සුමිත් චාමින්ද

පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරය ලංකාවේ දේශපාලන සිතියම අනපේක්ෂිත වෙනසකට ලක් කළේය. ඒ වෙනස් වූ සිතියම කියවා ගැනීමෙන් තොරව පවත්නා තත්ත්වය පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයක් කළ නොහැකිය. පාස්කු ප‍්‍රහාරය ප‍්‍රධාන ධාරාවේ සියලූම දේශපාලන නායකත්වයන් පාහේ අර්බුදයට හෙළීය; නව නායකත්වයක් පිළිබඳ සමාජ අයැදුම තීව‍්‍ර කළේය; නව නායකත්වයන්ට අවකාශ විවර වූ බවක් පෙන්නුම් කළේය; පෙර නොවූ සන්ධාන ගැන සිතිය හැකි පරිසරයක් නිමැවීය; ගෝලීය දේශපාලන බල තුලනයේ නව තත්ත්ව තුළ ශ‍්‍රී ලංකාව කෙසේ තෙරපුමට ලක් වේදැයි අපට පසක් කර දෙනු ලැබීය; පවත්නා පිළිවෙළෙහි අස්ථාවරත්වය හෙළිදරව් කරලීය. මේ කෙටි ලිපියෙන් මා උත්සාහ කරන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව මෙරට දේශපාලන චිත‍්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම් සහ ඒවායෙහි දේශපාලනික ගම්‍යයන් විමසා බැලීමටය.


රාජ්‍යයේ ඓන්ද්‍රීය අර්බුදය


අද දිනයේ පවත්නා දේශපාලන අර්බුදයේ ස්වභාවය වටහා ගැනීමට නම් අප සවන්දිය යුත්තේ ශාස්ත‍්‍රාලීය බුද්ධිමතුන් හට නොවේ; ජාතිකවාදී හෝ ලිබරල්වාදී ප‍්‍රාඥයන්ට නොවේ; ඒ වෙනුවට මහමගදී, කඩ පිළේදී, වැඩපළේදී මුණගැසෙන මිනිසුන් හටය. ඔවුන්ගේ මුවඟ රැුව්දෙන ප‍්‍රකාශයක් නම් පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර යැවිය යුතුය යන්නයි. වඩාත් කෝප වූවෙකු 225 ම දියවන්නාවේ ගිල්වා දැමිය යුතු යැයි පවා යෝජනා කරනු ඇසේ. මේ ප‍්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කුමක්ද? සාම්ප‍්‍රදායික දේශපාලන නායකත්වයන් සියල්ල වෙතම එල්ල වූ පොදු කළකිරීමක් ජන සමාජය තුළ ගොඩනැගෙමින් පවතින බවයි. දේශපාලකයින් කෙරෙහි ඇති මේ පොදු විරෝධය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව පෙර නොවූ විරූ ලෙස වර්ධනය විය. ඒ, සියලූ මන්ත‍්‍රීවරුන් මේ විනාශකාරී ප‍්‍රහාරය කලින්ම දැන සිටියද ජනතාවට නොකී බව හෙළිදරව් වීම නිසාය. ඔවුන් එය වළක්වන්නට ක‍්‍රියා නොකොට තම තමන්ගේ පුද්ගලික ආරක්ෂාව ගැන පමණක් කල්පනා කළේය යන හැඟීම නිසාය; ඔවුන් ජනතාව බෝම්බ ප‍්‍රහාරවලට ලක්වන්නට ඉඩ හැර තමන්ට දේව ආරක්ෂාව පතා තිරුපති වන්දනාවේ ගියේය යන හැඟීම නිසාය.


මේ ජනතා නියෝජිතයින් සැබැවින්ම තමන්ව පත් කොට එවූ ජනතාව නියෝජනය කරයිද? ඔවුන් ජනතා අභිලාෂයන් ඉටු කරන්නට ප‍්‍රයත්න දරන්නේද? එය එසේ නොවේය යන විඥානය පැතිර යාමෙන් ගම්‍ය වන්නේ පාලකයා සහ පාලනය වන්නා අතර සම්බන්ධය අර්බුදයට පත්වෙමින් තිබේය යන්නයි. අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි නම් දේශපාලන න්‍යායවේදියා මෙවන් අර්බුදයක් හැඳින්වීම සඳහා යොදන යෙදුමක් නම් දේශපාලන අර්බුදය නොහොත් රාජ්‍යයේ ඓන්ද්‍රීය අර්බුදය යන්නයි.


