ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


තමන්ගේ ශ්‍රමය විදෙස් රටවල වැය කරමින් මෙරටට විදේශ විනිමය ගෙන ආ මිනිසුන් වරක් රට විරුවන් යැයි ඉහළට ඔසවා තැබූ මෙරට පාලක පන්තිය ඇතුළු බොහෝ දෙනෙක් මේ වන විට ඔවුන් දෙස බලන්නේ හා ඔවුන්ට සලකන්නේ ඊට හාත්පසින්ම වෙනත් ආකාරයකට බව පෙනෙන්නට තිබේ. ඒ මෙතෙක් ලංකාව තුළ කොවිඞ් වසංගතය පැතිරීම සම්බන්ධයෙන් වූ දත්ත සංඛ්‍යා ලේඛන ඔවුන් නිසා මේ වන විට වෙනස්වෙමින් තිබීම හේතුවෙනි. වසංගත රෝග විද්‍යා අංශයේ 2020.05.27 පෙ.ව. 10 දෛනික තත්ත්ව වාර්තාවේ සදහන් වූ ආකාරයට ඒ වන විට ශ්‍රී ලංකාවේ තහවුරුවූ කොවිඞ්-19 රෝගීන් ගණන 1319ක් වූ අතර ඒ අතරින් වෙනත් රටවලින් පැමිණි විදේශිකයන් 3ක්, වෙනත් රටවලින් පැමිණි ලාංකිකයන් 333ක් ද ශ්‍රී ලංකාව තුළ දී ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 674ක්, ශ්‍රී ලංකාව තුළ දී ආසාදනය වූ වෙනත් 309ක් සිටින බවට වාර්තා කර තිබුණි. මෙම ලිපිය ලියවෙන අවස්ථාව වන විට එම සංඛ්‍යා තවත් ඉහළ ගොස් තිබුණේ මැයි 27 දින ද කොවිඞ් රෝගීන් 134ක් වාර්තා වූ බැවිනි. ඉන් 53ක් නාවික හමුදා සාමාජිකයන් වූ අතර 81ක් විදේශ රටවල සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයෝ වූහ.


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2018 වසරේ දී මෙරටින් 211,459ක් ශ්‍රමිකයන් ලෙස විදේශ රටවලට සංක්‍රමණය වී තිබුණි ඉන් 30.7%ක් ගෘහ සේවය (්‍යදමිැප්සාි) සඳහා විදේශ ගත වූ අය වූහ. (1 වගුවේ දැක්වේ) එමෙන්ම විදේශ ශ්‍රමිකයන් 2018 වසරේ මෙරටට ගෙනන ලද විදේශ විනිමය මෙරට දළ දේශීය නිශ්පාදනයෙන් 8%ක අගයකි. විශේෂයෙන් මැදපෙරදිග සේවයේ නියුතුව සිටි ඒ බොහෝ දෙනාට එදිනෙදා මූලික අවශ්‍යතා හෝ සපයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවට පත්ව තිබෙන්නේ ය. කොවිඞ් හෝ වෙනත් රෝගයකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව හා ආහාර ආදී මූලික අවශ්‍යතා නොමැති වූ ඇතැම් අය සමාජ මාධ්‍යයට වීඩියෝපට නිකුත් කරමින් තමන් එහි සිටින සැබෑ තත්ත්වය හෙළිදරවු කිරීමටත් මෙරටින් උදවු පැතීමටත් පෙළඹී තිබූ ආකාරය දැකගත හැකිවිය. ඒ බොහෝ අය සිටියේ අවම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්වත් සපයාගත නොහැකි මට්ටක ය. හඬා වැළපෙමින් ඒ ඇතැමුන් පැවසුවේ වෙනත් රටවල ශ්‍රමිකයන් ඒ රටවලින් රැගෙන යද්දී තමන් එහි අසරණව සිටින බව ය. මෙරට විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ික්‍දබඒජඑ ීරස ඛ්බන්’ නමින් රැස් කරගෙන තිබූ දත්තවලට අනුව රටවල් 143ක සිටින ශ්‍රී ලාංකිකයන් 38,000ක් නැවත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිති. එනම් එසේ අපේක්ෂාවෙන් සිටින මුළු සංඛ්‍යාව ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් විය යුතු ය.


නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ලෙස විදෙස් රටවලට සංක්‍රමණය වී රැකියා කළ බොහෝ දෙනා කොවිඞ් වසංගතය සමග මැදිවූයේ ඉතා අසීරු තත්ත්වයකට ය. ඒ බොහෝ අය රැකියා අහිමිවීම හා වැටුප් විශාල ප්‍රමාණයෙන් කප්පාදු කිරීමත් හේතුවෙන් විශාල අවුල් ජාලාවකට මැදිව සිටිති. ඔවුන්ගෙන් සේවය ලබාගෙන මෙවැනි අවස්ථාවක දී නිජබිමට පලවා හැරීමට උත්සාහ කරන රටවල්වල එම ක්‍රියාවන් ද කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයකි. කුවේට් බලධාරීන් එරට සිටින විදෙස් ශ්‍රමිකයන්ට එරටින් පිටවීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර එම කාලය තුළ පිටවන අයට නැවත එම රටට පැමිණීමට අවසර ලැබෙන බවත් එම නිීති කඩකරමින් සිටින අයට යළි පැමිණීමේ අවස්ථාව ද අහිමි කරන බව දන්වා තිබුණි. ඒ අනුව මේ මැදපෙරදිග රටවලට ශ්‍රමිකයන් ලෙස සංක්‍රමණය වූ බොහෝ අය දැන් සිටින්නේ විශාල අර්බුදයකට මැදිව ය. නමුත් මෙරටට විදෙස් විනිමය ගෙන ආ මෙරට පුරවැසියන් වන ඔවුන්ට අසීරු අවස්ථාවක මෙරටට ගෙන්වා ගැනීමට ද මෙරට පාලකයන් හා අදාළ බලධාරීන් කඩිනමින් කටයුතු සම්පාදනය කළ යුතුව තිබෙන්නේ ය. කෙසේ වෙතත් එය යුරෝපා රටවල අධ්‍යාපනය ලබන හෝ වූහාන්වල අධ්‍යාපනය ලැබූ සිසුන් ගෙන ඒම තරම් මේ දහඩිය කදුළු වගුරමින් මෙහෙවර කළ මිනිසුන් මෙරටට රැගෙන ඒම මෙරට පාලකයන්ටද ඇතැම් මාධ්‍යයටද සුන්දර සංදර්ශනයක් වී නැති බව නම් සැබෑ ය.


මෙරටට ගෙන්වා ගත් විදෙස් ශ්‍රමිකයන් අතරින් කොවිඞ් ආසාදිතයන් වාර්තාවෙමින් මෙතෙක් මෙරට තුළ කොවිඞ් තත්ත්වය සම්බන්ධයෙන් වූ සංඛ්‍යා ලේඛන වෙනස් වෙද්දී හදිසියේ ම මෙන් පහුවදාට කුවේට් සිට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කිරීමට මෙරට බලධාරීන් කටයුතු කර තිබුණි. සීෂෙල්ස්වල සිට විදේශිකයන් පිරිසක් මෙරටට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙද්දී අපේම රටේ පුරවැසියන් වන තවත් පිරිසක් කිසිවකුගේ පිළිසරණක් නොමැතිව අසරණ තත්ත්වයකට පත්ව තිබීම ඛේදනජනක ය. එලෙස විදේශිකයන් පැමිණියේ නොමිලයේ ප්‍රතිකාර සඳහා නොවන බවත් එයින් මෙරටට විශාල මුදලක් ගලා එන බවත් ඒවා සම්බන්ධයෙන් ද මේ මොහොතේ අවධානය යොමු කළ යුතු බවත් මෙරට දේශපාලනඥයකු ඒ සම්බන්ධයෙන් පවසා තිබුණි. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන මේ අවස්ථාවේ මෙරටට විදේශ විනිමය ගලා එන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම ද යහපත් ය. නමුත් ගැටලුව තිබෙන්නේ රට සහ රටේ පුරවැසියා මෙවැනි අවිනිශ්චිත අවස්ථාවකට මුහුණදෙමින් සිටිය දී එවැනි ධාරිතාවක් ලබා ගැනීමේ හැකියාව මෙරට සෞඛ්‍ය අංශවලට තිබේ ද යන්න ය, මෙරට පුරවැසියන් වෙනත් රටවල අසරණව සිටිය දී ඔවුන් නැවත අප රටට ගෙන්වාගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමට මූලිකත්වය දීම වෙනුවට එවැනි කාර්යයන්ට මුල් තැන දීම සුදුසු ද යන්න ය. එමෙන්ම මේ වන විට රට යම් මට්ටමකට විවෘතව ඇති බැවින් සමාජය තුළින් ද ඕනෑම මොහොතක රෝගී පොකුරු වාර්තා විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. ඒ සියල්ලට මෙරට සෞඛ්‍ය අංශ සූදානමින් සිටිය යුතු වන්නේ ය. කුවේට් සිට පැමිණි මෙරට එක් කාන්තාවක් ද කොවිඞ් රෝගී තත්ත්වය හේතුවෙන් මීට දින කීපයකට පෙර මියගොස් තිබුණේ නිරෝධායන මධ්‍යස්ථානයේ දී ම ය.

