සමාජ මාධ්‍යයන්හි පළවන විවේචන පිළිබඳව ආණ්ඩුව බියට පත්ව ඇති බවක් පෙනේ. ඒ ගැන කතිකාවත අලුත් වී තිබෙන්නේ සමාජ මාධ්‍ය ලියාපදිංචියට පියවර ගන්නා බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් කැරුණු ප්‍රකාශනයෙනි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙම විෂයේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මුහුණ දුන් ප්‍රශ්නයටම මුහුණ පා තිබේ. ඒ කලකදී රසවී කලකදි වහවීමේ අර්බුදයටය. ජනාධිපතිවරයා ආසන්න අවස්ථාවක සිදු කළ ජාතිය ඇමතීමේදීද ඔහුගේ විවේචනයට වැඩිපුර ලක්වූයේ සමාජ මාධ්‍යයයි. එසේ වූයේ ඇයි?


සමාජ මාධ්‍යවල තිබෙන වැදගත්ම ගුණය වන්නේ ඒ මොහොතේම යම් දෙයක් පිළිබඳව අදහස් පළකිරීමට ඇති හැකියාවය. එමෙන්ම අද සමාජ මාධ්‍ය තරම් උත්ප්‍රාසවත්ව දේශපාලන සිදුවීම් දෙස බලන වෙනත් මාධ්‍ය ඇසක් නැත. සමාජ මාධ්‍ය කෙතරම් උත්ප්‍රාසවත්ද කියනවා නම් ඔවුහු ආසන්න දිනක කාලි, තක්කාලි බවට පත් කළහ. එය වඩාත්ම රිදෙනු ඇත්තේ ධම්මික වෙද මහතාටත් වඩා ආණ්ඩුවටය. මන්ද ආණ්ඩුව කාලි අම්මාගේ රෙද්දෙන් හෝ විලි වසා ගන්නා තැනට පත්ව තිබෙන තත්ත්වය තුළය.


විශේෂයෙන්ම රටෙහි සිදුවන පරිසර සංහාරය ගැන ඉතා ඉක්මනින් වැදගත්ම තොරතුරු දැක්වීමට සමාජ මාධ්‍යයට පසුගිය සමයේ හැකිවිය. පරිසරය සංරක්ෂණය කරන බව දිවුරා කියූ ආණ්ඩුවක් පරිසරය නසන තීරණ ගෙන තිබෙන සැටි සමාජ මාධ්‍ය ඉතා කදිමට ඉදිරිපත් කළ අවස්ථා තිබුණි. පරිසර සංවේදීතාවන් නොතකා ක්‍රියා කරන ඇමතිවරුන් වන සංරක්ෂණ නිලධාරීන් සමග ගැටෙන හා විවාද කරන අයුරු ජනතාවට සමීප කෙට දැක්වූයේද සමාජ මාධ්‍ය විසිනි.
විසිවැනි සංශෝධනයේදීද සමාජ මාධ්‍ය ප්‍රබල විවේචන එල්ල කළේය. පුවත්පත් හෝ විද්‍යුත් මාධ්‍ය සැරසෙන විට සිදුවීම් ජනතාවට දැනුම්දීමට සමාජ මාධ්‍ය පොහොසත්වීම ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නයක් වන්නට ඇත. මාස කිහපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදය නමැති දඬු අඬුව අතට ගෙන සමාජ මාධ්‍යකරුවන් මර්දනය කරන තැනට ආණ්ඩුව පිවිසුණේ ඒ අනුව විය හැකිය. සමාජ මාධ්‍ය මගින් සිරිසේන මහතා බිංදුවට ඇද දැමූ ආකාරයට තමන් පත්විය යුතු නැති බව වත්මන් ජනපති ගෝඨාභය සිතනවා වන්නට පුළුවන. “මම තමා හොඳටම කරන්නේ” වැනි ගෝඨාභය මහතාගේ ප්‍රකාශ ඔස්සේ සමාජ මාධ්‍ය තුළ පළවූ උත්ප්‍රාසවත් වැකි මගින් සිරිසේන මහතාටත් වඩා සමාජ මාධ්‍ය ගෝඨාභය මහතා දෙස බලා සිටින බව ප්‍රත්‍යක්ෂ කරවයි.


