විමලනාත් වීරරත්න

විමල් ,වාසු සහ ගම්මන්පිල LNG බලාගාරය ඇමෙරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධ ප්‍රශ්නයේදී සිදු කරමින් සිටින්නේ ව්‍යාජ රඟපෑමක් ද. එසේ නොවේ නම් මොවුන් පසුගියදා පැවැත්වූ මහජන මන්ත්‍රණ සභාව රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහි සැබෑ පෙළ ගැසීමක් ද.

ඔවුන් සැලකිය යුතු කාලයක් තිස්සේ කළ දේශපාලන මැදිහත් වීමේ ස්වභාවය අනුව බලද්දි නම් මෙය තවත් රංගනයක් ලෙස දැක්ක හැකිය. එහෙත් මෙය රඟපෑමක් වුවත් එමගින් ආණ්ඩුව තුළ කිසියම් පිපිරීමක් ඇති කර තිබේ. එමෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙතෙක් සිදු වූ විනිවිදභාවයෙන් තොර අත්තනෝමතික කටයුතු රාජපක්ෂලාගේ අන්තේවාසිකයන් තිදෙනෙක් හරහා ම එළියට පැමිණ තිබේ. එම පිපිරීම හා හෙළිදරව් වීම කවර ආකාරයකින් බැලුවද නොවැදගත් යැයි කිව නොහැකිය. මෙම මහත්වරුන් පිළිබඳ බරපතළ අවිශ්වාසයක් පැනනගින්නේ මෑත අවධිය තුළ ඔවුන් පළ කළ ද්විත්ව පුරවැසි විරෝධය හිරු දුටු පිණි පරිදි නොව ගෝඨාභය දුටු විමල්, ගම්මන්පිල  පරිදි වියැකී ගිය නිසාය. ඊට පෙර ගෝඨාභය ගේ ආගමනයට ලොකු විරුද්ධත්වයක් පල කළ වාසු, ගෝඨාභය හමුවී කතාබස් කොට තමන් සත්‍ය අවබෝධ කරගත් බව නිවේදනය කළේය. එම අවස්ථාවන් හි එසේ වුවත් මෙවර එසේ නොවීමටද පුළුවන. එනම් ගෝඨාභය කෙතරම් සංවේදී වුවත් ඇමති තුන් කට්ටුව දියවී නොයන දවසක් එන්නට ද පුළුවන. ඔවුන් සුපුරුදු ලෙසම දිය වී ගියත් විශ්මිත ලෙස ගල් වී සිටියත් මෙවැනි රෙජීම බිදෙන්නේ අභ්‍යන්තරයේම අර්බුදය උත්සන්න වීම නිසා බව පැහැදිලිය. මෙය දියුණු දේශපාලන අදහසක් නොවන බවද කිව යුතුය.එය ලංකාවේ අභ්‍යාස වන දුර්වල දේශපාලන උපාය මාර්ගයකි. ඉන් ප්‍රත්‍යක්ෂ වන්නේ ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් රටට නැතිකමේ අඩුවය.

අනන්‍ය වෙළෙදාම

විමල්,වාසු, ගම්මන්පිල යන තිදෙනාටම ශක්තිමත් පක්ෂ නැත. ඔවුහු ප්‍රධාන පක්ෂවල අඩකොට වලට ගන්නා පක්ෂ නායකයෝ ය. පක්ෂ ශක්තිමත් නැති නිසා ඔවුන් සිය දේශපාලන පක්ෂ ශක්තිමත්ව පවත්වාගෙන යාමේ උපකරණය බවට පත් කරගෙන තිබෙන්නේ අමාත්‍යධුරයන්ය. අන්තිම සරල උදාහරණයක් හැටියට හිටපු කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම්වරයා වන ඩිව් සහෝදරයා හමුවීමට යන බාහිර පුද්ගලයකුට තේවතුර කෝප්පයක් හෝ ලැබුණේ එම සහෝදරයා ඇමතිධූරයක පසු වන්නේ නම් පමණි. ඇමති ධූරයක් නැති කාලයට එම පක්ෂ වුවත් නැති ගානය. මේවා සමසමාජ කොමියුනිස්ට් වැනි පක්ෂ ධනපති පක්ෂ සමග කළ හැළි වළං දේශපාලනයෙන් වූ ඉතුරු බිතුරු ය.

