ඡායා - අකිල ජයවර්ධන
Government employees stand in a queue, while maintaining social distancing, as they wait to board a bus to return to work after a 52-day lockdown, imposed as a preventive measure against the COVID-19 coronavirus. The photo was taken at the bus terminal in Panadura, a suburb of Sri Lanka's capital Colombo on 11 May 2020. Sri Lanka will partially reopen from 11 May, ending a 52-day lockdown as the community spread of the coronavirus had been brought under control, the health minister said.

රසික ගුණවර්ධන/දිනී ජයසේකර


සෑහෙන ප්‍රමාදයකින් අනතුරුව මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කර ඇත. සෞඛ්‍ය අංශ විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මැතිවරණ නිරීක්ෂකයන් ඇතුළු ක්‍රියාකාරීහු ඒ සඳහා විශාල බලපෑමක් එල්ල කළෝය. සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු ආණ්ඩුව විසින් තමන්ට වාසිසහගත ලෙස පූර්ව මැතිවරණ ක්‍රියා එනම් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා මේ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම සඳහා බොහෝ කල්මැරීය. රෝගය තුරන් කිරීම කෙසේ වෙතත් ආණ්ඩුවට උවමනා වූයේ කෙසේ හෝ මැතිවරණ පවත්වා බලය අත්පත් කර ගැනීමය.


කෙසේ වෙතත් අවසානයේ සෞඛ්‍ය නිර්දේශ රජය ගැසට් කළද එය සෞඛ්‍ය මාර්ගෝපදේශ සමග සසඳා බලන විට නිකුත් කළ ගැසට් නිවේදනයේ ඉතා වැදගත් සහ බලපෑම්සහගත කරුණු ගණනාවක් නොසලකා හැරීමට කටයුතු කර ඇති බව දක්නට ඇත. එම කරුණු එකින් එක සාකච්ඡා කිරීම වැදගත්ය.


සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි 2.1 ප්‍රචාරක රැස්වීම් යටතේ, 2.1.2 දැක්වෙන්නේ ප්‍රචාරක රැස්වීම් පවත්වන්නේ නම් එය උපරිමය පුද්ගලයන් 100 දක්වා සීමා කළ යුතු බවයි. එහෙත් රජය විසින් නිකුත් කරන ලද අංක 2184/34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ඊට හාත්පසින්ම වෙනස් කාරණයකි. එහි 3.2 යටතේ සඳහන් වන්නේ රැස්වීමට සහභාගි වන පිරිස 300 නොඉක්මවිය යුතු බවය. එසේම දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක පක්ෂ නායකයා රැස්වීමට සහභාගි වන විට රැස්වන සංඛ්‍යාව 500 නොඉක්ම විය යුතු බව එහි වැඩි දුරටත් දැක්වේ. මෙය බැලූ බැල්මටම තමන්ගේ වාසිය උදෙසා සකසා ගන්නා ලද්දක් බව පැහැදිලිය. සෞඛ්‍ය නිර්දේශවලට අනුව මෙසේ සියයක පිරිසක් රැස්වන ලෙස නිර්දේශ කර තිබුණේ පවතින වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමටය. එහෙත් මෙසේ සෞඛ්‍ය නිර්දේශ කුණු කූඩයට දමා රැස්වන පිරිස තුන් ගුණයකින් වැඩිකර ඉන් නොනැවතී නායකයා පැමිණෙන විට එය පස් ගුණයක් දක්වා වැඩිකර ඇත්තේ දේශපාලන පක්ෂවල නායකයන්ට රෝග සුවකිරීමේ බලයක් පවතින නිසාද?


එසේම සෞඛ්‍ය මාර්ගෝපදෙශවලට අනුව 2.1.4. යටතේ දැක්වෙන්නේ රැස්වීම් ආරම්භ කිරීමට අවම වශයෙන් දින තුනකට පෙර සංවිධායක විසින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දිය යුතු බවය. එහෙත් ගැසට් පත්‍රයට අනුව 2. වන වගන්තිය යටතේ දැක්වෙන්නේ රැස්වීමක් පැවැත්වීමට පැය විසි හතරකට පෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දිය යුතු බවයි.


