ටිරන් කුමාර බංගගමආරච්චි

පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ලබන 03 වැනිදා දක්වා නැවත රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියම කළේය.


ගිය ආණ්ඩුව තුළ සිදුවූ දරුණු ඛේදවාචකයට රජයක් ලෙස එහි ප්‍රධානීන් සැම වගකිව යුතු වුවත් එහි සියලු පව් කරගසන්නට වූයේ හේමසිරිට සහ පූජිත්ටය. මෙය බරපතළ අසාධාරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් ඒ බව පසුගිය ආණ්ඩුවට කියා පළක් නොවීය. එයට හේතුව ඒ අය සිය ගැලවිජ්ජාවට හේමසිරි සහ පූජිත් තෝරාගෙන තිබූ බැවිනි. මෙය තනිකරම දේශපාලනමය පළිගැනීමකි.


හිටපු ජනපති සිරිසේන රටේ ආරක්ෂක ඇමතිය. ඔහුට මෙම සිද්ධියේදී සිය වගකීමෙන් කර ඇරිය නොහැකිය. එහෙත් ඔහු කිසිවක් නොදත් තොත්ත බබෙකු සේ වගකීමෙන් ලිස්සා ගියේය. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයෙක් විය. ඔහු මෙයට අදාළම නැති සේය. අගමැතිවරයාද ජනපති මෙන්ම බබා වී අවසානයේ රජයේ සේවකයන් දෙපළක් බිල්ලට දී අහකට විය.


ත්‍රස්ත ප්‍රහාරයක ස්වභාවය නව ජනපති ගෝඨාභයට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. ඔහු යුද්ධය පිළිබඳ අත්දැකීම් ඇත්තෙකි. ඔහුගේ කාලයේ මේ දේ වී නම් ඔහු කාව හෝ බිල්ලට දී අත පිහදා නොගන්නා බව සහතිකය. මෙවැනි දේ විය නොහැකි දේ නොවේ. නැවත වුව ඕනෑම මොහොතක වියහැකි දෑය.


ජයසිරි මහ බෝධිය ළඟ ප්‍රහාරය හෝ දළදා මන්දිරයට කළ ප්‍රහාරය පමණක් නොව, අනෙක් ඕනෑම ප්‍රහාරයකදී එකල ඊට අදාළව රාජ්‍ය නිලධාරීන් හිර කළේ නම් අද වන විට රාජ්‍ය නිලධාරීන්ගෙන් හිරගෙවල් පුරවා අවසන්ය. මෙම ප්‍රහාරය වුව වළක්වා ගන්නට හැකිවී නම් එය මේ දෙපළගේ පමණක් නොහැකියාව නොව රටේ ප්‍රධානීන්ගේ නොහැකියාවකි. ජනපති, අගමැති ගේ වරදකි.


ජනපති සිරිසේන ඕනෑම දෙයකදී අත පිහදාගෙන තමා සුදනා වීමට රුසියෙකි. ඔහු කළේ මෙහිදීද එයමය.
ගියවර ආණ්ඩුවේ ජනපති අගමැති දෙපළ දෙපොළක පිස්සු නැටුවේ එකිනෙකාව අබිබවා යමිනි. ජනපති පාස්කු ප්‍රහාරයේ වගකීම කා පිට හෝ දමන්නට තම වාසියට කමිටුවක් පත් කළ අතර අගමැති පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළේය. සිරිසේනගේ වාර්තාව අදටත් ප්‍රසිද්ධියට පත් කොට නැත. එය එසේ නොකරන්නේ එහි චෝදනාව බොහෝ අයට බැරවෙන බැවිනි.


අනෙක් අතට පාර්ලිමේන්තු කමිටු වාර්තාව තුළ වුව ජනපති අගමැති වගකීමෙන් ලිස්සා ගොස්ය. හේමසිරි සහ පූජිත් පාර්ලිමේන්තු කාරක සභාව තුළ අදහස් දැක්වීමත් ඒ හරහා සත්‍ය එළියට ඒමත් හේතුවෙන් සිරිසේන ප්‍රකෝප විය. මේ පළිගැනීම දීර්ඝ ක්‍රියාවලියක් වනුයේ එතැන් පටන්ය. තම සුවච කීකරු සේවකයකු වූ නීතිපති ලවා මේ දෙපළ හිර කිරීම සිරිසේනගේ නිම නොවන වෛරයක් බවට පෙරළී ඇත. එය මේ වනවිට සමාජයටම නොරහසකි.


