ටිරන් කුමාර බංගගමආරච්චි

“මම දේශපාලන පක්ෂවලට මහත් සේ ආදරය කරමි. මක්නිසාදයත් අපට ඉතිරි වී ඇති දේශපාලනය කතා නොකරන එකම ස්ථාන එය වන නිසාය.”

ඔස්කාර් වයිල්ඞ්


මේ මොහොතේ ලංකාවේ දේශපාලනය යනු උමතු රෝගියෙක් බඳුය. එය පිස්සු නටන්නේ කොයි මොහොතේද යන්න හිතනවාට වඩා එය ඕනෑම මොහොතක පිස්සු නටනු ඇතැයි සිතිය යුතුය. 18, 19, 20 යන තුනම බරපතළ විදිහේ යම්කිසි පිරිසකගේ මැදිහත්වීම්ය. එදා 18 ගෙනෙන විට අත එසවූ පිරිස 19 ගෙනෙන විට එයටද අත එසවීය. ඉදිරියේදී 20 ගෙනෙන විටත් ඒ අත් සුපුරුදු පරිදි එසවෙනු ඇත. එසේ නම් මේ එකම පිරිස එක එක කාලවල එකම ආකාරයට හැසිරීමකි. ජනතාව කර ඇත්තේ ඒ අයගේ කල් ඉකුත් වන විට කල් දික් කිරීම හෝ කාලය අවසන් කිරීමට ඡන්දය දීමය.


ජනතාවට 18 හරහා වූ සෙතක් නැත. මොනතරම් තර්ක කළද 19 හරහාද මවන තරම් යහපතක් නොවීය. එසේ නම් 20 ගුණ අගුණ සොයන්නට සිදුව ඇත්තේ 18 සහ 19 යන දෙක පාදක කරගෙනය.


එදා 18 නරකයි කියන්නට ලොකු හයියක් මෙන්ම තදබල තර්කද නොවීය. එහෙත් 20 ගෙන එන විට එය නරක බව කියන්නට 19 ඇත. පසුගිය ටිකේම තර්ක ගොඩ නැගෙනුයේ 19 හොඳයි 20 නරකයි යන තැන සිටය.
මෙරට දේශපාලනයේ ඇත්ත ස්වරූපය දෙස බලන කල ව්‍යවස්ථාව යනු නිකං අල්මාරියේ දමා ඇති ලියවිල්ලකි. එහෙත් කැබිනට් එක හරහා සිදුවන්නේ බලයේ ඇති අයගේ බලහත්කාරකම්ය. 18, 19 20 තුනම හරහා සිදුවන්නේ එයය.


ආණ්ඩුවක හොඳම ක්‍රමය යහපාලනය යැයි සිතූ ආදර්ශය කුඩු පට්ටම් කළේ සිරිසේන සහ රනිල්ය. ඉන්පසු යා හැකි දුර නැවත රාජපක්ෂලාගේ වට ප්‍රමාණයෙන් කෙළවර විය. දැන් නැවත කරන්නට දෙයක් නැත. යහපාලනය ගෙනා 19 හොඳ නම් ජනතාව එය පිළිගත යුතුය. එහෙත් එය දැඩිව ප්‍රතික්ෂේප කළේය. යහපාලනය සමග 19ත් ප්‍රතික්ෂේප වූ බව කිවයුත්තේ අන් කවරදාටත් වඩා ජනතාව 19 ව්‍යවස්ථා සංශෝධනය දැන සිටි බැවිනි. එය කටපාඩම් කරන තැනට පසුගිය කාලයේ තල්ලු විය. කොටින්ම ජනතාව ව්‍යවස්ථාව ගැන උනන්දු වූයේ 19 සමගය. එසේ නම් එතරම් දැනුවත් ජනතාව යහපාලන ආණ්ඩුව ගෙදර යවනුයේ 19 නොව මොන සංශෝධනය වුවද රනිල්ට සහ සිරිසේනට කළ හැකි කෙරුවාවක් නැත යන තැන සිටය. වත්මන් රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට 19 ඉවත් කරන්නට ඡන්ද දුන්නා යැයි කීම නොබොරුවක්ම නොවේ. ජනතාව යහපාලනය සමග 19ද ප්‍රතික්ෂේප කළේය. අකමැත්තෙන් වුව එය පිළිගත යුතුය.
ගෝඨා ජනපති වූ සැණින් විස්ස ගෙන එනුයේ 19 ඉවත් කරන්නටය. එය ගෝඨාගේ ගමනේ පළමු පියවරය. යුද්ධ කර පුරුදු ගෝඨා මුලින්ම කරනුයේ සතුරු බලකොටු බිඳ දමා එහි නටබුන්ද විනාශ කිරීමය. 19 ඉවත් කිරිමත් එබඳු වැඩකි. විස්ස ගෙන එනුයේ එහි අලුත් ගමන ලෙසය.


