විමලනාත් වීරරත්න

මුඛ්‍ය විය යුත්තේ චරිතය අපේක්ෂා කරන අරමුණද, නළුවාගේ අභිප්‍රායද යන ප්‍රශ්නයට ස්ටැනිස්ලවුස්කි දුන් පිළිතුර වනුයේ රංග අභිමතාර්ථය යනු චරිතාංගය අපේක්ෂා කරන අරමුණය යන්නය. ඒ අනුව යම් රංග කාර්යයක් ශුද්ධ රංග කාර්යයක් විය යුත්තේ චරිතාංගයක සියලු අභිමතාර්ථයන් තනි සාර්වත්‍රික අභිමතාර්ථයක් බවට ගොනු වී තාර්කික හා ඒකාග්‍ර ධාරාවක් බවට පරිවර්තනය වී එය විෂයෙහි අති අභිමතාර්ථයක් (super objective) බවට පත්වීමෙනි. විශේෂයෙන්ම කිසියම් පෙළක් (text) වෙනුවෙන් ගොඩ නැගෙන රංග කාර්යයකදී චරිතාංගයේ අති අභිමතාර්ථය පෙළට සාපේක්ෂ වෙයි. එවිට නළුවාගේ අභිප්‍රාය විය යුත්තේ මෙම පෙළට සාපේක්ෂ රංගය ගොඩනැගීම මිස අධිරංගයක් ගොඩනැගීම නොවේ.


මේ සටහනට නිමිති වන්නේ ඉකුත් සතියේ ආචාර්ය සෞම්‍ය ලියනගේ විසින් ‘රාජිතගේ නාට්‍ය කලාව සහ අපගේ ගමන්මග’ යන හිසින් රාවයට ලියූ ලිපිය වන අතර එහි දැක්වෙන එක් උපුටනයක් මගින් සෞම්‍ය සිය ස්ථාවරය හෙළි කරයි. උපුටනය රාජිත දිසානායක සහ ධනංජය කරුණාරත්න වසර 10-15කට පමණ පෙර කළ නාට්‍යවල පසුකලෙක යළි රඟපෑමට ලැබුණු ආරාධනය ගැනය.


“එම ආරාධනා සුහදව ප්‍රතික්ෂේප කිරීමට තදින් බලපෑවේ අන් කිසිවක් නොව දශකයකට වඩා පැරණි එම නාට්‍යවල නැවත වරක් රඟපෑමට අවශ්‍ය දෘෂ්ටිවාදාත්මක නැඹුරුවක් මා තුළ නොමැති වූ බැවිනි. අනූව දශකයේදී අප විසින් විශ්වාස කළ රංග කලාව සහ නාට්‍ය කලාව ඉන් වසර ගණනාවක ඇවෑමෙන් විශාල වෙනස්කම්වලට භාජනය වී තිබේ. කාලයාගේ ඇවෑමෙන් අප තුළ සිදුව ඇති සංකල්පීය වෙනස්කම් පිළිබඳව සවිඥානිකව තවදුරටත් දශකයකට මත්තෙන් අප විසින් සිදු කළ රංග කාර්යයන් නැවත ප්‍රතිකථනය කිරීම දුෂ්කර ක්‍රියාවක් විය.”


සෞම්‍ය දරන එම ස්ථාවරය දියුණු රංග කලාවක් අභ්‍යාස වන පසුබිමක් තුළ නම් අතිශයින් වැදගත්ය. එහෙත් ලංකාව පසුවන්නේ ඒ සා දියුණු රංග කලාවක් අභ්‍යාස නොවන තත්ත්වයක් තුළය. මෙහිදී දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් සෞම්‍ය කියන කාරණය පැහැදිලිය. ඔහු කියන්නේ නිර්මාණවල තේමාත්මකව මතු කරන දෘෂ්ටිවාදය නොවේ. රංගය පිළිබඳ දෘෂ්ටිවාදය ගැනය. ජාතීන් අතර සාමය වෙනුවෙන් පෙනී සිටි කලාකරුවන් හදිසියේම එක්තරා අවස්ථාවක ආන්තික යුද මතවාදයක් ප්‍රචාරය කළ සරත් වීරසේකරගේ ගාමණී චිත්‍රපටයේ රඟපෑ ඉතිහාසයක් ඇති පසුබිමක සෞම්‍ය රංගයෙහි දෘෂ්ටිවාදය කියන තැන තමා ශිල්පියකු ලෙස සලකුණු කරගැනීමට යත්න දැරීම සාධනීයය. ප්‍රශ්නය වන්නේ ස්ටැනිස්ලව්ස්කි කියන පරිදි නළුවාගේ අභිප්‍රාය හා චරිතාංගය අපේක්ෂා කරන අරමුණ අතර ඉන් අසම්බන්ධ අවකාශයක් ඉස්මතුවී පෙනීමය. රංගය ශුද්ධ රංගයක් වන්නේ පෙළක් රහිත තත්ත්වයකදී යැයි කිව හැකිය. පෙළක් රහිත නම් රංගය මගින් පෙළ ඔස්සේ දීමට තැත් දරන අර්ථ සම්පාදනය කර දිය යුතුය. මෙය තත් විෂයෙහි අති දියුණු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.


