රසික ගුණවර්ධන

පසුගිය සතියේ අප පුවත්පතේ පළවූ (2020 පෙබ.14)“දේවානිට කැප නැති සුපිළිපන්න ප්‍රණාම” ලිපිය සම්බන්ධයෙන් එය සංවිධානය කරන ලද ආයතනය ප්‍රතිචාරයක් දක්වා ඇත. එකී ප්‍රතිචාරය තවදුරටත් තම සාවද්‍ය ක්‍රියාකලාපය තහවුරු කරගැනීමට මාන බලන්නක් බැවින් යම් පිළිතුරක් සැපයිය යුතුව ඇත්තේය.


එම ලිපිය මඟින් මතුකර ඇති මුලිකම කරුණ මෙයයි.
“2020 සුපිළිපන් ප්‍රණාම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අදාළ අනුමැතිය නොලැබීම නිසා දේවානි ජයතිලක මහත්මිය වැඩසටහනේ ඉදිරි අදියර සමග සම්බන්ධවීමට අකමැත්ත ප්‍රකාශ කර සිටි හෙයින්, ඇයගේ ඉල්ලීමට අනුව ඇයව වැඩසටහනින් ඉවත් කිරීමට සිදු වූ බවට අප ආයතනය අවධාරණය කරයි.”


බැලූ බැල්මට මෙය ඉතා සාධාරණ ක්‍රමවේදයකි. එහෙත් සම්මාන උළෙලින්ද පිටමං කරන ලද දේවානි දෙවන වරටත් අගුපිලට දැමීමක් මෙකී ප්‍රකාශය මඟින් සිදුකොට ඇති බව නොකියා බැරිය. කරුණු තහවුරු කරගැනීම සඳහා අපද ඇය හා සම්බන්ධ වූ අතර එලෙස තමන් නොසලකා ඉදිරියට ගමන් කරන ලෙස ඇය කිසිදු විටෙක ප්‍රකාශ කොට නැත. කරුණු එසේනම් ඇය එලෙස සඳහන් කොට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වෙත ලබා දී ඇති යම් ලිඛිත ඉල්ලීමක් වේ නම් එය ජනගත කරන ලෙස අපි අභියෝග කිරීමට කැමැත්තෙමු.
තවද ඔවුන් දක්වන අනෙක් කරුණ මෙයයි.


“ඒ අනුව මෙම ජයග්‍රාහකයින් පස්දෙනා පිළිබඳව සකස් කෙරෙන වීඩියෝ දර්ශන ජනමාධ්‍ය වෙත මුදා හැරෙන බැවින් මෙම අදියරේදී එම ජයග්‍රාහකයින්ට අදාළ අමාත්‍යංශවල අනුමැතිය මේ සඳහා ලබා ගැනීම සිදු කරයි.”


යම් සම්මානලාභියකු ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය යැයි සඳහන් කිරීම තුළම එකී සමස්ත සම්මාන ක්‍රියාවලියේ ස්වාධීනත්වය බිඳවැටෙන බව වටහා ගැනීමට තරම් මෙකී ආයතනයට හැකියාවක් නොපැවතීම අප වටහා ගත යුත්තේ කෙලෙසද? මෙලෙස සම්මානයක් ලබා දෙනු ලබන්නේ නිරායාසයෙන්ම අල්ලස හා දූෂණය පිටුදැකීමට වෙරදරන කාර්යක්ෂම සේවයක් සඳහා කැපවූ මහජන සේවකයෙකුට බව ඉතා පැහැදිලි කරුණකි. එවන් පසුබිමක යම් රජයේ නිලධරයෙක් අදාළ සම්මානයට තෝරා ගත් කල, විරුද්ධ නොවී සිටින ආණ්ඩු ලොව ඇත්තේ ඉතාම අල්පයක් විය යුතුය. ඊට හේතුව එවන් ප්‍රගතිශීලි භාවිතාවක් සඳහා ආශීර්වාද කරන ආණ්ඩු එදත් -අදත් ලොව පැවතියේ ඉතා අල්ප වශයෙන් වීමයි. ඒ අනුව රටම දන්නා දේවානි එලෙස අමාත්‍යාංශයේ තරවටුවෙන් ඉවතට දැමීම කෙසේ වෙතත් ඒ බව අප පුවත්පත මඟින් අනාවරණය කරන තෙක් සඟවා ගෙන සිටීම තක්කඩි ක්‍රියාවක් පමණක් නොවේ. රටෙහි පවත්නා මජර දේශපාලන සංස්කෘතියට ආවැඩීමකි.

තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ මෙම ක්‍රියාව සමාන වන්නේ, රජය කැමති (රජය සමග නොගැටී කටයුතු කරන සහ ඔවුන්ගේ ඕනෑඑපාකම් ක්‍රියාත්මක කරන) රාජ්‍ය සේවකයා සෙවීමටය. ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ මේ ක්‍රියාව නිසා අපහසුතාවට පත්වන්නේ දේවානි පමණක් නොව, මේ සම්මානය දිනාගත් සියලුම රාජ්‍ය සේවකයන්ය. ට්‍රාන්ස්පේරන්සි ආයතනය සිදුකරන මේ ප්‍රකාශ හරහා එසේ අවමානයට පත්වන මහජන ඡන්දයෙන් ජයග්‍රහණය කළ විශිෂ්ට රාජ්‍ය සේවකයන්ගේ අභිමානය ගැන වගකියන්නේ කවරෙක්ද?


තවද අදාළ සිදුවීම පිළිබඳව විනිශ්චය මණ්ඩල ප්‍රධානියා මෙලෙස පැවසූ බව ට්‍රාන්ස්පේරන්සි ආයතනය තම නිවේදනයේ දක්වයි.
“ජයතිලක මහත්මියගේ වෘත්තීයමය ආරක්ෂාව සහ ඇයගේ එකඟතාවට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් විනිසුරු මඬුල්ල ක්‍රියා කළා”


ඉහත ප්‍රකාශය එලෙසින්ම තහවුරු කිරීමට නම් වහා සිදුකළ යුතු කාර්යයක් ඇත. එනම් දේවානි ජයතිලක ස්වකැමැත්තෙන් අදාළ සම්මාන උළෙලින් ඉවත් වූ බැවින් කිසිදු ගැටලුවකින් තොරව ඇය පසෙකට දමා ඉදිරි කටයුතු සිදුකිරීමට විනිශ්චය මණ්ඩලය සාමූහිකව කටයුතු කළ බවට විනිශ්චය මණ්ඩලයේ සියලු දෙනා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමයි.


අප මේ ගැන විමසීමේදී වටහා ගත් කරුණ වූයේ දේවානි අවසන් තරගකරුවන් පස්දෙනා අතරට තෝරාගෙන තිබියදී, අමාත්‍යාංශයේ බලපෑමට නතුව ඇය අවසන් වටය සඳහා සලකා නොබැලීමට ට්‍රාන්ස්පේරන්සි ආයතනය තීරණය කළ බවත්, විනිශ්චය මණ්ඩලය ඊට කීකරු වූ බවත්ය. දේවානි යනු සමාජ හා දේශපාලන බලයක් හිමි දේශපාලකයන් ඇතුළු ව්‍යාජ ප්‍රභූවරුන් අභිබවමින් ජනතාව සමග සිටගත් මහජන සේවිකාවකි. පාලක පක්ෂයේ දේශපාලකයන් සමග හැප්පුණු ඇය සම්මාන සඳහා සලකා නොබැලිය යුතුයැයි අමාත්‍යාංශය පැවසීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් අදහාගත නොහැකි ඛේදය නම් පාලක පක්ෂයේ ඉල්ලීම හා තමන් සේවය ලබා දෙන ආයතනයේ අභිලාෂ ඉටුකිරීම සඳහා මෙකී කීර්තිමත් විනිසුරන් කටයුතු කොට ඇති ප්‍රශ්නකාරී විලාසයයි. අප නැවත නැවතත් ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන කරුණ වන්නේ තමන් අදාළ ක්‍රියාවලියෙන් ඉවත්කරන ලෙස දේවානි ඒ වන විටත් කිසිදු ඉල්ලීමක් වාචිකව හෝ ලිඛිතව ඉල්ලා නොසිටි බවත්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය දේවානි කෙසේ වෙතත් ආණ්ඩුව බැලන්ස් කරගැනීමට ඉතා සාර්ථක උත්සාහයක් ගෙන ඇති බවත්ය.