දැන් 20 හොඳද නරකද යන විවාදය උපරිම තලයට පැමිණ ඇත. එහි අවසානය අධිකරණය හරහා තීන්දු වනු ඇත. විස්සට එරෙහිව පෙත්සම් 39ක් ඉදිරිපත් කොට ඇත. එය පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හරහා විභාගයට ගැනීම ආරම්භ කර ඇත. ප්‍රමාණය වැඩි කොට පීඩනය වැඩි කිරීම පෙත්සම් 39ක් දැමීම හරහා එළියට එන්නකි. එහෙත් ඔක්කොම කියනුයේ එකකි. එනම් 20 භයානක බවය. එය සම්මත කරන්නේ නම් තුනෙන් දෙකේ බලය පමණක් නොව, ජනමත විචාරයක්ද අවශ්‍ය බවය. නීතිය පිළිබඳ හසළ දැනුම ඇත්තෝ පවා මේ පෙත්සම් හරහා හෝ විරෝධතා හරහා කරනුයේ අවංකව විනාශයට එරෙහිවීම නොව, විනාශයක් යැයි කියාපෑමය. මේ දෙපැත්තම කරනුයේ රංගනයක්ය. 20ට එරෙහිව පෙත්සම් 39ක් ඉදිරිපත් කරද්දී පෙත්සම්වලට එරෙහිව අතරමැදි පෙත්සම් 36ක්ද දමා ඇත. ඒ අනුව විස්ස එපෝ කියන තරමටම විස්ස ඕනෑයි කීමත් සටන් පාඨයක්ය.


විස්සට එරෙහිව ලැබෙන තීන්දු කල් තියා කියන්නට අපි නොදනිමු. එහෙත් අනුමාන කළ හැකිය. එනම් අධිකරණය හරහා මේ පෙත්සම් ඉවතට විසිවිය හැකිය. එය බොහෝ දුරට සිදුවිය හැකි දෑය. අනෙක විස්සේ ජනමත විචාරයකට නොගොස් තුනෙන් දෙකේ බලය හරහා සම්මත කර ගත හැකි කොටස් සම්මත කරගැනීම සිදුවනු ඇත.

පෙත්සම්කරුවන් බලාපොරොත්තු වන ජනමත විචාරය ලැබුණා යැයි කියමු. එනම් එය අත උඩින්ම ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුව දිනනු ඇත. අවසානයේ මොන පාරෙන් ආවද සිදුවන්නේ විස්ස මුණ ගැසීමය. එය බල කණුවක් සේ ස්ථාපිත වීමය.


බලය ඇති කල බලය හසුර වන්නට යහපාලනයට නොහැකි වුවද රාජපකෂලා නියම හපනුන්නය. ඔවුන් මේ 20 ඉහළින්ම සම්මත කරගනු ඇත.


අගමැති බලය


අගමැති ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ ප්‍රසිද්ධියේ කියනුයේ අගමැතිගේ බලය අඩු වී නැති බවත් එය අගමැති අනුව වෙනස් වන බවත්ය. මේ මීට පෙර සතියේ ලියූ ලිපියේ සත්‍යයය. එනම් අගමැති නිකමෙකු වුවත් මහින්ද නිකමෙකු නොවේ යන ඇත්තය. විස්ස ඇතා නැතා රාජපක්ෂලා සෙල්ලම් කරනුයේ පුරුදු රටාවටමය. 18 ගෙනෙන්නට පෙර ඒ අය හිටියේද බලය උපරිම දරාය. මහින්ද ඇරුණු කොට සියල්ලෝ ගෝඨාට මෙන්ම බැසිල්ට එදත් බයය. ගෝඨා ආරක්ෂක ලේකම් ලෙස දේශපාලන වේදිකාවට නැග්ගේය. එය නීතියට පටහැනි කරුණකි. එහෙත් සිදුවූයේ කුමක්ද එයම වීමය. අද බැසිල් කිසිදු තනතුරක් නොදරනමුත් කැබිනට් ඇමති මණ්ඩලයම ඔහුට යටත්ය. මීට පෙරත් මේ ගැන ලියූවෙමි. එනම් රාජපක්ෂලා මොන ප්‍රශ්නය තිබුණද ගොදුරට පනිනුයේ එකටය. බලය බෙදාගත්තේ රිසි සේය. එහෙත් විපක්ෂය හිතනුයේ සහෝදරයන් ඇරගෙන පක්ෂය විනාශ වනු ඇතැයි යන්නය. ඒ දහවල් දකින හීනය. මොනතරම් අවුල් වුවද මේ අය ඒවා හරි ගස්සාගෙන ගමන යනු ඇත.


අලුත් ව්‍යවස්ථාව


ගෝඨා 20 ගෙනා පසු එයින් උපරිම දේ කරනු ඇත. එලෙස යන ගමන එකවර නතර වනුයේ අලුත් ව්‍යවස්ථාව හරහාය. එය වසරක් දෙකක් යන තැන ගෙනෙනුයේ පුටින් පන්නයට විය හැකිය. එයට ජනමත විචාරයක් තබා අනුමැතිය ඉල්ලනු ඇත. මේ ක්‍රියා දාමයන් කඩිනමින් කරලීමේ කසකාරයා විස්සය.


