේම උප සංස්කෘති හැදැරීම, නවක වදය ලෙස ඍජුවම හැඳින්විය නොහැකි වුණත් වක්‍රාකාරව එය නවකවදයක් ලෙස සලකන්න පුළුවන්. මොකද සති ගණන්, මාස ගණන් සිය කැමැත්තෙන් තොරව අන් අය කියන දෙයක් බලෙන් ඉගෙන ගැනීමට සිදුවීම මානසික හිංසනයයි. මේ උප සංස්කෘතිය හැදෑරීමෙන් විශේෂ දෙයක් ලැබෙන්නේද නැහැ.


වෛද්‍ය පීඨවල නවක වදය නොතිබීමටත් කලා පිඨ වල වැඩි වශයෙන් නවක වදය තිබීමටත් හේතු මොනවාද ?


මේ ගැටළුවලට බලපාන හේතු පිළිබඳ ඉරක් ගහලා නිශ්චිතව කියන්න අමාරුයි. එත් බොහෝ වෙලාවට වෛද්‍යා පීඨවල ශිෂ්‍යයින්ට තමන්ගේ අනාගතය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඔවුන්ට තමන්ගේ ඇඟට දැනෙන සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක්වෙන වෘත්තිමය තත්ත්වයට ළගාවෙන්න පුළුවන්. ඒත් කලා සහ වානිජ පීඨ වල ශිෂ්‍යයින් බොහොමයක් තමන්ගේ අනාගතය ගැන අවිනිශ්චිතතාවකින් සිටිනවා. ඒ නිසා ඔවුන් මෙම නවකවදය වෛද්‍යා පීඨයට ලබාදීමේ මානසික තත්ත්වයට පෙළෙඹෙන බව අපට අනුමාන කරන්න පුළුවන්.


ඒ වගේම වෛද්‍යා පීඨයට සාපේක්ෂව කලා හා වානිජ පීඨ වල ශිෂ්‍යයින් වැඩි ප්‍රමාණයක් සිටීම මේ සඳහා බලපාන්න පුළුවන්.


වෛද්‍යා පීඨවල ශිෂ්‍යයින්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විශාල කාලයක් සහ කැපවීමක් කරන්න සිදුවිම ද ඔවුන් නවක වදයට පෙළඹීමෙන් වැළකි සිටීමේ හේතුවක් ලෙස දැක්විය හැකිය. එහෙත් කලා පීඨ වල ශිෂ්‍යයින් තම අධ්‍යයන කටයුතු වලින් පසු ඉතිරිවන කාලය නාස්ති කර දැමීමට ද නවක වදය වැනි ක්‍රියා වලට පෙළඹිමක් ඇතිකරනවා.


විශේෂයෙන්ම වෛද්‍යා පීඨවල ශිෂ්‍යයින් සහ ආචාර්යවරුන් අතර ඇති දැඩි අන්‍යොන්‍ය සම්බන්ධය සහ කලා පීඨ වල ශිෂ්‍යයින් සහ ආචාර්යවරුන් අතර ඇති දුරස්ථභාවයද මෙම කාරණාව සඳහා ඍජුවම බලපානවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සරසවි සිසුන් වෙනුවෙන් ආරම්භ කළ “නායකත්ව පුහුණු වැඩසටහන” නවක වදය වැළැක්වීම සඳහා ගෙන එන ලද්දක්ද? එහි ප්‍රතිපල තිබේද ?


ඇත්තෙන්ම මෙම නායකත්ව පුහුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණු කිහිපය අතරින් එහි අරමුණක් තමා නවක වදය වැළැක්වීම. යම් යම් අඩුපාඩු තිබුණත් එය ඉතා හොඳ වැඩසටහනක් ලෙස පෙන්වන්න පුළුවන්. මම මේ පුහුණුවේ දේශන කිහිපයකට සම්බන්ධ වුණා.


නවකවදය සම්බන්ධ කළ දේශන වලදී මම ශිෂ්‍යයන්ට විශේෂයෙන්ම කියා දුන්නේ උපායශිලි ලෙස නවකවදය මඟ හැරයන්නේ කෙසේද කියා. ගැටුම් ඇතිකර ගැනීමෙන් නොව නවක වදය මඟහැර යන්නේ කෙසේද කියා. ගැටුම් ඇතිකර ගැනීමෙන් නොව නවක වදය මඟහැර යන ආකාරය වගේම තමන්ගෙන් පස්සේ විශ්වවිද්‍යාලයට පැමිණෙන කණ්ඩායමට නවක වදය නොදී සිටිමට අවශ්‍ය මානසික තත්ත්වය හදා ගන්න හැටි ගැනත් මම ඒ දේශන තුළදි ශිෂ්‍යයන්ට අවධාරණය කළා.


අපි හිතනවා විශ්වවිද්‍යාලයට එන්නේ බුද්ධිමත්ම අය කියලා. ඒත් ඒ බුද්ධිය අපි මනින්නේ ඉසෙඞ් අගයෙන්. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ඇතැම් ශිෂ්‍යයින් නිසි සමාජ අවබෝධයක්වත් නෑ. ඒ නිසා මෙම නායකත්ව පුහුණු වැඩසටහන තුළ අපි ඒ දැනුම වගේම නීතිය, අධා්‍යාපනය සහ ආදරය වැනි සංවේදි මාතෘකා පිළිබඳව ද කතා කරා.

