2020.02.14 දිනැති රාවය පුවත්පතේ පළ කෙරුණු “දේවානිට කැප නැති සුපිළිපන් ප්‍රණාම” ලිපිය සම්බන්ධයෙනි.

2020 සුපිළිපන් ප්‍රණාම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අදාළ අනුමැතිය නොලැබීම නිසා දේවානි ජයතිලක මහත්මිය වැඩසටහනේ ඉදිරි අදියර සමඟ සම්බන්ධ වීමට අකමැත්ත ප්‍රකාශ කර සිටි හෙයින්, ඇයගේ ඉල්ලීමට අනුව ඇයව වැඩසටහනින් ඉවත් කිරීමට සිදු වූ බවට අප ආයතනය අවධාරණය කරයි.

“සුපිළිපන් ප්‍රණාම” වැඩසටහන Accountability Lab (https://accountabilitylab.org/) නැමැති ගෝලීය සිවිල් සමාජ සංවිධානයේ සංකල්පයක් වන අතර එම සංවිධානය විසින් අනෙකුත් රටවල ක්‍රියාත්මක වන ආකාරයට මෙම ක්‍රියාවලිය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කරයි. ඒ අනුව ජනතාවගෙන් ලැබෙන නාමයෝජනා හරහා ඉදිරිපත් කෙරෙන අයදුම් පත් අතුරින් අපක්ෂපාතී විද්වත් විනිසුරු මඩුල්ලක් විසින් තෝරා ගනු ලබන රාජ්‍ය නිලධාරීන් පස් දෙනා සම්බන්ධයෙන් කෙටි වාර්තාමය වීඩියෝ දර්ශන නිර්මාණය කර, අන්තර්ජාලය, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරනු ලබයි. මෙම ක්‍රියාවලිය integrityicon.lk වෙබ් අඩවියේත් නාම යෝජනා පත්‍රයේත් සඳහන් කර ඇත.

ඒ අනුව මෙම ජයග්‍රාහකයින් පස්දෙනා පිළිබඳව සකස් කෙරෙන වීඩියෝ දර්ශන ජනමාධ්‍ය වෙත මුදා හැරෙන බැවින් මෙම අදියරේදී එම ජයග්‍රාහකයින්ට අදාළ අමාත්‍යංශ වල අනුමැතිය මේ සඳහා ලබා ගැනීම සිදු කරයි.

2020 සුපිළිපන් ප්‍රණාම වැඩසටහනේ ඉදිරි අදියරට සම්බන්ධ වීමට ගම්පහ වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට අදාළ අනුමැතිය නොලැබුණු බව අප ආයතනය විසින් එතුමියට දැනුම් දෙන ලද අවස්ථාවේ ඇය දන්වා සිටියේ ඇයගේ අමාත්‍යංශයෙන් අදාළ අනුමැතිය නොමැතිව තවදුරටත් මෙම වැඩසටහනට සම්බන්ධ වීමට ඇය අකමැති බවත්, ඇය නොමැතිව අප වැඩසටහන ඉදිරියට ගෙන යා යුතු බවත් ය. කෙසේ වුවත්, මේ අවස්ථාවේ මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වීමට ඇයගේ එකඟතාවය පල වුණි නම්, ඉදිරි ක්‍රියාවලියට ඇය සම්බන්ධ කර ගැනීමට හැකි බව විනිසුරු මඩුල්ල සහ අප ආයතනය ඇයට දන්වා සිටි අතර, එම අවස්ථාවේ ඇය පැවසුවේ අදාළ අනුමැතිය නොලැබුණු නිසා ඇයට මෙම වැඩසටහනට සම්බන්ධ විය නොහැකි බවයි. මෙම අවස්ථාවේදී අප වැඩසටහන සම්බන්ධයෙන් ජයතිලක මහත්මිය මුහුණ දුන් මෙම සිදුවීම ජනතාවට දැනුම්දීමට අප ආයතනය ක්‍රියා නොකළේ, එමගින් ඇයට අගතියක් විය හැකි බව ඇය දන්වා සිටි හෙයිනි. මේ පිළිබඳව සුපිළිපන් ප්‍රණාම 2020 වැඩසටහනේ විනිසුරු මඩුල්ලේ සභාපති විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්. ඩී. ඒ. හැරල්ඩ් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් “ජයතිලක මහත්මියගේ වෘත්තීයමය ආරක්ෂාව සහ ඇයගේ එකඟතාවයට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් විනිසුරු මඩුල්ල ක්‍රියා කළා” යැයි පවසා සිටී.

දේවානි ජයතිලක මහත්මියට වැඩසටහනට සහභාගී වීමට වාතාවරණය සකසා දීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සියලු උත්සාහයන් දැරූ බවත්, සුපිළිපන් ප්‍රණාම වැඩසටහනට චෝදනා ඉදිරිපත් කිරීම තුළින් සිදු වන්නේ මෙම වැඩසටහන මගින් හඳුනාගෙන, අභිෂේක ගන්වන අවංක රාජ්‍ය නිලධාරීන්ට අසාධාරණයක් සහ අගතියක් බවත් අප ආයතනය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ සිව්දෙස, මහත් කැපකිරීම් සිදු කරමින්, දුෂණයට හිස නොනමා, තම සේවාව විශිෂ්ඨ ලෙස ඉටු කරන රාජ්‍ය නිලධාරීන්ව දිරි ගැන්වීම උදෙසා පවත්වනු ලබන සුපිළිපන් ප්‍රණාම වැඩසටහනේ ක්‍රමවේදය සහ අප ආයතනයේ ස්වාධීනත්වය පිළිබඳව පළ කරන ලද අසත්‍ය ප්‍රකාශ අප තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු.