මහින්ද හත්තක


දැන් මැතිවරණ සටන අවසන් ය. මැතිවරණ සමයේ ලබා දුන් විවිධාකාර පොරොන්දු, ප්‍රතිඥා අමතක කර දමා සුපුරුදු ‘දේශපාලන ක්‍රීඩාව’ ආරම්භ කිරීමේ කාලය පැමිණ ඇත. මැතිවරණ සමයේ තොග වශයෙන් බෙදා දුන් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් හා පත්‍රිකා කුණු කූඩයට පත්වීමටත් පෙර ජනතාවට ඒවා අමතක වනු ඇත. නැතිනම් අමතක කිරීමේ සූක්ෂ්ම වැඩසටහන් සහ ක්‍රියාමාර්ග පණගැන්වෙනු ඇත. මෙතෙක් පැවති සෑම මැතිවරණ ව්‍යාපාරයක දී මෙන්ම මෙවර ද අනිවාර්යෙන්ම පරාජයට පත්වන්නේ ඡන්ද දුන් සහ නොදුන් ජනතාවයි. ඡන්දය නොදුන් අය ‘අප කීවේ ඕක තමයි’ යනුවෙන් සිත් සනසා ගැනීමට උත්සාහ කරනු ඇත.


මැතිවරණ සමයේ ඡන්ද වේදිකාවලත් පුවත්පත් සාකච්ඡාවලත් වෙනත් සාකච්ඡාවලත් කතාබහට ලක් නොවූ හෝ වුවමනාවෙන්ම යටපත් කිරීමට උත්සාහ ගත් ආර්ථිකයේ කටුක යථාර්ථයට අප කාටත් මුහුණදීමට සිදුවනු ඇත. ඒ යථාර්ථය ඔස්සේ අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති ලක්ෂයකටත්, උපාධිය සමත්ව ඇති තවත් පනස් දහසකටත් ආණ්ඩුවේ රැකියා ලබාදීම නිසැකයෙන්ම තවත් දවල් සිහිනයක් වනු ඇත. සෑම දුප්පත් පවුලකටම රුපියල් විසි දාහක් ලබාදීම ද දැනට සක්‍රියව ඇති නිරිතදිග මෝසම් සුළඟේ පාවී යනු ඇත. ඒ සුළඟේම වංචා දූෂණ නැති කිරීම සහ දූෂිතයන්ට දඬුවම් ලබා දීම දුහුලු මලක් සේ ගසා ගෙන යනු ඇත. එය මෙතෙක් පැවති මැතිවරණවල පශ්චාත් තත්ත්වයට වෙනස් නොවන නමුත් ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වසංගතයේ සහ ආර්ථිකයේ කඩා වැටීම, කන් බිහිරි කරන තරම් වූ හිස් වදන්වලින් පලවා හැරිය නොහැකිය.


දැනට සිටින දශ ලක්ෂ 15කටත් වැඩි වූ රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීම් පසෙකලා නියමිත වූ වැටුප් වර්ධක ලබා දීමටත්, විශ්‍රාමික වැටුප් වැඩි කිරීමටත් නොහැකි තත්ත්වයක් යටතේ තවත් ලක්ෂ එක හමාරක පිරිසක් විශ්‍රාම වැටුප් සහිතව රජයේ රැකියා ලබාදෙන්නේ කෙසේද යන්න (රුපියල් විසි දාහේ දීමනාව මෙන්ම) මැතිවරණ වේදිකාවෙන් පැහැදිලි කෙළේ ද නැත. පරමාධිපති බලය හිමි ජනතාව එවැනි පැහැදිලි කිරීම් ඉල්ලා සිටියේ ද නැත. දූෂණය සහ වංචා නැති කොට දූෂකයන්ට දඬුවම් ලබාදෙන ආකාරය ද පැහැදිලි කෙළේ නැත. පසුගිය යහපාලන කාලයේ හෙළි කර ගත් දූෂණ සියල්ලම පාහේ දැන් කණපිට හැරවී ඇත. සිල් රෙදි නඩුව දේශපාලන පළිගැනීමක් නිසා ඉවත දැමෙනු ඇත. බොහෝ විට මිනීමරුවන්ට පවා නිදහස ලැබෙනු ඇත. ඒ වෙනුවට හොරුන් ඇල්ලූ හෝ ඇල්ලීමට වෙහෙස ගත් අයට සිරකූඩුවල ලැගීමටත් ඒ වෙනුවෙන් දඬුවම් විඳීමටත් සිදුවනු ඇත.