රාජිත දිසානායක ගතහොත් ඔහු බොහෝ දුරට ප්‍රකාශනවාදයට නැඹුරු නාට්‍යකරුවෙකි. ප්‍රකාශනවාදයේදී නළුවාට ශුද්ධ වූ රංගයක් උපයුක්ත කර ගත හැකිදැයි යන්න ප්‍රශ්නයකි. ඔහුට එහිදී තවත් පරිවාර අංග එකලස් කරගැනීමට සිදුවෙයි. එවිට කෙසේවත් සෞම්‍ය කියන ශුද්ධ රංගය (Pure Acting) රාජිතට අභ්‍යාස කළ නොහැකිය. එක් නිදසුනක් මෙසේ දැක්විය හැකිය. රාජිතගේ ‘ආපසු හැරෙන්න බෑ’ නාට්‍යයේ එන ප්‍රධාන චරිතයක් මුලින් රඟදැක්වූයේ සෞම්‍ය ලියනගේ විසිනි. සෞම්‍යගෙන් පසුව එම චරිතය රඟදැක්වූයේ ශ්‍යාම් ප්‍රනාන්දුය. මේ දෙදෙනාම රඟදක්වන අයුරු දුටු ප්‍රේක්ෂකයකු වන මාගේ නිරීක්ෂණය නම් සෞම්‍ය එම චරිතය සඳහා තරමක් අධිරංගයක් භාවිත කළ බවය. ශ්‍යාම් රාජිතගේ ප්‍රකාශන අවශ්‍යතාවට සමාන්තර රංගයක් ගොඩ නගා ගැනීමට මහන්සි දැරූ බව පෙනුණි. මෙම ශිල්පීන් දෙදෙනාම අතිදක්ෂ රංගන ශිල්පීන් වන අතර දෙදෙනා වෙන වෙනම එකී චරිතයට වර්ණ දෙකක් ගෙන දුන්නේය. එහිදී එක

රමුණද, නළුවාගේ අභිප්‍රායද කියන ප්‍රශ්නයේදී මා හට චරිතාංගයේ අරමුණ තෝරා ගැනීමට සිදුවෙයි. එක් අතකින් මෙම අර්ථකථනය තුළ නළුවාගේ අභිප්‍රාය යන්න පුද්ගලික එකක් යැයි හැඟෙනු ඇත. සෞම්‍ය නළුවාගේ අභිප්‍රාය ලෙස දක්වනු මට හැඟෙන්නේ රංග කාර්යය දැනුමෙන්, ව්‍යුත්පන්නභාවයෙන් හා සතතාභ්‍යාසයෙන් වර්ණිත තත්ත්වයකි. එසේ නම් රංග කාර්යයේ දියුණු හා සංකල්පීය වෙනස්කම්, ප්‍රකාශනය වෙත සංකේන්ද්‍රණය කරන්නේ කෙසේද යන්න අභ්‍යාසවෘද්ධව සෞම්‍ය පෙන්වා දිය යුතුය.

