ටිරන් කුමාර බංගගමආරච්චි


යමක් කියවූ පසු, නැරඹූ පසු රස විඳි පසු ඒ ගැන අදහස් දැක්වීම ඉක්මනින්ම සිදුවන්නක්. එහෙත් මේ ලියැවිල්ල ඊට වෙනස්. සිංහබාහු නාට්‍ය බලලා දැන් දස වසරකටත් වැඩියි. එදත් මේ දේ ලිවිය යුතු යැයි සිතුවත් සිතන හැමදේම නොකරන පුරුද්ද පෙරට පැන්නා. සමහර දේවල් කල්ගතවී හෝ අවුස්සන්නට හැකියි. සමහර මතක තවමත් ඒ විදිහටම මතකයි. සමහර මතකයන් අන් අයට කියන්න අමතක කරන්නේ ඇයි?


ලංකාවේ වැඩිම විචාර ලියූ නාට්‍ය අතර ‘සිංහබාහු’ මුදුනේම ඇති බව නොරහසක්. ‘මනමේ’ හරහා නාට්‍ය කලාව පටන් ගත්ත සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය දිවියේ මුදුන් මල්කඩ ‘සිංහබාහු’ කිව්වොත් දොසක් නැහැ.


සිංහබාහු නාට්‍යයේ සාහිත්‍යමය රසය, නාට්‍යමය ගුණය, යටිපෙළ මහාවංශයේ කතාවට දී ඇති නව අර්ථකථනය අපූරුයි. ඒවා ගැන ඇති පදම් කතාබහ කර ඇත. ‘සිංහබාහු’ හි විචාර සියල්ල ගල්ලෙන ඇරි පසු එළිය දකින විදිහක්. එහෙත් මේ නාට්‍ය බැලූදා සිට හිතුණෙම ගල්ලෙන තුළට ගොස් ඇතුළ බලන්නයි. සිංහබාහු බලලා එළියට එනකොට හිතුණෙම ගල්ලෙනට රිංගිය යුතුයි කියලමයි. ඒ රිංගිල්ල ගැන වසර ගාණක් නොකියා හිටි එක විතරයි ඉතිරි වුණේ.


පිය – පුතු අරගලය


ඊට පෙර සිංහබාහු ගැන කී කතා සිතමු. බොහෝ විචාර වත්මන් සමාජ සන්දර්භය තුළ පවතින පියපුතු සම්බන්ධය විශේෂ කොට ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රතීයමානය කිරීමට සරච්චන්ද්‍රයන් ගත් උත්සාහය අතිවිශිෂ්ට යැයි කෑගසන්නට විය.


ඒ අතරට බොහෝ අය ගෙනාවේ සිග්මන් ෆ්‍රොයිඞ්වය. පිරිමි දරුවකු මවට ආකර්ෂණය වීම එම ආකර්ෂණය පිරිමි දරුවා තුළ මව කෙරෙහි ඇති සබඳතාව වැඩිවියට පත්විට පියාගේ ආධිපත්‍යය නිසා කිසියම් ගැටලුකාරී තත්ත්වයකට එළැඹෙන බවයි. එනම් පිය – පුතු ගැටුමයි. ෆ්‍රොයිඞ් නැතිව ජීවිතය කියවන කොට ඒක එහෙම සංකීර්ණ නෑ. පිය – පුතු අතර හැමදාම ගැටුම් නෑ. මහා අරගල නෑ. ෆ්‍රොයිඞ් එක්ක යනකොට පුතාව ගැටුමකට කැඳවීම සාමාන්‍යයක්. බොහෝ විචාරකයෝ සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ ලිහන්නට වුණේ ෆ්‍රොයිඞ්ව අත් උදව්කාරයට අරගෙන.


කතා පුවත


නාට්‍යයට මූලාශ්‍ර වූ මහාවංශයේ කතාව කෝකටත් කියන එක හොඳය. එය අපේ ගැට ලිහා ගන්නට පහසුය.
සුප්පා දේවිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත තබා වන වැදුණු බව කියති. ඉන්පසු සිංහයා කුමරියව ආදරයෙන් රැක බලා ගත් බවත් ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දරු දෙපළ උපන් බව ජනප්‍රවාදයෙහි කියැවේ.