පාස්කු ප්‍රහාරයට ඍජුවම වගකිවයුතු තොගයක් අත්අඩංගුවට ගෙන තිබියදී මනුෂ්‍ය ඝාතන චෝදනාව කරපින්නා දංගෙඩියට දක්කනුයේ හේමසිරිව සහ පූජිත්වය. මෙය ලැජ්ජාසහගත ක්‍රියාවලියකි. මෙම ප්‍රහාරය හෙළි නොකිරීමට නිලධාරීන් ලෙස මොවුන්ගේ අතපසුවක් වුවද එය සමස්තයම ඔවුන් පිට පැටවීම බාල දේශපාලනයේ උපක්‍රම බව අමුතුවෙන් කිවයුතු නොවේ.


එදා පාස්කු ප්‍රහාරයට ඍජුවම වගකිවයුත්තන් ලෙස අල්ලා ගත් කිසිවකු අධිකරණයට ගෙන එන දසුනක් හෝ අද දැකිය නොහැකිය. ඒ වෙනුවට හේමසිරි සහ පූජිත් මාංචු දමා පාස්කු ප්‍රහාරය කළ මහ මොළකරුවන් සේ රටේ ප්‍රදර්ශනයවෙමින් පවතී. මේ සිරිසේනගේ පළිගැනීම විනා වෙන කිසිවක් නොවේ. කැතම දේශපාලනයක නියැලුණු සිරිසේන දැන් කිසිදු විලි ලැජ්ජාවක් නැතිව නව ජනපති ගෝඨාභය ළඟ දැවටේ. මෙවැනි සට කපටියෙක් තමාගේ ළඟට ගන්නවාද නැද්ද යන්න ජනපති ගෝඨාභය වුව තදින් කල්පනා කිරීම වටී.


මැතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ තමන් ජනපති වුවහොත් පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන බව කීවා මතකය. එසේ නම් ඔහු දැන් ජනපතිය. ඔහු ඒ ගැන විධිමත් අධ්‍යයනයක් කළ යුත්තේ නැවත මේ දේ නොවන්නටය. එයට ඍජුවම සම්බන්ධ වූවන්ට දඬුවම් කළ යුතුය. එහෙත් ඒ වෙනුවට නිලධාරීන් දෙපළක් බිල්ලට දීම නොකළ යුතුය. මේ සිද්ධියේදී අප කිසිවකුට ඍජුව ඇඟිල්ල දික් නොකරමු. එය ආණ්ඩුවේම නොහැකියාවකි. ඒ මොහොතේ සිරිසේන කළ යුතුව තිබුණේ රටෙන්ම සමාව ගැනීමය. එලෙස කළ හැකි ශක්තිමත් නායකත්වයක් ඔහුට නොතිබුණි. ඒ වෙනුවට ඔහු කළේ තම ළඟ සිටි ලේකම් පටලා එයට පොලිස්පතිත් පටලා මාරුවීමය. මෙවැනි පතෝල නායකයන් පත් කිරීම ගැන අද ජනතාව කම්පා වනවා සහතිකය. එහෙත් සියල්ල නුහුරටම සිදුවී ඇත.


හේමසිරි සහ පූජිත් අරබයා අප දිගින් දිගටම ලියනුයේ මෙය බලවත් අසාධාරණයක් වන බැවිනි. ඕනෑම පොඩි දරුවකුට වුවත් මෙම ප්‍රහාරයට වගකිවයුත්තේ මොවුන් දෙපළ නොවන බව ඒත්තු යනවා සහතිකය.


වත්මන් ජනපති ගෝඨාභය මේ ප්‍රශ්නයේදී නිවැරදි තීරණය ගනු ඇතැයි සිතිය හැක්කේ ඔහුට යුද අත්දැකීම් ඇති බැවිනි. අනෙක් අතට එය කළ අය මෙන්ම එම කල්ලියේ අය හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබියදී ආණ්ඩුවෙන් වූ වරද වසා ගැනීමට මෙලෙස නිලධාරීන් දෙදෙනකු බිලිදීම පැවති රජයේ තක්කඩිකමක් බව ජනපති ගෝඨාභය තේරුම් ගනු ඇත. එබැවින් තමා යටතේ හෝ මේ මිනිසුන්ට සාධාරණයක් විය යුතුය යන්න අපගේ හැඟීමය.


