දිනී ජයසේකර


වත්මන් රජය 2019 බලයට පත්වනවාත් සමග සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට පිට පිට ගැසට් තුනක් නිකුත් කරමින් මිල සංශෝධනය කළා මතකය. නමුත් කඩ හිමියන් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ පාලන මිල නොතකා වෙළදපොලේ සහල් අලෙවි කරන බව වෙළදපොලට යන පාරිභෝගිකයා ප්‍රායෝගිකව අත් වින්දේය, සහ විඳිමින් සිටින්නේය. මේ පිළිබද යම් අයෙක් කඩ හිමියාගෙන් ප්‍රශ්න කරන්නේද ඊට කඩ හිමියා ලබා දෙන පිළිතුර වන්නේ වෙළදපොලේ සහල් හිඟයක් නිර්මාණය වී ඇති නිසා පවතින මිලට සහල් අලෙවි කර නොහැකි බවය. ඔහු එසේ තමන්ව සාධාරනීයකරණය කර ගැනීමට උත්සහ කරන විට කාටත් අසීරු දින කිහිපයේ පාරිභෝගිකයා නගන ප්‍රධානම චෝදනාව වන්නේ වෙළදපොලේ සහල් සඳහා පාලන මිලක් නොමැති බැවින් තම ආහාර අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකි වීම නිසා අපහසුතාවයට පත්වඇති බවය.


මෙම ලිපිය ලියන අවස්ථාවේ බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇති මොහොතකි. ගෝලීය වශයෙන් පැතිරෙමින් ඇති කෝවිඞ් 19 වසංගතය රටේ ආර්ථිකයට සේම මහජනතාවගේ පසුම්බියටද බෙහෙවින් අසහනකාරී ලෙස බලපැම් කරනු ඇති බව අපි දනිමු. එවැනි වටපිටාවක රජයක් විසින් මහජන සුබසිද්ධිය සදහා වැඩි අවධානය යොමු කළ යුතු බව ඔවුනට නොතේරෙනවා විය නොහැක. යම් රටක රජයන් විසින් මහජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සදහා උපරිම මිලක් පැමිණෙනතාක් නිහඬ පිලිවෙතක් අනුගමනය කරනවා යනු එය ඛේදවාචකයකි.


ගැසට් නාඩගම සහ සහල් මිල


ගෝඨාභය රාජපක්ෂ 52%කින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවාත් සමගම 2019 දෙසැම්බර් 19 වනදා සිට බලපැවැත්වෙන අංක 2154/19 යටතේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සදහන් පරිදි සුදු/රතු සම්බා (කීරි සම්බා සූදුරු සම්බා හැර ) සහල් සදහා පාලන මිල කිලෝ එක රුපියල් 98 ක්ද සුදු/රතු නාඩු සහල් කිලෝ එක රුපියල් 98 ක්ද විය.


කෝවිඞ් 19 වසංගත පැතිරීමත් සමග මාර්තු 19 වනදා සිට ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය හේතුවෙන් පරිප්පු සහ ලොකු සැමන් ටින් සදහා සහන මිලක් පැනවූවා අපට මතකය. නමුත් එවිට සහල් මිල දෙසැම්බර් 19 ගැසට් එකේ පරිදිම අලෙවි විය. පසුව නැවත වරක් 2020 අප්‍රියල් 10 වනදා අංක 2170/7 යටතේ කීරි සම්බා කිලෝ එකක මිල රුපියල් 125ක් ලෙසද සුදු/රතු සම්බා කිලෝ එක රුපියල් 90ක මුදලකටත් සුදු/රතු නාඩු කිලෝ එක රුපියල් 90කටද සුදු/රතු කැකුළු සම්බා කිලෝ එක රුපියල් 90කටද සුදු/රතු කැකුළු සහල් කිලෝව රුපියල් 85ක්ද විය. ඉන් නොනැවතී නැවත වාරයක් 2020 මැයි 28 වන දින අංක 2177/9 ගැසට් පත්‍රය යටතේ කීරි සම්බා කිලෝ එක රුපියල් 120කටද සුදු/රතු සම්බා කිලෝ එක රුපියල් 98කටද සුදු/රතු කැකුළු සම්බා කිලෝ එක රුපියල් 98ක මිලකටත් සුදු/රතු නාඩු සහල් කිලෝ එක රුපියල් 96කටත් සුදු/රතු කැකුළු සහල් කිලෝව රුපියල් 93ක්ද විය. ඉන් නොනැවතී අප මේ ලිපිය ලියන අවස්ථාවේදීද එනම්, 2020 නොවැම්බර් 04 වන දින අංක 2200/3 ගැසට් පත්‍රය යටතේ සහල් සඳහා නැවත පාලන මිලක් යෙදුවේය. සුදු/රතු සම්බා සහල් කිලෝ එක රුපියල් 94ක්ද සුදු/රතු කැකුළු සම්බා කිලෝ එක රුපියල් 94ක්ද සුදු/රතු නාඩු සහල් කිලෝ එක රුපියල් 92ක්ද සුදු/රතු කැකුළු සහල් කිලෝ එක රුපියල් 89ක්ද විය.


