රජිඳු කාශ්‍යප


රාජපක්ෂලාගේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් සී.එස්.එන්. නාලිකාවේ විකාශන කටයුතු යළි ආරම්භ කිරීමට අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.


සී.එස්.එන් රූපවාහිනී නාලිකාව සඳහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති යහපාලන රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව එම නාලිකාව විසින් ගොනු කළ රිට් පෙත්සම පසුගියදා අභියාචනාධිකරණයේදී සමතයකට පත්වීමත් සමග මෙම අවසරය හිමිවිය.


ඒ අනුව සී.එස්.එන්. නාලිකාවට ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත ලබාදීමට කඩිනමින් පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාව පළ කර ඇත. එමෙන් ම සී.එස්.එන් නාලිකාවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරුණ බවට ද අධිකරණ ක්‍රියාමාර්ග කියයි.


රූපවාහිනී ක්‍රීඩා විකාශනයක් ලෙසින් ඇරඹි සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් අපට කිසිදු ගැටලුවක් නැත. ඒ ක්‍රීඩාව සම්බන්ධයෙනි. ක්‍රීඩාවේ ප්‍රගමනයට එක් නාලිකාවක් නොවේ නාලිකා කිහිපයක් ම තිබුණ ද එහි අවුලක් නැත. එහෙත් එකෙක් නසා එකෙක් ඉදිරියට එනවාට වඩා සහ ජාතික සම්පත් විනාශ කරමින් ඉදිරියට එනවාට වඩා සුදුසු මගක් කාල්ටන් නෙට්වර්ක්ස් ගෙන සිටියේ නම් වඩා සුදුසු බවයි අපගේ මත ය.


සී. එස්. එන්. නාලිකාව මෙරට රූපවාහිනී අතරට එක්වෙන්නේ, කෙසෙල් මල සම්බන්ධයෙන් මෙරට පවතින මව් මරා උපන් කුමරා යන ප්‍රස්ථා පිරුළ සිහිපත් කරමිනි. එවකට මෙරට රූපවාහිනී විකාශයක් ලෙසින් පැවැතියේ ජාතික රූපවාහිනිය සතු වූ “චැනල් අයි” නම් නාලිකාව ය. නමුත් රාජපක්ෂලාගේ පාලනයෙන් යුත් සී. එස්. එන්. නාලිකාව කල එළි බසින්නේ චැනල් අයි හී තටු සිඳ දමමිනි. ඒ තටු සිඳ දැමීමේ ඛේදවාචකය කෙසේද යත්, අදටත් අපට ජාතික හෝ පෞද්ගලික ලෙසින් වෙන් වූ රූපවාහිනි ක්‍රීඩා විකාශයක් නැත.


සී. එස්. එන්. නාලිකාව උදෙසා රාජපක්ෂ පාලනයේ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ උපරිම අනුග්‍රහයන් සේ ම ආශිර්වාදය ද හිමිවුණි. විකාශන අයිතීන්, කාර්යාල පහසුකම්, පමණක් නොවේ ජාතික රූපවාහිනිය සතු සංරක්ෂිත දර්ශන, වාහන සහ වයර් කෑල්ලේ සිට ඇණ මුරිච්චිය දක්වා ම මේ වෙනුවෙන් ලබාදීමට ලෝබ නොවූ බැව් එකල වූ කතාවයි. එමෙන්ම ඇතැම් කරුණුවල දී නව කැබිනට් තීරණ පවා සී. එස්. එන්. නාලිකාවේ වාසිය වෙනුවෙන් ගනු ලැබිණි.


ඊට අමතරව, කාල්ටන් නෙට්වර්ක් හෙවත් සී.එස්.එන්. ගැන කතා කිරීමේ දී මූල්‍ය ප්‍රතිපාදන සපයා ගත් ආකාරය, අයථා ඉඩම් ගනුදෙනු සහ පවරා ගැනීම් සහ රාජ්‍ය සේවකයන් ද සේවයේ යෙදවීම ගැන එකල කළ විමර්ශනයන් අතර විණි. එහිදී සජින් වාස් ගුණවර්ධන, ඔහුගේ බිරිඳ ටියානා දියන්ති ඇන්තනීස් සහ ඔවුන් සතු වූ කොස්මෝස් ටෙක්නොලොජි සහ කොස්මෝස් ප්‍රින්ටර්ස් ආයතන, පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා, මහින්ද රාජපක්ෂගේ සොයුරියගේ දරුවන් වූ හිමාල් ලාලින්ද්‍ර හෙට්ටිආරච්චි සහ රංගනී හෙට්ටිආරච්චි සහ ඔවුන් සභාපතීත්වය දැරූ චෙස්මි කොන්සොලිඬේඞ් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයෙක් ලෙසින් සේවය කළ ප්‍රියන්ත අබේරත්න, මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ හෙවත් මේරි ලෝඞ් වික්‍රමසිංහ, යසාරා අබේරත්න, රොහාන් වැලිවිට, සචිත්‍ර කවිශාන් දිසානායක, දිනේෂ් ජයවර්ධන යන අය මෙන් ම යෝෂිත රාජපක්ෂ ගේ නම් සහ ආයතන ද මේ විමර්ශන අතර විණි.