මම හිතනවා එම දේවල් පිළිබඳ හොඳ දැනීමක් ලබාගත් ශිෂ්‍යයන් කිසි විටෙක නවකවදය ලබා දීමට හෝ ඒ සඳහා ආධාර අනුබල දීමෙන් වැළකි සිටින බව.


නවක වදය හේතුවෙන් සිදුවන සියදිවි නසා ගැනීම සහ සරසවි හැරයාම් වලට බලපාන හේතු ඔබ වෛද්‍යවරයකු වශයෙන් හඳුනාගන්නේ කෙසේද ?


සරසවි හැරයාම් පිළිබඳව අපි ළඟ කිසිදු සංඛ්‍යා ලේඛනයන් නැහැ. නමුත් සැලකිය යුතු පිරිසක් සරසවි හැරයන බව අපි පෞද්ගලිකව දන්නවා.


ඒ සඳහා විවිධ හේතු බලපාන්න පුළුවන්. ඇතැම් ශිෂ්‍යයින්ට මානසික සහ ශාරීරික පීඩාවක් දරාගත හැකියි. ඇතැම් ශිෂ්‍යයන්ට ඒ හැකියාව නැහැ. ඒ නොහැකියාව හේතුවෙන් යම් ශිෂ්‍යයකු සරසවිය හැර යනවා. ඉන් ශිෂ්‍යයා මෙන්ම ඔහුගේ දෙමාපියන් ලොකු කම්පනයකට ලක් වෙනවා. මෙය බරපතල ඛේදවාචකයක්. ඒ නිසා මම බොහෝ ශිෂ්‍යයන්ට කියන්නේ මේ තැනට වැටෙන්න එපා. තමන් වගේම තමන්ගේ දෙමව්පියන්ගේ ගැනත් හිතන්න. මේ වැනි අවස්ථාවලට ශක්තිමත්ව මුහුණ දෙන්න උපායශීලිව නවකවදය මගහැර යන්න.


මෙවැනි සිදුවීම් වලට ඍජු ලෙස බලපාන තවත් එක් කාරනයක් ලෙස ශිෂ්‍යයින්ට තමන්ගේ ගැටළු, පීඩාවන් පැවසිය හැකි විශ්වාසවන්ත, සමීප වැඩිහිටියකු සොයා ගැනීම අසීරුවීමද බලපානවා. එවැනි අවස්ථාවල විශ්වවිද්‍යාල ආචාර්යවරයා ශිෂ්‍යයින් කෙරෙහි සමීප සහ සංවේදිභාවයකින් කටයුතු කළ යුතුයි.


මම මගේ සේවා කාලය තුළ එය ඉතාමත් මානුෂීය අන්දමින් ඉටු කළා. සමහර අවස්ථාවල මම සියදිවි නසා ගැනීමට තරම් මානසික පීඩාවකින් සපුවන ශිෂ්‍යයින් ඉන් ගලවා ගත්තා.


නවකවදයට එරෙහිව නීති ප්‍රතිපාදන සහ භාවිතය නිසි පමණ සිදු නොවන්නේ ඇයි ?


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 20 දරණ පනතේ නවක වදය සඳහා ලබාදිය හැකි උපරිම දඬුවම පිළිබඳ සඳහන් කර තිබෙනවා.


එහෙත් ශ්‍රී ලංකාවේ මෙම නවක වද සිද්ධින් අදාළ නඩු නිමිත්තකදි නිසි ලෙස සාක්ෂි පෙළ ගැසෙන්නේ නෑ. අවස්ථානුකූලව නඩුවක් ගොනුකරත් ඊට නිසි දඬුවමක් ලැබෙන්නේ නෑ. නඩුව අවසානයේ වැරදිකරුවන්, නිවැරදිකරුවන් නිසි ලෙස ඔප්පුවෙන්නේ නෑ.


ඇතැම් අවස්ථා වල විශ්වවිද්‍යාල මට්ටමින් දමන පැමිණිලි වලට පන්ති තහනම් කිරීම හෝ ශිෂ්‍යභාවය අහෝසිකිරීම වැනි දඬුවම් හිමිවෙනවා.


මේ සඳහා බලපාන තවත් එක් කාරණයක් ලෙස මා දකින්නේ විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසුන් මෙම නීති පිළිබඳව නිසි දැනුවත්භාවයන්ගෙන් තොරවීමයි.


ඒ සඳහා ඔවුන්ට දැනුවත්භාවය ලබා දිය යුත්තේ විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙරයි. නායකත්ව පුහුණුවේදි මේ පිළිබඳව අපි සිසුන් දැනුවත් කළා. ඒ නිසාම මා දකින්නේ මේ නීති පිළිබඳ ශිෂ්‍යයින් නිසි දැනුමකින් සන්නද්ධ විය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here