ආරියවංශ අබේසේකර

සිංහල නමැති ජනවර්ගයේ ආරම්භය සහ එහි ආදිතමයින් පිළිබඳව ඉතිහාස හා පුරාවිද්‍යා ගවේෂකයින්ගේ නූතන මත කවරාකාර වුව, ලංකාවේ අතිබහුතරය තවමත් විශ්වාස කරනුයේ සිංහලයා ඉන්දියාවේ ඉපැරණි ලාට රට සිංහපුරයෙන් පිටුවහල් කරන ලද විජය නමැති චෞරයාගේ ලෙයින් උපන් බවය. එහෙයින් බහුතරයක් වූ සිංහලයින්ගේ විශ්වාසයට අනුව ඔවුන් සම්භවය ලද්දේ සිතියමක් අත නැතිව ඉබාගාතේ පිටුවහලේ ආ ගර්හිතයින් කණ්ඩායමකිනි. මේ විශ්වාසයට අනුව ලංකාව නිදහසින් පටන් ගෙන අද මේ දක්වා ආ ගමන ද හැටනම ලක්ෂයකගේ ආශිර්වාදයෙන් අද දින මේ ගමන් කරමින් සිටින ගමන ද සර්ව සාධාරණය.

බහුතර සිංහලයින්ගේ විශ්වාසයට පාත‍්‍ර මහාවංශයේ එන උප්පත්ති කතාවට අනුව සිංහලයින්ගේ ආදිතම මුත්තා තිරිසන් සත්ත්වයෙකි; එනම් සිංහයෙකි. සිංහයා වනාන්තරයේ සෙසු සතුන්ට වඩා අභිමානී පෙනුමකින් යුත්තේ වුව ද කුසීතයෙකි. ඌ කෙතරම් කුසිත ද යත්, යැපෙන්නේ සිංහ ධේනුන් විසින් වෙහෙස විඳ මරාගන්නා සත්ත්වයෙකුගේ ශරීර මාංශයෙනි. උගේ කාලයෙන් වැඩි කොටස ගතවන්නේ තුරු සෙවනකට වී නිදාගැනීම සඳහාය. පුරා කතාවේ එන සිංහයා මාලිගයෙන් පැන එන රජකුමරියක ආවාහ කරගන්නා අතර තමන්ට දාව ඇගේ කුසින් බිහිවන සිය පුත‍්‍රයා අතින් ම මිය යයි. ඒ අනුව ලංකාවේ පළමු වන රජු වශයෙන් සැලකෙන විජය වූකලී මිනිස් හා තිරිසන් සබඳතාවකින් ඉපිද සිය පියා මරා දමා තමන් හා එක්ව මව්කුසින් බට සිය බාල සහෝදරිය ආවාහ කරගෙන, තම ජාතභූමිය වන වනාන්තරය කපා සිංහපුර නම් නුවරක් පිහිටුවා ඒ වටා මිනිසුන් පදිංචි කරවා ලාට නමැති වෙනම රාජ්‍යයක් පිහිටුවා එහි රජ බවට පත් තැනැත්තෙකුගේ පුතෙකි. එසේ ම මදාවි මිතුරන් පන්සියයක් පිරිවරා ජනයා කොල්ලකමින් නීති විරෝධී ජවිතයක් ගත කොට අර පියාගේ සහ ඔහුගේ රටවැසියන්ගේ උදහසට පවා පාත‍්‍ර වූ කොල්ලකරුවෙකි. එමෙන්ම ඒ වැරදි නිසා රටින් පිටුවහල් කරන ලද්දෙකි. මේ පිටුවහල්කරුවා මහ මුහුද මැද අතරමංව සරණ කල අහම්බෙන් හමුවන අභයස්ථානය වන දූපතේදී කරන්නේත් එතෙක් ගෙවූ සිය චරිතයට ගැළපෙන දේමය.

