ටිරන් කුමාර බංගගමආරච්චි

වැරදි ආදර්ශ අවසානයේ ඉතිරි කරනුයේ නරක ප්‍රතිඵලමය. නිල්, රතු, කොළ කණ්ණාඩි දමාගෙන මේ පටලැවිල්ල ලිහා ගැනීම ලේසි සෙල්ලමක් නොවනු ඇත.


සමාජ මාධ්‍ය ජාලා හා ෆේස් බුක් හරහා විපක්ෂය ඉතා සාර්ථක මතයක් ව්‍යාප්ත කළේය. පසුගිය දින ටිකම ඇවිළී ගියේ එම ගින්නය. එනම් ජනපති වී වසරක් ගෙවෙන තැන ගෝඨා ෆේල් යන්නය. එය සර් ෆේල් ලෙස ජයට ඇවිලුණි. එය කුඩා වුන්ගේ සෙල්ලමක් ගාණට ගියේය. සර් ෆේල් කියමින් උසුලු විසුලු කරන තැනට වැඬේ තල්ලු විය. සර්ටත් තමා පාස්ද ෆේල්ද යන්න ප්‍රසිද්ධියේ නොකියා සිටීමට නොහැකි විය. ඔහු ජාතිය අමතා තමා පාස්ද ෆේල්ද යන්න ජනතා කැමැත්තෙන් ඔප්පු වන බව කීවේය. ජනතා කැමැත්ත තවමත් ඔවුන්ට බව පිළිගත යුතුය. ඒ අනුව කුමක් කළත් ඔවුන් තවමත් පාස් බව කිව යුතුය.


විපක්ෂය ගෝඨා ෆේල් කියද්දී ආණ්ඩුවේ මන්ත්‍රීවරු ගෝඨා පාස් කීවෝය. රතු, නිල්, කොළ පළඳින කණ්ණාඩිය අනුව ජනතාවද සමාජ මාධ්‍යවල ෆේස් බුක්වල ඒ ඒ මට්ටමට ඇර ගත්හ. දැන් පාස් ෆේල් කතාව ඉවරය. ඒ වෙනුවට අයවැය කියවමින් කාලය ගෙවේ. අපට විනෝද වීමට කාරණා ඇතිමුත් සැබැවින්ම ෆේල් වී ඇත්තේ කවුද? ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුවද? සජිත් ප්‍රමුඛ විපක්ෂයද? එසේ නැතිනම් ජනතාවද? පාස්ද? ෆේල්ද? ඒ අයම තීන්දු කරන විට ජනතාව ෆේල් වී ඇති බව ෆ්ලැට්වලින් එළියට බැස කොරෝනා නිසා හිරවුණු මිනිසුන් කෑගසද්දී නොවැටහේද? රටම ණය උගුලක හිරවී ඒ ණය ජනතාව පිට මත පටවද්දී ඒ ණය අදිමින්ම සර් ෆේල් නෑ කියන ජනතාව පාස්ද? සජිත්ලා නියම ව්‍යාපාරයක් කළේ සර්ටත් අන්තිමට සර් ෆේල් නෑ කියන්න වුණා කියමින් ඉහත කැම්පේන් එකේ අගය කිරා බලන විපක්ෂ වැසියෝ පාස්වී ඇත්තේ මොනවායින්ද? දෙපිල බෙදුණහොත් මේ දේශපාලන සෙල්ලම ඉතාම පහසුය. එහෙත් වෙනම ගළප්පා ගන්නට උත්සාහ කළහොත් ෆේල් වී ඇත්තේ කවුද යන්න ටක්කෙටම වැටහෙනු ඇත.


