Former Captain of the Sri Lanka Cricket team Kumar Sangakkara spoke to the media after leaving the Sports Ministry complex after giving a 9 hour long statement to the special Investigations unit inquiring into the match fixing allegations. July.02.2020 Colombo, Sri Lanka “I came forward to give this statement especially because of the responsibility we have and the respect we have for cricket. Also because the right actions must be taken. Once this investigation is over, everyone will get to know about the veracity of Mahindananda Aluthgamage’s statement,”he said

ටිරන් කුමාර බංගගමආරච්චි


ගිය සතියේ මුළු සමාජ කතිකාවම උස් පහත් වූයේ සංගක්කාර වටාය. අවසානයේ සංගක්කාර වටා මිනිස් පවුරක් ගොඩනැගුණු අතර නැවත සමාජය තුළ වීරයකු බවට පත්වන්නට සංගාට හැකිවිය. සංගා යනු සඳුන් ගසක්ද? කපන්න කපන්න සුවඳ හමන ගසක්ද?


මහින්දානන්දගේ කතාව සංගක්කාරගෙන් අහවර වූයේ කෙසේද? මහින්දානන්දගේ කතාව 2011 ලෝක කුසලාන තරග පාවාදීම නම් පරීක්ෂණ හරහා හෙළි කරන්නට උත්සාහ කළේ පාවා දුන්නේ සංගක්කාර බවද? කෙසේ වුවත් එකක් පැහැදිලිය. එනම් සංගක්කාර යනු රාජපක්ෂලාගේ දේශපාලන භූමරංගයක් බවය. සංගාට ගහන හැම ගලක්ම කැරකී ආයේ එන්නේ රාජපක්ෂලා ළඟටමය. සංගා යනු රාජපක්ෂලාට දවාගත නොහැකි දේශපාලන පිතිකරුවෙක්ද? මේ ප්‍රශ්න ඉතිරි කොට සංගක්කාර කතා වස්තුව බහාලුවේද?


මහින්දානන්ද අවුරුදු නවයකට පසු 2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවා දුන්නේ යැයි ඉන්දියාවට වික්කේ යැයි කීවේ ඇයි? මේ බොහෝ අය තවමත් ප්‍රශ්න කරන පැනයකි. එය පිළිතුරු නැති අපභ්‍රංසයක් වී ඇත. එවකට මහින්ද පාලනයය. ක්‍රීඩා ඇමති මහින්දානන්දය. 2011න් පසු මේ සිද්ධිය වී වසර හතරක්ම ඒ ආණ්ඩුවද පැවතුණි. ඒ මොහොතේ මතු නොකළ පැනය 2020 මතුකරනුයේ ඇයි? මේ නිකරුණේ කට කහනවාට කියන කතා විය හැකිද? මේ තුළ දේශපාලන යටි අරුත් නැත්ද? සංගා යන සාධකයට රාජපක්ෂලා බය බව පැහැදිලිය. සංගා යනු අනාගත දේශපාලන සංකේතයක්ද? රාජපක්ෂලා කල්තබා එය දැන කප්පාදු කරනවාද? මේ පැහැදිලිව පැන නගින පැනය.


සංගා ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස මුල් කාලයේ දක්ෂතා පෙන්වූ අයකු නොවේ. ඔහු දක්ෂයකු වූයේ හුඟක් ප්‍රමාදවය. එහෙත් කාලය ගියද නියම ඉලක්කයට ඔහු ආවේය. මෙරට ක්‍රිකට් වංශකතාවේ වෙනම චරිතයක් වීමට ඔහුට හැකිවිය. එය හෙට දවසේ දේශපාලනයේ නොවෙතැයි කාට කිව හැකිද? මේ අනාගතය රාජපක්ෂලා කල්තියා දකිනවා නොවේද? සංගාට මේ කෙණහෙළි ඒ නිසා විය නොහැකිද? අප අමතක නොකළ යුතු දේශපාලන සංසිද්ධියක් මෙකල විය. ඒ 2015දී පොදු අපේක්ෂකයාය.

එනම් රාජපක්ෂලාගේ දේශපාලනය අහවර කිරීමට නිතර ඉලක්කගත මොහොතේදී ප්‍රතිවාදියෙක් ඕනෑ වෙන අතර එය දේශපාලන පක්ෂ තුළ ජරාජීර්ණ වූ චරිතයක් නොවිය යුතු විය. 2010 ෆොන්සේකා ගන්නේද ඒ අරුතෙනි. එහෙත් යුද්ධයේ සියලු බර මහින්දට බැරවූ මොහොතක ෆොන්සේකා තීරණාත්මක නොවුණි. අනෙක් අතට 2015දී සිරිසේනව ජනතාවට පෙනුණේ නිකමකුට වඩා අහිංසකයකු ලෙසටය. එහෙත් ඔහු කොතරම් දේශපාලන කුජීත චරිතයක්ද යන්න මේ වනවිට හෙළිවී හමාරය. මේ නිසා 2025 වන විට නැවත රාජපක්ෂලාට තරගයක් දෙන්නට වුවමනා වනුයේ පොදු අපේක්ෂකයකුම බව පැහැදිලිය. සජිත් මෙවර මැතිවරණයෙන් පසු හත්පොළේම ගා ගන්නවා නියතය. ඔහු නායකයකුට ඔබින චරිතයක් නොවන බව ඔප්පු කරනවා සහතිකය. ජනපතිට තරග කරද්දීත් සජිත් පොළොවේ ඇති චරිතයක් නොවීය. දැනුදු එහි වෙනසක් නොපවතී. ඔහු දේශපාලන අත දරුවෙකි. මෙවන් වටපිටාවක 2025දී පොදු අපේක්ෂකයා සංගා වුවහොත් තත්ත්වය වෙනස් නොවී තියේවිද?


