ටිරන් කුමාර බංගගමආරච්චි

”සියුස් මහ දෙවියා සිය සරණ මංගලෝත්සවය පවත්වන අවස්ථාවේදී හැම සතෙකුම ඔහුට ත්‍යාග ගෙන ආවේය. එහිදී සර්පයාද රෝස මලක් මුවින් ගෙන දෙව්ලොව බලා බඩගා ගියේය. එසේ සර්ප මුවින් ගත් රෝස මල් සියුස් වෙත පෑ අතර එවිට සියුස් දෙවියා මෙසේ කීය. ”අනෙක් සතුන් පාදයෙන් දෙන දෑ මම බාර ගන්නවා. එහෙත් උඹේ ඔය මුඛයෙන් නම් මට මොකවත් එපා.”


ග‍්‍රීක දේවකතා සාහිත්‍යය


ලංකාවේද ජනපතිවරුන්ට ඉල්ලන නහුතයකි. ඔවුහු ජනතාව අතරට විවිධ දේ රැුගෙන එති. ඒ අය අතරින් සර්පයාද රෝස මල් රැුගෙන ආ හැකිය. සර්පයාගේ මුවින් දෙන රෝසමල් ගන්නවාද නැද්ද යන්න ජනතාව සියුස් නුවණින් වටහා ගත යුතුමය.


ලංකාවේ මිනිසුන්ට ඉදිරියේදී පහසුවෙන්ම කළ හැකි වැඩ දෙකක් ඇත. එකක් පොතක් ලිවීමය. අනෙක ජනාධිපතිකමට ඉල්ලීමය. අද ලංකාවේ පොත් කියවන අයට වඩා ලියන අය වැඩිය. කොටින්ම පොත් කියවනවාට වඩා ලියන එක පහසුය. එමෙන්ම ජනාධිපතිකමට ඉල්ලීමත් අද මෝස්තරයකි. සැවොම තනිව කල්පනා කරනුයේ මේ රට හැදිය හැකි බවය. සුරපුරක් කළ හැකි බවය. එයට තමන්ම රට බාරගත යුතු බවය. පසුගිය කාලය තුළ මෙරට දේශපාලනය ඔප්පු කර ඇත්තේ එය ඕනෑම බූරුවකුට කළ හැකි බවය. දැන් අප එය අත් විඳිමු. තිස්පස් දෙනකු තරග වදින මහා ජනපති සටන දැන් විවෘතය. තිස්පස් දෙනකු සිටියද සැබැවින්ම තරගය ඇත්තේ දෙදෙනකු අතරේය. ඒ ගෝඨාභය සහ සජිත් අතරය. සෙසු සියල්ලෝම චූල ගණයේ තරගකරුවන්ය. අනුර කුමාර අධිතක්සේරුවකින් කල් ගෙවනු පෙනේ. එය දැන් මහේෂ් සේනානායකටත් බෝවී ඇත. දේශපාලනිකව හතර අතේ ගොස් නන්නත්තාර වූ පිරිස නවතින ගුබ්බෑයම ජවිපෙ වේදිකාව විය. දැන් එයට මහේෂ්ගේ අම්බලමද එකතු වී ඇත. මහේෂ් මෙන්ම අනුරද වටහා ගතයුත්තේ මේ බොහෝ අය ගිමන් හරින්නට මේ තැන්වල ලගින බවය. අවසානයේ මේ අය තම තම නවාතැන්වලට යනු ඇත. ගුබ්බෑයම්, අම්බලන් පාළුවනු ඇත.