සිංහල බෞද්ධ


ජනපති ලෙස පත්වී රුවන්මැලිසෑය ඉදිරිපිට ජාතිය ඇමතූ ගෝඨා කතාව පටන් ගත්තේ තමා සිංහල බෞද්ධ ඡන්දයෙන් ජනපති වූ බව ලොවටම කියමිනි. වසරක් ගෙවෙන තැන නැවත ජාතිය අමතන ඔහු නැවත ඉතා තදට සිහි කරනුයේ තමා බෞද්ධ ඡන්දයෙන් ජනපති වූ බවය. මේ මොහොතේ එය අභියෝගයට ලක්වන තැනක් ඇත. එනම් තමාට අවැසි බලය විස්ස හරහා ලබා ගන්නට විස්ස සම්මත කරගැනීමට අඩුව පිරවූයේ විපක්ෂයෙන් ආ මුස්ලිම් මන්ත්‍රීවරුවීමය. එසේ නම් පහසුම තර්කය බෞද්ධ ඡන්දයෙන් ජනපති වුවද එය ඒකාධිපති ස්වරූපයට බලසම්පන්න කර ගත්තේ මුස්ලිම් මන්ත්‍රීවරු නිසාය. එහෙත් ගෝඨාගේ කතාව වැරදි නැත. ඔහු තවමත් බෞද්ධ ඡන්දයෙන් දිනූ කෙනාය. මුස්ලිම් මන්ත්‍රීවරු ඩීල්වල ප්‍රතිඵලය. බලය ගත් පසු එය රැක ගැනීමට රාජපක්ෂලා උපන් හපනුන්ය. ඒ සඳහා ඔවුන් නොදමන ඩීල් එකක් නැත. ඉතිහාසය පිරික්සන්නේ නම් ඔවුන් ප්‍රභාකරන් සමගත් ඩීල් දැමූ බව මතක තබාගත යුතුය. අවශ්‍ය මොහොතේ ශක්තිමත් වන්නට එජාපයේ ප්‍රබලයකුම වන කරු සමගත් ඩීල් දැමූ බව අමතක නොකළ යුතුය. ඒ ඩීල් පෞද්ගලික රැකවරණයට අවැසි මොහොතේදී රනිල් සමගත් දැමූ බව අමතක නොකළ යුතුය. එහෙත් ඩීල් ඩීල් ලෙසම වෙන් කරන්නටද රාජපක්ෂලා සමතුන්ය.


මීට පෙර මේ ලියවිල්ල ඇතුළේම මුස්ලිම් පිරිස ගෝඨා ඩැහැ ගන්නා බව ඇති පදම් ලීවේය. එපමණක් නොව, ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේද කෑලි ගලවා තම ගොඩ ශක්තිමත් කරගැනීමට රාජපක්ෂලා සමතුන් වන බව කිව යුතුය. එහෙත් පාස්, ෆේල් මතවාද මෙන් නොව ජනතාව තුළ ඒ අය ඉන්නේ පියෝ බෞද්ධ ලෙසය.


ප්‍රභාකරන් සමග කොපමණ ඩීල් දැම්මත් මහින්ද ජනපති වන්නට උදව් ගත්තත් සමාජ මතය කුමක්ද? රනිල් ප්‍රමුඛ එජාපය එල්ටීටීඊ ඩීල්කරුවෝ බවය. පාස්කුවත් සමග හිටපු ආණ්ඩුව චුත වූ අතර රාජපක්ෂලා ෆීනික්ස් කුරුල්ලා සේ මතුවිය. දෙමළා නැතිව පාළුවෙන් ඇට බෝල ගගහා සිටි බෞද්ධයාට කැටපොලු මානන්නට මුසල්මානුවා පොළොව මත අත ඇරියේ කවුද? එයට ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව කරගත් ගෝඨා අද හකීම් සහ බදියුදීන් නන්නත්තාර කොට ඔවුන්ගේ මන්ත්‍රී රොත්තම තමා පැත්තට ගෙන ඇත. එහෙත් ජනතාව දන්නේ කුමක්ද? මුස්ලිම් අන්තවාදය ඇත්තේ විපක්ෂය තුළ බවය. හකීම්, බදියුදීන් මිස අනෙක් අය ජනතාවට ගාණක් නැත. ඒ අය මේ පැත්තට ආවද අර මතය සෙලවෙන්නේද නැත. ඒ තරමට ඒවා බෞද්ධයා තුළ එන්නත් කර ඇත. ගෝඨා මෙන්ම රාජපක්ෂලා ෆේල්ද? ෆේල් යැයි උඩ පැනීමම මොනතරම් විගඩමක්ද?