මෙම කුහක දේශපාලනයේ පීතෘත්වය හෝ මාතෘත්වය හිමිවන්නේ දේශපාලන පක්ෂවලට සහ එහි නායකයන්ට පමණක් නොවේ. පිරිහීමට පත් සමාජයේ අප සියලුදෙනා අඩුවැඩි වශයෙන් ඊට වගකිව යුතුය. හොරකම, දූෂණය සහ වංචා අඩුම වශයෙන් පිළිකුල් කළ යුතු, ගැරහීමට ලක් කළ යුතු සමාජ ව්‍යාධීන් වුවද ඒවා නොසලකා සිටීමෙන් ඒවා කළ සහ කරන අය ප්‍රතික්ෂේප නොකිරීමෙන් රටේ පුරවැසියෝ ද වැරදි, සාහසික මාර්ගයක ගමන් කරමින් සිටිති. එවැනි ගමන් මාර්ගයක් අනුගමනය කළ හැකිවන්නේ බුද්ධිය වෙනුවට මිථ්‍යාව, තර්කය වෙනුවට අන්ධ විශ්වාසය, වැරැද්ද හෙළා දැකීම වෙනුවට නිහඬව ඉවසා සිටීම, බහුජන යහපත වෙනුවට ආත්මාර්ථයම පෙරදැරි කර ගත්, එය පුරුදු පුහුණ කළ සමාජයක් පැවතීම නිසාය. දේශපාලකයන් බිහිවූයේ ද එම සමාජ වටා පිටාවෙනි. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ මෙම දුර්ගුණ මැනැවින් හැඳින ගෙන ඒවා වඩාත් හොඳින් ඔපමට්ටම් කර ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වූ ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ග සේ ඉදිරිපත් කිරීමේ දක්ෂතාව ප්‍රගුණ කර තිබීමය. ඊට අපේ අධ්‍යාපනයෙන් මෙන්ම ආගමික භාවිතාවන්ගෙන් ද නොමඳ රැකුළක් ලැබිණ.


ආත්මාර්ථයෙන් මඬනා ලද සිත් සතන් ඇති අප කෙතරම් දුරට අවිද්‍යාවේ සහ මිථ්‍යාවේ ගිලී ඇත්ද යන්නට හොඳම නිදසුනක් වන්නේ ඡන්ද විමසීමට දින කීපයකට පෙර දැනට ශ්‍රී ලංකාවේ පවතින ප්‍රබලම වෘත්තීය සමිතිය ලෙස හැඳින්විය හැකි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකයන් තම ඡන්දය පාවිච්චි කිරීමේදී අනුගමනය කළ යුතු හෝ සැලකිල්ලට ගත යුතු කරුණු ගැන සඳහන් දස පනත යි. වෛද්‍යවරුන් හැටියට වෛද්‍ය විද්‍යාල තුළින් වරම් ලබන්නේ පාසල් අධ්‍යාපනයෙන් ඉහළම ලකුණු ගන්නා සිසුන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මෙම ක්‍රියා පටිපාටිය වෙනස් කිරීමට හෝ කඩ කිරීමට ගත් උත්සාහයන් එඩිතරව සටන් කොට පරාජය කිරීමේ ඉතිහාසයක් ද මෙම සංගමයට පවතී. ඒ වෘත්තියේ ගරුත්වය සහ ප්‍රමිතිය පවත්වා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කරන බවට ද සැකයක් නැත. ඡන්ද විමසීම ඔන්න මෙන්න තිබිය දී නිකුත් කරන ලද මෙම දස පනත ද එවැනි උත්සාහයක් වන්නට ඇත. එම දස පනත ජනමාධ්‍යයට ලබාදීමෙන් වෛද්‍යවරුන්ට පමණක් නොව සෙසු ජනතාවට ද එය ආදර්ශය ගැනීමට කෙරෙන පෙළඹවීමක් විය හැකිය. එම නිසා මේ රටේ වෛද්‍යවරුන් නොවන පුරවැසියන්ට මෙන්ම ඡන්දදායකයන්ට ද ඒ ගැන අදහස් පළ කිරීමට නිදහසක් සහ අයිතියක් ඇත. ඒ මෙම දස පනතේ ඇතුළත් සමහර කරුණු රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කළ හොත් සෙසු ජනතාවට ද එය බලපෑමක් වන නිසාය.


