විමලනාත් වීරරත්න

ගුරු විදුහල්පති වැටුප් විසමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකර දීපව්‍යාප්තව කරන ලද දෛනික උද්ඝෝෂණ මාලාව ලංකාවේ දේශපාලනයේ වැදගත් දිසාවක් පෙන්නුම් කළේය. එය නම් පක්ෂ දේශපාලනයෙන් තොරව මහජන බලය, රෙජීමයක පදනම සොලවා දමන ඒකරාශිවීමක් දක්වා ඉස්මතුවීමය. සාමාන්‍යයෙන් මෙවැනි කටයුත්තක පෙරමුණ ගන්නේ වමේ ව්‍යාපාරයයි. 80 ජූලි වර්ජනය ප්‍රබෝධජනක අරගලයකට, පාවාදීමකට මෙන්ම ඛේදවාචකයකටද උදාහරණ සපයන විට මෙවර ගුරු විදුහල්පති වැඩ වර්ජනය තුනෙන් දෙකේ ආණ්ඩුවකට එරෙහිව සැලකිය යුතු බලපෑමක් එල්ල කළේය. ඉන් ඉක්බිතිව එම බලපෑම තවදුරටත් කිරීමට ඔවුහු ශක්තිය ඉතුරු කර ගත්හ.


මෙහි දක්නට ලැබුණු එක් වැදගත් දෙයක් වූයේ දේශපාලන පක්ෂවලට නොමැති නිර්භීත බවක් වෘත්තීය සමිති විදාරණය කිරීමය. එම ලක්ෂණය විසින් බහුතර පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරය කරා කේන්ද්‍රගත කළ බව පෙනුණි. වර්තමානයේදී අත්දකින්නට ලැබෙන ස්වභාවය නම් පක්ෂ, ජනතාව අතරදී පසුබසිමින් තිබීමය. පක්ෂය යනු ජනතාව ඒකරාශී කරන මූලස්ථානය ලෙස මාක්ස් හඳුන්වා තිබුණත් ලංකාවේ අත්දැකීම දැන් ඊට වෙනස් යැයි කිව හැකිය. අද වන විට ජනතාව සහ පක්ෂ ගනුදෙනුකාර භූමිකාවකට පිළිපන්ව සිටින අතර 77න් පසු ඇතිවූ මෙම තත්ත්වය විනාශකාරී අරුතකින් තවදුරටත් ක්‍රියාත්මක වනු පෙනේ. පක්ෂ මහජන සේවා අර්ථයෙන් මිදී සමාගම් බවට පත්වීම, මහජන නියෝජිතයන් මහජන දේපොළ අවභාවිත කරන්නන් බවට පත්වීම හා සමාජ ව්‍යාපාර කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීම මෙම නව අවස්ථාවාදයට හේතුවිය. පක්ෂ වෙනුවට අවංකව ක්‍රියා කළ හැකි වෘත්තීය සමිති ව්‍යාපාරයකට අරගලයක් මෙහෙයවිය හැකි බවද තාවකාලිකව නවත්වන ලද ගුරු විදුහල්පති පිබිදීමෙන් ප්‍රදර්ශනය කැරිණි.


ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය සහ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ එකමුතුව මෙම නොනවතින උද්ඝෝෂණ රැල්ලට ප්‍රධාන වශයෙන් නායකත්වය දුන් සංවිධාන වන අතර තවත් වෘත්තීය සමිති ගණනාවක් ඊට සක්‍රීය සහයෝගය දැක්වූහ. ගුරු විදුහල්පතිවරුන් 2,50,000කට වැඩි පිරිසක් මෙම අරගලයෙහි නිමග්නවීමද එහි ජවාධික බව ප්‍රදර්ශනය වීමට හේතුවක් විය. ලංකාවේ කිසිදු තනි පක්ෂයකට එවැනි ඒකරාශීවීමක් සිදු කළ නොහැකි බව පැහැදිලිය. දක්ෂිණාංශය කොහොමටත් මහපාරේ අරගලයට දක්ෂ නොවන අතර වමේ පක්ෂ ලෙස සමසමාජ, කොමියුනිස්ට් ඒවා කළ යුගය නිමාවී ජවිපෙහිත් හොඳම අරගල යුගය ක්‍රමයෙන් නිමාවෙමින් ඇතැයි සිතිය හැකිය. මේ වනවිට ජවිපෙ අයත් වන්නේත් ලංකාවේ පැරණි වාමාංශික පක්ෂ ධාරාවටය. මෙම පැරණි පක්ෂ පොළොවෙහි වැඩ කළ හා දැනටත් එය විශ්වාස කරන පක්ෂ ලෙස කිසියම් ගෞරවයක් දිනාගෙන ඇත. 90 දශකයේ බිහිවූ පශ්චාත් මාක්ස්වාදය හා පශ්චාත් නූතනවාදය පිළිබඳව බරපතළ න්‍යායික සාකච්ඡා කළ කුඩා කණ්ඩායම්වාදී ව්‍යාපාරවලට පැරණි වම කළ මැදිහත්වීම කළ නොහැකි වූ අතර ඒවා බොහෝ දුරට ලංකාවේ ලිබරල් ආස්ථානයන් හා සාම්ප්‍රදායික වම දැඩිව ප්‍රශ්න කරන කණ්ඩායම් ලෙස තහවුරු විය. පැරණි වමට නොහැකි යැයි සිතූ ජනතාව සංවිධානය කිරීමේ කටයුත්ත 90 දශකයේ බිහිවූ නව කණ්ඩායම් දේශපාලනයට කොහෙත්ම නොහැකි වූ අතර යළි සමාජය පැරණි වමේ විධි ක්‍රමයන් කරා ප්‍රවේශ වූ බවත් ගුරු විදුහල්පති අරගලයෙන් පෙනී ගියේය. එය සාපේක්ෂව සාර්ථක යැයි පෙනී ගියත් අර්ථාන්විත සාර්ථකත්වයක් සඳහා නම් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති අතරමැද සාර නියෝජනයක් සොයා ගත යුතුව ඇත. ඒ සඳහා යම් වැදගත් පියවරක් තැබීමට පක්ෂයක් ලෙස මෙම ගුරු විදුහල්පති අරගලයේදී ජවිපෙ ක්‍රියා කළේය. ඒ වෘත්තීය සමිති අතර ඉහළම සහයෝගිතාවෙන් ක්‍රියා කිරීමට ලංකා ගුරු සේවා සංගමය කළ මැදිහත්වීම ඔස්සේය. ලංකා ගුරු සංගමයද ඊට නොදෙවෙනි සහයෝගිතා ක්‍රියාමාර්ගයක් ප්‍රදර්ශනය කළේය. සැබැවින්ම ජෝශප් ස්ටාලින් හා මහින්ද ජයසිංහ ගුරු අරගලයට කැපී පෙනෙන නායකත්වයක් දුන්හ. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ගතහොත් ඔහු කොන්දේසි විරහිතව අනවරතව වෘත්තීය අරගලයක නිරත නායකයෙකි.

වෘත්තීය සමිතියක් ලෙස ලංකා ගුරු සංගමය විදාරණය කරමින් සිටින දැවැන්ත බලය තීරණාත්මක ස්වරූපයක් ගනී. පක්ෂයක් පදනමෙහි තබාගෙන ක්‍රියා කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පක්ෂ න්‍යාය පත්‍රයෙන් පරිබාහිරව නියම වෘත්තීය සමිතියක් ලෙස කටයුතු කරනු දක්නට ලැබුණි. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි සංවිධානයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් මෙම අරගලයේදී කළ මැදිහත්වීමද තීරණාත්මකය. පක්ෂ දේශපාලනයේ බලකේන්ද්‍රීය න්‍යාය පත්‍රවලට විකල්පව දක්නට ලැබුණු මෙම වෘත්තීය සමිති මැදිහත්වීම රටෙහි දැවෙන ප්‍රශ්න කෙරෙහි යොමු කරවන මගක් අපට සෙවිය හැකිය. එය බලවත් දේශපාලන මැදිහත්වීමක් බවටද පරිවර්තනය කරගත හැකිය.