සංගා මතුවීම


2011 ලෝක කුසලානයට පසු, කුමාර සංගක්කාරට බි්‍රතන්‍යයේ ලෝඞ්ස්හි දේශනයක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ආරාධනා ලැබුණි. එය ලාංකිකයකුට ලැබුණු පළමු අවස්ථාවය. සංගා එහිදී මෙරට දේශපාලන ක්‍රමවේදය කොනිත්තා කතා කළේය. එවකට ජනපති මහින්දට මෙය දරුණු රිදවුමක් විය. එවකට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කෝපයට පත්විය. ඔහු වහාම සංගාට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. ආණ්ඩුවේම පොදු කතාබහ වූයේ සංගා බි්‍රතාන්‍යයේදී මෙරට හෑල්ලු කළ බවය. රටට අවමන් කළ බවය. එය කොටි ඩයස්පෝරාව සතුටු කළ කතාවක් බවද මෙරට කතාබහ විය. ආණ්ඩුවේ බොහෝ පිරිස් සංගාට තඩි බාද්දී ඩිව් ගුණසේකර, ගෝමින් දයාසිරි වැනි ආණ්ඩුවේ උගතුන් සංගාගේ කතාව අගය කළහ.


ඉතා සාවධානව ලිහා බලන කල ඒ මොහොතේ සංගාගේ කතාව මහින්ද ආණ්ඩුවට ඇන්න ටොක්කක්ම විය. තම ක්‍රිකට් දිවිය තුළ රාජපක්ෂලාගේ පීඩනය හොඳින් ඇඟටම දැනී තිබූ සංගා සිය කතාව හරහා ඒ සියල්ල මුදාහැරි බව පැහැදිලිය. සංගාගේ කතාවට ආණ්ඩුව නිකං කලබල වූයේ නැත. එහි කලබල ඇති කරවන්නක් වීය. වෙනත් ක්‍රීඩකයකුට නැති සමාජ බලයක් සංගාට ඇති නිසාම රාජපක්ෂලා මේ කතාවෙන් හෙළවී ගියහ. කොටින්ම ආණ්ඩුවට එරෙහි විපක්ෂයට කිසිවක් කළ නොහැකි වූ ඒ මොහොතේ සංගාගේ කතාවෙන් ආණ්ඩුව හෙළවී ගියේය. ජනතාවද යම් පමණට සංගා සමග එකඟ තැනකට තල්ලු විය. රාජපක්ෂ ආණ්ඩුව පැල්මකට ලක්වූ තැන ලෙස සංගාගේ කතාව ගෙන ආ හැකිය. 2015 යහපාලන විප්ලවයටත් එය පාර කැපූ බව නොරහසකි. මේ නිසාම 2015 ආණ්ඩුව පත්වූ පසු සිරිසේන සංගාට බි්‍රතාන්‍ය මහ කොමසාරිස්කම ගන්නැයිද ඉල්ලීමක් කළේය. එම තීරණය ගැන තමා පුදුමයට පත්වන්නේ යැයි සංගා කීවේ එය ප්‍රතික්ෂේප කරමිනි.


සංගා – සජිත්


ඉන්පසු සංගා ගැන නැවත කතාවන්නේ 2019 ජනාධිපතිවරණය අතරතුරේදීය. එනම් 2019දී සජිත් ප්‍රේමදාස ‘සදාලෝක පූජිත සංගක්කාරගම’ නමින් සංගා වෙනුවෙන් ‘ගම්උදාව’ යටතේ ගම්මානයක් විවෘත කිරීම නිසාය. සජිත්ට නගුට වනන බල්ලාගේ නමට වුව ගමක් හදාදෙන තැනට ඔහුගේ ගම් හැදියාව විකාරයක් වී තිබුණි. එවන් මොහොතක ඔහු සංගා වෙනුවෙන්ද එය කළේය. එහි නම විපක්ෂයේ විහිළුවට ලක්විය. එහි විහිළුවක්ද නැතිවාද නොවේ. එහෙත් තම නමට ඇති ගම්මානය විවෘත කිරීමට සංගාද ගියේය. ඒ මහින්දලාගේ වැයික්කියටමය. එනම් හම්බන්තොටටමය. මෙහි පිටුපස සංගාගේ අරමුණ කුමක් වුවත් සජිත්ගේ අරමුණ වෙන එකක් විය. දෙදෙනාගේම අරමුණු සමපාතද විය හැකිය. කෙසේ වෙතත් ඒ මොහොතේ රාජපක්ෂවරු සංගාට පහර ගැසූහ.


