විමලනාත් වීරරත්න

නායකයින් ව්‍යාවෘත විය යුත්තේ තනතුරට අදාළ භූමිකාවලය. ජනාධිපතිවරයා පසුගිය දිනක ලාහුගලදී කීවේ රටේ සමහර ස්වාමීන්වහන්සේලා ඔහුගෙන් ආරක්ෂක ලේකම් සමයේ මෙන් වැඩ විධි ක‍්‍රමයක් ඉල්ලා සිටින බවය. යම් නායකයකු කැපී පෙනෙන පුද්ගලයකු බවට පත්වන්නේ පූර්ව අවදියේ ඔහු කරන වැඩ සම`ගය. රණසිංහ පේ‍්‍රමදාස මහතා නිවාස ඇමති හා අගමැති ලෙස කැපී පෙනුණි. ගාමිණි දිසානායක මහවැලියෙන් ශූර ඇමතිවරයකු ලෙස මතුවුයේය. ලලිත්, මහපොළ වැනි අදටත් පවතින වැදගත් සංකල්ප ක‍්‍රියාත්මක කර ජන හදවතේ රැුඳුනේය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස වැඩ කිරීමේදී තමන් තියුණු හා උන්නතිකාමී පුද්ගලයකු බව ප‍්‍රදර්ශනය කළේය. මේ කවුරුත් රටේ නායකත්වයට පත් වු විට තම පැරණි ජයග‍්‍රාහී භූමියේම සැරිසරිය යුතු නැත. විශේෂයෙන්ම නව භූමිකාව අතහැර පැරණි සිහින භූමියට යා යුතු නැත. එහෙත් රටේ බොහෝ නායකයන්ට රෝගයක් ලෙස එම ආශාවෙන් මඬනා ලද සිත් පහළ වෙයි. මෛත‍්‍රීපාල සිරිසේනට ජනපති වූ පසුවත් මහවැලි අමාත්‍යධුරය ඕනෑ වුයේය. ජනාධිපති ධුරයට අතිරේකව තමන් හොඳින් පරිචයක් ලබා ඇති ක්ෂේත‍්‍රයක වගකීමක් දැරීම වැදගත්ය. එහෙත් එම වගකීම දැරීම මගින් වර්තමාන මූලික වගකීම හරිහැටි ඉටු නොවනවාම් එය නරක හා පිටුදැකිය යුතු තත්ත්වයකි.

ජනපති
වත්මන් ජනපති විසින්, හරීන් ප‍්‍රනාන්දු ජනපතිගේ මුල් නම කියා කළ ආමන්ත‍්‍රණයක් හෙතෙම නන්දිකඩාල් දක්වා දුර දිග ගියේය. එහිදී ජනපති ආරූඪ වුයේ පැරණි ආරක්ෂක ලේකම් ධුරයටය. එළඹෙන අභියෝග වලට මුහුණ දිය යුත්තේ වර්තමාන භූමිකාවේ සිට බව එහිදී ජනපතිට අමතක විය. රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය යනු එය මිස ආපසු ගමන් යාම නොවේ. හරීන් තවමත් ලංකා දේශපාලනයේ ගැඹුරු අත්දැකීම් නැති තරුණ දේශපාලනඥයෙකි. ඔහුගේ ආවේගශීලි හෝ උත්ප‍්‍රාසාත්මක කතාවක් පරිණත නායකයකු ගණන් ගත යුතු නැත. ජනපති එය ගණන් ගන්නේ ඔහුත් හරීන් සේම ආධුනික නිසාදැයි යන ප‍්‍රශ්නය නැවත නගන්නට සිදුවෙයි.


