Law blue glowing binary matrix style background

නාලක ගුණවර්ධන
[email protected]

සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳව වසර ගණනක් තිස්සේ අපේ රටේ පැවත එන සමාජ සංවාදය නැවත වරක් මෑතදී මතුව තිබෙනවා.


මේ මාතෘකාව ගැන පසුගිය දශකයේ විවිධ අවස්ථාවල අප සාකච්ඡා කොට ඇති බව නිතිපතා පාඨකයන්ට මතක ඇති. සමාජ මාධ්‍යවල සමාජ බලපෑම වැඩිවත්ම මේ පිළිබඳව සංකල්පීය නිරවුල් බව රැක ගනිමින් මැදහත් ලෙසින් සංවාදශීලී වීමේ වැදගත්කමක් වැඩි වනවා.


ඉන්ටර්නෙට් ලෙස පොදුවේ හැඳින්වෙන විශාල හා විවිධාකාර වූ සයිබර් අවකාශය තුළ අපට හමු වන, ජනප්‍රිය වෙබ් වේදිකා වර්ගයක් නම් සමාජ මාධ්‍යයි (social media).


සමාජ මාධ්‍ය පුළුල්ව අර්ථ දැක්විය හැක්කේ නොමිලේ ගිණුමක් විවෘත කොට පිවිසි පසු, එහි තිබෙන වචන, රූප, හඬ, වීඩියෝ සහ බහුමාධ්‍ය අන්තර්ගතය පරිශීලනයටත්, ඒ ඕනෑම ආකාරයක අන්තර්ගතයක් අප විසින් ජනනය කොට ලෙහෙසියෙන් බෙදා ගැනීමටත් හැකියාව සලසා දෙන සේවා ලෙසයි.


ඕනෑම කෙනකුට අන්තර්ගතය ජනනය කිරීමට හෝ බෙදා ගැනීමට හැකි සමාජ මාධ්‍ය අන්තර්ගතය, ‘පරිශීලකයන් ජනනය කරන අන්තර්ගතය’ (user-generated content) ලෙස හැඳින්වෙනවා.

2020 අග දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රචලිත සමාජ මාධ්‍ය වේදිකා වූයේ Facebook (ලොව වැඩිම පිරිසක් භාවිත කරන වේදිකාව); YouTube (ලොව වඩාත්ම ජනප්‍රිය විඩියෝ බෙදා ගැනීමේ වේදිකාව); සහ Instagram (තම අදහස් ප්‍රකාශ කිරීමට පින්තූර යොදා ගන්නා වේදිකාව) යන සේවාවන් තුනයි.


මීට අමතරව වෘත්තිකයන් වැඩිපුර සැරිසරන LinkedIn වේදිකාවත්, ඉතා කෙටි සන්නිවේදන සඳහා උචිත ඔඅසඑඑැර වේදිකාවත් භාවිත කරන සැලකිය යුතු පිරිසක් සිටිනවා.

සමාජ මාධ්‍ය සහ ක්ෂණික පණිවිඩ හුවමාරු වේදිකා හෙවත් චැට් සේවාවන් එකිනෙකින් වෙන්කර තේරුම් ගැනීමද ප්‍රයෝජනවත්. සමාජ මාධ්‍ය මෙන් විවෘත නොවී, සංවෘත අවකාශයක් තුළ එකිනෙකා සමග පණිවිඩ හුවමාරු කර ගත හැකි චැට් සේවාවන් මෑත වසරවල ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී තිබෙනවා. WhatsApp, Viber, Imo සහ Facebook Messenger චැට් සේවාවන් මේ අතරින් වඩාත් කැපී පෙනෙනවා.


පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන් අයිති වන ජනමාධ්‍ය (mass media) සහ සමාජ මාධ්‍ය මූලධර්මීය වශයෙන්ම එකිනෙකට වෙනස්. එමෙන්ම වෙබ් අවකාශයේ හමුවන සෙසු අන්තර්ගතය සහ සමාජ මාධ්‍ය අතර ද වෙනසක් තිබෙන බව තේරුම් ගැනීම වැදගත්.


මුද්‍රිත සහ විද්්‍යුත් මාධ්‍යවල පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීන ලෙස සේවයේ නියුතු (එනම් වැටුප් හෝ ගෙවීම් ලබමින් කටයුතු කරන) මාධ්‍යවේදීන් ජනනය කරන අන්තර්ගතය සහ සමාජ මාධ්‍යවල පරිශීලකයන් ස්වයං ප්‍රකාශනය කරන අන්තර්ගතය අතර පැහැදිලි වෙනසක් තිබෙනවා.

මේ වන විට ආයතනගත ජනමාධ්‍ය බොහොමයක් ද වෙබ් අවකාශයේ සිය අන්තර්ගතය ප්‍රකාශයට පත් කරන නිසා ඒවා එකිනෙකින් වෙන්කර හඳුනා ගැනීම අවශ්‍යයි. මෙන්න ඒ සඳහා අත්වැලක්.

NalakaG-column-for-Ravaya-25-April-2021-2


එකිනෙකට වෙනස් වෙබ් අන්තර්ගතය පහදා දෙන්නට වසර කිහිපයක පටන් මා සරල උපමිතියක් (analogy) යොදා ගන්නවා.


ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන්) බොහෝ විට මහා පරිමාණයේ ව්‍යාපාර. ඔවුන්ගේ වෙබ් අඩවි ද ආවේණික සන්නාමයෙන් සහ වෙබ් ලිපිනයක (URL) පවත්වා ගෙන යන අතර අපේ උපමිතියට අනුව ඒවා සුපර්මාකට් වැනියි. මාධ්‍ය පාරිභෝගිකයන් ඒවායේ යම් ප්‍රමිතියක් බලාපොරොත්තු වෙතත්, සෑම විටම එය ලැබෙන්නේ ද නැහැ.


වෙබ්ගතව පමණක් පවතින ආයතනගත වූ මාධ්‍ය රැසක් බිහිව ඇති ඇති අතර, සමහරක් ඒවා රට ඇතුලේ සිටත්, අනෙක්වා රටින් පිට සිටත් පවත්වා ගෙන යනු ලබයි. පුවත් වෙබ් අඩවි, දේශපාලන මතවාද රැගත් වෙබ් අඩවි මෙන්ම ගොසිප් වෙබ් අඩවි රාශියක් මේ අතර තිබෙනවා.

මේවායින් සමහරෙක කතුවරුන් හෝ ප්‍රකාශකයන් ලෙහෙසියෙන් සොයා ගත නොහැකි වුණත්, අන්තර්ගතය තීරණය කරන යම් පිරිසක් ඒ පිටුපස අප්‍රකටව වුවද සිටිනවා. මෙවන් වෙබ් අඩවි තනි තනිව පවත්වා ගෙන යන කඩ සාප්පු වැනියි.


තමන්ගේම අනන්‍යතාව සහිත වෙබ් ලිපිනයක රැඳී සිටිමින් අන්තර්ගතය පළ කරන පුවත් වෙබ් අඩවි, මතවාද වෙබ් අඩවි හෝ ගොසිප් වෙබ් අඩවි කිසිවක් සමාජ මාධ්‍ය නොවෙයි.

සමාජ මාධ්‍ය වේදිකා හරහා කැරෙන තොරතුරු, අදහස් හා රූප හුවමාරු ඉහත කී දෙවර්ගයටම වඩා වෙනස්. සමාජ මාධ්‍ය යනු මහජන සන්නිවේදන වේදිකා මිස ආයතනගතව හෝ වෘත්තීය මට්ටමින් කැරෙන ජනමාධ්‍ය නොවේ.
අපේ උපමිතියට අනුව මේවා කලබලකාරී පොළක කැරෙන ඝෝෂාකාරී ගනුදෙනු වැනියි. සුපර්මාකට්වල, කඩ සාප්පුවල මෙන්ම පොළෙන්ද හොඳ දේ මෙන්ම නරක දේත් හමු විය හැකියි.