මීට අමතරව සෞඛ්‍ය මාර්ගෝපදේශ හා ගැසට් පත්‍රය සලකා බලන විට සෞඛ්‍ය මාර්ගෝපදේශයේ ප්‍රචාරණ රැලි නිර්දේශ නොකරන නමුදු ගැසට් පත්‍රයේ ප්‍රචාරක රැලි පැවැත්වීමක් පිළිබඳව සඳහන් නොවේ.


එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශවල රැස්වීමක් පැවැත්වීමේදී එය පවත්වන ස්ථානය පිළිබඳව පැහැදිලි කිරීමක් වේ. ඒ අනුව ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීමේදී රැස්වීම පවත්වන ස්ථානයේ එකිනෙකා අතර අවශ්‍ය දුර පවත්වා ගැනීම සඳහා ඉඩකඩ සහිත ස්ථානයක් ඊට යොදාගත යුතු අතර රැස්වීම පැවැත්වෙන ස්ථානය හොඳින් වාතාශ්‍රය ලැබෙන ඉඩකඩ සහිත ස්ථානයක් විය යුතු බව සඳහන් වේ. එහෙත් එවැනි පැහැදිලි කිරීමක් ගැසට් පත්‍රයේ සඳහන් නොවේ.


එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අත්පත්‍රිකා බෙදීම අනුමත නොකරන අතර ගැසට් පත්‍රයේ එවැන්නක් පිළිබඳව සඳහනක් නැත. එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහන් කරන්නේ කෝවිඞ් – 19 රෝගයට නිරාවරණය වීම අවමකිරීම සඳහා රැස්වීම් කාලය පැය තුනකට සීමා කළ යුතු බව වුවත්, ගැසට් පත්‍රයේ රැස්වීමක් පැවැත්විය යුතු කාලයක් පිළිබඳව සඳහන් නොවේ.


මෙම කරුණු හරහා පැහැදිලිවම රජය විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව නොසලකා හැර තමන්ට උවමනා ආකාරයට ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ගැසට් පත්‍රය සකසාගෙන ඇති බව පැහැදිලිය. අප සාමාන්‍යයෙන් දන්නා කරුණ නම් පක්ෂ නායකයා පැමිණෙන රැස්වීම් පැය ගණනාවක් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කිරීමය. එහි ඇති අවදානම් බව පෙන්වා දෙමින්ම සෞඛ්‍ය නිර්දේශ පනවා ඇති නමුදු එයවත් සැලකිල්ලට නොගැනීම කෙතරම් භයානකද? මෙය ඡන්දදායකයන්ගේ ජීවිත සමග සූදු කෙළීමක් නොවේද?


මීට අමතරව අත්පත්‍රිකා නිවෙස්වලට ගොස් බෙදීම සම්බන්ධව ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි දැක්වේ. ඒ අනුව, වරකට ගමන් කරන ප්‍රචාරක කණ්ඩායමේ සාමාජිකයන් ගණන තුන් දෙනෙකුට සීමා කළ යුතු බව නිර්දේශ කරන අතර උණ හෝ ස්වසන රෝග පවතින පුද්ගලයන් ඒ සඳහා සහභාගී වීම නිර්දේශ නොකරයි. එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශවල වැඩිදුරටත් දැක්වෙන්නේ ප්‍රචාරක කණ්ඩායම් සාමාජිකයන් නිවෙස් තුළට ඇතුළු වීම නොකළ යුතු බවත්, ගමන් ගන්නා සියලුම මාර්ග පිළිබඳව තොරතුරු සටහනක් පවත්වාගත යුතු බවයි. එහෙත් මේ කරුණු කිසිවත් ගැසට් පත්‍රයේ දක්නට ඇත්තේ නැත. එසේම ගැසට් පත්‍රයේ අත්පත්‍රිකා බෙදාදීමට නිවෙස්වලට යන කණ්ඩායමේ ප්‍රමාණය පස්දෙනෙකු දක්වා ඉහළ දමා ඇත. ඊට අමතරව එහි සඳහන් වන්නේ මුඛ ආවරණ පැළැඳීම, මීටරයේ දුර පවත්වා ගැනීම සහ අත් පත්‍රිකා බෙදාදීමට පෙර දෑත් විෂබීජහරණය කිරීම යන කරුණු පමණි.


අප මේ පිළිබඳව මැතිවරණ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගෙන් විමසීමක් සිදු කළෙමු. මේ ඔවුන් දැක්වූ අදහස්ය.