ඒ යහපාලන ආණ්ඩුව යටතේ වූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන කටයුතුවලදී ය. එකල සී. එස්. එන්. නාලිකාව හැඳින්වූයේ අයිතිකරුවෙක් නොමැති නාලිකාවක් ලෙසිනි. එබැවින් ම එක් අවස්ථාවක දී සී. එස්. එන්. නාලිකාව විසින් ගෙන්වන ලද අධි තාක්ෂණික උපකරණවලින් යුත් බාහිර විකාශනාගාරය සහිත බස් රථයක් අධිකරණ නියෝගයක් මත ජාතික රූපවාහිනියේ කටයුතු වෙනුවෙන් පැවැරූ බැව් ද මතකය.


නමුත් අද වන විට සී. එස්. එන්. නාලිකාව සියලු චෝදනාවලින් නිදහස් ය. දැන් නැවත ඊට සිතූ සේ සැරිසැරිය හැකිය. ඒ නැවත වතාවක් රාජපක්ෂලා ම රටේ පාලකයන් වන බැවිනි. එහෙත් සිතූ සේ සැරිසරන්නට සැරසෙන්නේ නම් යටපත්වන අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නම් වඩා වැදගත් බැව් අපගේ මතයයි.


අප නැවත පවසමු, සී. එස්. එන්. නාලිකාව ගැන අපේ කිසිදු ආරෝවක් නැත. එහෙත් එය ස්ථාපිත වූ ආකාරය ගැන ඇත්තේ පිළිකුළකි. මහින්ද රාජපක්ෂ තම බලය ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කරනවාට වඩා, මේ කාරණාවේ දී එය අනිසි ලෙස යෙදවූ බැව්ය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන වාර්තා යහපාලන රජයක් යටතේ ඉදිරිපත් වූයේ. නමුත් වර්තමාන තීරණය අනුව ඊට වෙනත් අර්ථකථනයක් ලැබී ඇත. අප ඒ සම්බන්ධයෙන් විවාද නොකරමු. එහෙත් විමර්ශන කටයුතු එක් ආණ්ඩුවකින් තවත් ආණ්ඩුවකට වෙනස්වීම ගැන නම් ඇත්තේ පිළිකුළකි.


කෙසේ වෙතත් රටේ පවතින ක්‍රීඩාවන් පත්තර පිටු මතත්, රූපවාහිනි හෝ ගුවන්විදුලි පුවත් විකාශයක් මගින් විනාඩියකට දෙකකට සීමාවනවාට වඩා වැඩි සමාජ අවධානයක් යොමු කිරීමට ක්‍රීඩා රූපවාහිනියකට කළ හැකිය යන මතයේ අප සිටිමු. එ අනුව සී. එස්. එන්. වැනි රූපවාහිනියකට ක්‍රීඩාවකට කළ හැකි දේ බොහෝය. ක්‍රීඩාව තව තවත් ජනතාව අතරට ගෙන යෑමටත්, ඒ හරහා වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයක් ක්‍රීඩා පිටිවලට ගෙන්වීමටත් සහ ක්‍රීඩාවේ පැවැත්ම පිණිස අනුග්‍රාහකයන් කැඳවීමටත් වැඩි ඉඩකඩක් ඔවුන්ට ඇත. ඇතැම්විට ඊටත් වැඩි ඉසව්වන් ද පවතී. සී.එස්.එන්. හෙට දවසේ දී නැවත කල එළි බසින්නේ නම් කළයුත්තේ ඊට මුල්තැන දී ම විනා රාජ්‍ය බලය හිරිකිත ලෙසින් ඊට ඈඳා ගැනීම නොවේ. ■