ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව පුන පුනා කියමින් ඇතැම් මාධ්‍ය ජනතාවට වැරදි පණිවුඩ ලබා දෙද්දී දේශපාලනඥයෝ ද සියල්ල අමතක කරමින් මැතිවරණයට සූදානම් වීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළෝ ය. ඇදිරිනීතිය දිගින් දිගටම පවත්වා ගැනීම කළ නොහැකි නිසා එය ඉවත් කිරීමට තීරණය කරද්දී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වගකීම් සහගතව ක‍්‍රියා කළ ඇතැම් නිලධාරීහු එහි සැබෑ තත්ත්වය රටට මහජනයාට හා බලධාරීන්ට දැනුවත් කිරීමට විශාල පරිශ‍්‍රමයක් ද ගනු ලැබුහ. ඇඳිරි නීතිය ඉවත් කිරීම යනු ගෝලීය වසංගතයෙන් ලංකාව මිදී යථා තත්ත්වයට පත් වීම නොවන බවත් අවදානම් සහිත මේ තත්ත්වයට මුහුණ දීමට දීර්ඝ කාලයක් පුරා ක‍්‍රියා මාර්ග ගත යුතු බවටත් එසේ නොවුණහොත් මුහුණ දීමට සිදුවිය හැකි ව්‍යසනයත් සම්බන්ධයෙන් ඔවුහු දිගින් දිගටම අවධාරණය කරමින් සිටිය හ. ඊට රට සූදානම් කළ යුතු ආකාරය පිළිබඳත් එය කෙතරම් බැරැරුම් ලෙස සලකා කටයුතු කළ යුතු දැයි යන්නත් ඔවුහු හැකි සෑම ආකාරයෙන්ම වගකිවයුත්තන්ට හා ජනතාවට දැන්වීමේ උත්සාහයක නිරත වූහ. එහෙත් සිදුවූයේ ඔවුන්ගේ හඬ හිතා මතා නෑසූ කන්ව සිටීමට හෝ නොතකා සිටීමට වගකිව යුතු අය මෙන්ම බොහෝ මාධ්‍ය ද කටයුතු කිරීම ය. ඒ වෙනුවට සිදුවූයේ රට යථා තත්ත්වයට පත්වූ බව මහජනයාගේ ඔළුවලට ඇතුළු කිරීම ය, යථාර්ථය වෙනුවට අවධානය අමතක කිරීමේ මාතෘකා කරළියට ගෙන ඒම ය, ලංකාව කොවිඞ් ජයගත් බව කියවෙන ආශ්චර්යජනක වීර කතාන්දර මහජනයා වෙත ගෙන යාම ය. ඇඳිරිනීතිය ඉවත් කිරීම සමග කොවිඞ් අවදානම සියල්ලන්ටම පාහේ අමතක වන්නේ හෝ නොහැගෙන්නේ එලෙස ය.

