චාමිනි වික්‍රමසිංහ

මූදු පුත්තු ටෙලි නාට්‍යයෙන් සිනමාවට පිවිස සිනමාවේ ස්වර්ණමය යුගය නියෝජනය කළ වල්මත්වූවෝ, වෙස් ගත්තෝ, සිහින ලොවක්, අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් වැනි සිනමා නිර්මාණ තුළින් ප්‍රේක්ෂක සිත් පිනවූ සිරිල් වික්‍රමගේ මහතා අද ඔහුගේ දිවියේ සැදෑ සමය ගත කරයි.

ඔහු සසර සයුර ටෙලි නාට්‍යයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් අතර වරක් ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය ද හිමි කර ගත්තේය. ස්වර්ණ සංඛ සම්මානය සහ දේශාභිමානි සම්මානය ඔහුට හිමිවූයේ ඔහුගේ රංගන විශිෂ්ටත්වය වෙනුවෙනි. ඒ සියල්ලටම වඩා ඔහුට ලැබෙන ප්‍රේක්ෂක සම්මාන ගිණිය නොහැකිය.

ඔබ සිනමාවට පිවිසුණේ කොහොමද?


මම නුවර මුල්ගම්පළ සංගීතය කරන්න ගත්තා. මම වයලින් වාදනය කළා. පස්සේ මම වැඩිදුර සංගීතය ඉගෙන ගන්න හිතාගෙන කොළඹ අඳ ගොළු බිහිරි විද්‍යාලයේ තිබ්බ පුරප්පාඩුවකට ඉල්ලුම් කළා. පස්සේ මම වෙස්ලි විද්‍යාලයට ගියා. එහෙදි මට හම්බුණා ශ්‍රී ජයනාත් කියන උඩරට නැටුම් පිළිබඳ ආචාර්යවරයෙක්. ඒ කාලේ ඔහු වෙස්ලි විද්‍යාලයේ නාට්‍ය පුහුණුකරු වෙලා හිටියා. එයා මට කිව්වා නැටුම් පටන් ගන්න කියලා. ඒ කාලේ මම පුංචි බොරැල්ලේ ගෙදරක නතර වෙලා හිටියේ. ඒ කාලේ අපි රණ තිසර කියලා බැලේ එකක් කරා. එහි ගීතයක් නිර්මාණය කරන්න ආවා ආනන්ද සමරකෝන්. ඔහු මාත් එක්ක ගොඩාක් මිතුරු වුණා. එතකොට ඔහු ඉන්දියාවේ ඉඳන් ඇවිත් සාරාමුල්ලේ ගෙදරක හිටියේ. පස්සේ එයා මට කතා කළා වේදිකා නාට්‍යයක් කරනවා ඒකට එන්න කියලා. එතකොට තමා මට ධම්ම ජගොඩ, ෂෙල්ටන් සිල්වා වගේ අය හම්බවුණේ. පහන සහ රන් එතනා කියන ඒ නාට්‍යයේ සංගීතය නිර්මාණය කළේ ඩන්ස්ටන් සිල්වා. ඒක ගායනා කළේ නන්දා මාලනී. එතකොට නන්දගේ වයස අවුරුදු 12 ක් විතර ඇති.

පස්සේ වෙස්ලි විද්‍යාලයේ මිනිස් ගතිය කියලා නාට්‍යයක් කළා. ඒක කළේ ෆීලික්ස් ප්‍රේමවර්ධන. ඒකේ මම මිනිසා කියලා පොඩි චරිතයක් කළා. මේක බලන්න ගුණසේන ගලප්පත්ති ඇවිත් තිබුණා. එතනදි ඔහුගේ අලුත් නාට්‍යයකට මාව තෝරගෙන තිබුණා. ඒකේදි මට මූදු පුත්තු නාට්‍යයේ පිටපත ලැබුණා. ඒකෙ සෝමලතා සුබසිංහ, මහගමසේකර, හෙන්රි ජයසේන වගේ කට්ටිය හිටියා. ඒකෙන් තමා මම මුලින්ම රඟපාන්න පටන් ගත්තේ. මම කළේ තේගිරිස් කියන චරිතය. ඒ කාලේ ඒ නාට්‍ය බොහෝම ඉහළින් තිබුණා. මට මගේ චරිතෙට බොහොම ප්‍රශංසා ලැබුණා. මේ නාට්‍ය බලන්න සිරිල් සේනාරත්න ඇවිත් තිබුණා. එතකොට ඔහු මගේ මිතුරෙක්. ඔහු කිව්වා හඳපාන කියලා චිත්‍රපටියක රඟපාන්න එන්න කියලා. මම ඒකට ගියා. ඒ 1963 වගේ. පස්සේ මහාචාර්ය සරච්චන්ද්‍ර ජපානේ ඉඳලා ඇවිත් මට පබාවතී කියන නාට්‍යයට කතා කළා. ඒක පෙන්නුවේ සුදර්ශි එකේ. ඒ නාට්‍ය බලන්න මහාචාර්ය ලීඩර් දිසානායක සහ ඬේවිඞ් සිල්වා ආවා. ඒ අය ලයනල් ප්‍රනාන්දුගේ යාළුවෝ.


