ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


මීට දශක හයකට පෙර සිට මෙරට ඉතාම දියුණුම තත්ත්වයක වූ දැවැන්ත කර්මාන්ත පුරයක් අද දිස්වන්නේ නටබුන් නගරයක් ලෙසය. ඒ, එදා නොනිදන නගරය ලෙසින් ද නම් වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කන්තලේ සීනි කර්මාන්තශාලාව ආශ්‍රිතව ගොඩනැගී තිබූ ආශ්චර්යජනක නගරයේ අද තත්ත්වයි. අද එහි සැබෑ තත්ත්වය දකින්නෙකුට ඇතිවන්නේ මහා කම්පනයකි. එවැනි අති දියුණු තත්ත්වයේ කර්මාන්ත පුරයක් අදත් මෙරට තුළ නැත. එහෙත් මීට වසර හැටකට පෙර මෙරටට එවැනි අති දැවැන්ත හා අති දියුණු තත්ත්වයේ මහා ව්‍යාපෘතියක් ලැබෙන්නේ ත්‍යාගයක් ලෙසය. එහෙත් අභ්‍යාග්‍යය නම්, එවැනි වටිනා ත්‍යාගයක් රැක ගෙන පවත්වාගෙන යෑමටවත් මෙරට පාලකයන්ට නොහැකිවී තිබීමය. කන්තලේ සීනි කර්මාන්තශාලාවට හා ඒ ආශ්‍රිතව තිබූ මනරම් නගරයට අත්ව ඇති ඉරණම සැබවින් මහා ඛේදවාචකයකි, ජාතික අපරාධයකි.


එදා අසිරිමත් නගරයක්


චෙකෝස්ලෝවේකියානු රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන කන්තලේ සීනි කර්මාන්තශාලාව ආරම්භ වන්නේ 1960 ඔක්තෝබර් 02 වැනි දාය. එවකට අග්‍රාමාත්‍යවරියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක අතින් එය විවෘත වී තිබුණි. අක්කර 21234ක් පමණ ඊට අයත් වූ අතර ඉන් අක්කර 11,000ක් පමණ උක් වගාවට යොදවා තිබී ඇති අතර ඉතිරි ප්‍රදේශයේ අනෙකුත් ගොඩනැගිලි හා අවශ්‍යතාවන්ට වෙන්ව තිබී ඇත. එම භූමියේ පිහිටි කුඩා වැව් 14ක් පමණ ප්‍රතිසංස්කරණය කර ඒවායින් උක් ඉඩම්වලට ජලය සැපයීම සිදුව ඇති අතර ඉතිහාසයේ මෙය ඉතා සශ්‍රීක කර්මාන්ත පුරයකි.


මෙම කර්මාන්තශාලාව ආශ්‍රිතව සේවක නිල නිවාස 800ක් පමණත්, පන්සලක්, පල්ලියක්, පාසලක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, බේකරියක්, බැංකුවක්, සමූපකාරයක්, ටේලර් සාප්පු, සුපිරි වෙළඳසැල් දෙකක්, ක්‍රීඩාපිටි, සංචාරක බංගලාවක්, පුස්තකාල, සමූහ ආපනශාලා පමණක් නොව සේවකයන්ට සහ නිලධාරීන්ට ලෙස සමාජශාලා දෙකක් ද තිබී ඇත. එහි අමතර භෝග අංශය නමින් අංශයක් පවත්වාගෙන ගොස් තිබුණේ සේවකයන්ට අවශ්‍ය ආහාර ලෙස එළු මස්, බැටළු මස්, බිත්තර, විවිධ බෝග වර්ග ආදිය සහන මිලට සැපයීමටය. එහි අදටත් ඉතිරිව සිටින සේවකයන් කීපදෙනා පවසන්නේ එදා එහි නොවූයේ සිනමා ශාලාවක් පමණක් බව ය. එහෙත් සිනමාශාලා වෙත ද යෑමට අවශ්‍ය පහසුකම් ද සපයා දුන් බවය.