කන්දකාඩු පොකුරේ පැතිරීම


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඞ් රෝගී පොකුරක් සොයා ගන්නේ ජූලි 7 වන දා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොවිඞ් ආසාධිත බවට තහවුරු වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ය. ඒ අනුව එම රැඳවියා ඊට පෙර සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ බොහෝ දෙනෙකුටම රෝගය තිබෙන බව තහවුරු වූයේ ය. වසංගත රෝග විද්‍යා අංශයේ 2020 ජූලි 15 පෙ.ව.10 දෛනික තත්ත්ව වාර්තාවට අනුව ඒ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ රෝගීන් ගණන 506 කි. ඉන් 440ක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වූ අතර සෙසු අය එහි කාර්ය මණ්ඩලයට අයත් අය, හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් ය. ඒ ඇතැම් අයට රෝග ලක්ෂණ මීට පෙර ද තිබූ බවට වාර්තා වුණත් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ස්ථානයක් වුව ද ඒ ගැන කිසිවෙකු සැලකිල්ලක් දක්වා හෝ අහඹු පරීක්ෂණ හෝ නොකළේ ඇයි දැයි යන්න විශාල ගැටලූවකි. ඒ වන විට ද ඒ ඇතැම් අය ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ඇවිද තිබුණි. ඒ හරහා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් ද මෙරට විවිධ ප‍්‍රදේශවල විසිරී සිටින අතර ඇතැම් ආශ‍්‍රිතයන් පිළිබද තිබෙන්නේ අවිනිශ්චිත බවකි. ඒ බොහෝ අය පොදු ප‍්‍රවාහන සේවය භාවිතා කර තිබුණි, එමෙන් ම විවිධ එක්රැස්වීම් වලට ද සහභාගි වී තිබුණි. එබැවින් ඇතැම් ආශ‍්‍රිතයන් හදුනා ගත්ත ද එසේ හදුනා නොගත හැකි ලෙස සමාජයේ ආසාධිතයන් සිටීමට ඒ අනුව ඕනෑ තරම් ඉඩ තිබෙන්නේ ය. ඒ අයගෙන් ද තවත් අයට රෝගය පැතිරීමේ විශාල අවධානමක් ද නිර්මාණය වී තිබෙන්නේ ය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටත වැඩිම පිරිසක් වාර්තා වූයේ අනුරාධපුරය රාජාංගනය ප‍්‍රදේශයෙනි. කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ කොවිඞ් ආසාධිත බවට තහවුරු වූ තවත් අය පිටබැද්දර, තංගල්ල, හෝමාගම, කොළඹ, රත්නපුර, කලවාන ප‍්‍රදේශවලට සංචරණය කර තිබුණි. රාගම පෞද්ගලික රෝහලක සාමාන්‍යාධිකාරීවරයාට ද රෝගය වැළදී ඇති බව තහවුරු වූයේ ය. ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශනයකට සහභාගී වී පැමිණ තිබූ අතර ආසාධිත බව තහවුරු වන්නේ මෙම සිදුවීම සමග ය. ඒ ආකාරයට සමාජය තුළ නොදැනුවත්ව රෝගය තවත් කොපමණ දෙනෙකුට පැතිර තිබේ ද සහ ඔවුන් හරහා තවත් අයට ලෙස කොපමණ දුරකට පැතිරේ ද යන්න දැන් විශාල ගැටලූවකි.


”කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් එළියට ආ උපදේශකයන් සහ එහි වැඩ කළ හමුදා නිලධාරීන් සමාජයට ඒමෙන් කීප තැනක ඒ අයගේ ගෙවල්වල කණ්ඩායම් පොසිටිව්වෙලා තියනවා. ඊට අමතරව ගෙවල්වල කණ්ඩායම් වල ආශ‍්‍රිතයන් වුණු තවත් තුන්වන කණ්ඩායමකුත් පොසිටිව් වෙලා තියනවා. මේ වෙද්දී ඒ තුන්වන කොටස එක්ක ස්පර්ශ වුණු කණ්ඩායමකුත් අපි නිරෝධායනය කරමින් යනවා. ප‍්‍රශ්නය තියෙන්නේ මේ සමහර අය ගොඩක් ඇවිදලා තියනවා. මේ මොහොත වෙද්දී අපි නිරෝධායනය කරන අයගෙන් කවුරුහරි පොසිටිව් වුණොත් තමයි ඒ අයගේ ආශ‍්‍රිතයන් ඊළගට හොයන්න වෙන්නේ. එහෙම වෙද්දී අපි හිතනවාට වඩා මේක සමාජයට පැතිරිලා තියෙන්න පුළුවන්. ඒ මධ්‍යස්ථාන වලින් එළියට එද්දී පීසීආර් පරීක්ෂණවත් කරලා එළියට එවන්න තිබුණා.” ඒ, ශ‍්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ය.