එහි පළමු පනත (එම පනත ඒ හැටියෙන්ම ඉදිරිපත් කිරීම ලිපියේ අවකාශයෙන් සීමාවක් වන නිසා අදහස පමණක් ඉදිරිපත් කිරීම සෑහේයැයි සිතේ.) අනුව ඡන්දය දිය යුත්තේ රටට අහිතකර ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එරෙහි වන අයෙකුට ය. රටට අහිතකර ද්විපාර්ශ්වික ගිවිසුම් මොනවාද යන්න එම පනතේ විස්තර කර නැත්තේ ද ඉඩකඩ නිසා වන්නට ඇත. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර ගෙන තිබු ප්‍රතිපත්ති ස්ථාවරය අනුව ඉන්දියාව හා සිංගප්පූරුව සමග අත්සන් කළ ද්විපාර්ශ්වික ගිවිසුම් රටට අහිතකරය. ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම අපේ රටට කෙතරම් අහිතකර වන්නේ ද යත් එම රටින් ප්‍රදානයක් වශයෙන් ලැබුණු ගිලන් රථ පවා මෙම වෛද්‍ය සංගමය ප්‍රතික්ෂේප කෙළේය. ඒවා රෝහල් භූමියක නවතා තැබීමට පවා එම සාමාජිකයෝ විරුද්ධ වූහ. එහෙත් එම විරෝධය නොතකා එවකට පැවති යහපාලන රජය ක්‍රියාත්මක විය. මෙතෙක් එම ගිලන් රථවලින් සැලසෙන සේවයේ අහිතකරභාවයක් වාර්තා වී නොමැත. එම නිසා අහිතකර ද්විපාර්ශ්වික ගිවිසුම් මොනවාද යන්න නිශ්චිතව සඳහන් කෙළේ නම් වෛද්‍යවරුන්ට කෙසේ වෙතත් සෙසු ජනතාවට කිසියම් අදහසක් ඇතිකර ගත හැකිය.


දෙවැනි පනත අනුව දේශීය සහ සාම්ප්‍රදායික අගයන් පිළිගෙන ඒවාට කැපවිය යුතුය. මෙහිදී නැවත ඇතිවන ගැටලුව වන්නේ දේශීය සහ සාම්ප්‍රදායික දැනුම හෝ අගයන් එම සංගමය පැහැදිලි කරන්නේ කෙසේද යන්නයි. මින් දේශීය වෙදකම අදහස් කරන්නේ නම් බටහිර වෛද්‍ය ක්‍රමය පවත්වා ගැනීමටත් එම ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් පුහුණු කිරීමටත් රජය මෙතරම් විශාල වියදමක් සහ සම්පත් කැප කිරීමේ තේරුමක් නැත. අයුර්වේද වෛද්‍යවරයෙකු පුහුණු කිරීමට වැයවන මුදල, බටහිර වෛද්‍යවරයෙකු පුහුණු කිරීමට වැයවන මුදලට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුය. එම නිසා වියදම අඩුකර ගැනීමේ අදහසින් මෙම යෝජනාව ඉතා වැදගත් ය. එහෙත් ඔවුන් සැබැවින්ම අදහස් කෙළේ එය ද යන්න සැකයකි. එසේ නැතිව දුම් ඇල්ලීම සහ කැඳ බීම නම් එය වඩාත් නිශ්චිතව පහදා දිය යුතුය.


තුන්වැනි පනතින් වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතියක් පවත්වා ගත යුතුය යන්නෙන් ඇති වන්නේ ව්‍යාකූලතාවකි. අවම ප්‍රමිතිය අදාළ වන්නේ බටහිර වෛද්‍ය අධ්‍යාපනයට නම් පළමු පනත සහ මෙය ගලපන ආකාරය පහදා දිය යුතුය.
කෙසේ වුවත් මෙම සාකච්ඡාවේ අරමුණ වන්නේ ඉහළම උගතුන්යැයි හැඳින්වෙන පිරිස්වල සිට පහළම සමාජ ස්ථරය දක්වා සියලු කොටස්වල විඥානයේ බරපතළ අවුල්සහගත තත්ත්වයක් පවතින බව පෙන්වා දීමට ය.