ජනාධිපතිවරයා විසින් අවසාන ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර සහල් සදහා පාලන මිලක් යෙදීමට ගැසට් පත්‍ර තුනක් නිකුත් කළද ලිපිය ලියන දවස වන තුරුම සුපිරි වෙළදසැල් වල සුදු සම්බා කිලෝව අලෙවි වූවේ රුපියල් 120ක පමණ මුදලකටය. එසේනම් නිකුත් කළ සියලු ගැසට් පත්‍ර පාරිභෝගිකයාගේ හිත සුව පිණිස මිස පසුම්බියට සහනයනයක් ගෙන දිමට නොවන බව පැහැදිලිය. මෙවර ගැසට් පත්‍රයද එසේ හිස් කොළයකටම සීමා වේ යැයි සිතීමට පෙළඹෙන කාරණා ඉදිරියේදී අපට අත්විදිය හැක.


සත්ව ආහාර සදහා සහල් භාවිතය


“ඉරිගු නිෂ්පාදනය එන්න එන්න පහළ මට්ටමක තිබෙන නිසාත් ආනයන නැවැත්තුව නිසාත් ඊට ආදේශකයක් විදියට යොදාගත්තේ සහල්. මොකද රජය විසින් යෙදූ පාලන මිලත් එක්ක සහල් වෙළදපොලට යවනවට වඩා සත්ව ආහාරවලට සහල් දෙන එක අපට ලාභයි. ” දුරකථන සංවාදයකදී සුළු හා මධ්‍යපරිමාණ වී මෝල් හිමියෙකු අප සමග පැවසීය.


වත්මන් රජය පදනමකින් තොරව එකවර ආනයන ද්‍රව්‍යය තහනමක් පැනවීමෙන් සිදුවූයේ වදින්න ගිය දේවාලය ඉහට ඇද බෑවුනා හා සමාන වැඩක් බව යම් යම් සිදුවීම් හරහා අපට අවබෝධ වන්නේය. හුදෙක් මෝල් හිමියන්ගේ බහුතර මතය සහල් සත්ව ආහාර සඳහා ලබා දීම ගොවියන්ටත් මෝල් හිමියන්ටත් යන දෙගොල්ලන්ටම ලාභයක් ගෙන දෙන බවය. නමුත් ඉන් සිද්ධවන්නේ වෙළදපොල අවශ්‍යතාවයන් සපුරාලීමට නොහැකි වීමය.


2020 ජූලි 23 වනදා අංක 2185/67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් දන්වා සිටියේ දේශීයව නිපදවන සහල් හෝ වී, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙළින්ම භාවිතා කිරීම හෝ අන්‍යාකාරයෙන් සත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිතා කිරීම සඳහා, හෝ විකිණීම, විකිණීම සදහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීම නොකළ යුතු බවට සියළු නිෂ්පාදකයින්, වෙළදුන් සහ බෙදාහරින්නන් දැනුවත් කිරීමය. හුදෙක් මෙම ගැසට් පත්‍රය නොතකා 2020 සැප්තැම්බර් 30 වනදා සහල් මෙටි්‍රක් ටොන් 300ක් සත්ව ආහාර සඳහා භාවිතයට ගැනීමට සූදානමකින් සිටියදී පාරිභෝගික අධිකාරිය විසින් සිදු කළ වැටලීමකදී හසු වී තිබින. නමුත් අප සිතනා පරිදි ඒවා නාට්‍යය පමණකි. මන්ද බහුතර මෝල් හිමියෝ පවසන්නේ තමන්ද සත්ව ආහාර සදහා සහල් ලබා දුන් බව සහ, තවදුරටත් ලබා දෙන බවය.


සහල් හිඟය සහ නොවැම්බර් 04 ගැසට්ටුව


මෝල් හිමියන් පවසන පරිදි සහල් හිඟයක් නිර්මාණය වීමට ප්‍රධානම හේතුව පසුගිය මාස කිහිපයේ සත්ව ආහාර සඳහා සහල් යොදාගැනීම සහ මහා පරිමාන මෝල් හිමියන් සහල් වෙළදපොලට නිකුත් නොකර ගබඩා කර තැබීම යන කරුණුය. වත්මන් තත්ත්වය හමුවේ රජය සතු ආරක්ෂිත සංචිතද හිඟ වීම හේතුවෙන් රජය විසින් මහාපරිමාන මෝල් හිමියන්ගේ අවශ්‍යතාවයන් සපුරමින් සිටින බව සුළු හා මධ්‍යය පරිමාණ මෝල් හිමියන් අතර ප්‍රසිද්ධ රහසකි.