ඔහු පවසන ආකාරයට රාජාංගනයෙන් හමුවූ එක් රෝගියෙකුගෙන් ආශ‍්‍රිතයන් දහහතර දෙනෙකුටම රෝගය වැළදී ඇත. ඔහුගේ නිවසේ අයට ද නිවසේ අය සහභාගී වූ බණ ගෙදරක අයට ද ආදී ලෙස පැතිරී තිබුණි. තවත් එවැනි ආකාරයේ දෙවන තුන්වන ආසාධිත කණ්ඩායම් රාජාංගනයේ ද තවත් ප‍්‍රදේශවල ද හමුවී තිබුණත් එය තවත් කොතරම් දුරකට පැතිර ගොස් තිබේ ද යන්න පිළිබද තක්සේරුවක් කිරීමේ හැකියාවක් ඇත්තේ නැත. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවසන් අදියරේ සිටින රැඳවියන් බැලීමට ඔවුන්ගේ පවුල්වල අය ද පැමිණ එකට ආහාර පාන ගත් අවස්ථා ද ඇති බැවින් ඒ අය හරහා ද සමාජයට පැතිර තිබීමේ අවධානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරු සැක පළ කරති. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඞ් පැතිරීම හඳුනාගැනෙන්නේ වැලිකඩ දී හමුවූ රෝගියාගෙනි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සුදුවැල්ල රෝගී පොකුර හරහා හෝ හමුදාවේ අය හරහා හෝ වෛරසය පැතිරී එය හදුනා නොගෙන දීර්ඝ කාලීනව එහි තිබී ඇතැයි ද අනුමානය වන බව ඔවුහු පවසති.

ඇග බේරා ගැනීමේ උපදෙස් මාලා

පසුගිය දිනවල පොදු ප‍්‍රවාහන සේවය ද යථා තත්ත්වයටම පත්ව තිබුණි. දුරස්ථභාවයක් රඳවාගෙන ගමන් කිරීමට මගීන් කැමති වුව ද ඊට කිසිදු පහසුකමක් හෝ වටපිටාවක් මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ නැත. ඊට යම් ප‍්‍රායෝගික ආකාරයේ විධිමත් වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක කිරීමට බලධාරීන්ට අවශ්‍යතාවයක් හෝ තිබුණේ නැත. මාර්ගෝපදේශන මාලා එළිදැක්වූවාට ඒවා ගැන නිසි බලධාරීන් මෙන්ම අන් අය ද අවධානයක්වත් දුන්නේ නැත. එවැනි ඒවා තිබෙන බව ද නොදන්නා අය සිටියහොත් ඒ ගැන ද පුදුම විය නොහැකි ය. මොකද ඒ කිසිවක් බිම් මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙලක් තිබුණේ නැත. වෙබ් අඩවිවල හෝ අමාත්‍යාංශවල තිබෙන උපදෙස්මාලා සොයාගෙන පිළිපැදීමට තරම් කිසිවෙකු වෙහෙසෙන්නේ නැත. ඒවා පිළිපැද්ද ද නැද්ද යන්න පිළිබද කිසිදු වගකීමක් ද බැදීමක් ද කිසිවෙකුට තිබුණේ ද නැත.

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියකු වන එහි හමුවූ කොවිඞ් ආසාධිත දෙවැනි රෝගියා කොණ්ඩ කපන අංශයේ කරණවෑමියෙක් ලෙස කටයුතු කළ අයෙකි. ඔහු එහි නිලධාරීන් එකසිය හැත්තෑවකගේ පමණ කොණ්ඬේ කැපීම සහ හිස සම්බාහනය කර තිබූ බව අනාවරණය වී තිබුණි. එබැවින් ඒ සියලූදෙනා ද නිරෝධායනයට යොමුකර තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මාලාවට අනුව නම් කොණ්ඩා කැපීමට හැකියාව තිබුණ ද හිස් සම්බාහනය රැවුල කැපීම ආදිය කිරීමට එයට අනුව අවසර නැත. එහෙත් රාජ්‍ය ආයතනවලවත් එම උපදෙස් මාලා පිළිපැද නැති බව මෙවැනි සිදුවීම් හරහා අනාවරණය වූයේ ය. මහජනතාවට විවාහය මංගල උත්සවයකට රැස් කළ හැකිපිරිස සියයකට සීමා කරද්දී මැතිවරණ රැස්වීම්වලට කිසිදු සීමාවක් නොමැතිව දහස් ගණනින් රැස් වූ අවස්ථා තිබුණි. තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදුකළ ආකාරය අනුව මෙරට පාලකයෝ ජනතාවට මුල්ම වැරදි පූර්වාදර්ශය සැපයූවෝ ය, එය මේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෑයම සම්පූර්ණයෙන් හාස්‍යයට ලක් කිරීමේ සිදුවීමක් බවට පත් වූයේ ය.