සෞම්‍ය විසින් රචිත ‘Meditations on Acting’ කෘතියෙහි ඔහු විසින් ඉදිරිපත් කර ඇති Min Tanaka හා සෞම්‍ය විසින්ම සංවාදයට බඳුන් කර ඇති Phillip B. Zarrilli යන රංගවේද පුහුණුකරුවෝ දෙදෙනා ශුද්ධ රංගය ගැන වැදගත් මත දක්වති. ඒවා බෙහෙවින්ම අභ්‍යාසවෘද්ධ බව හැඟේ. රංගනය සඳහා නර්තනය ගෙන දෙන්නේ කවර තානයක්ද යන්න හා එහිදී සිදුවන භෞතික ශරීර නම්‍යතාව රංගයට උපස්ථම්භක කර ගැනීම ගැන විශේෂයෙන්ම Zarrilli දක්වන අදහස් සෞම්‍ය සිය කෘතියෙහි පසු ලිපියක ලියා ඇති ග්‍රොටොවුස්කිගේ පර්යේෂණ රංග විiාව හා සමාන්තරව කියවා ගත හැකිය. එහි එන Grotowskis Approach to inpulse and Action ලිපියෙහි Holy Actor නම් වූ අනුමාතෘකාව යටතෙහි එන න්‍යායික මත දැක්ම සෞම්‍ය කියන ශුද්ධ රංගය හා බැඳෙයි. පරිවාර සැරසිලිවලින් තොර ශුද්ධ රංගයෙන් සමුපේත වේදිකාව අප ගොඩ නගන්නේ කොතැනද? එම ආරම්භය රංග කලාව පිළිබඳ ප්‍රාමාණික උගතකු වන අප මිත්‍ර සෞම්‍යයට අභ්‍යාස කර බැලීම ලංකාව තුළ කළ නොහැකි එකක් වීමටද පුළුවන. සෞම්‍ය වැඩිදුරටත් මෙසේ ලියයි.


“විස්මිත කලාවක් වන නාට්‍ය කලාවේ ප්‍රාථමිකත්වය සොයා යුරෝපීය පෙරටුගාමී කලාකරුවා ගමන් ගත්තේ යම් සේද මෙකී නාට්‍ය කලාවේ තවමත් සැඟවී ඇති ප්‍රාථමික අභිචාරය (Primal Ritual) නැවත වරක් කරලියට ප්‍රවේශ කරවීමටත් සමකාලීන විස්තෘත ජීවිතය විසින් සඟවා ඇති, යටපත් කොට ඇති අනේක විධි ව්‍යාධීන්ගෙන් රෝගාතුරව, ඔත්පලව තිබෙන නළු ශරීරය මෙකී ව්‍යාධීන්ගෙන් විනිර්මුක්ත කොට නැවත වරක් එහි ප්‍රාථමික ස්වරූපය වෙත කැඳවීමට නාට්‍ය කලාවට ඇති හැකියාව සෙවීමට මා රිසි වන්නේය.”


සෞම්‍යයට රාජිතගේ ප්‍රකාශන සමාන්තර රංගය ප්‍රතික්ෂේප කිරීමට මෙන්ම වෙනත් යෝජනාවක් කිරීමටද අවකාශයක් තිබිය යුතුය. තම ප්‍රකාශනයේ ස්වරූපය අඛණ්ඩව පවත්වා ගැනීමට රාජිතට ද අවකාශයක් තිබිය යුතුය. සෞම්‍ය හා රාජිත රංගයේ පරමය නොදක්වති. ලොව බිහිවූ ප්‍රශස්තම රංගධරයා කවුද? ඔහුටවත් එය කළ නොහැක්කකි. මේ දෙදෙනාම රංගයේ තවත් ස්වරූප නිෂ්පාදකයෝ වෙති. රංගයේ දියුණු විiාත්මක ආකෘතිය බටහිර රංගය ලෙස හැඳින්වෙන විට රංගයේ සෞන්දර්ය ආකෘතිය පෙරදිග රංගය ලෙස හැඳින්වෙයි. මේ දෙක අතර ඒවාට වඩා ප්‍රශස්ත රංගයක් තිබේද? නැතහොත් මේ දෙකටම ඔබ්බෙන් රංග නිර්මිතයක් තිබේද? විiාත්මක ආකෘතියත් සෞන්දර්ය ආකෘතියත් යන දෙකම සාපේක්ෂ වශයෙන් සැරසිලි හා විච්චූර්ණ සහිතය. ජීවිතය යනු ප්‍රාථමික අභිචාරමය සමාජ යෙදවුමක් නොවන බැවින් හා ජීවිතය යනු සාපේක්ෂ සැරසිල්ලක්ම වන බැවින්, රංගයේ විiාත්මක ආකෘතියටත් Holy Acting තත්ත්වයට යා නොහැකිය. සෞම්‍ය විශ්වාස කරන, සමාන්තර ජීවිතයෙන් ඔබ්බට ගිය රංගයක් නිර්මාණය කිරීම අතිසංකීර්ණත් කාරණයක් මිස සරල තත්ත්වයක් යැයි සිතිය නොහැකිය. එමෙන්ම එය දියුණු රංග කලාවක පර්යේෂණ පැතිකඩකි. සෞම්‍ය විශ්වාස කරන හිස් අවකාශය හා අවකාශය තුළ සැරිසරන නළුවා මගින් මිනිසාගේ මූල ජීවිතය හා පැවැත්ම නිරූපණය කළ හැකිය. ගවේෂණය කළ හැකිය. රාජිත ගෙනෙන මධ්‍යම පාන්තික දිවියේ පැවැත්මට හා ප්‍රශ්නවලට ප්‍රතිපක්ෂව නොවුණත් ව්‍යුහාත්මක වශයෙන් නව රංග ප්‍රකරණයක් වෙත යාම විෂය විෂයාන්තර ප්‍රවීණයන්ගේ වගකීමය. එය රාජිතගෙන්ම බලාපොරොත්තු විය යුතු නැත.