නාගයා


පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලය හරහා ප‍්‍රබලතම ජනපති අපේක්ෂකයා වූයේ නාගානන්ද කොඩිතුවක්කුය. ඔහු සුපිරිසිදුම දේශපාලන චරිතය විය. ඔහු ඇරුණු කොට අනෙක් සැම අජපල්ය. මිනිසකු ඕනෑවටත් වඩා අවංක වන විට කොයිතරම් පරිස්සම් විය යුතුද යන්න නාගානන්ද රටටම කියා දුන්නේය. ජනාධිපතිවරණයට නාමයෝජනා නොදුන් ඔහු කීවේ තමාව රැුවටූ බවය. ‘ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ’ පක්ෂයෙන් තමාට නාමයෝජනා දෙන බවට පොරොන්දුව කඩකර ඔවුන් මහේෂ් සේනානායකට ඒ තැන දී ඇති බවය. මේ රට සුරලොවක් කරන්නට, හොරකම වංචාව නැති කරන්නට, අලූත් ව්‍යවස්ථා හදන්නට වලි කෑ මිනිසාය. පළමු තැනදීම ඔහුට රැුවටේ නම් ඔහු රටක් කරන්නේ කෙසේද? ඇත්ත නම් රැුවටුණේ ඔහු නොව ඔහු පසුපස ගියවුන්ය. මේ කෙටි කාලය තුළ ජනපතිට එනවා කියා ඔහු එකතු කොටගෙන ඇති මුදල මිලියන එකොළහකි. ඒ පිළිබඳ විමසද්දී ඔහු කියනුයේ ඒ මුදල් ප‍්‍රචාරණයට, දේශපාලන වැඩවලට වියදම් කොට හමාර බවත්, තමා දැන් ණය වීද ඇති බවය. ජනාධිපතිකමට නාමයෝජනාත් නොදී මිලියන එකොළහක් සොයා ගත හැකි නම් ජනපතිකමට නාමයෝජනා දෙනුයේ ඇයිද යන රහස දැන් ලිහාගත හැකිය. එන එන ආණ්ඩුවෙන් වරප‍්‍රසාද තනතුරු ගන්නා ඒඑස්පී ලියනගේ ජනාධිපතිට තරග කරන්නේ මේ නාග රහස කල්තියාම දන්නා නිසා නොවේද? තිස්පස්දෙනා ලබන වර සියදෙනා වුවද අප පුදුම විය යුතු නැත. ලංකාවේ මිනිසුන්ට එකම කතාව දස දහස් වාරයක් වුව කිව හැකිය. අවශ්‍ය වන්නේ කියන විදිහ වෙනස් කිරීමය. එවිට එය අලූත් කතාවකි. නාගානන්ද හදවත අතේ තියාගෙන කී සුරංගනා කතා මිනිසුන් මීට පෙර අසා නැත්ද? නාගානන්දටත් රැුවටිය හැකිනම් මහින්දට මේ ජනතාව රැුවටිය නොහැකිද? මීට පෙර කිසිවක් නොවූ ගාණට රාජපක්ෂලා දැන් කරළියට පැමිණ ඇත. එයම ආශ්චර්යයක් නොවේද?


