ටිරන් කුමාර බංගගමආරච්චි

මේ ගෙවෙන්නේ ජනපති සිරිසේනගේ අවසන් නිල දවස්ය. කවුරු ජනපති වුවද සිරිසේන පන්නයේ මිනිසකු වසර පහකින් ‘චුත’ වෙන එක නම් රටට පුදුමාකාර යහපතක්ය. ඔහු තරම් මෙරට ජනපති භූමිකාවේ පිස්සු නැටූ පිස්සු චරිතයක් තවත් නැතිය. මහින්ද පරාජය කිරීම 2015දී එකම අරමුණ වුවත් ඔහු පරදවන්නට එදා ඔසවාගෙන ආවේ සිරිසේන යන අප්පිරියාව අද ඔහු ඔසවා ගෙන ආ අයට පමණක් නොව, දේශපාලනය ගැන යම් හෝ අවබෝධයක් ඇති සැමට ඇතිවාට සැක නැත. ඒ තරමටම මෙරට දේශපාලනය තුළ නින්දිත දේශපාලනයක නියැලි චරිතයක් නැති තරම්ය. ඔහුගේ නික්ම යෑම පොදුවේ සැමට සතුටුදායක පුවතක්ය. එහෙත් මේ ගෙවෙන අවසාන දින දෙක තුන තුළ පවා ඇත්තේ විචිකිච්ඡාවකි. ඒ තරමට ජනපති සිරිසේන අවිශ්වාස සහගත චරිතයකි. දෙබිඩි චරිතයකි. ඔහු සමීපව ඇසුරු කළ අය මුලින්ම පන්නා දැමීම ඔහුගේ සිරිතය. 2015දී ඡන්දයේ, ප්‍රතිඵල එනවිට ඔහු සැඟවී සිටියේ කුරුණෑගල පොල් වත්තකය. ඔහු දිනාවියැයි විශ්වාසයක් ඔහුටත් නොවීය. ඔහු සිටියේ රාජපක්ෂලා දිනා තමා ඇතුළු පවුලම අඩි හයක් පොළොව යටට යතැයි බියෙනි. එහෙව් දුෂ්කර මොහොතක ඕනෑම අභියෝගයක් කරට ගෙන සිරිසේන ඇතුළු පවුල රැකගත් ව්‍යාපාරිකයකු වූ කිරාන් අතපත්තුව සිරිසේන ජනපති වූ පසු පයිසයකට මායිම් නොකර පන්නා දැම්මේය. පාස්කුදා සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නියැලිව සිටි සිරිසේන ඒ සියලු අවලාදවලින් ගැලවෙන්නට තම ආරක්ෂක ලේකම්වරයා බිල්ලට දුන්නේය. තමා කොන්ද පණ ඇති නියම නායකයකු යැයි ඔහුම කියා ගන්නාමුත් ඔහුගේ කොන්දේ තරම දැන් රටම දනිති.
ජනපතිව වසර දෙකක් පමණ යන තෙක් තමා ජනපතිද යන්න පවා ඔහු විශ්වාස නොකළේය. ඒ ලෙස හැඩ ගැහෙන්නද බිය වූවේය. එහෙත් එකවර පොළොන්නරු විරුවා මරුවා සේ නැගී සිටියේ රටටම වින කටිමිනි. නීතිය බල්ලට දමා තමා පරාජය කළ මහින්ද රාජපක්ෂවම අගමැති කළේය. මෙහිදී කිව යුතුම දෙයක් ඇත. එනම් රනිල් වික්‍රමසිංහ සිරිසේනව ග්‍රාමසේවක මට්ටමටම ඇද දමා වැඩ කළ බවය. එවිට මෙවැනි සරල මිනිස්සු හැසිරෙන්නේ උමතුවෙන් බව මෙළෝ හසරක් ගැන වැඩි උනන්දු නැති රනිල් විශ්වාස නොකළේය. යම් පමණකට සිරිසේනගේ පිස්සු නැටීම්වලට රනිල් වගකිව යුතු වුවත් තනිකරම පිස්සුවට ඔහු කර ගැසිය යුතු නැත. එල්ලුම් ගහ ගෙනවිත් එල්ලනවා යැයි මරු කියවූ ඔහු එල්ලපු කෙනෙක් නැති වුවද එල්ලන්නට හිටි අයකු නිදහස් නම් කළේය. ඒ පෑන් පහරට විශාල අරුතක් ඇතිවාට සැක නැත.
කුඩු ඉවර කළ ජනපති වැනි බේගල් වපුරන ඔහු තවමත් ඇස් ඇර බලන්නේ නම් කුඩු කිලෝ ගණන් හසුවනවා දැකිය හැකිය. කුඩු අල්ලන නිසා තමාට මරණ තර්ජන යැයි අනියත බියකින් තැවෙන ඔහු නාමල් කුමාර කී කතාවෙන් මුලින් මරණ බය කරට ගත්තේය. 2015 ජනවාරි 08 වැනිදා සිටම ඔහු ජීවත්වන්නේ මරණ බියෙනි. දැන් ඔහුට සැනසිල්ලේ කාලය ගත කළ හැකිය. ඔහු ජනපති ලෙස දැනෙන්නට කළ යමක් වේ නම් ඒ සංචාරක කුරුල්ලකු සේ ලෝකයේ රටවල් තොගයක සංචාරය කිරීම පමණය. ඔහුගේ රට සවාරිවලින් මෙරටට වූ යහපත කුමක්ද? ඔහු නොගිය රටක් වේද? ඔහු ජනපති වී පොළොන්නරු යනවාට වඩා විදෙස් සංචාර කළ බව සහතිකය. ඔහු රටට යමක් නොකළද ඔහුට සහ පවුලට යමක් ඉතිරි කර ගත්තේය. දැන් කතා කළයුත්තේ එයය. ඓතිහාසික පසුබිම ඇරුණු කොට පොළොන්නරුවේ ජනප්‍රිය චරිතයක් වී නම් ඒ පොඩි විජේය. වෙඩි නොවදින පොළොන්නරුවේ පොඩි විජේය. ඔහු දාමරිකයෙකි. ඉන්පසු අපිට සිංදු ලියන්නට අවැසි නම් චිත්‍රපට හදන්නට තරම් පොළොන්නරුවෙන් නමක් ඇසුණේ නම් ඒ ජනපති සිරිසේනය. ඔහුද පොඩි විජේ පන්නයේම දේශපාලකයෙකි. මේ ඔහුගේ අවසන් වික්‍රමාන්විත කාලයය. ඊට පෙරද ඔහු තමා ගැන හිතුවේය. මේ ඒ ගැනය.
නිවසට වශීවීම
“පෙර දිනක අඳින්නට ඇඳුමක් පමණක් ගමන් මල්ලක බහා පැමිණි මේ සරල මිනිසා අද මේ රටේ ජනාධිපතිවරයායි. ඔහු මතු යම් දිනයකදී මේ සියලු බලතල අතහැර එලෙසින්ම පිරිසිදු දෑතින් මේ ධුරයෙන් නික්මෙන බව ස්ථිරයි.”
උපුටා ගැනීම චතුරිකා සිරිසේනගේ ‘ජනාධිපති තාත්තා’ කෘතියෙනි.
අම්මා තාත්තා ගැන වුවත් දරුවන් බොරු අන්ධ විශ්වාස නොමැවිය යුතුය. එය දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද අපහසු වන්නට හේතුවකි. මේ සරල මිනිසා පිරිසිදු දෑතින් නික්මෙනුයේ කොයිබටද? මුලදී කීවේ තමන් ජනපතිකම අත්හළ පසු පොළොන්නරුවට යන බවය. එහෙත් දැන් තමා දැනට දිවි ගෙවන ජනපති නිල නිවසම ඉල්ලා සිටී. මේ මොන සරලකමක්ද? පිවිතුරු දෑත්ද?
2015 ජනවාරි 08 ජනපති වූ සිරිසේනට 2019 නොවැම්බර් 16 වැනිදා සිය ධුරයට ආයුබෝවන් කියන්නට සිදුව ඇත.
විශ්‍රාම යන ජනපති යනු බලරහිත චරිතයකි. 2015 ජනවාරි 08 පත්වී මෙරට ලොකු පරිවර්තනයකට ලක් කරන්නට දළදා මාලිගය ඉදිපිරිට දිවුරුම් දුන් ජනතාවගේ සේවකයා විශ්‍රාම යනවිට දැනට සිටින නිල නිවසම ඉල්ලන තැනට හෑල්ලු වී ඇත.
මහගමසේකර මාවතේ ඇති වත්මන් ජනපති නිවස ඔහු විශ්‍රාම යෑමෙන් පසුවද ඔහුටම ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එලෙස තීරණය ගනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 15 වැනිදාය. ඒ ජනපතිවරයාගේම ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදීය. එහිදී මුදල් ඇමති මංගල සමරවීර ඒ සඳහා ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. විශ්‍රාමික ජනාධිපතිවරයකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලු වරප්‍රසාදවලට අමතරව සිරිසේනගේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ආණ්ඩුව මේ හැම දොළ පිදේනියක්ම දෙනුයේ මැතිවරණය දක්වා සිරිසේනගේ මුඛ බන්ධනය කොට තැබීමටය.
කොටින්ම ජනපති සිරිසේනගේ විශ්‍රාම පැකේජය තවමත් රහසකි. එළියට පැමිණ ඇත්තේ ඉන් කරුණු කිහිපයකි. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා අධ්‍යයනය ඇමතිවරුන්ට කල්තියා ලබාදීද නොතිබුණි.
මාධ්‍යවලට ආ කරුණුවල තිබුණේ ජනපතිවරයා දැනට පදිංචි මහගමසේකර මාවතේ නිවෙසම විශ්‍රාම ගියද ඔහුට ලබාදෙන බවය. එසේම විශ්‍රාමික ජනාධිපතිවරයාටද වෙනම කාර්ය මණ්ඩලයක් කාර්යාලයක් හිමි වේ. ඊට අමතරව රථ වාහනද ලබා දේ.
මේ නිල නිවෙස ලබාදීම ගැන දැනටමත් විරෝධතා පවතී. මෙම නිල නිවස ඉතාම මිල අධික සුපිරි නිවසකි. මෙහි නවීකරණ කටයුතු සඳහා පසුගිය කාලයේ සිරිසේන රුපියල් මිලියන 180 (කෝටි 18ක්) වියදම් කළේය. එයට විපක්ෂය චෝදනා නග විට එදා සිරිසේන කීවේ තමා රැගෙන යාමට මෙය අලුත්වැඩියා නොකරන බවත් ජනපති ලෙස තමා නිල නිවස ලෙස පාවිච්චි කරන්නේ මෙම නිවස බැවින් එය ජනපති නිල නිවසක් සේ අලුත්වැඩියා කරන බවය. එසේ නම් ජනපති නිල නිවසක් විශ්‍රාමික ජනපති කෙනකුට කුමටද?
මෙම නිවස නිවාස දෙකක් එකට යාකර තනා ඇති සුපිරි නිවසකි. එය සියලු පහසුකම්වලින් යුක්තය.
තම ජාමේ බේරා ගන්නට සිරිසේනට මේ නිවස ලබාදීම ගැටලුසහගතය. අනෙක් අතට ඔහු ජනපතිවරයා ලෙස සිටිමින්, කැබිනට් මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් මෙවැනි තීරණයකට එළැඹීම ගැටලු සහගතය.
විශ්‍රාමික ජනපතිවරුන්ට හෝ ඔවුන්ගේ වැන්දඹුවන්ට නිල නිවසකට හිමිකම් ඇත. 1986 අංක 04 දරන හිමිකම් පනතේ ඒ බව ප්‍රකාශ කර ඇත. ඒවා මෙසේය.