ඕනෑම කෙනකුට මෙය බැලූ බැල්මට අධිකරණ ක්‍රියාවලියක් යැයි පෙනී යා හැකි වුවත් එය තනිකරම හිටපු ජනපතිගේ උගුලක් නීතිපති ක්‍රියාත්මක කිරීම බව ගැඹුරට කල්පනා කිරීමේදී පැහැදිලිය. මුලදී මොවුන්ට ඇප දීම නොරිස්සූ සිරිසේන එය වෙනම ආකාරයට නැවත හිර කිරීම නීතිපති ලවා කළේය. විධායක බලතල අවැසි තම දුර්වලතා මකා ගන්නට නොවන බව සිරිසේන අද හෝ තේරුම් නොගන්නවා සහතිකය.


හෙට දවසේ ප්‍රහාරයක් වුණැයි ජනපති ගෝඨාභය තමාගේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නව හිරේ දමන්නේද? එය මොනතරම් බාල උපක්‍රමයක්ද? සිරිසේන පන්නයේ මිනිසකු හැර මෙවැනි ළාමක වැඩ වෙන කිසිදු ජනපති කෙනකු නොකරනවා සහතිකය.


ජනපති ගෝඨාභය හිටපු ජනපති සිරිසේන කළ මේ වරද නිවැරදි කරනු ඇත්ද? මේ ගැන නිසි පරීක්ෂණයක් කරන්නේ නම් සැබෑව හෙළිවනු ඇත. සිරිසේන සහ රනිල් කළ වාර්තා අධ්‍යයනය කළද මෙහි ඇත්ත එළියට එනු ඇත. එවන් පසුබිමක නීතිපති නටන මේ නාඩගම තනිකරම සිරිසේනගේ කොන්ත්‍රාත්තුවකි. එහෙත් දැන් සිරිසේනගේ වාරය ඉවරය. දැන් ඇත්තේ නව ජනපතිගේ කාලයය. නීතිපති හිටපු ජනපතිගේ ඕනෑඑපාකම් ඉටු කරන්නා නොවී අවංකව වැඩ කළ යුතුව ඇත. සිරිසේන සතුටු කරන්න හේමසිරි සහ පූජිත් බිල්ලට දීම නවතාලිය යුතුය.


නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මේ ප්‍රශ්නයට ඉක්මන් පිළිතුරක් සපයනු ඇතැයි විශ්වාස කරනුයේ එය මොවුන් දෙපළ නොව මියගිය වුන්ටද සාධාරණයක් වන බැවිනි. මෙතරම් ලොකු ප්‍රහාරයක් සිදුවිය හැක්කේ සමස්ත යාන්ත්‍රණයේම අඩුපාඩු නිසාය. රටේ ජනතාව මෙවර ඡන්දයේදී ඒ ආණ්ඩුව පරාජය කරන්නටද එය හේතුවක් කර ගත්තේය. ඒ දේවල් නැවත නොවන්නට ගෝඨාභය කෙරෙහි විශ්වාස තැබූහ. එසේ නම් ඒ ආණ්ඩුවේම වරදට හේමසිරි සහ පූජිත්ට දඬුවම් කිරීම යුක්තද? එය අමන නීතියක් නොවේද?


ජනපති ගෝඨාභය මොවුන්ට සාධාරණයක් කළ යුතුය. මන්ද වෙන කිසිවක් නිසා නොව එය විය යුතු බැවිනි. සිරිසේනගේ නොහැකියාවට ඔවුහු ගොදුරු විය යුතු නැත. මෙතෙක් ගොදුරුවීමද වරදකි. නීතිපති දැන් සිරිසේනට වැඩ කිරීම නතර කළ යුතුව ඇත. දැන් ඇත්තේ නව ආණ්ඩුවකි. නව ජනපති කෙනෙකි. නිවැරදිව දෙයක් කරන්නේ නම් පාස්කු ප්‍රහාරයට අදාළව සියලු අයම හිරේ දැමිය යුතුය. එහි අංක එක සිරිසේනය. අගමැතිද කොටස්කරුවෙකි. හිටපු හමුදාපති මෙන්ම බුද්ධි අංශ ප්‍රධානියාද නියෝජ්‍ය ආරක්ෂක ඇමතිද හිරබත් කෑ යුතුය. ඇත්ත ප්‍රශ්නය සඟවා බොරු උත්තර සෙවූ සිරිසේන පාලනය ඉවරය. දැන් හෝ හේමසිරිට සහ පූජිත්ට සාධාරණයක් විය යුතුය. නව ජනපති එයට මැදිහත් විය යුතුය.