නිසැකවම වත්මන් රජයේ අවශ්‍යයතාවයද සහල් හිඟයක් නිර්මාණය කිරීමය. එය ඔවුන්ගේ දීර්ඝකාලීන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවද කිව හැක. මන්ද ඔවුන් හිතූ හිතූ පරිදි ගැසට් පත්‍ර නිකුත් කිරීමෙන් අපට එය ඒත්තුගැන්වීය.


2020 නොවැම්බර් 04 වනදා ගැසට් පත්‍රය නිසාවෙන් පවතින තත්ත්වයටත් වඩා දරුණු තත්වයක් උදාවිය හැකි බව අපට අනුගමනය කළ හැකිය. නිදසුනක් ලෙස යහපාලන ආණ්ඩුව පැවති සමයේ නාඩු වී කිලෝ එක රුපියල් 38ක මුදලකට මෝල් හිමියන් ලබා ගත් විට සහල් කිලෝ එක රුපියල් 80ක මුදලකට අලෙවි විය. රාජපක්ෂ ආණ්ඩුවේ පැමිණීමත් සමග වී කිලෝව සඳහා පැවති මිලට අමතරව තවත් රුපියල් 12කින් මිල ඉහළ දැමීය. එහිදී වී මිල 31%කින් වැඩි විය. නමුත් සහල් මිල ඉහළ දැමුවේ 20%කින් පමණි. ඉන් අපහසුතාවයට පත් වූවන් වන්නේ මෝල් හිමියන්ය. මෝල් හිමියන් තමන්ගේ වියදම ආවරණය කර ගැනීමට ගොවියාගෙන් වී අඩුවට ගත යුතුය. එසේනම් ගොවියාගේ මිල අඩුම රුපියල් 50 විය යුතුය. ඊට සාපේක්ෂව සහල් මිල ගලපා ගැටළුව විසදාගැනීම පහසු යැයි අපට සිතෙන්නේය. නමුත් මෙවර ගෙන ආ ගැසැට්ටුව නිසා ඉදිරි මාසය ඇතුළත නැවත වරක් පාලන මිල අභිබවා සහල් වෙළදපොලේ අලෙවි වීමේ ඉඩකඩ ඇති බව කිව යුතුය. පාරිභෝගිකයාට සහනයක් වනවා සේම ගොවියාටත් මෝල් හිමියාටත් සාධාරන මුදලක් ලැබීමේ අයිතිය ඇති බව මතක් කරන්නට කැමතිය.


2019 සිට අසාර්ථක රාජපක්ෂ ආණ්ඩුව


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පරිප්පු වෙනුවට බඩ ඉරිගු ආහාරයට ගන්නා ලෙස පැවසුවා මතකය. ප්‍රායෝගික දේ නම් එදා සිට පරිප්පු වෙනුවෙන් ආදේශ වූ බඩ ඉරිගු හිඟතාවය පිළිබද ඔහු දැනුවත් නොවීමය. රාජපක්ෂ ආණ්ඩුව එසේමය. ඔවුන් ගන්නා සමහර තීරණ බිමේ ප්‍රායෝගිකව සිදුවන ආකාරය ගැන කිසිදු අදහසක් ඔවුන්ට නැත.


වත්මන් රජය ආයතන තුනක් මගින් වී මිලදී ගැනීම සිදු කළේය. ඒ අනුව ඊට පළමුවෙන්ම දායකවූවේ වී අලෙවි මණ්ඩලයයි. පසුව දිස්ත්‍රික් ලේකම්වරු හරහාද තෙවනුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සමූපකාර සමිති හරහාද වී මිලට ගත්තේය. සුළු හා මධ්‍යය පරිමාණ මෝල් හිමියන් පවසන්නේ දිස්ත්‍රික් ලේකම් හරහා කාණ්ඩ දෙකක් යටතේ වී මිලදී ගැනීම සිදු කළද නිසි කළමණාකාරීත්වයක් නොතිබූ බවයි. එම නිසාවෙන් උක්ත ආයතනය කොමිස් මුදල් ලබා ගැනීමේ වැඩ පිළිවෙලක් දියත් කළ බවත් ඔවුන් පවසන්නේය.


