රාවය ප්‍රකාශනයකි
මිල රු. 450/-කි.

විමලනාත් වීරරත්න


“නොකීවයි කියන්ට එපා. මාරයා දොරකඩට විත් සිටී. වහාම ක්‍රියා කරව්. දෙමළුන්ගෙනුත් මරක්කල ජා, ලංසි ආදීන්ගෙනුත් රට බේරා ගැනීමේ සටනට අප හා එක්වව්. ඔවුන්ට ශ්‍රී ලංකාවේ සිටින්ට ඕනෑ නම් උතුරු නැගෙනහිර පළාත්වලට ගිය හැකිය. අනුරාධපුර, පොළොන්නරුව වැනි ශුද්ධ නගර මෙන්ම කොළඹ, මහනුවර සහ ගාල්ල යන මහ නගර තුනද සම්පූර්ණයෙන්ම සිංහල ස්ථාන කළ යුතුයි. කිසිම විදේශිකයකුට කිසිම අබෞද්ධයකුට අප අතර රැඳි සමාජය අපවිත්‍ර කිරීමට ඉඩ නොදිය යුතුයි. (58 හදිසි අවස්ථාව – පසුවදන)


මෙවැනි ප්‍රකෝපකාරී හා මානව විරෝධී අදහස් අන්තර්ගත නිර්ණාමික තැපැල් පත් විශාල ප්‍රමාණයක් 1958 වසරේදී ලංකාණ්ඩුවට ලැබී තිබුණි. ප්‍රමාද වී පැනවූ හදිසි නීතිය ඉවත් කර ගැනීමද එම තර්ජනාත්මක තැපැල් පත් ව්‍යාපාරයෙහි එක් අරමුණක් වී තිබුණි. 58දී මෙරට සිදුවූ නින්දාසහගත සහ ජාතිභේද කලහයේදී බණ්ඩාරනායක ආණ්ඩුව ක්‍රියාකර තිබුණු අදූරදර්ශී ආකාරය නිසා ඒ වනවිටත් ලංකා සමාජය මහත් ව්‍යසනයකට පත්ව තිබුණි. දකුණේ දෙමළ ජනයාගේ ලේ, ගංගා ගලා ගිය අතර උතුරේ හා නැගෙනහිර පදිංචි සිංහල ජාතිකයන්ටද එම බිහිසුණු තත්ත්වයටම මුහුණ පාන්නට සිදුව තිබුණි. ලංකාවේ ජාතිභේද ප්‍රශ්නය දීර්ඝකාලීන යුද්ධයක් දක්වා පරිවර්තනය වීමත් උතුරු නැගෙනහිර තත්ත්වාකාර රාජ්‍යයක් නිර්මාණය කරගැනීම දක්වා එල්ටීටීඊ සංවිධානය ගමන් කිරීමත් දෙමළ ජනයාගේ නිර්මාණයකට වඩා කලහකාරී හා ජාතිභේදවාදී සිංහල ජනයාගේම නිපැයුමක් බව ඉහත දැක්වූ නිර්ණාමික උපුටනයෙන් පෙනී යයි. දෙමළ බිම ලෙස උතුරු හා නැගෙනහිර තෝරා ගන්නට කියා ඇත්තේ ප්‍රභාකරන් හෝ වෙනත් දෙමළ නායකයකු නොවේ. දෙමළ ජාතිය පිළිබඳව අන්තවාදී ස්ථාවරයක් ගත් සිංහල ජනතාව විසින්මය.
සිලෝන් ඔබ්සර්වර් කර්තෘ ටාසි විට්ටච්චි විසින් රචිත ‘58 හදිසි අවස්ථාව’ කෘතියට පාදක වන්නේ අගමැති බණ්ඩාරනායකගේ සිංහල පනත ප්‍රකාරව ප්‍රධාන ජාතීන් දෙක අතර උද්ගතවූ ලේ වැගිරීමය. ඒ වනවිට ලංකාවේ පැවති හදිසි තත්ත්වය නිසා ඉංග්‍රීසි බසින් ලියූ මෙම අත්පිටපත රැගෙන කතුවරයා එංගලන්තයට ගොස් ඇත. ටාසි සිංහලයකු ලෙස මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ එහි පෙරවදනෙහි සඳහන් කර ඇති පරිදිම ‘අදහස් නිදහස්ය, සත්‍ය පූජනීයය.’ යන පදනමේ සිට බව කිව හැකිය. මන්ද ඔහු ප්‍රචණ්ඩ සිදුවීම් වල අඳුරු අහුමුළුවලට එල්ල කර බලන ආලෝක ධාරාවන් ප්‍රභේද ඉක්මවා හැකි සෑම දෙසකටම එල්ල කර බලා තිබෙන බවක් පෙනේ.