ඒ සෑම තැනකදී කරන්නාක් මෙන්ම හැම වෙබ් අවකාශයකදීත් සුපරීක්ෂාකාරීව වීම පාරිභෝගිකයාගේ වගකීමක්. මාධ්‍ය සාක්ෂරතාව මෙන්ම ඩිජිටල් සාක්ෂරතාවත් (digital literacy) වර්තමානයේ අත්‍යවශ්‍ය කුසලතාවක් වන්නේ එහෙයින්.


ඝෝෂාකාරී පොලක උපමිතිය යළිත් සිහිපත් කළොත්, සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ සන්නිවේදන අපට හමුවනවා. එහි හුවමාරු වන තොරතුරු, අදහස් හා රූප/විඩියෝ අතර හැම විදියේම අන්තර්ගතය තිබෙනවා. පෞද්ගලික ආ ගිය කතා, සාමීචි, දේශපාලන වාද විවාද, සමාජ හා ආර්ථික කතා මෙන්ම විනෝදාස්වාදය මතු කරන මීම් (memes) ඒ අතර තිබෙන අතර, ජාතිවාදය හෝ ආගම්වාදය හෝ කාන්තා විරෝධී ආකල්ප පතුරුවන අගතිගාමී අන්තර්ගතයන් ද ඇතැම්විට පැතිර යනවා.


නිශ්චිත පිරිසකට පමණක් කියවිය හැකි පෞද්ගලික සන්නිවේදන මෙන්ම ඕනෑම අයකුට දිස්වන පොදු සන්නිවේදන යන දෙවර්ගයම සමාජ මාධ්‍යවල ඕනෑ තරම් තිබෙනවා. මෙම ඉහළ විවිධත්වය නිසා වෙබ් ගත ජනමාධ්‍යවලින් සමාජ මාධ්‍ය පැහැදිලිවම වෙනස්.


සමාජ මාධ්‍ය භාවිත කරන මිලියන ගණන් ලක් ජනයා අතරින් ඒවා සමාජ විරෝධී හෝ නීති විරෝධී කටයුතු සඳහා අවභාවිත කරන්නේ සාපේක්ෂව සුළු සංඛ්‍යාවක් පමණයි. එහෙත් ඔවුන්ගේ ක්‍රියා නිසා සමාජ මාධ්‍ය සහ චැට් සේවා පිළිබඳ චකිතයක් සහ සැකයක් රටේ මතු වී තිබෙනවා.


සමාජ මාධ්‍ය අවභාවිතය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ පහත සඳහන් ලෙසටයි.

■ වෛරී ප්රකාශ (hate speech): තමන් නොරිසි පුද්ගලයකුට, ආයතනයකට හෝ ජන පිරිසකට එරෙහිව ද්වේශ සහගත ලෙස සන්නිවේදනය කිරීම


■ දුස්තොරතුරු (disinformation): වැරදි තොරතුරු සහ වැරදි විග්‍රහයන් සිතාමතාම සමාජයේ පතුරුවා හැරීම


■ සයිබර් හිරිහැර කිරීම් (cyber bullying): ආරූඪ නම් යොදා ගනිමින් යම් අයට දිගින් දිගටම බැණ වැදීම, තර්ජනය කිරීම, මුලා කිරීම. විශේෂයෙන්ම කාන්තාවන්, යෞවනයන්, ලිංගික සුළුතරයන් ආදීන් වැඩිපුර සයිබර් හිරිහැරවලට ලක් වනවා.