“ඒ කාලයේ මේ කර්මාන්ත ශාලාවේ 7000කට කිට්ටු සංඛ්‍යාවක් නිලධාරීන්, සේවකයෝ වැඩ කළා. කන්තලේ නගරයත් එදා දියුණු වුණේ මේ කර්මාන්තශාලාව නිසායි. ලංකාවේ විවිධ පළාත්වල අයත් මේකේ වැඩට ආවා. මේ ආයතනයේ හැම අංශයක්ම තියනවා, මේක විශ්වවිද්‍යාලයක් වගේ තැනක්. වගා අංශවලට අමතරව සිවිල් ඉංජිනේරු අංශ, ගොඩනැගිලි අංශ, වඩුවැඩ අංශ, කාර්මික අංශ, නඩත්තු අංශ, වාහන අලුත්වැඩියා අංශ වගේ තවත් ගොඩක් අංශ තිබුණා. මගේ තාත්තා මේ ජනපදයේ පදිංචියට ආවේ මේකේ රස්සාව නිසායි. පස්සේ අපිත් මේකේ රැකියාව කළා. මේකේ රැකියා කළ අයටත් ඒ අයගේ ළමයින්ටත් පවුල්වල අයටත් සියලු පහසුකම් මෙතන හදලා තිබුණා.” අදටත් කර්මාන්තශාලාවේ ආරක්ෂක අංශයේ නිලධාරියකු ලෙස සිටින නිහාල් තිලකරත්න පැවසුවේ අද වල් බිහිවී ටික ටික සැඟවෙමින් යන ගොඩනැගිලි දෙස ශෝකය පිරි නෙත් රඳවමිනි.


කම්හල් ගොඩනැගිල්ලේ තට්ටු කීපයක් සහිත කොටස්වල බොයිලර්, ඇඹරුම්, රසායනාගාර, නිෂ්පාදන ලෙස විවිධ කොටස්වලින් සමන්විතය. වැව් වලින් ජලය ගැනීම සඳහා උස් බිම්වලට ජලය රැගෙන යා හැකි ආකාරයේ යුගෝස්ලෝවියානු ජල මෝටර් 10ක් ද වෙන වෙනම කුටිවලය. නමුත් පසුකාලීනව ජලය ගැනීමට වාරිමාර්ග පද්ධති සියල්ල සාදා තිබීම නිසා ඒවා අනවශ්‍ය ව තිබුණි. ට්‍රැක්ටර්වලින් රැගෙන ආ උක් ගස් කිලෝ දහදාහක් ධාරිතාවයක් සහිත දොඹකරයක ආධාරයෙන් උස්සා යන්ත්‍රයට දැමීම සිදුව තිබුණි. ඒවා අවශ්‍ය පරිදි කොටස් වලට කැපී ඇඹරුම් අංශය තුළින් ගොස් ද්‍රාවණය වෙන්වී රොඩු කොටස කම්හලේ අනෙක් පසට ගමන් කරයි. කාලයක් එය තාප බලශක්තියෙන් ක්‍රියා කළ කර්මාන්තශාලාවක් වූ අත කර්මාන්තශාලාවේ සියලු කටයුතුත් නිවාස පද්ධතියටත් එහි විදුලිය නිපද වී ඇත. එකල ආසියාවේ වූ විශාලම කර්මාන්තශාලාව මෙය බව පැවසෙන්නේය. රටට අවශ්‍ය වූ සීනි පරිභෝජනයෙන් 8.5%ක් එකල මෙහි නිෂ්පාදනය වී තිබුණි. එමෙන්ම සීනි පමණක් නොව එහි අතුරු නිෂ්පාදනයක් ලෙස එතනෝල් ද නිෂ්පාදනය වී තිබූ අතර එකල මෙය ලාභ ලැබූ ආයතනයක් බවට පත්ව තිබූවකි.