ග‍්‍රාම්ස්චි දේශපාලන අර්බුදය නිර්වචනය කළේ ඓතිහාසික ජීවිතයේ යම් මොහොතකදී සමාජ කණ්ඩායම් තම සාම්ප‍්‍රදායික පක්ෂවලින් කැඞී වෙන්වන තත්ත්වයක් ලෙසයි. වෙනත් වචනවලින් කිවහොත්, සාම්ප‍්‍රදායික පක්ෂවල පවතින සංවිධාන ආකෘතිය සහ නායකත්වය සමග ඒවා සමග අනන්‍යවීමට එතෙක් කලක් ඒවායෙහි නායකත්වය පිළිගත් ජනයා තවදුරටත් සූදානම් නොමැති බවයි. මෙවන් අර්බුදයක ආරම්භක මොහොත ප‍්‍රචණ්ඩ විසඳුම්වලට පවා විවෘත වූවකි. මන්දයත්, දේශපාලන රඟමඬල තුළ එතෙක් දැන නොසිටි නව බලවේග සහ ”දෛවයේ මිනිසුන්” ලෙස පෙනී සිටින අය මේ මොහොතේදී දේශපාලනයට කඩා වැදිය හැකිය (සිරගෙයි සටහන් පොත්, ඉංග‍්‍රීසි සංස්කරණය, 1971, පි. 210. අනුග‍්‍රාහක දේශපාලනය ශ‍්‍රී ලංකාවේ වත්මන් අර්බුදය පූර්ණ වශයෙන්ම ග‍්‍රාම්ස්චියානු නිර්වචනය අනුයන ඓන්ද්‍රීය අර්බුදයක් යැයි කිව නොහැක. මන්දයත්, දැනට සියවසකට පෙර ඉතාලියේ පැවති තත්ත්වය සමග සැසඳිය නොහැකි ඇතැම් ඓතිහාසික සහ ප‍්‍රාදේශීය සුවිශේෂතා සමකාලීන ලංකාව තුළ අපට හඳුනාගත හැකි බැවින්ය. ඒ අතුරින් වැදගත් සුවිශේෂත්වයක් නම් සෙසු දකුණු ආසියාතික දේශපාලන සැකසුම්වලට සමගාමීව ශ‍්‍රී ලංකාවේද මැතිවරණ දේශපාලනය මුළුමනින්ම පාහේ අනුග‍්‍රාහක-සේවාදායක බැඳීම් ජාලයක් අනුව සංවිධානය වී තිබීමය. අනුග‍්‍රාහක දේශපාලනය මෙරට කොතරම් ප‍්‍රචලිත වී තිබේදැයි කිවහොත් තම පාක්ෂිකයන්ට රස්සා ලබාදීම තමන්ගේ අයිතියක් යැයි ප‍්‍රධාන ධාරාවේ සෑම පක්ෂයක්ම පාහේ කල්පනා කරන බව පෙනේ. ලාංකීය ලිබරල්වාදීන්ගේ සහාය හිමිවන එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහට ඉතාම සමීප ඇමතිවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රසිද්ධියේම අසා ඇති ප‍්‍රශ්නයක් නම් විශාල කලක් විපක්ෂයේ සිට බලයට පැමිණි තමන් තම පාක්ෂිකයන්ට සැලකීමේ ඇති වරද කුමක්ද යන්නයි. මේ අනුව, ශ‍්‍රී ලංකාවේ නියෝජිතයා සහ නියෝජනය වන්නා අතර ඇති සම්බන්ධය සකස්ව ඇත්තේ දෘෂ්ටිවාදීමය සහ දේශපාලන නියෝජනයේ බැමි මගින් පමණක් නොව අනුග‍්‍රාහක දේශපාලනයේ බැමි රැුසක්ද මගින්ය. මේ දිනවල විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කල් තමන්ට මග හැරී ගොස් තිබුණු ප‍්‍රාදේශීය තලයේ අනුග‍්‍රාහක කටයුතු