පසුගිය මහ මැතිවරණයත් සමග ඇස් පනාපිට දෙස් දෙන්නේ එජාප විනාශය පමණක් වුවද ඒ තුළ එජාප හිතවාදී වූ ටීඑන්ඒ පක්ෂය තුළද විශාල පැල්මක් ඇති වූ බව දකුණට රහසකි. දකුණ දන්නේ මෙවර ටීඑන්ඒ එකට ආසන අඩුවෙන් ලැබුණු බව පමණි. දෙමළ දේශපාලන පක්ෂවලද ඇත්තේ දකුණේ සෙල්ලමම බව මේ වනවිට රහසක් නොවේ. මේ නිසා උතුරේ ජනයා වසරක් පාසා තම එකම ගැලවුම්කරුවා ලෙස ප්‍රභාකරන් සිහිකිරීම, වතාවත් කිරීම පුදුම විය යුතු නැත.


ඉතිහාසය


ආර්. සම්පන්දන් මහතා නායකත්වය දැරූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වනුයේ 2001දීය. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා නායකත්වය දැරූ ඊපීආර්එල්එෆ් පක්ෂය, සෙල්වම් අඩෙක්කලනාදන් මහතා නායකත්වය දැරූ ටෙලෝ සංවිධානය, ආනන්ද සංගරී මහතා නායකත්වය දැරූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා එක්ව වෙනම සන්ධානයක් ලෙස මුලින්ම උතුරු -නැගෙනහිර පළාත් වෙනුවෙන් තරග කළේය.
ඒ අනුව 2001දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර පහළොවක් හිමිවිය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ශක්තිමත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ඔවුන්ට හැකිවිය. එහෙත් ප්‍රශ්න පටන් ගත්තේද ඒ සමගය. ඒද නායකත්ව අර්බුදය. ආනන්ද සංගරි මහතා දෙමළ ජාතික සන්ධානය එළිපිටම විවේචනය කරන තැනට තල්ලු විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2004 පාර්ලිමේන්තු මැතිවරණය එන විට ආනන්ද සංගරී දෙමළ ජාතික සන්ධානය තුළ නොවීමය. ඔහු ඉවත් වුවද දෙමළ ජාතික සන්ධානයට උතුරු නැගෙනහිරින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 22ක් හිමිවිය.


ඉන්පසු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා නායකත්වය දරන සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයද දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී ආනන්ද සංගරී ගිය මගට බැස්සේය.


2010 වන විට දෙමළ ජාතික සංවිධානය පක්ෂ තුනකට සීමා විය. ඒ ඊපීආර්එල්එෆ් සංවිධානය, ඉලංගෙයි තමිල් අරසු කච්චි සහ ටෙලෝ සංවිධානය වශයෙනි. ඒ අනුව 2010දී ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 14 හිමිවිය.
මහ මැතිවරණයකින් පසු එන පැල්ම තවත් පුපුරා යමින් 2010දී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දැරූ ඊපීආර්එල්එෆ් පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය.


2015දී ප්ලොට් සංවිධානයද දෙමළ ජාතික සන්ධානය සමග එක්වූ අතර එහිදී ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 16ක් ලබා ගත්හ.


විස්සේ අපලය


එහෙව් ගැස්සිලි හැප්පිලි මත ආ දෙමළ ජාතික සන්ධානයේද තදබල පිපිරුම 2020දී ඇති විය. එතෙක් ආ වීර චාරිකාව කුනාටුවකට හසුවීම 2020දී ආරම්භ විය. ඔවුන්ට මෙවර ලැබුණේ මන්ත්‍රී ධුර 10ක් පමණි. ඒ තුළද දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබලම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ බලය පහතටම වැටී තිබුණි. ඔවුන්ට මෙවර හිමිව ඇත්තේ මන්ත්‍රී ආසන 5ක් පමණි. හවුල්කාර ටෙලෝ සංවිධානයට වන්නි බහුතර බලය හිමිවිය. වන්නියෙන් මෙවර සම්පන්දන්ලාට එක් මන්ත්‍රී ධුරයක් හිමිවූ අතර ගියවර එය තුනක් විය. 2015දී යාපනයෙන් ගත් මන්ත්‍රී ධුර ගණන හතක් වුවද මෙවර සම්පන්දන්ලාට යාපනයෙන් ගතහැකි වූයේ මන්ත්‍රී ආසන දෙකක් පමණි. මෙය දෙමළ ජාතික සන්ධානයේ විශාල කඩා වැටීමකි. 2015 යහපාලනය තුළ ඒ අයගේ භූමිකාව දකුණ මෙන්ම උතුරද සාපේක්ෂව ප්‍රතික්ෂේප කර ඇති බව පෙනෙන්නට ඇත.