ජනපති ෆේස්බුක් ජනයා සම්බන්ධයෙන්ද ජාතිය ඇමතීමකදී තරමක් ප‍්‍රකෝප වුයේය. ඔහු විනෝදාස්වාදයට මුහුණු පොතේ සැරිසැරුවත් විධිමත් මාධ්‍ය ගනුදෙනුව කළ යුත්තේ සාක්ෂ්‍යය සමග තර්කානුකූලව ලියන පුවත්පත් සමගය. විද්‍යුත් මාධ්‍ය සමගය. මන්ද තත් කාලීන ප‍්‍රශ්නවලට සංවිධිතව එළඹෙන්නේ විධිමත් ජනමාධ්‍ය බැවිනි. ජනපති රටපුරා ගමින් ගමට යන්නේද එක්තරා අඩුවක් පුරවා ගැනීමට බව කිව හැකිය. ඒ තමන්ට දේශපාලනඥයකු ලෙස පූර්ව ඇත්දැකීම් ලද අවදියක් නොමැති වීමේ අඩුවයි. ඔහු රාජ්‍ය නිළධාරියකු වීමෙන් අනතුරුව එක්විටම ජනපති වූයේය. ගෝඨාභය මහතා අඩුම තරමින් ප‍්‍රාදේශීය සභා හෝ පළාත් සභා මන්ත‍්‍රීවරයකු ලෙස වැඩ කර අත්දැකීම් ලත් කාලයක් තිබුණා නම් බොහෝ දුරට ඔහු අද මෙන් ගම්වල ඇවිද ජනයාගේ ගැටලූ විමසන්නට නොයනු ඇත. ඕනෑම නායකයකු ඒවා කරන කාලයක් තිබේ. එම කාලය තුළ හඳුනාගන්නා ගැටලූ රටේ නායකයා වූ පසු විසඳිය හැකිය. ගමේ කරක්ගැසීම එක් අතකින් විනෝදයකි. එහෙත් ජනපතිධුරය හොබවන රටේ ප‍්‍රධාන නායකයාට දැන් එසේ විනෝදවීමට කාලයක් නැත. ඇත්තේ වසර 5 ක් හෝ 10 කි. එම සංචාර හා අධ්‍යයන ගවේෂණ තරුණවියේ කළ යුත්තකි. ගම සමග පිළිසඳර වැඩසටහන ප‍්‍රායෝගික නැතිබව මීට පෙරත් අප කීවෙමු. ලංකාවේ බොහෝ ගම් ලාහුගල මෙනි. දුෂ්කරය. ප‍්‍රජා මූලික අවශ්‍යතා බොහෝය. රටේ හැම ගමකටම ගොස් ඒවා තෙමේම විමසා බලා පිළිතුරු සොයන වැඩසටහනට ජනපතිට වසර 20 ක් වත් ගතවිය හැකිය. ඔහු ජනපති කාර්යාලයේ සිය ප‍්‍රදේශීය සභා පළාත් සභා නියෝජිතයන් මගින් මෙම වැඩසටහන මෙහෙයවිය හැකිය. ගම්වල අඩුපාඩු ග‍්‍රාම නිලධාරීන් මගින් රැුස්කරගත හැකිය. අවශ්‍යනම් ‘‘ජනපතිට කියන්න’’ වැනි වීඩියෝ තාක්ෂණය මගින් එම ගම්වල ස්වභාවයන් හා මහජන ප‍්‍රශ්න දැකබලාගෙන නොනැවතී ගැමියන්ගේ වදන් වලින්ම ඒවා ශ‍්‍රවණය කළ හැකිය. ජනාධිපතිවරයා නූතන තාක්ෂණයෙන් වැඩ කරන නිලධාරියකු ලෙස වෘත්තියක නියැලූනේය. ඒ නිසා ඔහුට මේවා අප ඇගිල්ලෙන් ඇන කිව යුතු නැත. ඔහුත් අප සඳ පෙන්වන විට ඇගිල්ල දෙස නොබැලිය යුතුය.


අලින්ගෙන් කරදර ඇති සෑම ගමකම එක රැුයකට මිනිසුන් එකෙක් දෙන්නෙක් මැරෙති. ළගදි ? පැල් රැක උදේ ගෙදර එමින් සිටි තරණයකු අලියා පහර දී මළේය. ඒ රැුය පුරා ගමේ වගාබිම් වලට හානි කළ තනියෙකි. අලි කරදරය විසඳීමට අලි ප‍්‍රශ්නය ඇති සෑම ගමකටම ගොස් අලියා ආවේ කොතැනින්ද, ගියේ වෙන පාරකින්ද, ඌ බැලූවේ, රැව්වේ කොහොමද වැනි ප‍්‍රශ්න ජනපති තෙමේම අසා ප‍්‍රත්‍යක්ෂ කර ගත යුතු නැත. හැමදාම හැමතැනම සිදුවන්නේ ඒ එකම දේය. අවශ්‍ය මෙම ප‍්‍රශ්නයට පිළිතුරකි. මේවා අලියා සේම වල් නොවැදී ජනපති කාර්යාලයේම සිට විසඳිය හැකි ප‍්‍රශ්නය. කළමනාකරණය වැනි විෂයක් අප ඉගෙන ගන්නේ ඒ සඳහාය. ඒවා නිසි පරිදි සිදුවනවාදැයි සොයා බැලීමට අධික්ෂණ ක‍්‍රමයක් සැකසීම මෙන්ම වැඩ කඩිනම් කිරීම සඳහා සංකල්ප නිපදවීම හා මුල්‍ය අවශ්‍යතා සපුරා දීම රටේ නායකයාගේ වගකීමය.

