අතුලසිරි සමරකෝන්


සුජාතමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රෙජීමයක් නිර්මාණය කරගැනීමේදී, ඒ සඳහා පදනම් විය යුතු ප්‍රමාණාත්මක ප්‍රතිමානීය නැඹුරුතාවක් පැවතිය යුතු බව ලිබරල් ව්‍යවස්ථාදායකවාදයේ එක් පිළිගැනීමකි. ප්‍රකෘති නීති සම්ප්‍රදාය (ස්වභාවික නීතිය) පිළිගන්නා ආකාරයට ව්‍යවස්ථාවක සුජාතභාවය රඳා පවතින්නේ එම ව්‍යවස්ථාව මගින් අවධාරණය කරන සදාචාරමය කැපවීම්වල නිරවද්‍යතාව සහ පරිපූර්ණතාව මතය. නීතිය පිළිබඳව පොදු න්‍යායක් ඇතිකර ගැනීමේදී පවතින මෙවැනි තර්කවල සාරය වන්නේ නීතිය යනු අනිවාර්යයෙන්ම ‘යුක්තිය’ සමග බද්ධ වූ කාරණාවක්ය යන අදහසයි. නමුත් ‘නීතිය’ හා ‘ව්‍යවස්ථාව’ යන අන්ත දෙක අතර පවතින සුවිශේෂීතාව අනුව බලන විට ආණ්ඩුක්‍රම ව්‍යස්ථා නීතිය හා පොදු නීතිය පදනම් වන ප්‍රතිමාන අතර වන පරස්පරයක් හඳුනා ගැනීමට හැකිවෙයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ‘පොදු නීතියේ’ භාෂාවෙන් වෙනස්වන්නේ ඇයි? එහි ප්‍රතිමානීය ඇගයුම් පද්ධතිය ‘සාධාරණත්වය’ සහ ‘යුක්තිය’ පිළිබඳ මූලධර්මවලින් වෙනස් වන්නේ ඇයි? මේ ආදී බොහෝ ගැටලු මතුකිරීමට මේ මොහොතේ අප යොමුවන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා බැඳෙන සදාචාරය, යුක්තිය හා සාධාරණය වැනි ප්‍රතිමානීය ගැටලු සමග පොර බැදීමේදීය.


නව ව්‍යවස්ථාවක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය භාෂාවක් නිර්මාණය කරගැනීමේදී පවතින පළමු කොන්දේසියක් වන්නේ ‘සක්‍රීය මහජන ස්වාධිපත්‍යය‘ සහ නව ව්‍යවස්ථාවේ භාෂාව අතර පවතින සබඳතාවයි. පද්ධතියක් නිර්මාණය වන නිසා එය ජනතාවගේ ස්වාධිපත්‍යයේ ප්‍රකාශනයක් වීම වැදගත්ය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මහජන ස්වාධිපත්‍යය තර පවතින සබඳතාවේ ස්වරූපය කුමක්ද? ආණ්ඩුව ප්‍රකාශ කරන ආකාරයට ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇත. එය තුනෙන් දෙකක බහුතරයක් පාර්ලිමේන්තුව තුළ ලබා තිබේ. මෙය ඉතා වැදගත් අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් මහජන ‘ස්වාධිපත්‍යයේ ප්‍රකාශනයක්’ වීමට 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනයට හැකියාවක් පවතීද?
දැනට 20 වන සංශෝධනය පිළිබඳව පළවී ඇති විචාර බොහෝ ප්‍රමාණයකට අනුව බලන විට 20 වන සංශෝධනයේ භාෂාව සැබැවින්ම ‘මහජන ස්වාධිපත්‍යය’ ට එරෙහිය. එය මහජනතාවගේ ස්වාධිපත්‍යය පැවතිය යුතු පාර්ලිමේන්තුවේ බලය සීමා කරමින් විධායක ජනපති ධුරය අසීමාන්තික ලෙස ශක්තිමත් බලයක් වශයෙන් නිර්මාණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පැවතිය යුතු ‘සංවරණය සහ තුලන’ය සහ බලතල වෙන් කිරීමේ න්‍යායට එරෙහිය. බලය එක් ආයතනයක් තුළ සංකේන්ද්‍රණය කිරීම. (1972 ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ සහ 1978 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති) යනු මහජන ස්වාධිපත්‍යය පිළිබඳ සම්භාව්‍ය තර්කණයට එරෙහිව යාමකි. නමුත් මෙහිදී 1978 ව්‍යවස්ථාවට අනුව බලන විට මහජන ස්වාධිපත්‍යය පිළිබඳ අදහස ව්‍යාකූල වන තත්ත්වයක් ද පවතී. එනම් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව යන ආයතන දෙකම ඍජුවම මහජන ඡන්දයෙන් තේරී පත්වන විට මහජන ස්වාධිපත්‍යය අවස්ථා දෙකකදී ආයතන දෙකකට පක්ෂව ගොනු වෙයි.