ඒ අය ඇවිත් තිබ්බෙ චිත්‍රපටියකට චරිත තෝරගන්න. පහුවදා මාව හම්බවෙන්න ආවා. මට පිටපතක් දුන්නා මම ඒකට කැමති වුණේ නෑ. පස්සේ මම මූදු පුත්තු කියන එකේ පිටපත දුන්නා. පස්සේ මමයි මහගමසේකරයි ගලප්පත්තිගේ ගෙදර ඉද්දි ගලප්පත්ති මේ පිටපත සිරි ගුණසිංහට දුන්නා. මමයි මහගමසේකරයි ඒකට කැමති වුණෙ නෑ. පස්සේ මාස දෙකක් විතර ගිහින් මේකේ ප්‍රධාන චරිතෙට මාව තෝරගත්තා. ඒකෙන් පස්සේ මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ආවා. පස්සේ තමයි මම අනික් චිත්‍රපටවලට සම්බන්ධ වුණේ. මම රඟපෑව සත් සමුදුරු චිත්‍රපටියෙ. ඒක විත්‍රපටි කලාවේ ලොකු වෙනසක් කළා.


පස්සේ මට චිත්‍රපටියක් කරන්න කිව්වා. මම වසන්තට කතා කළා. සිහින ලොවක් කියන චිත්‍රපටිය බිහිවෙන්නේ ඒ විදියට. ඒකේ ගීතයට මම ඉතාමත් කැමති සහ ආදරය කරනවා. මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව…… ඒ ගීතය බිහිවෙන්නේ මහගමසේකර අතින්. මට ඕනේ වෙලා තිබ්බෙත් ඒ වගේ ගීතයක්. අපි ඒ ගැන කතා කළේ ගම්පහ රෙස්ට් හවුස් එකකදි. අපිට මේ ගැන කතා කරන්න දවස් තුනක් ගියා. අන්තිමට සේකර ඔහුගේ දින පොතේ තිබ්බ කවියක් ගැන කිව්වා. ඒක මගේ හිතේ තිබුණ විදියටම තිබ්බා.


ඔබ රඟපෑ චිත්‍රපටි අතුරින් ඔබ කැමතිම චිත්‍රපටිය කුමක්ද?


මම රඟපෑ සියලුම චිත්‍රපටිවලට මම බොහෝම කැමතියි. බොහෝම ආදරෙයි. අකමැතිනම් මම රඟපාන්නේ නෑ. එහෙම අකමැති වෙලා ප්‍රතික්ෂේප කරපු චිත්‍රපටිත් තිබ්බා. ඒකට ගොඩාක් හේතු වුණේ ඒ චරිත මට ගැළපෙන්නේ නෑ. මොකද මම ගාණ වැඩි කරගන්න චිත්‍රපටිවල රඟපෑව කෙනෙක් නෙවේ. ඒ අතුරින් සත් සමුදුරට සහ සුද්දිලාගේ කතාවට මම ගොඩාක් කැමතියි. ඒ චිත්‍රපටිවල මට ලැබුණ චරිත වලට මම ගොඩාක් කැමතියි. බඹරු ඇවිත්, වල්මත්වූවෝ, වෙස්ගත්තෝ, ලියතඹරා සහ හඳපාන වගේ චිත්‍රපටි ගණනාවක මම රඟපෑවා. මම අවසානයට රඟපෑවේ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ බන්ධනය චිත්‍රපටියේ.