ලැබුවේ මේ රටට හෙනහුරු දසාවද?


ටාසි කෘතිය අරඹන්නේ ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයේ එන එම සඳහනෙනි. සාන්ත සුන්දර තේ උයනක් ලෙස පෙර දවසෙහි ලත් කීර්තියෙන් වැජඹුණු ශ්‍රී ලංකාව ගැන 1958 මැයි-ජූනි මාසවලදී ලෝකයේ පුවත්පත් මහා අකුරින් ශීර්ෂ පාඨ පළකරන්නට විය. “ලංකාවෙන් පිටවෙන්නැයි 7000ක් බි්‍රතාන්‍යයන්ට අණ කරති”, “ජාතිකලහවලින් සිය ගණන් මැරුම් කති”, “හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පමුණුවති”, “රෑ එළිවනතුරු ඇඳිරි නීතිය”, “උතුරේ කැරලි නායකයන් සිරභාරයට ගනිති”, “තදබල පුවත්පත් පාලනයක්”, “සිවිල් නිදහසට බලවත් අවහිර”, “කොළඹ වරායේ තේ, රබර් ගොඩ ගැසේ”, “අනාථයන් 10,000ක් ඉවත් කර රැකවරණ සලසති” යනාදී ලෙසින් විශේෂ පත්‍ර වාර්තාකරුවන් පිටස්තර ලෝකයට තතු හෙළි කළේ තද පාලන නීති නිසා දිවයිනෙන් රහසේම පිටවී ගොස් මදුරාසි දාතමකින් ප්‍රවෘත්ති නිකුත් කිරීමෙනි. (පිටුව 01)


1958 සිට 2020 දක්වා ගෙවුණු කාලය දශක හයකි. එම දශක හය තුළ ලංකාව ජාතීන් අතර ප්‍රශ්නයේදී මෙන්ම ආර්ථික ප්‍රශ්නයේදී පසුගමන් ගිය හේතුව මෙහි විවරණය වෙයි. 2009දී තිස් වසරක යුද්ධය අවසන් වුවත් ප්‍රශ්නය අවසන් නොවුණි. යුද්ධය කෙරුණු තිස් වසර තුළ රට ආර්ථිකමය වශයෙනුත් සංස්කෘතිකමය වශයෙනුත් යළි ගොඩගත නොහැකි අගාධයකට ඇද වැටුණි. 58 ජාතිභේද කලහයෙන් හදවත් පෑරී මහා ලේ ගංගාවක් ගලා යෑමට පෙර ලාංකීය ජාතියක් යන අදහස සමාජය ඉස්මත්තෙහි තිබුණි. 58දී හානිවූයේ ලාංකීය ජාතිය නමැති දේහයටය. මේ පිළිබඳව බණ්ඩාරනායකගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා කිසිම නායකයෙකුට අදහසක් නැති බව පෙනුණි. ඊට හේතු වන්නේ එකී නායක වළල්ලට පටු දේශපාලන දැක්මක් මිස ජාතිය ගොඩනගා ගැනීම ගැන ගැඹුරු අවධානයක් නොමැතිවීමය. ජනමාධ්‍යවේදියකු ලෙස වික්ටර් අයිවන් හැර කිසිදු දේශපාලන නායකයෙක් ජාතිය ගොඩනැගීමේ අවශ්‍යතාව මූලික කාරණයක් ලෙස අවධාරණය කරනු අප මෙතෙක් කාලයකට අසා නැත. එම සෛද්ධාන්තික ප්‍රවේශයට නොයා රට ගොඩගත නොහැකි බව ටාසි විට්ටච්චිගේ ‘58 හදිසි අවස්ථාව’ කෘතිය කියවන විට පෙනී යයි. අද පවා ජාතීන් අතර ප්‍රශ්නය හුදු ආර්ථික ප්‍රශ්නයක් ලෙස දකින වර්තමාන ජනාධිපතිවරයාට එය හුදෙක් එසේම නොවන බව තේරුම් ගැනීමට 58 හදිසි අවස්ථාව කියවන ලෙසට යෝජනා කරමි.