ජනාධිපතිවරණයේදී ජනාධිපති ලැබූ ජයග්‍රහණයත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තු බලය වැඩි වශයෙන් ජනාධිපති නියෝජනය කළ පක්ෂයටත් ලැබී තිබෙන අතර, එම පදනම මත බැලුවහොත් පොදු ජන පෙරමුණට ‘මහජන ස්වාධිපත්‍යය පිළිබඳව’ සාධාරණ තර්කයක් පවතී.


නමුත් ස්වාධිපත්‍යය යනු පක්ෂයක් ලැබූ සංඛ්‍යාත්මක නියෝජනයේ ඓක්‍යයද? නැතිනම් ජනතාවගේ ‘ප්‍රජාතන්ත්‍රීය, සාධාරණ, යුක්තිසහගත බලය’ ජනතා විරෝධී නොවන ආකාරයෙන් ව්‍යවස්ථාව හරහා නිරූපණයවීමද? සැබැවින්ම සිදුවිය යුත්තේ ‘ස්වාධිපත්‍ය බලය’ ජනතාවට පක්ෂ ආකාරයෙන්, එනම් ඔවුන්ගේ නිදහස, සාධාරණය, යුක්තිය පිළිබඳ ප්‍රතිමානීය මූලධර්ම මූර්තිමත් වන ලෙස ව්‍යවස්ථාමය නීතියක් හෝ භාෂාවක් නිර්මාණය කර ගැනීමකි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කළේ හෝ සිදුකිරීමට අපේක්ෂා කළේ එම තත්ත්වයයි. නමුත් 20 වන සංශෝධනය මගින් සිදුකරන්නේ ජනතා ස්වාධිපත්‍යය පිළිබඳ සංඛ්‍යාත්මක තර්කණයක් භාවිත කොට, ප්‍රකෘති නීතියට හා සාධාරණත්වයේ මූලධර්මවලට එරෙහිව යා හැකි ව්‍යවස්ථාමය භාෂාවක් නිර්මාණය කරගැනීමකි.