තීරණ ගන්නේ කවුද කියලා අපි දන්නේ නෑ


ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා


“සීෂෙල්ස් වලින් 35ක් ගෙනාවා. ඒවගේම කුවේට්වලින් ආව අය අසාදිත බවට පත් වුණාම එන්න තිබුණු ගුවන් යානයක් නතර කළා. මේ තීරණ ගැනීම ගැන අපිට කියන්න දෙයක් නෑ. කවුද තීරණ ගන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. වෙන කාලසීමාවල නම් වසංගත අවස්ථාවක තීරණ ගන්නේ කවුද කියලා අපි දන්නවා. වසංගත රෝග විද්‍යා අංශය තමයි ඒ තීරණ අරගෙන ක්‍රියාත්මක කළේ. ඒත් අපි මේකෙදී දන්නේ නැහැ කවුද තීරණ ගන්නේ කියලා. රටේ බෝවන රෝග පිළිබඳ කමිටුවක් තියනවා. ඒක ක්‍රියාත්මක වුණේ ම නැහැ. මොකද දේශපාලකයන්ට මේක අතට ගන්න ඕනෑ වුණා. මොකද මේක කොහොමහරි පාලනය කරගෙන තමන්ට අවශ්‍ය දේවල් කරන්න. ඒ නිසා ඒ අය ඒ යාන්ත්‍රණය පාවිච්චි කළේ නැහැ.

දීර්ඝකාලීනව මේකට මුහුණදීමට ආණ්ඩුව දැන් හෝ රට සූදානම් කළේ නැත්නම් මේක තවත් අවුල් වෙනවා මිස මේක හොඳ තත්ත්වයට පත්වෙන්නේ නැහැ. මේක ජීවවිද්‍යාත්මක සංසිද්ධියක්. ඒ නිසා මේක අපි කාටවත් අපි කැමති විධියට නවත්වන්න බෑ. පාලනය කරන්න පුළුවන් වෙන්නේ දැනට තිබෙන දැනුම පාවිච්චි කරගන්නා ක්‍රියාමාර්ගවලින් පමණයි. ඒ යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ.”


මැයි 26 දින ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමට යෝජනා වී තිබෙන බව ය. අප්‍රේල් 30 න් පසු සමාජයෙන් කොවිඞ් ආසාදිතයකු හමු නොවීමත් රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා එලෙස විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඞ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිවරයාට යෝජනා කළ බව එහි සඳහන්ය. කොළරා වසංගතය ලොව පුරා පැතිර ගොස් තිබුණේ මීට වසර දෙසීයකට පමණ ඉහත එනම් එක්දහස් අටසිය විසි ගණන්වල ය. ඉන් පසු වසර සියයකට පමණ පෙර එක්දහස් නවසිය විසිගණන්වල ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර ගොස් තිබුණි. මේ වන විට කොවිඞ්-19 වසංගතය ලොව පුරා පැතිරෙමින් තිබෙන්නේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසංගතය ගෝලීය වසංගතයක් ලෙස නිවේදනය කරනු ලැබුවේ ජනවාරි 30වන දා ය. වියට්නාමය සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වැනි රටවල් ඊට සූදානම් වීම ඒ දිනවලම ආරම්භ කළ ද ලංකාව ඇතුළු තවත් සමහර රටවල් එය කිසිසේත් බරපතළ තත්ත්වයක් ලෙස දුටු බව හෝ එලෙස සලකා ක්‍රියාකළ හෝ සූදානම් වූ බවක් පෙනුණේ නැත. මේ වන විට ද ඊට සූදානම් බවක් පැහැදිලිව පෙනෙන්නට නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ආරම්භ වන්නේ 1956 දී ය. එනම් වසර හැටක කාලයක සිට එම ඒකකය ලෝකයේ අනෙකුත් සෞඛ්‍ය සංවිධාන සමග සම්බන්ධතා පවත්වා ගනිමින් වසංගත රෝග පාලනය කර අත්දැකීම් ද තිබුණ ද කොවිඞ්19 වසංගත රෝගය සම්බන්ධයෙන් තීරණ ගැනීම් වලට මූලික වන්නේ එම ඒකකය ද යන්න ද මේ වන විට පැහැදිලි නැත. මෙය ගෝලීය වසංගතයක් බවත් ඊට විසඳුම් සෙවිය යුතු වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයන් හරහා බවත් ඊට අවශ්‍ය වටපිටාව සකස් කරදීම මිස මෙය ද දේශපාලන වාසි ලබාගත හැකි තවත් එක් අවස්ථාවක් නොවන බවත් මෙරට දේශපාලනඥයන් මේ මොහොතේ ප්‍රමාදවී හෝ තේරුම් ගත යුතුව තිබෙන්නේ ය. ■