වරද්දා ගත් ප්‍රවාදයක්


එළාර-දුටුගැමුණු යුද්ධය සිදුවූයේ ක්‍රි.පූ. 164දීය. එය අදත් අභිමානයෙන් සමරන අතර දුටුගැමුණුට සිංහල ජනයා සියලු නරපතීන් අතර ප්‍රමුඛස්ථානය දීමටද නොමැලිය.


“ලංකාවට ප්‍රධාන විය යුත්තේ කවර වර්ගයද යනු ඒ සටනින් සදහටම තීරණය වී යැයි පුරාණ සිංහල ඉතිහාසකරුවෝ කීහ. වසර 2000කට පෙර සිදුවූ ඒ යුද්ධයේ ප්‍රතිරාවය ඒ තැනිතලා බිම්වලම 1958දී අසන්නට ලැබුණේය.” (පිටුව 03) යම් හෙයකින් ඉහත සටනින් එළාර දිනුවා නම් ලංකාවට ප්‍රධාන විය යුත්තේ දෙමළ ජනවර්ගයද? එය කෙතරම් අදූරදර්ශී හා අතාර්කික සිතිීමක්ද? ඒ අනුසාරයෙන් මේ ප්‍රශ්නයට ප්‍රවේශවීමට හැකි නම් දේශපාලනඥයාට වුවමනා වුවත් ජනයා අගාධය වෙත මෙහෙයවා ගැනීමට නොහැකි වන්නට තිබුණි. එළාර වෙනුවෙන් සොහොනක් බැඳීම හා රුවන්මැලි සෑ ගර්භයේ ජයග්‍රාහී සහ පරාජිත රජවරුන් දෙදෙනා ම බලවත් බව සංකේතවත් කිරීමට දරා ඇති වෑයමවත් සිංහල ජනයා අන්තවාදයට නොපිවිසීමට දර්ශකයක් කරගත යුතුව තිබුණි. ඩී.එස්.ගේ පුරවැසි පනත රට ලොකු අර්බුදයකට පත් කළ අතර බණ්ඩාරනායකගේ සිංහල පනත රට නරකාදිකයකට හෙළුවේය. දුටුගැමුණුගේ අයිසින් තැවරුණු සිංහලෝත්තමවාදය මේ දෙකෙහිම ගාමක බලය වූයේය. අදූරදර්ශී නායකයන්ගේ අන්තවාදී අණපනත් සාධාරණීකරණය කැරෙන්නේ මහා යුද්ධයකින් පසුවත් මිනිසුන් එකහමාරක් මරා තිබුණු දුටුගැමුණුගෙනි.


පුරවැසි පනත


1048 වන විට සිංහලයන් හැට ලක්ෂයක්, ස්වදේශික දෙමළ දස ලක්ෂයක් සහ ඉන්දියානු දෙමළ වතු කම්කරුවන් දස ලක්ෂයක් මෙරට වාසය කළහ. ඉන්දියානුවන් මෙරට රැඳී සිටීම ගැන උඩරැටියන් නිතර ඩී.එස්.ගේ රජයට දෝෂාරෝපණය කළ අතර ඩී.එස්. පුරවැසි බව සීමා කරන පුරවැසි පනත ගෙනාවේ ඊට පිළියමක් ලෙසිනි. එමගින් ඉන්දියානු කම්කරුවන්ගේ සංක්‍රමණය නැවතුණි. එහෙත් එමගින් බි්‍රතාන්‍යයන් හා බර්ගර් වැනි ජාතීන්ටද පහර වැදුණි. ඔවුහු සිය පුරවැසි වරප්‍රසාද අහිමි වීම නිසා ක්‍රමයෙන් වෙනත් රටවලට ගියහ. ඒ ගැන සඳහන් කරමින් බර්ගර්වරු 45,000ක් රට හැර ගිය බව 58 හදිසි අවස්ථාව කෘතියෙන් විට්ටච්චි දක්වයි.


