priests holds a candle at the main entrance of the St. Anthonys church towords an event to remark the first anniversary of the Easter Sunday attacks in Colombo, Sri Lanka on April 21, 2020.

ශ්‍රීන් අබ්දුල් සරූර්

අයිඑස් ත්‍රස්තවාදීන් අට දෙනෙකු විසින් කතෝලික හා ක්‍රිස්තියානි බැතිමතුන් සහ සංචාරකයින් 269 දෙනෙකු ඝාතනය කරමින්, අපගේ සාමූහික හැඟීමත්, එකමුතුකමත් බිඳ දැමූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වසරක සංවත්සරය අද සනිටුහන් වේ. ක්‍රිස්තියානි ධර්මයේ ශුද්ධ වූ දිනය සමරන පවුල් හා අපගේ සුන්දර වෙරළට පැමිණෙන සංචාරකයින් සමූල වශයෙන් ඝාතනය කරනු ලැබුවේ නමට පමණක් ඉස්ලාමයේ නම දැරූවන් විසිනි.


මීගමුවේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී දරුවන් 27 දෙනෙකු ඇතුළු 115 දෙනෙකු ඝාතනය කළ පිපිරීම නිසා ජෝට තම බිරිඳ සහ දරුවෙකු අහිමි විය. ඔවුන් ගැන කතා කරමින් ඔහු තවමත් ඔවුන්ගේ ඡායාරූප සියතින් දැඩිව අල්ලාගෙන සිටියි; “ඒ දවස මගේ ජීවිතයේ සිදු නොවුණා නම් හොඳයි. එය ඉතා ක්‍රෑර හා රුදුරු දවසක්.” ඒ පිළිබඳව තවදුරටත් ඔහු විමසන්නේ “ඔවුන් අපට මෙහෙම කළේ ඇයි? අපි මෙහේ සාමකාමීව ජීවත් වුණා, මට ඒ සාමය නැවත දකින්න ඕනෑ. ඒත් අපගෙන් බොහෝ දෙනෙක් සුනුවිසුනු වී ගියාට පස්සේ ඒක සුව කිරීම ඉතාම අපහසු යි. ඔවුන් ගැන මතකය සහ බෝම්බ අපගේ මනසේ රැඳී තියෙනවා.”


තේපාමලර්ගේ පුත් අරුන් ප්‍රසාන්ත් මඩකළපුවේ රෙපරමාදු සියොන් පල්ලියට එල්ල කළ බෝම්බයෙන් මිය ගියේය. ඇයගේ පුතාට වයස අවුරුදු 30 විය. ඔහුගේ පියා ඔහුට වයස අවුරුදු 1 දී යුද්ධයෙන් මිය ගියේය. තේපාමලර් ඇගේ කඳුළු නවතා ගැනීමට නොහැකි ව මෙසේ පැවසුවා ය “අරුන් මාව බලා ගත්තා, එයාගේ තාත්තගේ මරණෙන් පස්සේ මම එයාව ගොඩාක් පරිස්සමින් හදා වඩා ගත්තා. ඒත් කවුද දන්නේ එයාව මේ වගේ මරලා දාවි කියලා. මමත් දැන් ගෙයක් දොරක්වත් නැති කෙනෙක්. පල්ලියේ දේවමෙහෙයක් තියාවි ද කියලා මම දන්නේ නැහැ. ඒත් මම සුසාන භූමියට යනවා.”