■ වෙබ් අනන්‍යතා පැහැර ගැනීම් (identity theft): සමාජ මාධ්‍ය ගිණුමකට පිවිසීම සඳහා පරිශීලකයාටම ආවේණික වූ මුරපදයක් (password) රහසිගතව තබා නොගෙන සමීපතයන්ට කීම හරහා අනවසරයෙන් ගිණුම්වලට පිවිස හානි කිරීම.

■ පෞද්ගලිකත්වය අතික්‍රමණය (privacy invasions): සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පෞද්ගලික තොරතුරු, ඡායාරූප ආදිය බෙදා ගැනීමේදී එය දිස්විය යුත්තේ කාටද යන්න අපට නිශ්චිතව තීරණය කළ හැකි වුවත්, ඇතැම් දෙනා ඒ ගැන නිසි අවධානයක් යොමු නොකිරීම හරහා වන අවභාවිතයන්.


සමාජ මාධ්‍ය සහ චැට් සේවාවන් කිසිසේත්ම ජනමාධ්‍ය නොවන බැවින්, ජනමාධ්‍යවලට බලපවත්වන නීති, නියාමන හෝ ආචාර ධර්ම එලෙසින්ම සමාජ මාධ්‍ය වේදිකාවලට අදාළ කළ නොහැකියි. සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳ අපේ රටේ බොහෝ සංවාද රාමුවෙන් පිට පනින්නේ මේ යථාර්ථය තේරුම් නොගැනීම නිසයි.


එසේම වුවද (ජනමාධ්‍යවලට අදාළ නීති නොව) රටේ සාමාන්‍ය නීති නම් භෞතික අවකාශයේ මෙන්ම සයිබර් අවකාශයේ ද බල පවත්වනවා.

යමකුගේ කීර්තිනාමයට හානිවන ලෙස අපහාස කිරීම, මානසික හිංසන කිරීම, කටකතා පතුරුවා හැරීම, වෛරී ප්‍රකාශ ජනනය පැතිරවීම ආදී ක්‍රියා භෞතික ලෝකයේ කළත් සයිබර් අවකාශයේ කළත් දඬුවම් ලැබිය හැකියි. වෙබ්ගතව ආරූඪ නාමිකව හෝ නිර්ණාමිකව වැරදි කරන පුද්ගලයන් පවා සයිබර් අපරාධ විමර්ශනය හරහා හසු කර ගත හැකියි.
බියෙන් සැකයෙන් තොරව ආරක්ෂිත වෙබ් අත්දැකීමක් ලබන්නට සෑම කෙනකුටම අයිතියක් තිබෙනවා. එම අයිතිය තහවුරු කිරීම නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙන්ම ඉන්ටර්නෙට් සේවා සපයන ටෙලිකොම් සමාගම් සහ සමාජ මාධ්‍ය හිමිකාර සමාගම්වල සාමූහික වගකීමක්.


එසේම නැණවත්ව සහ ප්‍රවේශම්කාරීව සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අවකාශයේ හැසිරීම හැම වෙබ් පරිශීලකයාගේම වගකීමක් ද වනවා.


මේ පසුබිම තුළ සමාජ මාධ්‍ය නියාමනය කෙසේ කළ හැකිද?
‘සමාජ මාධ්‍යවලට කිසිදු නීති හෝ නියාමන නැතැයි’ සමහරුන් කරන ප්‍රකාශය වැරදියි. ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා බහුතරයක් අමෙරිකාවේ හෝ යුරෝපීය රටවල ලියාපදිංචි සමාගම්වලට අයත්. මේ සමාගම්, සිය ව්‍යාපාරික ලියාපදිංචිය තිබෙන රටවල සියලුම නීති හා නියාමනවලට අනුකූලව ක්‍රියා කරනවා.


මීට සමාන්තරව සමාජ මාධ්‍ය වේදිකාවල සිදුවන සන්නිවේදන ස්වයං නියාමනයට (self-regulation) ද එම සමාගම් පියවර ගන්නවා.