”මිනිස්සුන්ගේ බය නැති වුණාට පස්සේ සාමාන්‍ය විදියටම පහුගිය ටිකේ වැඩ කළා. ඒ නිසා වෛරසය ඉක්මනින් ව්‍යාප්ත වුණා. රටේ අනෙක් අය වැඩ කළ විදිය දිහා බලලා සාමාන්‍ය මිනිස්සුත් ඒ තත්ත්වයට පත් වුණා. මේවාට නීතියකුත් නැහැ. පළමු සැරේ වගේ වගකීමෙන් වැඩ නොකළොත් මේක ව්‍යාප්ත වෙන්න පුළුවන්. දැන් අපි ඉන්නේ අවදානම් අවදියක. මැතිවරණය ඉලක්ක කරගෙන මිනිස්සුන්ගේ භය නැති කරලා මේක සාමාන්‍යකරණය කළා. අපි ඒක ඉවර කළා කිවුවා. මිනිස්සු හිතුවා දැන් ප‍්‍රශ්නයක් නැහැ කියලා. ඕනෑම වෙලාවක මේක එන්න පුළුවන් කියලා අපි දිගටම කිවුවා.” ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කීවේ ය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ මෙවැන්නකි. ”තොණ්ඩමන් මහතාගේ මළ ගෙදර සහ රටේ නායකයෝත් සහභාගී වුණු මැතිවරණ රැුළි අපි දැක්කා. ඒක නොවිය යුතු තත්ත්වයක්. අඩුුම ගාණේ හැමෝම දැන්වත් තේරුම් ගනියි කියලා අපි හිතනවා. මේකෙ දී සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය සහ ජනතාව යන හැම කණ්ඩායමක්ම කලින් දැක්වූ කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒ එක කණ්ඩායමකටවත් මෙතැන දී අතපිහදාගන්න බැහැ. එහෙම වුණොත් ජය ගන්නේ මේ රෝගය යි.”

කොවිඞ්-19 සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කළ උපදේශන මාලා ගැසට් කරන ලෙසත් එසේ නැති වුවහොත් සිදුවිය හැකි වියවුල් තත්ත්වය පිළිබඳවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලිඛිතව ද සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන්වූ බවත් එසේ නොකළහොත් තමන් ඒ කටයුතු කිරීමෙන් ඉවත් වෙන බවත් දැන්වූ බව අපට මතක ය. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ ඒ ඇතැම් උපදෙස් ප‍්‍රායෝගික නොවන බවත් ඒවා ප‍්‍රායෝගික වන ආකාරයට සංශෝධනය කර නීතිගත කරන ලෙස ය. එසේ නොමැති වුවහොත් සුළු පිරිසක් පමණක් ඒවා පිළිපැද්දත් ඒවා පිළිනොපදින අය වෙනුවෙන් කිසිවක් සිදුනොවන නිසා සියලූදෙනා ඒවා පිළිනොපදින තත්ත්වයට පත්වන බව ඔවුහු දිගින් දිගටම පැවසූහ. එහෙත් ඒවා නීතිගත වූයේ නැත. නීරෝධායන කටයුතු සදහා සහ මෙම උපදේශන මාලා නීතිගත කරන ලෙසත් එසේ නැති වුවහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් නිවේදනය කළ අවස්ථා දෙකේ දී ම සැබෑ ගැටලූ වලට විසදුම් ලබා දෙනවා වෙනුවට සෞඛ්‍ය අමාත්‍යවරිය සිදුකර තිබුණේ, මැතිවරණය අවස්ථාවේ තම දේශපාලනයට හානි වන දේ කරන්න එපා යැයි කියලා ශ‍්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය කැඳවා උපදෙස් දීම ය. මේවායින් පෙනෙන්නේ මේවා සම්බන්ධයෙන් වගකිවයුතු පාලකයන් සැබෑ ලෙසම කරන්නේ කුමක් ද යන්න ය. චීන ජාතික තරුණිය කොවිඞ් රෝගය සුව වී යන අවස්ථාවේ සිප වැළද ගත් අමාත්‍යවරිය තමන්ගේ රටේ ජනතාවගේ ජීවිත අවධානම හමුවේ ඔවුනගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නේ එලෙස ය. කොවිඞ් සටනේ සැබෑ ලෙසම සිටින නිලධාරීන්ගේ කාර්යභාරය විධිමත් කිරීමට හා ඊට සහාය දැක්වීම වෙනුවට මේ පාලකයන් සිතන්නේ තම බලය තහවුරු කරගන්නා ආකාරය පිළිබද මිස රටේ ජනතාව හෝ රට ගැන නොවන බව මේවායින් ජනතාව තේරුම් ගත යුතු ය.