සඳහා උනන්දු වෙමින් සිටින බව පෙනේ. ග‍්‍රාම්ස්චි යෝජනා කළේ දේශපාලන අර්බුදයට විසඳුම් ලෙස සාම්ප‍්‍රදායික පක්ෂ අභ්‍යන්තරිකව ප‍්‍රතිසංස්කරණය වීම, නව සන්ධාන ගොඩ නගා ගැනීම සහ නව නායකත්ව ශ්‍රේණීන් මතුකර ගැනීම යනාදී විසඳුම් සොයා ගන්නා බවය. ලංකාවේ ඊට අමතරව අනුග‍්‍රාහක දේශපාලන බැමි නැවත ගොඩ නැගීමද අර්බුදය කෙරෙහි දක්වන විසඳුම් ප‍්‍රවේශ අතර වේ. එසේම, විශේෂයෙන්ම පසුගිය දශක හතර තුළදී දේශපාලනය ධනෝපායන මාර්ගයක් ලෙස ආයතනිකව හැඩ ගැසීමද ඉහත කී අනුග‍්‍රාහක දේශපාලනයේ වඩාත් වර්ධනීය ස්වරූපයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව, දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර කේවල් කිරීම ව්‍යාපාරික ගනුදෙනුවක ආකෘතිය ගනු ලැබ ඇත. දැන් ප‍්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ වඩා බලවත්ව ඇත්තේ ”දේශපාලන-ව්‍යාපාරික කල්ලි” ලෙසින් හැඳින්විය හැකි කණ්ඩායම්ය. ප‍්‍රධාන දක්ෂිණාංශික පක්ෂ දෙකේ ආර්ථික ප‍්‍රවේශ අතර සැලකිය යුතු වෙනස්කමක් නොමැති තත්ත්වය තුළ දැන් ඕනෑම අතකට බල කේවල් කිරීම සිදුවිය හැකිය. සුළු ජනවාර්ගික සහ ආගමික පක්ෂද මේ කේවල් කිරීමේ දේශපාලනයේ චරිත රඟ දක්වන්නන්ය. කෙසේ වුවත්, කේවල් දේශපාලනය තුළදී ගන්නා තීරණ වුවත් සුජාත කළ හැකි විය යුතුය. නැතහොත්, තම කේවල් කිරීමේ බලයේ මූලාශ‍්‍රය වන ජන්ද පදනමට කෙළ විය හැකිය. දේශපාලකයින්ට එරෙහි දේශපාලනයක් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව දේශපාලකයින්ට එරෙහිව යොමු වූ පොදු විරෝධය සංවිධානය කිරීමට ලංකාවේ වාමාංශික නායකත්වයන් මුළුමනින්ම අසමත් විය. ඒ මොහොතේ ”දේශපාලන ප‍්‍රභූතන්ත‍්‍රයට එරෙහිව ජනතාව” යන ජනතාවාදී/ජනප‍්‍රියවාදී උද්ධෘතය වටා ගොනුවන නව පෙරමුණක් සඳහා අවකාශයක් විවර විය (ඒ අවකාශය තවමත් මුළුමනින්ම වැසී ගොස් නොමැත. වත්මනෙහි යුරෝපයේ සිට ආසියාකරය කරා හමායමින් තිබෙන දක්ෂිණාංශික මෙන්ම වාමාංශික ජනතාවාදී/ජනප‍්‍රියවාදී දේශපාලන රැුල්ල පදනම් වන්නේ මේ උද්ධෘතය වටාය. ලංකාවේ වාමාංශික නායකත්වයන්ට වැදගත් දේශපාලන මොහොතක් මග හැරී යමින් තිබේ. ඒ හිඩැස පුරවන්නට පෙරට එමින් සිටින්නේ වඩාත් අන්තවාදී වාර්ගික සහ ආගමික කණ්ඩායම්ය.