ප‍්‍රී ෂූට්


සජිත් ජනපති අපේක්ෂකයා කිරීම සිදු වුවද ඉන්පසු නැවත මහ සමුළුවකදී එය අකිල-රනිල් එකතුව ස්ථීර කොට නැවත ජනගත කළේය. එය නූතන වෙඩින් සමග එන ප‍්‍රී-ෂූට් වැනිය. එදින කැපී පෙනෙන ජෝඩුව වූයේ රනිල් සහ හේමාය. ඒ පින්තූර කතා ගොඩක් කීවේය. රනිල් හේමාට අත්වැල සපයනවාද? හේමා රනිල්ට අත්වැල සපයනවාද යන්න විටෙක ප‍්‍රශ්නාර්ථයක් වුවත් කතාව පැහැදිලිය. එනම් සජිත්ට දිනන්නට නම් ජීවතුන් අතර නැති පේ‍්‍රමදාසට වඩා ජීවත්ව සිටින රනිල් වැදගත්ය. පේ‍්‍රමදාසගේ පුතා වීම නිසාම ග‍්‍රාමීය ආකර්ෂණයක් සජිත් ලැබුවද, දේශපාලන ආකර්ෂණයක් ලබන්නට නම් මැද පාන්තික හදවත් ආමන්ත‍්‍රණය කරන්නට නම් සජිත්ට රනිල් වුවමනාය. රනිල්ගේ අතේ මේ මොහොතේ එල්ලිය යුත්තේ හේමා නොව සජිත්ය. රනිල් අත්වැල සැපයිය යුත්තේ හේමාට නොව සජිත්ටය. ඒ සඳහා ඉක්මන් විය යුත්තේද සජිත්මය. රනිල් ඔහුගේ පරිත්‍යාගය කර අවසන්ය. සජිත්ට ජනපති අපේක්ෂකත්වය නොදුනහොත් ඔහු සිරිසේන සමග එකතුව තරග කරන්නට තිබුණු ඉඩ බොහෝය. රනිල්වාදීන් සජිත් එලෙස ගියද සජිත්ට නොදිය යුතුමැයි ස්ථාවරයේ සිටියා සහතිකය. පක්ෂයට අසීමිතව ආදරය කරන රනිල් පක්ෂය වෙනුවෙන් තම අඩිය පස්සට ගත්තා නියතය. පක්ෂය කැඞී සුණු විසුණු වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණම එජාපයට නොවන්නට ඔහු සජිත් ජනපති අපේ්ක්ෂකයා කළේය. එයට කරුගෙන්ද උපරිමය වූ බව අවිවාදිතය. කරු දිනිය හැකි අශ්වයකු නොවේ. එහෙත් හොඳ ජොකියකු බවද අමතක නොකළ යුතුය.


ප‍්‍රශ්නය අගමැතිද?


දැන් වේදිකාවල ඇසෙන සරල පැනය සජිත් ජනපති වුවහොත් අගමැති කවුද යන්නය. ගෝඨාභය ජනපති වුවහොත් අගමැති මහින්දය. එහෙත් කිසිවකුට ප‍්‍රශ්නයක් නැත. එහෙත් සජිත් ජනපති වී රනිල් අගමැති වුවහොත් හුටපටයකි. මේ සියල්ල දේශපාලන විකාරය. ගෝඨා ජනපති වන්නේ නම් මහින්ද අගමැති නොව ජනපතිද වන්නේය. ඒ බව මේ වනවිට ඔප්පු කරමින් සිටී. ගෝඨා යනු රූකඩ චරිතයක් බවට පත්වී ඇත. තනිකරම බලය කි‍්‍රයාත්මක කරන්නේ මහින්ද සහ බැසිල්ය. තමා පවුලේ අහිංසකයා යැයි ගෝඨා කියනුයේම පවුල තුළ තමා යටවී ඇති බව කීමටය. රටේ නායකයා වුවද මේ වසවර්ති අයියලාගෙන් ඔහුට ගැලවිය නොහැකිය. මේ වනවිට ගෝඨා නිකම්ම නිකං චරිතයක් වී ඇත. ප‍්‍රබල වී ඇත්තේ නැවත මහින්දය. මහින්දගේ පවුල තවත් පුළුල්වෙමින් පවතී. පුතුන් තිදෙනාම ජයටම මඟුල් කෑහ. මැතිවරණ පේන මානයේ සිට කන මේ මඟුල් තනිකරම දේශපාලනිකය. මේ ඡුන්ද කැම්පේන්ය. පුතුන් තිදෙනාගේම මඟුල් ගෙවල්වල මනමාලයා මහින්දය. මහින්ද යනු ඇඟ පුරාම ප‍්‍රචාරණවාදියෙකි. හෙට දවසේ ගෝඨා ජනපති වුවහොත් රට උලාකෑමට සිටින රාජපක්ෂ පවුල දැන් විශාලය. අයියලා, මල්ලිලාට අමතරව මාමලාවද රටම නඩත්තු කළ යුතුය. එහෙව් වටපිටාවක මහින්ද අගමැති වීම රනිල්ට වඩා භයානක යැයි කීම අතිශයෝක්තියක් නොවේ.


