ටිරන් කුමාර බංගගමආරච්චි

සාධුකාරය සමාජය අර්ථ දෙකකින් වමාරති. එකක් යහපත අරුතින් වුවත්, ඇතැම්විට එය සරදමක් ලෙස ‘හොඳ වැඬේ’ කියන්නටද යොදා ගනිති. මේ දිනවල භික්ෂූන්ගේ රාජපක්ෂ විරෝධය අප ගතයුත්තේ කුමන අරුතින්ද යන්න සිතන විට මේ සාදු විධි දෙකටම එය යටත් බව හැඟේ.


මුහුද හත්ගව්වක් දුර තිබියදී අමුඩය ගසන කතාව අසා ඇති අපි විස්ස කටේ තබාගෙන පෙත්සම් අත්සන් කරන කතා අසන්නේ අලුතින්ය.


කුමන හෝ කරුණු යෙදී වුව මෙරට දේශපාලනයේ ඇති භික්ෂු මැදිහත්වීම අහවර වනවා නම් එය මසුරන් වැඩකි. ලංකාවේ දේශපාලනය වැඩවසම් තැනකට දක්වන ප්‍රධාන පිරිසක් වනුයේ භික්ෂුවය. මෑතකදී කාදිනල් නමද ඒ බෝට්ටුවට ගොඩවූහ. මෙය බරපතළ ව්‍යසනයකි. භික්ෂුව භික්ෂුවගේ රාජකාරිය කළ යුතුය. පසුගිය කාලය පුරාම අප දකිනුයේ භික්ෂුව දේශපාලකයාට වඩා දේශපාලනය කරන ගතියකි. පසුගිය කාලයේ ඇතැම් භික්ෂු චරිත බිහිවූයේ හතු පිපෙන්නා ලෙසය. අද ඒ සිවුරුධාරීහු ඉහළින්ම වැජඹෙති. පැරණි භික්ෂු චරිත මහින්ද සමග යනවිට අලුත් භික්ෂු චරිත ගෝඨා සමග සිටගන්නා තැනක ඇත. ඒ අනුව දෙපැත්තටම කේවල් කරන්නට සිවුරුධාරීහු එමට වෙති. මේ දෙපිරිසම දේශපාලනයෙන් අතුගෑවී යනවා නම් යහපති. වැඩදායක වෙති. එහෙත් දේශපාලකයා හිතනුයේ ඒ වෙනුවට තමන්ද සිවුරුධාරීන් ගොඩ ගසා ගන්නටය. සජිත් ප්‍රේමදාස මෙන්ම කරු ජයසූරිය ඉන්නේද ඒ ගොඬේය. භික්ෂුව ළඟ හොඳම අය වීමේ ප්‍රවණතාවයේය.