20ට පක්ෂවීමේදී හෝ විපක්ෂවීමේදී ‘ජනතා ස්වාධිපත්‍යය’ යන තර්කයට යමෙක් නැඹුරු වන්නේ නම් ඔහු/ඇය කළයුත්තේ 20 තුළින් ජනතා ස්වාධිපත්‍යය අහිමි වී යන ආකාරය පිළිබඳ තර්කයක් ගොඩනගා, එය හැකිනම් දේශපාලන පරිමණ්ඩලය තුළ බලාත්මක කරගැනීමට වෙහෙසීමය. බහුතරවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව තුළ වන සංශෝධනය තුළින් සිදුවන අනෙක් බලපෑම නම් ‘බහුත්වවාදී’ සමාජයක් වෙත ගමන් කිරීමට පවතින අවකාශය අභියෝගයට ලක් කිරීමය. 20 වන සංශෝධනය හා බැඳුණු අනෙකුත් සාකච්ඡාවන් දෙස බලන විට මෙම තත්ත්වය ඉතා පැහැදිලිය. එනම් 20 වන සංශෝධනය මගින්, මේ තාක් යම් පමණකින් හෝ ආරක්ෂා කරගත් ‘බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රීය’ ලක්ෂණ අභියෝගයට ලක්වෙයි. එම සංශෝධනය කිසිදු ආකාරයක බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවක් අනුමත කරන බවක් නොපෙනෙයි. උදාහරණයක් ලෙස ජනාධිපති හා අගමැතිවරයා අතර පැවතිය යුතු සබඳතාව පවා අනවශ්‍ය දෙයක් වශයෙන් සලකා තිබේ. එසේම 20 හා බැඳුණු ව්‍යවස්ථාව සංශෝධනය තුළින් ජාතිකවාදීන් අපේක්ෂා කරන ‘පළාත් සභා අහෝසි කිරීම, සමානුපාතික නියෝජනය අහෝසි කිරීම’ ආදී බරපතළ කාරණා තුළින්ද පෙනී යන්නේ 20න් පසු හා 20න් ඉදිරියට පවතින කතිකාව වන්නේ දැඩි බල සංකේන්ද්‍රණයක් සහිත රාජ්‍යයක් නිර්මාණය කරගැනීම බවය. එම නිසා 20 වන සංශෝධනයටත් වඩා අප දැන් සිටම අවධානය යොමු කළයුත්තේ 20න් පසු මේ සමග ‘නව බල රටාව’ වෙතය.


එම, 20න් පසු ඇතිවන ‘නව බල රටාව’ තුළ පාර්ලිමේන්තුව, අගමැති, කැබිනට් මණ්ඩලය අතර පවතින්නේ ජනාධිපතිවරයාගේ අභිමතයට යටත් වූ බල රටාවකි. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අහෝසි වූ, ස්වාධීන කොමිසම් සභා අහෝසි වූ’ තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා විසින් රාජ්‍යයේ සියලුම අංග තමාගේ අභිමතය යටතට කිසිදු තුළනයකින් තොරව පත් කර ගනු ලැබීමට නියමිතය. එසේම, එම තත්ත්වය තුළ බහු පක්ෂ දේශපාලන ක්‍රමයක් පැවතීමද ක්‍රමයෙන් අභාවයට යා හැකි අතර, (දැනටමත් බහු පක්ෂ ක්‍රමය තර්ජනයට ලක්වී ඇත.) ජනාධිපතිවරයා විසින් ඔහුගේ දර්ශනයට අනුකූල වන ආකාරයේ නව බල රටාවක් නිර්මාණය කරගැනීමට නියමිතය.


එම නව බල රටාව තුළ මැතිවරණ ක්‍රමය, පළාත් සභා ආදී ප්‍රජාතන්ත්‍රීය ආයතනවලට වර්තමානයේ හිමිවී ඇති ගෞරවය හා ස්ථානය ක්‍රමයෙන් අහෝසිවීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය සමස්තයක් ලෙස දැඩි ‘මධ්‍යගත’ පාලනතන්ත්‍රයක් බවට, නැතිනම් ‘ජාතික සමාජවාදී’ හෝ ‘ඒකාධිපති’ පාලනයක ස්වරූපයක් බවට ලඝුවීමට නියමිතය.


නමුත් එම අනාගත දර්ශනය කිසිසේත්ම අනිවාර්යතාවක් නොවන අතර, එම තත්ත්වය වළක්වා ගනිමින් ප්‍රජාතන්ත්‍රීය දර්ශනය ලිබරල්වාදී මොඩලය තුළ ප්‍රතිස්ථාපනය කිරීමට දැඩි දේශපාලන මෙහෙයුමක් බිම් මට්ටම තුළ ඇති කළ යුතුය. නමුත් මේ මොහොතේ බිම් මට්ටම යනු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එතරම්ම වැදගත් ස්ථානයක් ලබාදෙන තත්ත්වයක නැත. එයට එක් හේතුවක් විය හැක්කේ 19 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියෙන් පසුව ඇතිවූ ‘ජනාධිපති අගමැති’ තරගය තුළින් බිහිවූ තත්ත්වයන් හා ඒ ආශ්‍රිතව නිර්මාණය වූ රාජ්‍ය අස්ථාවරභවට පත්වීම පිළිබඳ කතිකාවේ බලපෑම විය හැක.