“රජය ගොවියන්ට ලබා දුන්න සහතික මිල රුපියල් 50 කි. එතකොට අක්කරයක අස්වැන්න නාඩු සහල් සඳහා කිලෝ ග්‍රෑම් 2200 කි. සම්බා සහල් සඳහා කිලෝ ග්‍රෑම් 2000 කි. කීරි සම්බා සදහා කිලෝ ග්‍රෑම් 1800කි. මේ නිසා ගොවියො වැඩි වශයෙන් නාඩු වී වගා කිරීමට උනන්දු වුණා. මේ නිසා තමයි සම්බා සහ කීරි සම්බා සහල් හිඟය තදින්ම පාරිභෝගිකයට දැනෙන්නේ.” ගොවියෙකු වූ එච්. කේ. ඒ. හේමසිරි අප සමඟ පැවසුවේය.


රජයේ ඡන්ද පොරොන්දු නිසා ගොවියාත්, මෝල් හිමියාත්, පාරිභෝගිකයාත් යන තිදෙනාම අපහසුතාවයට පත්ව ඇත. ඔවුන්ගේ අදූරදර්ශී තීරණ හමුවේ මහජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමත් දැන් අභියෝගයක් වි ඇති බව කිව යුතුය. එසේනම් පැහැදිලිවම සහල් හිඟයක් නිර්මාණ වීමේ ප්‍රධාන වැරදිකරුවන් වත්මන් රජයය. ඔවුන් ඊට අදාළ වැඩපිළිවෙලක් සකස් කර යුතුව ඇති බවත් ඉන් සියල්ලටම සාධාරනයක් ඉෂ්ඨ විය යුතු බවත් අප ගේ මතයය.


ශ්‍රී ලංකා සුළු හා මධ්‍යය පරිමාණ වී මෝල් හිමියන්ගේ සමූපකාර සංගමයේ සභාපති
මුදිත පෙරේරා

ප්‍රධාන වශයෙන්ම වී අස්වැන්න සත්ව ආහාර සදහා නිකුත් වීමත් මහා පරිමාණ මොල් හිමියන් තොග රැස් කරගෙන සිටීම නිසාත් වෙළදපොලේ සහල් හිඟතාවයක් තිබෙනවා. 2020 නොවැම්බර් 04 වනදා නිකුත් කළ ගැසට් පත්‍රය නිසා මෝල් හිමියන් ලොකු අපහසුතාවයකට පත් වෙනවා තමන්ගේ වියදම පියවාගන්න යන මොහොතේදී. මොකද වී මිල සහ සහල් මිල අතර ඇති කොටසින් අතරමැදියො සහ මහා පරිමාණ මෝල් හිමියො වාසි ලබනවා. සුළු හා මධ්‍යය පරිමාණ මෝල් හිමියො අතින් පාඩු විඳගෙන සහල් නිෂ්පාදනය කරනවා. ඊටපස්සෙ අපි පත්වෙන අපහසුතාවය පිළිබදව කිසිවෙකුට වගේ වගක් නැහැ. මේකෙ අවසානෙ තමයි නැවත වරක් සහල් ආනයනය කරන තත්ත්වේ. එතනට එන්න තමයි මේ රජය සියලු කුමන්ත්‍රණ කරන්නේ. මොකද ඉන් නිලධාරීන්ට කොමිස් මුදලක් ලැබෙනවා. සුළු හා මධ්‍යය පරිමාණ මෝල් හිමියො අකර්මණ්‍යය වෙලා මහා පරිමාණ මෝල් හිමියො දියුණු වෙනවා. ඔන්න ඔය කාරනා දෙක ඉෂ්ඨ කරගන්න උවමනාවක් තියෙන නිසා තමයි මේ කෝවිඞ් 19 වසංගතය පිටින් සහල් හිඟේ ගහන්න හදන්නේ.


මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති
බී. කේ. රංජිත්

මේ වන විට රටේ සහල් හිඟයක් පවතිනවා. පාලන මිලක් තිබුනත් ඒ මිලට සහල් අලෙවි කරන්න බැහැ. මොකද මහා පරිමානෙන් කරන අය වගේ නෙවේ සුළු පරිමානෙන් සහල් නිෂ්පාදනය කරන මෝල් හිමියොන්ට පවතින මිල ගණන් වලින් වියදම ආවරණය කරගන්න අමාරුයි. පවතින තත්ත්වෙත් එක්ක අපි කියන්නෙ සහල් පිටරටින් හරි ආනයනය කරල සහන මිලක් යෙදුවනම් හරි. වසංගත තත්ත්වයත් එක්ක සහල් හිඟතාවයක් ඇති වෙනව කියන්නෙ ඒක ටිකක් බැරූරුම් කාරණයක්. මේ වටපිටාව මගහැරී යනකන්වත් සහල් ආනයනය කරනවනම් හොදයි කියලා මම හිතනවා.