කණකොකා හැඬීම


1993 දී පොදු දේපොළ පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ මෙම සීනි කර්මාන්ත ශාලාව ද පෞද්ගලික ආයතනයකට පැවරෙන්නේය. මෙම විනාශය කරා ගමන් කරන්නේ ඒ සමගය. ඉන් පසු එහි ප්‍රධාන පාලකයා ඒ වන විට සේවකකයන්ට පිස්තෝල පෙන්වා අත්තනෝමතික පාලනයක් ගෙන යෑමත් සමග සේවකයන් ද වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන්නේ ය. එම ගැටලුසහගත තත්ත්වය හමුවේ මෙම කර්මාන්තශාලාව නැවත රජයට පවරා ගැනීමේ අධිකරණ ක්‍රියාවලියක් සිදුවන අතර වාරයේ කර්මාන්තශාලාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නැත. 1994 වසර අවසානයේ කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම වැසී යන්නේය. අධිකරණ ක්‍රියාවලියෙන් පසු නැවත කර්මාන්තශාලාව රජයට පවරා ගැනෙන්නේ 1997 දී වුවත් ඒ වන විට වගාව ද සම්පූර්ණයෙන් විනාශ වීය.
“කර්මාන්තශාලාව වහද්දී මට වන්දි විධියට රු. 87000ක් ලැබුණා. ඒ දුන්නේ වැඩ කළ මාස 14ක වැටුප. මම ඒ චෙක් එක ගෙදර තියලා දරුවා ලැබෙන්න ඉස්පිරිතාලේ හිටිය මගේ නෝනාට ගිහින් කිවුවා අපිව රස්සාවෙන් අයින් කළා කියලා. දැන් මගේ ලොකු දුවගේ වයස හරියටම අවුරුදු 26යි. එදා ඉඳලා අද වන තුරුත් කර්මාන්තශාලාව විනාශ වෙවී තියනවා. මේක තිබුණා නම් අද මගේ දරුවෝත් මේකේ රස්සාවල් කරනවා. මේ ප්‍රදේශයත් එහෙනම් හුඟක් දියුණු වෙලා. ඒත් ඉගෙන ගත්තාට පස්සේ අද දරුවන්ට රස්සාවල් හොයාගෙන පිට පළාත්වලට යන්න සිද්ධ වෙලා. දැන්වත් මේවාට මොකක්හරි වෙන්න ඕනෑ.” ඒ කර්මාන්තශාලාවේ ආරක්ෂක අංශයේ අයෙකු වන නිහාල් තිලකරත්නය.


අද පාළු නටබුන් නගරයක්


මේ දැවැන්ත හා අංග සම්පූර්ණ නගරයේ අදටත් මේ සියලු ගොඩනැගිලි ද අතිවිශාල රථ වාහන ප්‍රමාණයක් ද දක්නට ලැබෙන නමුත් ඒ සියල්ල ටිකෙන් ටික වල් බිහිවෙමින් කැලෑ රොදවල් වලින් වැසී යමින් පවතින්නේ ය. අදටත් එහි ආරක්ෂාවට සිටින සේවකයන් කීපදෙනා හැරුණු විට එහි සවස් යාමයට සැරිසරන්නේ වන අලින්ය. සේවකයන් අදටත් පවසන පරිදි අතීතයේ රාත්‍රියේ පවා දිවා කාලය මෙන් ආලෝකයෙන් බැබලුණු ජනාකීර්ණ හා කලබලකාරී කර්මාන්ත පුරය අද තිබෙන්නේ කැලෑව විසින් ගිල ගනිමින් පාළු නිහැඬියාවක ගිලිලාය.


කර්මාන්තශාලාව ආශ්‍රිතව තිබූ තැපැල් කාර්යාල, බැංකු, වෘත්තීය සමිතිවල ගොඩනැගිලි, සමාජශාලා, බංගලා ආදී ඉපැරණි හා තවමත් හොඳ තත්ත්වයේ ඇති ගොඩනැගිලි හා ඒවාගේ නාම පුවරු සිහිපත් කළේ රන්මිහිතැන්නේ පසුගිය කාලයේ ඉදිවූ සිනමා ගම්මානයය. රන්මිහිතැන්නේ ඉදිව තිබුණේ ශක්තිමත් නොවන ආකෘතීන් ලෙස පමණක් ඉදිකළ ගොඩනැගිලි, පුවරු ආදිය වුවත් මෙම කර්මාන්තශාලාව ආශ්‍රිතව සැබෑවටම තිබෙන්නේ ගෘහනිර්මාණ, නාමපුවරු ආදියෙන් සම්පිණ්ඩනය වූ මෑත ඉතිහාසයේ අංගසම්පූර්ණ නගරයකි. මෑතක ඉදිවූ රන්මිහිතැන්න ගරාවැටෙමින් තිබෙද්දී වසර විසිහයක් මේ පුරවරය ඉතිහාසය සැබෑව වනයේ සඟවා තබමින් තිබෙන්නේය.


කන්තලේ සීනි කර්මාන්තශාලාවේ විනාශය මනාව පෙන්නුම් කරන තවත් ප්‍රධානම දෙයක් වන්නේ ඒ ආශ්‍රිතව විසිහය වසරක සිට විනාශවෙමින්, එක තැන දිරා යමින් හා වල් බිහිවෙමින් පවතින රථ වාහනය. රුසියාව, ජර්මනිය, ජපානය, යුගෝස්ලෝවියාව ආදී විවිධ රටවල නිෂ්පාදිත රථවාහන හා යන්ත්‍ර සූත්‍ර අතිවිශාල ප්‍රමාණයක් එහි විනාශවෙමින් පවතින්නේය. එහි රථවාහන අංග පහක් පමණ තිබෙන අතර ඇතැම් ටැක්ටර්, යන්ත්‍ර සූත්‍ර ආදිය තිබූ තැන්වලම කැලෑවෙන් වැසී යමින් තිබෙන්නේය. ට්‍රැක්ටර්, ලොරි, බර වාහන, ජීප් රථ, යතුරුපැදි ආදී ලෙස විවිධ මාදිලිවල රථවාහන ඇති අතර ඒවා ආධාර ලෙස ලැබුණු ඒවා. එහි වූ ඇම්බියුලන්ස් රථය වොක්ස්වැගන් වර්ගයේ එකක් වූයේය. ඒ බොහෝ ඒවා දැන් නැවත අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වට දිරා ගොස්ය. 2009 වසරේ දී මෙම වාහන පරීක්ෂා කර භාවිතයට ගත හැකි නොහැකි ඒවා ලකුණු කර, භාවිතයට ගත නොහැකි ඒවා අබලි යකඩවලට වෙන් කර තිබුණත් තවමත් ඒවා එලෙසම ය. දැනට කම්හලේ ආරක්ෂාවට සිටින පිරිසට හදිසි අවශ්‍යතාවක් වුවහොත් භාවිතයට ගැනීමට තිබූ ජීප්රථය ද මේ වන විට අබලන්ව ගොස්ය.


කෙසේ වෙතත් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් දේපොළ ඇතුළු යන්ත්‍ර සූත්‍ර කෝටි 54කට වෙන්දේසි කිරීම සඳහා අල්ලස් ලබා ගත් බවට චෝදනාවට ලක්ව සිටි පසුගිය ආණ්ඩුවේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියෙක් සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු බන්ධනාගාරගත විය. ඒ කෝටි දෙකක පමණ මූල්‍ය අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළවය. එහෙත් ඔවුන් එලෙස කටයුතු කර තිබුණේ මෙම කර්මාන්තශාලාව වෙතවත් පැමිණ නොවන බව එහි සිටි සේවකයෝ පවසති. එමෙන්ම එහි ඇති යකඩ හා යන්ත්‍රසූත්‍රවල මිල කෝටි 54යැයි තක්සේරු කර තිබුණත් එහි වටිනාකම එම අගය ඉක්මවිය යුතු බව ද ඔවුන්ගේ අදහසයි. වෘත්තීය පුහුණු පාසලකට මෙන්ම කෞතුකාගාරයකට ලබාදිය හැකි මට්ටමේ බොහෝ දේ මේ භූමියේ විනාශවෙමින් තිබෙන්නේය. ඇතැම් අවස්ථාවල එහි වූ ඇතැම් දේ විවිධ පිරිස් හොරකම් කරගෙන ගොස් තිබූ අවස්ථාද වාර්තා වී තිබුණි.