පැරණි සිනමාව සහ වර්තමාන සිනමාව ගැන ඔබ මොනවද හිතන්නේ?


ඇත්තටම සිනමාව කියන්නේ ප්‍රාසාංගික කලාවක්. ඒක බලන්නේ උගත් මිනිස්සු විතරක් නෙවේ. පොදු ජනතාව. පොදු ජනතාව රසවින්දනයට තමයි සිනමාව හා සහසම්බන්ධ වෙන්නේ. සිනමාවෙන් මනෝ විද්‍යාත්මක කාර්යයක් කරන්න ඕනේ නෑ. දැන් සිනමාවෙන් මනෝ විද්‍යාව උගන්නන්න යනවා. ඒක ප්‍රාසාංගික කලාවක් නෙවේ. ඉස්සර චිත්‍රපටි මමම බලලා තියෙනවා හත් අට වතාවක්. මම කඩවුණු පොරොන්දුව පස් වතාවක් බැලුවා. ඒවා හරි ලස්සන නිර්මාණ. ඒවා හරි කැමැත්තෙන් මිනිස්සු බැලුවේ ඒවා ප්‍රාසාංගික නිසා. ඒකේ ගීත, නැටුම් සියල්ල තිබුණා. ඒ නිසා තමයි මිනිස්සු ඒවා බලන්න යන්නේ. දැන් සිනමාවත් මනෝවිද්‍යාවක්, අභිධර්මයක් කරන්න යනවා. ඒවාට වෙනත් මාධ්‍ය තියෙනවා. සිනමාවෙන් වෙන්න ඕනේ මිනිස්සුන්ට වින්දනයක් ලබාදෙන එක. සිනමාවෙන් මිනිස්සුන්ට පාඩම් උගන්නන්න බෑ. දැන් චිත්‍රපටි ඇත්තටම බලන්න හිතෙන්නෙත් නෑ. දැන් සිනමාවේ මූලික අරමුණ සම්මාන ගන්න එක. සම්මාන ගන්න විතරක් සිනමාවක් හදලා බෑ. විජය කුමාරතුංග, ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපටි ගොඩාක් ජනප්‍රිය වුණේ ඒවා ප්‍රාසාංගික නිසා.


ඔබගේ පවුලේ තොරතුරු සහ පාසල් අවධිය කොහොමද ?


මම ඉපදුණේ 1932 ජනවාරි 26. මට දැන් වයස අවුරුදු අසූ අටයි. මගේ ගම කුරුණෑගල, කොහිලේගෙදර. බොහොම පිටිසර ගමක්. මම ගමේ ඉස්කෝලෙට ගියේ. අපි ඉස්සර ගොවිතැන් කරලා ජීවත් වුණේ. මගේ පවුලේ ඔක්කොම සහෝදර සහෝදරියෝ අට දෙනෙක්. දැන් මමයි, මල්ලියි විතරයි ජීවතුන් අතර ඉන්නේ. අපි හැමෝම ගුරුවරු.


ඉස්සර දැන් වගේ ඇඞ්වාන්ස් ලෙවල් විභාග තිබුණේ නෑ. ප්‍රාරම්භක විභාගයක් තිබ්බේ. ඒක විභාගෙන් පාස්වෙලා තමයි මම පේරාදෙණියේ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුල් වුණේ.


ජීවිතයේ අමතක නොවන සිදුවීම් මොනවද?