ප‍්‍රාසාංගික අත්දැකීමක්
ජනපති ගමින් ගමට ගොස් ගැමියන්ගේ ප‍්‍රශ්න අසන වැඩ සටහන ප‍්‍රාසංගික අත්දැකීමකි. ඔහුට එමගින් තමන් සක‍්‍රිය ජනපතිවරයකු බව ප‍්‍රදර්ශනය කළ හැකිය. තම ධුර කාලය අවසානයේ ආපසු හැරී බලන විට ඇවිදීම හා හති වැටීම පමණක් ඉතුරු වනවානම් මේ මහන්සියෙන් ප‍්‍රතිඵලයක් නැත. එබැවින් නිහඬව අපේක්ෂිත වැඩකටයුතු තාර්කික අවසානයකට ගෙන එන ප‍්‍රවර්ගයේ නායකයකු වීම හතර අත දුවනවාට වඩා වැදගත් බව ජනපතිට කිව යුතුය.
ඉඩම් ප‍්‍රශ්න, ඔප්පු ප‍්‍රශ්න, වතුර, වනජීවි සංරක්ෂණය පිළිබඳ ප‍්‍රශ්න වලදී ගොවි ජනයා මුහුණ පාන ගැටලූ, අලි මිනිස් ගැටුම යනාදී කාරණා සෑම ප‍්‍රදේශයකටම එකිනෙකට බොහෝ වෙනස් නැත. එම නොවෙනස් ප‍්‍රශ්නවලට පොදු ප‍්‍රතිපත්තියක් සැකසීමෙන් ජනපතිට මීට වඩා ප‍්‍රතිඵලයක් අත්කර ගත හැකිය. එවිට ගොවියාට නඩු දමන්නට එපා යනුවෙන් වන නිලධාරින්ට විශේෂයෙන් කීමට ජනපතිට සිදුවන්නේ නැත.


සතුන්ගෙන් සිදුවන වගා හානි ගැන ජනපති ලාහුගලදී කියා තිබුණේ එම විෂයට අමාත්‍යාංශයක් පිහිටුවා ඇති බවකි. ගණන් බලා ඇති පරිදි වගාවෙන් තුනෙන් එකකට සත්තු හානි කරති. අමාත්‍යාංශය වගා හානි වැළැක්වීමට ගෙන ඇති පියවර මොනවාද ? අප දන්නා පරිදි එය තවම පිළිතුරක් සොයා නොගත් ප‍්‍රශ්නයකි. දෛනිකව අලි, ඌරු, රිලා, දඬුලේන, මොනර ගණයා වගා පාළු කරති. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි වික්ටර් අයිවන් වේලාසනින් මෙම ප‍්‍රශ්නය සාකච්ඡුාවට ගත් කතුවරයෙකි. ඔහු කීවේ වගා බිමට එන හානිකර සතුන් මැරීමේ අයිතිය ගොවීන්ට දිය යුතු බවය. එම මස් අනුභවයට ඔවුන් යොමු කළ යුතු බවය. එමෙන්ම රටේ අලි සංඛ්‍යාව වනාන්නතර වලට දරාගත නොහැකිනම් අලි විකුණා මුදල් උපයාගන්නා ක‍්‍රමයක් ගැනද ඔහු වරෙක ලියා තිබුණි. ප‍්‍රශ්නය වන්නේ රටේ නායකයින් මේවා විවෘතව සාකච්ඡුා කිරීමට බියක් දැක්වීමය. ලංකාව බෞද්ධ රටක් නිසා එසේ ඔවුන් බිය වනවාද ? ලංකාව කවර ආගමක් ඇදහුවත් එය ප‍්‍රායෝගික දිවි පැවැත්මට බාධාවක් කර ගන්නේ ඇයි ? ගොවීන්ට නඩු නොදමනු යැයි හා මගේ නියෝග චක‍්‍රලේඛ ලෙස සලකන ලෙස කීමට බය නැති ජනපති වගා හානි කරන සතුන් මැරීමට ගොවීන්ට කීමට බියය. අලි විකිණිමක් ගැන ඔහු කෙසේවත් කතා නොකරනු ඇත. අයිවන් මහතා එම ප‍්‍රශ්නයේදි අදහස් කරන්න ඇත්තේ අලි විකිණීම හිතවත් ජාවාරම්කාර පන්තියකට භාර නොදී එම ලාභය රජයට බැර වන ලෙස කිරීම විය යුතුය. අනෙක් අතට ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම සතුන් මැරීමට වඩා පාපයක් ලෙස බෞද්ධ සමාජය භාර ගත යුතුය. සිරගත මිනීමරුවන්ට ජනාධිපති සමාව දීමත් වගා හානි කරන සතුන් මැරීමට වඩා පාපයකි. රටේ සම්පත් විකිණීමට යත්න දරනවානම් එයත් එසේමය. අනෙක් අතට හරීන්ගේ ප‍්‍රශ්නය නන්දිකඩාල් දක්වා ගෙන ගියත් ජනපතිට ඌරන් මරන්නට කිව නොහැකි ඇයි ? දඩමස් අනුභවයෙන් ප්‍රෝටීන් හීනතාවෙන් පෙළෙන දරුවන්ට සෞඛ්‍යමය ලාභයක්ද අත්වෙයි. මාළු කන්නට මුදල් නැතිනම් දඩමස් කෑමේ වරද මොකක්ද ? මෙවැනි වසංකළ ප‍්‍රශ්න ගැන රටේ නායකයා විවෘතව සාකච්ඡුා කරනවානම් යෙහෙකිය.