මැතිවරණය හමුවේ ජනයා අනතුරේ හෙළීම

ජූලි 10 වන දින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය ප‍්‍රකාශ මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේ ද මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල මුහුණ දෙන බරපතලම ගැටලූව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස බලාත්මක නොවී තිබීම බව ය. එම මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ලබා දුන්නේ ජුනි 3 වන දා වුවත් මාසයකටත් වඩා වැඩි කාලයක් ගත වුව ද තවමත් එ ගැසට් මගින් ප‍්‍රකාශයට පත් ව නැති බව ඔහු එහි දී සදහන් කළේ ය. ”මේ සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදකතුමියගේත් නීතිපතිවරයාගේත් අනුමැතිය අවශ්‍ය පරිදි ලැබී තිබෙන බවත් දැනගන්නට තිබෙනවා. නමුත් යම් ස්ථානයකින් ප‍්‍රමාදයක් තියනවා. මෙහි බරපතල තත්ත්වය මෙම රැළි වලට දහස් ගණන් ජනතාව සෞඛ්‍ය උපදේශ නොසලකා හරිමින් උරෙන් උර ගැටෙමින් මුහුණු ආවරණ නැතිව අත් අල්ලමින් එකිනෙකා මුසුවෙමින් රැස්වීම් වලට සහභාගී වීමයි. යම් ආකාරයකින් ආසාධනය වූ එක් අයෙක් හිටියොත් එය රෝගය පැතිරීමට හේතු කාරක වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙම මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහි දී ප‍්‍රකාශ කළේ ය.

කොවිඞ් 19 පාලනයට සාදා ඇති ගැසට් පත‍්‍රය සිව් වතාවක් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සංශෝධනය කර මීට මසකට පෙර සෞඛ්‍ය අමාත්‍යවරිය අතට පත් කර තිබුණත් එය තවම අත්සන් කර නැතැයි සෞඛ්‍ය අංශවල නිලධාරීන් ද චෝදනා කරති. මේවා හරහා සිදුවන්නේ මැතිවරණය හා දේශපාලන රැස්වීම් හරහා මේ රටේ ජනතාව තවත් අවදානමට තල්ලූ කිරීම ය. එසේ ජනතාව අවදානමේ හෙළමින් මේවා ප‍්‍රමාද කරමින් සිටින්නේ මැතිවරණ කටයුතු නිදහසේ කරගෙන යාමට අවශ්‍ය පරිසරය තබා ගැනීමේ වුවමනාව නිසා දැයි යන සැකය අපට තිබෙන්නේ ය.