සාම්ප්‍රදායික වමෙන් වෙනස් ස්ථිර පොළොවක් අහිමි විමල් හා ගම්මන්පිල යන දෙදෙනාම දේශපාලනික වශයෙන්  විකුණන්නේ ජාතිකවාදයයි. රටම විකුණන නායක වළල්ලක් මෙහෙයවන ආණ්ඩුවක ඇමතිධුර දැරූවන් ඔවුන්ට එම විකිණීමට පක්ෂ වීමේ සීමාවක් තිබේ. ඔවුන්ට ඕනෑ තරම් දුරකට නායක වළල්ලේ දූෂිත බව  ඉවසිය හැකි ය. පොල්තෙල්, සීනි මගඩි,  කැලෑ කැපීම ,පස් වැලි ජාවාරම ආදිය ගැන LNG එක ගැන තරමටම හෝ ඊටත් වඩා ඔවුන් නොදන්නවා නොවේ. බලාගාරය පිළිබඳ ප්‍රශ්නයේදී ඔවුන් දෙදෙනාම මහජන මන්ත්‍රණ සභාවට පැමිණ කීවේ ආණ්ඩුව ඇතුළත මෙවැනි ගනුදෙනු කිසිදු සංවාදයකින් තොරව සිදුවන බවය. ඒවා පොදු අනුමැතියෙන් ක්‍රියාත්මක වන දේවල් බවට සිදුකෙරෙන ආණ්ඩුවේ ප්‍රකාශ පට්ටපල් බොරු බව ඔවුහු කීහ. LNG ගැන ඒ ටු ඉසෙඩ් දන්නා ඒ දෙදෙනා පොල්තෙල් මගඩිය හා සීනි මගඩිය ගැන නොදන්නවා නොවේ. ඔවුහු ඊට විරුද්ධව වචනයක් නොකීහ. ඉන් පෙනී යන්නේ ජාතිකවාදය දූෂණයට විරුද්ධ නොවේ යන්න ද? ඔවුන් විරුද්ධ වන්නේ සියලු දූෂිත ක්‍රියාවන්ට නොව තමන් වෙළඳාමේ යෙදෙන, එනම් බඩ රැකගන්නා  කලාපයට හානියක් සිදුවන අවස්ථාවන්හිය. වරායේ බටහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නයේ දී ඔවුහු සිටියෝ වාලධිය පස්සා පැත්තේ ගසාගෙනය. විමල්ට, ගම්මන්පිලට සමාන්තර උදාහරණය ඥාණසාර හිමි ප්‍රමුඛ ජාතිවාදී හා ආගම්වාදී නඩයයි. රටේ සිදුවන දූෂණය ගැන වචනයක් කතා නොකරන උන්වහන්සේලා ව්‍යාජ දේශප්‍රේමයක් ,ආගම් ප්‍රේමයක් වපුරති. දූෂණයේදී ඔවුහු තද නින්දේ පසු වෙති. දූෂණය වැඩි වන තරමට මහජනයාගේ දිවි පැවැත්ම වළපල්ලට යෑම උන්වහන්සේලා දැනුවත්ව මගහරින කාරණයයි. එක රටක් එක නීතියක් කාර්ය සාධන බලකායේ ප්‍රධානියා බවට පත් කරන්නේ එම අවිචාරවත් හිමියන්ය. අන්‍ය ජාතීන් හා ආගම් පාගා දැමීම ජාතික විමුක්තිය හා ආගමික විමුක්තිය නොවන බව සිංහල බෞද්ධ අතිබහුතරය තේරුම් නොගන්නා තෙක් මෙම තක්කඩි පැවැත්මට වලංගුභාවයක් ලැබෙනු ඇත.