විපක්ෂයේ සිටි ඩයනා ආණ්ඩුවට ආ පසු කොතරම් ක්‍රියාශීලීද? ඇයට වැඩිපුර කතා දෙන්නේ ඇයි? රාජපක්ෂලා රිද්දන්න ඕනෑ විදි දනිති. රිද්දන විදිද දනිති. බැසිල් ඡන්දයට පෙරම කීවේ ගෝඨා ටර්මිනේටර් කියාය. සැබැවින්ම ඔහු කම්මුතු කරන්නාය. ඔහු ඉදිරියට එන්නේ කවුද? ඒ මහින්ද වුව ඉදිරියේදී කම්මුතු වනු ඇත.


ලංකාවේ දේශපාලනයේ පාස් ෆේල් බැලීම විහිළුවකි. එහි බලය ගන්නා කිසිවකු ෆේල් වන්නේ නැත. සිරිසේන ගෙදර ගියේ ෆේල්වීද? පරම්පරාවක්ම ගොඩ දාගෙනය. රනිල් ගෙදර ගියාට ෆේල්ද? එසේ සිතීමම මුලාවකි.


ආණ්ඩු මොනතරම් ම්ලේච්ඡ වුවද එහි පීඩනය එනුයේ මාධ්‍ය සහ එයට එරෙහි වන සිවිල් ක්‍රියාකාරීන්ට විනා විපක්ෂයටද? ඩීල්කාරයෝ දෙපැත්තේම ඇත. හෙට විපක්ෂය ආණ්ඩුවක් පිහිටවන්නේ නම් එහාට පනින්නද කට්ටිය සිටිති. එහෙත් රාජපක්ෂලා සමග තරහා වන්නට මේ මොහොතේ බොහෝ අය බයය. එහි ප්‍රතිඵලය භයානක විය හැකි බැවිනි. එසේ නොවන්න ගෝඨා සංවේදී වූ සැණින් විමල්, ගම්මන්පිලගේ හිත් මෙළෙක් නොවේද? සංවේදී වී එසේ නම් ගෝඨා රළු වූ කල විමල්, ගම්මන්පිල කලිසමත් තෙමා නොගනීද?


මේ ආණ්ඩුව දුවනුයේ ණය මතය. එය අවුලක් නොවනුයේ ජනතාව ඒ පසුපස දුවනුයේ බය මත වීමය. ජනතාව කොතරම් බඩගින්නේ සිටියද නැවත එල්ටීටීඊ එක ඇතිවේදැයි බයය. මුස්ලිම් අන්තවාදය මතුව බෝම්බ පුපුරවතැයි බයය. විදෙස් ආක්‍රමණයක් එතැයි බයය. රටේ දේපළ විකුණතැයි බයය. අති බහුතරය එසේ වෙද්දී සෙසු අය ඒ කිසිවක් එසේ නොවේ යැයි ප්‍රසිද්ධියේ කියන්නට බයය. ඉහත බයවන හැම ප්‍රපංචයක්ම ගොඩනගන්නට එවිට මේ පිරිස ඇතිය. උතුරේ ජනයා කොතරම් පීඩා වින්දද? ඊට එරෙහි වුවහොත් දකිනුයේ කුමක්ද? නැවත කාගේ නැගිටීමක්ද? මුස්ලිම් අය තමන්ට වන අසාධාරණයක් වෙනුවෙන් හඬ නැගුවහොත් මුලින්ම කෑගසනුයේ කාදිනල් නොවේද? ආණ්ඩුව කාදිනල් කියන දේට පමණක් ඇහුම් කන්දෙනු ඇත. එවිට නිර්මාණය වන්නේ කුමක්ද? මේ අතරත් එසේ නොවේ යැයි කියන්නට යන අය සිටිය හැකිය. ඒ ටික කාලයකටය.


ඇත්තටම කල්පනා කළ යුතු වන්නේ එසේ වී ඇත්තෙත් ෆේල් වී ඇත්තෙත් කවුද යන්නය. මාධ්‍යයක් විරුද්ධ වුවහොත් ඒ මාධ්‍යයට මුලින්ම ගහන්නේ තවත් මාධ්‍යයක්ය. ඒ තරමට යුද උපක්‍රම හැම තැනමය. හමුදා නිලධාරියෙකුට රට දුන් කල එය හමුදා පාලනයක්මය. මේ තවම ආරම්භයය. කසකාරයන් එන නිසා පෙරහැර එන බව සැබෑය. එහෙත් අලි කුලප්පු වී පෙරහැර බැලිය නොහැකි වනු ඇතැයි කාට කිව හැකිද?