කමිටුවටත් කොවිඞ් අමතක වීම

ඇදිරිනීතිය පැවති කාලයේ රැස්වූ කොවිඞ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වන තාක්ෂණික කමිටුව ද පසුගිය කාලයේ ම රැස් වී තිබුණේ නැත. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ මෙවැන්නකි. ”ඒ කාලයේ සතියකට දෙවතාවක් වගේත් රැස්වුණු අවස්ථා තිබුණත් රට සාමාන්‍යකරණයට පත් කිරීමත් එක්ක තාක්ෂණික කමිටුවත් කොහේ ගියා ද කියලා නැති වුණා. රටේ මතුවිය හැකි ප‍්‍රවනතාවයන් සම්බන්ධයෙන් වෙනදාටත් වඩා තාක්ෂණික කමිටුව අවධානය යොමු කළ යුතුයි. අපි දිගටම ඉල්ලීම් කළත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක රැුස් කළේ නෑ. මාස එකහමාරකට පස්සේ නැවත තාක්ෂණික කමිටුව රැස් වුණේ පහුගිය සෙනසුරාදා යි. තාක්ෂණික කමිටුව නොතිබීම මේ ගැටලූ මතුවීමට ප‍්‍රධාන කාරණයක් විදියට අපි දකිනවා.”

මෙවැනි දෙයින් පෙනී යන්නේ ඇදිරිනීතිය ඉවත් කිරීම සමග කොවිඞ් පැතිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබූ ප‍්‍රධාන අංශ ද ඒවා එතරම් බැරැරුම් ලෙස සලකා නැති බව ය. සමාජ දුරස්ථකරණය ඉතාම අඩු මට්ටමකට ගෙන ආ විට මෙම වෛරසය සමාජය තුළ පැතිරේ ද ඒවා සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග ආදී දේ සම්බන්ධයෙන් යහපත් මට්ටමකට අවධානයක් යොමු ව නැති බව මේවායින් පෙනී යන්නේ ය. සමාජ දුරස්ථභාවය අවම කළ යුතු අකාරය හා එසේ කළ විට අනුගමනය කළ යුතු සැලසුම් තිබුණ ද ඒවා ක‍්‍රියාත්මක කිරීම හෝ නව තත්ත්වයන් පිළිබද ගවේශනය කිරීමට තරම් මෙම ක‍්‍රමවේද ප‍්‍රායෝගික මට්ටමක තිබී නැති බව මෙම තත්ත්වය මත පැහැදිලිව පෙනේනනේ ය.

අයාලේ යන පීසීආර් පරීක්ෂණ

අහඹු පරීක්ෂණ රටේ සෑම ප‍්‍රදේශයකම පාහේ කිරීමේ කතාන්දර ඇසුණ ද ඒවා ද ක‍්‍රියාත්මක වූ බවක් නැත. එසේ වූවා නම් මෙතරම් දුරකට මෙය පැතිර යාමට පෙර එය හදුනාගැනීමේ අවස්ථාව තිබුණේ ය. වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. ”80%ක් 90%ක් නෙගටිව් ප‍්‍රතිඵල ලැබෙන නිසා එහෙම පරීක්ෂණ කරන එක අපරාධක් කියන හැගීම සමහර අයට තියන බව පේනවා. නමුත් අහඹු පරීක්ෂණයකින් අපිට හොයාගන්න පුළුවන් ඒවා අපිට හොයාගන්න බැරි වුණොත් අපිට ඊට වඩා වියදමක් යනවා. දැන් සමහර ආශ‍්‍රිතයන් පිළිබදත් පැහැදිලි නැති නිසා අහඹු පරීක්ෂණ කරන්න ඕනෑ.” එමෙන්ම මේ වන විට පීසීආර් පරීක්ෂණවල නිරවද්‍යභාවය සම්බන්ධනේ ද ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන්නේ ය. ශ‍්‍රී ජයවර්ධනපුර පර්යේශණ රසායනාගාරයේ පරීක්ෂණ කිරීම මේ වන විට නතර කර තිබෙන්නේ ය. ඊට පෙර ඇතැම් පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් ගැටලූ මතුවූ අවස්ථා ද තිබුණි. මේ තත්ත්වය සම්බන්ධයෙන් රවී කුමුදේශ් පවසන්නේ මෙවැන්නකි. ”මේ වාර්තා වරදින්න හේතුව හොයලා බලන්න කියලා අපි මාස එකහමාරකට විතර පෙර කිවුවා. අපිට ඕනෑ ඒ ආයතනය ඉවත් කරන එක නෙමෙයි, වරදින හේතුව අපි හැමෝටම අදාළයි. අපි ඒ ගැන වාර්තාවක් ජනාධිපතිට සහ සෞඛ්‍ය ලේකම්ටත් ඉදිරිපත් කළා. අපි තවම හදිසි අවශ්‍යතාවයන්ට භාවිතා කරන්න කියලා තියන සහ පර්යේෂණ සදහා පමණක් භාවිතා කරන්න නියමිත ප‍්‍රතික‍්‍රියක හා උපකරණ භාවිතා කරනවා. පර්යේෂණ රසායනාගාරවල බොහෝ දුරට භාවිතා කරන්නේ ඒවායි. උපකරණ, ප‍්‍රතික‍්‍රියක සහ රසායනාගාර පරීක්ෂණය කරන පුද්ගලයා කියන කාරණා තුනම වෙනස්. මොකද ඒ අය නිශ්චිත වෘත්තිකයන් නෙමෙයි. උපකරණත් පර්යේෂණ රසායනාගාර වලට පමණක් අනුමැතිය දීලා තියන උපකරණ යි.” කෙසේ වෙතත් ඔහු පැවසුවේ පර්යේෂණ රසායනාගාරවල පමණක් නොව සොයා බැලූ විට පෙනුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සායනික රසායනාගාරවල ද විශ්වවිද්‍යාලවල තිබෙන ප‍්‍රතික‍්‍රියක සහ උපකරණ පද්ධති තිබෙන බව ය. එබැවින් නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාරවල ද එම වැරැද්ද සිදුවිය හැකි බව ද ඔහු අවධාරණය කරන්නේ ය.