ගිණිකන වැටීම

ආණ්ඩුවක් තුළ මෙවැනි අභ්‍යන්තර ආරවුලක් ඇතිවන හැමවිටම වගතුවක් නැතුව සිටින ලංකාවේ විපක්ෂ සංවිධානවල ගිනිකණ වැටෙයි. මෙවර ද බුද්ධිමත්ව නව තත්ත්වය කළමනාකරණය කර ගන්නේ කෙසේද යන්න ගැන විපක්ෂයට වැඩපිළිවෙළක් ඇති බවක් නොපෙනෙයි.සජබය මෙන්ම ජාජබය, විමල් වාසු ගම්මන්පිල තුන් කට්ටුවේ විරෝධය සමාජය තුළ මතු වූ සැණින් ආණ්ඩු විරෝධී කතිකාවතෙන් ඉවතට වීසි වූ බවක් දැනුණි. අලුත් විරෝධයන් මතු වූ විට විපක්ෂය සැමදා දකින කුකුලාගේ කරමලය තත්ත්වයට පත්වීම සාමාන්‍යයකි. එහෙත් වඩාත් බලවත් විරෝධතා පුවරුව දිගටම තිබිය යුත්තේ විපක්ෂය අතෙහි ය. එය විමල් වාසු ගම්මන්පිල අතට යාම මගින් පෙන්නුම් කැරෙන්නේ විපක්ෂයේ දුර්වල විරෝධතා පසුබිමය. විපක්ෂය උපායශීලී නම් මෙවැනි මොහොතක ඉහත ඇමති තුන් කට්ටුවේ විරෝධය ආණ්ඩු බලය වෙනස් කිරීමේ දිසාවට ගමන් කරවීමට පාවිච්චි කළ යුතුය. එහෙත් විපක්ෂය සිටින්නේ පසුබෑමක ය. ආණ්ඩුව හා ගෝඨාභය ජනතාවට එපා වූවාට ඊට සමාන්තරව විපක්ෂය ජනතාවට ඕනෑ වී නැති බව විපක්ෂය වටහා ගත යුතුය. විපක්ෂය ජනතාවට ඕනෑ කරන විපක්ෂයක් බවට පරිවර්තනය වන්නේ කෙසේද? 

වැදගත් අවස්ථාවක්

ගුරු විදුහල්පති වෘත්තීය සමිති අරගලය ජයග්‍රහණයෙන් මිස කෙළවර නොකළ යුතු බවට ඔවුහු කල්පනා කරති. පාසල් ආරම්භ කර ඉගැන්වීම් කටයුතු කරන අතරතුරම  අරගලය දියත් කළ යුතුය යන්න ඔවුන්ගේ නිවැරදි කල්පනාව ය.ඒ අනුව නොවැ 03 වැනිදා දෙමාපියන්ගේ ද සහභාගීත්වයෙන් එම වෘත්තීය අරගලයට වඩා පළල් අරුතක් ලබාදීමට ඔවුහු පියවර ගත්තෝය. එමෙන්ම 03 වැනිදා වරාය විදුලිය හා ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රමුඛත්වයෙන් දීප ව්‍යාප්ත වැඩ වැරුමක් හා ජීවන මිල පහත හෙළීමට බල කැරෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණි. මෙම ඇතැම් වෘත්තීය සමිති පසුබිමෙහි දේශපාලන පක්ෂවල හෙවනැල්ලක් තිබුණත් ඇතැම් වෘත්තීය සමිති ස්වාධීන ගමන් මඟක් ගැනීම වැදගත් කාරණයකි. වරාය වෘතිතීය සමිති ව්‍යාපාරයෙහි මෙන්ම ගුරු වෘත්තිය සමිති ව්‍යාපාරයෙහි දක්නට ඇති ඉදිරිගාමී ලක්ෂණය වනුයේ ඒවා ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාර ලෙස අරගල ඒකාබද්ධ කර තිබීමය. ආණ්ඩුව ගොදුරු කරා පනින්නේ එකමුතුව නම් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආණ්ඩුව හිර කිරීම සඳහා එකට කටයුතු කළ යුතු බව වටහා ගෙන තිබීම අතිශයින් වැදගත්ය.