සමාජ මාධ්‍ය කරන හෙළිදරව් කිරීම් සංයුක්ත ඉදිරිපත් කිරීම් නොවේ. ඒවා ඇතැම්විට ඒ මොහොතේ ආවේග බවට පත්වන අවස්ථා සුලභය. එහෙත් විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත්වලට සමාජ මාධ්‍ය මගින් කරන හෙළිදරව් කිරීම් සංයුක්ත විශේෂාංග බවට පරිවර්තනය කළ හැකිය. නිදසුනක් ලෙස සමාජ මාධ්‍යයෙහි පළවන පරිසර විනාශයක මූල තොරතුරු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයට ගැඹුරු ගවේෂණයකට ආශ්‍රය කරගත හැකිය. විශේෂයෙන්ම පුවත්පත්වලට අවශ්‍ය මූලික තොරතුරු පමණය. තොරතුරු හඹායෑම හා එය පරිසමාප්ත රචනයක් බවට පත්කිරීමේ ඉහළම පරිචය පුවත්පත් කලාවේදියා සතුය. තවත් අතකින් සමාජ මාධ්‍යයේ පළවන ඇතැම් යෙදුම් අතිශයින්ම නිර්මාණශීලීය. එහෙත් එම කෙටි උත්ප්‍රාසයන් කෙටියෙන්ම ඉවර කරනවා විනා තරමක් ගැඹුරට දිවෙන දීර්ඝ විවේචනාත්මක ලිවීම් බවට පත් කිරීමට සමාජ මාධ්‍යයට ශක්‍යතාවක් නැත. එම ක්‍රියාවලියත් අභ්‍යාස කළ හැක්කේ පුහුණු ජනමාධ්‍යවේදීන් සිටින සංවිධානාත්මක ජනමාධ්‍යයකටය. නූතන ජෝකරයා සමග සමාජ මාධ්‍යයෙහි පළවන කෙටි යෙදුම්වලින් නොගැඹුරු දේශපාලනඥයන් කෝප ගැන්විය හැකිය. ඒවා පොදු ජනයා දැකීමෙන් තමන්ට මහත් හානියක් සිදුවනු ඇතැයි නොගැඹුරු නායකයෝ සිතති. සමාජ මාධ්‍යයෙහි වත්මන් ආණ්ඩුව එල්ලෙන්නේ ඒ නිසා විය හැකිය. එහෙත් ආණ්ඩුව කළයුත්තේ සමාජ මාධ්‍යයට වැට බැඳීම නොවේ. කවර හෝ මාධ්‍යයක් තමන් රිදවන විවේචනයක් සිදු කරන්නේ මන්ද යන්න සොයා බලා එම හේතුවට පිළියම් යෙදීමය. නිදසුනක් ලෙස දෙසැ. 15න් පසු ගර්භනී මව්වරුන්ට දෙන පෝෂණ මල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන බව කියූ විට දෙසැ. 15න් පසු ‘රටේ කිසිවෙක් ගර්භනී නොවන බවට’ ආණ්ඩුව උපකල්පනය කරනු ඇතැයි සමාජ මාධ්‍යයේ උත්ප්‍රාසවත් අදහසක් පළවිය හැකිය. මේ ගැන ආණ්ඩුව සිනහා වනවාද, කෝප ගැන්වෙනවාද, නැතහොත් පොරොන්දු ප්‍රකාරව පෝෂණ මල්ල දිගටම ලබාදීමට කටයුතු කරනවාද?


ජනාධිපතිවරයා දොඩංගොඩ බදා ගත්තා සේ සියල්ල තමන් විසින්ම කළ යුතු බව සිතා ක්‍රියා කරන විට පළමු විවේචනය ආවේ සමාජ මාධ්‍යයෙනි. පුවත්පත්වල දේශපාලන විශ්ලේෂකයන් කළේ ජනපතිගේ ක්‍රමය ඒකාධිපතිවාදයකැයි න්‍යායිකව පෙන්වාදීමය. එහෙත් න්‍යායික විශ්ලේෂණ ගැන ජනපතිට වගේ වගක් නැත. එසේ වුවත් “මම තමයි හොඳටම කළේ” යන්න හාස්‍යයට ලක් කරන විට ඔහුට රිදෙයි. ජනපතිටත් කරුණු තේරුම් යන සාරගර්භවූත් විවේචනශීලීවූත් මගකට සියලු මාධ්‍ය අවතීර්ණ විය යුතුව ඇත. ■