මූලික ප‍්‍රශ්න අතහැරීම
ලංකාව රටක් ලෙස යන්නේම වැරදි ඉසව් වලටය. කොරෝනා මැඞීමට නිෂ්පාදිත මෙරට ධම්මික පැණියේ උණුසුම මැකී යාමත් සමග රන් නිධියක් මතුවී තිබේ. ඉකුත් සතිඅන්ත ජාතික පුවත්පත් දෙකක් සිය මුල් පුවත බවට පත්කරගෙන තිබුණේ රන් නිධියේ කතාවය. යකඩ, ඉල්මනයිට් තඹ ආදියද නිධියට ඈඳා තිබුණු බැවින් රටේ සියලූ ප‍්‍රශ්න දූරිභූත කර රට රන් නිධියෙන් සශ‍්‍රීක කළ හැකි යැයි අදහසක් එම පුවත් මගින් සන්නිවේදනය කැරිණි. මැතිවරණයට පෙර ගෑස් නිධියක් ගැනද මෙවැනි ප‍්‍රබන්ධයක් පතළ විය. ඡන්දයෙන් පසුව ගෑස් නිධිය අන්ත‍්‍රස්දාන විය. මේවා ඬේසි ආච්චිගේ මැණික් මල්ලේ කතාවෙන් එහාට නොයන දේවල් වුවත් ජනතාවට නම් මුලික ප‍්‍රශ්න අමතක කරවීමට සමත් ඉස්මතු කිරීම්ය.


ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය මේ වන විට ඉහළය. එන්නත් ලබා ගැනීමට ජනපති චීනයට හා ඉන්දියාවට ලිව්වේය. නොමිලේ දෙන එන්නත් ප‍්‍රමාණය හැරුණුවිට ඉතිරි එන්නත් ලබා ගැනීමට මුල්‍ය පහසුකම්ද ලංකාවට හිගය. වතු සේවකයන්ට පොරොන්දු වු රුපියල් දහස දීමට බැරිව තැටමීමට සිදුව තිබේ. ආණ්ඩුව ඒ ගැන කියන්නේ වතු සමාගම් ඊට තවම එකගතාව පළකර නැති බවවය. එසේ නම් ඡුන්දයට පෙර ජනපති ගණන් බලා තිබෙන්නේ අනුන්ගේ සාක්කුවේ තිබෙන මුදල් වලටය. රටේ ආර්ථික ක‍්‍රියාවලිය සක‍්‍රීය නැත. කොරෝනා නිසා පැවැති ක්ෂුද්‍ර ආර්ථික මාර්ගත් ඇහිරුණි. ආර්ථිකය සක‍්‍රීය කිරීමට සැරසෙන්නේ කොරෝනා නිසා ලොක් ඩවුන් කළ රටකින් සංචාරකයින් ගෙනැවිත්ය. මෙවැනි ප‍්‍රශ්න නහුතයක් තිබියදී දැන් ලංකාව බලාපොරොත්තු තබන්නේ රන් නිධියක් කෙරෙහිද ? මෙවැනි සුුදු නයි ජනතාව අතර කෙතරම් නම් යවනවාද ? කැලණි ගඟ පතුලේ නාග විමනක් ඇතැයි කීමම කෙතරම් බරපතළද ? ජනතාව අතරින් ඇතැම්හු මේවා විශ්වාස කරති. මෙම ව්‍යාජයන්ට නොරැවටී යථාර්ථයට මුහුණ දීමට රටේ කිසිම නායකයෙක් ජනතාවට යෝජනා නොකිරීම පුදුම සහගතය.