සිංහයා සියලු දේ මේ තිදෙනාට සැපයුවද – ගල් ගුහාවෙන් පිටතට යෑමට ඉඩ නොදුන්නේය. පුතා වැඩිවියට පත්වූ පසු සිංහ ගුහාව විසල් ගලකින් අහුරා ඒ අය හිර කොට පිටතට යෑම සිංහයාගේ පුරුද්ද විය.


එහෙත් තරුණ සිංහබාහු මේ විසල් ගල පෙරළා තම මව හා සොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ.


සිංහයා වියරු වී මේ තිදෙනා සොයමින් ගම් විනාශ කරමින් මිනිසුන් මරමින් මෙල්ල කළ නොහැකි තැනට ආ කල සිංහබාහුම සිය පියා මැරීම බාරගත් අතර ඔහුට පියා මැරීමට පහසු වූයේ පුතු දැකීමෙන් ඇතිවූ සෙනෙහස නිසා සිංහයා මෙල්ල වූ නිසා බව කතාව අපිට කියයි.


කෙසේ හෝ සිංහබාහු සිංහයා මරා වංග දේශයේ කිරුළටත් උරුම කීවද එය අතහැර ඔහු මවගේ ජන්ම භූමිය වන වගු රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහ සීවලී ආවාහ කොටගෙන ජීවත් වූ බවත් ඔවුන්ට දරුවන් තිස්දෙදෙනෙකු ලැබුණු අතර වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය.


මෙය එක්තරා විදිහට සිංහල ජාතියේ උපත පිළිබඳ ජනප්‍රවාදය වුවත් සරච්චන්ද්‍රයන් ‘සිංහබාහු’ හරහා ඉල්ලන්නේ වෙනම මානයක්ය. ඔහු විජය කෙනකු ගැන කතා නොකරම ගල්ලෙන බිඳියි.


බලය පිළිබඳ කතාව


මෙය තව අර්ථකතනවලට අනුව බලය පිළිබඳ ප්‍රබල ප්‍රශ්නයක් යැයි කිව හැකිය. එය පිය-පුතු ගැටුම අබිබවා ගිය බලය පිළිබඳ ප්‍රකාශයක් ලෙස ගත හැකිය. එය මීට පෙර ආ මතවාදයකි. එය සනාථ කරන්නට ආ තැන නම් සිංහබාහු මවගෙන් තම ජීවිත කතාව දැනගැනීමය. එනම් පියා සිංහයකු වූ විට මව කුමාරිකාවක වීමය. මව කුමාරිකාවක වීම හරහා පුතුට බලය පිළිබඳ ආශාව ඇතිවූ බවත් ලෙන තුළ ඇති දෙයක් නැති බවත් වැටහුණු බවය. අප සැම මේ කියවනුයේ ලෙන ඇරි පසු කතාය. එහෙත් කතාව තිබුණේ ලෙන තුළය. අඳුරේමය. සැඟවය.


ගල්ලෙන තුළ කතාව


සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ පිය – පුතු ගැටුමක් හෝ බලය පිළිබඳ ප්‍රකාශයකට වඩා ලිංගිකත්වය පිළිබඳ අරගලයකි. ජනප්‍රවාදයේ කෙටියෙන් කියා පැත්තකින් තැබුවද අමතක නොකළ යුත්ත නම් සිංහයා ගැහැනු හොරකු වන බවය. ඔහු සුප්පා දේවියව බලහත්කාරයෙන් රැගෙන යන්නේය. ඉන් පසු ආදරය කළැයි ළමුන් වැදුවායි කියා සිංහයා හොඳ වන්නේ නැත. බලහත්කාරය ප්‍රේමයක් වන්නේ නැත. රාජ කුමාරයෙක් පැතූ සුප්පා දේවියට සිංහයා කුමාරයෙක් නොවීය. ගල්ලෙනෙන් පිටවූ පසු ඇයද ඉක්මනින්ම විවාහ වන්නීය. ඇයට සිංහයා අතහැරිය නොහැකි කමක් නොවීය. සිංහබාහුට වඩා ගල්ලෙනෙන් පිටවීමේ වුවමනාව ඇයට තිබූ බව පැහැදිලිය. මන්ද ඇය රජ සැප විඳි ගැහැනියකි. නගරය අත් වින්ද තැනැත්තියකි. සරච්චන්ද්‍රයන් ඉතා – සූක්ෂ්මව ඒ බව වසන් කොට ‘සිංහබාහු’ පහතට දැමීම සිදුවේ. ලෙන අරින සිංහබාහුගේ කටින් සරච්චන්ද්‍ර මෙවැනි දෑ කියනුයේ ඒ නිසාය.