රැකියා අහිමිවිය හැකි අනතුර නිසා ස්වදේශික දෙමළ ජනයා මෙන්ම ඉන්දියානු කම්කරුවන් සුළු ජාතික කණ්ඩායමක් ලෙස වෙන්ව ක්‍රියා කරනු ප්‍රථමවරට මෙරටදී දක්නට ලැබුණි. මෙම බෙදීම තීව්‍ර කරන තවත් ප්‍රශ්නයක් උද්ගත වූයේ 56 මැතිවරණයේදී කොතලාවල සිංහල දෙමළ භාෂා දෙකටම සමතැන දෙන බව ප්‍රකාශ කිරීමත් ඊට ප්‍රතිපක්ෂව බණ්ඩාරනායක සිංහල පමණයි යන උද්ඝෝෂණයත් නැගීමෙනි. යළි පිළිතුරු ලෙස කොතලාවලත් බණ්ඩාරනායකගේ සිංහල පමණක් නමැති රට අගාධයට ඇද හෙළුෑ උද්ඝෝෂණයෙහි එල්ලීමෙන් පසු තරගය නිමා වූයේ බණ්ඩාරනායකට නොසිතූ ජයක් අත්කර දීමෙනි. අනතුරුව රටෙහි තත්ත්වය දෙතුන් ගුණයකින් ව්‍යාකූල වූයේ බණ්ඩාරනායක පොරොන්දු ප්‍රකාරව සිංහල පනත පැනවීමත් සමගය. “වර්ගභේද සටන් පැතිර යන්නට පටන් ගත්තේ එතැන් සිටය. ලංකාවේ නැගෙනහිර පළාතේ පාළු බිම් පෙදෙස් ජනවාස කරනු වස් විවෘත කරන ලද ගල්ඔය නිම්නය ඒ අතරින් දරුණු සටන් බිමක් විය. (පිටුව 11)


ඉතා කෙටි කලක් තුළ ගල්ඔය නිම්නයේ පදිංචි දෙමළ වාසීහු 150ක් පමණ සිංහල අන්තවාදීන්ගෙන් මැරුම් කෑහ. මේ පිළිබඳව අද දක්වාම එළිදැක්වී නැති විමර්ශන වාර්තාවක් තිබේ. එය සිංහලුන් අතින් සිදුවූ අපරාධයක් නිසා සිංහල ඡන්දවලින් බලයට පත්වන කිසිම ආණ්ඩුවකට වාර්තාව එළියට දැමීමට ඕනෑ නොවීය. (රාවය ප්‍රකාශනයක් වන ‘දෙරටක අන්දරය’ ගල්ඔය සිදුවීම පිළිබඳව සඳහන් කෘතියකි.)


58 ලේ වැගිරීම


දෙමළ භාෂාවට සහ ජාතියට එල්ලවෙමින් තිබුණු පීඩනය හමුවේ 57 අගෝස්තුවේදී සිවිල් නීති කඩන ව්‍යාපාරයක් ඇරඹීමට දෙමළ ජනයා සැලසුම් කර තිබුණි. එය ව්‍යර්ථ වූයේ බණ්ඩාරනායක හා චෙල්වනායගම් අතර ගිවිසුමක් ඇතිවූ නිසාය. එහෙත් 58 වන විට එම ගිවිසුම අහෝසි කැරුණි. ඊට හේතුවූයේ බණ්ඩාරනායක බලයට පත් කළ පාර්ශ්ව වෙතින් එල්ල කැරුණු දැඩි බලපෑම්ය. ජාතීන් අතර භේදකාරී තත්ත්වය ලේ වැගිරීමක් දක්වා ගියේ ඉන්පසුවය. සිංහලයෝ පළමුවෙන් අනුරාධපුරය හා පොළොන්නරුවේ දෙමළ ජාතිකයන් පදිංචි කරනවාට විරුද්ධ වූහ. මේ කියන සිංහලයන්ද අතිබහුතරයක් මුහුදුකරයෙන් ගෙන ගොස් රජරට පදිංචි කරවූ පිරිස්ය. ඇතැමුන් බලහත්කාරයෙන් රජයේ ඉඩම් අල්ලාගෙන සිටි පිරිසය. ඔවුන් අතර පාරම්පරික ගම්කාරයෝද වූහ.