රාජිතගේ අන්තර්ගතය


සෞම්‍ය තත් ලිපිය තුළ කරන තවත් සැලකිය යුතු ප්‍රකාශයක් වන්නේ නාගරික ජීවිතයේ අධිකාරිත්වය ලංකාවේ පරිවාරයට පැටවීම රාජිතගේ නාට්‍ය තුළින් සිදුකැරෙන බවය. එය සංස්කෘතික අධිකාරිත්වයක් ලෙස හඳුන්වන සෞම්‍ය රාජිත කරන්නේ අහිංසක ක්‍රියාවක් නොවන බවද කියයි.


එහි එක්තරා ඇත්තක් තිබේ. රාජිත නාට්‍ය පෙන්වන්නට අරලගංවිලට යන්නේ තම නාට්‍යයට ලයනල් වෙන්ඞ්ට් එන රසික ජනයාගේ සහතිකය රැගෙනය. ලංකාවේ ප්‍රකට කලාකරුවන්ගේ සිට උසස්ම රසිකයන්, දක්වා වූ පිරිස එ සහතිකයේ සාක්ෂ්‍යකරුවෝ වෙති. මේ සියල්ලන් මධ්‍යම පන්තියේ ජීවිතය ඔජ වඩන්නන් වන අතර එහි අසීරුවෙන් ජීවත් වන බව ප්‍රකාශ කරමින් කැමැත්තෙන් ජීවත් වන්නෝ වෙති. මාක්ස්ට අනුව මධ්‍යම පන්තිය යනු විඥානයක් නැතිම පන්තිය වුවත් ලංකාව තුළ ඉහළම විඥානය සහිත පන්තිය මධ්‍යම පන්තිය බවට අධිනිශ්චය වී තිබේ. සෞම්‍ය ඇතැම්විට කියනු ඇත්තේ පොදු ජන විඥානයෙන් රාජිතගේ නාට්‍ය වියෝ වී ඇති බව විය හැකිය. අන්තෝනියෝ ග්‍රාම්ස්චි පවසන පරිදි පොදු ජන අවබෝධය යනු සමාජ සම්මතය තුළ දාර්ශනිකයන් ලෙස හඳුනා නොගන්නා අයගේ දර්ශනයයි. ජීවිතය හා ලෝකය පිළිබඳ ව්‍යවහාරික දැක්මක් ඉන් සැපයේ. එහෙයින් දර්ශනය පවතින්නේ අපගේ ප්‍රායෝගික ජීවන ව්‍යවහාරය තුළමය. මෙම දර්ශනය ශාස්ත්‍රාලයීය දර්ශනවාද සමග සම්බන්ධයක් නොමැති බැව් පෙනෙනු ඇත. (අන්තෝනියෝ ග්‍රාම්ස්චි – සංස්කරණය සුමිත් චාමින්ද) ලංකාවේ දක්නට ඇති ප්‍රශ්නය වන්නේ සෞම්‍ය කියන ව්‍යාජ විඥානයක් නිරූපණය කරන රාජිත විශ්වාස කරන පන්තියත්, ග්‍රාම්ස්චි විස්තර කර ඇති සෞම්‍ය සානුකම්පිත වන පොදු ජන තීරුවත් යන දෙකම අයාලේ යන සමාජ ස්ථරයන් ලෙස පෙනී යාමය. අරලගංවිල හා කොළඹ දෙපිරිසම එක්වී තුනෙන් දෙකක්ම දීමටත් එම අයාලේ යන තත්ත්වය හේතුවිය හැකිය. රාජිතගේ නාට්‍ය ව්‍යාපාරය මධ්‍යම පන්තියේ සංස්කෘතික දේශපාලන ප්‍රකාශනයක්ය යන්න පිළිගත හැකි විවේචනයක් වන අතර, එය ඔහුගේ නාට්‍ය ආකල්පය ලෙසද තේරුම් ගැනීමට සිදුවෙයි. ඊට විකල්පව රංගයේ හා අවකාශයේ ප්‍රාථමික ගොඩනැංවීම කුමක්ද? එම ප්‍රාථමික ගුණය ගවේෂණය කරන්නේ කෙසේද? එය සෞම්‍යගේ රංග ව්‍යාපාරයේ ප්‍රමුඛ අභ්‍යාසයක් බවට පත්වීමද වැදගත්ය.