“අද ලංකාවේ සමාජය හා දේශපාලනය මුහුණ පා සිටින්නේ නොනවතින සහ නිරන්තරව පුනර් නිෂ්පාදනය වන අර්බුදයකය. පරිවර්තනීය දේශපාලනය න්‍යාය යනුද මේ පසුබිම තුළ අභියෝගාත්මක කර්තව්‍යයකි. පරිවර්තනීය දේශපාලන දැකුම්, ඉදිරි දර්ශන සහ ක්‍රියාමාර්ග අලුතින් පරිකල්පනය කළ යුතුව තිබේ. (ජයදේව උයන්ගොඩ – සුමිත් චාමින්ද සංස්කරණය කළ අන්තෝනියෝ ග්‍රාම්ස්චි – ජීවිතය, වින්දනය දේශපාලනය කෘතියේ පෙරවදන)


ලංකාව යනු උයන්ගොඩගේ එම අදහස පිළිබඳ දීර්ඝ අභ්‍යාසයක් අවශ්‍ය රටකි. එය දේශපාලන පක්ෂවලට කළ නොහැකි බව නිදහස ලබා වසර 73ක් තිස්සේ තහවුරු වී ඇත. රටට මහජන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය එම රික්තය අලුත් ප්‍රාණ වායුවකින් පිරවීම සඳහාය. ලංකාවේ නූතන වෘත්තීය සමිති ව්‍යාපාරයට එවැනි විභවයක් ඇතැයි සිතිය හැකිය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සිදු කිරීමට සැලසුම් කළ ඇතැම් අත්තනෝමතික දේවල් වෘත්තීය සමිති ව්‍යාපාරයට වැළැක්වීමට හැකිවිය. වරායේ නැගෙනහිර ජැටිය බදුදීම වළක්වා ගැනීමට කළ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය ඊට කදිම නිදසුනකි. බටහිර ජැටියේ ප්‍රශ්නය ඊට ඈඳුණු විට වරාය වෘත්තීය සමිති ව්‍යාපාරය දෙකට බෙදීම නිසා එහිදී අවාසිසහගත පසුබිමක් නිර්මාණය විය. ඉන් පෙනී යන්නේත් වෘත්තීය සමිති ව්‍යාපාරය තුළත් තිබෙන ඇතැම් බෙදීම් තීරණාත්මක කර නොගෙන මූලික ප්‍රශ්නය කෙරෙහි සමස්තාර්ථයෙන් අවධානය යොමු කිරීමෙන් රාජ්‍ය පාලකයන්ගේ හිතුවක්කාරී බව පාලනය කළ හැකිය යන්නය. වරායේ අක්කර 13ක වටිනා ඉඩමක් විකිණීමට තැත් කිරීම පිළිබඳව මීට දින කිහිපයකට පෙර එහි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ තොරතුරු හෙළි කළේය. ආණ්ඩුවල පටු න්‍යාය පත්‍රවලට යට කිරීමට ඉඩ නොදී රාජ්‍ය සම්පත් බේරා ගැනීම දැන් ඒ ඒ වෘත්තිකයන්ගේ අනුල්ලංඝනීය වගකීමක් බවට පත්ව තිබේ. වෛi වෘත්තීයවේදීන්ගේ සංගමය හා හෙද සංගම් ආණ්ඩුවලට බලපෑමක් කරන බව මතුපිටින් ප්‍රදර්ශනය කරන නමුත් ඒවායේ අභ්‍යන්තරය පවතින මජර ක්‍රමයටම සේවය කරන බව දිගු කාලයක පටන් ප්‍රත්‍යක්ෂවෙමින් තිබීම කනගාටුදායකය. තමන්ට පුද්ගලිකව රිදුණු විට ආණ්ඩු විරෝධී වන වෘත්තීය සමිති නායකයන්ගෙන් රටට වැඩක් නැත. ස්ටාලින් වැනි අය එසේ නොවී එක තැනක දෙපා තබාගෙන සිටීම තවදුරටත් අරගල බිම කෙරෙහි විශ්වාසය වඩවන්නක් බවද කිව යුතුය.


