නිමල් අබේසිංහ

සීනි ආනයනික බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා පහළ බස්සවා විල්මා පිරමීඞ් සමාගමට රුපියල් කෝටි 1650 ක දැවැන්ත ලාභයක් උපයා ගන්නට ආණ්ඩුව අවස්ථාව හිමිකර දී නැතැයි කියා ආණ්ඩුවේ කිසිවෙකුටත් අත පිස දමාගැනීමට නොහැකිය. මේ මුදල් ආණ්ඩුවේ මුදල් වුවත් සැබෑවට නම් රටේ ජනතාවගේ මුදල් බැවිනි.

සීනි කිලෝ එකක් සඳහා ආනයනික මිල රුපියල් 50 ක් වන අතර සාමාන්‍යයෙන් එක් කිලෝ එකකට අයකරන බදු මුදල රුපියල් 50 කි. විල්මා පිරමීඞ් සමාගම සීනි ආනයන කරන අවධියේදී මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ සීනි ආනයනික බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කළේය. ඒ කුමන අවශ්‍යතාවයක් පදනම් කරගෙනදැයි හරිහැටි පැහැදිලි ද නැත. ප‍්‍රශ්නය වනුයේ එසේ බදු අඩු කිරීම තුළ රජයට අහිමි වූ දැවැන්ත මුදලට වගකියන්නේ කව්ද ?

මෙම බදු අඩුකිරීමේ වාසිය රටේ පාරිභෝගිකයින්ට ලැබී නැත. එයට හේතුව සීනි මිලෙහි වෙනසක් හෙවත් අඩුවීමක් නොවීමය.

සාමාන්‍යයෙන් රුපියල් පනහක් වන සීනි කිලෝවකට රුපියල් පනහක බද්දක් අයකළ පසුව ආනයනකරුවා විසින් තොග වෙළෙන්දාට සීනි කිලෝවක් විකුණනුයේ රුපියල් 110 කටය. තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාට අලෙවි කරනුයේ කිලෝවක් රුපියල් 120 කටය. සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාට කිලෝවක් විකුණනුයේ රුපියල් 130 කටය. මේ රුපියල් පනහකට ආනයන කරනු ලබන සීනි කිලෝවක සිල්ලර මිල හැදෙන ආකාරයය.

එහෙත් විල්මා පිරමීඞ් සමාගම ආනයන කළ සීනි වෙනුවෙන් ආණ්ඩුවෙන් අය කළ බද්ද ශත 25 කි. ඒ අනුව ආනයනකරුවා හරිනම් සීනි කිලෝවක් තොග වෙළෙන්දාට රුපියල් 60.25 කටත් තොග වෙළෙන්දා 70.25 කටත් සිල්ලර වෙළෙන්දා රුපියල් 80.25 කටත් සීනි අලෙවි කළේ නම් පාරිභෝගිකයාට ආණ්ඩුව කපාහැරි බද්දේ වාසිය ලැබෙයි.

බන්දුල හාමිගේ ආර්ථික න්‍යාය අනුව නම් ඒ මිලට ආණ්ඩුව සීනි අලෙවි කළමුත් ඒ සීනි තොග පිටින් කෝටාල්කාරයින් මිලදීගෙන ගොස් තිබේ. දැන් අඩුම වශයෙන් පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුවවත් ක‍්‍රියාත්මකකරවා මේ කොටාල්කරුවන් බඩුත් සමගම අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩ ගසා ආණ්ඩුවට සිදුව ඇති පාඩුව පියවා ගන්නටවත් ක‍්‍රියා කළහොත් නරක නොවේ.

මෙම සීනි ප‍්‍රශ්නයේදී පැන නගින තවත් බලගතු ප‍්‍රශ්නයක් වන්නේ, ආනයනකරුවා සීනි කිලෝ එකකින් ලබන ලාභය ඔහු කිලෝවකට වැය කරන මුදලද අභිබවා ගොස් තිබීමය. එනම් බද්ද පහළ දැමීම නිසා අත් වන රුපියල් 49.75 ක ලාභය හා පෙර මිලටම තොග වෙළෙන්දාට රුපියල් 110 ගණනේ කිලෝවක් විකිණීමෙන් ලැබෙන රුපියල් 10.25 ක ලාභයය.

මේ සීනි සෙල්ලම ජනවහරේ එන අන්දරේගේ සීනි කෑම කතාව මෙන් හාස්‍ය දනවන්නක් වෙන්නේ නැත. එයට හේතුව කලින්ද සඳහන් කළ පරිදිම අතිවිශාල ධනස්කන්දයක් රටට, රටේ ජනතාවට අහිමිවීමය. එහි බර රටේ ජනතාවගේ කර මතට වැටීමය. ඒ කතාවල බර සීනි මෙන් පැනි රස නොවනුද ඇත. සීනිද තිත්තවනුයේ එවිටය.