කතාවට නිමිත්ත විස්සට එරෙහි භික්ෂු විරෝධය අන් සියලු විරෝධතා විසි කොට ඉස්සරහටම ඒමය. එහි පෙරමුණ ගෙන ඇත්තේ අභයාරාමයෙන් වීම සංකේතාත්මකය. නාරාහේන්පිට අභයාරාම විහාරය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ යන්න මහින්ද රාජපක්ෂට කියන්න තවත් නමක් කීවද වරදක් නැත. 2015දී මහින්දට යන එන මං අහිමි වූ කල නැවත යන එන මං හැදූ බිම අභයාරාමය විය. එදා මහින්ද අභයාරාමයේ ඡන්ද කාර්යාලය පවත්වාගෙන යන විට යහපාලන ආණ්ඩුව බාල්දි පෙරළුවද එය එතරම් ලොකුවට ඇඟට නොගත්තේ එහි කළ හැකි දෙයක් නැත යන අඩු තක්සේරුව නිසාය. එහෙත් නැවත මහින්දට පණ ගසා නැගිටින්නට අවැසි වාරුව උපරිමයෙන් ලබුණේ අභයාරාමයෙනි. ඒ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගෙනි. එහෙව් හාමුදුරුවෝ නව ආණ්ඩුව පිහිටුවා වසරක් යන්නට මත්තෙන් නෝක්කාඩු කියති. ඒ විස්සට එරෙහිවය. විස්ස සම්මතයට ගෙන අන්තිම මොහොතේ එයට විරුද්ධව අත්සන් එකතු කරන පෙත්සම් ගහන තැනට වැඩ සිද්ධ වී ඇත. මේ විරෝධය විපක්ෂයට මසුරන් වී ඇත. තමන් දැඟලිය යුතු තැන්වල ආණ්ඩුවේම අය දඟලන එක විපක්ෂය දකිනුයේ මහා මෙරක් ලෙසටය. මුලදී විමල්, ගම්මන්පිල විරෝධය කරට ගත්තෙත් එසේමය. එහෙත් අද විමල්, ගම්මන්පිල බලුකුක්කෝ වී ගෝඨා ළඟ නඟුට වනන මට්ටමට පත්වී ඇත. මෙය අරුමයක් නොවන බව අපි කල්තබාම කීවෙමු. එහෙත් විස්සේ විරෝධියෝ එය හරි ලොකු කර ගත්හ. ඇත්තටම මේ විරෝධතා යනු මෝස්තරය ජනතාවගේ සුවයට කරන වැඩ නොව තම තම පැවැත්මට ගහන ගේම්ය. විපක්ෂය විස්සට විරුද්ධ වුවද යටි සිතේ ආශාව එවැනි බලයක් තමන්ටත් කවදා හෝ වුවමනා බවය. සජිත්ට චම්පිකට නොව මේ දේශපාලනයේ නායකත්වයට ඉව අල්ලන කාට වුව නැතිද? ඒ සැමගේ ආශාව විස්සට නැද්ද? එහෙත් විපක්ෂයේදී එය දකිනුයේ හෙළා දැකිය යුතු සටන් පාඨයක් ලෙසය. මේ කරනුයේ ඒ වගකීම මිස ඇත්ත වුවමනාව පෙරට ගෙන ඒමක් නොවේ. තුනෙන් දෙකක් ඇති ආණ්ඩුවට මෙහි සම්මතය ස්ථිර ලෙසම විපක්ෂයත් තමන්ට මේ මොහොතේ කළ හැකි දෙයක් නැති බව දනිති. එහෙත් විරෝධයට ඇති ඉඩ උපරිම පාවිච්චි කරති. ඒ ඉදිරි පැවැත්ම විනා අවංක විරෝධයට නොවේ.


මුරුත්තෙට්ටුවේ හිමි


එවන් වටපිටාවක මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ විස්සට ඇති විරෝධය කැපී පෙනෙන වෙනම අරුත් සපයන විරෝධයක් බවට පත්වී ඇත. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට අමතරව ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ද පෙරමුණේ සිටිති. එහෙත් මෙහි ප්‍රබල සාධකය අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ මැදිහත්වීම වෙති.


මුරුත්තෙට්ටුවේ හිමි යනු දේශපාලන සටන්කරුවෙකි. ඒ අද ඊයේ නොව, ජේ.ආර්.ගේ කාලයේ පටන්ය. එදා 87දී ජේ.ආර්.ට එරෙහිව කැරලි ගැසූ ප්‍රබලම භික්ෂු දෙපළ වූයේ සෝභිත හිමි සහ මුරුත්තෙට්ටුවේ හිමිය. මේ හිමිවරු එදා දැඩි පාලනයක් යටතේ වුව අභයාරාමයේදී ජේ.ආර්.ට එරෙහිව විරෝධතා දියත් කළෝය. එහි ප්‍රතිඵලය වූයේ ඊට සහභාගි වූවෝ අතර කිහිපදෙනෙක් තම ජීවිතද උණ්ඩයට බිලිදීමය. තම සගයන් දෑස් ඉදිරිපිට මියැදෙනු දුටු මේ භික්ෂු දෙපළ තම දේශපාලන සටන් ඒ නිසා කිසිදා නතර නොකළහ. එහෙත් 2015දී සෝභිත හිමි මහින්දට එරෙහිව වෙනම විකල්පයක් සොයද්දී මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ මහින්ද අතහැර යා නොහැකි බැම්මෙන්ම වෙලී සිටියහ. එදා එකට සටන් කළ හිමිවරු දෙපළ ඉන්පසු දෙකඩ වූයේ මහින්ද නිසාය.