විජය කියන්නේ මගේ හොඳ මිතුරෙක්. විජය කුමාරතුංගගේ මරණය අපේ ජීවිත සසල කළා. අපිට ජනතා විමුක්ති පෙරමුණෙන් ගොඩාක් තර්ජන තිබුණා. මම දේශපාලනය කළේ විජය කුමාරතුංග එක්ක. මට දේශපාලනයෙන් ඉවත් වෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණෙන් ගොඩාක් බාධක තිබ්බා. ඒකට දඬුවම මරණය කියලා මට අවවාද කළා. දවසක් මගේ ගේ වට කළා. සිරිල් වික්‍රමගේ ඉන්නවද කියලා ඇහුවා. මම දොර ඇරියේ නෑ. ආව අය දොර කඩන් එන්නද ඇහුවා. ඒ වෙලාවේ මගේ දරුවොත් හිටියා. මම ඇහුවා කවුද ඇවිත් තියෙන්නේ කියලා. අපි දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයෙන් කියලා කිව්වා. පස්සේ මම කිව්වා ජනේලෙන් කතා කරමු කියලා. එතකොට කට්ටියක් හැංගුණා. කට්ටියක් ආවා. තුවක්කු ගත්ත අට දෙනෙක් හිටියා. මම ඇහුවා ඇයි ආවේ කියලා. ඒ කට්ටිය කිව්වා අපි ලියුමක් එව්වා කියලා. මම කිව්වා ඒක හරි මොකක්ද දැන් මට කියන්නේ කියලා. ඊට පස්සේ ඒ අය කිව්වා අපි පස්සේ එනවා කියලා. මම කිව්වා හරි අපි කතා කරමු කියලා. මම ඒ අයගෙන් ඇහුවා සහෝදරයා දැන් ඔයාලාට ඕන වෙලාවක මගේ ගෙදරට එන්න පුළුවන්. අපේ ගෙවල්වල වැටවල් ගේට්ටු නෑනේ. ඒත් ගේට්ටු දාගෙන තියෙන මුරකාරයෝ තියන් ඉන්නේ දේශප්‍රේමියෝද? එතකොට මම දේශද්‍රෝහියා වෙන්නේ කොහොමද? පස්සේ මම කිව්වා ආයේ නායකතුමාට එන්න කියන්න කියලා. පස්සේ ඒ අය ගියා. ඒ වගේම ඒ දවස්වල ගොඩාක් අය ඝාතනය කළා. ඒ නිසා විජය ඝාතනය කිරීමත් සමග අපි ගොඩාක් පසුබැස්සා. අපේ පක්ෂයත් දුර්වල වුණා. ඊට පස්සෙත් මම දේශපාලනය කළා. පළාත් සභාවටත් තේරුණා.


රංගන ක්ෂේත්‍රයේ හිටපු අති දක්ෂ නළුවා තමයි ජෝ අබේවික්‍රම. ඔහුව මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ සිනමාවේ හිටපු ආකර්ෂණීය නළුවෝ.


බඹරු ඇවිත් චිත්‍රපටියේ රූගත කිරීම් කරනකොට අපි හිටියේ කරවල වාඩියක් ළග නතර වෙලා. ඒ චිත්‍රපටියේ නිළියෝ කාමරවල හිටියා. අපි ඉස්තෝප්පුවේ තමයි නිදාගත්තේ. ඒ කාලේ හරිම විනෝදයි. අපි හරි සතුටෙන් හිටියේ. ඒ වාඩියේ මිනිස්සු අපිට කෑම බීම ගෙනත් දුන්නා. හොඳට සැලකුවා.

සිනමාව කර්මාන්තයක් වශයෙන් ස්ථාපිත වෙලා නෑ කියලා බොහෝ කලාකරුවෝ මැසිවිලි නගනවා. මේ ගැන ඔබ හිතන්නේ මොනවද?


ඇත්තටම සිනමාව කියන්නේ කලාවක් වගේම කර්මාන්තයක්. කර්මාන්තය තුළ තමයි කලාව තියෙන්නේ. දැන් මේක කර්මාන්තයකුත් නෙවෙයි කලාවකුත් නෙවෙයි. මිනිස්සු සිනමා ශාලාවට එන්නේ නැත්තන් ඒ කලාකරුවන් යැපෙන්නේ කොහොමද, සමහර අය වෘත්තීමය වශයෙන් රඟපෑම විතරයි කරන්නේ. මම ගුරුවරයෙක්. ඒ නිසා මට විශ්‍රාම වැටුපක් තියෙනවා. ඒත් කලාවෙම නියැලිලා ඉන්න කලාකරුවෝ අසරණයි. ඒ අයට එහෙම වුණේ සිනමාව කර්මාන්තයක් විදියට නැති නිසා. චිත්‍රපටි දුවන්නේ නැතුව සම්මාන විතරක් ලැබුණට වැඩකුත් නෑ. ■