විජය මහමුහුද මැද හමුවන ආගන්තුක දූපතේදී හමුවන එරට යක්ෂ ගෝත‍්‍රික තරුණියක වන කුවේණිය හා හාද වෙයි. ඇගේ උදව්වෙන් ලංකාවේ රාජ්‍යය ද අත්පත් කරගන්නා හෙතෙම එහි නියම උරුමක්කාරයින් වන ගෝත‍්‍රික ජනයා සුළු ජාතිකයින් බවට පත් කොට තම උපන් බිම වන ඉන්දියාව සමග සබඳතා ඇති කරගනිමින් මේ ආගන්තුක රාජ්‍යයේ බලය ස්ථාවර කරගැනීමට පිඹුරුපත් අඳී. එහි පළමුවන අදියර වශයෙන් ඔහු ඉන්දියානු කුමරියක සිය අගබිසව වශයෙන් ගෙන්වා ගනී. එතෙක් ලංකා රාජ්‍ය පාලකයින් අතර රාජකීය අන්තඃපුර භාවිතයක් නොතිබුණු නිසා හෝ තමන්ගේම රටෙහි විදේශිකයෙකුගේ අන්තඃපුරිකාවක වීමේ ලැජ්ජාව ඉවසනු නොහැකි නිසා හෝ විජයගේ පළමු භාර්යාව වන කුවේණිය දරු දෙදෙනා සමග මාලිගයෙන් පිටව සිය ඥාතීන් සොයා ගොස් සිය සනුහරයට එරෙහි වීමේ පාපයට මැරුම්කයි. මවත් පියාත් අහිමි වන දරුවෝ වනචාරීන් බවට පත් වෙති. ලංකාවේ සිංහල ජනවර්ගයේ ආරම්භය මෙවන් ශිෂ්ට නොවන කතාන්තරයකි. ලංකාවේ වර්තමානයේ රඟදැක්වෙන්නේ මේ අතීත නාටකයමදැයි කිසිවෙකු ප‍්‍රශ්න කරන්නේ නම් එහි ද සිතා බැලීමට කිසිවක් තිබේ.

ලංකාව අද සිතියමක් තබා කොම්පාසුවක්වත් අත නැතිව මහ මුහුද මැද පාවෙන පත්ල සිදුරුව දිය කාන්දු වන නැවක් හා සමාන රටකි. එහි පාලක නඩය හරියටම මීට අවුරුදු දහස් ගණනකට පෙර ඉපැරණි ඉන්දියාවේ සුප්පාරක නැව් තොටින් මහ මුහුදට පාකර හරින ලද විජයගේ නැවේ නාවික සංයුතියට හැමතින් ම සමානය. කල් ඉකුත් වීමෙන් නැවේ ඇංජිමේ ක‍්‍රියාකාරිත්වය අහෝසිව ගොස් ඇති අතර එය නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා අමතර කොටස් සපයා ගැනීම බරපතළ ප‍්‍රශ්නයක්ව ඇත්තේ මේ වන විට එවන් යන්ත‍්‍ර සඳහා අමතර කොටස් නිපදවීම ලෝකය නතර කොට ඇති බැවිණි. එහෙයින් අමතර කොටස් සොයා ගත යුතුව ඇත්තේ භාවිතයෙන් ඉවතලන ලද යන්ත‍්‍රවලින් පමණි. ඒවා සොයා ගත්තද දිගු කලක් භාවිත කළ නොහැකිව ඇත්තේ ඒ සියල්ල දීර්ඝකාලීන භාවිතය නිසා ගෙවී ගොස් තිබීමත් එම යන්ත‍්‍ර භාවිතයෙන් ඉවත් කොට ද බොහෝ කල් හෙයින් මළකෑමට ද ලක්ව තිබීමත් නිසාය. එහෙයින් ලංකාවේ ඇංජිම නිතර ලෙඩ දෙන හිටි අඩියේ නවතින, එසේම දුම් දමන හෙයින් පරිසර හිතකාමී ද නොවන එකක් වෙයි. එහි ක‍්‍රියාකාරීත්වය ඒ අසල ඇති අන් රටවලට සෞඛ්‍යයට ද තර්ජනයක් වන්නට ඉඩ තිබේ. එහෙයින් වහා අලූත් ඇංජිමක් සවිකර ගනිල්ලා යන තර්ජනාත්මක ඉල්ලීම් ඒ රටවලින් ලංකාවට නිතර ලැබෙයි. එහෙත් අලූත් යන්ත‍්‍රයක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන ධනය, නුවණ සහ උවමනාව ලංකාවට නැත. ඔවුහු හැම විටම සිය යන්ත‍්‍රයේ පැරණිකම ගැන උදම් අනති. මේ අතර ඔවුන් කැමතිම විනෝදාංශය වන්නේ පරණ බඩු එකතු කිරීම හෙයින් ප‍්‍රශ්නය තවත් දුර දිග ගොසිණි. ඉතින් සිතියමක් අත නැතිව, නිතර නිතර නිෂ්ක‍්‍රීය වන ධාවන යන්ත‍්‍රයක් ද සහිතව මුහුද මැද පාවෙන මේ නෞකාවට ඇති එකම බලාපොරොත්තුව කිසියම් වෙරළකට සේන්දු වීම පමණය. තමන් නැංගුරම් ලෑ යුතු වරායක් ගැන කිසිදු සිතිවිල්ලක් ඔවුන් සතුව නැත. එමෙන් ම තමන් සේන්දු වන වෙරළ හිමි රට සමග පැවතිය යුතු ආකාරය පිළිබඳ කිසිදු පෙර සූදානමක් ද ඔවුන්ට නැත. නිරන්තර බඩගින්නෙන් පෙළෙන ඔවුන් සුළඟ සහ දියවැල් විසින් තමන් ගෙන යනු ලබන රටේ වෙරළේදීම ඔවුන් සිය නෞකාවේ කැබලි ගලවා විකුණා ආහාර ටිකක් මිලට ගැනීමට සූදානම්ය. ක්ෂුදාව එතරම් ම දරුණුය.

ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවත්නා කටයුතු රටක් වශයෙන් ශිෂ්ට ලෝකය තුළ සිය පැවැත්මට හානිකර දේ බව තේරුම් ගැනීමට තරම් ඥානයක් රටේ විධිමත්, අවිධිමත් හෝ නොවිධිමත් අධ්‍යාපනයන් තුළින් වගා කොට නැත. ස්ව ශක්තියෙන් නැගී සිටිනවා වෙනුවට අනුන් දෙන දෙයකින් යැපීමටත්, සිංහයින් මෙන් සිංහ ධේනුවන් විසින් උපයා දෙන දෙය දෙස බලා සිටීමටත් ඔවුන් පුරුදු පුහුණු කොට හමාරය. ඔවුන් අලූත් යමකැයි, අලූත් ආයෝජනයකැයි හැම විටම හිතන්නේ වනාන්තර කපා ගම් නගර පිහිටුවීමය. වාර්ගික භේදය උණුසුම් කළ ගොවිජනපද ව්‍යාපාර, මහවැලි සංවර්ධන ව්‍යාපාර ආදී බොහෝ ලාංකීය සංවර්ධන ව්‍යාපාරයන්ට ඉලක්ක වූ වනාන්තර අදත් සංවර්ධන එල්ලය බවට පත්ව තිබේ. කිසි දිනෙක නොවූ තරම් වේගයෙන් ලංකාවේ ඉතිරි වනපෙත් ස්වල්පයට චේන්සෝ අතින් ගත් මිනිසුන් පිවිසෙමින් සිටින්නේ එහෙයිනි. ඔවුන් වළකා ලීමට දසතින් නැගෙන විරෝධතාවන් තාවකාලික විස`දුමක් වනු ඇති මුත්, ලංකාවේ මිනිසුන්ගේ වනය තුළ නව ඉදිකිරීම් පේ‍්‍රමයෙන් ඔවුන් ගලවා ගැනීමට එය සමත් වෙතැ’යි සිතිය නොහැකිය. ලංකාවට අද අවශ්‍යව ඇත්තේ මිනිසුන් වනයෙන් පිටතට ගෙන ඒමේ සිතියමක් අතින් ගත් අලූත් මිනිසුන් පිරිසකගේ සම්ප‍්‍රාප්තියකි. එමෙන් ම ගැහැනුන් උපයන දෙයින් සප්පායම් වී හන්දියේ වීරකම් නොපෙන්වන්නන්ගේ වීරත්වයකි.