උතුරු පළාත් මහ ඇමති ලෙස දෙමළ ජාතික සන්ධානය සී.වී. විග්නේෂ්වරන් මහතා පත් කළද ඔහු 2016 සම්පන්දන්ලා අතහැරියේය. එලෙස අත්හැරි විග්නේශ්වරන් මෙවර යාපනයෙන් වෙනම තරග කොට පාර්ලිමේන්තු ආවේය.


ස්වාධීනව යාපනයට තරග කළ සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂයද යාපනයෙන් මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනුණි. දෙමළ ජාතික සන්ධානයෙන් ගැලවුණු පක්ෂ මෙවර ඔවුන්ට විරුද්ධව මතවාදීව හැසිරී ජයගෙන ඇති බව තහවුරුය. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයද හුදකලා වන අයුරු පෙනෙන අතර ඒ තුළ අනෙක් කියවීම වනුයේ දකුණේ එජාපයට පක්ෂ දෙමළ පක්ෂද උතුරේ වඳ වෙන්නට පටන් ගෙන ඇති බවය. අනාගතයේදී උතුරේ දෙමළ පක්ෂද දකුණේ මහ පක්ෂ වුවමනා පරිදි තෝරා ගන්නා තැනකට තල්ලු විය හැකිය.


2015දී එකතු වූ ටෙලෝ, ප්ලොට් සංවිධානද ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමග ගැටුම් හටගන්නා තත්ත්වයක් පහළ වී ඇත. දකුණේ මෙන්ම උතුරේද මේ ගැටුම් නිර්මාණය වනුයේ මන්ත්‍රී ධුර අරභයාය.


වර්තමානයේදී ටෙලෝ සංවිධානය වන්නි නායකත්වය සිය පක්ෂයට ඉල්ලා ඇති අතර ඒ සඳහා ලද ජාතික ලැයිස්තු ධුරයද ඉල්ලා සිටින තැනට පත්වී ඇත.


ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තුළ අභ්‍යන්තර ගැටලු රැසක් පැන නැගුණේ එහි නායක මාවෙයි සේනාධිරාජා මෙවර පරාජයට පත්වීමත් සමගය. එම පක්ෂයෙන්ම තරග කළ ඊ. සරවනබවන්ද මෙවර පරාජයට පත්විය. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයට ලැබුණු ප්‍රසාද ආසනය බෙදාදීම අර්බුදයක් වී ඇත.


පිරිසක් එම මන්ත්‍රී ධුරය මාවෙයි සේනාධිරාජාට ලබාදෙන ලෙස ඉල්ලන අතර තව පිරිසක් එය සරවනබවන්ට හිමිවිය යුතු යැයි තර්ක කරති.


එජාපය මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ බලයද ඉදිරියේදී පිරිහීයාමේ ප්‍රවණතාව වැඩිය. එය මෙවර ඕනෑවටත් වඩා ඔප්පු කර ඇත. සම්පන්දන්ගෙන් පසු සුමන්තිරන් හරහා එහි කල දසාව සුබ නොවන බව නම් ඉතාම පැහැදිලිය.

දෙමළ ජාතික සන්ධානයට වූයේද එජාපයට වූ දේමය. මෙවර දකුණේ පමණක් නොව උතුරේ මහ පක්ෂයද සෙලවී ගියේය. ■
ටිරන් කුමාර බංගගමආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here