උක්ත අරගල මැදිහත්වීම රටේ සෙසු දැවෙන ප්‍රශ්න අරභයාද දීප ව්‍යාප්ත වැඩ වර්ජන ව්‍යාපාරයක් බවට පත් කළ යුතු යැයි හැඟවෙන අදහසක් ජාජබයේ වසන්ත සමරසිංහ ඉකුත් දවසක මාධ්‍ය හමුවකදී කීවේය. එය ඔවුන් පක්ෂයක් ලෙස අවධානය යොමු කරන කලාපයකි. එහෙත් එවැනි තීන්දුවකට කුඩා පක්ෂ කේඩර ලෙස අවතීර්ණවීමෙන් පුළුල් අරුතක් සහිත දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කළ නොහැකිය. එය වෘත්තීය සමිති ව්‍යාපාරයත්, විපක්ෂයේ සියලු ප්‍රගතිශීලී කොටස්ද එක්ව ගත යුතු පියවරකි. අනෙක් අතට මෙම දෙපිරිස දේශපාලන යාන්ත්‍රණයක් සැකසීම විෂයෙහි පරිසමාප්ත විය හැකි වුවත් රටේ ප්‍රශ්නවලට අදාළව විසඳුම් සෙවීම විෂයෙහි පරිසමාප්ත සබුද්ධිකත්වයක් නොපෙන්වයි. වෘත්තීය සමිති ව්‍යාපාරයට විරෝධය පෑමේ හා ඉල්ලීම් දිනා ගැනීමේ අරමුණ තිබේ. දේශපාලන පක්ෂවලට තිබෙන්නේ බල උවමනාවය. මේ දෙකට සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක මෙන්ම බුද්ධි කලම්භනයක දායකත්වය උවමනාය. සමාජ ප්‍රතිසංස්කරණ යෝජනා කළහැක්කේ හා එය බුද්ධිමය ක්‍රියාවලියක් බවට පත් කළ හැක්කේ උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ මැදිහත්වීමකිනි. එවැනි ක්‍රියාවලියක් අරඹන සාකච්ඡාවක් අප අතර නැත. ගුරු උද්ඝෝෂණය අදාළ වෘත්තීය සමිති නායකයන් විසින් ඉතා ජවසම්පන්න ලෙස මෙහෙය වූ බව කවුරුත් පිළිගනිති. එය තවදුරටත් වර්ධනීය තලයකට පත්වූවා නම් ආණ්ඩුව බරපතළ අවුලකට පත් කිරීමට ඊට හැකියාව තිබුණි. එසේ එය පරිපූර්ණ වන්නේ වැටුප් විෂමතාව පිළිබඳ අරගලය පමණක් නොව, රටේ සෙසු වෘත්තීය අරගල, පරිසර විනාශය, අලි ප්‍රශ්නය, ඉඩම් විකිණීම, ජීවන වියදම ඉහළ යාම, අසංවර්ධිත ආර්ථිකය, මිලිටරිකරණය, ප්‍රජාතන්ත්‍රවාදය පිටු දැකීම ආදී ප්‍රශ්න එකවිට මතුවුවහොත්ය. මේ සියල්ල එකම අර්බුදයක් ලෙස ගණනය කරන ව්‍යාපාරයක් සජබයට, ජාජබයට හෝ පෙසපෙට ගොඩනැගිය නොහැකිය. අදාළ විෂය ප්‍රාමාණිකයන්ගේ, උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ දැනුමේ මෙන්ම නිර්මාණශීලී දායකත්වයක් එම ව්‍යාපාරයට අත්‍යවශ්‍යය. එනම් පළමුව මේ සියල්ලන් අතර සම්බන්ධීකරණයක් රටට අවශ්‍යය. අප සාකච්ඡා කළ යුත්තේ ඒ ආරම්භය ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. ■