වර්ල්, ත්‍රිරෝද රථයක් පදවන කෙනෙක්. ඔහුට ඔහුගේ පුතා ජැක්සන් (වයස 13), ඔහුගේ සහෝදරිය සහ මස්සිනා ඇතුළුව පවුලේ සාමාජිකයන් 03 දෙනෙකු අහිමි විය. ඔහුගේ අනෙක් සහෝදරියන් දෙදෙනා සහ මියගිය සහෝදරියගේ වයස අවුරුදු හතක දරුවා දරුණු තුවාලවලට ගොදුරු විය; අංශභාගය ඇතිවීම හා ඇස් පෙනීම නැතිවී ඇත. “අවුරුද්දක් ගතවෙලා තිබුණත් මේ ගෙදර ඒ අයගේ කටහඬ හා හිනාව මට තාමත් ඇහෙනවා. හැමෝටම අපිව අමතක වෙලා, යුද්ධ කාලයේ දී පවා අපි ජීවිත හානියක් නොමැතිව ජීවිතය ගලවා ගත්තා, ඒත්, යුද්ධයෙන් පස්සේ, අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට, මෙම ඛේදවාචකය සහ වේදනාව අපිට එල්ල වුණා. ගොදුරු වුණු අයත් සහ ඔවුන්ගේ පවුල්වල අයත් හැර අනිත් හැමෝම ඉදිරියට ගොස් ඇති බව පේනවා. COVID-19 නිසා පල්ලියේ දේව මෙහෙය තියන්නේ නැතිවෙන්න පුළුවන්. ඒත් අපි සවස් වරුවේ සුසාන භූමියට ගිහින් තෙල් පහනක් දල්වනවා. සමහරවිට අනිත් අයත් එහෙම කරයි.”


වයස අවුරුදු 53 ක් වූ සුමතිට ඇයගේ ඇස් පෙනීමත් ඇයගේ දියණියගේ වටිනා ජීවිතයත් අහිමි විය. “මගේ දරුවා නැතිවෙලා අවුරුද්දක්, එයා මගේ ළඟට එනවා වගේ මට දැනෙනවා. ඇය බොහෝ සමාජ වැඩ කරපු ගොඩක් ක්‍රියාශීලී කෙනෙක්. මට එයා ගැන ලොකු හීනයක් තිබුණා.” 22 හැවිරිදි උමා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ කලා පීඨයේ ශිෂ්‍යාවකි.
දුල්සිනි ඇයගේ පුතා කිරාන්ට ඇයගේ මිත්තනිය හමුවීම සඳහා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියාය. සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ පිපිරීමෙන් ඇයට කිරාන්ව අහිමි විය. අවුරුද්දකටත් පසු, පිළිතුරු නොමැතිව නැවත නැවතත් නැගී සිටීමට ඇය වෙහෙසෙමින් සිටිනවා. බීබීසී සම්මුඛ සාකච්ඡාවක දී ඇය පැවසුවේ, “අපේ ජීවිතයේ වටිනාම කෙනා අපට අහිමිවීම ගැන, ශ්‍රී ලංකා රජයෙන් අපට කිසිදු දැන්වීමක් කළේ නැහැ. කිසිවක්ම නැහැ. අඩුම තරමේ ශෝකය පළකිරීමක්වත් නැහැ.”


සිදුවූ දෙය වටහාගැනීම සඳහා බොහෝ පවුල් ගණනාවක් තවමත් අරගල කරමින් සිටින අතර සහනය වෙනුවෙන් අපගේ සාමූහික සහය ඔවුන්ට අවශ්‍යයි. නමුත් වසරකට පසුව අපේ රට COVID-19 විසින් ග්‍රහණයට ගෙන තිබේ. මේ වසරේ පාස්කු දේව මෙහෙය වෙනුවෙන් හෝ ප්‍රහාරයේ සංවත්සරය සිහිපත් කිරීම වෙනුවෙන් පවුල් එක්රැස්වීම වෛරසය විසින් වළක්වා තිබේ. මෙම අභියෝගාත්මක අවස්ථාවන්හිදී, එක්ව වැඩ කිරීම ඉතාම වැදගත් වේ. ශාරීරික වශයෙන් ඒකරාශී වීම වෙනුවෙන් මාර්ගයක් නොමැති නිසා, ඒ වෙනුවට අප විසින් අපගේ හදවත් හා මනස තුළ එකමුතුවක් සොයා ගත යුතුව තිබේ.
ප්‍රහාරයෙන් ඉක්බිතිව, එතැන් සිට එකමුතුකම ගොඩනගා ගැනීමට ප්‍රජාවන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළහ. මධ්‍යස්ථ ආගමික නායකයින් විසින් අන්තර් ආගමික සංවාද සඳහා මිනිසුන් එක්රැස් කිරීමට හා බෙදා ගැනීම වෙනුවෙන් ආරක්ෂිත අවකාශයන් නිර්මාණය කිරීමට කටයුතු කළහ. මීගමුවේ කතෝලික කන්‍යා සොහොයුරියන්, පල්ලියේ නායකයින් සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් මුස්ලිම් ප්‍රජා සාමාජිකයින් පිළිගත් අතර ආතතීන් සමනය කිරීමට සහ අව්‍යාජ බෙදාහදා ගැනීමක් තුළින් විශ්වාසය ගොඩනඟා ගැනීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීම ආරම්භ කළහ. මීගමුවේ පල්ලියේ නායකත්වය ද මුස්ලිම්වරුන් මැර ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමේ පෙරමුණ ගෙන සිටියහ.