”දැන්වත් සෞඛ්‍ය අමාත්‍යාංශය පීසීආර් ප‍්‍රතික‍්‍රියක හා උපකරණ ගන්නා විට සායනික පරීක්ෂණ සදහා වලංගු ඒවා පමණක් ගැනීමේ තීරණයකට යා යුතුයි. දැනට පර්යේෂණ සදහා පමණක් යන ලේබලය යටතේ ගෙන්වා ඇති ඒවා සංගණනය කර ඒවා ක‍්‍රමයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් අනුගමනය කළ යුතුයි. මේක ගැටලූවක් වුණාට පස්සේ මිනිස්සු මේවා ගැන අවිශ්වාස හිතනවා. ඕනෑම තත්ත්වයක දී වාර්තාව නිවැරදියි කියලා ඔප්පු කරන්න අපිට පුළුවන් වෙන්න ඕනෑ. වාර්තාවක් නිවැරදි වෙන්න නම් ඒ වාර්තාව ලබා ගන්නා ක‍්‍රියාදාමය නිවැරදියි කියලා අපි ඔප්පු කරන්න ඕනෑ. ලෝකයේ තිබෙන සම්මතය ඒකයි. සායනයනික පරීක්ෂණ කිරීමට වලංගු උපකරණ හෝ ප‍්‍රතික‍්‍රිියක නැත්නම් එතැනම අපේ වැරැද්ද අපිට පිළිගන්න වෙනවා.” ඒ, රවී කුමුදේශ් ය.


මේ සියල්ල අපට නැවත නැවතත් පසක් කරන්නේ මෙම පද්ධතිවල තිබෙන වියවුල් තත්ත්ව යි. ගෝලීය වසංගතයකට අප මහුණු දිය යුතු බව හා ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් හා දැවැන්ත කාර්යභාරයක් සිදුකළ යුතුව තිබෙන බව බොහෝ බලධාරීන්ට හා පාලකයන්ට තවමත් හැගීමක් නැත. මැතිවරණය සහ බලය තහවුරු කර ගැනීම පළමු කාර්යයත් අනෙක් සියල්ල පසෙකටත් දැන් විසිවී තිබෙන්නේ ය. මේ පිළිකුල් සහගත ක‍්‍රමවේදයට එරෙහිව දැන් හෝ ජනතාව පිළිතුරු දිය යුතුව තිබෙන්නේ ය. එසේ නොවුව හොත් වචනයට පමණක් සීමා වන වෙනස වෙනස් කිරීම සිහිනයක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here