“මැදවච්චිය පුල්මුඩෙයි පාරේ පිහිටි කුඩා කැබිතිගොල්ලෑව නම් සිංහල ගමෙයි වැසියෝ යුද්ධ ප්‍රකාශයක් කරමින් ජනපදවල පදිංචිවීමට යන දෙමළ එකකු නෑර කැති ගාන බව කීහ. (පිටුව 10)

අනෙක් අතට මෝටර් රථවල ඉංග්‍රීසි අකුර වෙනුවට ශ්‍රී අකුර යෙදීම නිසා උරණ වූ පෙඩරල්වාදීහු ශ්‍රී අකුරේ තාර ගෑහ. ඇතැම්හු සිංහල ශ්‍රී වෙනුවට දෙමළ ශ්‍රී දැමූහ. මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාවලට සම්බන්ධවූවන්ට දඬුවම් නොකැරිණි. ආණ්ඩුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවන දෙමළ අන්තවාදීන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියා ගැන නීති මගින් කටයුතු නොකරන බව පෙනී ගිය විට සිංහල අන්තවාදීහුද තව තවත් ප්‍රචණ්ඩ වූහ. ඇතැම්විට නිරුවත්ව කුණුහරුප කියමින් තාර බාල්දි හා බුරුසු අතට ගෙන පාර පුරා ගිය සිංහල අන්තවාදීහු දෙමළ අකුරුවල තාර ගෑවෝය. දෙමළ පෙනුමක් ඇති පුද්ගලයන්ගේ ශරීරවලද තාර ගැල්වූහ.


වව්නියා සම්මේලනය


පෙඩරල් පක්ෂය දෙමළ ප්‍රබෝධය වෙනුවෙන් සංවිධානය කළ එම සම්මේලනයට මඩකළපුවේ සිට දුම්රියෙන් එන පිරිසට පහරදීමට සිංහල මැර කල්ලි මග රැක සිටින බව දැනගත් පසු ඔවුහු වැලිකන්දෙන් බැස ගියහ. එකම මගියකු පොළොන්නරුවට පැමිණ තිබුණු අතර ඔහුට නොසෑහෙන ලෙස බැටදී තිබුණි. පන්සියයක පමණ පිරිසක් දුම්රියට නැගී ජනේල පොඩි කර තිබේ. ඊට පසුදින මඩකළපුවේ සිට පැමිණි දුම්රිය පීලි පැන්න වූහ. සිංහල හමුදාව (මැර කල්ලි) නිදැල්ලේ සක්මන් කරමින් ස්ත්‍රී දූෂණය, කොල්ලකෑම, දෙමළ කම්කරුවන්ට හා රජයේ නිලධාරීන්ට ගුටිබැට දීම ආදී වීරකම් කළහ. පොළොන්නරුව සුන්බුන් කිරීමට දෙමළ සෙනඟක් එන ආරංචි නිසා මෙම තක්කඩි රැළ සිංහල වීරයන් සේ මූර්තිමත් වූහ. (පිටුව 29)


ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍රවෙයි


සිංහල මැරවරයන් සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා එන්න එන්නම දරුණු වූ ආකාරය ටාසි විට්ටච්චි මෙම කෘතියේ පෙන්වා දෙයි. එමෙන්ම ආණ්ඩුව නිහඬව සිටිමින් ඊට අනුබල දී තිබේ. පාදඩයින් ආණ්ඩු හිතවාදීන් නිසා ඔවුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට ගියහොත් තමන්ට වැඩ වැරදිය හැකි බව පොලිසියේ කල්පනාව වී තිබුණි. විට්ටච්චි මෙම ප්‍රචණ්ඩකාරීන් කෘතිය පුරාම කුම්භාණ්ඩයන් ලෙස හඳුන්වයි. දෙමළ අන්තවාදීන්ටද ඔහු එම අපරනාමය භාවිත කරයි.