සමාජ මාධ්‍ය වේදිකා හැම එකකම පාහේ එහි සාමාජිකත්වය ලබා ගන්නා සැමට අදාළ වන කොන්දේසි තිබෙනවා. ඒවායේ අරමුණ නීත්‍යනුකූල සහ ආචාර ධර්මීය ලෙසින් සන්නිවේදන සිදු කිරීමට රාමුවක් සැපයීම.


උදාහරණයකට ෆේස්බුක් වේදිකාවේ කොන්දේසි, ප්‍රජා ප්‍රමිතීන් (Community Standards) ලෙස හැඳින් වෙනවා. ෆේස්බුක් භාවිත කරන සැම පුද්ගලයකුම මෙන්ම සැම ආයතනයක්ම මේවාට අනුගත වීම අනිවාර්යයි.


ෆේස්බුක් වේදිකාව හරහා වෛරය පැතිරවීමට, සයිබර් හිරිහැර කිරීමට හෝ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩත්වයක් ඉස්මතු කිරීමට මේ ප්‍රමිතීන් ඉඩ දෙන්නෙ නෑ. ඒවා නොතකා ක්‍රියා කරන අයගේ ගිණුම් අත්හිටුවීමට නැතිනම් ඉවත් කිරීමට වේදිකා පරිපාලනයට අභිමතය තිබෙනවා.

ප්‍රජා ප්‍රමිතීන් කඩ කරන අන්තර්ගතය දුටු විට ඕනෑම ෆේස්බුක් සාමාජිකයකුට ඒ ගැන පරිපාලනයට සෘජුවම සහ රහසිගත ලෙසින් පැමිණිලි කිරීමටද හැකියි.

https://www.facebook.com/communitystandards/


මීට අමතරව ප්‍රජා ප්‍රමිතීන් කඩ නොකළත් දේශීය නීතීන් උල්ලංඝනය කරන යම් අන්තර්ගතයන් ඉවත් කරන ලෙස රජයන් ඉල්ලා සිටින එවන් අවස්ථාවලදී එකින් එක (case-by-case) සලකා බලා, අදාළ රටේ නීතියක් සැබැවින්ම කඩවී ඇතැයි තහවුරු වන විට අදාළ අන්තර්ගතයන් එකී රටට නොපෙන්වීමට ෆේස්බුක් පරිපාලනය පියවර ගන්නවා.
සමාජ මාධ්‍ය වේදිකා පරිපාලක මට්ටමෙන් සිදු කෙරෙන ස්වයං නියාමනය අංගසම්පූර්ණ එකක් නොවෙයි.

විශේෂයෙන් සිංහල සහ දෙමළ වැනි දේශීය භාෂාවලිනුත්, රූපමය ආකාරයෙනුත් සිදු කරන අතිවිශාල සන්නිවේදන සියල්ල නිසි පමණට අධීක්ෂණයට තවමත් ඇති තරම් කෘත්‍රිම බුද්ධිය සහ මානව නිරීක්ෂකයන් යොදවා නැහැ.
මේ නිසා ප්‍රජා ප්‍රමිතීන් කඩකරන ඇතැම් අන්තර්ගතයන් ඉවත් කිරීම පමා වනවා. එසේම ප්‍රමිතීන් එක එල්ලේ නොකඩා ඒවායේ ඇතැම් උභයාර්ථ (ambiguities) හරහා රිංගා යාමට ඇතැම් සටකපට පරිශීලකයන් උත්සාහ කරනවා.


ස්වයං නියාමනයේ අසම්පූර්ණතා නිසා, රජයන් විසින් නීති හරහා සමාජ මාධ්‍ය නියාමනය කළ යුතු යයි මතයක් ශ්‍රී ලංකාවේ මෙන්ම තවත් රටවල් ගණනාවක ද මතුව තිබෙනවා.