ඒ සඳහා තවත් නිදසුනක් දැක්විය යුතුය. ඒ රටේ ආරක්ෂාව පිළිබඳවය. රටක ආරක්ෂාවේ වැදගත්කම විශේෂයෙන්ම පසුගිය පාලන සමයේ සිදු කළ පාස්කු ප්‍රහාරයත් සමග විශේෂයෙන්ම වැදගත්ය. පැහැදිලිවම වළක්වා ගතහැකිව තිබූ එම ඛේදවාචකය දේශපාලනයේ මෙන්ම බුද්ධි අංශවල නොසැලකිල්ල සහ නොදැනුවත්කම නිසා සිදුවූ බවට සමාජයේ විවිධ අංශවලින් චෝදනා නැගිණ. විවිධ අපරාධ චෝදනා මත ඉහළම ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නිසා රජයේ බුද්ධි සේවයේ කඩා වැටීමක් වූ බව රණවිරුවන් යැයි තමන්ට පක්ෂපාත හමුදා නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින පොහොට්ටුවේ නායකයෝ ප්‍රකාශ කළහ. එම නිසා ජනාධිපතිවරණය ජය ගත් වහාම එම අසාර්ථකවීම ගැන කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිසමක් ද පත් කෙරිණ.


මෙම ජනාධිපති කොමිසමෙන් සහ ඊට පෙර පත් කර ඇති ජනාධිපති කොමිසම්වලින් අනාවරණය කර ගත් කරුණු, ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සකසා ගැනීමට කෙතරම් යොදා ගත්තේද යන්න වෙනම සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. මහජන මුදල් විශාල ප්‍රමාණයක් සහ ඒ සමාන වටිනාකමක් ඇති කාලය වැය කරමින් පැවැත්වූ කොමිසම් සභාවලින් ලබා ගත් දැනුම සහ භාවිතාව අල්පය. කෙසේ වුවත් මෙහිදී අවධානය යොමුවන්නේ ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි කොමිසම ඉදිරියේ දින ගණනක් ලබා දුන් සාක්ෂියේ එක කොටසක් ගැනය.


බුද්ධි සේවයේ ප්‍රධාන තනතුරට මෙම නිලාධාරියා පත්වන්නට ඇත්තේ එම සේවයේ පරිපූර්ණ අත්දැකීම් ලබා ගත් නිසා වන්නට ඇත. එම නිසා ඔහු කරන ප්‍රකාශ එක අතකින් ලබා ගත් පුහුණුවේ සහ අත්දැකීම්වල පිළිබිඹුවකි. අපේ ජාතික බුද්ධි සේවය ක්‍රියාත්මක වන ආකාරයට නිදසුනකි.


මෙම නිලධාරියා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් අලුත්ම සොයා ගැනීමක් ද ඉදිරිපත් කෙළේය. 2002 සිට 2015 දක්වා නීති විද්‍යාලයට ඇතුළත් කර ගත් මුස්ලිම් ආගමික ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාත විග්‍රහ කළ ඔහු 2012 වසරේ නීති විද්‍යාලයට ඇතුළත් කරගත් මුස්ලිම් ආගමික ශිෂ්‍යයන්ගේ පෙර නොවූ විරු වර්ධනයක් ඇති බව පෙන්වා දුන්නේය. එය සියයට 25ක් තරම් ඉහළ මට්ටමක පවතී. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසම ඉදිරියේ මෙම කරුණු ඉදිරිපත් කිරීමෙන් එම ප්‍රහාරය සහ නීති විද්‍යාලයට ඇතුළත් වන මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාව අතර සහසම්බන්ධතාවක් පවතින්නේ යැයි අදහස් කරනු ඇත. බුද්ධි අංශයෙන් මෙම තොරතුරු විශ්ලේෂණය කර ඇත්තේ එම නිසාය. එහෙත් 2012 වසරේ පෙර නොවූ විරු මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කරගැනීමත් පාස්කු ප්‍රහාරයත් අතර පැවති සහසම්බන්ධතාව ඔහු පැහැදිලි කළ බවක් ජනමාධ්‍යයේ වාර්තා වූයේ නැත.