සෝභිත හිමි


2015දී මහින්ද ආණ්ඩුව පෙරළීමේ යෝධ කාර්යභාරයක් කරනුයේ සෝභිත හිමියන් ප්‍රමුඛ සංවිධානයය. සෝභිත හිමියන් දුටු යහපාලන සුක්කානම හැසිරවිය යුතු පුද්ගලයා වූයේ කරු ජයසූරියය. එහෙත් රනිල්ගේ ඊට අකමැත්ත ප්‍රකාශ වනුයේ එජාප ලකුණම ඉදිරිපත් කිරීම සාර්ථක නොවනු ඇති යන විශ්වාසය මතය. ඒ අනුව ඒ තැනට සිරිසේන පත්වූ අතර සැමගේ බලාපොරොත්තු ඉටුකරමින් මහින්ද පරදා සිරිසේන දින්නේය. එහෙත් එතැන් සිට යහපාලනයද දියාරු විය. ප්‍රථම දින සියයේ තිබූ උනන්දුව අඩාල විය. සෝභිත හිමි අගමැති ලෙස රනිල් පත්කරනවාට විරුද්ධ වූ බවද කතාවකි. එය දුර දැක්මකි. එහෙත් අභාග්‍ය සෝභිත හිමි වටා සිටි අයද යහපාලන උන්මාදයෙන් රනිල් සහ සිරිසේන දෙපිළට බෙදී දෙපිළෙහිම වීර චරිත නියෝජනය කරන්නට යෑමය. ඒ අනුව සෝභිත හිමි වටා සිටි පිරිස විසිරුණ අතර සෝභිත හිමි පැත්තකට කරන අයුරු දිස්වූහ. යහපාලනය ගෙනවිත් ඉක්මනින්ම කළකිරුණු කෙනා සෝභිත හිමිය. ඒ කළකිරීම තනිව කරගහගෙන යන්නක් බව ඒ හිමිට වැටහෙන විට සෝභිත හාමුදුරුවෝ හුදකලා වී හමාරය. අවසානයේ යහපාලනය සෝභිත හාමුදුරුවන් වෙනුවෙන් කළේ සෝභිත හිමිගේ ස්මාරකයක් ඉදිකිරීම පමණි. සංකේතාත්මකව ඇත්තේ අද එය පමණය. එයට වාර්ෂිකව පුෂ්පෝහාර පැවැත්වීම ඒ මග යනවා යැයි සපථ කිරීම හැර ඉන් එහා අරුතක් එහි නැත. සැවොම ඕනෑම දෙයකට කර ගසනුයේ තම තම කැමැත්ත මතය. එය ඉටු නොවන තැන පරාජයට පත්වෙති. භික්ෂූන් වුව දේශපාලනයට කර ගසනුයේ පුද්ගල සාධක අනුව විනා රට ගැන ජනතාව ගැන සිතා යැයි කීම ළාමක කතාවකි. හැම ව්‍යාපාරයක්ම ඒ අයට ගමනක් හදාගෙන ඇත. සෝභිත හාමුදුරුවන් ප්‍රමුඛව ඇරඹි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයද එසේමය. අද එහි ප්‍රමුඛයාව කරු කරනුයේද එයටමය. එදා 87දී මුරුත්තෙට්ටුවේ හිමි සහ සෝභිත හිමි ඇතුළු පිරිස මව්බිම සුරැකීමේ සංවිධානය අටවාගෙන කළේද එයම වෙති. එදා සිට අද දක්වාම තවමත් මව්බිම සුරක්ෂිත කරන්නට සාධාරණ කරන්නට බැරිවී ඇත. ඒ වෙන හේතුවක් නිසා නොව තම සංවිධානයේ බෝඞ් ලෑල්ල කුමක් වුවත් ඒ අය යන්නේද එජාපය හෝ ශ්‍රී ලංකා එක පස්සේ වීමය. දැන් එයට පොහොට්ටුව හෝ දුරකතනය ආදේශ කරගත හැකිය.