ගෝඨා රට වටේ යන්නේ නිකං නොවේ. බැසිල් යෂ්ටිය ගෙන ඇත්තේ නිකමට නොවේ. ඉදිරි පිම්ම උපරිම ජවයෙන් කරන්නටය. විමල් සහ ගම්මන්පිල්ලාගේ පැවැත්ම රාජපක්ෂලාගේ බල්ලාට හෝ තැන දී තම තැන රැක ගැනීමය. ඔවුන් දේශපාලනිකව දැන් අවලංගුය. ඒ අය කරනුයේ බැලමෙහෙවරකම්ය. ඔස්කා වයිල්ඞ් කල් තියාම දැක්කේ මේ යථාර්ථය. එනම් ඒ පක්ෂ නොකරනුයේම දේශපාලනයය. ඔවුන් කරනුයේ බැලමෙහෙවර කිරීමය. අප අද හැම පැත්තකින්ම දකිනුයේ මේ බැල මෙහෙවර කිරීමය. සිවිල් සංවිධාන කරනුයේත් එයමය.


එබැවින් මොනතරම් කතා කීවද විස්ස එනු ඇත. එය සම්මත වනු ඇත. මේ විරෝධතා හා හූවක් ඇතිවනු ඇත. ඉන්පසු සැමට විස්ස හොඳය. කතාබහ වෙන දෑ ගැනය. මේවා සීමිත පිරිසකට සහ ජනමාධ්‍යවලට මාතෘකාය. 20ට පක්ෂව හා විපක්ෂ මත කියා ටෙලිවිෂන්වල ආණ්ඩුවේ සහ විපක්ෂයේ අදහස් මුදා හරිති. ඒවායේ ආණ්ඩුවට කැමති අයට ආණ්ඩුවේ අය කියන දේ මසුරන්ය. එමෙන්ම විපක්ෂයේ අයට විරුද්ධව නැගෙන කතා ඉස්තරම්ය. එහෙත් අවසානයේ ජනතාවට ටික කලෙකින් මේ හැම අමතකය. එබැවින් මේ සියලු සටන් අතර තේරුම් ගතයුත්තේ කාලයක පටන් මෙරට දේශපාලනය යැයි පවතින දෑ තුළ ඇත්තේ ඒකාධිකාරීයක්ම යන්නය. පාලකයන් ඒකාධිපතියන්ම යන්නය. එය ගෝඨා පමණක් නොව, හිටපු සහ එන්න ඉන්න අය තුළත් දැකිය හැකිය. ලංකාවේ ඇත්තේ පුද්ගල සහ පවුල් දේශපාලනයකි. මේ තත්ත්වය ඉදිරියේදී වැඩිවනු මිස අඩු නම් නොවනු ඇත.


විස්ස නැතිවත් ජනපති ගෝඨා කියනුයේ චක්‍රලේඛ විසි කොට තමාගේ වාක්‍ය දේව වාක්‍ය කොටගෙන අදහන ලෙසය. කවුරුත් එයට විරුද්ධව අධිකරණයට නොයන්නේ ඇයි? 20ට යන පෙත්සම් විරුද්ධ 39 දෙනා අතර ඊට විරුද්ධ වන්නට බැරි ඇයි? බලයක් නැතිව මෙතරම් බලයක් පෙන්වනුයේ කෙසේද යන්න ප්‍රශ්න නොකරන්නේ ඇයි? මේ අයට බලය උපරිම ක්‍රියා කරන්න විස්ස වුවමනාවද? ගෝඨාට ඒකාධිපති වන්නට 20 අවශ්‍යමද? එසේ නැතිව ඔහු දැන් අහිංසකයෙක්ද? නිකමෙක්ද? අප කටුක වුවත් ඇත්ත තේරුම් ගත යුතුය. 20 ගෙන එනවාමය. පෙත්සම් විසිවිය හැකිය. ලොකු සද්ද හීනියට කෙඳිරිලි වී මැකී යනු ඇත. එය නරකම දේ විය හැකිය. එහෙත් කුමක් කරමුද? මේ රටේ පවතින්නේ උමතු දේශපාලනයක් නම් එයින් පාලනය වන ජනතාවද කරනුයේ ඒකා පිස්ස කියා පිස්සන්ව මග හැරීම මිස අන් කවරක්ද? එවිට පිස්සගෙන් හැමට කරදරයක් නැතිමුත් ඔහු නිදහසේ හැසිරෙයි. ඔහුගෙන් කරදර විය හැකි අයද සිටිය හැකිය. උමතු වූ කල තත්ත්වය එයය. ජේ.ආර්. කිව්වා සේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සපුරා ගත යුතුය. අඩු වැඩි වශයෙන් මෙතෙක් කල් සිදුවී ඇත්තේ එයමය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here