විපක්ෂයේ අසමත්කම

රටට අවශ්‍ය ආණ්ඩුවේ අන්තේවාසිකයන්ගේ චිත්‍රපටි නරඹන විපක්ෂයක් නොවේ. අන්තේවාසිකයන් ට ජනයා මුළා කරන චිත්‍රපටි සම්පූර්ණ කිරීමට ඉඩ නොදී එම අමුද්‍රව්‍ය වලින් තම ඉලක්ක තියුණු කරගන්නා විපක්ෂයකි. සජබය හා ජාජබයට අද වන විට ශේෂ වී තිබෙන්නේ අලුතින් පණ ගසා නැගිටුවා ගත හැකි දේශපාලනයක් නොවේ. සජිත් ප්‍රේමදාස මහතාට රට ගැන ගෝඨාභයට තරම්වත් අදහසක් ඇති බව නොදිසෙයි. ඔහු දේශපාලනය කළ කාලයට අනුව බැලූ විට පසුවන්නේ නොවැඩුණු දරුවකුගේ තත්ත්වයේය. අනුප්‍රාසය දනවන වදන් කිහිපයක් තෙපලනවා හැර ඔහුට රටේ ප්‍රශ්න ගැන ගැඹුරු කල්පනාවක් ඇති බවක් නොපෙනේ. පුද්ගලයකු ලෙස ඔහු හානි දායකයකු නොවන බව පැහැදිලිය. එවැනි කිහිප දෙනෙක්ම එම පක්ෂයේ සිටිති. එහෙත් ඒ කිසිවකුටත් රටේ ඔඩු දුවන අර්බුද ගැන ගැඹුරු අදහසක් හා දැක්මක් නැත. දුන්නොත් රට පාලනය කර පෙන්වනවා යන්න පිළිතුරක් නොවේ. තම ශක්‍යතාව ක්‍රියාමාර්ග තුළින් ප්‍රදර්ශනය කළ යුතුය. එහෙත් දීර්ඝ කාලීනව ඔවුන් නිශ්ක්‍රීය ය. අනුකාරකවාදී ය.

ජාජබය විශ්වාස කටයුතු ව්‍යාපාරයක් ලෙස යම් තහවුරුවක් ලබාගෙන තිබුණත් සිය ඡන්ද ප්‍රතිශතය හත් අට ගුණයකින් වැඩි කර ගතහොත් මිස ඔවුන්ට සමාජයට කළ හැකි බලපෑම අවම ය. වර්තමානයේ වැනි බරපතළ දේශපාලන පිරිහීමක් තිබෙන සමයක මීළඟ වතාවේ නම් ජවිපෙට ඡන්දය දිය යුතු බව කල්පනා කරන ජනතාව අතරින් අති බහුතරයක් අවසානයේදී පොහොට්ටුව වැනි බෙල්ල හිර කරන අටමගලයක් තෝරා ගන්නේ මන්ද යන්න ගැන ජවිපෙ සියුම්ව විමසා බලා තිබේද.

ඉකුත් ජනාධිපතිවරණයේ දී නව ඡන්ද  ලක්ෂ නවයෙන් වැඩි ප්‍රමාණයක් ගෝඨාභයට ලැබුණේ ඇයි. ඉතිහාසයේ නම් තරුණ ඡන්ද ජවිපෙට ලැබෙන පසුබිමක් තිබුණි. දැන් ජවිපෙට ලැබෙන්නේ අවුරුදු 45-50 වයසේ පසුවන පිරිස් වල ඡන්දය. ඒ ජවිපෙ වර්තමාන නායකයන්ගේම වයසේ පසුවන සමාන්තර සිතන්නන් ගෙන් සමන්විත පිරිසකි. ජාජබය ලෙස මේ කඩ ඉම පනින ක්‍රමයක් සිතා බලා තිබෙනවාද.