“කුම්භාණ්ඩයෝ ඩයිනමයිට් ගැසීමට දක්ෂකමක් පෑහ. ඩයිනමයිට් කරල කමිසයේ උඩ සාක්කුවේ නූල එළියට සිටින සේ දමාගෙන ගොස් හතුරකු ළඟට ආ විගස ගිනි කූරකින් නූල දල්වා සැණෙකින් වෙඩිල්ල එළියට ඇද සතුරාගේ ඇඟට විසි කළහ. ඔවුහු එසේ මහ දවාලේ වීථිවල එළිපිට මිනිසුන් මැරූහ. දෙමළුන්ගේද ඔවුන්ට පිහිටවුණු සිංහලුන්ගේද මොළ කැබලි වීථිවල සීසී කඩ විසිරී තිබුණි. ගොළු බිහිරි කසළ ශෝධකයකු අල්ලා ඔහු කුමක් කරද්දැයි බලා විනෝදවීමට මැරෙන තුරු පහර දුන්හ. කුම්භාණ්ඩයෝ හිඟුරක්ගොඩ මිනිසකුද, මින්නේරියේ මිනිසකුද පණ පිටින් පුළුස්සා මැරූහ. (පිටුව 32)


ඒ 58 මැයි 24 හා 25 සිදුවීම්ය. මැයි 25 වැනිදා මැරයෝ තවත් නින්දිත අපරාධයක් කර තිබුණි. පොළොන්නරුවේත්, හිඟුරක්ගොඩත් රජයේ ගොවිපොළවල් දෙකට ඔවුහු එකම වෙලාවක කඩා පැන්නෝය. පොළොන්නරුවේ දෙමළ කම්කරුවෝ උක් කොටුවලට පැන සැඟවුණු නමුත් කුම්භාණ්ඩයෝ උක් වගාවට ගිනි තැබුවෝය. මිනිසුන් ගැහැනුන් සහ කුඩා ළමුන් සැඟවුණු තැන්වලින් එළියට දුවන විට කඩු කැති පොරෝ ආදියෙන් ඔවුන් කපා කෙටූහ. ඇතැමුන්ට පොලු පහර වැදුණි. හිඟුරක්ගොඩ ගොවිපළේදීද තත්ත්වය දරුණු විය. එක් ස්ත්‍රියක් මැරයන්ගේ වධයෙන් බේරීමට දරුවන් දෙදෙනාත් වැලඳගෙන ළිඳකට පැන්නාය. අටමසක දරු ගැබක් දරා සිටි කාන්තාවකගේ බඩ පලා මරා දමා තිබුණි.


මුළු රටේම දෙමළ ජනයා මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දෙද්දී බණ්ඩාරනායක ඉස්තාලය වසා තිබුණේ, එනම් හදිසි නීතිය පැනෙව්වේ අශ්වයා ගියාට පසුවය. හදිසිය පැනවීමෙන් පසුවවත් මැර ක්‍රියා අඩු නොවුණි. ඒ තමන් පිහිටවූ ආණ්ඩුව තමන්ට එරෙහි නොවන තත්ත්වයක් තිබුණු නිසාය. එහෙත් මැර ක්‍රියා පාලනය කිරීමට එරෙහි වූ දිසාපතිවරු හා පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් හෝ සිටි බව ඔවුන්ට ගෞරවය පිණිස ලියා තැබිය යුතුමය.


බණ්ඩාරනායක රට ගිනි ගනිද්දීත් එගිනි නිවීමට ඉක්මන් තීරණයක් නොගත්තෙකි. ඔහුගේ පුද්ගල චරිතය ගැන විට්ටච්චි අපූරු හැඳින්වීමක් කරයි. “බණ්ඩාරනායකගේ සහජ ගතිය වූයේ යම් භයානක ඝෝර රාක්ෂසයකු ඉදිරියට ආවිට ඌ හැරී යනවා ඇත. නැත්නම් සිය කැමැත්තෙන්ම එතනම මැරී වැටෙනවා ඇතැයි සිතමින් ඌ දෙස නොබලා ඇස්පියා ගැනීමය. (පිටුව 48) රට පුරා ජාතිවාදී ගිනි ඇවිලී ගිය මේ මහා ඛේදවාචකයකදී අගමැති බණ්ඩාරනායක ක්‍රියා කර ඇත්තේ එපරිදිය.