“ඔබ දෙදෙන මා සමග
නො ආවොත් යන්ට වේ
ඔබ දමා මේ ලෙනේ
මට උරුම මා දිවිය
මා සොයා යා යුතුය.”


එවිට සුප්පා දේවි තදින් අසනුයේ මේ වින්දේ සතුට නොවේද යන්නය. ඒ සරච්චන්ද්‍ර අපව රවටන හැටිය. කොටින්ම සරච්චන්ද්‍රයන්ටත් රැවටෙන්නට වුවමනා තැන්ය. ඇතැම් නිර්මාණයන් තුළ නිර්මාණකරුගේ කතාවද අඩු වැඩි වශයෙන් කියැවේ. සරච්චන්ද්‍ර ඒ මොහොතේ ‘සිංහබාහු’ හරහා බේරා ගන්නට යනුයේ තමන්ගේ හිතමය. ඔහු සිංහ සීවලී හරහා ඉල්ලනුයේ ඔහුගේ පළමු විවාහයේ දියණියගේ ආදරයය. ඒ නිසාම මේ කතාව වෙන මානයකට ඔහු තල්ලු කරයි. ඔහු සිංහයා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටී. ඔහු සදාතනික අරගලය පිළිබඳ කතිකාවක් ගොඩ නගයි.


එහෙත් ගල්ලෙන තුළ කතාව වෙනස්ය. උපකල්පන දෙකකට ආ හැකිය. දිනෙන් දින උස් මහත් වන සිංහ සීවලී පිළිබඳ රාගයෙන් සිංහයා මත් වූවේය. කැලයේදී දකින ගැහැනිය පැහැර ගන්නා සිංහයා ඉන්පසු දකිනුයේ සිංහ සීවලීය. ෆ්‍රොයිඞ් ගෙනවිත් කතා කියන අය ඇස් පනාපිට සමාජයේ දකින පියා අතින් දූෂණය වන දියණියන්, දියණිය සමග පවුල් කන පියවරු සිටියදී පේන දේ අතහැර ෆ්‍රොයිඞ්ගේ සංකීර්ණයේම කරක් ගසනුයේ ඇයි?


සිංහබාහු ගල්ලෙන නොඅරින්න සිංහ සීවලී සිංහයාගේ ගොදුරක් නොවෙතැයි කැට තබන්නට සරච්චන්ද්‍රට හැකිද?
“ඇයි සුදු දියණිය නුඹවත් නොසිටියේ”
දියණිය පමණක් සිටියා නම් සිංහයාට ඇතිය සිංහබාහු, සුප්පා දේවිය ගියාට කම් නැත. යම් විදිහකින් එලෙස සිටියා නම් සිංහසීවලී සිංහයාගේ ගොදුර නොවනු ඇත්ද? අදටත් දික්කසාදයකදී දියණියක් සිටී නම් ඇයව පියාට බාර දෙන්නට නීතිය අකමැතිය. ඒ ලිංගික බැම්ම නිසාය. මව වෙනත් පුරුෂයකු සමග විවාහ වුවහොත් නීතිය දියණිය පියාට භාර දෙනුයේ බාප්පට වඩා පියා සුරක්ෂිත යැයි සිතන නිසාය.