වනයටම වැසීයමින් තිබෙන ඇතැම් නිවාස ගොඩනැගිලි මේ වන අලින් විසින් ද බිමට සමතලා කර දමනු ලැබූ බවට සලකුණුය. බොහෝ නිවාස හා ගොඩනැගිලි දැන් වවුලන්ගේ වාසස්ථානය. ඇතැම් අංගණ ගවයන්ගේ තාවකාලික ලැගුම්හල්ය. නිවාස කීපයක අනවසර පදිංචිකරුවෝ ද වෙසෙති. එවැනි නිවාස එළිපෙහෙලි වී පවත්වාගෙන යමින් තිබුණ ද ඔවුන්ගේ ජීවිත ද පහසු නොවන බව නිසැකය. එහි අද වගාවකට තබා පානයට ද ජලය සපයා ගැනීම දුෂ්කරය. ඒ පාළු නගරයේ ඒ ජීවිත අසීරුය. කර්මාන්තශාලාවට අදත් හැකි පමණින් ආරක්ෂාව සපයන්නට වෙර දරන සේවක කණ්ඩායම ද එහි ගෙවන්නේ පහසු ජීවිත නොවන බව පෙනෙන්නේය. වන අලි තර්ජන මධ්‍යයේ ඔවුහු එහි වාහනයක් මතට වී රාත්‍රී කාලය ගෙවති. එහෙත් ඔවුන්ට මාස ගණනකින් නිසි වැටුපක් ද හිමිව නැත.


මෙහි අවසානය මොකක්ද?


කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන වයි. එම්. චමින්ද බණ්ඩාර දශක තුනකට ආසන්න කාලයක සිට විනාශ වෙමින් පවතින කන්තලේ සීනි කර්මාන්තශාලාව සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි. “මේක ජාතික අපරාධයක්. රජයේ හෝ පෞද්ගලික හෝ වේවා මේ කර්මාන්තශාලාව මොන ක්‍රමයකින් හරි නැවත විවෘත වෙන්න ඕනෑ. එහෙම වුණා නම් ගමේ මිනිස්සුන්ට රස්සා තියනවා. 2016 දී එම්ජී සුගර් සමාගම එක්ක පසුගිය රජය ගිවිසුමකට එළඹිලා තිබුණා, 51% ක කොටසක් ලංකා රජයටත් 49%ක කොටසක් සමාගමටත් ලැබෙන විධියට. ඒත් ඒකත් හරියට වුණේ නැහැ. ඒ අය කියන්නේ 52%ක් කොටස් තියන රජය පැත්තෙන් විය යුතු දේවල් නිසි ලෙස වුණේ නැහැ කියන එකයි. දැන්වත් හැම දෙනාම එකතුවෙලා මේක ගොඩගත්තේ නැත්නම් ආයේ මේක ගොඩගන්න වෙන්නේ නැහැ. දැනටමත් ගොඩනැගිලි, වාහන, යන්ත්‍රසූත්‍රවල ගස් හැදිලා. මේක ඉස්සර සුරපුරයක් වගේ තිබුණු ප්‍රදේශයක්. අපි මේකේ හොඳ කාලය දැක්කා. මේක කුරුඳුවත්ත වගේ තිබුණු ප්‍රදේශයක්. සියලු පහසුකම් මේකේ තිබුණා. වෙනම සංස්කෘතියක් තිබුණා. සමහර අය මේක නැවත ආරම්භ කරන්න පුළුවන් කියලාත් දන්නවා, ඒත් මේක ආරම්භ කළොත් එක එක්කෙනාට ලකුණු එයි කියලා අහක බලාගෙන ඉන්න අයත් ඉන්නවා. සිදුවිය යුතුවන්නේ මේ වෙනුවෙන් සියලුදෙනා එකතුවීමයි, එකතුවෙලා මෙය නැවත ආරම්භ කිරීමට බල කිරීමයි. එහෙම එකතු වුණොත් මේක නැවත පටන් ගන්න සිදුවෙනවා. මේක ඇත්තටම රැකියා උල්පතක්.”


කන්තලේ සීනි කර්මාන්තශාලාව වසා දැමූ පසු ජනාධිපතිවරු කීපදෙනෙක් පත් වූහ. එමෙන්ම එය අමාත්‍යාංශ ගණනාවක් යටතේ ද පැවතුණේය. එහෙත් එහි අදටත් තනි රකින සේවකයන් පවසන්නේ ඒ බොහෝ අමාත්‍යවරු හෝ ඔවුන්ගේ නිලධාරීන් කිසි විටක එහි පස් නොපෑගූ බවය. එහෙත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවල කන්තලේ සීනි කම්හල නැවත ඇරඹීමේ පොරොන්දුව හැම කලක ම තිබුණේය. බලය ලැබුණු පසු ඒ කිසිවෙකුට ඒ ගැන හැඟීමක් හෝ වුවමනාවක් හෝ නොතිබුණේය. හැම කලම වූයේ පොරොන්දු පමණක් ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.


ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා වන අසංක අබේවර්ධනගෙන් කන්තලේ සීනි කර්මාන්තශාලාව සම්බන්ධයෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවැන්නකි. “මෙතැන හෙක්ටයාර විසිදෙදාහක් විතර තියනවා. ඒකෙන් අක්කර පන්සියයක් වැනි කොටසක් අලුතෙන් සමාගමකට ලබා දීලා තිබුණා. නමුත් ඒකත් හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. එතැන ගොඩක් ප්‍රශ්න තියනවා. ඊට අමතරව අලින්ගෙන් එන ප්‍රශ්න තියනවා, ඒ වගේම සමහරු ඒවා අනවශ්‍ය ලෙස භාවිත කරනවා. මම මේවා ගැන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දීලාත් තියනවා. ඒ අය පස්සේ ඉඩම් ටික ඉඩම් දෙපාර්තමේන්තුවට භාර දෙන්න තීරණයක් ගත්තා කියලා තිබුණා. නමුත් ඒ ගැන ලිඛිතව තවම කිසිවක් එවා නැහැ. යන්ත්‍රසූත්‍ර, වාහන විශාල ප්‍රමාණයක් එතැන තියනවා. යන්ත්‍ර නම් දැන් භාවිත කරන්න පුළුවන් තත්ත්වයක නැතිව ඇති. මේක හොඳ ආදායමක් ලැබුණු කර්මාන්තශාලාවක්. 1977න් පසු ගත් තීරණ අනුව සියලු කර්මාන්තශාලා වැහිලා ගියා.”


දැන් කර්මාන්තශාලාවට අයත් බොහෝ දේ විනාශ වී ගොස්ය. ඒ ආශ්‍රිතව ජීවිත ගොඩනගා ගත් විශාල පිරිසකගේ ද ජීවිතවලට අතිවිශාල බලපෑමක් ඒ හරහා සිදුව ඇත. ප්‍රධාන වශයෙන් වැලි කර්මාන්තය හැරුණු විට අද එම ප්‍රදේශවල තරුණ තරුණියන්ට රැකියා සොයා වෙනත් ප්‍රදේශ වෙත යෑමට සිදුව ඇත. මේවා මේ ආකාරයට විනාශව යනතුරු පාලකයන් ද මෙතෙක් ඉවත බලාගෙන නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇත. මෙවැනි විනාශයන් දකින කිසිදු රටක් මෙවැනි රටකට තවදුරටත් කිසිදු ප්‍රදානයක් ද නොදෙනු ඇත. මේ විනාශය දකින්නෙකුට සැබවින්ම සිතෙන්නේ එවැන්නකි. තවත් මහා ව්‍යාපෘති ඉදිකිරීමට පෙර තිබූ දැවැන්ත ව්‍යාපෘති රැක ගැනීමට මෙරට සිටි සහ සිටින පාලකයන්ට අතිවිශාල වගකීමක් තිබෙන්නේය. ■

1 COMMENT

  1. Seeni Passen Duwana Lankawe Moda rela, Thama Seeni gena Katakaranawa Lokaye Diyunu ratawala Seeni awasan kara Boho kal, Dendarayata kedaraun Inna aperate Thama Seenigena kathawa,

    Seeni Kiyanne Minissirurata ahithakara Deyak bawa Lokaye Diyunu Ratawal Piliganna Deyak Lankawe Oya Berister Vibhaga ara Vibagah Me Vbahga Pass Karapu Un Megena Nosoyanne Manda Kiyala Hitha gannawath Be, Iskole Giya Nethi Hindada manda apita Mewa dakinakota Una wage Hedenne, Wedi Visthara awshya ne Mulu Lokema den Seeni athherala Ewenuwata Sirurata Guna dai Yamak Hoyagena Thiyanawa ei ape Ratakarawana Ayata Egena Unandu wenna Beri Mokakda Mama Me Kiyanna Uthsaha karanne Kiyala balanna Google Search Gihin “Stevia” Stevia Cultivation Ehema Neththan Benefit Of Stevia Kiyala search Karanna Ethakota Therei Mokadda Kathawa Kiyala.

Comments are closed.