(අ) වාසය කිරීම සඳහා සුදුසු නිවෙසක් (කුලී ගෙවීමක් නොමැතිව) ප්‍රදානය නොකෙරෙන අවස්ථාවක් ජනපතිවරයෙක් මාසික වේතනයෙන් අඩකට සමාන ගෙවීමක් සිදු කෙරෙන දීමනාවකට හිමිකම් කියයි.
(ආ) ලේකම්වරයකු සඳහා ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ගෙවන වේතනය හා සමාන දීමනාවක්.
(ඇ) කැබිනට් අමාත්‍යවරයකුට ලබාදෙනවා සමාන රථවාහන සහ ගමනාගමන පහසුකම් ලබාදීම.
රථවාහන ලබාදීමේ පහසුකම් මෙසේ කොටස් හතරකට බෙදා වෙන්කර පැහැදිලි කර ඇත.

  1. නිල වාහන 02ක්
  2. ආරක්ෂක නිලධාරීන් සඳහා අතිරේක වාහන 01ක්
  3. රියදුරන් 03ක් (ආරක්ෂක නිලධාරීන් සඳහා වන අතිරේක වාහනයකට අනුයුක්ත කෙරෙන රියදුරන්ට අමතරව)
  4. මාසික ඉන්ධන දීමනාවක් (නිල වාහන දෙක ඩීසල් වාහන වේ නම් රුපියල් 20,000ක්ද, පෙට්‍රල් වාහන වේ නම් රුපියල් 50,000ක්ද ලබා දේ. අතිරේක වාහනයකට රුපියල් 20,000ක දීමනාවක්ද ලබාදෙයි.)
    ශ්‍රේෂ්ඨාධිකරණ 2007දී මෙම තීන්දුව ලබා දෙනුයේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දීමනා පැකේජයක් ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් සම්බන්ධයෙන්ය.
    එසේ නම් ඒ තත්ත්වය ජනපති සිරිසේනට ක්‍රියාත්මක වන්නේ කෙසේද?
    මෙම ක්‍රියාවලිය හරහා සිදුවන්නේ 1986 ජනාධිපතිවරයා සතු හිමිකම් විධායක බලය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට විරුද්ධව 2007දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නැවත අභියෝගයට ලක් කිරීමක් මේ හරහා සිදුවේ. එවකට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ලබාදීමට ගිය පැකේජයක් ගෙනාවාය. එහි කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නව පිහිටා තිබුණු පර්චස් 80ක අක්කර භාගයක) භූමියක් ඇය වෙත පිරිනැමීමට තීරණය විය. එම ඉඩමේ අඩක් ඉදි කළ ජනපති මන්දිරයක්ද විය. කෙසේ හෝ ඇතිවූ විරෝධතා මත එම භූමිය රජය සතුවිය.
    ජනපති සිරිසේන රටට කළ විනාශය හොඳටම ඇතිය. එහෙව් අයකුට නීති කඩමින් තවදුරටත් වරප්‍රසාද දිය යුතු නොවේ. එතෙක් මෙතෙක් ආ ජනපතිවරු අතරින් සිරිසේන ඇති කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාපිළිවෙත හොඳටම ඇතිය. එහෙව් සිරිසේන තවදුරටත් නඩත්තු කරන්න මේ රටේ ජනතාවට උමතුවක් නැති බව කිව යුතුය.

4 COMMENTS

  1. SIRISENA ME RATA KAEWA ME YAKA NEYAMA P…………YAEKI JARA MAMAEKI AEHUWOTH SUDDOSANA ANAE SIRISENAYO APAE ROSAHAN MANTHEE THUMATA KAELINNA NAEDA YAKO UBA BALALUWE BALAMU ESSARAHATA MOKADA WANNAE KIYALA P……MARUSIRATA………UBATA BANI REMANGAEMA PIHITAI

Comments are closed.