මේ අතරම ජනතා විමුක්ති පෙරමුණ සංගාව පොදු අපේක්ෂකයා කරන්නට යන බවටද කට කතාවක් පැතිරුණි. සංගා රාජිත සමග රහසේ කතාබහක නියැළී ඇතැයිද රාවයක් විය. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් සංගාට රාජපක්ෂලා බය බව පැහැදිලිය. සංගා තම පවුලට කවදා හෝ ඇණයක් වන බව රාජපක්ෂලා වටහාගෙන අවසන්ය. ඒ නිසා සංගාට ගැහීමත් ඉවර නොවන එකක් වනු ඇත.


ඉලක්කය


2011 ලෝක කුසලානය පාවා දුන් බව වික්ක බව මහින්දානන්ද කීවේ මේ සියල්ල නිසාම විය යුතුය. එයට ක්‍රීඩකයන් වගකිවයුතු නැති බවද කීවේය. එහෙත් මහින්දානන්දගේ කතාව ඇදී ගියේ සංගා විමර්ශන ඒකකවලට ගේන තැනට ගොස්ය. දියගම ක්‍රීඩාංගණයට සංගාට වඩා විරුද්ධ වූයේ මහේලය. කොටින්ම මේ දිනවල සංගා කොරෝනා පශ්චාත් සටන වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රචාරකයකුද වී ඇත. ඒ කෙසේ වෙතත් ආණ්ඩුව බය සංගාටය. එකට ආප්ප කා පැනගිය සිරිසේනගෙන් බැට කෑ මහින්ද දැන් වඩා බය මෙරට සිවිල් චරිතවලටය. කොරෝනා සමයේ හමුදාපති සුපර්ස්ටාර්ස් විය. එහෙත් ඉතා සූක්ෂ්මව එය කප්පාදු කළේය. දැන් ඔහු නිකං කතාකාරයෙක් වී ඇත. එහෙත් එළියේ ඇති බාධකත් මහින්දලා කල්තියා සොයන්නෝය. 2025ට කල් ඇතත්, එයට දැන් තබාම සූදානම් වීම මහින්දගේ වැඩක් වී ඇත. ඔහුගේ කාලය තුළ ඔහු තම පුතකු රජ කරන්නටද කැස කවනවා සහතිකය. ඒ නාමල් විය හැකිය. එහෙත් නාමල්ට ප්‍රතිවිරුද්ධ චරිතය ලෙස සංගක්කාර වුවහොත් ලේසි පහසු විය හැකිද? ආණ්ඩුව බලනුයේ ඉදිරියේ මතුවිය හැකි රූස්ස ගස් පැළ කාලයේම ඉවර කරන්නටය. මහින්දානන්දගේ කතාව අවසානයේ සංගා ළඟින් නතර විය. එයින් පැහැදිලිවන්නේ මෙය මහින්දලාගේ පිටපත මහින්දානන්ද ලවා කියවූ බවය.


සංගා විමර්ශන ඒකකවලට ගෙන ගියා කියා මෙවර මහින්දලාගේ ඡන්ද අඩුවන්නේ නැත. එහෙත් සංගා රාජපක්ෂලාට එරෙහිව තරග කරනවා යැයි කිවහොත් තත්ත්වය වෙනස් විය හැකිය. අර්ජුනටත් නැති දේශපාලන කපටිකමක් සංගාට ඇත. ඔහු ඉතා හොඳ අලෙවිකරුවෙකි. තමාව විකිණීමේ ශූරයෙකි. සංගාට රාජපක්ෂලා අත තැබීම තුළින් පැහැදිලිවන්නේ රාජපක්ෂලා තවමත් දේශපාලනිකව අන් සැමට වඩා ඉදිරියෙන් බවය. අනාගතය දකින බවය. සංගාගේ සිද්ධිය තනිකරම දේශපාලනිකය. මහින්දානන්ද ලවා ඇවිල වූ ගින්නේ නියම තැන රත් කරන්නට රාජපක්ෂලාට හැකිවිය. සංගාගෙන් පසු විමර්ශන අහවරය. ඕනෑ දේ සිදුකළ පසු විමර්ශන ඉවරය. එහෙත් සංගා දැවී නොගිය බව තහවුරුය. ඔහු ලකුණු අතරට තවදුරටත් අවතීර්ණ විය. සංගාගේ ගමන කෙළවර මෙය නොවනවා සේ ම රාජපක්ෂලාගේ සංගා සමග ඇති ආරෝවද අහවර නැති බව සහතිකය. රාජපක්ෂලා සංගාට බයවීම සාධාරණය. සංගා දේශපාලනයට ඒමට පෙර දවා ගැනීම හැම අතින්ම හොඳය. මන්ද සංගා යනු අමුතුම ලක්කාරයකු වන බැවිනි. අනාගතයේ ඔහු රටේ නායකයා වුවද පුදුම විය යුතු නැත. ■