අනෙක් අතට මෙම මුස්ලිම් සිසුන් ඇතුළත් කරගැනීම කුමන්ත්‍රණකාරී ලෙස සිදුවූ බවට තොරතුරු ද ඔහු ඉදිරිපත් කළ බවක් නොපෙනේ. ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් එල්ටීටීඊ යුද සමයේ උතුරු නැගෙනහිරින් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූ ශිෂ්‍යයන්ගේ ද මෙවැනිම වැඩිවීමක් පැවති බව සඳහන් කෙළේය. කෙසේ වුවත් නීති අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ත්‍රස්තවාදී කටයුතු අතරත් ඇති සහසම්බන්ධතාව සමහරවිට කොමිසම් සභාවේ අවසන් වාර්තාවේ සඳහන් වනු ඇතැයි අපට බලාපොරාත්තු විය හැකිය. එතෙක් අපට බැස ගත හැකි නිගමනය වන්නේ වෛද්‍යවරුන්ගේ දස පනතේ මෙන්ම මෙම සාක්ෂියේ පවතින විඥාන මට්ටමයි. විඥාන මට්ටම බොහෝ දුරට අප ලබන අධ්‍යාපනය මත රැඳෙන නිසා අධ්‍යාපනය නිවැරදි නොවන්නේ නම් නිවැරදි දැක්මක් ඇති සමාජයක් ගොඩ නොනැගෙන බවය. මැතිවරණ සමයේ ජනතාව හැසිරෙන්නේ ද එම විඥානය අනුවය. ඡන්ද ප්‍රතිඵලය සැබැවින්ම ජන විඥානයේ ප්‍රතිඵලයකි.


රටක් ගොඩ නැගීමට අවංකවම උනන්දු වන්නේ නම් ජන විඥානය උසස් මට්ටමකට පත් කිරීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් සැකසිය යුතුය. රටේ සංවර්ධනය, සෞභාග්‍යය සැබැවින්ම අගය කළ තුන්වැනි ලෝකයේ නායකයන් අනුගමනය කෙළේ එවැනි ප්‍රතිපත්තියකි. අධ්‍යාපනය නිවැරදි නොකර රටක් නිවැරදි මගට යොමු කළ නොහැකිය.


මීට හොඳම, වඩාත් අදාළ නිදසුනක් අපට වඩා භූමි ප්‍රමාණයෙන් පුංචි එහෙත් දැක්ම අතින් දැවැන්තයෙකු වන සිංගප්පූරුවෙන් ලබාගත හැකිය. සිංගප්පූරුවේ ලී කුවාන් යූගේ නායකත්වයෙන් යුත් ජනතා ක්‍රියාකාරී පක්ෂය මහජන ඡන්දයෙන් බලය ලබා ගත් විට මූලික ප්‍රමුඛතාව වූයේ අධ්‍යාපනය නගා සිටුවීම ය. එය රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම මානව සංවර්ධනයට අත්තිවාරම වන බව ලී ගේ අදහස විය. එම නිසා ඔහු බලයට පැමිණි පළමු වසරේ, 1962 දී රාජ්‍ය අයවැයෙන් සියයට 23.5ක් අධ්‍යාපනයට වෙන් කෙළේය. 1963-64 වසරේ දී සියයට 32ක් වෙන් කෙළේය. එය සමහර විට ලෝක වාර්තාවක් විය හැකිය. කෙසේ වුවත් ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසුව තුන්වැනි ලෝකයේ සිට පළමු ලෝකයට පිවිසුණු පුංචි රටේ ආදර්ශයයි. අපේ රටේ ද එවැන්නක් වන තෙක් පරිහානියට යන ගමන් මගේ නොනැවතිම යනු ඇත. වැදගත්ම මැතිවරණ ප්‍රතිඵලය එයයි.

1 COMMENT

  1. ලිපියේ අදහස් සමග සපුරා එකඟ වෙමි. ජන විඥානය මොට කිරීමට දිගු කලක් තිස්සේ ලංකාවේ හිත මතාම සිදු කෙරෙන වැරදි මාධ්‍ය භාවිතාව ද (විවිධ දේශපාලනික, ආර්ථික අරමුණු පෙරදැරි කරගෙන) ඉතා ඉහල මට්ටමකින් දායක වූ බව මගේ අදහසයි. එබැවින්, ජන විඥානය ඉහළ මට්ටමකට ගෙන ඒමට අධ්‍යාපනයට අමතරව ප්‍රශස්ත මාධ්‍ය කලාවක් පැවතීමද ඉතා වැදගත්ය. මේ සියලු දේ සඳහා පළමුව නායකයන්ට රට නගා සිටුවීමට දැක්මක් සහ අවංක වුවමනාවක් තිබිය යුතුය.

Comments are closed.