උගතුන්ගේ ප්‍රවේශයක් ඕනෑ

රටේ තිබෙන ආර්ථික අර්බුදයට ආණ්ඩුවේ විසඳුම රටෙහි සම්පත් බදු දීම හෝ විකිණීමය. සංවර්ධන ආර්ථිකයක් කරා රට යොමු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ආණ්ඩුව තුළ සාකච්ඡාවක් වත් නැත. විමල් වාසු හා ගම්මන්පිලගේ ජාතික මන්ත්‍රණ සභාවෙන් පෙනී ගියේ ද බදු දීම හා විකිණීම ආණ්ඩුවේ එකම ආර්ථික උපාය මාර්ගය වී තිබෙන බවය. ආර්ථික විශ්ලේෂකයන්ට හා එම විෂයේ ප්‍රාමාණිකයන්ට මෙවැනි තත්ත්වයක් තුළ ලංකාව අභ්‍යාස කළ යුතු ආර්ථික පිළිවෙත පිළිබඳව කතිකාවතක් ඇති කළ හැකිය. කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන ප්‍රායෝගික ආර්ථික සැලසුම් ඊට ඇතුළත් කළ හැකිය. සෑම ක්ෂේත්‍රයක්ම ගොඩනැගීම සඳහා න්‍යායික ක්‍රමයක් අත්‍යාවශ්‍යය. ලංකාව දැනට වහල් කොට ගෙන තිබෙන්නේ අයාලේ යන ආර්ථික වැඩසටහන් බව පැහැදිලිය. රටෙහි සිටින්නේ ව්‍යාපාරිකයන් නොව ජාවාරම්කාරයන් ය. එවිට රටේ ස්ථාපිත වන්නේ ජාවාරම්කාර ආර්ථිකයකි. සහල් මිලෙන් පටන්ගෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තීරණය කිරීම ජාවාරම්කාර ව්‍යාපාරික මාපියාවට කෙමෙන් නතු වෙමින් තිබීම බරපතල කාරණයකි. ආර්ථික න්‍යායන් රටෙහි තත් විෂය ක්ෂේත්‍රයෙහි ක්‍රියාත්මක වනවා නම් මෙවැනි කුප්‍රකට තත්ත්වයක් උදාවන්නේ නැත.

කෘෂිකර්මය පාඩු ලබන කර්මාන්තයක් නම් ඉන් ලාභ ලැබිය හැකි ක්‍රමයක් උපයුක්ත කර ගැනීමට උපාය මාර්ග සෙවීම අදාල විෂයෙහි පරප්‍රාප්ත වූවන්ගේ වගකීමකි. නිදසුනක් ලෙස ඊශ්‍රායලය සිය කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලාභදායී ලෙස හසුරුවා ගෙන තිබෙන ආකාරය ගැන මීට මාස කිහිපයකට උඩ දී මහාචාර්ය සිරිමල් අබේරත්න ලිපියක ලියා තිබුණි. covid 19 හා ආහාර සුරක්ෂිතතාව ගැන වැදගත් ලිපියක් රාවය වෙබ් අඩවියට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසාද් මහින්දරත්න ලියා තිබේ. මේ ආකාරයට අධ්‍යාපනය සෞඛ්‍යය පොහොර ප්‍රතිපත්තිය අන්තර්ජාතික වෙළඳාම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරණය සේවා ආර්ථිකය ආදී විෂයයන් ගැන එම විෂය ප්‍රාමාණිකයන්ට පත්‍රිකා ලියා ඒවා සාකච්ඡාවට බඳුන් කළ හැකිය. එම කටයුතු වල මැදිහත් කාරකත්වය ඉසිලීමට රාවය පූර්ණ වශයෙන්ම කැපවන බව ද රාවය මාධ්‍ය ආයතනයේ 35 වැනි වසර සම්පූර්ණ කරන අද එනම් 2021 නොවැ 04 දා වගකීමෙන් ලියා තබමි. 

රට යා යුත්තේ උක්ත දැනුම පෙරදැරි දේශපාලනයකටය. ඒ සඳහා මෙරට උගතුන් පෙරමුණ ගත යුතුය. උගතුන් පක්ෂවල වලිග බවට පත්නොවී හා ජාතික ලයිස්තු ගත නොවී ඔවුන් නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.