වචන දෙකක් ඇයි
වරායේ නැගෙනහිර පර්යන්තය විකිණිම හෝ බදු දීම ගැන ආණ්ඩුව ඇත්ත අදහස කමක් විය හැකිද ? විකිණීමට හෝ බදුදීමට එරෙහිව උද්ඝෝෂණ පිට උද්ඝෝෂණ සිදුවෙද්දී අගමැති කීවේ පර්යන්තය විදෙස් සමාගමකට නොදෙන බවය. මැතිවරණයට පෙරත් ඔහු වරාය වෘත්තිය සමිති කැඳවා එය කීවේය. එහෙත් ඉන්පසු විකිණීමට හෝ බදු දීම පිළිබඳ සැලසුම් දියත්විය. වෘත්තිය සමිති දිගින් දිගටම ඒ ගැන විරුද්ධත්වය පෑවේ එනිසාය. ජනපති රටේ සම්පත් නොවිකුණන බව කිව්වත් ඔහුගේ වදන් තිරසාර නැති බවක් පෙනේ. නැගෙනහිර පර්යන්තය ලංකාවේ වරාය අධිකාරිය මගින් මෙහෙයුම් කටයුතු සිදුකර ඉහළ ආදායම් ඉපැයිය හැකි බව වරාය සේවකයෝ කියති. බොහෝ පුද්ගලයෝ තමන් රාජකාරි කරන තැනට ආදරය කරති. එය ඇතැම් විට වැඩවසම් අරුතකින් වන දෙයකි. වරාය යනුත් එසේ ආදරය කළ යුතු සම්පතකි. විදෙස් සමාගමකට නොදෙනවානම් දුෂමාන ආරංචි වලට තටු ලබන්නට ඉඩ නොදී ජනපති ඇතැම් දේවල් ගැන කෙළින් කතා කරන ආකාරයටම නැගෙනහිර පර්යන්තය ගැනත් ආණ්ඩුවේ අදහස කිව යුතුව ඇත. වරායේ ප‍්‍රශ්නය ධම්මික පැණිය හෝ රන් නිධිය සේ ආතක් පාතක් නැති තත්ත්වයට පත් නොකිරීමට ජනපතිට වගකීමක් තිබේ. එය නාගවිමානය මෙන් අතහැරිය හැකි ප‍්‍රශ්නයක්ද නොවේ. යථාර්ථවාදිව බලා පියවර ගත යුතු ප‍්‍රශ්නයකි. විශේෂයෙන්ම අලි කඩපු නිවෙස් වල මැටි බිත්ති අත පත ගාන්නට යන වෙලාව පාවිච්චි කර රටේ ප‍්‍රධාන ආදායම් මාර්ග විවර කර ගැනීම සම්බන්ධයෙන් ජනපති බුද්ධි මණ්ඩලයකද ආධාර ලබාගෙන ක‍්‍රියාත්මක විය යුතුය. එමෙන්ම සංචාරක කර්මාන්තය මාෆියාවකට යටත් නොකළ යුතුය. කොරෝනා නිසා ඇගලූම් ආදායම ඇද වැටිණි. විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් රටට ලැබෙන ආදායම් පහත වැටුණි. රට නිෂ්පාදන ක‍්‍රියාවලියකට හා සක‍්‍රීය ආර්ථිකයකට අවතීර්ණව නැත. ඒ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවිය යුතුය. ජනපති සිය කාර්යාලයට වී අදාළ විෂය ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන් සමඟ සැලසුම් සකස් කළ යුත්තේ මෙම ඉහළ ආදායම් උපයන ක්ෂේත‍්‍ර නගා සිටුවීම පිළිබඳවය. සැබැවින්ම පැණියෙන් හෝ නිධියෙන් මුලා නොවන ලෙස ඔහු සිය හැට නම ලක්ෂයට පළමුව අවබෝධ කර දිය යුතුය.