රටක් තුළ සිට අන්තර්ගතය කළමනාකරණය කැරෙන වෙබ් අඩවි එම රටේ නීති හරහා නියාමනය කිරීම ලෙහෙසි වුවත්, ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන වෙබ් අවකාශයන් හා සමාජ මාධ්‍ය වේදිකා පවතින්නේ තනි තනි රටවල අධිකරණ බලසීමාවෙන් (jurisdiction) ඔබ්බෙන්. ඒ නිසා යම් රටක් දේශීය නීති පැනවූවත් ඒවා ගෝලීය වේදිකාවන්ට අදාළව ක්‍රියාත්මක කිරීම දුෂ්කරයි.


සමහර රටවල් රාජ්‍ය බලය යොදා ගනිමින් ගෙන සමහර වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වේදිකා මුළුමනින්ම අවහිර කරනවා. එවිට එම රටේ ඉන්ටර්නෙට් පරිශීලකයන්ට ඒවාට පිවිසීම දුෂ්කර වනවා. චීනය, ඉරානය, උතුරු කොරියාව වැනි රටවල් එය නිරතුරු කරනවා. මෙය ඉන්ටර්නෙට් නිදහසට මෙන්ම මූලික මානව අයිතිවාසිකම්වලට ද එරෙහි වන නිසා, මෙබන්දක් කිරීම ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටකට කිසිසේත් සුදුසු නෑ.


සමාජ මාධ්‍ය මුළුමනින් වාරණය කිරීම දිගුකාලීනව පිළිගත නොහැකි නිසා, වාරණයට අඩු යම් නියාමන ක්‍රමවේදයක් සලකා බැලීමේ අවශ්‍යතාව තිබෙනවා.


ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා සිය රට තුළ ඇති කරන බලපෑම් සමනය කර ගැනීමට නීතිමය නියාමන ප්‍රවේශයන් දෙකක් ලොව විවිධ රටවල් මෑතක පටන් යොදා ගන්නවා.

■ පළමුවන ප්‍රවේශය නම් අවභාවිතයන්ගේ නීතිමය වගකීම ගෝලීය වේදිකා මතට පැවරීමයි (Social Media platform liability).


■ දෙවැනි ප්‍රවේශය නම් අවභාවිතයන්ගේ වගකීම මුළුමනින්ම පුද්ගල මට්ටමින් භාවිත කරන්නන් මතට පැවරෙන නීති සැකසීමයි (Social Media user liability).

පළමුවන ප්‍රවේශයට උදාහරණයක් වන්නේ 2018 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන ජර්මනියේ සමාජ මාධ්‍ය නීතියයි. NetzDG නම් කෙටි නමින් හැඳින්වෙන එයින් ගෝලීය සමාජ මාධ්‍ය වේදිකාවලට නීතිමය වගකීම් රැසක් පවරා තිබෙනවා.


එම නීතියේ සඳහන් කාණ්ඩ 22ක් යටතට වැටෙන නීති විරෝධි අන්තර්ගතයන් (illegal content) සමාජ මාධ්‍ය වේදිකාවක කවරකු විසින් වුවද පළ කර දින 7ක් ඇතුළත එය සොයා බලා ඉවත් කිරීමේ සම්පූර්ණ වගකීම වේදිකා පරිපාලකයන්ට භාර කැරෙනවා. එය නොකළොත් විශාල දඩ මුදල් ගෙවීමට සමාගම්වලට සිදු වනවා. යුරෝ මිලියන 50 දක්වා ඉහළ දඩ මුදල් නියම කළ හැකියි.


මේ දණ්ඩනවලට බියෙන් සමාජ මාධ්‍ය වේදිකා පරිපාලකයන් නීතියේ සීමා කොට ඇති අන්තර්ගතයටත් වඩා ඔබ්බට යමින් අනවශ්‍ය මට්ටමේ වාරණයට යෙදෙන බවට චෝදනා තිබෙනවා. විපක්ෂ දේශපාලකයන් හා උපහාස රචකයන් පළ කළ සහේතුක අදහස් පවා මාජ මාධ්‍ය පරිපාලකයන් ඉවත් කරලා.