මුස්ලිම් ප්‍රජාව ද ඒ සඳහා සහභාගි විය. ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුකළ ප්‍රහාරයෙන් මියගිය අයගේ දේහයන් කතෝලිකයන් විසින් භූමදාන කරන තුරු මුස්ලිම් කඩ සාප්පු හිමියන් මීගමුවේ සිය ව්‍යාපාර සියල්ලම වසා දැමූහ. ඉස්ලාමය අවිහිංසාව උගන්වන ආකාරය පැහැදිලි කරමින් සහ අල් කුර්ආනය සිංහල භාෂාවට පරිවර්තනය කරමින් ප්‍රජා නායකයින් විසින් දේශන හා ලේඛන ඉදිරිපත් කළහ. මුස්ලිම් පල්ලි විසින් අන්තර් ආගමික සංවාද හා සාකච්ඡා සඳහා දොර විවර කළහ. මීගමුව පුරා, සියලු ප්‍රජාවන්ට අයත් නිවාස සහ ව්‍යාපාර සති ගණනාවක් තිස්සේ ශෝකයෙන් සුදු කොඩි ඔසවා තිබුණි.


සමහර අන්තර් ආගමික හුවමාරු පුද්ගල මට්ටමින් පැවතුණද, පුළුල් උත්සහයන් අඩු වී තිබේ. ඒවා නැවත ආරම්භ කර ඉදිරියට යා යුතුය. කිසිම ඇදහිල්ලක් සෙසු මිනිසුන් කෙරෙහි වෛරය ප්‍රවර්ධනය කරන්නේ නැත. විවිධ ජනවාර්ගික, විවිධ සංස්කෘතික හා ආගමික සාරධර්ම කෙරෙහි දයාව වර්ධනය කරන තුරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව ශ්‍රී ලාංකිකයන් වන අප වෙනස් ආකාරයක වෛරසයකින් – එනම් වර්ගවාදයෙන් පීඩා විඳ තිබේ. මෙම වසංගතයෙන් අප සැවොම සුරක්ෂිතව තබා ගැනීමට පමණක් නොව දීප්තිමත් හවුල් අනාගතයක් ගොඩනැගීමට ද අන්‍යෝන්‍ය ගෞරවය හා ලෞකික සාරධර්ම තුළින් ගොඩනඟා ගෙන ඇති එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය අපට අත්‍යවශ්‍ය වේ.


මෙම වසංගත කාලවලදී අපට දුෂ්කර ඉදිරි මාවතකට මුහුණදීමට සිදුවේ. වෛරසය පැතිරවූ බවට මුස්ලිම්වරුන්ට අපහාස හා චෝදනා එල්ලවෙමින් තිබේ. අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය මෙම ප්‍රජාව තවදුරටත් ඈත් කරවන අතර ඔවුන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීමට ඇති ඉඩකඩ අවම කරයි. වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රජාවන් බලගැන්වීම වෙනුවට, මාධ්‍ය විසින් ව්‍යාජ ප්‍රවෘත්ති විකාශනය කරමින්, මියගිය පසුව පවා පීඩාවට පත් රෝගීන් අපකීර්තියට පත් කරමින් සිටියි.
සාමාන්‍යයෙන් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන් සමග කටයුතු කරමින් සිටි සිවිල් සමාජ සංවිධාන දැන් විසිරී ඇති අතර, එනිසා වසංගතය සම්පූර්ණයෙන් හමුදාකරණය කොට හැසිරවීමට එරෙහිව විරෝධය දැක්වීමෙන් අපව වළක්වා තිබේ. අත්අඩංගුවට ගත් අයගේ තොරතුරු එක්රැස් කිරීමට සහ ඉදිරිපත් කරන ලද චෝදනා විමර්ශනය කිරීමට අපට බලයක් නැත. නව ගැසට් සහ රජයේ මාර්ගෝපදේශ හඳුන්වා දී ඇති අතර අපට ඒ ගැන අසන්නට ලැබෙන්නේ මාධ්‍ය තුළ පමණි. මාර්තු 2 වනදා සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අතර, රටේ ක්‍රියාකාරීත්වයන් සීමා කිරීම නිසා උසාවි නිහඬව තිබේ. සියලු තීරණ ගන්නේ ජනාධිපතිවරයා විසින් පමණි.