පඨිසෝතගාමී ලේඛකයා


ටාසි විට්ටච්චි සිංහල මැර කණ්ඩායම්වල ක්‍රියාවන්ට ප්‍රතිපක්ෂ ලෙස උතුරේ හා නැගෙනහිර දෙමළ අන්තවාදීන් සිදු කළ මිනිස් ඝාතන ගැන ලිවීමටද පසුබට වී නැත. දෙමළ මිනීමරුවනුත් ඔහුට අනුව කුම්භාණ්ඩයන්ය. දෙමළ මැර කල්ලියක් කළ බරපතළම සිද්ධියක් වූයේ යාපනයේ නාග විහාරයට පැන විහාරාධිපති හිමියන්ට තුවාල සිදු කොට බුද්ධ ජයන්තියට බුරුමයෙන් ලැබුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ කැබලිකර මුහුදට දැමීමය. දූරදර්ශිව කල්පනා කළ නිලධාරීන් එය දකුණෙහි ප්‍රචලිත වන්නට ඉඩ නොදී යළි ප්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කර තිබේ.


ඒ හැරුණු විට තව පිරිසක් යාපනය රේගුවේ ලියකියවිලි ගිනි තැබූහ. එය සිදුකර තිබුණේ ජාති ප්‍රේමයට මුවාවී හොර බඩු ජාවාරම්කරුවන් විසිනි. රේගුවේ තිබී ඇත්තේ ඔවුන් පිළිබඳ ලේඛනය. උතුරු නැගෙනහිර සිංහල ධීවරයෝ දෙමළ කුම්භාණ්ඩයන්ගෙන් මැරුම් කෑහ. එම සංඛ්‍යාව 150-200 අතර වෙයි.


ගිනි අවුළුවන්නට මිස ගිනි නිවීමට දේශපාලන නායකත්වය යුහුසුලු නොවුණු බව මෙම කෘතිය පසක් කර දෙයි. රජයේ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දී පොලිසියට සහ හමුදාවට මැර ක්‍රියා මඬින්නට ඉඩ ලබා දුන්නේ නම් රට මේ සිද්ධියෙන් ඒ සා විනාශ වෙන්නේ නැත. හදිසි නීතිය පැනවීමෙන් පසුව යම් පමණකට මැර ක්‍රියා මැඬීමට හැකිවීමෙන් ඒ බව ප්‍රත්‍යක්ෂ වෙයි. බී. වීරසිංහ හා ඩී.ඩී.ඇස්. රණසිංහ නමැති විශිෂ්ට පොලිස් ප්‍රධානීන් දෙදෙනකු ගැනද මෙම කෘතියේ දැක්වෙයි. ඔවුන් අවස්ථා දෙක තුනකදීම තම ජීවිත අවදානම නොතකා මහා මිනිස් ඝාතන සිදුවීමට ගිය අවස්ථා වළක්වා ගෙන තිබේ. අනුරාධපුර දිසාපති ඩෙරික් අළුවිහාරේද මිනිස් ජීවිත රැසක් බේරා ගත් මානව හිතවාදියෙකි.

ටාසි විට්ටච්චි විසින් රචිත මෙම කෘතිය පරිශීලනයෙන් තොරව මෙරට ජාතිභේදවාදී ප්‍රශ්නයේ අගමුල සොයා ගැනීම අපහසුය. එබැවින් මෙම කෘතිය මුළු රටම කියවිය යුතුය. එම කියවීම භේද ඇති කරගත් ජාතීන් දෙකටම අදාළය. තමන් පෙළුෑ ප්‍රශ්නය ගැන ඉවසීමෙන් සිතා බැලිය හැකි පසුබිමක් ජාතීන් දෙකටම ඉන් ලැබෙනු ඇත.