ජර්මනිය සමාජ මාධ්‍ය සමාගම්වලට ආර්ථික වශයෙන් ඉහළ අගයක් තිබෙන වෙළඳපොළක් නිසා අන්තර්ගතය විමර්ශකයන් (content reviewers) සංඛ්‍යාව බෙහෙවින් වැඩි කොට නව නීතියට අනුගත වීමට සමාගම් උත්සුක වුණා. එහෙත් ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළඳපොළක් සහිත රටක් එවැනි දරදඬු නීති හඳුන්වා දුන්නොත් එයට අනුගත වනවා වෙනුවට සිය සමාජ මාධ්‍ය සේවා එම වෙළෙඳ පොළෙන් ඉවත් කර ගන්නට සමාගම් පෙළඹිය හැකියි.
දෙවන ප්‍රවේශයට උදාහරණ වන නීති අතර මියන්මාරයේ 2013 ටෙලිකොම් නීතිය හා 2018දී පනවනු ලැබූ බංගලාදේශයේ ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ නීතිය තිබෙනවා.


මෙය බිහිසුණු ප්‍රවේශයක් වන්නේ ෆේස්බුක් වැනි වේදිකාවක දේශපාලකයන්, මිලිටරිය හෝ ආගමික නායකයන් සහේතුකව සහ සාවධානව විවේචනය කරන පුරවැසියන් පවා මෙකී නීති යටතේ දැඩි දඬුවම්වලට යටත් විය හැකි නිසා. ආන්දෝලනයට තුඩු දෙන යමක් ප්‍රකාශ කළ තැනැත්තා පමණක් නොව, එයට සිය කැමැත්ත පළ කළ (ලයික් කළ) අයත්, අහිංසකව එය බෙදා ගත් (ෂෙයාර් කළ) අයත් දඬුවම්වලට ලක් වී තිබෙනවා!

මේ දෙකම ප්‍රශස්ත ප්‍රවේශයන් නොවෙයි. යම් රටක නීතියේ ආධිපත්‍යය (Rule of Law) හා අධිකරණයේ ස්වාධීනතාව තහවුරු වී නැතිනම්, මෙබඳු නීති හරහා සහේතුක දේශපාලන විවේචන පවා මර්දනය කිරීමේ අවදානම පවතිනවා.


ඉන්ටර්නෙට් තුළ පරිස්සම් වෙන අයුරුත්, අනුන්ට කරදරකාරී ලෙස හැසිරීම නොමනා දෙයක් බව සාකච්ඡා කිරීමත්, තමන්ට සමාජ මාධ්‍ය තුළ කරදරයක් සිදු වුවහොත් ගත හැකි පියවර පිළිබඳව සැමගේ දැනුවත් බව වැඩි කිරීමත් අවශ්‍යයි. මෙම ආකල්ප සහ කුසලතා සමුදාය ප්‍රවර්ධනය කිරීම ඩිජිටල් සාක්ෂරතාව කියා කියනවා.
මීට අමතරව පුවත් වෙබ් අඩවි සහ ගොසිප් වෙබ් අඩවි යනු සමාජ මාධ්‍ය නොවන ආයතනගත මාධ්‍ය ස්වරූපයක් නිසා, ඒවායේ වගවීම සඳහා වෙනම නියාමන ක්‍රමවේදයක් සකසා ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා.


සමාජ මාධ්‍ය නියාමනය සහ එවැනි සෙසු වෙබ් අන්තර්ගතය නියාමනය පටලවා නොගෙන වෙනම ප්‍රතිචාර දැක්විය යුතු අභියෝග දෙකක්. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here