අවසන් වශයෙන් පාඨක ඔබගේ නැවත සිතා බැලීම සඳහා යම් කරුණක් සඳහන් කළ යුතුව ඇත. එනම් සිත්පිත් නැති මැර දේශපාලකයන් හා හැප්පීමට තරම් දිරියක් ඇති කාන්තාවක් වන දේවානි අමාත්‍යාංශය එපා කී විගස “එහෙනම් මාව අයින් කරන්න” යැයි පවසා කරබාගෙන පැත්තකට යන්නට තරම් නිවට ගැහැනියක් යැයි ඔබ සිතන්නේද? තමන් ස්වාධීන සංවිධානයක් නම් ට්‍රාන්ස්පේරන්සි ආයතනය කළ යුතුව තිබුණේ දේවානි ශක්තිමත් කොට ඇයට වේදිකාවක් සකස් කිරීම (විනිශ්චය මණ්ඩලය ඇය තෝරාගෙන සිටි බැවින්) විනා අමාත්‍යාංශයේ විධානයට යටත්වීම නොවේ. අවාසනාවට දේවානි පැත්තකට දැමූ විනිශ්චය මණ්ඩලයේ කාන්තා අයිතිවාසිකම් ගැන උනන්දුවක් දක්වන කාන්තාවන් දෙදෙනෙක්ද සිට ඇති බවද නොලියා බැරිය.


ආණ්ඩුව ෂේප් කරගැනීමට ගේමක් ගැසූ ට්‍රාන්ස්පෙරන්සියට දේවානි ඇන්දවීම ද එතරම් අපහසු කාර්යයක් නොවේ. දැනටමත් ඔවුන් මෙකී සමස්ත චෝදනාවෙන් ගැලවෙන්නේ දේවානි අකමැති වුණා යැයි පවසමින් වන අතර ඇය ඉදිරියට දමා චෝදනාවෙන් මිදීමට මේ දිනවල ගන්නා උත්සාහයද විශාලය. එබැවින් මෙකී ආයතනයට පැවසිය යුතු කරුණක් ඇත. එනම් “දැන්වත් දේවානිට නිදහසේ ඉන්න අරින්න.”


ට්‍රාන්ස්පේරන්සි ආයතනය තම අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් රැස් කරගන්නේ තොරතුරු දැනගැනීමේ පනත උගසට තබාය. එබැවින් එකී පනත් ප්‍රකාරව යමක් පැවසිය යුතුව ඇත. මහජනයාගේ දැනගැනීම උදෙසා හැකිතාක් තොරතුරු සැපයීම අදාළ ආයතනවල ප්‍රතිපත්තිය විය යුතුය. මෙලෙස දේවානිගේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ එකී කරුණ පිළිබඳව අදාළ ආයතනය හොරගල් අහුලා ඇති බවයි. අප අනාවරණය කරන තෙක් එකී කරුණ පැවතියේ රහසිගතවය. ඒ අනුව අඩු තරමින් ට්‍රාන්ස්පේරන්සි ආයතනය නැවතත් තොරතුරු දැනගැනීමේ පනත කියවා බලා ඒ අනුව කටයුතු කළ යුතුයැයි අපි යෝජනා කරන්නෙමු. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here