අභයාරාම විරෝධය


අභයාරාමයේ මේ දිනවල විස්සට එරෙහි විරෝධයත් අප වටහාගත යුත්තේ ඒ අරුතින්මය. මෙය අගමැති මහින්ද උසිගන්වන්නක් බව පොදු මතයය. මහින්ද නැවත ඔසවා තැබූ තැන මහින්දව බිමට පත බෑවෙන්නට නොදී රැක ගැනීමට ගහන මුක්කුවක් යන්නය. 2015දී සෝභිත හිමි කළ දේ නැවත ආපස්සට හරවන්නට පෙරමුණ ගත්තේ මුරුත්තෙට්ටුවේ හිමිය. ඒ අනුව ඒ හිමිගේ එකම අරමුණ මහින්දය. ව්‍යවස්ථා අර්බුදයක් හේතුවෙන් මහින්ද නැවත බලයට ගෙන එන්නට බැරි බව දැන දැන මහින්ද කියන ගෝඨා දිනවන්නට මුරුත්තෙට්ටුවේ හිමි උපරිමය කළේ 19 අනුව ගෝඨා ජනපති වුවද නැවත සියලු බලය මහින්ද සතුවන නිසාය. මේ හැමට බලය තමන් කැමති පුද්ගලයාට යනවා නම් ප්‍රශ්නයක් නැත. අප මුල සිටම මේ විරෝධතා පුහු යැයි කියනුයේ ඒ නිසාය. එදා 18 හරහා මහින්ද බලය ගන්නා විට මුරුත්තෙට්ටුවේ හිමිට ලොකු අවුලක් නොවීය. 19 තබා ගෙන ගෝඨා නාමමාත්‍ර වී මහින්ද ප්‍රබල වනවා නම් ඒත් කමක් නැත. එහෙත් විස්ස හරහා මහින්දට බලය නැතිම වී ගියහොත් එහි නිකම්ම වනුයේ මහින්ද පමණක් නොව මහින්ද කර තබා ගත් අයද එලෙසම වෙති. මේ බිය හැරුණු කොට ලොකු ගැඹුරක් මෙහි නැත. මැදගොඩ අභයතිස්ස හිමි ගෝඨාවාදිය. ඒ නිසා විස්ස හරහා ගෝඨා බලවත්වීම ඒ හිමි බලවත් වීම බව මැදගොඩ හිමිගේ යටි ප්‍රාර්ථනාවය. මුරුත්තෙට්ටුවේ හිමිට වී ඇත්තේ එහි අනෙකය. දැන් විස්සට එරෙහි සටන අභයරාමයෙන් ඇවිලෙන්නේ ඒ නිසාය. මහින්ද ඒ කොණක සිටිනවා විය හැකිය. එහෙත් වැඩි බර තම තමන්ව නොසලකා හැරීම්ය. අද සෝභිත හාමුදුරුවන්ට මෙන්ම මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ටද මේ ආණ්ඩුව ගැන කලකිරී ඇත. එහෙත් මහින්දට ඇති ආලය නොසිඳී ඇත. රැකගන්නට උත්සාහ කරනුයේ මහින්ද සේ ම තම තමන්වමය. මේ පෙත්සම් ගැහිල්ල ඒ අරමුණෙනි.
විපක්ෂය පවා දුක්වනුයේ විස්ස හරහා මහින්ද නිකමකුවේ යැයි බියෙනි. මේ බොළඳ තර්ක කාව සනසන්නද? අනෙක් පැත්තට 19 හරහා ගෝඨා නිකමකු වීම යහපත්ය. විස්ස හරහා මහින්ද නිකමකු වීම අයහපත්ය. 19 හරහා ගෝඨාට මහින්දට හොඳට වැඩ කළ හැකි බවත්, ඒ අය සහෝදරයන් නිසා ප්‍රශ්නයක් නැති බවත් විපක්ෂයේ මතධාරීන් පසුගිය කාලයේ කළ ප්‍රකාශයකි. එසේ නම් විස්ස හරහාත් ඒ අය සහෝදරයන් නිසා හොඳට වැඬේ කරනු ඇතැයි කියන්නට මැලි ඇයි? මේ හැම කරනුයේ පක්ෂ දේශපාලනයකි.


කෙසේ හෝ විස්ස වැඩි වැඩි විසයක් නැතිවම සම්මත වනු ඇත. වගන්ති කිහිපයක් හකුළාගෙන එය සම්මත කරගත් පසු හකුළා ගත් වගන්තිත් ඉදිරියේදී පණ ගසනු ඇතිය. විස්ස මෙහෙම නම් අලුත් ව්‍යවස්ථාව කොහොම හිටීද? කියා කියූ අයට ටික දවසකින් කියනුයේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් විස්ස මොකටද යන්නය. අපි කුමක් ගැන ගැඹුරට කල්පනා කළ යුතුද? ගෝඨා ජනපති වූ කල ඒකාධිපතියෙක් වනවා යැයි කී අයම අද කියනුයේ විස්ස ආවොත් ගෝඨා ඒකාධිපතියෙක් වීම වළක්වන්නට බැරි බවය.


විස්ස නැතිවද 19 ඇතුළේ පවා ගෝඨා ක්‍රියා කරනුයේ අමු ඒකාධිපති ස්වරූපයෙනි. එයට විරුද්ධවීමක් කාගෙවත් නැත. විස්ස ගෙන එන්නට ඔහු දාන තග 19 ඇතුළේ කරන බව කාට රහසක්ද? එසේ නම් විස්සට කලින්ම 19 ඇතුලේ ඔහුව හිර කළ හැකි නොවේද? ඒ ගැන කිසිවකු කතා නොකළේ ඇයි? මේ පන්සල්වල කරන විප්ලව අවසානයේ ව්‍යාජ රංගනය. ඒ තැන්වලින් හෙට කියැවෙනුයේ විස්සේ භයානක කෑලි හැලී ඇති බැවින් එය තම විරෝධයේ ප්‍රතිඵල බවය. ගෝඨාත් විස්ස සම්මත කරගෙන අභයාරාමයට ගිය කල එහිදී ලැබෙන සෙත අපිටද දැක බලා ගත හැකිය. විස්සට එරෙහි විරෝධතා යනු සබන් බෝල මෙනි.


කෙසේ හෝ ඉතා ඉක්මනින් මේ භික්ෂු දේශපාලන මැදිහත්වීම අහෝසි වී යනවා නම් එය රටට යහපතකි. පන්සල, පල්ලිය වෙනම ඒ අයගේ වැඩ කළ යුතුය. දැන් පන්සල තරමටම පල්ලියත් දේශපාලනය සියතට ගෙන ඇත. මහා නායක හිමිවරු මෙන්ම කාදිනල්තුමාද දේශපාලන සුරුවම් වී ඇත. කවුරු වුව කම් නැත. ඒවා අහකට කරන්නේ නම් මැනවිය. මහින්දගේ දේශපාලනය ඉවර වූයේ 2015දීය. ඔහු ඔසවාගෙන ආවද? ඇත්ත නම් ඔහුගේ දේශපාලන ගමන ඔසවාගෙන යන්නක් විනා ඇවිද ගෙන යන ගමනක් නොවීමය. මෙතැන් සිට එනම් 20න් පසු දේශපාලනය ගමන් කරනුයේ ගෝඨාට සහ බැසිල්ට ඕනෑ විදියටය. එය දැනුදු එසේමය. චන්ද්‍රිකා සිරිමාවෝ මැතිනිය අගමැති කොට වීල් චෙයාර් එකේ තබාගෙන සිටියා සේ මේ වන්නේද මහින්දට කළගුණ සැලකීමකි. අගමැතිකම මහින්ද සිටින තාක් දෙනු ඇත. එය මහින්ද ද දන්නා කාරණයකි. එනම් දැන් ඔහුගේ කල නොවන බවය. එයින් අදහස් වනුයේ මහින්ද, ගෝඨා, බැසිල් අවුල් වී ඇති බව නොව, මහින්ද අහකට කරන්නට බැරිකමය. තවමත් එයට ජනතා ප්‍රසාදය ඇත. භික්ෂු ප්‍රසාදය ඇත. එයින් තව වැඩ ගත හැකිය. ඒ ඔසවාගෙන යාමෙන් මිස වෙන අරුතින් නොවේ. එය ඊළඟ වාරය තෙක් රැගෙන යනු ඇත.


දැඩිව සිහි තබාගත යුත්තේ 2015 මහින්ද පැරදුණේ තමන් සමග ආප්ප කා ගිය කෙනාගෙනි. ඒ නිසාම ඒ අය දැඩිව විශ්වාස කරනුයේ තම සහෝදර කැළ, දරුවන් පමණය. මහින්ද තම අගමැති කාර්යාල ප්‍රධාන තනතුර පුතාට දෙන්නේ ඇයි? මහින්දලාට නැත්තේ විශ්වාසයය. ඒ අය විශ්වාස කරනුයේ ඒ අයවම පමණි. ඒ නිසා මහින්ද රාජපක්ෂලා දැන්ම එකිනෙකා මරා ගනිතැයි සිතීම විහිළුවකි.


ඉදිරියේදී විස්ස ආවද නාවද ගෝඨා ගෝඨාමය. කැලේ මාරු වුවද කොටියාගේ පුල්ලි මාරු නොවෙතැයි කියනුයේ එබැවිනි. විස්ස කෙසේ හෝ සම්මත වනු ඇත. මේ ක්‍රමයේ විදිහට නම් සෙසු විරෝධතාත් ක්‍රමයේම කොටස් බවය. සතියකින් පසු නැවත හිතමු.


එතෙක් සැවොම සාධුකාරයක් දෙන්න. ඒ කුමන අරුතින්ද යන්න තම තම නැණ පමණින් අවබෝධ කර ගන්න. ■