අනෙක් අතට සජිත් වැනි අයකු ජනපති වනවා නම් ඒ ආණ්ඩුවේ අගමැති වන්නේ රනිල්ද යන්න පැනයක් නොවේ. ජනපති ලෙස ජනතාව ගෝඨා තෝරා ගන්නේ නම් ඉබේම බලපත‍්‍රය මහින්දටද ලබාදී ඇත. එසේ නම් ජනතාව සජිත් ජනපති කරන්නේ නම් අගමැති රනිල් වීම ප‍්‍රශ්නයක්ද?


මේ දෙදෙනාම ආ කල සිද්ධවන්නේ නැවත පැරණි පාලනයන්ය කීම ජවිපෙ අලූත් සොයා ගැනීමක්ද? ජනතාව එය නොදන්නා බබ්බුද? තවමත් රට කැරකෙන්නේ මේ බලකඳවුරු දෙක වටාය. එනම් රාජපක්ෂ සහ වික‍්‍රමසිංහලා වටාය. සජිත් ආ කල රනිල් අහවරයි යැයි කවුරු හෝ හිතනවා නම් එය මුලාවකි. ලංකාවේ හැටියට දේශපාලන මහා කපටින් දෙපළ මහින්ද සහ රනිල්ය. අප මුලදී ලීවේ මෙරට දේශපාලනයෙන් ඉවත් කරනවානම් ඉවත් කළ යුත්තේ මේ දෙපළ බවය. එහෙත් ඉවත් කළ නොහැකිම චරිත දෙක වී ඇත්තේද මොවුන්ය. ඒ ඔවුන් ගොඩ නගාගෙන සිටින පරිණත දේශපාලන ඥානයයි. ඒවා සරලව අහකට කළ හැකි නොවේ. ඔවුහු කපන්න කපන්න දළුලා වැඩෙන ගස්ය. ඒවා මුලින්ම උදුරා විනාශ කළහොත් පක්ෂම විනාශ වන්නේය. එවිට සියල්ල අහවරය. ඒ මෝඩ වැඬේ කරන්නට කවුරු කැමති වේද? එසේ නම් ගෝඨා මහින්දව අගමැති කිරීම ප‍්‍රශ්න නොකරන අය සජිත් රනිල් අගමැති කරාවිදැයි නිදි නොලබා කල්පනා කිරීම විහිළුවක් නොවේද?


මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂ දෙකක් වන්නේ ආර්. පේ‍්‍රමදාස සහ මහින්ද රාජපක්ෂය. එක්තරා පිරිසකට කොටුවූ දේශපාලන අධිකාරිය වෙනම පාරකට ගත් දෙපළ මොවුන්ය. ඔවුන් දෙපළම විප්ලවවාදීන්ය. එබැවින් සරලව මේ දෙපළගේ අතු ඉති කපා දැමිය නොහැකිය. අද පැමිණ ඇත්තේ එහි දෙවැනි අදියරේ තරගයකි. එනම් මහ පක්ෂ දෙකේම කෙරුමන්ගේ දෙවැනි තරගයය. එසේ නම් මෙවර තීරණය වන්නේ එදා රැුඩිකල් පේ‍්‍රමදාසගේ ගමන දිනනවාද? මහින්දගේ ගමන දිනනවාද යන පැනයය. මෙහි විශේෂත්වය මහින්දගේ විප්ලවය පවුලකට සීමා වෙද්දී පේ‍්‍රමදාසගේ විප්ලවය පක්ෂයට සීමාවීමය. රාජපක්ෂලාට ගෝඨා දිනවීමට තම පවුල ප‍්‍රමාණවත්ය. එහෙත් සජිත්ට පක්ෂය නම් පවුලම වුවමනාය. එහි සජිත්ගේ මේ මොහොතේ සංකේතීය පියා රනිල්ය. රනිල් හේමාගේ අතින් අල්ලාගෙන යන විට නාමයෝජනා දෙන්නට සජිත්ට එන්නට තිබුණේ රනිල්ගේ ආශිර්වාදය ලබාගෙනය. විවෘත ආර්ථිකය හඳුන්වා දුන් එජාපය නොදන්නේම මාර්කටින්ය. එහෙත් ඊට සරිලන ලෙස මහින්ද ගෝඨාට තනිව හුස්ම ගන්නටවත් ඉඩ නොදෙන්නේය. නූතන දේශපාලනය යනු මාධ්‍ය සංදර්ශනය. රියැලිටි ෂෝය. එහි උපරිම දේ කරන්නා ජය ගන්නේය. දක්ෂතාව එහි දෙවැනි තැනය. ඒ තුළ හොඳම කථිකයා අනුර වුවට පළක් නැත. දැන් ඇත්තේ කතා අසන ජනතාවට වඩා රූප බලන ජනතාවය.