දෙවැනි උපකල්පනය ගල්ලෙන තුළ වැඩෙන තරුණ සිතුම් පැතුම් හරහා සිංහසීවලී සහ සිංහබාහු ප්‍රේමයෙන් වෙලීමය. මෙය සුප්පා දේවි කෙසේ වෙතත් සිංහයා අනුමතම නොකරන දෙයකි. ඒ සිංහයා තුළ සිංහසීවලී කෙරෙහි ඇති ආලය නිසාය. සිංහයාට පුතු කෙරෙහි වෛරය එන්නේ මේ ලිංගික ගැටලුව නිසා විය නොහැකිද? සිග්මන් ෆ්‍රොයිඞ්ගේ මව කෙරෙහි කාරණයට වඩා මේ සමාජයේ පියාගේ රාගය දරුණු නැද්ද? ගුහාව තුළ කැකෑරුණු අඳුරේ යථාර්ථය එය විය නොහැකිද?
දෙවැනි උපකල්පනයට අනුව ගල්ලෙන තුළදීම මේ යෞවන දෙපළ ප්‍රේමයෙන් මත් නොවුණි නම් ගල්ලෙන ඇරගෙන එළියේ ලෝකයට ආවද සිංහබාහු සිංහසීවලීම අඹුකමට ගත්තේ ඇයි? මේ තිදෙනාගේම ප්‍රේමයට බාධකය සිංහයා විය. මව වුව සිංහයා සමග සිටියේ කැමැත්තෙන්මයි කියනුයේ කෙසේද? ඇය ගල්ලෙනෙන් ආ කල උපරිම නිදහස් විය. බලය ගැන කතා කරන අය සිංහබාහුට වංග දේශයේ කිරුළ දුන් විට ප්‍රතික්ෂේප කිරීම ගැන කතා නොකරන්නේ ඇයි? මවගේ වගු රටට ගොස් වුව වෙනම සිංහපුර නමින් පුරවරයක් ගොඩනගා ගත්තේ බලයට වඩා ප්‍රේමයට මුල්තැන දෙමින් යැයි නොසිතේද? රජකමට වඩා සිංහසීවලී සමග නිදහස් දිවියක් ඔහු පැතුවා නොවේද? එම දිවියට තිබූ බාධකය සිංහයා නොවේද? සිංහසීවලී වැඩෙත්ම සිංහයාගේ සර්පයා අවදි නොවුණා යැයි අප සිතනුයේ කෙසේද? එය සුප්පා දේවිට මුලින් නොවැටහෙතැයි සිතනුයේ කෙසේද? සිංහබාහු පොළඹවනු සේ ම ඇය විය නොහැකිද? මේ සිංහයාගෙන් දියණිය බේරා ගන්නට විය නොහැකිද?
සරච්චන්ද්‍ර සිංහබාහු හරහා සිංහබාහු චරිතයට තඩි බෑවද මේ සියලු සැකවලට ඉඩ තබා නැතිවාද නොවේ.


“මම දැන ගතිමි
මම සැක කළෙමි” කියා
අපට කිව නොහැකිද?
සරච්චන්ද්‍රයන් තම නිර්මාණය පිළිබඳ සිංහබාහු ප්‍රස්තාවනාවේ මෙසේ සඳහන් කරයි.
“සිංහබාහු නාටකයේ වස්තුව විකාශනය වන්නේ එහි පාත්‍රයන් නිදහස් පුද්ගලයන් සේ සිතා මතා කරන ක්‍රියාවල අනිවාර්ය ප්‍රතිඵල වශයෙනි.”


හිතා මතා ගන්නා තීරණ මත ක්‍රියා කිරීම අප ගැඹුරට කල්පනා කළ යුතුය. ගල්ලෙන තුළ තිබුණේ සිංහයාගේ කාමයයි. ඒ ලෙන ඔහුගේය. ලෙන තුළ සියල්ල ඔහුගේය. සිංහබාහුත් සිංහසීවලීට ප්‍රේම නොකරන්න තත්ත්වය වෙනස් වන්නට ඉඩ ඇත.
1961 වසරේදී රඟදැක්වීම ආරම්භ කළ ‘සිංහබාහු’ ගැන කොතෙක් කතා කියා ඇත්ද? එසේ නම් ගල්ලෙන තුළට රිංගූ කල මෙසේ සිතීම පවක්ද? අකැප සිතිවිල්ලක්ද?


හොඳ චිත්‍රයක්ද පණ ඇති ජීවියෙකු ලෙස ක්‍රමයෙන් වර්ධනය වන්නේ යැයි පිකාසෝ වරක් කීය. එයට හේතුව චිත්‍රය නරඹන ප්‍රේක්ෂකයන්ගේ පසුබිම මෙන්ම ආකල්ප ඓතිහාසිකව පවතින පරිසරය අනුව වෙනසකට පාත්‍රවීමයි.
‘සිංහබාහු’ සිරවී සිටි ගල් ලෙන තුළට ගිහින් බලන්න. ඒ අඳුර තුළ විසල් ගලකින් වසා තැබූ රහස සොයන්න. එය ප්‍රේමයට එහා ගිය රාගයක් බව පෙනෙනු ඇත.