කොවිඞ් 19 සාන්ද්‍රණයෙන් වැඩි වෛරසයක් බවට පත්ව තිබීම ලංකාවේ දෙවන කොවිඞ් රැල්ලෙහි ශීඝ්‍ර ව්‍යාප්තියට හේතුව බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර තිබේ. එමෙන්ම කුඩා ඉඩ ප්‍රමාණයක වැඩි ජන ඝනත්වයක් සහිත නම් කොවිඞ් පැතිර යාමේ අවදානම වැඩිය. මෙම තත්ත්වය ලංකාවේ කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය අංශ මෙන්ම මහජනයා බරපතළ ලෙස සැලකිය යුතු වෙයි. මාස 08ක් ඇතුළත දෙවරක්ම වසංගත තත්ත්වයක ව්‍යාප්තියට මුහුණදීමට සිදුවීමෙන් ලංකාව මේ වනවිට සෑම අතින්ම අතිශයින් අනතුරුදායක අඩියකට වැටී තිබේ. රටෙහි නායකයන් ඒ ගැන වගකීම් සහගතව ක්‍රියාකරන බවක්ද නොපෙනෙයි. එසේ කීමට සිදුව තිබෙන්නේ මේසා අනතුරුදායක මොහොතකදීත් ඔවුන්ගේ පළමු අවධානය විසිවැනි සංශෝධනය කෙරෙහි යොමුවී තිබීම නිසාය. එමෙන්ම රටෙහි ආර්ථික ක්‍රියාවලිය පණගැන්වීම කෙරෙහි මන්දෝත්සාහීව කටයුතු කරන තත්ත්වය සලකාය.
කොවිඞ් දෙවැනි රැල්ලෙහි අවදානම වැඩිවීමට සමාන්තරව වසා දැමීමට ලක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනයා මුහුණපාන අසීරුම ප්‍රශ්නය වනුයේ අවම පහසුකම් යටතේ හෝ ජීවිත පවත්වාගෙන යාමය. රාජ්‍ය සේවයේ නියුතුවූවන්ට මේ ප්‍රශ්නය බරපතළ ලෙස නොදැනෙන නමුත් පුද්ගලික අංශයේ සාමාන්‍ය මට්ටමේ රැකියා කරන පිරිස් ආයතන වසා දැමීම නිසා මේ වනවිටත් ලොකු අර්බුදයකට මුහුණ පා සිටිති. ඇතැමුන්ට ඉකුත් අප්‍රේල්වලින් පසු රැකියා අහිමි විය. තවත් සමහරු මෑන්පවර් තත්ත්වයට පත්වූහ. එසේ වූ අය පිළිබඳ ආයතන කිසිදු වගකීමක්ද නොදැරීය. කොවිඞ් දෙවැනි රැල්ලේදී ඇඟලුම් ක්ෂේත්‍රයෙහි මෑන් පවර් පදනමින් රාජකාරි කරන පිරිස් ආයතන කිහිපයකට ගොස් සේවය සලසන තත්ත්වය ලොකු අනතුරකට අතවනන්නක්ද වූයේය. ඉන් ඔවුහු අස්ථාන දෝෂ දර්ශනයටද ලක්වූහ. ඒ හැරුණු විට ලොක්ඩවුන් කළ ප්‍රදේශයන්හි පදිංචි දෛනික ගතමනාවක් උපයා ගන්නා පිරිස් ඉහත කී සියල්ලන්ටම වඩා දුක්ඛිත ඉරණමකට ගොදුරු වී සිටිති. ඒ ගම්බිම් වැසූ පළමු දවසේ සිටම බඩගින්න විසින් ඔවුන්ගේ දරු පවුල් වෙලා ගැනීම නිසාය. කිසිදු දෛනික රාජකාරියක් නොමැති තත්ත්වය දින හෝ සති ගණනාවක් අල්ලාගෙන සිටීම ඔවුන්ට කෙසේවත් කළ නොහැක්කකි. ඉකුත් මැතිවරණ සමයේදී නම් රට වසා තැබුණු අවස්ථාවේ සැලකිය යුතු පිරිසකට රජයෙන් සහන දීමනාවක් දෙවාරයකදී ලැබුණි. එහෙත් මෙවර රජය එවැනි සහනයක් දීම ගැන අවධානය යොමුකර නොමැත. එසේ දීමනාවක් දීමට රජයට මුදල් නැති බවත් සැබෑය. මුල් අවස්ථාවේදීත් මුදල් නොතිබුණු නමුත් ඡන්දයක් කටේ නිසා රජයට අද නැති මුදල් එදා තිබුණි.