මෙහි තවත් පැත්තක් තිබේ. එය නම් අපට ව්‍යාවෘත වීමට සිදුවන සෑම ක්ෂේත්‍රයකම තත්ත්වය ශුද්ධ නොවීමය. ඕනෑම කෙනෙකුට තමන් බලය අභ්‍යාස කරන කාලයේ සුඟකින් හෝ දූෂණයවීමට සිදුවෙයි. සමහරවිට එය නොදැනීම හෝ සාධාරණ යැයි ගොඩ නැගෙන තම සිතෙහි තර්කයක් මත සිදුවන්නකි. අනෙක් අතට සෑම විෂයකදීම ශුද්ධ වස්තුවක් හෝ ශුද්ධ තත්ත්වයම ප්‍රාර්ථනා කරනවා නම් සෞම්‍යයට ජවිපෙට සහයෝගය දීමටත් නොහැකිය. සෞම්‍යගේ විග්‍රහයට අනුව බැලුවහොත් ජවිපෙත් රාජිතගේ නාට්‍ය වැනිය. පෙනී සිටින්නේ මාක්ස් කියූ මැටිගොඩ හෙවත් මධ්‍යම පන්තිය වෙනුවෙනි. එය තවදුරටත් පොදු ජන හෝ නිර්ධන පන්ති ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශමාන නොවෙයි. එවිට සෞම්‍ය වේදිකා රංගනයෙන් පරිබාහිර ඇත්ත ජීවිත රංගයේදී පෙනී සිටින්නේ විච්චූර්ණ සැරසිලිකාර දේශපාලනයක් වෙනුවෙන්ය.


ග්‍රාම්ස්චි කියන පරිදි පොදු ජන අවබෝධය යනු සමාජ සම්මතය තුළ දාර්ශනිකයන් ලෙස හඳුනා නොගන්නා අයගේ දර්ශනයයි යන්න ලංකාව තුළ එක්තරා ව්‍යාජයක් වෙයි. එසේ වන්නේ රාජිත සංස්කෘතික බලහත්කාරය පරිවාරයට පටවන බවට සෞම්‍ය කරන චෝදනාව සහ අදාළ පීඩිත පන්තිය ජවිපෙ සමගද වෙනත් පීඩිත පන්ති ව්‍යාපාරයක් සමගද අනන්‍ය නොවීමෙනි. අනෙක් අතට ජවිපෙ සෞම්‍ය වැනි උගතුන් මගින් පීඩිත ජනයා වෙතට ගෙන ගොස් තිබෙන්නේ විච්චූර්ණ සැරසිලි දේශපාලනමයද යන ප්‍රශ්නය පැන නැගේ. එවිට සෞම්‍යගේ විග්‍රහය තුළ රාජිත අරලගංවිලට නාට්‍ය ගෙනයෑම සහ සෞම්‍ය ජවිපෙ නම යටතේ දේශපාලනය කිරීම සමාන සංසිද්ධීන් බවට පත්වෙයි. මේ ප්‍රතිවිරෝධතා අතර අප පසුවන්නේ සැබෑ රංගය, සැබෑ ජීවිතය මෙන්ම සැබෑ දේශපාලනයද සොයා ගැනීම පිළිබඳ අභියෝගයකට අභිමුඛවය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here