සරම ගැලවීම


මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වූ අය අතර සරම්කාරයෝ නොවෙති. එය එක්තරා විදිහකට ඇසට සුබ ලකුණකි. ගෙවුණු දේශපාලන ඉතිහාසය තුළ මෙරට බලය හෙබවූයේම සරම්කාරයෝය. මේ සරම් දේශපාලනය සටකපටය. එයින් ගම්‍යවන්නේ කලිසම්කාරයන් එසේ නොවන බව නොව, එසේ වුවද ඉහත තරම් නොවිය හැකි බවය. පේ‍්‍රමදාස, සරම ඇන්දාට සජිත් සිටිනුයේ කලිසමට බැසය. මහින්ද සරමට අමතරව සාටකයක්ද පැළඳියාට ගෝඨා සිටිනුයේ කලිසමේය. ඔහු පරපුරේ බූදලය වූ සාටකය නොපළඳී. කවදා හෝ රටේ ජනපති වෙතැයි සිහිනයක් වුව ඔහු තුළ නොතිබූ නිසා එය වූවා විය යුතුය. නැතහොත් නාමල් සරම සාටකය ඇඳියේ අනාගත නායක සිහිනය සිතේ දරාගෙනය. 2015 පරාජයක් ගැන නොසිතූ මහින්ද හිතුවේ ඉදිරියටත් තමාම හිඳ ඊළඟට පුතා ගෙනෙන්නටය. ඒ නිසා නාමල්ට සරම අන්දවා සාටකයද ඇන්දීය. ගෝඨා ලේකම් කෙනකු නිසා සාටක එල්ලාගෙන සරොම් ඇඳගෙන නගර අලංකාර කළ නොහැකි බැවින් පවුලේ පුරුදු අත්හැරියා විය යුතුය. දැන් ඔහු එය ඇඳීම රට විහිළුවක් වනු ඇත. මෝඩිගේ ඇඳුම ඇඳගත් සිරිසේන රටම හිනැස්සුවේය. මේ නිසා ඉදිරියේදී කවුරු ජනපති වුවත් ඒ කලිසම්කාරයෙක්ය. ජේත්තුකාරයෙක්ය. එසේ කියා ඕනෑම කලිසම්කාරයෙකුට අසුවිය යුතුද? සෑම මිනිසකුගේම ඇඟ ඇතුලේ හෙළුවැල්ලෙන් මිනිහෙක් සිටී. ඇත්ත එයය. ඒ නිසා වඩා සැලකිලිමත් විය යුත්තේ ඇඳුම් ගැන නොව අපිට අන්දන එක ගැනය. සර්ප මුවින් ගෙනෙන රෝස මල් පිළිගන්නවාද යන්න ජනතාව තදින්ම සිතිය යුතුය. ඊට සර්පයා හඳුනාගත යුතුය.