පසුගිය සති කිහිපයේදී දේශපාලන නායකත්වයේ සුජාතභාවය බිඳ වැටීමට සමගාමීව ආගමික නායකත්වයන් සහ හමුදා නායකත්වයේ ඇතැම් කොටස් පවා පෙරට එනු දක්නා ලදි. කාදිනල්තුමෝ පෙරහැරේ මුලින්ම වැඩම කළෝය. ඉන්පසුව රතන හිමිගේ උපවාස ජවනිකාව ඇරඹුණි; නලින් ද සිල්වා කලකට පසුව නැවත අවදි වී ශ‍්‍රී ලංකාව නැවත සිංහල බෞද්ධ රටක් කිරීමේ ව්‍යාපෘතියට පණ දෙමින් සිටී. හමුදාපතිවරයා පවා තරමක් අසාමාන්‍ය ලෙස දේශපාලන ගම්‍යයන් සහිත ප‍්‍රකාශ නිකුත් කරනු දක්නා ලදි.


නමුත්, මෙරට ප‍්‍රජාතාන්ත‍්‍රික, ලෞකිකවාදී සහ වාමාංශික බලවේග වටහාගත යුතු කාරණය නම් මේ ආගමික සහ වර්ගවාදී දේශපාලනයක් කරා දිශානත විය හැකි ප‍්‍රවණතා හිස ඔසවන්නේ සාම්ප‍්‍රදායික දේශපාලන නායකත්වයන්ට එරෙහි පොදුජන විරෝධය සංවිධානය කිරීමට තමන් අසමත්වීමේ පසුබිම තුළ බවයි. යම් හෙයකින් වාමාංශික පක්ෂ, සංවිධාන, කම්කරු නායකයින්, ගොවි නියෝජිතයින්, ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්, කලාකරුවන් සහ ශිෂ්‍ය නායකයින් එක්ව ජනතාව මෙතෙක් නොදත් ජනතා දේශපාලනයක් වෙනුවෙන් ඉදිරිපත් වේ නම් එවන් විකල්පයක් සඳහා සැබවින්ම ඉඩක් පවතී. ජනතාවට අවශ්‍ය නව බලාපොරොත්තුවකි; බලාපොරොත්තුවේ දේශපාලනයකි; දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රය වෙනුවට සැබෑ ජනතා නියෝජන ආයතනයකි. මෙවන් වාමාංශික ජනප‍්‍රියවාදී විසඳුමක් විය හැක්කක් කිරීමට නම් පළමුව වාමාංශිකයන් තම තමන් අතර පවතින පටු කල්ලිවාදී බෙදීම් ඉක්මවා ගිය සාමූහිකත්වයේ දේශපාලන ප‍්‍රවේශයකට පිවිසිය යුතුව ඇත; දෙවනුව, ආර්ථිකය, අධ්‍යාපනය, පොදු සේවා, සංස්කෘතිය, මාධ්‍ය යනාදී සෑම ක්ෂේත‍්‍රයක්ම ආවරණය වන පුළුල් ජන සහභාගී ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සමත් විය යුතුය; තෙවනුව, මැතිවරණ දේශපාලනයේ අධිපති අනුග‍්‍රාහක-සේවාදායක සබඳතා ජාලය නිර්මාණශීලීව බිඳ හෙළන්නේ කෙසේද යන උපායික ගැටලූව විසඳාගැනීමේ ක‍්‍රම සෙවිය යුතුව ඇත.


මේ කිසිවක් කළ නොහැකි දේ නොවේ. වාමාංශික ජනතාවාදී නායකත්වයක් මතුව මෙවන් ඓන්ද්‍රීය විසඳුමක් ඉදිරිපත් කිරීමට අසමත් වුවහොත් සිදුවනු ඇත්තේ සාම්ප‍්‍රදායික දේශපාලන නායකත්වය කෙරෙහි කළකිරී සිටින ජනයාගෙන් සැලකිය යුතු කොටසක් නැවත වටයකින් වඩා විනාශකාරී දිශානතියක් කරා රැුගෙන යාමට දක්ෂිණාංශික ආගමික සහ ජනවාර්ගික ජනප‍්‍රියවාදයන් සමත්වීමයි.


මේ මොහොතේදී ප‍්‍රධාන දේශපාලන කඳවුරු දෙකේ ගණන් බැලීම් මොනවා වුවද, ඉදිරි මහා මැතිවරණයකින් පසුව යළිත් වරක් ඊනියා ජාතික ආණ්ඩු විසඳුමක් ඉදිරිපත් වීමේ විශාල ශක්‍යතාවක් තිබේ. එය රනිල්-මහින්ද සන්ධානයක් වීමට වුවද හැකිය. මන්ද යත්, සමානුපාතික නියෝජන ක‍්‍රමය පැවතියදීම විධායක ජනාධිපති බලතල අඩු කරන ලද පසුබිමක තනි පක්ෂයකට ස්ථාවර ආණ්ඩු හැදීමේ හැකියාවක් තවදුරටත් නොමැති බැවිනි. මගේ අදහස නම්, ගෝලීය මූල්‍ය ආයතන සහ ලංකාවේ අභ්‍යන්තර දේශපාලන සිතියම හසුරුවන බලවතුන් පවා මෙවන් විසඳුමක් ප‍්‍රිය කරනු ඇතැයි යන්නය.


නමුත්, ඒ සියල්ල ග‍්‍රාම්ස්චිගේ වචනයෙන් කිවහොත් සියල්ල පවත්නා අයුරින්ම පවත්වා ගැනීම සඳහා යම් දෙයක් වෙනස් කිරීමක් පමණි. දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රයට එරෙහි ජනතාවගේ දේශපාලනයක් ගොඩ නැගීමේදී ප‍්‍රධාන පක්ෂ තුළින් මතු විය හැකි ජාතික ආණ්ඩු ප‍්‍රයානයක් වෙත්නම්, එය බාධාවක් නොව ආශීර්වාදයක් ලෙස සැලකිය යුතුය.