කෙසේමුත්, නිදහස්, සාධාරණ සහ යුක්තිගරුක සමාජයක අවශ්‍යතාව පිළිබඳ දේශපාලන කතිකාව බිම් මට්ටමේ ජනතාව හා විශේෂයෙන්ම මධ්‍යම පන්තිය අතර ඇතිකර ගැනීමේ පසුබිමක් සමහරවිට 20න් පසුව නිර්මාණය විය හැක. නමුත් බොහෝ විට ඉතිහාසය අනුව බලන විට අපට පෙනී යන්නේ උදාවන සෑම තත්ත්වයකදීම ජනප්‍රිය ජාතිකවාදය විසින් පවත්නා දේශපාලන අවකාශය ගිලගැනීමත්, නැවත ඒ තුළ ‘සදාචාරය, නීතිය හා යුක්තිය’ පිළිබඳ කතිකාව ජාතිකවාදී සළුවලින් ආවරණයවීමත්ය. එම නිසා ජාතිකවාදී කතිකාවේ පවතින, ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය හෙළිකරන ක්‍රියාකාරී දේශපාලන කඳවුරක් පැවතීම ඉදිරියේදී ඇතිවන ‘රාජ්‍ය හා ආණ්ඩු මොඩලය’ සමග තරග කිරීමේ අනිවාර්ය කොන්දේසියකි.


ව්‍යවස්ථාවක් යනුවෙන් මූලිකවම අදහස් වන්නේ ‘ආයතනගත සාමූහික ක්‍රියාකාරීත්වය’ සඳහා අවශ්‍ය වන නීති පද්ධතියක් විස්තර කරන පඨිතයකි. එම නීති පද්ධතිය තුළ පවතින විශේෂ ලක්ෂණය වන්නේ ‘සාමූහික ක්‍රියාකාරීත්වය’ තුළ පැවතිය යුතු සීමාවන් ඉතා පැහැදිලිව අර්ථ දක්වා තිබීමයි. නමුත් 20 වන සංශෝධනය තුළින් සිදුකරන්නේ 19 වන සංශෝධනය මගින් ඇති කළ සියලු සදාචාරමය හා නෛතික සීමාවන් අහෝසි කරගැනීමයි. ජනප්‍රිය ස්වාධිපත්‍යය පිළිබඳ මූලධර්මයට අනුව පාර්ලිමේන්තුවක් තුළින් එවැනි අසීමිත බලයක් ලැබෙන විධායකයක් නිර්මාණය කරගැනීමට ඉඩ ලබාදිය නොහැක. නමුත්, මෙරට පාර්ලිමේන්තුවේ වත්මන් ස්වභාවය අනුව ‘20 යනු’ බොහෝ විට සංශෝධනය අනුමත විය හැකි ව්‍යවස්ථාවකි. 20 පරාජය කිරීම හෝ ජයග්‍රහණය කිරීම යනු නැවත දේශපාලනිකය සංවිධානය කිරීම පිළිබඳ අභ්‍යාසයකි. එම තත්ත්වය දේශපාලන ක්‍රියාධරයන්ට බොහෝ විට භාර කාරණයකි. නමුත් ජනතාව වශයෙන් අපගේ ස්වාධිපත්‍යය බලය විධායකයේ අභිමතය පරිදි හසුරුවනු හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා අපට ඉඩදිය නොහැක.


20 මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සදාචාරය, යුක්තිය හා සුජාතභාවය නොසලකා ජනතා ස්වාධිපත්‍යය හකුළන බව ප්‍රත්‍යක්ෂ නිසා එම තත්ත්වයේ පවතින ප්‍රජාතන්ත්‍රීය විරෝධී ස්වභාවය ඉතා ගැඹුරින් විවාදයට ලක් කළ යුතුව තිබේ. එසේම සුජාතභාවය යනු සදාචාරය හා යුක්තිය පිළිබඳ කාරණයක් මිස තුනෙන් දෙකේ බහුතරය පිළිබඳ කාරණයක්ද නොවන වග අවධාරණය කළ යුතුය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here