සීමා ලිහිල් කිරීම අතාර්කිකයි.
මංජුල ගජනායක – ජාතික සම්බන්ධීකාරක, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය.

මෙය නිකුත් කරල තිබෙන්නෙ මැතිවරණයට දින 19 ඉතිරිව තිබියදී, කෙසේ වෙතත් මුල් මාර්ගෝපදේශයන්ගේ පැවති බොහෝ කරුණු මෙම ගැසට් පත්‍රයේ මුළුමනින්ම ඉවත් කරල විශේෂයෙන්ම රැස්වීමක් සඳහා සහභාගි වන පුද්ගලයන්ගේ ප්‍රමාණය ඉහළ දැමීම, නිවසින් නිවසට ගොස් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීම වගේම දිස්ත්‍රික් මට්ටමේ තේරීම්භාර නිලධාරී කාර්යාලවල ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීම සහ එකතු කර මිටි වශයෙන් බැඳීම ඡන්ද මධ්‍යස්ථාන; නිරෝධායන මධ්‍යස්ථානවල මැතිවරණයක් පැවැත්වීම; ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ලැබීම; ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි ආචාර විධි, ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථාන; කාර්ය මණ්ඩලය සහ ද්‍රව්‍ය ප්‍රවාහනය; පොලිස් නිලධාරීන් සඳහා විශේෂ උපදෙස්; විෂබීජහරණය; අපද්‍රව්‍ය බැහැර කිරීම; මැතිවරණයෙන් පසු ආදී වශයෙන්වූ කරුණු සහ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා 7 වන වගන්තියෙන් දක්වා ඇති සෞඛ්‍ය පරිපාලන ව්‍යුහය ද මෙම නව රෙගුලාසි තුළ දක්නට නැහැ.


මේ ආකාරයට භෞතිකමය ලෙස මැතිවරණ ප්‍රචාරණ සීමා ලිහිල් කිරීම හරහා ප්‍රචාරණ කටයුතු විශාල වශයෙන් සිදුවීම මගින් වැඩි ඡන්දදායකයන් ප්‍රමාණයක් කෝවිඞ් 19 වසංගතයට නිරාවරණය වීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම පක්ෂ නායකයන්ගේ පැමිණීම මත රැස්වීම්වලට සහභාගි විය හැකි පුද්ගලයන්ගේ සීමාව ලිහිල් කිරීම අතාර්කික කටයුත්තක්.

රැස්වීමකට දාහක් දාන්න කීවත් කරන්න දෙයක් නෑ.
සමන් ශ්‍රී රත්නායක – මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්


සෞඛ්‍ය මාර්ගෝපදේශ කියන්නෙ එකක්. ගැසට් එක කියන්නෙ තව එකක්. එහිදී බලාත්මක වෙන්නෙ ගැසට් එකයි. මාර්ගෝපදේශ දුන්නට පස්සෙ එහි යම් යම් වෙනස් කිරීම් කිරීමේ හැකියාවක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට තිබෙනවා. එයා ඒක වෙනස් කරල හදලා දීල තියෙනවා. හැම දෙයක්ම තිබෙන්නේ මහජනතාවගේ අවශ්‍යතාවට. එතකොට සොඛ්‍යය මාර්ගෝපදේශ දීල තියෙන්නෙත් මහජනතාවගෙ ආරක්ෂාව උදෙසායි.


මැතිවරණ සම්බන්ධයෙන් ලබාදී ඇති සොඛ්‍යය මාර්ගෝපදේශ දීලා තියෙන්නෙ මැතිවරණයට අදාළ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවන් පිරිමහන්නයි. එතකොට හෙට අනිද්දා තත්ත්වය අනුව රැස්වීමකට දාහක් දාන්න කියලා ගැසට් කළත් ඇත්ත වශයෙන්ම අපිට කරන්න දෙයක් නැහැ.

පරීක්ෂා කරන්න බලධාරියෙක් ඕනෙ.
උපුල් රෝහණ – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති


මැතිවරණ මාර්ගෝපදේශ කියන එක නීතියක් නෙවේ. මිනිස්සුන්ට කියවගන්න දීපු එකක් විතරයි ඒක. කාටහරි ඕනෙම නම් කඩ කරන්නත් පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඒක ගැසට් කරන්න කීවේ.