අද වනවිට වසා දැමුණු ප්‍රදේශවල පුද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ගැනීමට සිදුව තිබෙන්නේ තමන්ගේ නිවාඩුවලිනි. ඉතිරි නිවාඩු වැටුප් විරහිත ඒවා වෙයි. නිෂ්පාදන කටයුතු නැවැත්වීම නිසා පුද්ගලික අංශයේද ආර්ථික ක්‍රියාවලිය ඇන හිටියි. එබැවින් ආයතනද නියත ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇත. මේ තත්ත්වය තුළ තමන්ට ඡන්දය දුන් අතිබහුතරයක් සහ නුදුන් පිරිසක් රැක බලා ගැනීම ආණ්ඩුවක වගකීමක් වෙයි. වත්මන් ආණ්ඩුව ඒ ගැන සිතන්නේ කෙසේදැයි යන්න පැහැදිලි නැත. සැලකිය යුතු කොරෝනා ව්‍යාප්තියක් සිදු නොවුණහොත් මිස ආණ්ඩුව මෙවර කිසිම තැනක් වසා නොදමයි. කොරෝනා ඉකුත් වතාවටත් වඩා ව්‍යාප්ත වුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද රට වසා දමන්නැයි රජයට බලකරන්නේද නැත. කොරෝනා තිබියදීම රට ඉදිරියට ගෙනියන වගකීම රජය භාර ගැනීම වැදගත්ය. අවශ්‍යවන්නේ එය අවංකවම අභියෝගය භාර ගැනීමත් බවට පත්වීමය. මෙවැනි ප්‍රශ්නයකට මුහුණදීමට රටට ඇති ලොකුම අඩුව නම් ලංකාව ශක්තිමත් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියකට අවතීර්ණව නොසිටීමය. සැණෙකින් රට බිම ඇද වැටෙන තත්ත්වයක් දක්නට ලැබෙන්නේ එදා වේල සඳහා දුවන ක්‍රමයකට මුළු රටම ගැට ගැසී තිබීම නිසාය.
මෙම වසර තුළ උද්ගතවූ සේවා වියුක්තිය රටේ ආර්ථිකයට විශාල බලපෑමක් කරන්නකි. ඉන් රටෙහි සුළුවට හෝ කැරුණු නිෂ්පාදන ක්‍රියාවලිය ඇන හිටියේය. අනෙක් අතට අප්‍රේල්වලින් පසු හා ඉදිරියේදී ආයතන වැසී යාමෙන් උද්ගතවිය හැකි සේවා වියුක්තිය සමාජ අර්බුදයක් බවට පත්වීමෙන් ඇතිවිය හැකි පරිහානිය ගැන ආණ්ඩුව දුර දක්නා නුවණින් විමසා බලනවාද? ආණ්ඩුව හදිසියක් වූ විට සැමන්, පරිප්පු, ලූනු වැනි ද්‍රව්‍ය කිහිපයක ආනයන බදු අඩු කොට අඩු මිලට දීම වැනි ක්‍රියාවකට මේ මොහොතේද පිළිපන්ව සිටියි. ඊළඟට සිදුවන්නේ සතොසෙහි ඒවා නොමැතිවීමය. මෙවැනි පැලැස්තර පිළියම්වලින් තොරව කොවිඞ්වලින් වැටුණු ජන ජීවිත නගා සිටුවීම කෙරෙහි වන දිගුකාලීන ශක්තිමත් ආර්ථික වැඩසටහනක් රටට අවශ්‍යය. එය සාක්ෂාත් කරදීමට වත්මන් රජයට හැකිද? ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here