අපගේ පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින් සහ නිලධාරීන් විසින් අපව ආරක්ෂාකාරීව තබා ගැනීම පිළිබඳව අප ඔවුන් පිළිබඳව නිහතමානී ගෞරවය දැක් වුවද, දේශපාලන අරමුණු සඳහා මෙම වෛරසය ආයුධයක් බවට පත්කිරීම සමස්ත ක්‍රියාවලියට හානිදායක වනවා පමණක් නොව, එය අපගේ මනුෂ්‍යත්වය මරා දමන්නක් ද වේ. අපට සුවය අවශ්‍ය වන මොහොතක, අනාරක්ෂිත තොරතුරු සහ මඩ ගැසීමේ ව්‍යාපාර මත පදනම්ව අප විසින් එකිනෙකාගේ හදවතෙනුත්, මනසෙනුත් සමාජීයව ඈත්වෙමින් සිටින්නෙමු.


දරුණු ප්‍රහාරවලින් වසරකට පසු, පීඩාවට පත් පවුල් සමග සාමූහිකව සිටිමින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවන් වෙනුවෙන් ශෝක වෙමු. අපගේ සහෝදර සහෝදරියන්ට ගෞරව කිරීම හා මතක තබා ගැනීම වෙනුවෙන් අපි ඔවුන්ගේ අහිමිවීම බෙදාගෙන ඔවුන් සමග යාඥා කරමු. COVID-19 වෛරසයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් සහ අප සැමට තර්ජනයක් වන ජාතිවාදයේ මාරාන්තික වෛරසය පවා පරාජය කරන ලෙස අපි යාඥා කරමු.


අපේ ජීවිත තුළ ආගම, ධනය, ජාතිය, සමාජ තත්ත්වය සහ දේශපාලන මතවාදය අතර බෙදීම් රේඛා තිබේ. නමුත් අද වනවිට බලවත් ආර්ථිකයන්, දේශසීමා සහ පවුරු කඩා දැමිය හැකි අන්දමේ අදෘශ්‍යමාන වෛරසයක් වන COVID-19 හරහා අපව එකට එක්කොට තිබේ. ඉදිරි මාස කිහිපය බොහෝ පීඩාකාරී වියහැකි අතර අපට තවත් බොහෝ වටිනා ජීවිත ද අහිමි විය හැකිය. දේශපාලනඥයන් සහ බෙදුම්වාදීන් නරුම දේශපාලනයේ නියැළී සිටින අතරතුර, සෞඛ්‍ය සේවා සපයන්නන් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ඇදහිය නොහැකි තරම් ආතතියට පත්වනු ඇත. වසංගතයෙන් හා දේශපාලනීකරණයෙන් අපව ගලවා ගත හැකිවනු ඇත්තේ මිනිස් ආත්මයේ දරා ගැනීමේ හැකියාවටය. යම් ආකාරයකින්, මෙම අඳුරු කාලය තුළ රිදී රේඛාවක් තිබේ – සාමූහික අරගලය හා කැපකිරීම් තුළින් එකට එකතුවීමෙන්, මෙම අභියෝගය ජය ගැනීම සඳහා අපි එක්සත් වෙමු. 2019 පාස්කු ඉරිදා අපෙන් පැහැරගත් අයට ගෞරවයක් වශයෙන් අද අපි එම පාඩම ඉගෙන ගනිමු. ■