මේක ගැසට් කරන්නේ 1897 අංක 3 දරන නිරෝධායන රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීමේ සහ බෝවෙන රෝග පාලනය කිරීමේ ආඥා පනත යටතේයි. ඔය පනතෙත් දෙවෙනි වගන්තිය යටතේ තමයි අමාත්‍යවරිය මේ ගැසට් එක ගහන්නේ. ගැසට් එකේ තියෙන දේවල් මහජනතාවට කරන්න කියලා තමයි තියෙන්නේ. ඕක කළේ නැතිනම් ඒ බව පරීක්ෂා කරන්න පරීක්ෂකවරයෙක් පත් කළ යුතුයි. නමුත් මේ වන තෙක් පරීක්ෂකවරයෙක් පත් කරල නැහැ. එසේ පත් කිරීම ගැසට් එක ගහන බලධරයාගේ වැඩක්. පසුව ගැසට් එක ක්‍රියාත්මක කරන්න කියලා නියෝග දෙන එක නිසි බලධරයාගේ වැඩක්. ඒ දෙන නියෝග අනුව ගැසට් එක ක්‍රියාත්මක කරනවද නැද්ද කරන්නෙ නැත්නම් ඊට එරෙහිව නඩු පවරන්න ඕනේ පරීක්ෂකවරයායි. ඔය ගැසට් එක බැලූ බැල්මට දේශපාලකයන්ගේ උවමනාව සඳහා ගහපු ගැසට් එකක්.


මේ ගැසට් එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවී මහජනතාව රවට්ටන්න තමයි හදලා තියෙන්නේ. ඔය ගැසට් එක කොයි මැතිවරණ රැස්වීමකවත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේ සඳහා පරීක්ෂකවරු විදියට පීඑච්අයිලව තමයි පත් කළයුත්තේ. වෙන කාවවත් පත් කරන්න බැහැ. හැබැයි ඔවුන්ව පත් කළොත් නඩු දානව කියලා දන්න නිසා තමයි පරීක්ෂකවරයෙක්ව පත් නොකරන්නේ.

ගැසට්ටුව එනකොට වැඩ ඉවරයි
අහමඞ් මනාස් – ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැෆේ සංවිධානය


සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරලා සති කිහිපයකින් තමයි ගැසට් එක නිකුත් කළේ. එසේ ප්‍රමාද වුණේ දේශපාලන අරමුණක් නිසා විය හැකියි. මාර්ගෝපදේශවල තිබුණා මැතිවරණ රැස්වීමක් සඳහා රැස්වීමේදී සිය දෙනෙක් පමණක් රැස්විය යුතුයි කියලා. නමුත් එහෙම සහභාගි වුණේ නැහැ. ඒ නිසා තමයි අපි සංවිධාන කිහිපය එකතු වෙලා කීවේ මේක ගැසට් කරන්න කියලා. මට හිතෙන විදියට කට්ටියට උවමනා වුණෙ දේශපාලන ප්‍රචාරණය කරගෙන ඉවර වෙලා මැතිවරණයට දින කිහිපයක් තියෙද්දි ගැසට් එක නිකුත් කරන්නයි. මොකද හරියට මේ සියල්ල පිළිපැදල මැතිවරණය කරන්න ගියොත් කොමිසමට කෝටි හාරසීයකට ආසන්න වියදමක් දරන්න වෙනවා. නමුත් අපි ටික ඒ වෙනුවෙන් බලපෑම් කළ නිසා ගැසට් එකක් නිකුත් කරන්න සිද්ධ වුනා.


මාර්ගෝපදේශ නිකුත් කරල තියෙද්දි මැතිවරණ කොමිෂන් සභාව පෙරහුරු මැතිවරණයක් පැවැත්වීමේදී අපි දැක්කා මීටරේ දුර තියාගෙන සියලු මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කළා. නමුත් දැන් යන තත්ත්වය වැරදියි. මාර්ගෝපදේශවලට අනුව ගැසට් එක නිකුත් කළා කියන එකත් විශ්වාස කරන්න බැහැ. මොකද දෙක, දෙකක්. මාර්ගෝපදේශවල තිබූ සමහර දේවල් ගැසට් එකේ හාත්පසින්ම වෙනස් විදියකට තියෙන්නේ. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here